(අංජුල මහික වීරරත්න)


“අපනයන ආර්ථිකයෙන් ශීඝ්‍ර දියුණුවකට ගොස් ලෝක වෙළෙඳපොළ අල්ලා ගැනීමට ශ්‍රී ලංකාව දැන් සූදානම්” බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඌව පරණගම-යාලගම දී පැවැසීය.

ශ්‍රී ලංකාව සමඟ තරහවී සිටි ලෝකයේ සෑම රටක්ම යහපාලන රජය යටතේ ලංකාව සමඟ යහළුවී සිටින බව කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, කඩිනම් ශීඝ්‍ර සංවර්ධනයක් තුළින් රාජපක්ෂ ණය ඇතුළු සියලු ණය බරින් රට මුදාගත හැකි ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කරන්නේ යැයි ද කීවේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසූයේ ඌව පරණගම-යාලගම යොවුන් අපනයන කෘෂි ගම්මානය ආරම්භ කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගී වෙමිනි.

අක්කර 53ක භූමියක කෘෂි ගම්මානය ඇරඹෙන අතර, අඹ, ගම්මිරිස්, අන්නාසි, වැල් දොඩම්, කටු අනෝදා, රට කජු යන භෝග මෙන්ම මී මැසි පාලනය අපනයනය සඳහා මෙහි වගාකිරීමට නියමිතය.

කෘෂි භෝග වගාව කරන තරුණ තරුණියන් සඳහා අක්කර තුනක නේවාසිකගාරයක් ද මෙහි ඉදි කෙරේ. උමා ඔය අසබඩ සුන්දර බිම් තීරයක ගොවිබිම පිහිටයි. උව පළාත් කෘෂිකර්ම, මහාමාර්ග හා සත්ව නිෂ්පාදන අමාත්‍ය උපාලි සමරවීර මහතාගේ සංකල්පයකට අනුව ගොවි ගම්මානය ඉදිකෙරිණ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවැසීය.
“මා බදුල්ල දිස්ත්‍රික්කයට පැමිණෙන්නේ නිලධාරීන් ඇතුළු පාක්ෂිකයන් සමඟ දිස්ත්‍රික්කය සම්බන්ධව සාකච්ඡා කිරීමටයි. අද ඌව පරණගමට පැමිණියේ ඉතා දුෂ්කර ගම්මානයක් වන යාලගමුවේ පැවැත්වෙන උත්සවයකටයි.

මේ දුෂ්කර ගම්මානයේ පැවැත්වෙන උත්සවයට සහභාගී වීමට පැමිණි ඔබ සැමට මාගේ ස්තූතිය පළමුවෙන්ම පුද කිරීමට කැමැතියි. වියළි කාලගුණය මධ්‍යයේ ද රස්නය නොතකා මෙහි පැමිණි ඔබට නැවත වාරයක් ස්තූතිවන්ත වීමට කැමැතියි.

ඌව පරණගම, වලපනේ, වියලුව යන ආසන තුන එකතුවන ස්ථානය වන මේ නොදියුණු ප්‍රදේශය දියුණු කිරීමේ කාර්යය උපාලි සමරවීර මහතා බාර ගත්තා.

උපාලි සමරවීර මහතා පාර්ලිමේන්තුවේ මෙන්ම පළාත් සභාවේ ද දක්ෂ අන්දමින් තම වැඩ කටයුතු කළා. පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යාංශය උපාලි සමරවීර මහතාට බාර දුන්නේ ප්‍රදේශයට විශාල සේවයක් කිරීමටයි. එතුමා කරන වැඩ කටයුතු පිළිබඳව සොයා බැලීමට පැමිණෙන්නැයි කිහිප වතාවක්ම මට ආරාධනා කළා. ඒ අනුවයි අද මා මේ ප්‍රදේශයට පැමිණියේ.

එතුමාගේ අරමුණ ප්‍රදේශයේ යොවුන් කෘෂි අපනයන ගම්මානය ආරම්භ කිරීමයි. ඒ සඳහා විවිධ පාර්ශ්ව විවිධ අදහස් උපදෙස් දී තිබෙනවා. ප්‍රාථමික කටයුතු අමාත්‍යාංශයෙන් ද අවශ්‍ය මුදල් ආධාර ඒ සඳහා දෙනවා. ඉදිරියේදී මේ සඳහා තවත් සැලසුම් ඉදිරිපත් කළායින් පසු මුදල් දීමට මා සූදානම් බව පැවැසීමට කැමැතියි.

