IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මේ ජරාජීර්ණ දේශපාලනය වෙනස් කළ හැක්කේ ජවිපෙට පමණයි

(මුදිතා දයානන්ද)

ශ්‍රී.ල.නි.පයත් එ.ජා.ප යත්. පොහොට්ටුවත් එකම කඳවුරක කොටස් තුනක් පමණයි. හරියට තල් රායි, පොල් රායි, කිතුල් රායි වගේ. මේ ජරාජීර්ණ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ හැක්කේ මේ කඳවුරු තුනට එරෙහිව පවතින එකම දේශපාලන ව්‍යාපාරය වන ජනතා විමුක්ති පෙරමුණට පමණක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (17) පැවසීය.

දිසානායක මහතා මෙසේ පැවසුයේ ජනතා විමුක්ති පෙරමුණේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයන්ගේ ජාතික සමුළුව අමතමිනි.

මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයන් විසින් රැකිය යුතු කරුණු දොළහකින් යුත් ආචාර ධර්ම පද්ධතියක් පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා විසින් සභාවට ඉදිරිපත් කළ අතර අපේක්ෂකයෝ සියලු දෙනා එය සුරකින බවට ප්‍රතිඥා දුන්හ.

වැඩිදුරටත් අදහස් දැක්වු දිසානායක මහතා මෙසේද පැවසීය.

පළාත් පාලන ආයතනයක නිල කාලයම අවුරුදු හතරයි. අවුරුදු තුනකට ආසන්න කාලයක් මැතිවරණය කල් ගිහින් තිබෙනවා. එය සභාවක නිල කාලයට ආසන්න කාලයක්. පළාත් පාලන මැතිවරණය කියන්නේ ජනතාවගේ ගම්වල තිබෙන ප්‍රශ්න විසඳා ගන්න නියෝජිතයන් පත්කර ගන්නා මැතිවරණයයි. නමුත් තෝරා යැවූ අය කරල තියෙන්නේ මොනවාද? පුවත්පත්වල පළවූ තෝරාගත් කිහිපයක් ගැන මම කියන්නම්.

‘මාවනැල්ල ඩිපෝ අධිකාරිට අරණායක සභාපති පහරදෙයි’, ‘නියාගම සභාපතියි, ගෝලයොයි යුවළකට තුවාල වෙන්න ගහලා’, ‘කොළොන්නාව නගර සභාවේ සභාපති, උප සභාපති සමග ගුටි හුවමාරුවක’, ‘සිසුන් හතරක් සහ සිසුවියන් හතර දෙනෙකුට පහරදුන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සොයා පොලිස් පරීක්ෂණ’, ‘බැංකුවට පැන බිරියට පහරදුන් සන්ධාන මන්ත්‍රී අල්ලන්න අධිකරණ නියෝගයක්’, ‘පොස්පේට් සේවකයන්ට පහරදුන් තලාව ප්‍රාදේශීය මන්ත්‍රී රිමාන්ඞ් භාරයට’, ‘පුද්ගලයෙකුට පහරදීම නිසා බියගම ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී අත්අඩංගුවේ’, ‘සංචාරක හෝටලයේ කළමනාකරුට පහරදී දේපළවලට හානි කළ බදුල්ල නගර සභාවේ සන්ධාන මන්ත්‍රී රිමාන්ඞ් භාරයේ’, ‘කාන්තාවකට පහරදුන් කතරගම මන්ත්‍රී ඇපමත මුදාහරී’, ‘පොලිස් කොස්තාපල්ට පහරදුන් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා සභාපති රිමාන්ඞ් භාරයේ’, ‘වාරිමාර්ග නිලධාරියෙකුට  පහරදුන් කරුවලගස්වැව සභාපති රිමාන්ඞ් භාරයේ’, ‘මීගමුව නගර සභාවේ සන්ධාන මන්ත්‍රී ජේලර්ගේ කන පලයි’, ‘පෑලියගොඩ සභාපති සහ උපසභාපති ගුටි ඇන ගනිති’, ‘බුලත්සිංහල පොලිසියට පහරදුන් ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගමෙනුත් පැන ගිහින්’, ‘දැරණියගල ප්‍රාදේශීය සභා සභාපති ක්‍රීඩකයකුට පහරදී අත්අඩංගුවේ’,  ‘වෛද්‍යවරයෙකුගේ බිරියකට තර්ජනය කළ සන්ධාන මන්ත්‍රීට ලක්ෂ දෙකක ඇප’,  ‘බෙන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති උපසභාපතිගේ දතක් ගලවයි’, ‘අල්ලස්ගෙන වලල්ලාවිට ප්‍රාදේශීය සභා සභාපති අත්අඩංගුවට’,  ‘යටියන්තොට ප්‍රාදේශීය සභා සභාපති අල්ලස් ගනිද්දී අත්අඩංගුවට’,  ‘හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ හොර වාහන අටක් අල්ලයි’, මේ වගේ තව විශාල ලැයිස්තුවක් මා අතේ තිබෙනවා. පසුගිය කාලය පුරාම, හොරුන්ගේ දූෂිතයන්ගේ සහ දාමරිකයන්ගේ ගුහාවක් බවට ප්‍රාදේශීය සභා පත්කරගෙන තිබුණා.

