(අංජුල මහික වීරරත්න සහ ලුණුගල ප්‍රසන්න පද්මසිරි) 

‘දේශපාලනය යනු කෙසේ හෝ බලය ගැනීම වුවද තමා වැඩි අවධානය යොමු කළේ ප්‍රධාන පක්ෂ දෙක එකතුවී ජනතාවට වැඩ කරන්නේ කෙසේද යන්න පිළිබඳව’ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බිබිලදී පැවසීය. 

ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකට තබාගෙන දේශපාලනිකව ඉදිරියට යාමට තමා මහත් වෑයමක් ගත්තේ යැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් ප්‍රකාශ කළේය. 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ සඳහන් කළේ බිබිල මැදගම පොතුබන්දන විහාරස්ථානයේ නව සංඝාවාසය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි. 

බිබිල මැදගම පොතුබන්දන විහාරස්ථානයේ නව සංඝාවාසය විවෘත කිරීම බහුකාර්ය ගොඩනැගිල්ලට මුල්ගල තැබීම සහ බිබිල පොදු වෙළෙඳපොළ  සංකීර්ණය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොතුබන්දන විහාරස්ථානයේදී මෙසේ සඳහන් කළේය. දේවානම්පියතිස්ස රජතුමාගේ කාලයේ සිට පැවත එන දීර්ඝ ඉතිහාසය මේ විහාරස්ථානයට තිබෙනවා. ථෙරවාදී බුදු දහම විහාරස්ථානය තුළ අතීතයේ සිට ආරක්ෂා වුණා. ඒ නිසා ශ්‍රී ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාරය තුළ තිබෙන මුතු ඇටයක් ලෙසත් විහාරස්ථානය හැඳින්විය හැකිය. 
මේ ප්‍රදේශය තුළ අපේ ආණ්ඩුව යටතේ විශාල වැඩකොටසක්  කරමින් පවතිනවා. රංජිත් මද්දුම බණ්ඩාර ඇමැතිතුමා මේ වැඩසටහන් පිළිබඳව දැනුවත් කළ අවස්ථාවේ මා එය ඉතා කැමැත්තෙන් බාර ගත් බව කිව යුතුයි. 

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වූ අවස්ථාවේ සිට ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම එකට එක්වී රට පාලනය කිරීමට ඇති හැකියාව පිළිබඳව අවධානය යොමු කළා. ඒ අනුව එක්සත් ජාතික පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසකුත් වර්තමානයේ එක්වී වැඩ කරනවා. දේශපාලනිකව විවිධ මත දැරූ වාද විවාද කළ පිරිසක් එක්වී රට පාලනය කිරීම ලෙහෙසි කාර්යය නොවෙයි. ඒ හරහා වසර 40-50 පුරා තිබූ ගැටලු සහ විපාක හඳුනා ගැනීමට සියලු දෙනාටම හැකියාව ලැබෙනවා. දේශපාලනය යනු කෙසේ හෝ බලය ගැනීමයි. ඒත් මා අවධානය යොමු කළේ බලය ගැනීමෙන් පසුව එක්වී වැඩ කරන්නේ කෙසේද යන්න පිළිබඳවයි. බලය ගැනීමට තරග කිරීම සාමාන්‍ය දෙයයි. ඒත් යුරෝපීය රටවල්වල මෙන් සාමකාමී ලෙස මැතිවරණ පැවැත්වීමට හැකි නම් රට තුළ ගැටලු ඇති වන්නේ නැහැ. 