තල්පිටිගල ජලාශය ඉදිවීමත් සමඟම ප්‍රදේශය විශාල දියුණුවක් ලබනවා. ජාතික ආණ්ඩුව ඇති කරන අවස්ථාවේදී සිවිල් ගුවන් සේවා හා ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා සිටියේ තල්පිටිගල ජලාශය ඉදිකර ඒ ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතිය කර ගැනීමට ආධාර උපකාර දෙන ලෙසයි. චීන රජයට මේ පිළිබඳව කතා කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැන් මුදල් අනුමත වෙලා.

තල්පිටිගල ජලාශ ව්‍යාපෘතිය සාර්ථක වූ පසුව මෙහි ඉඩම්වල වටිනාකම දෙගුණයකටත් වඩා වැඩි වීමට නියමිතයි. කෘෂි අපනයන ගම්මානය මෙහි ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. සාමාන්‍යයෙන් ගම්මානවල පදිංචිකරුවන් කරන්නේ වී ගොවිතැන හෝ වෙනත් සාම්ප්‍රදායික භෝග වගා කිරීම හෝ පමණයි. නමුත් මේ ගම්මානයේ තත්ත්වය ඊට වඩා වෙනස් බව කිව යුතුයි. අපනයනයට අවශ්‍ය ගොවිතැන් මෙහි කෙරෙනවා. ශ්‍රී ලංකාව අපනයන ආර්ථිකය සඳහා සූදානම් කරනවා.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මීට වසර 40කට පෙර ශ්‍රී ලංකාව ලෝක වෙළෙඳපොළට එකතු කර අපනයන ආර්ථිකයේ මූලාරම්භය ඇති කළා. යුද්ධය නිසා යම් යම් පසුබෑම් ඇති වුණා. 2009 වසරේදී යුද්ධය අවසන් වූ පසු නැවතත් අපනයන ආර්ථිකයකට ගමන් කළ යුතුව තිබුණා. යුද්ධයෙන් පසුව අපේ ආර්ථිකය විනාශ වුණා. ආර්ථිකය දියුණු කරන්න ශක්තියක් තිබුණේ නැහැ.

ආර්ථිකය දියුණු කිරීම සඳහා තිබෙන එකම මාර්ගය අපනයන වෙළෙඳපොළට ගමන් කිරීමයි. ශ්‍රී ලංකාවට දැන් යුරෝපා වෙළෙඳපොළ විවෘතයි. 2003 වසරේ මා අගමැතිවරයා වශයෙන් සිටිය දී ඒ පිළිබඳ සාකච්ඡා කළා. නමුත් ඉන්පසු පැමිණි ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කළා.

බංග්ලාදේශය යුරෝපා වෙළෙඳපොළ අල්ලා ගත්තා. දැන් බංග්ලාදේශයට ගෙවුම් ශේෂයේ ප්‍රශ්නයක් නැහැ. ඕනෑ තරම් විදේශ විනිමය තිබෙනවා. අපට වඩා පස් හය ගුණයකින් බංග්ලාදේශය විදේශ විනිමයෙන් පෝසත් වෙලා. බංග්ලාදේශය ඔවුන්ගේ අවස්ථා මෙන්ම ශ්‍රී ලංකාවට ලැබුණු අවස්ථාවලින් ද ප්‍රයෝජන ගැනීම නිසා මේ දියුණුව ලබා ගැනීමට හැකි වුණා.

එකල අපට යුරෝපා වෙළෙඳපොළට පිවිසීමට තිබූ අවස්ථාව ප්‍රතික්ෂේප කළා. ඒ නිසා පසුගිය ආණ්ඩුවට රටේ ආර්ථිකය දියුණු කිරීමට නොහැකි වුණා. දිගින් දිගටම ඔවුන් ණය ගැනීමට පටන් ගත්තා. ශ්‍රී ලංකාව එතෙක් ගෙන තිබුණේ දේශීය වාණිජ ණය පමණයි. පසුගිය ආණ්ඩුව විදේශීය වාණිජ ණය ගන්නත් පටන් ගත්තා. ආර්ථිකය බංකොළොත් වුණා. අපේ ආර්ථිකයට ණය ගෙවන්න ශක්තියක් නැති වුණා. ආදායමක් තිබුණෙත් නැහැ.

