(මුදිතා දයානන්ද)

මැතිවරණ කොමිසම ස්වාධීන නම් පුංචි ඡන්දය පවත්වන දිනය තීරණය කරන්න දේශපාලනඥයින්ට බැහැ. ඒක කරන්නේ කොමිසමයි කියලා බය නැතුව ප‍්‍රකාශ කරන්න යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

ගම්මන්පිල මහතා මෙසේ පැවසුයේ ඊයේ (4) පිටකෝට්ටේ පිවිතුරු හෙළ උරුම කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.

එහිදී අදහස් දැක්වූ ගම්මන්පිල මහතා මෙසේද පැවසීය.

පුංචි ඡන්දය පවත්වන්නේ පෙබරවාරි මාසයේ 10 වැනිදා කියලා අගමැතිතුමා ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශයක් කර තිබෙනවා. අගමැතිතුමා එහෙම උපදෙසක් මැතිවරණ කොමිසමට දෙන්න ඇති. නමුත් අඩුම තරමින් අගමැතිතුමා මැතිවරණය පවත්වන දිනය මැතිවරණ කොමිසමෙන් ප‍්‍රකාශ කරන තුරු තව පොඞ්ඩක් ඉවසාගෙන හිටියා නම්, මැතිවරණ කොමිසම ස්වාධීනයි කියලා පෙන්වන්න වත් තිබුණා. දැන් මේ කතාවෙන් මැතිවරණ කොමිසමේ රාජකාරියක් අගමැතිවරයා පවරා ගෙන කියලා කාටත් පේනවා.

රාජ්‍ය සේවය, අධිකරණය, මැතිවරණ ක‍්‍රියාවලිය, විගණන ක‍්‍රියාවලිය ස්වාධීන කරන්න  ඕනේ කියලා, මේ ආණ්ඩුවමයි මහා හඬක් නඟලා,  19 වැනි සංශෝධනය ගෙනාවේ. එහෙම කරලා ජනාධිපතිතුමා විනිසුරුවන් පත්කිරීමට ඇඟිලි ගහනවා නම් කෝ අධිකරණ සේවා කොමිසමේ ස්වාධීනත්වය? අගමැතිතුමන් මැතිවරණවලට දින නියම කරනවා නම් කෝ මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වය?

මැතිවරණ කොමිසම දීර්ඝ කාලයක් අපේ අවලාදවලට ලක් වුණා. නමුත් අධිකරණයෙන් වාරණයට ලක් නොවූ පළාත් පාලන ආයතන 93ක ඡන්දය පවත්වන්න ඍජු තීරණයක් අරන් මැතිවරණ කොමිසම යන්තම් තමන්ගේ ස්වාධීනත්වය පෙන්නුවා විතරයි පුදන කොටම කාපි යකා කියලා අගමැතිතුමා මැතිවරණයට දින නියම කළා. මේක මැතිවරණ කොමිසමේ සැබෑ නිරුවත රටට ප‍්‍රර්ශනය කිරීමක් විදහටයි අපි දකින්නේ. ඒ වගේම මේ දිනය පිළිබඳව ලොකු ගැටලූ තියෙනවා. පළාත් පාලන ඡුන්ද විමසීම් අඥා පනතේ 2012 වසරේ ගෙනාව සංශෝධනයන් අනුව නාමයෝජනා අවසන් වීමෙන් පසු සති පහකට නොඅඩු සති හතකට නොවැඩි දිනයක මැතිවරණය පැවැත්විය යුතුයි.

දැන් දෙසැම්බර් 14 වෙනිදා නාම යෝජනා අවසන් වෙනවා. එදින තමයි මැතිවරණය පවත්වන දිනය සාමාන්‍යයෙන් ප‍්‍රකාශයට පත් කරන්නේ.  ඒ අනුව ඡන්දය පැවැත්විය යුත්තේ ජනවාරි 18ත් පෙබරවාරි 01ත් අතර කාලයේදී. එහෙම නම් අගමැතිතුමා කොහොමද කියන්නේ ඡන්දය තියන්නේ පෙබරවාරි 10 කියලා.

අගමැතිතුමා මේ රිංගලා තියෙන්නේ පනතේ තිබෙන පොඩි සිදුරකින්. කලින් පනතේ නාම යෝජනා අවසන් කළ දිනයේම මැතිවරණය ප‍්‍රකාශ කළ යුතු බව සඳහන් වුවත් අලූත් පනතේ සඳහන් වන්නේ නාම යෝජනා අවසන් කළ පසු කියලයි. ඒ අනුව මැතිවරණ දිනය ප‍්‍රකාශ කරන දිනය දින නවයකින් කල්දා ගත්තොත් පෙබරවාරි 10 වැනි දා දක්වා මැතිවරණය කල් දාගන්න පුළුවන්. මෙය නීතිය පොළොවටම නවලා කරපු වැඩක්. ඇයි මෙහෙම කරන්නේ? කලින් නාම යෝජනා කැඳවූ 93යි අදින් නාම යෝජනා භාර ගැනීම ආරම්භ කරන ඉතිරි පළාත් පාලන ආයතනයි සියල්ලේම ඡන්දය එකම දිනයක පවත්වා ගැනීම සඳහා තමයි මේ උත්සාහ කරන්නේ.