ඒ නිසා, අද අපිට වගකීමක් පැවරී තිබෙනවා. දූෂිතයන්ගේ, පාදඩයන්ගේ, සල්ලාලයන්ගේ තිප්පොළවල් බවට පත්වී තිබෙන, මේ ප්‍රාදේශීය සභා ජනතාවගේ නියෝජිත ආයතන බවට පත් කිරීමේ අභියෝගය අප හැමට තිබෙනවා. මේ ප්‍රාදේශීය සභා හරහා හැදෙන යාන්ත්‍රණය ඉහළ බල අධිකාරය ශක්තිමත් කර තිබෙනවා. ඒනිසා මේ පළාත් සභා මැතිවරණයේදී ඉහළ පාලන පාදඩ යාන්ත්‍රණය ගම් මට්ටමින් බිඳවට්ටා දුර්වල කොට, ජනතා විමුක්ති පෙරමුණේ යාන්ත්‍රණය ජයග්‍රහණය කර, ශක්තිමත් මට්ටමින් ඔසවා තැබිය යුතුයි.  ඉහළ පාදඩයන්ගේ ආරක්ෂාව, රැකවරණය සහ බලය ශක්තිමත් කළ පහළම තැනින් එය බිඳ දැමීම ආරම්භ කළ යුතුයි.

දැන් අප ඉදිරියේ තියෙන පළාත් පාලන මැතිවරණය ආණ්ඩුව යොදා ගන්නේ කවර අරමුණකින්ද? යන්න අප සලකා බැලිය යුතුයි. මේ පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුව ලබන කවර ජයග්‍රහණයක් වුවත් ඔවුන්ට තිබෙන යම් බාධාකාරී සීමාවන් ඉවත්කර ගන්න ලයිසන් එකක් හැටියට ’භාවිත කරනවා. මේ විනාශකාරී ආර්ථික ගමන පරාජයට පත්කරන්න නම්, එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය අනිවාර්ය ලෙස පරාජයට පත් කළ යුතුයි. එය පරාජයට පත්කරන්නත් වරායේ, තෙල් සංස්ථාවේ, පුල්මුඩෙයි ඛනිජ වැලි නිධියේ සේවකයන්ට සටන් කරන්න ශක්තියක් ලැබෙන්නේ මේ මැතිවරණයෙන් විනාශකාරී ආර්ථිකයට ජනතාවගේ අනුමැතියක් නැති බව ඔප්පු කිරීමෙන් විතරයි.

