රටේ නව දේශපාලන පෙළගැසීම් සම්බන්ධයෙන් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සමඟ කළ සාකච්ඡාවකි.

 

 

ප්‍රශ්නය:- අගමැති රනිල් කිව්වේ මාස 60 න් අලුත් රටක් හදනව කියල. මේ හදමින් යන්නේ ඒ රටද?
පිළිතුර:-
රටක් කිව්වම පාර්ශ්වකරුවෝ ගොඩක් ඉන්නවා. ඒ පාර්ශවකරුවෝ සියලුම දෙනාගේ අභිලාෂ ඉෂ්ට කෙරෙන විදියට තමයි රජයක් වැඩ කළ යුත්තේ.


ප්‍රශ්නය:- ඒ අරමුණු ඉටු වුණාද? ඉටුවෙමින් යනවද?
පිළිතුර:-
මෙහෙමයි. මූලිකම ගැටලුව නිරාකරණය කරගන්න බැරුව අනික් ඒවා කරගන්න බෑනේ. එදා ලංකාව යුද අධිකරණයට අරගෙන යන්න ලෑස්ති වෙලා හිටපු වෙලාවක. ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක දාන්න ඔන්න මෙන්න කියලා තිබිච්ච අවස්ථාවක තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා ණය කන්දරාවක් ගෙවන්න තියෙන බව දැන දැන ජනාධිපතිවරණයට ගියේ. අපි ජයග්‍රහණය කළත් අපිට දෑවැද්ද හැටියට ලැබුණේ අර මම මුලින් කියපු අභියෝගයයි. මානව හිමිකම් ප්‍රශ්නය අතිශයින්ම බැරූරුම් වෙලා තිබුණා. ලංකාවට ඔළුව උස්සන්න බැරිවෙන විදියට ආර්ථික සම්බාධක දාන්න බලාගෙන හිටියේ. අනික් පැත්තෙන් රට ඇතුළේ යුද්ධය ජයග්‍රහණය කරලා තිබුණට සාමය ජයග්‍රහණය කරගන්න බැරිව තිබුණා. ජාතීන් අතරේ අර්බුද ඇතිවෙලා තිබුණා. ආර්ථිකය පැත්තෙන් ගත්තොත් මේ ණය උගුලෙන් එළියට එන්නේ කොහොමද කියන ප්‍රශ්නය තිබුණා. මෙන්න මේ වගේ මහා ලෙඩ ගොඩක් එක්ක තමයි අපි මේ රට බාරගත්තේ.

 


ප්‍රශ්නය:- බාර ගත්තා නම් නැති බැරිකම් කිය කිය ඉඳලා වැඩක් නෑ. වැඩකරලා පෙන්වන්න ඕනැ කියලයි මිනිස්සු කියන්නේ?
පිළිතුර:-
ඒක ඇත්ත. අපි වැඩ කරන්න ඕනෑ කියන්නේ අපි උදාහරණයකට ගමුකෝ ණය උගුලේ ප්‍රශ්නය. අපි කොහොමද මේකෙන් එළියට එන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයා ගත්තා කියලා අපිට නොගෙවා ඉන්න බෑනේ. අපි ගෙවන්න ඕනැ. අපිට දැන් ගෙවන්න හැකියාවක් තියෙනවද? 2017 දී ඇමෙරිකන් ඩොලර් මිලියන 500ක් ගෙවන්න ඕනෑ. 2018 දී ඩොලර් මිලියන 510 යි. 2019 දී ඩොලර් මිලියන 1966 යි. 2020 දී 1423 යි. 2021 දී  1161 යි. 2022 දී 1784 යි. මේ විදේශීය ණය විතරයි. නමුත් අපි මෙච්චර කාලයක් ගෙවාගෙන ගියේ ඇමෙරිකන් ඩොලර් මිලියන 300 යි, 400 යි ප්‍රමාණය වගේ ගානක්. අපි දන්නවා ඉදිරියේදී අපිට ලොකු අභියෝගයක් තියෙනවා. ඒ අභියෝගය ජයගන්න නම් අපි දැන් ඉඳලා සූදානම් වෙන්න ඕනෑ. එතැනට ගිහිල්ලා අපට කල්පනා කරන්න  බැහැ දැන් අපි මොකද කරන්නේ කියලා. ඒ නිසා ඒ ණය උගුලෙන් එළියට එන්න තමයි අපි මේ ආර්ථික වැඩසටහන් හදාගෙන යන්නේ. ඒ වෙනුවෙන් තමයි හම්බන්තොට ආයෝජන කලාප ඇති කරලා ඒ චීන ආයෝජන ඇති කරලා කර්මාන්ත කලාපයක් හදලා අපනයනය සඳහා පියවර ගන්නේ. ඒ නිසා තමයි ජීඑස්පී සහනය අපට මෙච්චර වැදගත් වෙන්නේ. මේ ප්‍රශ්නයට විසඳුම තියෙන්නේ ඩොලර් වලින් ආදායම ඉපැයීමෙන්. නැත්නම් අපි කොහොමද ඩොලර් මිලියන 500 ට අඩුවෙන් ගෙවා ගත්ත ණය ඩොලර් මිලියන 1966කට වැඩියෙන් ගෙවන්නේ.

