ජාතික ඵලදායිතා සම්මාන උළෙලේ රාජ්‍ය අංශයේ අන්තර් අමාත්‍යාංශ කාණ්ඩ යටතේ පළමු ස්ථානය ජයග්‍රහණය කළ ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් එයට අදාළ සම්මානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  අතින් ලබාගත් අයුරු. රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු පිරිස මෙහි වෙති.
(ඡායාරූප: ඉෂාන් සංජීව)

 

(නිමල කොඩිතුවක්කු)
“රට දියුණු කිරීම සඳහා පෞද්ගලික සහ  රාජ්‍ය අංශයේ  තරගකාරීත්වය, නිෂ්පාදන ශක්තිය සහ ඵලදායිතාව වැඩි කළ යුතුව ඇතැයි” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය.


“වත්මන් රජය පෞද්ගලික හා රාජ්‍ය අංශයේ දියුණුව වෙනුවෙන් මෙවර අයවැයෙන්ද වැඩි මුදලක් වෙන්කළ බවද” අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. 


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති “ජාතික ඵලදායිතා සම්මාන-2018” ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස එක්වෙමිණි.


රාජ්‍ය, පෞද්ගලික, සේවා සහ අධ්‍යාපනික යන අංශ ඉලක්ක කරමින් මෙවර ජාතික ඵලදායිතා සම්මාන උළෙල පැවැත්විණි.


  සම්මාන උළෙලේ නිෂ්පාදන අංශයේ මධ්‍ය පරිමාණ කාණ්ඩයේ තුන්වැනි ස්ථානය විජය පුවත්පත් සමාගමේ හෝකන්දර මුද්‍රණ පරිශ්‍රයට හිමි විය.


බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ජාතික ඵලදායිතා සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.


“මීට වසර 72කට පෙර ආසියාවේ ප්‍රධානතම රටක් ලෙස ශ්‍රී ලංකාව සැලකුවා. අප පාසල් යන අවදියේත්, ශ්‍රී ලංකාවට ආසියාවේ ප්‍රමුඛ ස්ථානය හිමිව තිබුණා. ඒ අවදියේ අපේ රටේ තිබූ පරිපාලන සේවය, රාජ්‍ය සේවය, විදේශ  සේවය ආසියාවේ අනෙක් රටවල්වලට ආදර්ශය වූ බව කිව යුතුයි.

ජාතික ඵලදායිතා සම්මාන උළෙලේ රාජ්‍ය අංශයේ ක්ෂුද්‍ර පරිමාණ අංශයේ පළමු ස්ථානය ජයග්‍රහණය කළ බණ්ඩාරවෙල රජයේ පශු වෛද්‍ය කාර්යාලයේ නිලධාරීන් එයට අදාළ සම්මානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  අතින් ලබාගත් අයුරු.


 නමුත් අද වනවිට ආසියාවේ රටවල්  ගණනාවක් අපට වඩා ඉදිරියට ගොස් තිබෙනවා. ඒ රටවල්වල රාජ්‍ය අංශයත්, පුද්ගලික අංශයත් විශාල වශයෙන් සංවර්ධනය වෙලා.


අද වනවිට අප්‍රිකාවේ වැවිලි කර්මාන්ත ශ්‍රී ලංකාවට වඩා සංවර්ධනීය මට්ටමකට පැමිණ තිබෙනවා. අනෙක් රටවල් කෘෂි කර්මාන්ත, කර්මාන්ත සහ සේවා අංශ වලින් ශ්‍රී ලංකාව අභිබවා ගිහිල්ලා. ඊට ප්‍රධාන හේතුව ලෙස මා දකින්නේ ඒ රටවල්වල ඵලදායිතා අපට වඩා ශීඝ්‍රයෙන් ඉදිරියට ගොස් තිබීමයි. 


ඒ රටවල්වල පුද්ගලික අංශය වේවා රාජ්‍ය අංශය වේවා ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ තරග කරමින් ඉදිරියට යාමට කටයුතු කරනවා. නමුත් අතීතයේ මේ රටවල්වල පරිපාලන සේවය පවා තිබුණේ නැහැ. වියට්නාමය, ප්‍රංශයේ යටත් විජිතයක්ව පැවැති සමයේ පවා නිසි පරිපාලන සේවය තිබුණේ නැහැ.


නමුත් අද වනවිට ඒ සෑම රටක්ම ඵලදායිතාවයට විශේෂ අවධානය යොමු කරමින් ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ  අනුව අපේ රටේත් පුද්ගලික සහ රාජ්‍ය අංශවල නිෂ්පාදනය, තරගකාරීත්වය සහ ඵලදායිතාවය වැඩි කළ යුතුයි. ඒ අංශ දියුණු නොකරන්නේ නම් අපේ රටක් ලෙස  ඉදිරියට  යා නොහැකියි.


එසේ නම් අපේ පළමු තරගය විය යුත්තේ අප අතර අපව දියුණු කිරීමයි. එවිට අපට ජාත්‍යන්තරය ජය ගත හැකියි.