එක පැත්තකින් රනිල් වික්‍රමසිංහගේ කණ්ඩායමත්, අනෙක් පැත්තෙන් මහින්ද රාජපක්ෂ නායකයා නොවන ජී.ඇල්. පීරිස් නායකයා වන පොදුජන පෙරමුණත්, මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මේ මැතිවරණයට ඉදිරිපත්වී තිබෙනවා. මේ පාර්ශ්ව තුනම එකම කඳවුරක කොටස් තුනක් බව තේරුම් ගන්න ඕනෑ. කඳවුරු තුනක් නොවෙයි. හරියට තල් රායි, පොල් රායි, කිතුල් රායි වගේ. තුනම තාල වර්ගයේ ගස්. තුනටම මුදුන් මුලක් නැහැ. හැබැයි මේ ගස් තුනේ කොළ එකිනෙකට වෙනස්.

මේ මැතිවරණයේදී තමන් ළඟ තියෙන ආණ්ඩු බලය ගමේ සංවර්ධනයේදී යොදවන්න තමන්ට ඡන්දය දෙන්න කියලා රනිල් වික්‍රමසිංහ කියනවා. රටේ බලය තිබෙනවා නම් ගම හදන්න වෙනම බලයක් මොකටද? මහින්ද රාජපක්ෂ කියන්නේ රට බෙදීම වළක්වන්න තමන්ට ඡන්දය දෙන්න කියලයි. ඔවුන්ට ඉතිරිවී තිබෙන බොරු දේශප්‍රේමිත්වය මේ ඡන්දයේදී ද, පාවිච්චි කරනවා. මාතෘ භූමිය පිළිබඳවත්, රටේ ජනතාව පිළිබඳවත් ඔවුන්ට තියෙන්නේ ව්‍යාජ රඟපෑමක් විතරයි.

ජනතා විමුක්ති පෙරමුණේ ඉන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ජන කොට්ඨාසයන් තුනේම සම අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ජාතිකත්ව වශයෙන් නොබෙදී සිටිය යුතු රට බෙදීමට විරුද්ධ ස්ථාවරයකයි. ඊටත් වඩා වැඩි බරකින් අපේ රටේ ජාතිවාදයටත් විරුද්ධයි. ජාතික අසමානතාවටත් ඒ වගේම විරුද්ධයි. ජාතික සමගිය වෙනුවෙන් හැම ජන කොට්ඨාසයකම සම අයිතිය වෙනුවෙන්  එකමුතු වී සටන් කරන, මේ රටේ එකම දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ පමණයි. අනෙක් පැත්තෙන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ කණ්ඩායම ඉන්නවා. මේ කඳවුරු තුනක් නොවන බව දැන් හොඳටම පැහැදිලියි. මෙච්චර කාලයක් ඒ බව හංගලා තිබුණා. හැබැයි මේ ගෙවීගිය දින කීපය ඇතුළේ මේ සියලු දෙනාම එක කඳවුරක බව වෙන කවරදාටත් වඩා හොඳින් ඔප්පුකර තිබෙනවා.

මේ වන විට ජනතාවගේ සතුරු භාවයට පත්වී තිබෙන මේ ප්‍රාදේශීය සභා ජනතාවගේ ඥාතියකු බවට පත්කර ගන්නා මැතිවරණ ජයග්‍රහණයක් ලබාගන්න ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරනවා. පළමුව දූෂණය නතර කරනවා. දෙවනුව කාර්යක්ෂමතාව ඇති කරනවා. පළාත් පාලන ආයතනවලට පැවරී තිබෙන කාර්ය භාරය අතරින් ප්‍රමුඛම වැඩටික අපි ඉටුකරනවා. මේ ජයග්‍රහණ ලබාගත හැක්කේ ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ජනතාවගේ ජීවිත සමග බද්ධ වුණු ප්‍රාදේශීය සභා බලය ජනතා විමුක්ති පෙරමුණට වැඩි වශයෙන් ලබාදීමෙන් පමණයි. ලස්සන නගරයක්, සුන්දර පරිසරයක් සහිත ප්‍රාදේශීය සභාවක් ගොඩනඟා ළමා හා මාතෘ සායන පහසුකම් සහිතව  ගොඩනඟා අනාගත පරම්පරාව ගොඩනැගීමේ අත්තිවාරම දමනවා. මේ කාර්ය භාරය ඉටුකිරීමට ජනතා විමුක්ති පෙරමුණේ කැපවීම ඉහළින්ම ලබාදෙන මේ අපේක්ෂක අපේක්ෂිකාවන් ගම්මට්ටමේදී ජයග්‍රහණය කිරීමේ කාර්ය භාරය ඉටුකළ යුතුව තිබෙනවා. මේ රට නව දේශපාලන සංස්කෘතියකට රැගෙන යන මුල් පියවර වශයෙන් එළඹෙන පළාත් පාලන මැතිවරණය සියලුම ජයග්‍රහණයන් ලබා ගැනීමට ඔබ වෙත පැවරී තිබෙන කාර්ය භාරය ශක්තිමත්ව නොපිරිහෙළා ඉටුකරාවි කියන විශ්වාසයෙන් යුතුව ඊට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා ! කියල ප්‍රාර්ථනා කරනවා.