 


ප්‍රශ්නය:- ඉදිරියේදී රට දැවැන්ත ආර්ථික අර්බුදයකට ගොදුරු වෙනවා කියලා මහ බැංකුවම රජයට අනතුරු අඟවලා.
පිළිතුර:-
ඔව්. ගොදුරු නොවී ඉන්නේ කොහොමද කියලයි අපි මේ බලන්නේ. ඒක තමයි අපේ අභියෝගය. එහෙම එකක් නෑ කියලා අපි ජනතාවට බොරු කියලා හරියන්නේ නෑ. ඔබ දන්නෑ  මගේ එකම ක්‍රමවේදය තමයි ඇත්ත කතා කිරීම. ඒ ඇත්ත තමයි අපට ඉදිරියේ පේන්නේ. අපේ රටේ ඉතිහාසයේ කිසි දවසක නොවූ විරූ විදියට 2019, 2020, 2021, 2022 යන අවුරුදුවල අපට මහා විශාල ප්‍රමාණයක් ඩොලර්වලින් ණය ගෙවන්න වෙනවා. ඒකට අපිට ඩොලර් තියෙන්න ඕනැ. අපිට ණය ගන්න සීමා තියෙනවා. එක එක්කෙනාට විවේචනය කරන්න පුළුවන්. මේක එක පාරට අනික් පැත්ත හරවන්න අපි සුපර්මෑන්ලා නොවෙයි. අපිට බොරු කියන්න හැකියාවක් නෑ. අපි ක්‍රම ක්‍රමයෙන් එතැනට යන්න ඕනැ. එක පැත්තකින් හම්බන්තොට වැඩපිළිවෙල කොහොම හරි කරගන්න ඕනැ. චීනයේ සහකාර විදේශ ඇමැති ඇවිල්ලා මාත් එක්ක පැය පහක සාකච්ඡාවක් කළා. පැය පහක් කතා කළා. ඒ සාකච්ඡාව හරහා අපි එකඟ වෙලා තියෙන්නේ ඒ වැඬේ ඉස්සරහට අරගෙන යන්නයි. ඒ වගේම ඒ වැඬේ ඉස්සරහට අරගෙන යනවාමයි. 

 


ප්‍රශ්නය:- ඔබ එහෙම කිව්වත් මහ බැංකු බැඳුම්කර මගඩිය නිසා විදෙස් ආයෝජකයන් ලංකාවට එන්නේ නෑ කියලා ඒකාබද්ධ විපක්ෂය කියනවා?
පිළිතුර:-
විපක්ෂයේ ඉන්නකොට විවේචනය කරන්න පුළුවන්? බැඳුම්කරය ගැන මගේ මතය මොකක්ද කියන එක කෝප් කමිටුවේ සාමාජිකයෙක් හැටියට රටම දන්නවා මහ බැංකුවේ හිටපු අධිපතිවරයා ඕකට වගකිවයුතුයි කියලා පක්ෂ බේදයකින් තොරව පිළි අරගෙන තියෙනවා. එතැනින් එහාට කළ යුතු දේ සම්බන්ධයෙන් රජය ක්‍රියාත්මක වෙලා තියෙනවා.

