(අංජුල මහික වීරරත්න හා ගයාන් සූරියආරච්චි)

 ශ්‍රී ලංකාවේ අනාගතය සැකසෙන්නේ නවෝත්පාදන සහ පර්යේෂණ මත යැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹදී පැවසීය.

”අතීත රජ දවස ඉදි කෙරුණු මහා දාගැබ්, වැව් අමුණුවල ඉංජිනේරු ක‍්‍රියාදාමයන් ලෝකය පුදුම කරන බව කී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතීතයේ ශක්තිමත් පදනම මත සිට නවෝද්පාදන සහ පර්යේෂණ මූලික කරගත් ශක්තිමත් හෙට දවසක් බිහි කිරීම යහපාලන රජයේ දැක්ම බවද ප‍්‍රකාශ කළේය. 

ආග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එසේ පැවසුවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු අංශය සිවුවැනි වරටත් සංවිධානය කළ විදුලි හා විද්‍යුත් පර්යේෂණ සමුළුවේ ප‍්‍රධාන ආරාධිත ලෙස සහභාගී වෙමිනි.
බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හිදී සමුළුව පැවැත්විණි.

පර්යේෂණ සහ නව්‍යකරණ ජාතික දියුණුවට මඟ තේමාවෙන් පැවැත්වුණු සමුළුවේ ප‍්‍රධාන අරමුණු වී පැවතියේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු අංශයේ උපාධි අපේක්ෂක විද්‍යුත් හා පශ්චාත් උපාධි අපේක්ෂකයන්ගේ නව පර්යේෂණ ව්‍යාපෘති ඉදිරිපත් කිරීමත් ඒ තුළින් ජාතික සංවර්ධනයට නව මංපෙත් පාදා දීමත්ය.

විදුලි හා විද්‍යුත් ඉංජිනේරු අංශයේ සෑම අංශයක්ම අදාළ පර්යේෂණ හා නව්‍යකරණ ව්‍යාපෘති 40කට අධික ප‍්‍රමාණයක් ඉදිරිපත් කර තිබිණි.
මෙහිදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සිසු සිසුවියන්ගේ නවෝත්පාදන නැරඹීමටද සහභාගී විය. 
සමුළුවේදී තව දුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ ද කීවේය.

”පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමඟ මගේ පවතින සම්බන්ධතාව කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ මගේ සීයාගේ කාලයේ සිට පැවතෙන්නක් වනවා.

විශේෂ ගෘහ නිර්මාණ ශිල්පයෙන් ඉදි වූ මේ විශ්වවිද්‍යාලය ඉතා අලංකාරයි. එහෙත් නීතිය හැදෑරීමට තීරණය කළ නිසා මට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට නොහැකි වුණා. නීති පීඨය කොළඹ විශ්වවිද්‍යාලයට ගෙන යනු ලැබූ නිසා මට කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයකු වීමේ අවස්ථාව ලැබුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් කොළඹ විශ්වවිද්‍යාලයට ගෙන ආ එකම පීඨය නීති පීඨයයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය නව්‍යකරණය කිරීම සඳහා වන යෝජනාවක් උප කුලපතිවරයා විසින් මට දුන්නා. එහි වෛද්‍ය විද්‍යාව, ජීව විද්‍යාව, තොරතුරු තාක්ෂණය, ගණිතය, කෘෂිකර්ම සහ කලා ක්ෂේත‍්‍රය තුළ යෝජනා ඇතුළත් වෙනවා. සමාජ විද්‍යාව පිළිබඳව එහි ඇතුළත් නොකළේ ඇයි දැයි මා දන්නේ නැහැ.

යෝජනාව ඉදිරිපත් කිරීමේ ඔබේ කොටස කර තිබෙනවා. මා රජය පැත්තෙන් ඔබට මුදල් දෙන්නම්. ඉතිරිය පෞද්ගලික අංශයෙන් ගනිමු. අප දෙපිරිසම එක්ව පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් උපාධිධාරීන් බිහිකරමු. එය ගැටලූවක් වන එකක් නැහැ. එය වානිජමය නවෝත්පාදන නිෂ්පාදනයක් වනු ඇත.