මෙහිදී අදහස් දැක්වු ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙසේ පැවසීය.
අපි කවුරුත් දන්නවා පළාත් පාලන මැතිවරණය වසර දෙකකට වැඩිය ප්‍රමාද වූ බව. අපි දැවැන්ත සටනක් කළා පැවතුණ මැතිවරණ ක්‍රමය වෙනස් කරගන්න. ඒ සටන ජයගෙන මනාප පොරය නැති කොට්ඨාසයට වගකියන මන්ත්‍රීවරයෙක් තෝරාගත හැක, අපේ රටේ ජනගහනයෙන් අඩකට වඩා සිටින කාන්තාවන්ගේ නියෝජනය වැඩි නව මැතිවරණ ක්‍රමයක ලැබි තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ අපි ප්‍රතිපත්තිමය දේශපාලනයකට අන් කවරදාත් වගේම මුලපුරා තිබෙනවා. මේ පවතින පාදඩ දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා හෘදය සාක්ෂියක් තිබෙන මානවවාදී දේශපාලන සංස්කෘතියක් මේ රටේ ගොඩනඟන්න මැදිහත් වෙන්නේ මේ රැස්වෙලා ඉන්න ආදරණීය අපේක්ෂක අපේක්ෂිකාවන්. අපේ පක්ෂයේ ගෞරවණීය දේශපාලන සංස්කෘතිය මේ රටට අවශ්‍යයි.
මේ රටේ පාලන බලය හොබවපු පක්ෂ දෙකේම අය නැවත ජනතාවගේ ඡන්දය ඉල්ලන්නේ අවුරුදු හතරක් යැපෙන්න හොඳ රස්සාවක් හදාගන්න. ලොකු දීමනාවක් නැති වුණාට, ලැබෙන දේශපාලන බලය පාවිච්චි කරලා ලොකු ධනස්කන්දයක් උපයාගන්න පුළුවන් නිසා. අපි මේ මැතිවරණයට එන්නේ පළමු වතාවට රට පුරාම පළාත් පාලන ආයතනවලට අපේක්ෂක අපේක්ෂිකාවෝ ඉදිරිපත් කළ ජයග්‍රාහී පසුබිමක. අද මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඡන්දයට එන්නේ නාවන්න බල්ලන් ගෙනියනවා වාගේ. ඡන්දය කල්දාන්න යටිකූට්ටු ආකාරයට පෙත්සම් ඉදිරිපත් කළා. ඒ පෙත්සම් ඉවර වෙනවාත් එක්කම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කණ්ඩායමක් තවත් විදිහකින් පෙත්සම් ඉදිරිපත් කළා. එක්සත් ජාතික පක්ෂයත් ඡන්දය කල්දාන්න කැමැත්තෙන් සිටියේ. ඒ සියලු උත්සාහයන් පරාජයට පත්කරන්න අපිට හැකිවුණා.