 


ප්‍රශ්නය:- ජනාධිපති කොමිසමේදී මහ බැංකුවේ නිලධාරින් මුළු රටම හොල්මන් වෙන විදියේ තොරතුරු අනාවරණය කරනවා.
පිළිතුර:-
නෑ. මේ සියලු තොරතුරු කෝප් විමර්ශනයේදී අනාවරණය වෙච්ච ඒවා.

 


ප්‍රශ්නය:- එතකොට ගැසට් එක?
පිළිතුර:-
ඔව්. ඒක දැනගෙන හිටියේ නෑ. නමුත් ඉතුරු සියලු තොරතුරු කෝප් වාර්තාවේ තියෙනවා. මේවා අලුත් තොරතුරු නොවෙයි. ඩොක්ටර් හෂීම් කියන්නෙවත්, මිස්ටර් සමරසිරි කියන්නෙවත්, ඩොක්ටර් වීරසිංහ කියන්නෙවත්, මේවා ඔක්කොම කෝප් වාර්තාවේ තියෙනවා. නමුත් මේ ජනාධිපති කොමිසම මාධ්‍යයට විවෘත නිසා ඒ තොරතුරු නැවතත් මාධ්‍යවල පළවෙනවා. එතකොට ටිකක් අලුත් වගේ දැනෙනවා.

 


ප්‍රශ්නය:- විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරලා ජනාධිපති මෛත්‍රී, යූඑන්පිය බිත්තියට හේතු කළා කියාල ඔබ හිතන්නේ නැද්ද?
පිළිතුර:-
නෑ. මම එහෙම හිතන්නේ නෑ. මම නම් කියන්නේ මේකේ ඉවරයක් තියෙන්න ඕනැ. මේවා හිඟන්නගෙ තුවාලය වගේ තියාගෙන ඉන්න එකේ තේරුමක් නෑ. කවුරු හරි වැරැද්දක් කරලා තියෙනවා නම් ඒකට දඬුවම් දීලා අපි රටක් විදියට ඉස්සරහට යන්න පුළුවන්.

 


ප්‍රශ්නය:- බැඳුම්කර සිද්ධිය මුළු ආණ්ඩුවටම කළු පැල්ලමක්.
පිළිතුර:-
ඒක ඉතින් කළු පැල්ලමක් තමයි. අනවශ්‍ය ප්‍රශ්නයක්. ඒකට අපිට මුහුණ දෙන්න වෙලා තියෙනවා. මෙතැන ගැටලු දෙකක් තියෙනවා. එක්ක තමයි අපේ පක්ෂ දෙක අතර ප්‍රතිපත්තිමය බේදයක් තියෙනවා. ඒ අනුව තමයි බැඳුම්කර වෙන්දේසියකට යන්නේ. එතකොට ඒ තීරණය ඇතුළේ වෙච්ච ගනුදෙනුවේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නය වෙනම විසඳගන්න ඕනෑ. ඒ වගේම ඊට කලින් වෙච්ච දේවල් ගැනත් හොයලා බලන එක ඉතාම අවශ්‍යයි. එහෙම කළොත් මීට වඩා ලොකු දේවලුත් අනාවරණය වෙයි.

 


ප්‍රශ්නය:- ජිනීවා වලින් අපට තවත් අවුරුදු දෙකක් ලැබුණා. ඔය කියන සංහිඳියාව ඇති කරන්න මේ ආණ්ඩුවට තවත් මොනවද කරන්න ඉතිරි වෙලා තියෙන්නේ?
පිළිතුර:-
සමහරු විවේචනයක් ඉදිරිපත් කළා අලුත් කොන්දේසිවලට අපි එකඟ වෙලා කියලා.  2015  තිබුණ කොන්දේසිවලට අමතරව 2017 දී අලුත් කොන්දේසිවලට එකඟ වෙලා කියලා. ඒවා සම්පූර්ණයෙන්ම අසත්‍යයි. අපි කිසිම විදියකට 2015දී අනුග්‍රහය දක්වලා එකඟ වෙච්ච කාරණාවලට අමතරව වෙන කිසිම කාරණාවක් බාර අරගෙන නෑ.

