(පුෂ්පකුමාර ජයරත්න)

රණවිරුවන්, මියගිය රණවිරුවන්, ආබාධිත රණවිරුවන් කිසිවිටෙකත් දේශපාලන ව්‍යාපාර සඳහා පාවිච්චි කිරීම සදාචාරාත්මක නෑ. මේවා මිනිසුන් විසින් නොකළ යුතු ක්‍රියාවන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වයඹ රණ අභිමන් රණවිරු ස්මාරකය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින්  ප්‍රකාශ කළේය.

ණවිරු දඩයම යනුවෙන් රජයට එල්ල කරන චෝදනා සියල්ලම ප්‍රතික්ෂේප කරන බවද, මේවා සියල්ලම රජය අපහසුතාවට පත්කිරීමේ අරමුණින් සිදු කරන චෝදනා සහ දේශපාලන කුමන්ත්‍රණ බවද ජනාධිපතිවරයා පැවැසීය.
මාතෘ භූමියේ උත්තරීතර නිදහස වෙනුවෙන් තම දිවිය කැප කළ වයඹ පළාතේ විසූ රණවිරුවන් 4135 දෙනකුට උපහාර පිණිස කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ මාළිගාපිටිය ක්‍රීඩාංගණය අසල වයඹ රණ අභිමන් රණවිරු ස්මාරකය ඉදිකර තිබේ. 

කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගය පුළුල්කොට සංවර්ධනය කිරීමේදී මාර්ගය ආසන්නයේම පිහිටි අසූව දශකයේදී ඉදිකර තිබූ රණවිරු ස්මාරකය මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ගලවා ඉවත් කිරීමෙන් පසුව ඒ වෙනුවට නව ස්මාරකය ඉදිකෙරිණි.

වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතාගේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු රෙජිමේන්තුව විසින් ඉදිකරන ලද මෙම රණවිරු ස්මාරකය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අරමුදලින් රුපියල් මිලියන 10ක්ද, වයඹ පළාත් සභාව සහ වයඹ ආණ්ඩුකාර රණවිරු අරමුදලින් මිලියන 27ක්ද වැයකොට ඇත. මීට අමතරව මාර්ග සංවර්ධන  අධිකාරියද මේ සඳහා මූල්‍ය ප්‍රදානයක් සිදුකර ඇත.

නව රණවිරු ස්මාරකය නිරාවරණය කොට ජනාධිපතිවරයා පළමු පුෂ්පෝපහාරය සිදු කළේය. ඉන් අනතුරුව වයඹ ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු ආරාධිතයින්ද, ආරක්ෂක හමුදා ප්‍රධානීහුද, රණවිරු පවුල්වල සාමාජිකයෝද මියගිය රණවිරුවන් සිහිපත්කොට පුෂ්පෝපහාර දැක්වූහ. 

රණවිරු ස්මාරකය නිරාවරණය කිරීමේ අවස්ථාවට පෙර දැඩි වර්ෂාපතනයක්ද කුරුණෑගල නගරයට ඇද හැළුණු අතර දැඩි වර්ෂාවද නොතකා පැමිණි ජනාධිපතිවරයා වයඹ අභිමන් රණවිරු ස්මාරකය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම විශේෂත්වයකි.

සත්‍යවාදී පිටියේදී පැවැති උත්සව සභාවේදී පැමිණ සිටි පිරිස අමතා ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.
“මේ මැයි මාසය රජය ප්‍රකාශයට පත්කර තිබෙන්නේ රණවිරු සැමරුම් මාසය ලෙසයි. කොයිතරම් දීමනා වරප්‍රසාද ලබා දුන්නත් රණවිරුවන් ඉටුකළ සේවය මනින්න බැහැ. ඔවුන් ඉටුකළේ මිල මුදලින් මිනිය නොහැකි ගෞරවනීය සේවයකුයි.”