රටේ අනාගතය රඳා පවතින්නේ නවෝත්පාදන සහ පර්යේෂණ මතයි. ගෝලීය වශයෙන්ද එසේ වනු ඇති. 2030 වන විට විශාලතම ආර්ථිකය සමහර විට චීනයේ විය හැකියි. එහෙත් ඔවුන් සමහර නවෝත්පාදන සහ තාක්ෂණයෙන් තවත් සන්නද්ධ විය යුතුයි. තම රටට විශාල පිරිසක් ගෙන්වා ගැනීමට ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ ඒ නිසයි.

අද ආසියාවේ ජාතික සම්පත් නැති රටවල් පවා ප‍්‍රධාන කර්මාන්තවලට විදේශ ආයෝජකයන්ට රට විවෘත කළා. යුරෝපය ඒ නිෂ්පාදන මිලදී ගනන්වා. ජපානය චීනය සහ දකුණු කොරියාව යන රටවල් ඉදිරියෙන් සිටිනවා. නවෝත්පාදන මගින් ඉන්දියාව ප‍්‍රමුඛත්වය ගන්නවා. 

අනාගත මාර්ගය වැටී ඇත්තේ නවෝත්පාදන මතයි. අපට යටිතල පහසුකම් තිබෙනවා. කර්මාන්ත තිබෙනවා. නිෂ්පාදන තිබෙනවා. 
මහනුවරින් ආරම්භ කරන නව සංවර්ධන තීරය වයඹ හරහා ගාල්ල දක්වා දිවෙනවා. එසේම මාතර, හම්බන්තොට, වැල්ලවාය සිට හම්බන්තොට දක්වා දිවෙනවා. මෙය එකම විශාල සංවර්ධන තීරයක් ලෙස විහිදෙනවා.

මීට අමතරව අපේ සැලැස්ම වන්නේ ත‍්‍රිකුණාමලය සහ අවට ප‍්‍රදේශ සංවර්ධනයයි. අප ඉහත සියල්ල එහි ස්ථාපිත කරනවා. දැන් එය ආරම්භ කළ යුතුයි.
2030 වන විට සිටින්නේ කොහෝද යන්න අප විසින් තීරණය කළ යුතුයි. අපේ එකම මාර්ගය වන්නේ නිෂ්පාදනයයි. හෝටල් කර්මාන්දතයද සමගාමීව දියුණු කළ යුතුයි. 2030 වන විට රොබෝවරුන් පවා අපට සේවා සපයාවි.

2030 වන විට ඉරානය, නැගෙනහිර අප‍්‍රිකාව, පාකිස්ථානය, ඉන්දියාව, බංග්ලාදේශය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, වියට්නාමය, ඕස්ටේ‍්‍රලියාව වැනි රටවල් ලොව ආර්ථික ප‍්‍රමුඛයන් විය හැකියි. 

නවෝත්පාදන ඉලක්ක කර ගන්නා ඔබගේ ජීවිතය වඩාත් පහසු වේවි. විද්‍යා සහ තාක්ෂණ ඇමැති සුසිල් පේ‍්‍රමජන්ත මහතා සීමිත අයවැයක් යටතේ විශාල වැඩ කොටසක් කරනවා.

නැනෝ තාක්ෂණ ව්‍යාපෘතිය පෞද්ගලික ක්ෂේත‍්‍රය සමඟ හොඳින් සිදු වෙනවා. ජපානය සමඟ සකුරා වැඩසටහන සමඟ නවෝත්පාදන සිදු කිරීමට අප සාකච්චා කළා. 

ඇමරිකානු විශ්වවිද්‍යාල මඟින් මෙහි ඔවුන්ගේ නවෝත්පාදන මධ්‍යස්ථානයක් ඇති කිරීමට සාකච්ඡුා කර තිබෙනවා. මේ සඳහා ගම්පහ ඉඩමක් වෙන් කර තිබෙනවා.

ඉන්පසු අප අවධානය යොමු කරන්නේ මහනුවරටයි. ජපානය මේ සඳහා උදව් කරනවා. කර්මාන්ත නගරයක් ඉඳි කිරීමටත් විද්‍යා සහ නවෝත්පාදන මධ්‍යස්ථානයක් ඇති කිරීමටත් ඔවුන්ට අවශ්‍යයි.

