IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


භාෂාව යනු මිනිසුන් එක්කරන පාලමක්

(මඩුකන්ද  සිතුම් චතුරංග යාපනය සිට)

රට වනසන යුද්ධයකට යළි ඉඩ නොතබා සියලු ජාතීන්ට එකට ජීවිත්විය හැකි සාමකාමී සාධාරණ සමාජයක් ගොඩනැගීම තම අරමුණ සහ අපේක්ෂාව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (14) පැවැසීය.

යුද්ධයක් ඇතිවුවහොත් එහි දුක්විඳින්නේ අහිංසක දුප්පත් ජනතාව බවත්, මුදල් තිබෙන පොහොසත් පවුල්වල අය රට හැරදා පළා යන බවත් කී ජනාධිපතිවරයා එම නිසා සෑම වෙලාවකම අප එසවිය යුත්තේ කළුකොඩි නොව සාමය සඳහා සුදු කොඩිය බව ද කීය.

භාෂාව යනු මිනිසුන් වෙන්කිරීමට නොව මිනිසුන් එක්කිරීමට යොදාගන්නා පාලමක් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ යාපනය හින්දු විද්‍යාලයේ පෙරේදා (14) පැවැති ජාතික දෙමළ භාෂා දින සම්මාන ප්‍රදානෝත්සවය හා සංස්කෘතික උළෙල සඳහා එක්වෙමිනි.

සමස්ත ලංකා දෙමළ භාෂා දිනය නිමිත්තෙන් පැවැති තරගාවලියේ ජයග්‍රහණය කළ සිසු සිසුවියන් 350 දෙනකු සඳහා තිළිණ හා සහතික පත්‍ර පිරිනැමීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ.

වැඩසටහනට සමගාමීව රුපියල් මිලියන 600ක මුදලක් වැයකොට ඉදිකළ යාපනය හින්දු විද්‍යාලයේ තාක්ෂණ විද්‍යාගාරය ද විවෘත කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ කීය.

අද යාපනය හින්දු විද්‍යාලයට පැමිණිලා මේ වැදගත් උත්සව සභාවේ ඔබව අමතන්නට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.

අද මම උතුරට පැමිණියේ ප්‍රධාන කරුණු 03ක් මුල් කරගෙනයි. එයින් පළමුවැන්න දෙමළ භාෂා දිනය සැමරීම. ඒ සඳහා ඔබ සියලුදෙනාම දක්වන සහයෝගය මා ඉතාමත් අගය කරනවා.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාටත්, රාජ්‍ය අමාත්‍ය රාධාක්‍රිෂ්ණන් මහතා ඇතුළු සියලු නිලධාරී මහත්ම මහත්මීන්ටත් මේ වැදගත් උත්සව අවස්ථාව සංවිධානය කිරීම පිළිබඳව මා ස්තූතිවන්ත වෙනවා. විශේෂයෙන්ම දෙමළ භාෂා දිනයේදී මේ පවත්වන ජාතික උත්සවයට සහභාගි වීම දෙමළ භාෂාවට වගේම ආදරණීය දෙමළ ජනතාවට කරන ගෞරවයක් වශයෙන් මා සලකනවා.

ඒ වගේම මම සඳහන් කරන්නට ඕනෑ අද උදෙන්ම අපි උතුරට පැමිණිලා මේ යාපනයේදී පටන් ගත්තේ කෘෂිකර්ම වැඩසටහනක්. ඔබ දැක්කා පසුගිය දිනවල අපි මේ රටේ ආහාර නිෂ්පාදනය සඳහා ආහාර නිෂ්පාදන සංග්‍රාමයක් පටන් ගත්තා. දුමින්ද දිසානායක ඇමැතිවරයා අමාත්‍ය ධුරය දරන කෘෂිකර්ම අමාත්‍යාංශයත් අනිකුත් සියලු රාජ්‍ය ආයතනත් මුල් කරගෙනයි මේ ආහාර නිෂ්පාදන සංග්‍රාමය ආරම්භ කළේ. ඔබ දන්නවා පසුගිය මාස කිහිපයේම අපිට පිටරටින් සහල් ගෙන්වන්න සිදු වුණා. රටේ පළාත් 12ක අවුරුදු එකහමාරක් තිස්සේ නියඟයක් තිබෙනවා. ඒ වගේම ඔබ දැක්කා ඇතැම් පළාත් ගංවතුරින් විනාශ වුණා.