ණය ගෙවීමට නොහැකි පුද්ගලයකු තවත් ණයක් ගත්විට වන්නේ කුමක් ද? ණය ගෙවීමට හැකි මට්ටමට ආදායම ප්‍රමාණවත් විය යුතුයි. නමුත් පසුගිය රජය සීමාවකින් තොරව ණය ගැනීම නිසා ණය ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වුණා. ආණ්ඩු මාරුව වුණේ මෙවැනි තත්ත්වයක් තිබිය දී බව කිව යුතුය.

මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් කර ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ජාතික ආණ්ඩුව බිහි කළේ ණය උගුලෙන් ගොඩ ගැනීමටයි. ණය උගුලේ සිර වී මැරෙනවා ද නැතිනම් අපේ ශක්තියෙන් ණය උගුලෙන් ගොඩ එනවා ද කියා තීරණය කිරීමට සිදු වුණා.

පළමුවෙන්ම කළ යුත්තේ රටේ ආදායම වැඩි කිරීමයි. අප ඒ වැඩ කටයුත්ත කරමින් සිටිනවා. ආදායම් බදු නොගෙවූ පුද්ගලයන්ගෙන් ආදායම් බදු අය කර ගත්තා. වැට් බදු අය කර ගත්තා. ඊට එරෙහිවත් විශාල උද්ඝෝෂණ පැවැත්වුණා. නමුත් මේ වනවිට රජයේ ආදායම වැඩි වෙලා. ඒ  නිසා ආණ්ඩුව පවත්වා ගැනීම සඳහා ගත යුතු ණය ප්‍රමාණය අඩු කිරීමට අපට හැකියාව ලැබුණා.

ලබන වසරේ පමණක් අපට ගෙවීමට ඇති දේශීය ණය ප්‍රමාණය රුපියල් කෝටි අනූ හයදහසයි. මෙසේ ගෙවිය යුතුව තිබෙන්නේ 2007, 2008, 2009 වසරවල ගත් ණයයි. ඊළඟ වසර හතරේ දී ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණය ඩෙලර් කෝටි එක් දහස් පන්සීයක් වෙනවා. තද අව්වට ක්ලාන්තය හැදුණේ නැතත් ණය මුදල ගැන ඇසූ විට ක්ලාන්තය හැදෙනවා.

ණය බර කළමනාකරණය කර ගනිමින් රට දියුණු කළ යුතුයි. 2020 වනවිට ණය ගෙවීමට හැකියාව ඇති ශක්තිමත් ආර්ථිකය බිහි කිරීම අපේ අරමුණයි. එක් පැත්තකින් අප ක්‍රමානුකූලව රජයේ ආදායම වැඩි කර තිබෙනවා. අනෙක් අතින් තරුණ තරුණියන් සඳහා රැකියා බිහි කළ යුතුයි. අප එය කරන්නේ කෙසේ ද?

ණය ගන්නවා නම් එය ගෙවීමටත් හැකියාවක් තිබිය යුතුයි. ඒ සඳහා අපනයන ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි. ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළින් පමණක් මුදල් සොයා ගන්න හැකියාවක් නැහැ. යුරෝපා වෙළෙඳපොළ, ඉන්දියා වෙළෙඳපොළ, චීන වෙළෙඳපොළ අල්ලා ගෙන අපනයන ආර්ථිකය දියුණු කළ යුතුයි. එසේ කළවිට ඊළඟ වසර දහයේ දී වුවත් ණය ගත්විට ඒ ණය පහසුවෙන්ම ගෙවා දැමිය හැකි තත්ත්වය උදා වෙනවා.

එදා මහින්ද රාජපක්ෂ ණය ගනිද්දී අත්පුඩි ගැසූ මාධ්‍ය වෙන්නේ කුමක්දැයි අද අපෙන් අසනවා. රාජපක්ෂ ගත් ණය ගෙවා දැමීම සඳහා තවත් ණය ගැනීමට අද අපට සිදු වෙලා. ඒ තත්ත්වය දිගින් දිගටම ගෙන යෑමට හැකියාවක් නැහැ. ණය උගුලට මුහුණ දීම සඳහා ශක්තිමත් ආර්ථිකය ඇති කළ යුතුයි.

