IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පුළුල් වැඩපිළිවෙළකට ගොස් බලය ගන්න අප සූදානම්

(මැදිරිගිරිය චාපා මධුභාෂිණි සහ පොලොන්නරුව ක.ග කරුණාරත්න)

එක්සත් ජාතික පක්ෂයටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත්  මේරට ගොඩ නගන්න බැරි බව පැහැදිලියි. ඒ නිසාම මේ රටේ නව දේශපාලන පරිවර්තනයක් කරන්න පුළුවන්.

අද රට කඩාවැටීම නව ගමනකට හොඳ පෙරනිමිත්තක් බැවින් පුළුල් වැඩ පිළිවෙලකට අවතීර්ණ වී බලය අත්පත් කර ගන්න අපි සූදානම් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පොලොන්නරුවේදී පෙරේදා (19) පැවැසීය.  

දිසානායක මහතා මේ අදහස් පළකළේ පොලොන්නරුව බුද්ධි මණ්ඩපයේ පැවැති දිරිය පුරවැසි සමිති දිසා සමුළුවට එක් වෙමිනි.

ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, ජනතා විමුක්ති පෙරමුණේ පොලොන්නරුව දිස්ත්‍රික් නායක සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ලේකම් ටී.බී. සරත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් ප්‍රියන්ත බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීවේය.

මහා පරිමාණ වංචා දූෂණ ගැන කතා කරනවා. පිටුපස තියෙන ඇත්ත දේශපාලනය මොකක්ද රටේ සිදුවන්නේ අපේ රට කවර අනතුරකද තියෙන්නේ. මේ අනතුරෙන් මුදාගන්න මොකක්ද කරන් ඕනෑ කියලා අවශ්‍ය ප්‍රමාණයට සංකච්ඡා වෙමින් තියෙනවා. ටෙලි නාට්‍යයක දිනපතා විකාශය වෙන කොටසක් වගේ අපේ රටේ ජනතාවට දේශපාලනය දර්ශනය වෙනවා. විසඳුමක් සොයාගත හැක්කේ අප මුහුණ දී සිටින ගැටලු ගැන හොඳ අවබෝධයක් ගත්තොත් විතරයි. ජනවාරි අට වෙනිදා මේ ආණ්ඩුව බලයට පත් කරන්න කටයුතු කළ ජනතාවගෙන් බහුතරයක් මෙන්ම සාමාන්‍ය පුරවැසියන් සාකච්ඡා කරන්නේ මේ ආණ්ඩුව වට්ටන්න ඕන බවයි.

ජනතාවට සාධාරණයක් ඇති කර දෙන්න බැරි වේච්ච ආණ්ඩුවක් අධ්‍යාපනය මුදලට පමණක් දෙන්න හදන ආණ්ඩුවක, අපේ රටේ ස්‍යෙඛ්‍ය සේවා පවත්වා ගෙන යන්න බැරි ආණ්ඩුවක් වංචාව දූෂණය නාස්තිය ගහණ වෙච්ච ආණ්ඩුවක් හොරු අපරාධකාරයෝ රකින ආණ්ඩුවක් රටේ දේපළ විකුණමින් යන ආණ්ඩුවක් වට්ටන්න ඕනෑ. මේක වට්ටන්න කවුරුත් එකඟයි.

මෛත්‍රී - රනිල් ආණ්ඩුව මේ රට හදයි කියා ඔබ හිතනවාද? මේ ආණ්ඩුව අපේ රට හදයි කියලා කවුරුවත් කියන එකක් නැහැ. එළහරකයි මී හරකයි නඟුලේ බැඳලා හානවා වගේ ලංකා ඉතිහාසයේ හැදුණු දුබලතම මේ ආණ්ඩුව වට්ටන්න පුලුවනි. ලංකාවේ පළමුවැනි වතාවට ආණ්ඩුව ඇතුළේම ඇමැතිවරයකුට විශ්වාසභංගයක් ගැන කතා වෙනවා. ආණ්ඩුවේ ප්‍රතිපත්ති කියවෙන තැන තමයි ඇමති මණ්ඩල තීරණ දැනුම් දෙන සාකච්ඡාව. ඒක අද විසුළු ජන අවස්ථාවක් බවට පත් වෙලා. හරියට විනෝද සමය වගෙයි.