මේ නියඟයත් ගංවතුරත් නිසා විශාල වශයෙන් රටේ කෘෂිකර්මාන්තයට පාඩු සිද්ධ වුණා. රටේ සහල් ඇතුළු කෘෂිකාර්මික නිෂ්පාදන සියයට 50ක් පහත වැටුණා. ඒ නිසා තමයි සහල් පිටරටින් ගෙන්වන්න අපිට සිද්ධ වුණේ. මේ නියඟය සහ ගංවතුර අයහපත් කාලගුණය අපේ රටට විතරක් බලපාපු ප්‍රශ්නයක් නොවෙයි. ඔබ දකිනවා මාධ්‍ය තුළ ලෝකයේ සියලුම රටවල්වල කාලගුණික සහ දේශගුණික විපර්යාස නිසා විශාල ව්‍යසනයන් විනාශයන් සිදුවෙනවා. ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රදේශයේ ඇති වූ ගින්න ඇතිවෙලා දින තුනක් වෙනවා.

තවමත් එය නිවන්න බැරි වෙලා තිබෙනවා. ලෝකයේ සෑම රටකම ජනතාව මෙම ස්වාභාවික ව්‍යසනයන්ට මුහුණ දීලා සිටිනවා. ස්වභාවධර්මයාට අභියෝග කරමින් අපි මේ ප්‍රශ්නයට මුහුණ දිය යුතුයි.

අපිට අවශ්‍ය අහාර අපි නිෂ්පාදනය කරගත යුතුයි. උතුරේ ගොවි ජනතාව ඉතාම දක්ෂ ගොවීන් බව මුළු රටම දන්නවා. යාපනයේ ගොවියා පිළිබඳව තිබෙන්නේ කීර්තිමත් ඉතිහාසයක්. යාපනයේ ගොවියා කියලා කියන්නේ ප්‍රශ්න දුෂ්කරතා රාශියක් තිබියදී ඉතාමත් දක්ෂ විදියට කෘෂිකාර්මික නිෂ්පාදනවල නියැළෙන පිරිසක්. අද මේ උතුරේ ගොවි ජනතාවට රජය මගින් කෘෂිකර්මාන්තය දියුණු කරන්න උපකාර රාශියක් සිදුකළා. අවශ්‍ය කෘෂිකාර්මික යන්ත්‍ර බෙදා දුන්නා. අවශ්‍ය පැළ බෙදා දුන්නා. අවශ්‍ය බීජ බෙදා දුන්නා. කෘෂිකර්මාන්තය දියුණු කරන්න අපි ඉදිරියටත් උදව් කරනවා. මේ මේ මුළු රටේම සමස්ත ගොවි ජනතාවට ඒ උදව් අපි කරනවා. අද යාපනයේ ගොවි ජනතාව මුණගැසුණු වෙලාවේ ඔවුන් මගෙන් ඉල්ලීම් කිහිපයක් කළා. එක ඉල්ලීමක් තමයි පිටරටින් අර්තාපල් ගෙන්වන්න එපා, මෙහි නිෂ්පාදනය කරලා, පිටරටින් ගෙන්වන එක නවත්වන්න කියලා.

කෘෂිකර්ම ඇමැති සමඟත් ගොවි සංවිධාන සමඟත් සාකච්ඡා කරලා ඔවුන්ගේ ඉල්ලීම ඉෂ්ට කරන්න පියවර ගන්නවා. ඒ වගේම බැංකුවලට තිබෙන ණය පිළිබඳව ගොවි ජනතාව මගෙන් ඉල්ලීම් කළා. ඒ නිසා රාජ්‍ය හා පෞද්ගලික බැංකු සමඟ සාකච්ඡා කර උතුරේ ගොවි ජනතාව බැංකුවලින් අරගෙන තිබෙන ණය පිළිබඳව ප්‍රශ්නයට අවශ්‍ය සහනදායී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.

එක්දහස් නවසිය හැට ගණන්වල අපි පාසල් යන කාලේ සිංහල පාසල්වල සිංහල පොත්වල තිබුණා යාපනයේ ගොවියා ගැන. ඒ පොත්වල තිබුණේ දුෂ්කරතා රාශියක් මධ්‍යයේ යාපනයේ ගොවියා දක්ෂ ගොවියෙක් විදියට කෘෂිකර්මාන්තය ශක්තිමත් කරන ආකාරය. ඒ නිසා මේ ගොවි ජනතාවට අවශ්‍ය පහසුකම් දීලා මේ රටේ නිෂ්පාදනය වැඩි කරන්න අපි රජයක් විදියට ගත යුතු සෑම පියවරක්ම ගන්නවා.