“වයඹ පළාතේ පමණක් යුද්ධයෙන් මියගිය රණවිරුවන් හාරදහසකට වැඩිය ඉන්නවා. රට වශයෙන් ගත් කළ යුද්ධයෙන් මියගිය යුධ, ගුවන්, නාවික, පොලිස්, සිවිල් ආරක්ෂක මේ සියල්ලම තිස් දහසකට ආසන්නයි. ඒ වගේම යුද්ධයේදී ඇතිවූ තත්ත්වයන් තුළ විශේෂයෙන්ම ආබාධිත වූ රණවිරුවන් නව දහසකට ආසන්න පිරිසක් මේ රටේ සිටිනවා.”

“අපි රණවිරුවන් වෙනුවෙන් පසුගිය රජය තුළත් ආබාධිත අයට, සේවයේ ඉන්න අයට, විශේෂයෙන්ම අසරණ භාවයට පත් පවුල්වලට විශාල සහන වරප්‍රසාද රාශියක් දුන්නා. ඒ වගේම මේ අවුරුදු තුන හතරෙත් අපේ රජය විදිහට ආබාධිත රණවිරු පවුල් සඳහා දීමනා වැඩි කිරීම්, අනෙකුත් පහසුකම් දරුවන්ගේ අධ්‍යාපනයට, ශිෂ්‍යත්ව ආදී සේවාවන් රාශියක්ම ඉටුකළා.”

“අපේ හමුදාවත් ලෝකයේ ඉතාම විනය ගරුක ජාත්‍යන්තරය පිළිගන්නා හමුදාවක් බවට අපි පත් කරලා තියෙනවා. පත්වෙලා තියෙනවා. ඒ පිළිගැනීම අපේ හමුදාවට තියෙනවා.”

“අපි හතළිස් අටේ නිදහස ගන්න විට බි්‍රතාන්‍ය පාලනයට විරුද්ධව සටන් කරලා නිදහස ගන්න සිංහල නායකයින්, ජනතාව වගේම දමිළ, මුස්ලිම් නායකයින් සහෝදරත්වයෙන් මේ රටේ ජාතික නිදහස වෙනුවෙන් සටන් කළා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි හතළිස් අටේ නිදහස ගත්තේ.”

“ඒ නිසා අපිට මුළු ඉතිහාසය පුරා සටන්කාමී ජාතියක් විදිහට ඒ ජීව ගුණය අපේ ජනතාවගේ රුධිරයෙහි තිබෙනවා. අපි ඒ ගැන සතුටු වෙනවා. අපි ගෞරව කරනවා.”

“එම නිසා මේ රණවිරුවන්, ආබාධිත රණවිරුවන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් දේශපාලන අරමුණු වෙනුවෙන් කිසිවිටෙකත් සදාචාරාත්මක ලෙස දේශපාලන අරමුණු වෙනුවෙන් පාවිච්චි නොකළ යුතුයි.”

“කිසියම් කෙනෙක් රණවිරුවා තමන්ගේ දේශපාලනය සඳහා පාවිච්චි කරනවා නම්, තමන්ගේ දේශපාලන පක්ෂ ශක්තිමත් කිරීම සඳහා, බලය පෙන්වීම සඳහා, බලය නැති කිරීම සඳහා පාවිච්චි කරනවා නම් එය ඉතාමත්ම සදාචාරාත්මක නොවන මිනිසුන් විසින් නොකළ යුතු දෙයක්. මනුෂ්‍යත්වය හඳුනාගන්නා අය නොකළ යුතු දෙයක්.”
“අපේ රජයට සමහර අය කරන චෝදනා තියෙනවා මේ රණවිරුවන් පිළිබඳව. ඒකට රණවිරු දඩයම් කියලා කියනවා. කවුද රණවිරු දඩයම කළේ? ලොකුම රණවිරු දඩයම යුද්ධය කරපු, යුද්ධය ජයග්‍රහණය කරපු යුධ හමුදාපතිවරයාගේ තරුපටි ගලවලා ජම්පරය අන්දවලා හිරේ දාපු එකයි.”