ඡන්ද කල්දැමීමේ කුමන්ත්‍රණ පරාජයට පත්කර, සටන් කිරීමෙන් ලබාගත් ඡන්දයේ ප්‍රතිඵල ජනතාවට වාසිදායක ආකාරයට ලබාගත හැකි වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයන් වැඩි පිරිසක් මහජන නියෝජිතයන් වශයෙන් පත්කර ගත්තොත් පමණයි. පල්වෙලා ගඳ ගහන, වංචා - දූෂණ පිරුණු මත්ද්‍රව්‍යවලට ලොල් බවක් දක්වන ජාවාරම්කාරයන්, හොරෙන් වැලි ගොඩ දාන්නන්, වගේ අයගෙන් හොර ගුහාවක් වූ මේ ආයතනය මහජන මිත්‍රශීලී ආයතන බවට පත්කරන්න ඕනෑ. පහුගිය හැත්තෑ වසර පුරා පාදඩකරණය කළ දේශපාලනය තුළ බිහිවූදේශපාලනඥයා, මිත්‍රශීලී මහජන සේවකයෙකු කිරීමට මුල පුරන්න හොඳම තැන පළාත් පාලන ආයතනයි. ගම ගොඩනැඟීමේ වැඩපිළිවෙළ මේ බිමේ යථාර්ථයක් කරන්න ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ විතරයි. අපි සතුරාව පරාජය කරන්න ඕනෑ ඡන්දයෙන් විතරක් නොවෙයි. දේශපාලන වශයෙනුත් පරද්දන්න ඕනෑ. දේශපාලන වශයෙන් පරාජය කළ හැක්කේ ආදර්ශ දීමෙන්. දුෂ්කරතා විඳදරා ගනිමින් කැපකිරීමෙන්. මහජනතාවගේ පොදු අරමුණු වෙනුවෙන් පෞද්ගලික ජීවිතයේ සුඛ විහරණය, කැපකිරීමෙන් විතරයි. ජනතා විමුක්ති පෙරමුණ ඒ පොදු අරමුණු වෙනුවෙන් දිවිපුදා ගොඩනඟාගත් පක්ෂයක්.

1994 මුල්වරට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව, අපේ පක්ෂයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබාදුන්නා. එදා ඉඳලා අද දක්වාම නිහාල් ගලප්පත්ති සහෝදරයා තමන්ට ලැබෙන වැටුප රට තමන්ගේ සුඛ විහරණයට ලබානොගෙන පොදු අරමුණකට යොමු කරමින් ඒ ගෞරවනීය ආදර්ශය රටට දුන්නා. 1997 පළාත් පාලන මැතිවරණයෙන් මන්ත්‍රී ධුර 101 ක් ලබාගත්තා. පළාත් සභාවලින් මන්ත්‍රී ධුර 24ක් ලැබුණා. ඒ ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණේ මහජන මන්ත්‍රී අරමුදල වැඩි වුණා. මන්ත්‍රී වැටුප් හා දීමනා විතරක් නොවෙයි කාර්ය මණ්ඩල වැටුප් හා දීමනාත් මේ අරමුදලට එකතු වුණා. අපි මුලින්ම මේ අරමුදල යොදවලා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් විශ්විවිද්‍යාලයට තේරී පත්වුණු ආර්ථික දුෂ්කරතා තියෙන ශිෂ්‍යයන් පිරිසකට ආධාර ලබාදුන්නා. කුරුණෑගල දුෂ්කර විදුහලක පුස්තකාලයක් සංවර්ධනය කර දුන්නා. අපි ඒක නම් කළේ සුමිත් අතුකෝරල පුස්තකාලය කියලයි. ඒ වගේම අද වගේ පරිගණක පහසුකම් නොතිබුණු 2000ට ඉස්සෙල්ලා කාලයේ රටපුරා විශ්ව පරිගණක මධ්‍යස්ථාන පහක් පටන් අරන් දරුවන්ට නොමිලයේ පරිගණක පුහුණු ලබාදුන්නා. අපි ඒ විදිහට එදා සිටම රටට ආදර්ශ සපයා තිබෙනවා.