අපේ ආර්ථිකය ශක්තිමත් විය යුත්තේ වර්තමානයේ ගන්නා ණය ගෙවා දැමීමට පමණක් නොවෙයි. පසුගිය වසර දහයේදී ගත් ණය ගෙවා දැමීමට ශක්තිය තිබිය යුතුයි. එසේ නම් කඩිනම් ශීඝ්‍ර සංවර්ධනය ආරම්භ කර අප ගන්නා ණයත්, පසුගිය වසර දහයේ දී ගත් ණයත් ගෙවීමට හැකි තත්ත්වය නිර්මාණය කළ යුතුයි.

මේ කාර්යය පසුගිය වසරේ නොකළේ ඇයි දැයි බොහෝ අය විමසනවා. පසුගිය වසරේදී අපට ජාතික ආදායම වැඩි කර ගැනීමේ කාර්යබාරයට මුහුණදීමට වුණා. පළමුවෙන්ම අප රටේ ආදායම වැඩි කරගත යුතුයි. එය සාර්ථක වී ඇති නිසා දැන් අපට සංවර්ධනයට යා හැකිව තිබෙනවා. මුළු රටම
අපනයන ආර්ථිකය මගින් පොහොසත් කර සංවර්ධනය ළඟා කර ගැනීම අපේ අරමුණයි.

ලෝක වෙළෙඳපොළ අපේ වෙළඳපොළ බවට පත්කර ගත යුතුයි. ඌව පරණගම, වැලිමඩ, බදුල්ල, කොළඹ වෙළෙඳපොළවල් තරග කරන්නා සේ ලෝක වෙළෙඳපොළ සමඟ අද අප තරග කළ යුතුයි. සිංගප්පූරු වෙළෙඳපොළ, ප්‍රංශ වෙළෙඳපොළ, ශැංහයි වෙළෙඳපොළ සමග තරග කළ යුතු තත්ත්වයන් ඇති කළ යුතුයි. අපට ඒ ශක්තිය තිබෙන බව ඇඟලුම් කර්මාන්තයෙන් පෙන්නුම් කළා. තේ කර්මාන්තයෙන් ද ඒ ශක්තිය පෙන්නුම් කර තිබෙනවා.

කර්මාන්ත, සංචාරක, ව්‍යාපාර ආදී සියල්ල අපනයන ආර්ථිකය බවට පත්කර විශාල සංවර්ධන ව්‍යාපාරය ක්‍රියාත්මක කරනවා. යුරෝපා වෙළෙඳපොළ අල්ලා ගැනීමට යළිත් අපට හැකියාව ලැබෙනවා. මේ පිළිබඳව අප යුරෝපා සංගමය සමඟ සාකච්ඡා කළා. යුරෝපා වෙළෙඳපොළට පිවිසීම සඳහා යුරෝපා සංගමය අපට භාණ්ඩ 6600කට සම්පූර්ණ බදු සහන දුන්නා. ප්‍රතික්ෂේප කළ තීරු බදු සහන සියල්ල දැනට අපට ලැබී තිබෙනවා.

ඇඟලුම් භාණ්ඩ පමණක් නොව තවත් භාණ්ඩ රැසක් තීරු බදු සහනයට අයත් බව කිව යුතුයි. ඒ අතර අඹ, අන්නාසි, ගම්මිරිස් ආදියත් යුරෝපයට යැවීමට උපාලි සමරවීර මහතා කල්පනා කරලා. යුරෝපය අපට උපකාර කරනවා. ඔවුන් අපට සම්පූර්ණ වෙළෙඳපොළ දුන්නා.

අප දැන් ලෝකයේ සෑම රටක් සමඟම මිතුරු වී සිටිනවා. යුරෝපය පමණක් නොව ඉන්දියාව, ජපානය, චීනය, සිංගප්පූරුව ආදී රවටල් ද අපේ හොඳ මිතුරන් බවට පත්වෙලා.