යුරෝපය හෝ ආසියාවේ හෝ වේවා දේශපාලනිකව ගන්නා ඇතැම් තීරණ සාර්ථක වෙනවා. එසේ නැතිනම් අසාර්ථක වෙනවා. ජනතාවත් විටින් විට වෙනස් වෙනවා. ඒ නිසා වෙනස්කම් අවබෝධ කර ගනිමින් දේශපාලනිකව ඉදිරියට යාම පිළිබඳව පළමුවෙන්ම අවධානය යොමු කළා. අප සෑම උත්සාහයක්ම ගන්නේ මෙම තත්ත්වය පවත්වා ගැනීමටයි. විහාරස්ථානයේ ගොඩනැගිල්ල ඉදිකිරීමේදී දායක සභාව එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ ජනතා විමුක්ති පෙරමුණ හෝ ලෙස බෙදී වෙන් වුණේ නැහැ. බේදයකින් තොරව ගොඩනැගිල්ල ඉදිකිරීමට එක්වූ ආකාරයටම රට ගොඩගැනීමටත් එක්විය යුතුයි. 

මෛත්‍රීපාල සිරිසේන මහතාත් සමග ආණ්ඩුව නිර්මාණය කිරීමේදී පොළොන්නරුවට මෙන්ම මොනරාගලටත් එක හා සමානවම අවධානය යොමු කළා. පොළොන්නරුව ප්‍රදේශය ජනාධිපතිතුමා නියෝජනය කරන අතර රටේ ප්‍රධානම අමාත්‍යධුර 4ක් පාලනය කරන අමාත්‍යවරුන් දෙදෙනකු මොනරාගලට දීමට මා කටයුතු කළා.  එහි කිසිදු වෙනසක් නැහැ. 

එමෙන්ම නියෝජ්‍ය කතානායක ධුරයත් දැන් මොනරාගලටම ලබාදී තිබෙනවා. මෙවැනි තනතුරු විශාල ප්‍රමාණයක්දී තිබෙන වෙනත් දිස්ත්‍රික්කයක් රටේ නැති බව මගේ අදහසයි. ඉන් ඔබ ප්‍රයෝජන ගත යුතුයි. මොනරාගල වැනි දුෂ්කර ප්‍රදේශය දියුණු කිරීම සඳහා අප සතුව කෙටි කාලීනව හා දිගු කාලීන සැලසුම් තිබෙනවා. නියඟය සහ ජල හිඟය නිසා මේ ප්‍රදේශවල ජනතාවගේ ආර්ථිකය කඩා වැටිලා. ආර්ථික කඩා වැටීම සමස්තය ලෙස රටටම බලපානවා. 

පසුගිය වසර 10-15 තුළ රටට අවශ්‍ය බඩු භාණ්ඩ පිටරටින් ආනයනය කිරීමට අවශ්‍ය විදේශ විනිමය රටේ තිබුණේ නැහැ. යුද්ධය හෝ වෙනත් හේතුන් හෝ ඊට බලපෑවා. ඒත් අවසානයේ ජනතාව ජීවත් කරවීම සඳහා පිටරටින් ණය ගැනීමට සිදුවුණා. රට වෙනුවෙන් නව වැඩසටහන් කිහිපයක්ම අපේ ආණ්ඩුව ආරම්භ කළා. ගම්පෙරළිය, එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් හරහා ජනතාවට මුදල් දීම තවත් වැඩි කිරීමට තීරණය කර තිබෙනවා. 

මහවැලි ව්‍යාපාරයේදී ණය ගත්තේ රුපියල් වලිනුයි. ඒත් පසුව විදේශ ණය ගැනීම වැඩි වුණා. 2015 වනවිට ණය ගෙවීමටත් රටේ ආදායම තිබුණේ නැහැ. අප අපහසුවෙන් හෝ ණය ගෙවීමට කටයුතු කළා. ඒ පසුබිම තුළ වැට් වැඩි කිරීම ආදී තීරණ ගැනීමට අපට සිදුවුණා. 

රට බංකොලොත් නොවී ඉදිරියට ගෙන ආවේ ඒ තීරණ නිසයි. එසේ වුවත් බඩුමිල වැඩිවීම සම්බන්ධයෙන් අපට දොස් කියනවා. ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට නම් රට වෙනුවෙන් අලුත් වැඩසටහන් ඇතිකළ යුතුයි. නව ආර්ථිකය නිර්මාණය කළ යුතුයි. 