රාජ්‍ය සහ පෞද්ගලික  අංශයෙන් ඵලදායිතාව වර්ධනය කිරීමට සැලසුම් සකස් කර තිබෙනවා. ආසියාව තුළ  ඉදිරියෙන් සිටි කාලයේ අපට පිටුපසින් සිටි රටවල් අප පසු කරමින් ඉදිරියට ගිය ආකාරය සැලකිල්ලට ගනිමින් කටයුතු කළ යුතුයි. අපේ පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ ඇතැම් ක්‍ෂේත්‍ර අද ඉදිරියට ගොස් තිබෙනවා. නමුත් සමස්තය ලෙස සියලු  අංශ තවමත් ඒ දියුණුවට ළඟාවී නැහැ.


 එම නිසා රාජ්‍ය සේවයේ ඵලදායිතාව දියුණු කිරීමට ඇති කර තිබෙන ඵලදායිතා ලේකම් කාර්යාලයෙන් වන සේවය අගය කළ යුතුයි. ශ්‍රී ලංකාවේ සෑම පළාතකම, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ඵලදායිතාවය දියුණු කිරීමට මෙවැනි වැඩසටහන් හරහා හැකි වෙනවා. අපට අවශ්‍ය ඒ  දියුණුව ඇති කර ගැනීමයි. අපට රට ලෙස ඉදිරියට යා හැක්කේ ඒ දියුණුව ඇති කර ගන්නවා නම් පමණයි. 


එම කටයුතු ඉටු කරන අතරම රටේ සංවර්ධනය වෙනුවෙන් කළ යුතු තවත් කාරණා ගණනාවක් තිබෙනවා. වර්තමානයේ ආයෝජන අංශය පිළිබඳව අවධානය යොමුකළ විට ආයෝජකයින්ට තම ව්‍යාපාර සඳහා අවසර ගැනීමේ දී දිගු කාලයක් ගතවීම ඇතුළු ගැටලු රැසකට මුහුණපෑමට වනවා. නමුත් තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව වැනි රටවල්වල ආයෝජකයින්ට අවශ්‍ය අනුමැතිය මාසයක පමණ කාලය තුළ දී ලැබෙනවා. 


වර්තමානයේ අපේ රටේ බිම් මට්ටමේ ආයතනවල තත්ත්වය සතුටුදායක මට්ටමක තිබෙනවා. එදාට වඩා විශාල සේවය අද ජනතාවට ඒ ආයතන තුළින් ලැබෙනවා. ඒ නිසා ඵලදායිතා ඇගයීමේ වැඩසටහන තවත් ශක්තිමත් කළ යුතුයි. ඵලදායිතාවය, නිෂ්පාදනය දියුණු කිරීමට මෙවැනි තරග අවශ්‍යයි. ඵලදායිතාවය තරගවලට පමණක් සීමා කළ යුතු නැහැ.


 රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට අවස්ථා 02කදී අප කටයුතු කළේ ඵලදායිතාවය වර්ධනය කර ගැනීමේ අරමුණ ඇතිවයි. රජය ලෙස අප පළමුවෙන් ඊට අවධානය යොමුකළා. රජයේ සේවය ඩිජිටල්කරණයට ලක්කිරීමට අවශ්‍ය පියවර ගත්තා.


බිම් මට්ටමේ ඇතැම් කාර්යාල මේ වනවිට ඉතා හොඳින් ඩිජිටල්කරණයට ලක්වී තිබෙනවා. බිම් මට්ටමේ කාර්යාල ඒ තත්ත්වයට ලඟා වුණත් අපේ විශාල දෙපාර්තමේන්තු තවමත් ඉලක්කය සපුරා ගෙන නැති බවත් පැවසිය යුතුයි.


 බණ්ඩාරවෙල පශූ වෛද්‍ය කාර්යාලයට, කිළිනොච්චි දිස්ත්‍රික් කාර්යාලයට හැකි නම් අනෙක් විශාල ආයතනවලට මෙය කිරීමට නොහැකි ඇයි. අප ඉදිරියට යා යුතුයි.  මේ වැඩ කටයුතු කඩිනම් කළ යුතුයි.


 ඒ වගේම අපේ රටේ තිබෙන ප්‍රවාහන අපහසුතා විසඳීමටත් කටයුතු කළ යුතුයි. ප්‍රවාහන සේවය දියුණු කිරීමට මාර්ග පද්ධතිය දියුණු කිරීමට කටයුතු කරනවා.


කොළඹ වටා ඇති මාර්ග පද්ධතිය දියුණු කිරීම වෙනුවෙන් විශාල පරිශ්‍රමය දරමින් සිටිනවා. 2021 වනවිට මාර්ග පද්ධතියේ අයිතිය ජනතාවට දීමට අප කටයුතු කරනවා.


 මෙවැනි වැඩසටහන් රාශිය කරමින් ඉදිරියට යා යුතුයි. විශේෂයෙන් රාජ්‍ය සේවයේ ඵලදායිතාවය පිළිබඳව සෑහීමකට පත් නොවී එය තවදුරටත් වර්ධනය කළ යුතුයි.


