විනීතා එම් ගමගේ


ආණ්ඩුවෙන් ඉවත් වූ ඇමeතිවරු 16 දෙනාගේ ඒකායන අරමුණ තවමත් ආණ්ඩුවේ තනතුරු දරණ පිරිස ද ආණ්ඩුවෙන් එළියට ගැනීම යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා  ප‍්‍රකාශ කළේය.


ඒ  පිරිස එළියට ආ වහාම නව අගමැති කෙනෙක් හා කැබිනට් මණ්ඩලයක් පත් කරන්නට ජනාධිපතිවරයාට සිදුවෙන බැවින් තම අරගලය එතැනදී බොහෝ දුරට ජයගනු ඇතැයි ද හෙතෙම කියා සිටියේය.


එහි ප‍්‍රධාන පියවර ලෙස ඒ පිළිබඳ යෝජනාව මධ්‍යම  කාරක සභාව තුළ ජයග‍්‍රහණය කර ඔවුන් එළියට ගත යුතුව ඇතැයි ද පෙරේරා මහතා කීය. 


එළියේ සිට එය කළ හැකි යැයි සමහරු සිතන නමුත් ඒක කරන්න එය අසීරු කටයුත්තකැයි කී ඒ මහතා එසේ  නොගතහොත් මාධ්‍යවලින් තමන් පවසන දේශපාලන වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කරන්නට බැරිව යනු ඇතැයි ද මන්ත‍්‍රීවරයා කීය.    


කෙසේ වෙතත් පක්ෂයේ ලේකම් අයින් කරගත් බැවින් අරගලය සියයට 50 ක් දිනුම් බවත් දැනට අරගල කරන්නේ ඊළඟ මධ්‍යම කාරක සභාවේ දී තම යෝජනාව සභා සම්මත කරගන්නට බවත් පෙරේරා මහතා පැවැසීය. 


ඩිලාන් පෙරේරා මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කළේ පාර්ලිමේන්තුවේ දී අද (20) පැවැති මාධ්‍ය හමුවකදීය. 


ආණ්ඩුවෙන් මෑතක ඉවත් වූ ශ්‍රීලනිප 16 දෙනාගෙන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.