රට හිරවී ඇති ණය උගුලට අමතරව ප්‍රදේශයට බලපාන තවත් විශාල ගැටලුව තිබෙනවා. එනම් කන්න හතරක වර්ෂාව නොලැබීමයි.  

සියලු කරුණු සලකා බලමින් ගමට මුදල් දීම තවත් වැඩි කිරීම අරමුණු කර ගනිමින් ගම්පෙරළිය වැඩසටහනක් එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනත් ආරම්භ කළා. ග්‍රාමීය මට්ටමේ ව්‍යවසායකයන්ට තව තවත් මුදල් දීමට සහනදායී ණය දීමට තම ව්‍යාපාර ආරම්භ කිරීමට ඉඩ දීමට කටයුතු කළා. වර්තමානයේ ජනතාව මුහුණපාන ලොකුම ගැටලුව නම් බැංකුවකට ගොස් ණය ගැනීමයි. අප මේ වැඩසටහන් ආරම්භ කළේ ඒ නිසයි. 

අනෙක් ප්‍රධානම කාර්ය වැව් ඉදිකිරීම හා ප්‍රතිසංස්කරණයයි. මේ ප්‍රදේශයේ වැව් කිහිපයක් අලුතින් ඉදිකිරීමට සූදානම් වෙනවා.  ඇතැම් වැව්වල රොන්මඩ  ඉවත් කරමින් ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරනවා. ඒ සඳහා අවශ්‍ය ලැයිස්තු මුදල් අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කරනවා. ඒ හරහා ගමේ ගොවිතැන් කටයුතුවලට අවශ්‍ය ජල අවශ්‍යතා ඉටු වෙනවා. මේ වැඩ කිරීම සඳහා මුදල් පැමිණෙන්නේ ගමටයි. සේවකයන් කොන්ත්‍රාත්කරුවන් සියලු දෙනාම තම ගම්මානයේ වන නිසා ව්‍යාපෘති වෙනුවෙන් ලැබෙන සියලුම මුදල් ගම තුළට ගලා එනවා. 

එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා හරහාත් මුදල් ලැබෙන්නේ ගමේ සිටින කුඩා ව්‍යවසායකයන්ටයි. එවිට ගමේ මුදල් පරිහරණය 20% පමණ ඉහළ යනවා. ණය ගෙවීමට පමණක් අප අවධානය යොමු කළේ නැහැ. ගමේ ආර්ථිකය දියුණු කිරීමටත් අප අවධානය යොමු කළා. එමෙන්ම ගමේ සමෘද්ධිලාභීන් ප්‍රමාණය වැඩි කිරීමටත්, උපාධිධාරීන්ට රැකියා දීම ඉහළ දැමීමටත් ඉදිරි වසර තුළ කටයුතු කරනවා. සියලුම පියවර ගන්නේ ග්‍රාමීය මට්ටමේ යටිතල පහසුකම් දියුණු කරමින් ප්‍රදේශය සංවර්ධනය කිරීම සඳහායි. අප ගමට මුදල් දෙන්නේ ඒ බලාපොරොත්තුව සහිතවයි. 

ඉතිහාසයේ  සඳහන් වන්නේ වෙල්ලස්ස වී වගාවට වෙන්වූ බවයි. නමුත් ලෝකයේ නව තාක්ෂණයට එක් වෙමින් කර්මාන්ත හා තාක්ෂණික නිෂ්පාදන ආර්ථිකය ඉදිරි වසර 30-40 තුළ ඇතිකළ යුතුයි. අප එක්වී සිටින්නේ රට වෙනුවෙන් වගකීම ඉටු කිරීමටයි. යැයි ද රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවසීය. 

නීතිය හා සාමය රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා:  මහා සංඝරත්නය ආශිර්වාදය උපකාරය අපට හැමදාම නොඅඩුව ලැබුණා. වෙල්ලස්සේ කැරැල්ලට වසර 200ක් පිරෙන අවස්ථාවේ වෙල්ලස්සේ සෑම විහාරයකටම උපකාර කිරීමට අපට හැකි වුණා. 