 ඵලදායීතා වර්ධන වැඩසටහන බාරගෙන තිබෙන රංජිත් මද්දුමබණ්ඩාර අමාත්‍යතුමාටත් ඒ වගේම වැඩසටහන යටතේ ජයග්‍රහණය ගත් මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත් මා ස්තුතිවන්ත වෙනවා. රංජිත් මද්දුමබණ්ඩාර අමාත්‍යතුමා රාජ්‍ය සේවය දියුණු කිරීමට විශාල උත්සාහයක් ගන්නවා. 


මීට පෙර  රජයක් විසින් රාජ්‍ය සේවයට බිම් මට්ටමේ ආයතනවලට වෙන් නොකරන ලද ප්‍රමාණයේ විශාල මුදල මෙවර අයවැයෙන් මා වෙන් කළා. ගම්පෙරළිය, ග්‍රාම ශක්ති, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා, මං මාවත්, නිවාස ඉදිකිරීම ආදී විශාල වැඩ කොටස අද බිම් මට්ටමේ කෙරෙමින් තිබෙනවා. රජයේ සියලු ආයතන  සම්බන්ධ කර ගනිමින් විහාල වැඩ කොටස අප දැන් ක්‍රියාත්මක කරලා.


 රටට ලැබෙන ආයෝජන වැඩිකිරීමට හා රටේ නිෂ්පාදන අපනයනය වැඩි කිරීමටත් අප කටයුතු කරනවා.  බිම් මට්ටම දියුණු කිරීම, ගෝලීය වෙළෙඳපොළට පිවිසීම යන කටයුතු දෙකම සාර්ථකව ඉටුකර ගැනීම අපේ පරිපාපලන සේවයේ ප්‍රධන අරමුණයි.


 අපේ පරිපාලන සේවය යටත් විජිත සමයේ ලෝක ප්‍රසිද්ධය ලැබුවා. එකල ලංකාවේ සිවිල් සේවකයෙකු වූ ලෙනාඞ් වුල්ෆ් පිළිබඳව එංගලන්තයේ පළවූ ලිපිය මට පසුගියදා කියවන්න ලැබුණා.

එතුමා පරිපාලනයට වගේම සාහිත්‍යයටත් දක්‍ෂතා දැක්වූ නිලධාරියෙකු වූවා. එවැනි නිලධාරීන් අපේ රාජ්‍ය සේවයේ දැනටත් සිටිනවා. ඒ දක්‍ෂතාවයන්ගෙන් ප්‍රයෝජන ගත යුතුයි.  ඒ ආකාරයට අප ඉදිරියට යනවා නම් ඉදිරි ගමන නතර කිරීමට කිසිවෙකුට නොහැකි බව කිව යුතු යැයි ද රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවැසීය. 


එහිදී අදහස් දැක්වූ කථානායක කරු ජයසූරිය මහතා:-
   “රජය වශයෙන් ඵළදායිතාවය වැඩිකිරීමට පියවර ගැනීම ඉතා වැදගත් වෙනවා. රටේ දියුණුව රඳා පවතින්නේ  ගන්නා ඵලදායිතාවය මතයි. 


දියුණු ධනවත් රටවල් අද ඒ තත්වයට පත්ව සිටින්නේ ඔවුන් ලබා ගන්නා ඵලදායිතාවය මතයි. ඒ නිසා අපේ රට දියුණු කිරීමේදීත් ඉහළ ඵළදායිතාවයක් අත් කර ගත යුතුයි.


අපේ ඵලදායිතාවය ඉහළ දැමීමේදී ගමනාගමනයත් විශාල ගැටලුව බවට පත්ව තිබෙනවා. රථ වාහන තදබදය, ප්‍රමාදය, ප්‍රමාණවත් වාහන පහසුකම් නැතිවීම මෙයට බලපානවා.


අනික් පැත්තෙන් මාර්ග අවහිර කරමින් විරෝධතා පවත්වනවා. විරෝධතා අනිත් අයගේ කාර්යවලට බාධාව වෙන එක හොද නැහැ. 


රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා:-
“අපේ රට නිදහස ලබා වසර 71 ක් වෙනවා. ඒ කාලය තුළ කලාපයේ රටවල් අප පහුකරගෙන ගොස් තිබෙනවා. ඵලදායිතාවය නැති වීම මෙයට හේතුවයි.


ජපානය සහ සිංගප්පූරුව වගේ රටවල් අද ඔය තත්වයට දියුණු වෙලා තිබෙන්නේ ඵලදායිතාවය ක්‍රියාවට නැංවූ නිසයි. 


ඵලදායිතා සම්මාන උළෙලෙන් රාජ්‍ය, පෞද්ගලික, සේවා සහ අධ්‍යාපනික යන අංශ හතරම ඇගයීමට ලක් කළා. මේ අංශ හතර දියුණු කිරීමෙන් රට දියුණු කළ හැකියි” යයිද අමාත්‍යවරයා එහිදී පැවැසිය.


මේ අවස්ථාව සඳහා අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල, පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද් කුමාර්, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් එක් වූහ.