(ශ‍්‍රී ජයවර්ධනපුර මුදිතා දයානන්ද)

‘කුරහන් තලප ගිල්ලට, සාටකය දැම්මට, රටේ ප‍්‍රධාන පෙළේ පාසලකින් ඉගෙන ගත්තට, ටයි කෝට් දැම්මට, පපුවට ගහ ගත්තට, පොළොව ඉම්බට කාට හරි රටක නායකයෙක් වෙන්නත් බැහැ, වෙන්නෙත් නැහැ. රටක් හිඟන රටක් බවට පත් කළ අය නායකයන් නොවෙයි. රටක් ආර්ථික වශයෙන් ගොඩනගන කෙනකුට පමණයි රටක නායකයෙක් වෙන්න පුළුවන් වන්නේ යැයි’ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සෙනසුරාදා (09)  වැනිදා මහරගම දී පැවසීය.

දිසානායක මහතා මෙසේ පැවසූයේ දිරිය පුරවැසි කොළඹ දිස්ත‍්‍රික් සමුළුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා මෙසේද කීය:

අද අපේ රටේ එදිනෙදා සිල්ලර දේවල් තමයි සාකච්ඡාවට ගැනෙමින් තිබෙන්නේ. ඒවායින් මිනිසුන් මුහුණ දෙන සැබෑ ප‍්‍රශ්න යටවෙලා. ඒවා ගැඹුරින් සාකච්ඡාවට ලක්වන්නේ නැහැ. මාධ්‍යවලිනුත් මේ සිල්ලර කෑලිවලට වැඩි ඉඩක් ලබාදෙනවා. කාලයක් රවි කරුණානායක හිටපු ඇමැතිවරයා මාධ්‍යවල ප‍්‍රධාන ප‍්‍රවෘත්තිය බවට පත්වුණා. ඊට පස්සේ විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා ආවා. දැන් ලලිත් වීරතුංග මහතා. නමුත් සමාජය මුහුණ දී සිටින ඇත්ත ගැටලූ මේවා නොවෙයි. රවි ගියාය, මංගල ආවාය, කියලා මුදල් අමාත්‍යාංශයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ආදායම් බදු පනත ඒ විදිහටම එනවා. විජයදාස ගියා, තලතා ආවා කියලා අධිකරණ අමාත්‍යංශයේ කිසිම වෙනසක් සිදුවෙනවාද? නැහැ ඒ දේවල් ටිකම තමයි සිදුවන්නේ.

එදිනෙදා වේල ගත කරන ප‍්‍රශ්න වෙනුවට ජනතාව මුහුණ දෙන සැබෑ ප‍්‍රශ්න සාකච්ඡාවට ගත යුතුව තිබෙනවා. මාධ්‍ය වගේම පුරුවසියාත් මේ ගැඹුරු සංවාදයට සූදානම් නැහැ. ඒ නිසා එවැනි සංවාදයක් හදා ගැනීම අභියෝගයක්. අපි සූදානම් වන්නේ මේ ගැඹුරු සංවාදයට පුරවැසියා සූදානම් කිරීමටයි. එයින් තොරව මේ රටට අනාගතයක් හදන්න වෙන්නේ නැහැ.

 ඕනෑම රටක ස්ථාවරත්වය රඳා පවතින්නේ ඒ රට ආර්ථික වශයෙන් කොතරම් ශක්තිමත් ද යන්න මතයි. රටක් ආර්ථික වශයෙන් ශක්තිමත් නම් සමාජීය අපරාධ අඩුයි. රෝහල්වල බෙහෙත් තිබෙනවා. මිනිසුන්ට කන්න බොන්න තිබෙනවා. දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලැබෙනවා. පාසල්වල පහසුකම් තිබෙනවා. තරුණ තරුණියන්ට රැකියා අවස්ථා තිබෙනවා. ව්‍යාපාර සාර්ථකව පවත්වාගෙන යන්න පුළුවන්. නීතිගරුක සමාජයක් විනය ගරුක සමාජයක් ඇති වෙනවා. සෑම ජන කොටසකටම හොඳ ජිවන තත්වයක් ඇති වෙනවා.