 


 ප්‍රශ්නය:- විදේශ විනිසුරුවන් සහිත අධිකරණයකට විදේශ ඇමැති මංගල සමරවීර එකඟ වෙලා.
පිළිතුර:-
අමූලික බොරුනේ. අමූලික පට්ටපල් හෙණ ගහන බොරුවක්. ගල් පැලෙන බොරුවක්. වැඩබලන විදේශ ඇමැතිවරයා හැටියට මම වගකීමෙන් කියනවා ඔය වගේ කතා කියන්නේ මේ රට නැති කරන්න. මේ රටේ සංහිඳියාව ඇති කරන්න ගන්න ප්‍රයන්තය කුඩු කරන්න, ගිනි තියන්න, මේ රටේ නැවත ජාතිවාදය අවුස්සන්න, අන්තවාදී දේශපාලන පක්ෂවල නායකයෝ යැයි කියා ගන්නා පුද්ගලයෝ කියන පට්ටපල් බොරුවක් තමයි ඔය.

 


ප්‍රශ්නය:- “මෙහෙ දෙමුහුන් උසාවි බෑ” කියලා මම එදාම අල් හුසේන්ට කිව්වා කියලා ජනපති මෛත්‍රී කිව්වා.
පිළිතුර:-
මම ඒකට තාක්ෂණික පිළිතුරක් දෙන්නම්. අල් හුසේන් කියන්නේ නිලධාරියෙක්. එහෙම නිලධාරින් නොයෙකුත් වාර්තා ඉදිරිපත් කරනවා. ලංකාවේ යුද්ධය පිළිබඳව, ඊට පස්සෙ කාලය පිළිබඳව ආදී වශයෙන් නොයෙකුත් වාර්තා ඉදිරිපත් කරනවා. මහින්ද රාජපක්ෂ යුගයේදීත් නොයෙකුත් වාර්තා ඉදිරිපත් වුණානේ. නමුත් වාර්තාවක් ඉදිරිපත් වෙච්ච පළියට වාර්තාවේ තියෙන ඒවා ක්‍රියාත්මක කරන්න කිසි කෙනෙක් බාර අරගෙන නෑ. මම වගකීමෙන් කියනවා. වාර්තාවකට නෙවෙයි අපි එකඟ වෙන්නේ. යෝජනාවලියක් කියලා එකක් තියෙනවනේ. එහෙම යෝජනාවලියක් ඉදිරිපත් කරන්න පුළුවන් ස්වෛරී රටවල්වලට. සමහර යෝජනා සම්මත වෙනවා. සමහර ඒවා අයින් කරගන්නවා. ඒවට දායකවෙන්නේ ස්වෛරී රටවල්. ශ්‍රී ලංකාව, පාකිස්ථානය, ඉන්දියාව, ජපානය, ඇමෙරිකාව වගේ රටවල් ස්වෛරී රටක්. අනික් ස්වෛරී රටවල් සමග යෝජනාවලියකට එකඟවෙනවා. ඒ යෝජනාවට තමයි 2015දී එකඟවුණේ. අපි ලංකාව හැටියට ඒකට සම අනුග්‍රහයක් දක්වනවා. මොකද ඒකේ තියෙන්නේ ස්වෛරීභාවය ශක්තිමත් කිරීම, ජනතාවගේ අයිතිවාසිකම් ලබාදීම, සංහිඳියාව ඇති කිරීම, නැවත ජාතිවාදය ඇතිවීම වැළැක්වීම සඳහා කටයුතු කිරීම හා යම්කිසි ආකාරයකට යම් යම් පුද්ගලයන් අතින් යම් වැරැදි වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා දේශීය අධිකරණ ක්‍රියාවලියක් ශ්‍රී  ලංකා පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව ක්‍රියාත්මක කිරීම.

 


ප්‍රශ්නය:- ඊට අමතරව ගණිකා වෘත්තිය නීතිගත කිරීම, සමලිංගික විවාහ නීතිගත කිරීම ආදියත් තිබුණා.
පිළිතුර:-
නෑ අමූලික බොරු. පට්ටපල් බොරු.

