(සුජිත් හේවාජූලිගේ)

 

ඒකාබද්ධ විපක්ෂයේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා අසනීප වූයේ කිරි පැකට් පානය කිරීම නිසා නොව ජනබලයට පැමිණි සෙනඟ දැකීමෙන් යැයි  කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා පැවැසීය.

තරු පහේ හෝටල්වලින් කන බොන ඩලස් මන්ත්‍රීවරයා පාරේ ඉඳගෙන කිරි පැකට් පානය කරනු ඇතැයි සිතිය නොහැකි බව ද ඔහු කීවේය.

කිරි පැකට් සිද්ධිය ගැන අද රටේ ලොකු ආන්දෝලනයක් ඇති වී තිබෙන හෙයින් මේ සඳහා විවාදයකට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආරාධනා කරන බව කී රහුමාන් මහතා මේ ගැන පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීම ද වැදගත් බව ප්‍රකාශ කළේය.

ඒකාබද්ධ විපක්ෂය පැවැත්වූ ජනබලය විරෝධතා ව්‍යාපාරය අතරතුරදී කිසියම් පිරිසක් විසින් බෙදාහරින ලද කිරි පැකට්ටුවක් පානය කිරීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ද දින තුනක් රෝගාතුර වී ඇතැයි ඔහු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මුජුබර් රහුමාන් මහතා මෙසේ පැවසීය.