“අපේ කාලයේදී මේ ආණ්ඩුව එවැනි දඩයමක් කොහෙත්ම කරලා නැහැ. මේ අවුරුදු තුන තුළ මම උත්සාහ ගත්තේ ලෝකයේ රාජ්‍ය නායකයින් සමඟ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමඟ, මිත්‍ර රටවල් සමඟ, ජාත්‍යන්තර සංවිධාන එක්ක යුද්ධය අවසාන කාලයේදී අපේ ආරක්ෂක හමුදාවලට එලල්වූ චෝදනාවලින් නිදහස් කර ගැනීම සඳහායි.”

“මොන විදිහේ විවේචන අපිට තිබුණත්, මොන විදිහේ චෝදනා අපිට තිබුණත් මම බොහෝම පැහැදිලිව කියනවා. මේ රට ජාත්‍යන්තර යුද අධිකරණයක් ඒම වළක්වා ගත්තේ, දේශපාලන වේදිකාවේ කියාපු විදුලි පුටුව ඒම වළක්වා ගත්තේ, මානව හිමිකම් කඩකළැයි කියලා අපේ හමුදාවන්ට එරෙහිව පරීක්ෂණ පවත්වන්න, විදේශීය විනිසුරු මේ රටට ඒම වළක්වා ගත්තේ මම, අපේ මේ වර්තමාන රජය කළ අන්තර් ජාතික වශයෙන් ගෙනගිය වැඩ පිළිවෙළ නිසායි.”

“නමුත් සත්‍යය යටපත් කරලා වැරැදි දේවල් කියලා දේශපාලන ප්‍රයෝජන අරගෙන රජය අප්‍රසාදයට පත්කරන්න මේ රණවිරු දඩයම වගේ කතා අපේ ආණ්ඩුවට කියනවා.”

“රහසක් නොවෙයි මේ රටේ පසුගිය කාලය තුළ හමුදාවේ සමහර අය ඇතැම් මිනීමරු සිද්ධින් පිළිබඳව, යම් යම් සිද්ධින් පිළිබඳව, මාධ්‍යවේදීන්ගේ ඝාතන පිළිබඳව, මාධ්‍යවේදීන්ට හිරිහැර කිරීම් පිළිබඳව පරීක්ෂණ පවත්වන්න අත්අඩංගුවට ගැනීමට සිදුවුණා. ඒක රණවිරු දඩයමක් නොවෙයි.”

“සැබෑ ලෙසම යුද්ධය ගත්තොත් එල්ටීටීඊ ත්‍රස්තවාදයට විරුද්ධව සටන් කරපු, මේ රටේ දේශපාලනඥයින්ගේ අතකොළු නොවූ ශ්‍රේෂ්ඨ රණවිරුවන්ට මේ ආණ්ඩුව තුළ කිසිම හිරිහැරයක් කරලා නැහැ. ඔවුන්ට අන්තර් ජාතික වශයෙන් ගෞරවයක් ලබාදීලා තියෙනවා. මම ඒක බොහෝම පැහැදිලිව කියන්නට ඕනෑ.” 

“ගිය අවුරුද්දේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහා ආබාධිත රණවිරුවන් පිරිසක් එතැනට ගෙනැල්ලා බස්සලා පොලිසියත් එක්ක ගැටුමක් ඇති කරගත්තා. ඒ වගේ ගැටුම්වලින් පසුව පුවත්පත් නිවේදන නිකුත් කරන්න ඉන්නවා ගොඩාක් කට්ටිය. ආබාධිත රණවිරුවන්ට පහරදුන්නා. බොහෝම නින්දිතයි කියලා.”