 


ප්‍රශ්නය:- ඔබ එහෙම කිව්වත් ජනාධිපතිවරයා කිව්වනේ “එහෙම යෝජනා ආවා. මම ඒවා කුණු කූඩුයට දැම්මා” කියලා.
පිළිතුර:-
නෑ. ඒක තමයි කියන්නේ. මෙැතන දෙකක් තියෙනවා. එකක් තමයි වාර්තාව. අල් හුසේන් ඒ වාර්තාව ඉදිරිපත් කළා. නමුත් ඒ වාර්තාව පිළිබඳව අපි තාම රටක් විදියට ප්‍රතිචාරයක්වත් දීලා නෑ.

 


ප්‍රශ්නය:- එහෙම නම් ජනාධිපතිවරයා කිව්වේ?
පිළිතුර:-
ජනාධිපතිතුමා කිව්වේ ඒකේ සමහර දේවල් පිළිගන්නේ නෑ කියලයි. ඒ වාර්තාවේ තියෙන දෙමුහුන් අධිකරණ වගේ දේවල්  පිළිගන්නේ නෑ කියලා ජනාධිපතිතුමා කෙළින්ම කිව්වා. ඒක දේශපාලන ආකර්ශනයක් ඇතිවෙන විදියට තමයි කිව්වේ. මට කොන්දක් තියෙනවා. මම මේක කරන්නේ නෑ කියල ඒක සීයට සීයක් හරි. එදාම අගමැතිතුමා ක්ෂණිකව මේක කිව්වා. “මේක අපි කරන්නේ නෑ. ඒකට හේතුව තමයි එදා වගේ නොවෙයි අද.... අද අපේ අධිකරණය ගැන ජාත්‍යන්තරයට විශ්වාසයක් තියෙනවා.” කියලා. ලංකාවේ අධිකරණය ස්වාධීන නැත්නම් තමයි අපට එහෙම කරන්න වෙන්නේ. නමුත් ජනපතිතුමයි අගමැතිතුමයි දෙන්නම කියන්නේ මේ කතාව. වාර්තාවල තිබුණට යෝජනාවේ නැහැ. අල් හුසේන් වාර්තාව ඉදිරිපත් කරන්නේ අයිතිවාසිකම් කෝණයකින්. මොකද ඔහු අයිතිවාසිකම් වෙනුවෙන් ඉන්න මහ කොමසාරිස්. ඒක තමයි ඔහුගේ ජොබ් එක. රටක් වුණාම විවිධ අයිතිවාසිකම් තියෙනවා. මොකද රටක පාර්ශ්වකරුවන් බොහොමයක් ඉන්නවා. රටේ ජනාධිපතිවරයා අගමැතිවරයා රජය තීරණයක් ගන්නේ සියලුම පාර්ශ්වකරුවන්ගේ අභිවෘද්ධිය සඳහා.

 


ප්‍රශ්නය:- ඔබ කියන්නේ සමලිංගික විවාහ නීතිගත කිරීමේ යෝජනාවක් කැබිනට් එකට ආවේ නෑ කියලද?
පිළිතුර:-
කිසිම දවසක ආවේ නෑ.

 


ප්‍රශ්නය:- එහෙම නම් ජනාධිපතිවරයා කිව්වේ ඒ යෝජනාව කුණු කූඩයට දැම්මා කියලා.
පිළිතුර:-
මේක මේ අර කෙන්ද කන්ද කරලනේ. කිසිම දවසක එහෙම එකක් ගෙනාවේ නැහැ. මුලින් තිබුණේ පිරිමින් අතරේ සමලිංගිකකම අපරාධයක් හැටියට තමයි අපේ නීති පොතේ තියෙන්නේ. ස්ත්‍රී සමලිංගිකත්වය අපරාධයක් කියලා නෑ මං හිතන්නේ. මම නීතිය හරියටම දන්නේ නෑ. නමුත් ඒක අපරාධයක් හැටියට ලෝකයේ බොහෝ රටවල් පිළිගන්නේ නෑ. ඉතින් කවදාහරි දවසක අපි මේ ගැන හොයා බැලිය යුතුයි කියන එකයි ගෙනාවේ. නමුත් ඒක අපි අයින් කරගත්තා. කිසිම දවසක සමලිංගික සේවනය නීතිගත කළ යුතුයි කියලා මම වගකීමෙන් කියනවා. කිසිම දවසක එහෙම දෙයක් ගෙනාවේ නෑ.