මේ සියල්ල එකම දිනයක පවත්වන්නේ නැතුව 93ක් කලින් තිබ්බොත් ඒකාබද්ධ විපක්ෂය නැතිනම් පොදුජන පෙරමුණ ලබන විශිෂ්ට ජයග‍්‍රහණයේ බලපෑමක් ඇති වෙනවා අනිත් ඒවට. ඒ ඇති කරන බලපෑම වළක්වා ගැනීමේ අරමුණින් තමයි සියලූ ආයතනවල මැතිවරණය පෙබරවාරි 10 වැනි දා එකට පවත්වන්නේ.        

මැතිවරණ කොමිසම සැබැවින්ම ස්වාධීන නම් අද මාධ්‍ය හමුවක් පවත්වා කොමිසම කිව යුතුයි මැතිවරණවලට දින නියම කරන්න අගමැතිවරයාට බලයක් නැත. එහි වගකීම තිබෙන්නේ අපිටයි කියලා. ඒ වගේම දෙසැම්බර් 14 වැනිදා දින නාමයෝජනා භාරගෙන අවසන් වන පළාත් පාලන ආයතන 93 මැතිවරණය අපි පෙබරවාරි 1 වැනි දා හෝ ඊට ප‍්‍රථම පවත්වනවා කියන සිංහ නාදය මැතිවරණ කොමිසමෙන් ඇසෙවිද කියා අපි කන් යොමා අසා සිටිනවා.

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ වරප‍්‍රසාද බරපතළ ලෙස උල්ලංඝණය වී තිබෙනවා. මේ රටේ  ඕනෑම පුරවැසියකුට තොරතුරු දැනගැනීමේ පනත අනුව රාජ්‍ය ආයතනයක තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. උත්තරීතර පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයන් දෙසිය විසිපස්දෙනා වන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට පුරවැසියන්ටත් වඩා මේ අයිතිය තිබිය යුතුයි. එහෙත් මන්ත‍්‍රීවරු වන අප අහන ප‍්‍රශ්නවලට පාර්ලිමේන්තුව තුළ වසර  දෙකක් ගතවෙලාවත් පිළිතුරු ලැබෙන්නේ නැහැ.

මම 2016 පෙබරවාරි ප‍්‍රශ්නයක් යොමු කළා 2015 වසරේ ජනාධිපතිවරයාගේ විදේශ සංචාර මොනවාද? ඒවාට ගිය අය කවුද? ගියේ කුමන පදනමින්ද? කරපු වියදම කොපමණද? කියලා. අද වනතුරු එයට පිළිතුරු නැහැ.

පැනමා පත‍්‍රිකාවල නම් සඳහන් දේශපාලනයට සම්බන්ධ අය වෙන රටවලදී නම් තම තනතුරු වලින් ඉවත් වුණා, නැත්නම් ඉවත් කළා. එහෙත් අපේ රටේ එවැන්නක් සිදු වූයේ නැහැ. මේ අය කරලා තිබෙන්නෙත් කළු සල්ලි විදේශවල සඟවපු එකයි. ඇයි ඒ අය ගැන සොයන්නේ නැත්තේ? මේ ආණ්ඩුව ආපු ගමන් තමන්ට විදේශ සම්බන්ධතා වැඩියි කියලා පෙන්වන්න හැදුවානේ. පුළුවන් නම් පෙන්වන්න 2014ට වඩා 2015 හා 2016 ලබාගත් විදේශ ආධාර වැඩියි කියලා. එහෙම කියන්න බැහැ. ඒ නිසා ඒ අහපු ප‍්‍රශ්නයටත් පිළිතුරු දෙන්නේ නැහැ. අපි පාර්ලිමේන්තු යාමේ තේරුමක් නැති තත්ත්වයක් මේ කාරණා නිසා ඇතිවෙලා තිබෙනවා.

ඒ වගේම මේ ආණ්ඩුව බලයට පත්වුණාට පස්සේ දිගින් දිගටම උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීමේ ක‍්‍රියාවලියක නියැළී සිටිනවා.  මම ඇහුවා යුද්ධය අවසන් වන විට තිබූ හමුදා කඳවුරු හා දැනට තිබෙන කඳවුරු ප‍්‍රමාණය ගැන. නමුත් එයට පිළිතුරු දීමෙන් එල්ටීටීඊයේ සැබෑ තත්ත්වය හෙළි වන නිසා, ඔවුන්ට එය අවාසි වන නිසා  උත්තර නොදී මඟ හරිනවා. ඒ නිසා මේ අය තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කළා යනුවෙන් නඟනා සිංහ නාද හුදෙක් නරින්ගේ හූවකට පමණක් සමාන වන බව තමයි මේ කාරණා වලින් හෙළි වෙන්නේ.

පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රචාරක ලේකම් තුෂාර දිසානායක මහතා හා හිටපු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී සීගිරියේ ධම්මින්ද හිමි ද අදහස් දැක් වූහ.