එකකට එකක් සම්බනධ නැහැ. පෑහෙන්නේ නැහැ. මේක වට්ටලා මොනවගේ ආණ්ඩුවක්ද හදන්නේ මොන ප්‍රතිපත්තියද ගේන්නේ. වසර හැත්තෑවක් ජනතාව ආණ්ඩු හැදුවා. කැඩුවා. මොන වගේ ආණ්ඩුවක්ද ඕනෑ කියන එක දැන් අපි අතේ තියෙන ප්‍රශ්නයයි. රටක ස්ථාවර භාවය රඳාපවතින්නේ ආර්ථික තත්ත්වය මතයි. රටක වැදගත්ම සාධකය ආර්ථිකයයි. අපි කොච්චර ණයද කියලා දන්නේ නැහැ කියලා මේ රටේ අගමැතිවරයා කියනවා. ආසන්න වශයෙන් බිලියන දසදහස් පන්සියයක් ණයයි කියා එතුමා කිව්වා. මේ ණයවලට මොකද කළේ කියා මේ පාලකයන් කියන්න ඕනෑ. අසූපහෙන් පස්සෙ මේ පාලනය කරලා  ජීවතුන් අතර ඉන්න පාලකයෝ චන්ද්‍රිකා, මහින්ද, රනිල්, මෛත්‍රී මේ අයට අභියෝගයක් කරනවා. මේ ණය තියෙන්නේ කොහේද කියා පෙන්වා දීපල්ලා.

හම්බන්තොට වරායට ගියේ කෝටි දහතුන් දහසයි. මත්තලට කෝටි තුන් දාස් පන්සීයයි.

අධිවේගී මාර්ගයට, නොරොච්චෝලේ බලාගාරයට ගිය මේවා එකතුකලාම ණය අරගෙන තියෙන්නේ කෝටි හතලිස් දාහයි. අනිත්වා පෙන්නන්න මේ අයට බැහැ. ඒවා තමයි සජින් වාස්ගේ ගොඩ ගැහිලා තියෙන්නේ. මේ ණයවල සල්ලිවලින් තමයි මහා මන්දිර හැදුවේ. ගුවන් යානා තියාගෙන ඉන්නේ. මහින්ද රාජපක්ෂගේ කාලයේ.

මල්වානේ ගෙවල්, මාතර මන්දිර, ඒව ගත්තෙත් කුඹුරු කොටලා නෙවෙයි. මේ ණයවලිනුයි. ශීරන්තිට, යෝෂිතට රටපුර ඉඩම් විසිගණනක් ගන්න සල්ලි ලැබුණේ මේ ණයවලින් තමයි. රවි ට ලක්ෂ දාහතර හමාරක් දීලා කුලියට ඉන්න ලැබුණේ මේ ණයවලින්. ලක්ෂ 1650ක් දීලා ගෙයක් ගත්තෙ මේ ණයවලින්. මේ ණය ඒ ඒ අයගේ ගෙවල්වල ගොඩගැහිලා තියෙනවා.

අපේ රටත් නූපන් දරු පරම්පරාවත් මහා ණය උගුලක හිර කරළා. ගෙවල්වල එක් රැස් කරගත්තා. මේ ණය අර්බුදය සරල නැහැ. රවි කරුණානායක පොතක් ගහලා තියෙනවා. ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. එහි තියෙනවා. ලංකාවේ 2009 ඉඳන් අවුරුදු තුනක් භාණ්ඩාගාරයට ලැබුණු මුළු මුදල් ප්‍රමාණය ඒ වසරේ ණය පොලී වාරිකය ගෙවන්න මදි. 2009 රජයේ ආදායම බිලියන 700 යි. ණය පොලී වාරිකය බිලියන 826 යි. දිගටම එහෙමයි. අනෙක් වසරවල හොඳ නැහැ. චුට්ටක් ඉතුරු වුනා.

මේ පාලකයෝ රට හිඟන බංකොලොත් රටක් බවට පත් කළා.

