(හර්ෂණ තුෂාර සිල්වා, ගෝනාපීනුවල දයාසිරිල් ධම්මික සහ ගාල්ල සිරංගිකා ලොකුකරවිට)

“ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අඩු වූ වහාම එහි සහනය කෙලින්ම ශ්‍රී ලාංකේය ජනතාවට දෙන බව” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හික්කඩුවේදී පැවසීය.

“ජාතික ආණ්ඩුව පසුගිය වසර දෙක-තුනක කාලයේදී අති විශාල ණය කන්දක් නැති කිරීමට උත්සාහ ගත් බව කී අග්‍රාමාත්‍යවරයා, ආර්ථිකය යම් මට්ටමකට ස්ථාවර කරගත් සැණින් තවත් අර්බුද රැසකට මුහුණ දීමට සිදුවිණැයි” ද කීවේය.

හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව සිව් මහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ කරුණු කීය. 

“රට සංවර්ධනය නොවන්නේ නම් තරුණයන්ගේ ද දියුණුව නැතිවන බව කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, සංචාරක ක්ෂේත්‍රය මුල් කර ගනිමින් තරුණ-තරුණියන්ට රැකියා නිර්මාණය කරන සංවර්ධන ව්‍යාපෘති රැසක් ගාල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය. 

“රටටත් රටේ ආර්ථිකයටත් එදා විශාල ප්‍රශ්න තිබුණා. වසර 2013 දීත්, 2014 දීත් රාජ්‍ය ආදායම් ණය පොළිය ගෙවීමට පවා මදි වුණා. අපට විශාල ණය කන්දරාවක් තිබුණා. ඒ නිසා 2015 බලයට පත්වූ විගස ණය ගෙවීමට හැකියාව ඇති කර ගැනීමට අවශ්‍ය වුණා. 

අප මුලින්ම අවධානය යොමු කළේ ඒ දෙසයි. අය-වැයෙන් මොනවද කරන්න පුළුවන් කියන දේ අප බැලුවා. ණය ගෙවන්න පුළුවන් ආර්ථිකය මා හැදුවා. ආර්ථිකයේ ස්ථාවරය ඇති කර ගත්තා විතරයි, 2017 දී තවත් ප්‍රශ්න කිහිපයකට මුහුණ දෙන්න වුණා. කොළඹ කුණු කන්ද කඩා වැටුණා. ඊට පසු ගංවතුර ආවා. ඊටත් පසු නියඟය ද ආවා. 

හතරවැනි කන්නයේ දී ඇති වූ නියඟය නිසා කෘෂිකර්මය කඩා වැටුණා. අස්වැන්න අඩු වුණා. ග්‍රාමීය ආර්ථිකය කඩා වැටුණා. වී වගාව සම්පූර්ණයෙන්ම නැතිවෙලා ගියා. ගංවතුර නිසා ද එවැනිම හානිය වුණා. අපට තවමත් මුදල් දෙන්න තිබෙනවා. ගාල්ලටත්, මාතරටත් තවමත් මුදල් දෙන්න තිබෙනවා. ඒවායේ ද යම් හිරවීම් වුණා. 
මේ කරුණුත් ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි තෙල් මිල වැඩි වීමත් නිසා තෙල් මිල වැඩි කරන්න වුණා. රජයක් විදියට ඉහත ප්‍රශ්න නිසා තෙල් සංස්ථාවට සහනාධාරය දෙන්න බැරි වුණා. 

ඒ වගේම තෙල් සංස්ථාවට, ලංකා විදුලි බල මණ්ඩලය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇතුළු ආයතන මුදල් ගෙවා නැහැ. ඛනිජ තෙල් සංස්ථාවට ඒ බරත්, වියදමත් දරන්න වෙලා. 

මේ කරුණු නිසා රටේ ආර්ථිකයෙන්වත් රජයේ අය-වැයෙන්වත් ඛනිජ තෙල් සංස්ථාවට යම් සහනයක් දෙන්න බැරි වුණා. අමාරුවෙන් හරි ඛනිජ තෙල් සංස්ථාවට සහන දෙන්න ගියා නම් බැංකු පොළී වැඩි වෙනවා. දැනටත් අපට බැණුම් අහන්න වෙලා. 

ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක් බැංකු පොළිය වැඩියි කියා දොස් කියනවා. උදව් කරන්න ගිහින් බැංකු පොළිය තවත් සියයට 5කින්, 7කින් වැඩි වුණා නම් මොකද කරන්නේ සියලු විකල්ප දිහා බලා තෙල් මිල වැඩි කළා. බොරතෙල් මිල අඩුවූ ගමන් අප ජනතාවට ඒ සහනය දෙනවා. ලෝකයේ තෙල් මිල නැවත වැඩි වෙන්න පටන් ගෙන තිබෙනවා. ලබන වසර වෙද්දි තෙල් මිල අඩු වේවි කියා බලාපාරොත්තු වෙනවා. තෙල් මිල අඩු වූ ගමන් අප ජනතාවට එහි සහනය දෙනවා. 

මෙතැනට මුදල් යෙදෙව්වා නම් රටේ සංවර්ධනයට මුදල් නැති වෙනවා. අද ගාල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් දියත් කරල. කොග්ගල වෙළෙඳ කලාපය ආරම්භ කළාට පසු කිසිම වෙළෙඳ කලාපයක් ගාල්ලේ ඇති කර නැහැ. 

ගාල්ලට යාබද ශාලින්දවත්ත හඳුනාගෙන ආණ්ඩුවට ඒ ඉඩම් අත්පත් කරගෙන යනවා. එහි සම්පූර්ණ වෙළෙඳ කලාපය ආරම්භ කරනවා. නිෂ්පාදන කර්මාන්තවලට අමතරව එහි තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.

දෙද්දූවේ විශාල සංචාරක කලාපය ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉඩම් අක්කර 1800ක් අත්පත් කර ගැනීමට මුදල් දුන්නා. සංචාරක කලාප තුනක් සහ වෙළෙඳ කලාපයක් ආරම්භ කිරීමට බලාපොරාත්තු වෙනවා. අකුරණ, කොග්ගල වගේම හම්බන්තොට දියුණු කිරීමටත් අප මුදල් යොදවනවා.

සංවර්ධනයට මුදල් යොදවන්නේ නැතිනම් රට දියුණු කරන්න බැහැ. පසුගිය වසර දෙකෙහිදී අප විශාල ණය බරක් නැති කරන්න උත්සාහ ගත්තා. කොහොම හරි ආණ්ඩුවේ වියදම් සීමා කළා. ජල ගැලීම්, නියඟය යන අභියෝග හා දුෂ්කරතාවලට අප මුහුණ දුන්නා. අප කොහොමින් කොහොම හරි මුදල් සොයා ගත්තා. අද අප සතුව මුදල් තිබෙනවා. දැන් සංවර්ධනය කරන්න ඕනෑ. සංවර්ධනය කරන්නේ නැතිනම් තරුණයන්ට අනාගතය උදාවන්නේ නැහැ.

ගුවන් තොටුපොළවල් දෙකක් අතරේ තිබෙන සංවර්ධිතම නගරය බවට ගාල්ල පත් කරනවා. කටුනායකත්, මත්තලත් අතර තිබෙන ගාල්ල සංවර්ධනය කරන අතරවාරයේදී හික්කඩුව, හබරාදූව, කොග්ගල යන ප්‍රදේශ දියුණු කරන්න ඕනෑ. හික්කඩුව, උණවටුනේ තිබෙන ප්‍රශ්න විසඳන්න ඕනෑ. අපේ තිබෙන සංචාරක කලාප දියුණු කරන ගමන් අලුත් සංචාර කලාප පිහිටුවන්න ඕනෑ.

තරුණ තරුණියන්ට රැකියා දෙන්න ඕනෑ. සංචාරක කර්මාන්තයේ රැකියා අවස්ථා බිහි කරන්න ඕනෑ. ස්වයං රැකියා ආරම්භ කරන්න ඕනෑ. ඒවාට ණය මුදල් දෙන්න ඕනෑ. ඒ වැඩසටහන් අප ක්‍රියාත්මක කරමින් ඉන්නවා. 