“කවුද ඒ අය එතැනට ගෙනාවේ. ඒ නිවේදන නිකුත් කරන අයම තමයි ඒ අය එතනට ගෙනාවේ. ඒ අයගේ ප්‍රශ්නය පිළිබඳව ආරක්ෂක අමාත්‍යංශයේ එයාලගේ නියෝජිතයෝ සමඟ සාකච්ඡා යද්දී එතැනට කොළඹ නගරයේ රස්තියාදුකාරයෝ, අයිආර්සී කාරයෝ රණවිරු අස්සට දාලා පොලිසියත් එක්ක ගැටුම් සැලසුම්ගතව හදල ඒවා කළේ කවුද කියලා අපි පැහැදිලිවම පරීක්ෂණවලින් හොයාගත්තා.”

“ඒ ආබාධිත රණවිරුවෝ කිසි විටෙකත් වැරැදි කරපු, කරන අය නොවෙයි. නමුත් ඔවුන්ව පාවිච්චි කරනවා විවිධ සංවිධාන, විවිධ පුද්ගලයෝ, දේශපාලන වාසි සඳහා ඊට පස්සේ කියනවා ආබාධිත රණවිරුවන්ට ගහනවා කියලා. රණවිරු දඩයම කියනවා.” 

“මම මේ රටේ ජනාධිපති වෙනකොට අන්තර් ජාතික වශයෙන් මේ රට තිබුණේ කොතැනද? මේ රටේ ත්‍රිවිධ හමුදාවට තිබුණු තැන කොතැනද? තිබුණු පිළිගැනීම මොකක්ද? ඒ සියල්ලම මට පුළුවන්කම ලැබුණා අපේ රජයට අනෙක් අයගේ සහායෙන් ඉවත් කරන්න.”

“මම ඒකයි කීවේ පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව මේ රටට විදේශීය විනිශ්චයකාරවරු ඇවිල්ලා, ජාත්‍යන්තර යුද අධිකරණ ඇවිල්ලා, මානව හිමිකම් කඩවීම් පිළිබඳව ජාත්‍යන්තර සම්බාධක පනවලා, මම ජනාධිපති වෙනකොට ජාත්‍යන්තර සම්බාධක පැනවීම ආරම්භ කරලයි තිබුණේ මේ ප්‍රශ්නය නිසා.”

“යුරෝපයට අපේ මාළු ගන්න එක නවත්තලා තිබුණේ. යුරෝපයට ඇමරිකාවට අපේ ඇඟලුම්, මාළු ගන්න එක නවත්තලා තිබුණේ. බදු සහන ඉවත් කරලයි තිබුණේ. අපි ඒ සියල්ලම පරදවලා රටට ආර්ථික ජාත්‍යන්තර ජයග්‍රහණත් ලබාගත්තා.”

“අදටත් අපේ රටේ මාළු නිෂ්පාදනය ජාත්‍යන්තර වෙළෙඳපොළට මදි. සීයට හතළිහක විතර හිඟයක් තිබෙනවා. අවශ්‍ය ඉල්ලුමට වඩා ඉල්ලුමෙන් සීයට හැටයි අපිට දෙන්න පුළුවන් වෙලා තිබුණේ.”

“එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සමඟ ඉතාම මිත්‍රශීලීව මා කතා කළා. එක්සත් ජාතීන්ගේ හිටපු මහා ලේකම් බැන් කී මූන් සමඟ මම බොහෝම සුහදව කතා කළා. මේ සියල්ලෙන්ම අපේ රණවිරුවන්ගේ ගෞරවය මා ආරක්ෂා කරලා තිබෙනවා. ඒ ආව ප්‍රශ්න මම වළක්වලා තිබෙනවා.”

“නමුත් අද සමාජයේ ගලා යන්නේ ඒ සත්‍යය නොවෙයි. සමාජයේ වේගයෙන් ගලා යන්නේ අසත්‍යයයි. එය මේ ප්‍රශ්නයට විතරක් නොවෙයි වෙන ප්‍රශ්නවලටත් හේතුවී තිබෙනවා.”