ඩොලරයේ අගය රුපියල් 155 දක්වා ඉහළ ගියා.  අපනයන ආදායම 200 ඉඳලා මේ වෙනකොට හරි අඩකින් කඩා වැටිලා. පාලකයා කරන්න ඕනෑ ණය කන්දක් ගොඩගහන එකද? අපනයනය කඩා වට්ටන එකද? පොළොව ඉඹගත්තාට, සාටකයක් දා ගත්තාට දේශප්‍රේමීන් කියලා පපුවට ගහ ගත්තාට පාලකයෙක් වෙන්නේ නැහැ. මේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කළොත් පාලකයෙක් වෙනවා. රනිල්, චන්ද්‍රිකා, මෛත්‍රීලා මොකද කරලා තියෙන්නේ. රට ආර්ථික  වශයෙන් ප්‍රපාතයකට ඇද දැමීමයි. ආර්ථික අර්බුදයක් නිර්මාණය කිරීමයි.

පාසලෙන් දෙන අධ්‍යාපනය කෙරෙහි විශ්වාසය බිඳවැටිලා. අද පළවෙනි පන්තියේ සිට දරුවා පන්ති යනවා.

පාසලේ අධ්‍යාපනය අද කඩාවැටිලා ඉවරයි. රටේ ඉස්කෝල 10052ක් තියෙනවා. ළමයින් පනහට වඩා අඩු ඉස්කෝල 1452ක් තියෙනවා. පාසල්වලින් සියයට 14 ක් ළමයි පනහට වඩා අඩුයි. ළමයි සීයට වඩා අඩු ඉස්කෝල තුන් දාහක් තියෙනවා. නිවාසාන්තර තරගයක් තියන්න බැහැ.   පාසල් 5139 ක හරි අඩකින් ළමයි 200 වඩා අඩුයි. ළමයින්ට ගමේ පාසල ගැන විශ්වාසය බිඳවැටිලා. ගුරුවරු එක්කෙනා ඉන්න පාසල් 27 යි.

දෙන්නා ඉන්න ඒවා 108 යි.  පාසල් 3148 ක් ගුරුවරු ඉන්නේ නව දෙනාට අඩුවෙන්. පන්තියේ ළමයි හයයි හතයි. මේවා ඉස්කෝලද?

අපේ රටේ වාහනවලට ප්‍රමිතියක් තියෙනවාද. ඔක්කොම තියෙන්නේ පංචිකාවත්තේ කඩන්න ඕන වාහනයි. ලොරියක හරක්  පටවාගෙන යන්න ප්‍රමිතියක් තියෙනවා. හැබැයි දරුවෝ පටවන්න නීතියක් තියෙනවාද? අද අධ්‍යාපනය තීරණය වන්නේ සල්ලි මතයි. සල්ලි නැතිව අද ඉගෙන ගන්න බැහැ. මේක ඛේදවාචකයක් නෙවෙයිද? මව්පියන්ට මෙන්ම දරුවන්ට බරක් වෙලා.  අද දරුවන්ට කරන්නේ මහ අපරාධයක්. ලෝකේ මෙහෙම තියෙන්නේ කොහෙද? මේ මහන්සි වෙන හැටියට අසූවෙන් මැරිලා යන්න බැහැ. තුන්සීයක්වත් ඉන්න ඕනෑ.

අපි හදමු ආණ්ඩුවක්. දරුවෝ දරුවෝ ලෙස හදන රටක් හදමු. මස් ලේ විතරක් නොවෙයි. හදවතක් තියෙන දරුවෝ හදමු.

අද පාලකයන්ට හදවතක් තියෙන දරුවෝ ලජ්ජාවක්, බයක් තියෙන මිනිස්සු ඕනැ නැහැ.  පරීක්ෂණයකට සීඅයිඩීයට ගෙන්වන කොට  ජාතියේ මව කියලා කෑගහනවා. මම හොයන්නේ මොන ජාතියේද කියලයි. මේ අයට ඕන වහල්ලු වගේ මිනිස්සුයි. හිතන පතන අය නොවෙයි.