වෛරී දේශපාලනය නැති කිරීමට පක්ෂ දෙක එකතු කළ යුතු යැයි මුලින්ම කිව්වේ අගමැතිතුමායි. අප දේශපාලන භේදයකින් තොරව වෙල්ලස්ස දියුණු කරමින් සිටිනවා.  

ධීවර ජලජ සම්පත් හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා: 

අප හැකි සෑම විටම ප්‍රදේශයේ ජනතාවටත් විහාරස්ථානවලටත් උපකාර කරනවා. මේ ප්‍රදේශයේ ජනතාව බහුතරය ඡන්දය නොදුන් මේ ප්‍රදේශය වෙනුවෙන් යහපාලන රජය විශාල වැඩකොටස කරනවා. වැව් හදනවා. ඇළවේලි හදනවා. අද ජනතාව කන්න දෙක වැඩ කරනවා. 

අප ඡන්දය නොදුන්නත් ආණ්ඩුව අප තියාගෙන  ඉන්නේ ඇයි? සම්මුතිවාදය යනු එයයි. බෞද්ධ දර්ශනය අනුව මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යනවා. 

හෙට අනිද්දා වන විට මේ පන්සලටම වර්තමානයේ  නායකත්වය බලාපොරොත්තු වන අය ඒවි. නමුත් යහපාලනය අමතක කරන්න එපා.  

 විහාරාධිපති මහඔයේ ශ්‍රී දේවරක්ඛිත ජිනරතන හිමි: 

මේ විහාරයේ පෞරාණික පූජා භාණ්ඩ සොරුන් විසින් කලින් කලට ගෙන ගියා. ඉතිරි වූ කෞතුක භාණ්ඩ රැක ගැනීම මේ ගොඩනැගිල්ල ඉදිකිරීමේ මූලික අරමුණයි.  විහාරය ප්‍රදේශයේ බෞද්ධ ජනතාවට විශාල මෙහෙවරක් කරනවා. ඉංග්‍රීසි යුගයේදී අපේ ප්‍රදේශවලට විශාල හානියක් වුණා. 

නාගල රජමහා විහාරාධිපති බදුල්ල ගම්මන සුමනසාර හිමි: 

ඩඞ්ලි සේනානායක අගමැතිතුමා එකල මේ ප්‍රදේශයට ආවා. මෙවැනි ප්‍රදේශ දියුණුවී තිබෙනු දැකීම පාලකයන්ගේ එකම සතුට බවත් එතුමා එදා කිව්වා. අදත් මේ ප්‍රදේශ නොදියුණුයි. පාලකයන් මේ ප්‍රදේශ නොසලකා හැරලා.  පොළොන්නරුවේ විවෘත කිරීම් 100කට වඩා කළ බව ජනාධිපතිතුමා පසුගිය දිනෙක පැවසුවා. එසේ කරන විට වෙල්ලස්සෙත් විවෘත කිරීම කළ යුතුබව මගේ අදහසයි. සුද්දා අපට අහිමි කළ සියලු දේ මේ ජනතාවට දිය යුතුයි. බිබිල, මැදගම, පොතුබන්දන විහාරස්ථානයේ නව සංඝාවාසය විවෘත කිරීම සහ බහුකාර්ය ගොඩනැගිල්ලට මුල්ගල තැබීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විහාරස්ථාන භූමියේදී සිදු කෙරිණි. 

ඉන් අනතුරුව බිබිල පොදු වෙළඳපොළ සංකීර්ණය සඳහා මුල්ගල තැබීම ද එදින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විණ.

මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ  සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ආනන්ද කුමාරසිරි, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා සහ පළාත් සභා මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සහ ප්‍රදේශවාසීහු රැසක් ද සහභාගීවී සිටියහ.