“අපි මේ සියළුම තත්ත්වයන් වලට රජයක් විදිහට මුහුණ දීලා අවාසි තත්ත්වයන් වළක්වා ගෙන තියෙනවා.”
“මම පසුගිය මාසයේ ලන්ඩනයේ තිබුණු පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුවට ගියාම ලන්ඩන් නගරයේ විරෝධතා තුනක් තිබුණා. රාජ්‍ය නායකයින් තුන් දෙනකුට විරුද්ධව.”

“එක විරෝධතාවයක් තිබුණේ ඒක තමයි විශාලම විරෝධතාවය. දහස් ගාණක් ඒකට ආවා. බංග්ලාදේශ අගමැතිනිය සීක් හසීනාට විරුද්ධව තිබුණු විරෝධතාවය. බංග්ලාදේශයේ හිටපු අගමැතිනි කලීඩාසියා සිරගත කිරීමට එරෙහිවයි ඒ විරෝධතාවය පැවැත්වුණේ.” 

“ඊළඟට වැඩි පිරිසක් ආව දෙවැනි විරෝධතාවය තිබුණේ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමාට. ඒ රටේ හිංදු සහ මුස්ලිම් ගැටුමක් පිළිබඳවයි ඒ විරෝධතාවය තිබුණේ.”

“තුන්වැනි විරෝධතාවය තිබුණේ මට. ඒකට දෙසීය පනහක් තුන්සියයක් විතර එල්.ටී.ටී.ඊ කාරයෝ ඇවිල්ලා හිටියා. මුහුදෙන් එගොඩ ඉන්න එල්.ටී.ටී.ඊ. සංවිධානය අදත් ජාත්‍යන්තර ජාලයේ වැඩ කරන අය තමයි ඒ විරෝධයට ඇවිත් හිටියේ. ඊලම් රාජ්‍යය ලබාදෙනු. උතුරේ ජනතාවගේ හමුදාව සතු කරගෙන තිබෙන ඉඩම් ආපසු දෙනු. මේ ජනාධිපති ද්‍රෝහියා. එහෙම තමයි ඔවුන් මට විරෝධය පෑවේ.”

“අපි මේ වනවිට ආරක්ෂක හමුදාව විසින් භාවිතයට ගත් උතුරේ ද්‍රවිඩ ජනතාවගේ ඉඩම් සීයට අසූපහක්ම නිදහස් කරලා තියෙනවා. මම ජනාධිපතිවෙලා ඉස්සල්ලාම දෙදහස් පහළොවේදී මට ලැබිච්චි ආරාධනයකට ලන්ඩන් ගිය වෙලාවේ. ලන්ඩන් බකින්හැම් මාලිගාවේදී බි්‍රතාන්‍ය මහා රාජිණිය හමුවුණු වෙලාවේ එක පාරටම එතුමිය මගෙන් ඇහුවේ එදා ලන්ඩන්වල එල්ටීටීඊකාරයෝ මට කරපු විශාල විරෝධතාවක් ගැනයි. මම ජනාධිපති වෙලා කරපු පළමුවැනි නිල සංචාරයට තමයි එංගලන්තයට ගියේ.”

“ඒ උද්ඝෝෂණයේ හිටියා දෙදහසකට වැඩිය. ඒ දර්ශනය මහ රැජින දැකලා. එතුමිය මගෙන් ඇහුවා ලංකාවේ ආණ්ඩුව වෙනස් වෙලා කියලා තාම මේ අය දන්නේ නැතිව ඇති. ඒක තමයි තාම ඔය විදිහට උද්ඝෝෂණය කරන්නේ කියලා.”
“මම මේ සියල්ල කියන්නේ අපි රටක්, ජාතියක්, ආණ්ඩුවක් විදිහට මේ රටේ රණවිරුවන් පිළිබඳව එල්ලවෙලා තියෙන වැරැදි අදහස් නිවැරැදි කරගන්නයි. සමාජයට ගලා යන අසත්‍යතාවයේ පැහැදිලි අසත්‍යතාවය පැහැදිලි කරන්නයි” යැයිද ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය. 