සෞඛ්‍යයටත් මහ ඛේදවාචයක් කරලා. අලුත් වාර්තාව අනුව දවසකට හෘදයාබාධවලින් 26 ක් මිය යනවා. පිළිකාවෙන් 13 දෙනෙක් මිය යනවා. 2016 හඳුනා ගත් වකුගඩු රෝගීන්ගෙන් 300 මැරිලා. දවසකට වකුගඩු රෝගීන් නව දෙනෙක් හමුවෙනවා. මේ ජාතිය සුවපත්ද? ආහාර ප්‍රමිතිය ගැන හොයනවාද? ඒ නිසා ලෙඩ රාශියක් නිර්මාණය කරලා.  කොරියාව, වියට්නාමය  7 ක් වෙන් කරනවා. තායිලත්නය අටයි දශම පහයි විදියට රටවල්  වෙන් කරද්දී අපේ රටේ වෙන් කරන්නේ එකයි දශම එකයි.

මේ කර තියෙන විනාශය නිසා මේ පාලකයන් පලවා හරින්න ඕනැමයි. මේ පාලකයන් ඔබ විශ්වාස කරනවාද? ඔවුන්ට මේ රට ගොඩ ගන්න පුළුවන් කියා හිතනවාද?

මේ ආණ්ඩුව කළේ මොකක්ද දැක්කොත් විකුණනවා. කරලා තියෙන්නේ විකිණීම විතරයි. වෙන කිසිම ප්‍රතිපත්තියක් කරගෙන යන්න මේ ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. දැන් මේ පාලනය වෙනස් කිරීමේ දිසාවකට රට ගෙන යන්න ඕනෑ. අතිශය වැදගත් දේශපාලන තීරණයක් අරගෙන අපි ආණ්ඩුවක් හදමු. ජනතා විමුක්ති පෙරමුණේ අපි ජනතාවට ලැබෙන දෙයකට වඩා වැඩි දෙයක් නොලැබෙන බවට සහතික වෙනවා.
 
එහෙම පාලනයක් හදන්න පුලුවන් වෙන්නේ එක්සත් ජාතික පාක්ෂිකයා ශ්‍රී ලංකා නිදහස් පාකෂිකයා වෙනස් වුණොත් විතරයි. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාගේ අරමුණ හොඳයි. වැරදි කරපන්, නාස්ති කරපන්, හොරු අල්ලන්න එපා කියලා, පරිසරය විනාශ කරපන් කියා, අපේ රටේ දේපළ විකුණපන් කියා,  කතිරේ ගහනවාද?

නැහැ. ඔවුන්ගේ අරමුණ යහපත්, හොඳයි. එක්සත් ජාතික පකෂයට කතිරේ ගහන පාක්ෂිකයාගේ හොරකම් කරපන්, දේපළ විකුණපන්, නීතිය කඩපන්, අපරාධ වැඩි කරපන්, ආරථිකය වට්ටපන් කියලා කතිරේ ගහනනේ නැහැ. ඒ අය කතිරේ ගහන්නේ රට හදපන් කියලයි. ඒ නිසා මේ දෙගොල්ලන්ගේම අරමුණු හොඳයි. හැබැයි නායකයන්ගේ අරමුණු ගැන විශ්වාසයක් නැහැ. මේ පාක්ෂිකයා කතිරේ ගහන්නේ රටට සෙතක්, ශාන්තියක් පතලයි. හැබැයි කතිරේ අරන් බලයට එන පාලකයා තමයි මේ විනාශය කරන්නේ.  තමන් අපේක්ෂා කරන අරමුණ මේ අය ඉස්ට කරලා නැහැ. ඒ නිසා අපි කියන්නේ ඔබේ අරමුණ ඉටුකරන එකම දේශපාලන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ බවයි. එය ඉටුකරන්න අපි සූදානම්.