ජපානයට හා ඉන්දියාවට යෑමට මට අවස්ථාව ලැබුණා. ඔවුන් අපේ දියුණුවට විශාල වශයෙන් උපකාර කරනවා. ප්‍රධාන නගර දියුණු කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කිරීමට ආධාර කිරීමට, කොළඹ වරාය තවත් දියුණු කිරීමට, කොළඹ වරායට උතුරින් තවත් වරාය ඉදිකිරීමට, කටුනායක ගුවන් තොටුපොළ දියුණු කිරීමට, කොළඹ සැහැල්ලු දුම්රිය මාර්ගය ඉදිකිරීමට, මෙරටට හොඳ තාක්ෂණය දීමට, මහනුවර අලුත් නගරය බවට පත් කිරීමට, ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මෙන්ම අපගේ රූපවාහිනී නාලිකා ඩිජිටල්කරණය කිරීමට ජපානය එකඟවී සිටිනවා.

ත්‍රිකුණාමලය සංවර්ධනය සඳහා සහභාගී වීමට සූදානම් යැයි ඉන්දියාව පවසනවා. ලංකාව හා ඉන්දියාව එක්වී ත්‍රිකුණාමලයේ ව්‍යාපෘති රැසක් දියුණු කිරීමට ඉන්දීය රජය කැමැත්ත පළ කළා.

ත්‍රිකුණාමලය තෙල් ගබඩා හවුල් ව්‍යාපාරය ලෙස දියුණු කිරීම ඉන් එක් ව්‍යාපෘතියක් බව කිව යුතුයි. එයින් ශ්‍රී ලංකාවේ තෙල් සංස්ථාවට කිසිදු හානියක් වන්නේ නැහැ. තෙල් ගබඩා කර ඉන්දියාවට විකිණීමේ අවස්ථාව එවිට අපට ලැබෙනවා. එහි අප කර්මාන්තශාලා ඇති කරනවා. ඒ අවට විශාල දියුණුවක් ඇතිකළ යුතුයි. ඒ දියුණුවේ සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියාව සමඟ ඒකාබද්ධ කමිටුව පත් කරනවා. ජපානයත් ඒ කාර්යය සඳහා එකතු වෙනවා.

සූර්යතාප විදුලි බලාගාරයක් සාම්පූර් ප්‍රදේශයේ ඉදිකිරීමට ඉන්දියාව ක්‍රියා කරනවා. ඊට අමතරව ඉන්දීය රජය විසින් කෙරවලපිටියේ එල්.එන්.ජී. විදුලි බලාගාරය ඉදි කරනවා.

ජපාන ආයෝජකයන් විසින් තවත් විදුලි බලාගාරයක් ඉදිකිරීමට නියමිතයි. විදුලි බලාගාරය සඳහා එල්.එන්.ජී. ගෑස් ගැනීම සඳහා අවශ්‍ය පාවෙන පර්යන්තය ඉන්දියාව ලංකාව හා ජපානය එක්ව ක්‍රියාත්මක කරනවා.
උතුරේ ආර්ථිකය දියුණුකිරීම සඳහා ඉන්දියාවෙන් සහයෝගය ලැබෙනවා. මන්නාරමේ සිට වවුනියාවට, වවුනියාවේ සිට ත්‍රිකුණාමලයට, ත්‍රිකුණාමලයේ සිට දඹුල්ලට අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා සැලසුම් සකස් කරන කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

දකුණු පළාතේ ඉන්දීය ආයෝජන සහිතව වෙළෙඳ කලාපයක් ඉදිකිරිමට ඉන්දීය සමාගම සූදානම්ව සිටිනවා. කළුතර අක්කර දහසක වෙළෙඳ කලාපය ඉදිකිරීම සඳහා තායි සමාගම පැමිණ සිටිනවා.

වයඹ වෙළෙඳ කලාප තුනක් ඉදිකරීමට නියමිතයි. මීට අමතරව හම්බන්තොට, වැල්ලවාය ප්‍රදේශවලත් වෙළෙඳ කලාප ඉදි කෙරෙනවා. ජාතික ආදායම වැඩි කරන අතර ඉතිරි සංවර්ධන කටයුතු සැලසුම් කරමින් සිටිනවා. කෘෂිකර්මාන්තය දියුණු කිරීමට ඉන්දියාවෙන් ආධාර දෙන බවට පොරොන්දු වුණා.