අපේ රටේ සමාජීය අපරාධ වැඩියි කියන්නේ, පාසල්වල පහසුකම් අඩුයි, අධ්‍යාපනය නිසි පරිදි ලැබෙන්නේ නැහැ, රෝහල්වල බෙහෙත් නැහැ, ඉගෙන ගත්තාට රැකියා අවස්ථා නැහැ, ව්‍යාපාර පවත්වාගෙන යෑම අසීරුයි නම් එයින් කියැවෙන්නේ අපේ රටේ ආර්ථිකය ශක්තිමත් නැති බවයි.

මේ තත්වය ඇති වෙන්න බලපා ඇති සැබෑ හේතුව ගැන සාකච්ඡා නොකර අපේ රටේ ජනාධිපතිගේ අගමැතිගේ සිට ආණ්ඩුපාක්ෂික ගමේ සාමාන්‍ය වැසියා දක්වා සෑම කෙනාම කියන්නේ රට දැවැන්ත ණය උගුලක හිරවෙලා කියලයි. රාජපක්ෂ පාලනය අපට භාර දුන්නේ මීතොටමුල්ල කුණු කන්දට වඩා විශාල ණය කන්දක් කියලා මේ හැමෝම කියනවා. රවි කරුණානායක මහතා මුදල් ඇමැති විදිහට හිටපු කාලේ ගහපු පොතක් තිබෙනවා අපේ ආර්ථිකය ගැන. ස්තුතිවන්න වෙනවා මෙවැනි පොතක් කරපු එක ගැන.

දැන් මේ පොතේ තිබෙනවා අපේ ණය වැඩි වුණ විදිහ. 1985 දී අපේ ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 130යි. 2016 වෙනකොට බිලියන 10,500යි. දැන් අපේ රටේ පාලකයන් සමත් වෙන්න  ඕන මේ ණය අරන් මොනවද කළේ කියලා පෙන්වන්න. අපි බැංකුවකින් නිවාස ණයක් ගත්තා නම් ඒ ණය වියදම් කළ විදිහ බැංකුවට පෙන්වන්න  ඕන. ඒක පෙන්වන්න අපේ පුරවැසියන්ට පුලූවන්. ඉතිහාසයේ අපේ රට පාලනය කළ දැනට ජීවතුන් අතර සිටින පාලකයන්ට පෙන්වන්න පුලූවන්ද අපි රටක් හැටියට ගත් කෝටි දසලක්ෂ පනස් දාහට නැත්නම් බිලියන දහදාස් පන්සීයට මොකද වුණෙ කියලා. දකුණු අධිවේගී මාර්ගය කෝටි අටදාහයි. කටුනායක අධිවේගී මාර්ගය කෝටි හත්දාහයි. නොරොච්චෝලේ කෝටි හත්දාස් පන්සීයයි. මත්තල ගුවන්තොටුපොළ කෝටි තුන්දාස් පන්සීයයි. හම්බන්තොට වරාය කෝටි දාහතර දාහයි. ඔක්කොම කෝටි හතළිස් දාහයි. කෝ ඉතිරි මුදල? කෝ ණය?

ඒ ණයවලින් තමයි සජින් වාස්ගේ සිංගප්පූරු ගිණුමට මුදල් ආවේ. ඔහුට හෙළිකොප්ටර ලැබුණේ. ගුවන් පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කරන්න හැකි වුණේ. ඒ ණය වලින් තමයි බැසිල් රාජපක්ෂලා එංගලන්තයේ ඇමෙරිකාවේ ගෙවල් ගත්තේ. මල්වානේ ඉඩම් අරන් මාලිගාවක් හැදුවේ. මහින්දානන්ද අලූත්ගමගේලා එංගලන්තයෙන් ගෙවල් ගත්තේ. රවි කරුණානායකලා ලක්ෂ එකසිය අසූපහකට ගෙවල් ගන්නේ. යෝෂිතලා සී.එස්.එන්. නාලිකා පවත්වාගෙන ගියේ. ඒක එහෙම නෙවෙයි කියනවා නම් ණයවලට කරපු දේ පෙන්වන්න.