අපි සියලු දෙනා මුහුණ දීලා තියෙන්නේ එකම ප්‍රශ්නයට.  ඒ නිසා පොදු ජනතාව හැටියට අපි සියලු දෙනා එකතුවී මේ ප්‍රශ්නයෙන් මිදෙන්න මුහුණ දෙමු. තනි තනියෙන් සටන කරලා දිනන්න බැහැ. අපි සියලු දෙනා සමගි වී පක්ෂ සියල්ල එක තැනකට ගොනු කර 2020 ආණ්ඩු පෙරළියේදී අපි ලෑස්තියි බලය ගන්න කියා හොඳ වැඩ පිළිවෙළක් හදන්න ඕනෑ.  පළාත් පාලන ඡන්දය මේ වසර අග හෝ ලබන වසර මුල එනවා. කොට්ඨාස මත පදනම්වූ ඡන්ද ක්‍රමයක් එනවා. එය හොඳයි. එය ගම්මට්ටමින් උපයෝගී කරගෙන වසර එක හමාරක කාලය තුළ ජනතා පෙරමුණක් ගොනු කර රට ගොඩනගන වැඩ පිළිවෙළ ක්‍රියාවට නංවමු.

බලය ගන්න හැටි බලය හසුරුවන අය  බලය ක්‍රියාවට නංවන හැටි කියාදී  මුලු රටේ සියලු බලවේග එකට එකතු කරන මධ්‍යස්ථානයක් ගොඩනගන්න ඕනෑ. බලය ගන්න සූදානම් කියන පනිවුඩයත් එක්ක 2020 මැතිවරණයට අපි සූදානම් වෙන්න ඕනෑ.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේ කීය.

දැන් මොකද වෙන්නේ කියලා හැම කෙනෙක්ම අහනවා. මෙතන ඉන්න හැම කෙනෙක්ගේම ප්‍රශ්නයත් ඕකම වෙන්න ඇති කියලා මම හිතනවා. මේ මොකද වෙන්න යන්නේ කියන ඒ ප්‍රශ්නය ඇතුළේ ප්‍රශ්න සීයක් තියෙනවා. බඩු මිලට මොකද වෙන්නේ රටේ  අර්බුදයට මොකද වෙන්නේ. වරායට මොකද වෙන්නේ. සයිටම් එකට මොකද වෙන්නේ. උමා ඔයට මොකද වෙන්නේ. ගොවීන්ගේ ප්‍රශ්නවලට මොකද වෙන්නේ. වගා වන්දිවලට මොකද වෙන්නේ. සමෘද්ධියට මොකද වෙන්නේ. උපාධිධාරීන්ට මොකද වෙන්නේ. හොරුන්ට මොකද වෙන්නේ.  ආණ්ඩුවට මොකද වෙන්නේ. ව්‍යවස්ථාවට, ඡන්දයට මොකද වෙන්නේ.  මේ ආදී ප්‍රශ්න ගොඩක එකතුවක් ගැනයි ජනතාව අහන්නේ. ඇයි ජනතාවට එහෙම අහන්න සිද්ධ වුණේ. ඒකට එක හේතුවක් තියෙනවා. මේ රටේ ජනතාවගෙන් බහුතරයක් දෙනා මේ පවතින හවුල් ආණ්ඩුවට මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ යහපාලනය යැයි කියා ගන්නා ආණ්ඩුවට ජන වරම දෙනකොට බලාපොරොත්තු වූ ගොඩාක් දේවල් තියෙනවා. ඒ ගොඩක් දේවල් අද බිඳ වැටෙමින් තිබෙනවා.