අපනයන කෘෂිකර්මාන්තය දියුණු කර මත්තල ගුවන් තොටුපොළින් අපේ භාණ්ඩ එතෙර යැවිය හැකි වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා ඉන්දියාවේ සහයෝගය ගන්නවා. වතුකරයේ ජනතාවට  නිවාස ඉදිකිරීමට උතුරේ ජනතාවට නිවාස තැනීමට ඉන්දීය සහයෝගය ලැබෙනවා.

මීට අමතරව අපේ ශක්තියෙන් දකුණේ අක්කර දහසකට වැඩි ප්‍රමාණයක සංචාර කලාප ඉදිවෙනවා. හලාවත ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් තවත් සංචාරක කලාපයක් ඉදිවෙනවා. බදුල්ල, බණ්ඩාරවෙල ප්‍රදේශවලත් වෙළෙඳ කලාප මෙන්ම සංචාරක කලාප ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා. මහනුවර නගරය විශාල සංචාරක මධ්‍යස්ථානය බවට පත් වෙනවා. එමෙන්ම සංස්කෘතික ත්‍රිකෝණය ආශ්‍රිතව ද සංචාරක කර්මාන්තය දියුණු කරනවා.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා චයිනා මර්චන්ට් සමාගම එක්ව හම්බන්තොට වරාය දියුණු කිරීමේ තවත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ දියුණුව මේ ප්‍රදේශයටත් ගලා එනවා.

සෑම සංවර්ධන සැලසුමක්ම ගෙන ආවේ අපනයන ආර්ථිකය කරා යාමටයි. අපේ නිෂ්පාදන  එවිට ලෝක වෙළෙඳපොළේ  විකිණීමට හැකියාව ලැබෙනවා. ශ්‍රී ලාංකිකයන්ගේ ආදායම එවිට ඉහළ යනවා. එමෙන්ම ජාතික ධනය ඉහළ යනවා. දළ දේශීය ආදායම දෙගුණ තෙගුණ වෙනවා.

දුප්පත්කම තුරන් කර තරුණයන් සඳහා රැකියා බිහි කර ඉදිරියට යන ව්‍යාපාරය ජාතික රජය විසින් ක්‍රියාත්මක කරනවා. අප ආරම්භ කරන්නේ අපනයන ආර්ථිකයේ සංවර්ධනයයි.

අප ජාතික ආදායම ශීඝ්‍රයෙන් වැඩි කළා. හැමදාම හිඟන්නන් වශයෙන් ඉන්න හැකියාවක් නැහැ. අපනයන ආර්ථිකය මගින් ලෝක වෙළෙඳපොළට ඇතුළු විය හැකි ආර්ථිකය අප නිර්මාණය කරනවා.

1977 වසරේ නිදහස් ආර්ථිකය ආරම්භ කරද්දී අපට කිසිවක් තිබුණේ නැහැ. ඇඟලුම් කර්මාන්තය  නැහැ. 1977ට පෙර තිබූ රෙදි හැඳින්වූයේ ‘ඝණ්ඨාර මාර්ක්’ රෙදි යනුවෙන් බව වැඩිහිටියන් දන්නවා. අද වනවිට අප ඉහළ ප්‍රමිතියෙන් යුතු රෙදි ලෝකයට අපනයනය කරනවා.

එමෙන්ම විශාල වශයෙන් රබර් ටයර් හදනවා. මේ කර්මාන්ත පස් ගුණයකින් පමණ වැඩි කිරීම අපේ අරමුණයි. අප ළඟ වාද බේද නැහැ. සියලු දෙනා එකතු වී වසර 5කින් ඉදිරියට පනිමු. ඊට පසුව පක්ෂය ලෙස බෙදී තරග කරන්න හැකියි.

ජාතික ආණ්ඩුව නිර්මාණය කිරීමේ ප්‍රධාන අරමුණ ණය උගුලේ හිරවී තිබූ රට ඉන් බේරාගැනීමයි. ඒ කාර්යය සඳහා අපනයන ගම්මානයෙන් ලැබෙන උපකාරයට ද ස්තුතිය පළ කළ යුතුයි” යැයි ද රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.