මෙය ආරම්භයයි. මෙය කදිමයි කියා ඔබ සිතනවා ඇති. නමුත් මට නම් මෙය ප‍්‍රමාණවත් නැහැ. අපට තවත් බොහෝ දේ කිරීමට තිබෙනවා. 
අප උසස් පෙළ සිසුන්ට ටැබ් දෙන්නෙ ඔවුන් නවෝත්පාදන සඳහා යොමු කිරීමටයි. සියලූම සිසුන්ට වසර 13ක පාසල් අධ්‍යාපනය දෙන්න අවශ්‍යයි. අධ්‍යාපන ඇමැතිවරයා ඒ සඳහා දැඩි වෙහෙසක් ගන්නවා. හැම දෙනාම උසස් අධ්‍යාපනය ලැබිය යුතුයි. තමන් දක්ෂ දෙයින් ඉදිරියට යෑමට අවස්ථාව දිය යුතුයි. 

වඩු කර්මාන්ත නැටුම් සහ සංගීතය දක්ෂ නම් පාසලේ රැුඳී සිටිමින් ඉදිරියට යා හැකියි. එසේම ද්විතීය වෘත්තීය අධ්‍යාපනය හරහා ඉංජිනේරුවන් -ඩිප්ලෝමාධාරීන් ලෙස වෘත්තීය සහතික ගත හැකියි. අවසානයේ ඔබට නවෝත්පාදකයකු විය හැකියි.

කෘෂි කර්මාන්තය දෙස බලමු. විවිධ පැති තිබෙනවා. රජයට ශිෂ්ඨාචාරය ඉතා විශිෂ්ටයි. අපේ රටේ දාගැබ් ඉදිකිරීම් දෙස බලන්න. ඒවා සම්පූර්ණයෙන්ම ඉංජිනේරු ක‍්‍රියාදාම නොවේද? අප නැවත ආපසු එතැනට නොයන්නේ ඇයි? නවෝත්පාදන පර්යේෂණ සහ සංවර්ධනයට සියල්ල අනාගත මාර්ගයයි.

පේරාදෙණිය නවෝත්පාදන මධ්‍යස්ථාන බවට පත් කරමු. අප අවශ්‍ය සහයෝගය දෙනවා. ඔබට කිරීමට ඇත්තේ එක්ව ගමන් කිරීමයි. මතක තබා ගන්න. අනාගතය වන්නේ නවෝත්පාදනය සහ පර්යේෂණය යයිද රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීවේය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති උපුල් දිසානායක මහතා, 
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදුලි සහ විද්‍යුත් පීඨය කිසිම විශ්වවිද්‍යාලයක පිඨයකට දෙවැනි වෙන්නේ නැහැ. මේ ප‍්‍රදර්ශනය අපේ හැකියාවන් පෙන්නුම් කරන අවස්ථාවකි. 

අප නොම්මර එකේ විශ්වවිද්‍යාල බවට පත්ව සිටිනවා. ප‍්‍රදර්ශනයේ අරමුණ වන්නේ අධ්‍යාපනික කර්මාන්ත රැකියා වෙළෙඳපොළ සහ අපේ විෂය නිර්දේශයේ අවශතාවයයි. අපේ අනෙක් අරමුණ රටේ සංවර්ධනයට දායක වීමයි”

එල්.ටී.එල්. හෝල්ඩින්ස් සමාගමේ යූ.ඞී. ජයවර්ධන මහතා, 
”තරුණ උපාධිධාරීන් නව සොයා ගැනීම් කරන්නේ නැහැ. වර්තමාන තත්ත්වය අනුව උගන්වන්නේ උගතකු වීමට පමණයි. 

රනිල් වික‍්‍රමසිංහ මහතා අධ්‍යාපන ඇමැතිවරයාව සිටියදී ඉදිරිපත් කළ ධවල පත‍්‍රිකාව නිසි පරිදි ක‍්‍රියාත්මක කිරීමට ලැබුණේ නැහැ. අප අනවශ්‍ය උපාධිධාරීන් බිහි කරමින් සිටිනවා. ඉන්දියාවේ බස් කොන්දොස්තරවරුන් ලෙස සේවය කරන වෛද්‍යවරුන් සිටිනවා. අපේ රටේ එසේ වීමට ඉඩ දිය යුතු නැහැ.

මේ අවස්ථාවට විශ්වවිද්‍යාල මාහාචාර්යවරුන්, නව නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.