ඒ බොහෝ දේවල් අද මේ ආණ්ඩුවට ඉෂ්ට කරන්න බැරි වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ පොරොන්දු වූ දේවල් ඉෂ්ට කරන්නේ මොන ආණ්ඩුවෙන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. අද මේ රටේ ජනතාව නව දේශපාලන නායකත්වයක් නව බලාපොරොත්තුවක් දෑස් දල්වමින් ඉන්නවා. මේ රටේ ජනතාවට සැබෑ නායකත්වයක් අවශ්‍ය වෙලා තියෙනවා. යහපාලන ආණ්ඩුවෙන් හොරුන්ට දඬුවම් දෙයි කියලා ජනතාව බලාපොරොත්තු වුණා. මේ ඔබේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති අපේක්ෂකයා ලෙස කියා සිටියේ ගුවන් තොටුපළ වහලා හරි හොරු අල්ලනවා කීවා. ගුවන් තොටුපල තාම ඇරලයි තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි හොරුන්ගේ හොරකම් හොයන්න ඊට ජනතාවට පැමිණිලි කරන්න තිබුණු ආයතනය වූ දූෂණ මර්දන ලේකම් කාර්යාලය වසා දැම්මා. ඇයි අද අජිත් පී. පෙරේරාට ආණ්ඩුවේ ඇමැතිවරුන්ට කියන්න සිද්ධ වෙලා තියෙන්නේ අපේ ආණ්ඩුව හොරු ඇල්ලුවෙත් නෑ අල්ලන්නත් බෑ හොරු ඇල්ලුවෙත් නෑ කියලා. ආණ්ඩුවේ ඇමැතිවරුම කියනවා අපිට හොරු අල්ලන්නත් බෑ හොරු ඇල්ලුවෙත් නෑ හොරු අල්ලන්නෙත් නෑ කියලා. හේතුව වෙන කිසිවක්ම නෙවෙයි අද මේ ආණ්ඩුව ඇතුළේ ඉන්න හොරුන්ගෙන් භාගයක්ම පසුගිය රාජපක්ෂ ආණ්ඩුවේ සිටිය හොරු ටික. ඒ විතරක් නෙවෙයි මේ ආණ්ඩුව රාජපක්ෂ පාලන සමයේ හොරකම් කළ රාජපක්ෂ එක්කත් ඉන්න හොරු සමග ගනුදෙනු කරනවා. හොරු අල්ලනවැයි කියන ගමන් ආණ්ඩුවේම ඇමතිවරු ඩිලාන් පෙරේරලා අනෙක් පැත්තෙන් කියන්නේ මොකක්ද? හොරු අල්ලනවා කියන ගමන්ම ආණ්ඩුව හොරුන්ට ආරාධනා කරලා අපිත් එක්ක අත්වැල් බැඳගන්න කියනවා. එහෙම වෙලා තියෙන්නේ හොරු රකින නිසයි.

රාජපක්ෂ ආණ්ඩුවේ ඉඳලා මේ ආණ්ඩුවට හැංගුණ හොරු ඉන්නවා. රාජපක්ෂ ආණ්ඩු කාලේ හොරකම් කරලා මේ ආණ්ඩුවට පගාව දීලා හැංගුණ හොරුත් මේ අතර ඉන්නවා. ඒ නිසා මේ ආණ්ඩුව හොරු අල්ලන්නේ නෑ.

ආණ්ඩුවට හොරු අල්ලන්න බෑ. ඒ නිසා තමයි රවී කරුණානායකට අද එක බිල්ලක් බවට පත්වෙන්න වෙලා තියෙන්නෙ. ආණ්ඩුව හොරුන්ගෙන් පත් කරලා හොරුන්ගේ ආණ්ඩුවක් හදලා හොරකම් නතර කරන එක ගැන බලාපොරොත්තු වෙන්න එපා කියලා මම කියනවා. ඒ වෙනුවට ආණ්ඩුව හොරු නැති ආණ්ඩුවක් හදන්න ඕනේ. කොහොමද හොරු නැති ආණ්ඩුවක් හදන්නේ? ජනතාව හිතේ අමාරුවට ආණ්ඩුවට බනිනවා. ආණ්ඩුවට බැණ බැණ ඉඳලා හරියන්නේ නෑ. අවසානයේදී බනින උන්ටම ඡන්දෙ දෙන්න වෙන යථාර්ථයක් තියෙනවා. තමන්ගේ දරුවට රැකියාවක් ගන්න ඕනේ නිසා, සමෘද්ධිය හදා ගන්න උවමනා නිසා, පිං පඩිය හදා ගන්න ඕන නිසා, නිවාස ණයක් ගන්න ඕනෙ නිසා ඒ ජනතාව අසරණ වෙනවා.