 


ප්‍රශ්නය:- නමුත් ඒ කැබිනට් පත්‍රිකාව කැබිනට් එකට ඉදිරිපත් කළේත් ඔබයි?
පිළිතුර:-
නෑ... නෑ... මම නොවෙයි ඉදිරිපත් කළේ. විදේශ අමාත්‍යාංශයෙන් තමයි ඉදිරිපත් කළේ. නමුත් මම බොහෝ අවස්ථාවල වැඩබලන විදේශ ඇමැතිවරයා හැටියට කැබිනට් එකට සහභාගි වෙනවා. එදා ඕක ඉදිරිපත් කරපු දවසේ මම තමයි කැබිනට් එකට වැඩබලන විදේශ ඇමැති හැටියට සහභාගි වුණේ. අපේ අමාත්‍යාංශයේ ලේකම් යම්කිසි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළොත් මම බැඳිල ඉන්නවා කැබිනට් එකේ ඒ ගැන සාකච්ඡා කරන්න. ඉතින්... ඒ සම්බන්ධයෙන් මම සාකච්ඡා කළා. අනික් දේවල් ගැන කතා කළා වගේම ඒ ගැනත් මං කතා කළා. මෙතැන යෝජනා දාහක් විතර තියෙනවා. එයින් එකක් විතරයි ඔය යෝජනාව. ඒ වගේම මම වගකීමෙන් කියනවා. ඒවා නීතිගත කරන්න යෝජනා කළේ නෑ කියලා. නමුත් සමහරු ඕක විවිධ විදියට අර්ථකථනය කරනවා. ඒක තමයි ඇත්ත කතාව.

 


ප්‍රශ්නය:- මේ ආණ්ඩුව යටතේ පාතාලයට නම් අපමණ අගයක් ලැබිලා තියෙනවා. කවුද පාතාලය පිටිපස්සේ ඉන්නේ?
පිළිතුර:-
මම නම් දන්නේ නෑ කවුද ඉන්නේ කියලා. මේවා පිටිපස්සේ කුඩුකාරයන් ඉන්නවා. දේශපාලනඥයෝ ඉන්නවා. මම රේඩියෝ එකෙන් අහගෙන හිටියා. මේ අයට පාතාලයෝ කියලා වටිනාකමක් දෙන්න එපා. මේ තුට්ටු දෙකේ හොරු කියලා. පොලිසිය ක්‍රියාත්මක වෙලා මේවා මැඩලන්න කටයුතු කළ යුතුයි.

 


ප්‍රශ්නය:- ඔබ කිව්වා පාතාලය පිටිපස්සේ දේශපාලනඥයෝ ඉන්නවා කියලා. ඒ කවුද කියලා කියන්න පුළුවන්ද?
පිළිතුර:-
මම නම් දන්නේ නෑ ඒ කවුද කියලා. නමුත් අපට පේනවනේ ඔය මැරයන් පාවිච්චි කරන්නේ කොහොමද කියලා. අපි ඒවා දැකලා තියෙනවනේ.

 


ප්‍රශ්නය:- ඔබ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්. පාතාලය නැතිව කොළඹ දේශපාලනය කරන්න පුළුවන් කියලා ඔබ හිතනවද?
පිළිතුර:-
මම ඔප්පු කරලා පෙන්වලා තියෙනවනේ. මම කිසි දවසක ඔය මිනිස්සු ආශ්‍රය කරලා නෑනේ. මගේ කිසිම ඡන්ද ව්‍යාපාරයකට ඔය මිනිස්සු ගාවගෙන නෑනේ. මම බොහොම සාධාරණ ඡන්ද ව්‍යාපාරයක් නේ කරලා තියෙන්නේ. මුළු ඡන්ද ව්‍යාපාරයටම එක අරක්කු බෝතලයක් දීලා නෑ. බෞද්ධයෙක් හැටියට මේ කියන්නේ. එහෙම නම් කොහොමද මම මෙච්චර ඡන්ද අරන් පාර්ලිමේන්තු යන්නේ. පාතාලයෝ තියාගෙන ඡන්ද කරන්නේ ඡන්ද හරියට කරන්න බැරි මිනිස්සු. මම එහෙම නැති නිසා මට ඡන්ද දිනන්න පුළුවන්.

සාකච්ඡා කළේ ප්‍රසන්න සංජීව තෙන්නකෝන්