ගාල්ලේ සංවර්ධනය ඉදිරියට ගෙන යන ගමන් අවට ප්‍රදේශ දියුණු කළ යුතුයි. ඒ සංවර්ධනය සඳහා මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන පියවර රැසක් ගෙන තිබෙනවා. ඉදිරියටත් තවත් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා යැයි ද” රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.

මෙහිදී අදහස් දැක්වූ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මෙසේ කීය.

“හික්කඩුවේ ප්‍රශ්න ගොඩයි. හැබැයි වැරැද්ද මහජනතාවගෙයි. හික්කඩුවේ අර්බුද රැසක් තිබෙනවා. එහි වැරැද්ද ජනතාව බාර ගන්න ඕනෑ. එහෙම කිව්වා කියා තරහා වෙන්න එපා. 

අපේ ආණ්ඩුව 2001 දී මිනිස්සුන්ට වතුර දෙන්න ජලාශ හතර ඉදි කළා. මේ ජලාශවලින් වතුර දෙන්න පුළුවන් සීමාවක් තිබුණා. බිලියන 30ක් වියදම් කළා. කිලෝමීටර 800ක් දෙන්න පුළුවන් විදියට අපි හැදුවාම දැන් කිලෝමීටර 3000ක් දක්වා ඒවා වැඩි කරලා. එකකින් දෙන්න පුළුවන් සීමාවක් තියෙනවා. 

උත්සව සභාව ඇමතූ ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මෙසේ පැවැසීය. 
“අප අණ බෙර ගසා කිව්වේ නැති වුණාට බොහෝ දේවල් කර තිබෙනවා. කොග්ගල හා හික්කඩුව අධි සංචාරක කලාපය බවට පත් කරන්න කටයුතු කරමින් ඉන්නවා. 

හික්කඩුවේ හෝටල් හිමියන් නිරන්තරයෙන් පැමිණිල්ලක් කළා. හෝටල් තිබෙන මාර්ගයේ අනතුරු වැඩි බව ඔවුන් කීවා. සංචාරකයන්ට ශබ්දයෙන් වන හිරිහැර ගැන කිව්වා. ඒ නිසා අලුත් මාර්ගයක අවශ්‍යතාව මතුවෙලා. ඒ වෙනුවෙන් කඩිනම් පියවර ගන්නවා. හැමදාමත් සංචාරක කර්මාන්තය ඉදිරියට ගියේ, හෝටල් ආරම්භ කළේ අපේ ආණ්ඩු තිබූ කාලයේදියි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල දියුණු කරන ගමන් “සේවා පියස” ආරම්භ කිරීමට කටයුතු කරමින් ඉන්නවා. ග්‍රාම රාජ්‍ය සංකල්පයට සමගාමීව යන ගමන් සේවා පියස ඇති කරනවා. 

මිනිස්සුන්ට අද එක තැනකින් වැඩක් කරගන්න බැහැ. ග්‍රාම සේවක එක තැනයි. සමෘද්ධි නිලධාරී වෙනත් තැනකයි. කෘෂිකර්ම නිලධාරියා තවත් කොහේ හරියි. ආණ්ඩුවේ නිලධාරීන් හොයා ගෙන තැන් තැන්වල යන්න වෙලා. ඒ නිසා ගමේ, ප්‍රදේශයේ දිස්ත්‍රික්කයේ නිලධාරීන් එක තැනකට ගේන්න අප කටයුතු කරනවා. ඒ වෙනුවෙන් සේවා පියස ඇති කරනවා. 

අප බෝඞ් ගහලා නැහැ. ටී වී පැය 24 පුරා පම්පෝරි ගහලා නැහැ. හැම තැනම කිය කිය ගිහින් නැහැ. එහෙත් අප නිහඬව වැඩ රැසක් කරනවා. 

අප සුරක්ෂා රක්ෂණාවරය දුන්නා. 1990 ගිලන් රථ සේවය ආරම්භ කළා. එදා විරුද්ධ වුණා. අද මේ ගිලන් රථ සේවය ජීවිත රැසක් බේරා දෙනවා. ඒ නිසා අපේ ආණ්ඩුව රට සංවර්ධනය කරන බව නැවත නැවතත් කිව යුතු”යි. 
නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන බන්දුලාල් බණ්ඩාරීගොඩ සහ විජයපාල හෙට්ටිආරච්චි, දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.