දෙමළ භාෂා දිනය පිළිබඳවයි අද මේ ප්‍රධාන ජාතික උත්සවය. මේ වැඩසටහනට ඔබ සෑම කෙනෙක්ම දක්වන සහයෝගය මා ඉතාමත්ම අගය කරනවා. දෙමළ භාෂා දිනය වෙනුවෙන් ඔබේ තිබෙන කැපවීම සහ ඒ සඳහා දක්වන සහයෝගය පිළිබඳව විදුහල්පතිතුමාලා සහ ගුරු මහත්ම මහත්මීන් ඇතුළු පාසල් දරුවන්ට මගේ විශේෂ ස්තූතිය පිරිනමනවා. ඒ වගේම මම අද මෙතනට පැමිණිලා හින්දු විද්‍යාලයේ නව තාක්ෂණාගාරය විවෘත කළා. මේ හින්දු විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ රටවල් 14ක සිටින ආදි ශිෂ්‍යයන් අද මේ උත්සවයට පැමිණ සිටිනවා. විශේෂයෙන්ම ආදි ශිෂ්‍යයන්ටත් මම මගේ ස්තූතිය ගෞරවය පිරිනමනවා. මේ හින්දු විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් ලෝකයේ රටවල්වල ඉතාමත් දක්ෂ විදියට විවිධ වෘත්තීන් සහ විවිධ ක්ෂේත්‍රවල කටයුතු කරනවා. ඒක මේ හින්දු විද්‍යාලයට කරන ලොකුම ගෞරවයක්. අපේ රටට කරන ගෞරවයක්. ඒ නිසා අද ඉගෙන ගන්න දරුවොත් ඒ වගේ දක්ෂයින් වෙලා මේ රටේ වගේම ලෝකයේ රටවල්වල ගිහිල්ලා ශ්‍රී ලාංකිකයන් විදියට ඔබේ දක්ෂකම් පෙන්වන්න කියලා මම ඔබට ඉල්ලීමක් කරනවා. අද පාසල් දරුවන්ට තිබෙන්නේ පන්ති කාමරය ඇතුළේ පමණක් තරගයක් නොවෙයි. ඔබට තිබෙන්නේ ඔබ ඉගෙන ගන්න පාසල ඇතුළේ තරගයක් නොවෙයි. ඔබට අද තිබෙන්නේ රට ඇතුළේ පාසල්වල තරගයක් නොවෙයි. අද මුළු ලෝකයම එකට සම්බන්ධ වෙලා තිබෙන්නේ. තොරතුරු තාක්ෂණය සහ අධ්‍යාපනය තුළ තරගකාරීත්වයක් තිබෙන්නේ. ඒ නිසා ඒ නව ලෝකයට ඔබ ඇතුල් වෙන්න ඕනෑ. ඔබ සෑම කෙනෙක්ම ඒ සටනින් ජයග්‍රහණය කරන්න ඕනෑ. ඔබ දක්ෂයන්ගේ දක්ෂයෙක් වෙන්න ඕනෑ. ඔබ විශිෂ්ටයන්ගේ විශිෂ්ටයෙක් වෙන්න ඕනෑ. ඔබ ප්‍රමුඛයන්ගේ ප්‍රමුඛයෙක් වෙන්න ඕනෑ. ඒ නිසා ඔබ සෑම කෙනෙක්ම ඒ තත්ත්වයට පත්වේවා කියලා ඔබ සෑම කෙනකුටම ආශිර්වාද කරනවා.

මේ දෙමළ භාෂාව ගැන මම විශේෂයෙන්ම යමක් කිව යුතුයි. ඔබ අප සෑම කෙනෙක්ම දන්නවා අපි ආසියා මහද්වීපයේ ජීවත් වෙන්නේ. ආසියාකරයේ මධ්‍ය ප්‍රදේශයේ ජීවත් වූ ආර්යයන් ඉන්දියාවේ උතුරු ප්‍රදේශයට එක්තරා යුගයක පැමිණියා. ආසියාවේ මධ්‍යකරයේ ජීවත් වූ ආර්යයන් උතුරේ ඉන්දියාවේ තමන්ගේ වාසස්ථාන ඇති කරගත්තා. ඒ යුගයේ බොහෝ ජනතාව දකුණු ඉන්දියාවට පැමිණියා. දකුණු ඉන්දියාවේ ජනතාවගේ ප්‍රධාන භාෂාව දෙමළ භාෂාව බවට පත් වුණා. දෙමළ භාෂාව සහ සිංහල භාෂාව අවුරුදු දෙදහසකට වඩා පැරණියි. ඔබ සෑම කෙනෙක්ම දන්නවා ඉන්දීය ශ්‍රී ලංකා සබඳතා, මිත්‍රශීලීභාවය අවුරුදු දහස් ගණනාවකට ඇදී යනවා. ආගමික සම්බන්ධතාවයක් තිබෙනවා. සංස්කෘතික සම්බන්ධතාවයක් තිබෙනවා. ඒ වගේම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතරේ කතා කරන භාෂාවන් රාශියක් තිබෙන බව ඔබ දන්නවා.