දැන් මේ ආණ්ඩුව මැතිවරණයක් ළන් වෙනකොට ජනතාව රවට්ටන ක්‍රියාදාමයක නිරත වෙනවා. ආණ්ඩුවට සල්ලි නෑ කියලා වරාය විකුණනවා. රාජ්‍ය දේපළ වෙන්දේසි කරනවා. එහෙම කරන ආණ්ඩුව හිටි හැටියේම බදු අඩු කරන්න පටන් අරන් තියෙනවා. බදු අඩු කරන එක හොඳයි හැබැයි මේ සූදානම් වෙන්නේ මොකටද?

ජනතාවට ආදරයටද මෙහෙම කරන්නේ? නෑ එහෙනම් කලින් අඩු කරන්න තිබුණා. සමෘද්ධිය කපා හරින ආණ්ඩුව ජ්‍යෙෂ්ඨ පුරවැසියාගේ පිං පඩියෙන් රුපියල් 100 හිඟා කන ආණ්ඩුව, පොහොර වන්දිය නොදෙන ආණ්ඩුව, වගාවන්දිය නොදෙන ආණ්ඩුව ජල හිඟයට උත්තර නොදෙන ආණ්ඩුව ඇයි මේ හදිසියේ වාහනවල ටැක්ස් එක අඩු කරන්න හිතුවේ? ඡන්දය ළඟ ළඟ එන බව දැනෙන නිසා මේ දේවල් කරනවා. ජනතාව ඉදිරියට යන්න වෙන නිසයි මෙහෙම කරන්නේ. රැවටෙන්න එපා කියලා අපි ඒ ජනතාවට කියා සිටිනවා.  අවු 70 ආසන්න කාලයක් රැවැට්ටුවා ඇති. මේ දේශපාලන සංස්කෘතිය පරාජයට පත් කළ  යුතුයි.



අදහස් (11)

පුළුල් වැඩපිළිවෙළකට ගොස් බලය ගන්න අප සූදානම්

sachith Monday, 21 August 2017 07:24 AM

අපේ ජනතාව තවම ඉන්නේ වහල් මානසිකත්වයක. මේ ප්‍රධාන පක්ෂ 2 ට බෙදිලා ඉන්නවා මිසක් කවදාවත් එතැනින් එහා දෙයක් හිතන්නේ නෑ... කවදාකවත් තමන්ගේ මුල් බහාගත් පක්ෂේ කෙනෙක් කරන වැරැද්දක් දකින්නේ නෑ. ජනතාවගේ ආකල්ප වෙනස් නොවෙනකම් සක්කරයා ඇතුළු දිව්‍යලොකෙන් කට්ටිය ඇවිත් ඡන්දෙ ඉල්ලුවත් පරාදයි.

:       5       55

siva Monday, 21 August 2017 08:01 AM

පුළුල් වැඩ කොහොම වුණත් අහිංසක දෙමව්පියන්ගේ කොල්ලෝ කෙල්ලෝ අාපහු අමාරුවේ දාන්න වගේ හදන්නේ... 1971 සහ 1989 වගේ අහිංසක ළමයින්ව බිල්ලට දෙන්න එපා..

:       198       168

sachithMonday, 21 August 2017 11:07 AM

71, 89 වගේ ඈත අතීතය ඔබතුමාට මතකද? මේ පහුගිය අවුරුදු 5දී මේ පක්ෂ දෙකේ කට්ටිය සාමයෙන් සමගියෙන් මේ රටේ සම්පත් සූරාගෙන කාපු හැටි මතකද? මේ පාලකයන්ට ඕනෑ අපේ ළමයින්ට ගාමන්ට් වල රැකියාව කරන්න විතරයි. එතනින් එහා කිසිම කාර්මික කර්මාන්තයක් මේ රටට ගෙනත් තියෙනවද?

:       38       74

nimal Monday, 21 August 2017 10:16 AM

නිකන් බොරුවට හීන දකිමින් ඉන්නේ..

:       138       120

chamara Monday, 21 August 2017 01:46 PM

හද්ද පරණ සමාජවාදය අර වෙන වැඩ පිළිවෙලක් කවදාවත් මේ ගොල්ලොන්ට තිබුනෙත් නැ ඉස්සරහට තියෙන්නෙත් නැ. විපක්ෂේ ඉන්නකම් විකුණා කන්න හොදම සටන සමාජවාදය.