 රට වෙනස් කරන්න ආදර්ශය දෙන්න ඕනෑ ගමෙන්. 2020දී ආණ්ඩු වෙනස් කිරීමේ හැකියාව පෙන්වන්න ඕනෑ මේ මැතිවරණයෙන්. ජන සහභාගී සංවර්ධනය ආරම්භය වෙනුවෙන් ඔබට විශාල වගකීමක් පැවරී තිබෙනවා.
අනික් පක්ෂ කරන්නේ ජනතාවට සිමෙන්ති, ටකරන් තහඩු, ගිනිපෙට්ටි, වගේ දේවල් බෙදා දෙන එකයි. ඡන්දවලදි තාම, බෙදුවේ නැත්තේ මිනීපෙට්ටි විතරයි. ජනතා විමුක්ති පෙරමුණේ අපි බෙදන්නේ, බඩු නෙවෙයි. ජනතාව දැනුවත් කරන අදහස්. බඩු බෙදන ඒවා ටික දවසකින් විනාශ වෙලා ඉවර වෙනවා. අපි බෙදන අදහස් මිනිසුන්ගේ හදවත්වල සදාකාලිකව පවතිනවා. සමාජය ගොඩනඟන්න ජනතාව පෙළ ගස්වන්න ඕනෑ බඩුවලින් නොවෙයි. අදහස්, මතවාද, ප්‍රතිපත්ති සහ ආදර්ශවලින්. අපට ඕනෑ ජනතාවට වගකියන පාලනයක් බිහිකරන්න. එහෙම ආණ්ඩුවක් හදන්න මුලපුරන ඡන්දයක් බවට මේ මැතිවරණය පත්කර ගනිමු. මුළු රටම ඒවෙනුවෙන් සූදානම් කරමු. හැත්තෑවසරක් පුරා  මේ රට වෙලාගත්ත ජඩ පාදඩ දේශපාලන ගමන්මඟ අවසන්කර, වංචාව - දූෂණය පරදවන ගම හදන ඡන්දයක් බවට පත්කර ගනිමු. මේ සඳහා මේ කාලකණ්ණි ක්‍රමය සදහටම පරාජය කරන්න ඕනෑ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.

මෙම අවස්ථාවට විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්, සාහිත්‍යකරුවෙක්, වගේම සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස සහභාගිවීමට ලැබීම අගයකොට සලකනවා. මම මේ අවස්ථාවට සහභාගි වෙන්නේ වෘත්තියෙන් කථිකාචාර්යවරයෙකු ලෙස වුවත් මට වඩා දක්ෂ කථිකයින් රැසක්ම මේ පක්ෂයේ සිටිනවා. ඔවුන් තර්කානුකූලව කරුණු සහිතව මහජනතාවට තම මතය ඉදිරිපත් කළත් ඒ මතයට මේ දක්වා මහජනතාවගෙන් අවශ්‍ය වටිනාකම ලැබිල නැති බව අපිට පිළිගන්න වෙනවා.

මේ රටේ හරවත් දේශපාලනයක් කරන ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු. එවැනි පිරිසක් වැඩිපුර පාර්ලිමේන්තුවේ සිටියා නම්, ජනතාව වෙනුවෙන් කළ හැකිව තිබුණු වැඩකොටස ගැන ඔබට පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. අපිට යුතුකමක් තියෙනවා ඉතිහාසය උගන්වන වගේම ඉතිහාසය ලියන අය හැටියට මේ රටේ සැබෑ ඉතිහාසය නිර්මාණය කරන මිනිසුන් එක්ක එකතුවී ඒ සුවිශාල කාර්යභාරයේ කොටස්කරුවෙකු වෙන්න. ඒක යුතුකමකට වඩා වගකීමක්. හරවත් ශිෂ්ටත්වයක් පිළිබඳව මානව ගරුත්වය පිළිබඳව දේශපාලනය, අපි ගමෙන් පටන්ගත යුතුව තිබෙනවා.

මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාද අදහස් දැක්වීය. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත්, දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත, මධ්‍යම කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස, මධ්‍යම කමිටු සාමාජිකා, සමාජවාදී කාන්තා සංගමයේ ජාතික සංවිධායක, සමන්මලී ගුණසිංහ යන මහත්ම මහත්මින් ඇතුලු පක්ෂ නායකයින් හා සාමාජික සාමාජිකාවන් රැසක්ද පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (4)

මේ ජරාජීර්ණ දේශපාලනය වෙනස් කළ හැක්කේ ජවිපෙට පමණයි

chathuri Monday, 18 December 2017 04:19 PM

මේ දේශපාලන ක්‍රියාව උපන් රටේ කිසිවෙකුට වෙනස් කරන්න බැහැ. මේක පිළිකාවක් වගේ උඩුදුවල තියෙන්නේ. මේ රට වෙනස් කරන්න පුළුවන් සුද්දට විතරයි.

:       0       12

Bamunuarachchi Monday, 18 December 2017 11:23 PM

ගොයියෝ නරක්වෙලා තියේවි ඔය ජාති තුනෙන් මොනරා හම්බ උනත්? වැරදි උපමාවක් ගත්තේ

:       0       151

රාජේශ් ඛන්නා Tuesday, 19 December 2017 04:51 AM

"අපි ඒ විදිහට එදා සිටම රටට ආදර්ශ සපයා තිබෙනවා." ඔව් සපයල තියෙනවා හැබැයි යහපත් ආදර්ශ නම් නොවෙයි -අත්වල මිනිස් ලේ තවරාගත් අයගෙන් මොන යහපත් ආදර්ශ ද? අසරණ කුඩා දරුවන් ඉදිරියේදීම ඔවුන්ගේ පියවරුන් වලපල්ලට යැවූ , තමනට පක්ෂ නොවූ කාන්තාවන්ගේ කටවල් කැපූ හා අමානුෂික ලෙස මරා දැමූ, වෙනත් දේශපාලන පක්ෂවලට සහයෝගය දුන් අයගේ ගෙවල්වල තිබු රත්රන් බලහත්කාරයෙන් කොල්ල කා තම අඹු දරුවන් සැනසූ සැතපු අය ද මේ ආදර්ශයක් ගැන කතා කරන්නෙ. උතුරෙන් කොටි ගහන විටදීම දකුණෙන් කලබල ඇති කර රජයන් කෙසේවෙතත් අසරණ මිනුසුන් දරාගන්න බැරි අපහසුතාවලට පත්කළ අයද දැන් මේ පිරිත් කියන්නේ. ඉන් සිදු වුයේ කොටින් තව තවත් ශක්තිමත් වීමත් සමගින් ම රට වෙනුවෙන් දිවිදුන් හමුදා විරුවන්ගේ ගණන ඉහළ ගිය එකයි . මිනිසුන්ට කළ ඒ අපරාධ වැටුපක් පරිත්‍යාග කරලා කවදාවත් වහගන්න ලැබෙන්නේ නැහැ. ඒක නිකන් අඩිය නැති බේසමකින් පහළ කොටස වසාගෙන ඉන්න තැත්කරනවා වගේ.

:       19       248

Raveendra Tuesday, 19 December 2017 03:07 PM

ඔබ විසින් අතීතය පිලිබදව කරනලද විග්‍රය ඉතාමත්ම නිවැරදිය.මොවුන්ගේ ඉතිහාසය පිලිබදව අවංකව සොයා බැලීමේදී මෙය තමා මේ උන්දලාගේ අතීතය. එය කිසිවකුට නැත යන්න කීමට කොහෙත්ම නොහැක.(71 අපි අමතක කල කියමුකෝ) 88/89 වකවානුවේ ලක්මවගේ ආදරණිය දුදරුවන් කීදෙනෙකු අමු අමුවේ මර දැමුවද ? ඔබගේ අපගේ මහජන දේපොළ මොන තරම් විනාශ කලද ???? කරුණාකර අවංකව හිතන්න .දැන් මේ අය තොත්ත බබාල වගේ කතා කරන එක වැරදිද ??? නිවැරදිද ??

:       0       118

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 58 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1159 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 896 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2299 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2150 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3681 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site