මුළු ලෝකය වශයෙන් ගත්තොත් භාෂා දහස් ගණනක් තිබෙනවා. ඉන්දීයාවේ භාෂා අටසිය ගණනක් තිබෙනවා. ඒ වගේම ඔබ අප සෑම කෙනකුටම ඉතාමත් හුරුපුරුදු භාෂා ගණනාවක්ම තිබෙනවා. ඉන් එක භාෂාවක් තමයි දෙමළ භාෂාව. ඒ වගේම තවත් භාෂාවක් තමයි සිංහල භාෂාව. ඒ වගේම තවත් භාෂාවක් තමයි පාලි භාෂාව. ඒ වගේම තවත් භාෂාවක් තමයි සංස්කෘත භාෂාව. ඒ වගේම තවත් භාෂාවක් තමයි හින්දි භාෂාව. මේ භාෂා අතරේ වචනවල බොහෝ සමානකම් තිබෙනවා. සිංහල සහ දෙමළ භාෂාවේ තිබෙන වචනවලින් සියයට විස්සක් විතර ඒ භාෂාවල්වල සිංහල සහ දෙමළ භාෂාවලට හුඟක් සමානයි. භාෂාවක් කියන්නේ මිනිස්සු වෙන් කරන එකක් නෙවෙයි. භාෂාව කියන්නේ මිනිස්සු එකතු කරන එකක්. භාෂාව කියන්නේ මිනිස්සු එක ගොඩකට ගන්න එකක්. භාෂාව කියන්නේ මිනිස්සු එකතු කරන පාලමක්. නමුත් සමහර අය හිතනවා භාෂාව හින්දා මිනිස්සු වෙන් කරන්න ඕනෑ කියලා. ඒක සම්පූර්ණයෙන් වැරැදියි. ඒක මිනිස්සුන්ගේ ප්‍රතිපත්තියක් වෙන්න බැහැ. ඒ නිසා භාෂාව තුළ සැමවිටම මිනිස්සුන්ගේ සහෝදරත්වය, මිත්‍රශීලීභාවය ඒ වගේම එක පවුලක් විදියට මුළු මානව සමාජයම ජීවත් වෙන්න ඕනෑ. අපි මේ සෑම භාෂාවකටම ගරු කරන්න ඕනෑ. පුළුවන් නම් සෑම භාෂාවක්ම ඉගෙන ගන්න ඕනෑ. මම ඉතාමත් කනගාටු වෙනවා දෙමළ භාෂාව මට ඉගෙන ගන්න බැරි වීම ගැන. ඒ වගේම තමයි ඔබ සෑම කෙනෙක්ම දන්නවා බෞද්ධ දර්ශනය සහ හින්දු දර්ශනය අතර තිබෙන සම්බන්ධතාව. හින්දු ආගමික දර්ශනය තුළ විශේෂයෙන්ම තිබෙනවා විෂ්ණු දෙවියන් බුදුන් වහන්සේව මවපු කෙනෙක් කියලා. විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් කියලා හින්දු දර්ශනය තුළ සඳහන් වෙනවා. ත්‍රිපිටකය තුළ තිබෙන කරුණුත්, භගවත් ගීතාවත් අපි අධ්‍යයනය කරන්න ඕනෑ. අතීතයේ මේ භාෂා දර්ශන තුළ මිනිස්සු එකතු කළා. එකතු වුණා.

ලංකාවේ ඉතිහාසය පිළිබඳව ඔබ දන්නවා. මේ රටේ අනුරාධපුර යුගය පොළොන්නරු යුගය පිළිබඳව ඔබ දන්නවා. අද මේ යුගය තුළ මේ රටේ ජාතික සංහිඳියාව කතා කරනවා. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව තුළ තිබිය යුතු සහෝදරත්වය සහ මිත්‍රශීලීභාවය ගැන කතා කරනවා. අපි සෑම කෙනෙක්ම එකට සහෝදරත්වයෙන් ජීවත් විය යුතුයි කියන ප්‍රතිපත්තිය පිළි අරගෙන තිබෙනවා. නමුත් ඒකට බාධා කරන අය ඉන්නවා. ඒකට බාධා කරන්නේ මනුස්සයෝ නෙවෙයි. ඒකට බාධා කරන්නේ අමනුස්සයෝ. මනුස්සකම තිබෙන හැම කෙනෙක්ම මේ භාෂාවන් දෙක එක්ක එකතු වෙන්න ඕනෑ. මම ඔබට පොළොන්නරු අනුරාධපුර යුග ගැන කිව්වේ ඇයි කියලා කියන්නම්. මේ රටේ ඉතිහාසයේ ජාතික සංහිඳියාව පිළිබඳව ඓතිහාසිකව වැදගත්ම යුගය තමයි පොළොන්නරු යුගයේ මහා පරාක්‍රමබාහු රජතුමාගේ යුගය. පොළොන්නරුවට ගියාම ඔබ දකිනවා බෞද්ධ පැරණි වෙහෙර විහාරස්ථාන රාශියක් තිබෙනවා. ඒ එකොළොස් වෙනි සහ දොළොස් වෙනි ශතවර්ෂවල. මහා පරාක්‍රමබාහු රජතුමා මේ රටේ අවුරුදු 33ක් රජකම් කෙරුවා.