:       103       354

theshan Monday, 21 August 2017 03:38 PM

මේ රටේ 71,89 අවධියේ දේවල් මතක පුද්ගලයන් ඉන්න තුරු, මේ ගොල්ලන්ට බලය හම්බ වෙන්නේ නැහැ.

:       155       526

minipe Monday, 21 August 2017 04:44 PM

තමන් දරන ප්‍රතිපත්ති හා අදහස් අනිකුන්ගේ අදහස් හා ප්‍රතිපත්ති වලට උතුම් යයි බලහත්කාරයෙන් අපේ මනසට ඇතුල් කිරීමට ගත් ප්‍රචණ්ඩකාරී ප්‍රයත්නයන් මතක ඇති මහජනයා, මේ පක්ෂයට කවරදාවත් රට කරන්න බලය ලබා නොදෙනවා ඇත. ප්‍රධාන පක්ෂ දෙකම රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කර නැති බව රහසක් නොව. එහෙත් එම පක්ෂ, අහිංසක ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවදී අයිතිවාසිකම් බලහත්කාරයෙන් උදුරගැනිමේ ප්‍රයත්නයක යෙදී නැත

:       9       12

Bandara Tuesday, 22 August 2017 12:43 AM

ජවිපෙ මහතුනේ, ඔබලා සෙට් එකම දැන් විශ්‍රාම යන වයස් වලට ලං වෙලා ඔබට වසර 50 යි, අනිත් උදවියට ඊටත් වැඩියි. කිසිම අත්දැකීමත් නැති ඒවා ගන්න කාලයක් නැති ඔබලා ආවොත් කට්ටිය අන්ඳයි අපූරුවට ඒ නිසා දැන් තියෙන්නේ ආණ්ඩුවට එකතුවී ඇමතිකම් අරගන රටට වැඩක් කරලා ඔබලත් යන තැනකට වැඩක් කරගන්න එක. හොදට මතක තියාගන්න පොඩි ළමයකු පවා කියාවි ඊලග චන්දයේදී ඔබලා ට නැවත වෙන්න වෙන දේ ගැන.

:       98       91

Senarath Tuesday, 22 August 2017 03:32 AM

මෙයාලට බලය දීල මොනවා කරන්නද ? දැනට අවුරැදු කියක් පාර්ලිමේන්තුව නියෝජනය කලාද ? එක අලුත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න පුළුවන් උනාද ? නැහැ . එය කල හැක්කේ ප්‍රායෝගික මිනිසුන්ට විතරයි. ඇතුලත් මුදලි මහතා මහපොළ හරහා කරපු සේවය , අදටත් විශ්වවිද්‍යාල සිසුන්ට එකෙන් මොනතරම් යහපතක් වෙනවද . ප්‍රේමදාස මහතාත් ප්‍රයෝගික නායකයෙක් . ඔහුගේ යම් අඩුපාඩු තිබුනට. පසුගිය රජයත් කරපු ප්‍රායෝගික දේවල් නිසා තමයි යුද්ධේ ඉවර උනේ, රටේ ආහාර හිගයක් ඇති නොඋනේ සහ හොද මාර්ග පද්ධතියක් බිහිඋනේ. JVP එක හොදයි කරන දේවල් විවේචනය කරන්න, හොරකම් රටට එළිකරන්න. එත් දැන් ඔවුනුත් ඒ හොරුන් එක්ක එකතුවෙලාද කියන සැකයක් අපිට තියෙනවා.

:       44       70

Kamal Tuesday, 22 August 2017 03:36 AM

මුනුත් හොරු උනුත් හොරු රටට තියෙන එකම විකල්පයක ජවිපේ පමණයි

:       511       174

wasanjaya Friday, 25 August 2017 07:50 PM

දවල් හීන... බලය ගන්න සුදානම් උනාට බහුතරයේ මනාප ඔහෙලට නැහැ

:       23       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 22 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1154 1

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 885 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2298 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2149 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3678 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1411 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site