2009 ආණ්ඩුවේ මුළු ආදායම බිලියන හත්සීයයි. ගහන්න තියෙන සියලූ බදු ගහලා තමයි මේක ගත්තේ.  2009දී ණය පොලී වාරිකය බිලියන 820යි. ආදායම බිලියන 700යි. 2010දී ණය පොලී වාරිකය බිලියන 820යි. ආදායම බිලියන 817යි. 2013දී ණය පොලී වාරිකය 1144යි. ආදායම බිලියන 1137යි. අපේ රටේ රාජ්‍ය සේවකයින්ට සහ විශ‍්‍රාම වැටුප් සඳහා පමණක් මිලියන 620ක්  ඕනෑ.

තමන්ගේ ආදායම ණය ගෙවාගන්න බැරි තැනට ආවොත් සාමාන්‍ය නිවසකට කියන්නේ හිඟන ගෙයක් කියලා. ඒ වගේ අපේ රට අද හිඟන රටක් බවට පත්වෙලා. අපේ රට දැන් ණය ගෙවාගන්න බැරි පොලූකාරයෙක් බවට පත්වෙලා. ඒ නිසා දැන් රටේ සම්පත් ටික විකුණනවා. හම්බන්තොට විකුණුවා වගේ තව නොබෝ දිනකින් මේ ආණ්ඩුව මත්තලත් විකුණනවා. රාජපක්‍ෂ කාලෙ කළෙත්  ඕක. චීනෙට එකයි, ඉන්දියාවට එකයි විදිහට ව්‍යාපෘති දුන්නා. අපේ රට ආර්ථික වශයෙන් බංකොලොත් වුණාම ස්වාධීනත්වය අහිමිවෙලා යනවා.

2015 රු. 130ට තිබුණු ඩොලරය අද 155වෙලා. රුපියල කඩා වැටුණා. රුපියල කඩා වැටීම නිසා පමණක් 2015-2016 ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 471කින් වැඩිවුණා. රුපියල කඩා වැටුණේ ඇයි? අපේ රටේ අපනයන ආදායම හා ආනයන වියදම අතර පරතරය වැඩිවීම හා අපනයනය දිගින් දිගටම කඩාවැටීම එයට හේතුවයි.

කුරහන් තලප ගිල්ලට වක්කඩෙන් අත හේදුවට, සාටකය දැම්මට කවුරු හරි රටක නායකයෙක් වෙන්නේ නැහැ. ප‍්‍රධාන පාසලකින් ඉගෙන ගත්තට, ටයි කෝට් දැම්මට, කාට හරි රටක නායකයෙක් වෙන්න බැහැ. අපේ රට හිඟන රටක් බවට පත්කරපු මේ අය නායකයොද? පපුවට ගහ ගත්තට පොළොව ඉම්බට නායකයෙක් වෙන්නේ නැහැ. රටක් ආර්ථික වශයෙන් ගොඩනගනවා නම් තමයි රටක නායකයෙක් වෙන්න පුළුවන්කම තියෙන්නේ. නමුත් අද අපේ රට ආර්ථික වශයෙන් කඩා වැටිලා. දැන් ආණ්ඩු මාරු කිරීමෙන් හරි නායකයන් මාරු කිරීමෙන් හරි මේ රට හදන්න පුළුවන්කමක් නැහැ.