ඌව පරණගම සංවිධායක ඌව පළාත් කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන සහ මහාමාර්ග අමාත්‍ය උපාලි සමරවීර මහතා:

“ඌව පරණගම ආසනයේ කෙළවරේ දුෂ්කරම ගම්මානයට අගමැතිතුමා පැමිණීම ගැන අපට ආඩම්බරයි. ඌව පරණගම සීයට 85ක ජනතාව ජීවත් වන්නේ කෘෂිකර්මාන්තයෙනුයි. හැමදාම කෘෂිකර්මාන්තයේ පෙරළියක් ඇති කිරීමේ වුවමනාව අපට තිබුණා.

යාලගමුවේ ගොවි ගම්මානය සඳහා අප අක්කර 53ක භූමිය හඳුනාගෙන තිබෙනවා. මේ අසලින් උමා ඔය ගලා බසිනවා. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ඇරඹූ වාසනා ගමත් මේ ආසන්නයේ තිබෙනවා. තල්පිටිගම වේල්ල ඉදිවෙන්නේත් මේ ආසන්නයේයි. මෙය මා වසර 16කට පෙර දුටු සිහිනයක් බව කිව යුතුයි. අක්කර 53ක් වන ඉඩමේ අක්කර 50ක් වගා කටයුතු සඳහා ද අක්කර 3ක් මෙහි කෘෂිකාර්මික කටයුතු සඳහා සහභාගී වන තරුණ තරුණියන්ගේ නේවාසික පහසුකම් සඳහා ද වෙන්කර තිබෙනවා.

අඹ, ගම්මිරිස්, අන්නාසි, වැල්දොඩම්, කටු අනෝදා, රට කජු යන භෝග මෙහි වගා කරනවා.  විශේෂයෙන් ජර්මනියේ මේ භෝග සඳහා විශේෂ ඉල්ලුමක් තිබෙනවා.”

කම්කරු සබඳතා රාජ්‍ය අමාත්‍ය රවී සමරවීර මහතා:
“රාජ්‍ය නායකයකු ඉතා දුෂ්කර ප්‍රදේශයකට පැමිණීම ගැන ස්තූති විය යුතුයි. මෙවැනි දුෂ්කර ප්‍රදේශවලට සේවය කරන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු පමණයි. ප්‍රේමදාස ජනාධිපතිතුමාගෙන් පසුව මේ ප්‍රදේශයට ආ එකම රාජ්‍ය නායකයා රනිල් වික්‍රමසිංහ මහතායි.

අපනයන ගම්මානය ඉදි කිරීමෙන් පසු ප්‍රදේශය ශීඝ්‍රයෙන් දියුණු වීමට නියමිතය. පරිවර්තනය සිතන තරම් ලේසි නැහැ. අප බාර ගත්තේ හොඳ රටක් නොවෙයි. අප ජනප්‍රිය නොවන ආණ්ඩුවක් වී ඇත්තේ හරි දේ කරන නිසයි. තව වසර 2ක් යනවිට ජන වරමේ සැබෑ වෙනස දැක ගැනීමට හැකි වේවි.

ඉදිරියේදී විශාල සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ජනතාව ඉවසිලිවන්තව අප සමඟ ගමන යන්න සූදානම් වෙන්න.”

ඌව පරණගම යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් ශ්‍රීනාත් මහතා:
“උපාලි සමරවීර යනු අභියෝග බාර ගන්නා නායකයයි. ඔහුගේ මූලිකත්වයෙන් ඇරැඹුණු ව්‍යාපෘතිය අනිවාර්යයෙන්ම සාර්ථක වන බව අපට විශ්වාසයි.

අභියෝග බාර ගැනීමට අප සූදානම්. ඒ මෙරට තාරුණ්‍යයට හෙට දවස සෑදීම සඳහායි. ඌව පරණගම ආසනය කෙළවරේ දුෂ්කරම ගම්මානයට අගමැතිතුමා පැමිණීම ගැන අපට ආඩම්බරයි.

2000 වසරේ නවක මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණියා. 2000 බල පෙරළියෙන් පසුව ආණ්ඩුව විසුරුවා හැරියා. 2001 දී අප ආණ්ඩුව පිහිටෙව්වා. ඌව පරණගම සීයට 85ක් ජීවත් වන්නේ කෘෂිකර්මාන්තයෙනුයි. කෘෂිකර්මාන්තයේ පෙරළිය කිරීමේ වුමනාවක් අපට තිබුණා.”

ප්‍රදේශයේ දේශපාලනඥයෝ ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

(ඡායාරූප - ඉෂාන් සංජීව)