මුළු රටම ඒකීය රටක් එකම රටක් විදියට තිබුණේ. ඒ පොළොන්නරුවේ තිබෙන සෑම බෞද්ධ විහාරස්ථානයක් එක්කම හින්දු කෝවිලක් තිබෙන බව ඔබ දන්නවා. අදත් ඔබට ගියොත් බලන්න පුළුවන් බෞද්ධ විහාරස්ථානයක් ළඟ හින්දු කෝවිලක් තිබෙනවා. සිංහල රජවරු බොහෝ දෙනෙක් විශේෂයෙන් දකුණු ඉන්දියාව සමඟ විවාහ ඇති කරගත්තා. ඒ වගේම සිංහල රජ පවුල්වල සිංහල කාන්තාවන් ඉන්දියාවේ කුමාරවරු විවාහ කරගත්තා. ඔබ දන්නවා අපේ රට පරාක්‍රමබාහු රජුගේ යුගයේදී මියන්මාරයේ කොටසක් අල්ලාගෙන තිබුණා. ඒ අල්ලා ගන්න හේතුව වුණේ මේ විවාහ අතරේ වුණු ප්‍රශ්නයක්. පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේදී බෞද්ධයන් ඉතාමත් ගෞරව කරන බුදුන්වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂා කරන්න ඉන්දියාවෙන් අරගෙන ආපු වේලක්කාර හමුදාව යොදවලා තිබුණා. වේලක්කාර හමුදාව තමයි ඒ යුගයේදී දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂා කළේ.

දැනට දවස් තුනකට කලින් පුරාවිද්‍යා කොමසාරිස්වරයාත් ගෙන්වලා මේ රටේ පුරාවස්තු පිළිබඳව අපේ සාකච්ඡාවක් තිබුණා. මේ රටේ තිබෙන පුරාවස්තු ගැන කතා කළා. පුරාවිද්‍යා කොමසාරිස්තුමා දැන් දවස් තුනකට කලින් ඉතා වැදගත් වාර්තාවක් මට දුන්නා. ඒ වාර්තාවේ සඳහන් කරන්නේ හින්දු ජනතාව ජීවත් වන මේ රටේ ප්‍රදේශවල දෙමළ ජනතාව ජීවත්වන ප්‍රදේශවල බෞද්ධ වෙහෙර විහාරස්ථාන පූජනීය ස්ථානවලට කිසිම හිරිහැරයක් කරන්නේ නැහැයි කියලා. මේ රටේ අද අපි දන්නවා පන්සල්, පල්ලි, කෝවිල්, හදන්න ගියාම ප්‍රශ්න තිබෙනවා. නමුත් පන්සලක් තිබෙන තැන තියෙන්න ඕනෑ සාමය. හින්දු කෝවිලක් තියෙන තැන තිබෙන්න ඕනෑ සාමය. මුස්ලිම් පල්ලියක් තිබෙන තැන තියෙන්න ඕනෑ සාමය. ඇයි මේ පූජනීය ස්ථාන නිසා අපි අරගල කරන්නේ. සටන් කරන්නේ. රණ්ඩු ඇති කරගන්නේ. මේ සෑම ආගමික දර්ශනයකම කියන්නේ සමගිය, සාමය සහෝදරත්වය පිළිබඳව. මේ දෙමළ භාෂා දිනයේදී මේ සියලු දේවල් පිළිබඳව අපි කල්පනා කරන්න ඕනෑ.

මේ රටේ අද තිබෙන ප්‍රශ්නවලදී එක් ප්‍රශ්නයක් තමයි භාෂාව ඉගෙන ගැනීම පිළිබඳව තිබෙන ප්‍රශ්නය. ජනාධිපති වෙලා මාස කිහිපයකට පස්සේ යාපනයේ ආපු කිහිප අවස්ථාවකදීම මම පාසල් දරුවන් හම්බ වුණා. මම ඒ දරුවන්ගෙන් ඇහුවා ඔබට මොනවද කියන්න තිබෙන ප්‍රශ්න කියලා. ඒ අවස්ථාවේ ඉස්සෙල්ලම ඒ අය ඉදිරිපත් කළ ප්‍රශ්නය තමයි අපිට සිංහල ඉගෙන ගන්න ගුරුවරු නැහැ කියලා. ඒ වගේම මේ රටේ දකුණේ සිංහල දරුවෝ කියනවා ඒ අයට දෙමළ ඉගෙන ගන්න ගුරුවරු නැහැ කියලා. ඉතින් මේකට හේතුව තමයි දෙපිරිසටම අවශ්‍ය පුහුණු ගුරුවරු නැති එක. අධ්‍යාපන අමාත්‍යාංශයත් ජාතික ඒකාබද්ධ අමාත්‍යාංශයත් මේ වනවිට ඒ අඩුව සම්පූර්ණ කරන්න මේ භාෂාවන් උගන්වන ගුරුවරු පුහුණු කරගෙන යනවා. දෙමළ භාෂාව ශ්‍රේෂ්ඨ භාෂාවක්.