අද අධ්‍යාපනය මුහුණදී තිබෙන ඛේදවාචකය මොකක්ද? මීට පෙර සල්ලි තියෙනවාද නැද්ද කියන කාරණය සලකන්නේ නැතිව තමන්ගේ දරුවට හොඳ අධ්‍යාපනයක් දෙන්න  ඕනෑ කියලා වුවමනාවක් මවුපියන්ගේ ලේවලටත් කාවැදී තිබුණා. දොස්තර තමන්ගේ පුතා දොස්තර කෙනෙක් කරන්න උගන්වනකොට තී‍්‍රවීල් රථ රියැදුරා තමන්ගේ පුතා දොස්තර කෙනෙක් කරන්න අධ්‍යාපනය ලබාදෙන්න උත්සාහ කළා. නමුත් අද මොකද වෙලා තිබෙන්නේ. අද දරුවකුගේ අධ්‍යාපනය තීරණය වෙන්නේ මුදල මතයි. ගොවියකුගේ ධීවරයෙකුගේ, රාජ්‍ය සේවකයකුගේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන තියෙන බලාපොරොත්තු ඉටු වෙනවද? මවුපියන් දරුවන් අරගෙන ටියුෂන් එකෙන් පාසලට, පාසලෙන් ටියුෂන් එකට යනවා. අද අපේ දරුවන්ට නාට්‍යයක් බලන්න, පොතක් කියවන්න, මළ ගෙදරක යන්න වෙලාවක් නැහැ. දරුවන්ගේ සංස්කෘතියට මොකද වෙලා තිබෙන්නේ.

රවී කරුණානායක හදපු වාර්තාවට අනුව කියනවා, මේ කලාපයේ අඩුවෙන්ම අධ්‍යාපනයට වියදම් කරන රට ලංකාව කියලා. වියට්නාමය, රටේ ආදායමින් 6.3%ක් මැලේසියාව 6.2%ක්, මාලදිවයින 5.2%ක්, ඉන්දියාව 3.8%ක්, පිිලිපීනය 3.4%ක්, සිංගප්පූරුව 2.9%ක්, බංගලාදේශය 2.1%ක් අධ්‍යාපනයට වෙන් කරද්දී ශී‍්‍ර ලංකාව වෙන් කරන්නේ 1.2%ක් පමණයි. අපේ රටේ පාලකයන් හොඳද? අපේ රටේ අධ්‍යාපනය මේ වගේ තැනකට පත්කරපු එකම මදිද මේ පාලකයන් ගෙදර යවන්න.

අපි හැමෝම එකතුවෙලා ආණ්ඩුවක් හදමු. සහතික කර කියනවා, අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් කරන්න අපිට පුළුවන් කියලා.

2016 වර්ෂයේ සංඛ්‍යාලේඛන අනුව අපේ රටේ ගෙවල් කොල්ලකෑම් 653ක් සිදුවෙලා තිබෙනවා. රුපියල් 25,000ට වඩා කොල්ලකෑම් 3822ක සිදුවෙලා තිබෙනවා. දැරියන් 337ක් දුෂණයට ලක්වෙලා තිබෙනවා. 2016 මුල් මාස 6 තුළ වාහන අනතුරුවලින් 2934ක් මියගිහින් තිබෙනවා. දිනකට 16 දෙනෙක් වාහන අනතුරුවලින් මියගොස් තිබෙනවා. රේල් පාර මාරු වෙන්න ගිහින් 26දෙනෙක් මිය ගිහින් තිබෙනවා. විනයක් නැති රටක් බවට අපේ රටට පත්වෙලා තිබෙනවා. කුණු කඳුවලට යට වෙලා, ගං වතුරට යට වෙලා, පස් කඳු නාය ගිහිල්ලා මිනිස්සු මැරෙනවා. සෑම කෙනෙක්ම අනතුරක් සහිත මරණයක් තිබෙන පුරවැසියන් බවට පත්වෙලා තිබෙනවා. අපේ රට මහා ඛේදවාචකයකට මුහුණ දීලා තිබෙනවා.