වයඹ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා-

“වයඹ පළාත තුළ මේ වනවිට මියගිය රණවිරුවෝ හාරදහසකට වැඩිය ඉන්නවා. හැබැයි මේ පැරැණි ස්මාරකයේ තිබුණේ මියගිය රණවිරුවෝ හාරසීයකගේ නම් පමණයි. නම් නැති සෑම රණවිරුවෙකුගේම මව්පියෝ සහෝදර සහෝදරියෝ, බිරින්දෑවරු, දරුවෝ, රණවිරු සංසද නිලධාරින් අපි හමුවුණාම අහනවා ඇයි මහ ඇමැතිතුමා අපේ අයගේ නම් මේකේ නැත්තේ කියල. අපේ දරුවා, සැමියා, තාත්තා රණවිරුවෙක් නොවෙයිද කියලා ඇහුවා.” 

“මේ සිද්ධිය ගැන ජනාධිපතිතුමාට පවා සිද්ධ වුණා ප්‍රකාශයක් නිකුත් කරන්න. ජනමාධ්‍ය පවා මේ සිද්ධිය ප්‍රචාරය කළා. ජනාධිපතිතුමා මාව කැඳවලා කීවා ඔය රණවිරු ස්මාරකය ඔතනම නැවත හොඳට හදන්න ඕනෑ කියලා. වයඹ සියලුම රණවිරුවන්ගේ නම් ඕකට ඇතුළත් කරලා හදන්න ඕනෑ කියලා එදා එතුමා මට උපදෙස් දුන්නා. ඒ විතරක් නොවෙයි අවශ්‍ය මුදල් ප්‍රතිපාදන පවා එතුමා මට ලබා දුන්නා. ඒ විදිහට තමයි බොහෝම අංග සම්පූර්ණ, අභිමානවත් මේ රණවිරු ස්මාරකය බිහිවුණේ.”

වයඹ පළාතේ සමුපකාරිකයින් විසින් රණවිරු සුබ සාධකය සඳහා පිහිටුවා ඇති අරමුදලින් රණවිරු ස්මාරකය ඉදිකිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 15 ක චෙක්පතක් වයඹ පළාත් සමුපකාර අමාත්‍ය පියසිරි රාමනායක මහතා සහ සමුපකාර අමාත්‍යංශයේ ලේකම් කුමාරි වීරසේකර මහත්මිය එක්ව ජනාධිපතිවරයා වෙත භාරදීමද මෙහිදී සිදුවිය.

වයඹ රණවිරුවන්ගේ උපහාරය සඳහන් උපහාර තිළිණයක්ද වයඹ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමද සිදු කෙරිණි. 

පළාත් සභා පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා, වයඹ ආණ්ඩුකාර කේ.ජී. ලෝගේෂ්වරන්, ඌව පළාත් නව ආණ්ඩුකාර නීතිඥ ආරිය බී. රැකව, රණවිරු අධිකාරියේ සභාපතිනි අනෝමා පොන්සේකා, උප සභාපතිනි උපුලාංගනී මාලගමුව, කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ, වයඹ ප්‍රධාන ලේකම් පී.බී.එම්. සිරිසේන, වයඹ ප්‍රධාන අමාත්‍යංශ ලේකම් විජිත බණ්ඩාරනායක, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ගාමිණී ඉලංගරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධන මහත්ම මහත්මීහුද යුද හා නාවික හමුදාපතිවරුද රණවිරු පවුල්වල සාමාජිකයෝ විශාල පිරිසක්ද මේ උත්සවයට සහභාගිවූහ.