මහා භාරතයේ ඓතිහාසික තොරතුරු, සාහිත්‍ය කලාව, ශාස්ත්‍රීය දියුණුව ගැන අතීතයේ සිටම පළවුණු පොත්වලින් වැඩි ප්‍රමාණයක් දෙමළ භාෂාවෙන් පළවුණු පොත් තිබෙන්නේ. ඒ නිසා අපි සෑම කෙනෙක්ම මේ භාෂාවන් අධ්‍යයනය කළ යුතුයි.

මේ භාෂා තරගවලදී ජයග්‍රහණ කළ දරුවන්ට මා සුබ පතනවා. සිංහල, දමිළ, මුස්ලිම් භේදයක් නැතිව සියලු දරුවන්ට එක හා සමානව සලකන ප්‍රතිපත්තියක් අපේ රටේ තිබෙන්නේ. මීට කලින් සෑම රජයක්ම වෙන් කළ මුදල්වලට වඩා වැඩි මුදලක් අපි අධ්‍යාපනය වෙනුවෙන් පසුගිය අවුරුද්දේ වෙන් කළා. ලබන අවුරුද්දෙත් අපි වෙන් කරනවා. “ළඟම පාසල හොඳම පාසල” කරන වැඩසටහන අපි රට වශයෙන් ක්‍රියාත්මක කරනවා. මේ රටේ පාසල් දසදහස් එකසිය හතළිහක් තිබෙනවා. ඒ වගේම මේ රටේ දෙලක්ෂ හතළිස් දාහක් විතර ගුරු මහත්ම මහත්මීන් ඉන්නවා. මේ රටේ අධ්‍යාපනය ලබන පාසල් දරුවෝ ලක්ෂ හතළිස් දෙකක් පමණ ඉන්නවා. ඒ සෑම දරුවකුගේම අනාගතය අපි ආණ්ඩුවක් විදියට භාර ගන්නවා. එයින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ සෑම දරුවෙක්ම දැනුමෙන් ඉහළ දරුවෙක් කරන එක. රටක් ගොඩනැගෙන්න අවශ්‍ය ප්‍රධාන දේ තමයි උගත්කම සහ අධ්‍යාපනය. ඒ නිසා මේ දරුවන්ගෙන් උගතුන් පිරි සමාජයක් අපි ගොඩනගනවා. එවිට තමයි ඔවුන්ට ලෝකය ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසයි මම කිව්වේ පන්ති කාමරයේ නෙමෙයි ඔබට සටන තිබෙන්නේ ජාත්‍යන්තර සමාජයත් සමඟ කියලා. ඒ සඳහා අපේ සෑම දරුවෙක්ම හෙට දවස වෙනුවෙන් අපේ ආණ්ඩුව සූදානම් කරනවා.

මම අද යාපනයට එන විට යාපනය ප්‍රදේශයේ යම් යම් ප්‍රශ්න ඊයේ සිදුවී තිබුණා. යම් යම් උද්ඝෝෂණ සහ විරෝධතා තිබුණා. මම දීර්ඝකාලීන අත්දැකීම් තිබෙන දේශපාලනඥයකු විදියට උද්ඝෝෂණ, විරෝධතා, උපවාස, පෙළපාළි හොඳට හඳුනනවා. ඒවා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ලක්ෂණ. මාව ජනාධිපති ධුරයට තමුන්නාසේලා පත් කරගත්තා. මේ රටේ ජනතාව හැට දෙලක්ෂ පනස් දාහකට ආසන්න ඡන්ද සංඛ්‍යාවක් පාවිච්චි කරලයි මාව ජනාධිපති කළේ. ඒ ජයග්‍රහණය ලබා දුන්නේ මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න. එයින් ප්‍රධාන දෙයක් තමයි ජාතික සංහිඳියාව ශක්තිමත් කිරීම සහ ජාතීන් අතර සමගිය ගොඩනැගීම. අනිත් කාරණය තමයි රටේ ආර්ථිකය ගොඩනැගීම සහ දුප්පත්කම තුරන් කිරීම.