සමහරු කියනවා, අපිට දේශපාලනයෙන් වැඩක් නැහැ, ‘අපේ හිසට අප අතම සෙවණැල්ල’ කියලා. ඒක වැරදියි. අද අපි මුහුණ දීලා තියෙන මේ අර්බුදය නිර්මාණය වුණේ වැරැදි දේශපාලනය නිසා. මේ අර්බුදය විසඳීම සඳහා පිළිතුරු සොයා ගත හැක්කේ දේශපාලනයෙන්ම පමණයි.

අද අපේ රටේ දේශපාලනය ලාභම ව්‍යාපාරය බවට පත්වෙලා. ඒ නිසා මේ ලාභ ලබන ව්‍යාපාරය වෙනුවට දේශපාලනය මහජන සේවයක් බවට පත්කළ යුතුව තිබෙනවා. අපි සහතිකකොට කියනවා, අපේ රටේ දේශපාලනය මහජන සේවයක් බවට පත්කරනවා කියලා.

අද අපේ රට වංචාවෙන්, දුෂණයෙන් පිරිලා. ලලිත් වීරතුංග රාජ්‍ය මුදල් අවභාවිතය නිසා අද සිර දඬුවම් විඳිනවා. ඔහු යහපත් රාජ්‍ය සේවකයෙක් කියලා සමහරු කියනවා. ඒක පට්ටපල් බොරුවක්. අග‍්‍රාමාත්‍ය ලේකම් විදිහට ඔහු ඉන්න කාලේ හෙල්පින් හම්බන්තොට ගිණුම පිළිබඳ නඩු තීන්දුව දෙන දවසේ ලලිත් වීරතුංග ඇයි ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ? ශිරාණි බණ්ඩාරනායක අග‍්‍රවිනිශ්චයකාර ධුරයෙන් නෙරපා දමන විට ඇයට එල්ල වූ ප‍්‍රධාන චෝදනාව වත්කම් බැරකම් හෙළි නොකිරීමයි. ඒ වෙලාවේ වත්කම් බැරකම් නොදුන් ඇමැතිවරුන්ට වත්කම් බැරකම් හදාගන්න උපදෙස් දුන්නේ කවුද කියලා අපි දන්නවා.

ජනාධිපතිවරණයේදී සිල් රෙදි බෙදීම නිවන පතා කළ දෙයක් නොවෙයි. මැතිවරණය වෙලාවේදී මැතිවරණ කොමසාරිස් මෙම සිල් රෙදි බෙදීම වළක්වනු ලැබුවා. මැතිවරණයේදී අල්ලස් දෙන්න උදවු කරපු කෙනෙක් කොහොමද පිරිසුදු මහත්තයෙක් වෙන්නේ? ලක්‍ෂ 6,000ක් වියදම් කරලා සිල් රෙදි බෙදන එක විදුලි සංදේශ නියාමන කොමිසමට අයිති වැඩක් නොවෙයි. ලක්‍ෂ 6,000ක සිල් රෙදි කියන්නේ ලංකාව වටේ තුන් සැරයක් ඔතන්න තරම් රෙදි ප‍්‍රමාණයක්. ඒ විතරක් නෙවෙයි, එම රෙදි පාර්සල් ඇතුළේ මහින්ද රාජපක්‍ෂ අපේක්‍ෂකයාගේ ලිපියක් තිබුණා. ඒ නිසා ඒක ඡුන්ද අල්ලසක් බව පැහැදිලියි. ඒ නිසා අපේ රටේ භික්‍ෂූන් වහන්සේලා කිපෙන්න  ඕනෑ සිල් රෙදි බෙදන්නවත් නිදහස නැහැ කියන එකට නොවෙයි සිල් රෙද්දත් ඡුන්ද අල්ලසක් විදිහට යොදා ගත් එකටයි.