2017 අවුරුද්ද අපි නම් කළේ, දුගී බවින් නිදහස් වීමේ වර්ෂය විදියට. 2018 අවුරුද්ද නම් කරලා තිබෙන්නේ දේශීය ආහාර නිෂ්පාදන වර්ෂය විදියට. මේ උද්ඝෝෂණ, විරෝධතා කරන සියලුදෙනාට මම ආරාධනා කරනවා මාත් සමඟ ඕනෑම ප්‍රශ්නයක් විසඳගන්න සාකච්ඡා කරන්න එන්න කියලා. මම මේ උත්සවයට එනවිට මේ පාසලට එහා පැත්තේ කළු කොඩි උස්සගෙන සුළු පිරිසක් සිටියා. ඒ අය කළු කොඩිය ඔසවලා හයියෙන් කෑගැහුවා. මම හිත්නනේ කළු කොඩි ඔසවලා කෑගැසුවේ මට විරෝධය පළ කරන්න වෙන්න ඇති. ඒ නිසා මම ඒ අය ළඟට ගියා. මම ඒ අයගෙන් ඇහුවා ඇයි මේ කළු කොඩි දාගෙන කෑ ගහන්නෙ කියලා. ඒ අයගේ ප්‍රශ්න මට ඉදිරිපත් කළා. මම කිව්වා ඒ ප්‍රශ්න විසඳන්න මා සමඟ සාකච්ඡාවකට එන්න කියලා. ඒ අය කියනවා සාකච්ඡා බැහැ. ඒ අයගේ ඉල්ලීම දෙන්න කියලා. නමුත් සෑම ප්‍රශ්නයක්ම විසඳගන්න ඒ අදාළ පාර්ශ්ව එක්ක එකට වාඩිවෙලා සාකච්ඡා කරන්න ඕනෑ. උතුරේ වේවා, දකුණේ වේවා, නැගෙනහිර, බටහිර වේවා, ඕනෑම කෙනකුට ප්‍රශ්න තිබෙනවා නම් ඒ ඕන දෙයක් මාත් එක්ක වාඩිවෙලා සාකච්ඡා කරන්න මා ආරාධනා කරනවා. එතකොට මේ ප්‍රශ්න විසඳගන්න අපට පුළුවන්.

අපි ගැටුම් ඇති කරගන්න හොඳ නෑ. ප්‍රචණ්ඩත්වයට තල්ලු වෙන්න හොඳ නෑ. අපි සියලු දෙනාට අවුරුදු 30ක යුද්ධයක අත්දැකීම් තිබෙනවා. මේ රටේ නැවත කිසිම ආකාරයකින් යුද්ධයක් ඇති වෙන්න දෙන්න බැහැ. යුද්ධයක් ඇති වුණාම දුක් විඳින්නේ අහිංසක දුප්පත් ජනතාව. සල්ලි තිබෙන පෝසත් පවුල්වල අය රට හැරදාලා යනවා. අහිංසක දුප්පත් ජනතාව තමයි ඒකෙන් පීඩාවට පත් වෙන්නේ. ඒ සිංහල ද දෙමළ ද මුස්ලිම් ද කියලා ප්‍රශ්නයක් නැහැ. යුද්ධයෙන් ඒ හැම කෙනෙක්ම මැරුණා. ඒ සෑම කෙනකුගේම නායකයන් මැරුණා. ඒකෙන් වුණු බරපතළ අලාභහානි ඔබ අප සෑම කෙනෙක්ම දන්නවා. ඒ නිසා සෑමවෙලේම කළු කොඩි නෙවෙයි සාමය සඳහා අවශ්‍ය සුදු කොඩි සමගිනුයි සාමය ගොඩනගන්න ඕනෑ.

යම් යම් විරෝධතා කරලා යම් යම් උද්ඝෝෂණ කරලා මාව දුර්වල කළොත් එහෙම ශක්තිමත් වෙන්නේ කවුද කියලා දන්නව ද? සියලු ජාතීන්ගේ සමගිය සහ සහෝදරත්වය ගොඩනගන්නයි මම තමුන්නාන්සේලා වෙනුවෙන් මේ වගකීම භාර අරගෙන තිබෙන්නේ. සියලු දෙනා අතරේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, තරහා නැති කරන්නයි මම මේ වගකීම ඉෂ්ට කරන්න භාර ගත්තේ. හැම දරුවකුටම හැම මිනිසකුටම එක සමාන සාධාරණ සමාජයක ජීවත් වෙන්නයි මම මගේ රජය යටතේ කටයුතු කරන්නේ. මාව දුර්වල කළොත් ශක්තිමත් වෙන්නේ යක්ෂයා කියන එක අමතක කරන්න එපා.