සිල් රෙදි විතරක් නොවෙයි, අල්ලස් විදිහට දුන්නේ. කී‍්‍රඩා අමාත්‍යාංශය කැරම් බෝඞ් 14,000ක් බෙදුවා. බැසිල් රාජපක්‍ෂ ඡුන්ද රැුස්වීම්වල කොඩි දාන්න දිවි නැගුම අරමුදලින් ලක්‍ෂ 200ක් වෙන් කරලා කොඩි කණු බෙදුවා. අනුර පි‍්‍රයදර්ශන යාපා පෙට්‍රෝලියම් එකෙන් ලක්‍ෂ 61ක් අරගෙන වියළි ආහාර බෙදුවා. ජොන්ස්ටන් ප‍්‍රනාන්දු සතොසින් ලක්‍ෂ 60 ක බඩු බෙදුවා. ජගත් පුෂ්පකුමාර වැවිලි සමාගමේ මුදල් වියදම් කරලා රෙදි බෙදුවා. සමෘද්ධිලාභීන්ට 2500 ගානේ බැසිල් රාජපක්‍ෂ බෙදලා දුන්නා. ඒ සඳහා කෝටි 300ක පමණ මුදලක් සමෘද්ධි බැංකුවලින් ගත්තා. ඒ ඡුන්දෙදි ලලිත් වීරතුංග කටයුතු කළේ ලේකම්වරයකු ලෙස නොවේ. ඔහු වැඩ කළේ දේශපාලනඥයකු ලෙසයි.          

මෙම නඩුවට මැදිහත් වූ නීතිපති දෙපාර්තමේන්තුවට අපි ස්තුතිවන්ත වෙනවා. මෙම පරීක්‍ෂණය භාරව කටයුතු කළ අරුණ පේ‍්‍රමශාන්ත, රවී විද්‍යාලංකාර ඇතුළු පොලිස් නිලධාරීන්ටත් අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න  ඕනෑ. මෙම පරීක්‍ෂණය යනකොට අධිකරණයට බලපෑම් ආවා. ලලිත් වීරතුංගට එරෙහිව මෙම පරීක්‍ෂණ සිදුකළේ රාජ්‍ය නිලධාරීන්ම තමයි. එම කටයුත්ත අපි අගය කළ යුතුව තිබෙනවා.

යහපාලනය ඇතුළේ අද රාජ්‍ය නිලධාරීන්ට මොකද වෙන්නේ? පුනරුත්ථාපන අමාත්‍යාංශය නව කාර්යාලයට ලක්‍ෂ 30ක තක්සේරුව තිබිය දී ලක්‍ෂ 50ක් ගෙවීමට ඇමැතිවරයා නියෝග කළා. ඒ කි‍්‍රයාවලියට එරෙහි වුණු නිලධාරීන් දෙන්නාම මාරුකරලා. කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් ගත් ගොඩනැගිල්ලට මාසිකව රු. මිලියන 24 ගානේ ගෙවමින් තිබුණා. මාස 8ක් ගිය පසුත් පදිංචියට ගියේ නැහැ. එම බිල්ඩිමට මුදල් ගෙවීමට චෙක්පත අත්සන් කිරීම ප‍්‍රතික්‍ෂේප කිරීම නිසා අතිරේක ලේකම් වරියකුත් මාරුකරලා.

අරුන්දික ප‍්‍රනාන්දුගේ අමාත්‍යාංශයට පාවිච්චි කළ වාහන දෙකක් ගැනීම ප‍්‍රතිකේෂප කළ (රාජ්‍ය ආයතනයකට මිලදී ගත හැක්කේ අලූත් වාහන පමණි)  ප‍්‍රධාන ගණකාධිකාරිවරියකුත් මාරු කරලා දැම්මා. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ මහත්තයා මන්තී‍්‍රවරුන් 58කට මාස 60ක් සඳහා ලක්‍ෂ 7 ගණනේ කුලී පදනම මත වාහන ලබා ගැනීමේ කැබිනට් තීරණය අනුව ඉදිරිපත් කළ චෙක්පත අත්සන් කිරීම ප‍්‍රතික්‍ෂේප කළා. මොකද කළේ ඔහුව මාරුකරලා දැම්ම.

ඒ නිසා අද රජයේ නිලධාරීන්ට බලපෑම් එනවා. එම බලපෑම්වලට යට නොවී වැඩ කරන රාජ්‍ය නිලධාරීන්ට අපි ගෞරව කළ යුතු වෙනවා. ලලිත් වීරතුංග බලපෑම්වලට යටවී වැඩ කළා නොවේ. ඔහු කැමැත්තෙන්මයි ඒ දේවල් කළේ. ඒ නිසා බලපෑම්වලට යට නොවී වැඩ කරන රාජ්‍ය නිලධාරීන් ආරක්‍ෂා කිරීමේ වගකීම ජනතාවට තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ සූදානම් ජනතාව සමඟ එක්වී වංචාවට, දුෂණයට එරෙහිව වැඩ කරන රාජ්‍ය නිලධාරීන් ආරක්‍ෂා කරන්න.

අද අපේ රටේත් දුෂිත වළල්ලක් තිබෙනවා. දේශපාලකයෝ, 2400ක් වූ පරිපාලන ක්‍ෂේත‍්‍රයේ 100ක් පමණ සුළු පිරිසක්, වාස් ගුණවර්ධන, අනුර සේනානායක වගේ පොලිස් නිලධාරීන් සුළු පිරිසක්, හමුදාවේ කුඩා ප‍්‍රමාණයක්, ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක්, මාධ්‍ය හිමිකරුවන් කිහිප දෙනෙක්, මාධ්‍යවේදීන් අතළොස්සක්, පාතාල නායකයන් සහ ඇතැම් යුක්තිය පසිඳලීමේ ආයතන කිහිපයක් මේ ¥ෂිත වළල්ලේ ඉන්නවා.

මෙහිදි අදහස් දැක්වු ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා මෙසේ පැවසීය.

සියල්ල විකිණෙන ජරාජීර්ණ වූ ඔද්දල් වෙච්ච මඩගොහොරුව ඇතුළේ  මිනිස්කම සහෝදරත්වය සාමුහිකත්වය විකුණන්න බැහැ. විකුණන්න දෙන්නෙත් නැහැ කියන කාරණාව තමයි අද මේ දිරිය පුරවැසි සමිතිවලට එක්ව සිටින ඔබ රටටම දෙන පණිවුඩය.

මොන ආගමකට මොන ජාතියකට අයත් වුණත් මොන කුලයකට අයත් වුණත් අපි මේ රටේ මිනිසුන්. එවැනි මිනිසුන් ලෙස මේ රට හදන්න එකතු වුණ පොදු පුරවැසියාගෙන් හැදුන ගම හදන රට හදන දේශපාලන ව්‍යාපාරයකින් මෙහෙයවන පළමු පොදු සමිතිය තමයි මේ දිරිය පුරවැසි සමිතිය.

මෙහිදී දිරිය පුරවැසි කොළඹ දිස්ත‍්‍රික් සමුළුවේ සභාපති පළාත් සභා මන්ත‍්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා ද දිරිය පුරවැසි කොළඹ දිස්ත‍්‍රික් සමුළුවේ ලේකම් සමාජවාදී කාන්තා සංගමයේ ජාතික සංවිධායිකා සමන්මලි ගුණසිංහ මහත්මිය ද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අනිල් ජයන්ත මහතා ද අදහස් දැක්වූහ.

මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත‍්‍රීවරුන් වන සුනිල් වටගල, සරත් පතිරණ මහත්වරු ද එම පක්ෂයේ පළාත් සභා හා හිටපු පළාත් පාලන මන්ත‍්‍රීවරු ද දිරිය පුරවැසි සමිතිවල කොළඹ දිස්ත‍්‍රික් සාමාජික සාමාජිකාවෝ විශාල පිරිසක් ද එක්ව සිටියහ.