මම ඔබ සියලුදෙනාගේම අනාගතයට සුබ පතනවා. ආශිර්වාද කරනවා. මේ වේදිකාවෙදි දරුවෝ ඉතාමත් ලස්සන නාට්‍ය ඉදිරිපත් කළා. ඒ දරුවන්ට සහ ඒ දරුවෝ පුහුණු කළ ගුරු මහත්ම මහත්මීන්ට මම විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා. මම අපේ ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතාට කියනවා ඒ දරුවෝ ඉදිරියේ තිබෙන උත්සවවලට කොළඹට අරගෙන එන්න මම අවශ්‍ය පහසුකම් සලසනවා කියලා. ඒ දක්ෂ දරුවන්ගේ දක්ෂකම් දකුණේ ජනතාවත් දකින්න ඕනෑ. සාහිත්‍යය කියන්නේ මිනිස්සු එකතු කරන විෂයක්.

දෙමළ භාෂා දිනය උත්සවශ්‍රීයෙන් පැවැත්වීම පිළිබඳව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා මෙතන නැතත් එතුමාටත්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රාධාක්‍රිෂ්ණන් මහතාටත් විශේෂ ස්තූතිය පිරිනමනවා. මේ සියලු මැති ඇමැතිවරු, රාජ්‍ය නිලධාරී මහත්ම මහත්මීන්, මවුපියන්, දරුවන් සෑම කෙනකුටම මගේ ගෞරවණීය ස්තූතිය පුද කරනවා. ඒ වගේම මෙහිදී විශාල කැපවීමකින් කටයුතු කරන පොලීසියටත්, ත්‍රිවිධ හමුදාවටත් මගේ විශේෂ ස්තූතිය පිරිනමනවා. මේ දරුවන්ගේ අනාගත ලෝකය සමෘද්ධිමත් කරන්න අපි සියලුදෙනාම එකට එකතු වෙලා කටයුතු කරමු කියලා අවසාන වශයෙන් ඔබෙන් ඉල්ලා සිටිනවා.”
 
අධ්‍යාපන රාජ්‍ය ඇමැති වී. රාධාක්‍රිෂ්ණන්, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් යන මහත්වරුන් හා බස්නාහිර හා සබරගමුව ආණ්ඩුකාරවරුන්, හින්දු විද්‍යාලයේ විදුහල්පති අයි. දයානන්ද රාජා මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු ද ගුරුවරුන් හා සිසුහු පිරිසක් ද සහභාගි වී සිටියහ.

 



අදහස් (3)

භාෂාව යනු මිනිසුන් එක්කරන පාලමක්

sathyayaa Wednesday, 25 October 2017 12:59 AM

බයිලාව සිංහලෙන් කිව්වත් දෙමලෙන් කිව්වත් බයිලාවක්ම තමයි. මිනිස්සු ඔය වගේ බයිලා අහන්නේ අහන්න වෙන බයිලා නැති නිසා. භාෂාව හරහා සංහිඳියාව ඇතිවෙනවා කියල කියන්නේ දේශපාලනයේ වැඩ බැරි ටාසන් ලා. කැනඩාවේ ඉංග්‍රීසි කතා කරන හා ප්‍රංශ කතා කරන අය අනිකාගේ භාෂාව ඉගෙන ගන්න දඟලන කාලයේ තමන් දන්නා භාෂාවෙන් වැඩ කරලා රටේ ආර්තිකය ඉහළටම ඔසවල තිබ්බහම කවුරුත් භාෂා පාලම් ගැන කතා කරන්නේ නැහැ. මෝඩ මිනිස්සු දේශපාලනයට රිංගුවහම ප්‍රශ්න වලට පිළිතුරු හොයන්නේ නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටය හොයපු විධියට.

:       0       2

bamunuarachchi Wednesday, 01 November 2017 05:42 AM

සාධාරණ සමාජයක් ගොඩනැගීමට නම් දෙමළ ජාතිකයන්ට ශ්‍රී ලාංකිකයින් ලෙස ජීවත් වෙන්න කියන්න. 12% ඉන්න දෙමළ ජාතිකයන් රටින් 2/5 ඉල්ලන කොට කොහොම 75% සිංහලයා බලාගෙන ඉන්නේ.

:       0       0

bamunuarachchi Tuesday, 07 November 2017 09:41 AM

"භාෂාව යනු මිනිසුන් එක්කරන පාලමක්" ඉතින් ඔබට අනික් බසාවල් බැහැ සිංහලත් බැහැ එකනේ කියන්නේ. ඉතින් කොහොමද ජාතීන් එකතු කොරන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 167 2

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1180 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 951 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2318 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2164 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3691 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site