මගේ ඇඟේ බෝම්බ කෑලි හතරක් තියෙනවා. ඒකෙන් තුනක්  ජේවීපී බෝම්බ කෑලි

​සෞඛ්‍ය හා පෝෂණ ඇමැති රාජිත සේනාරත්න  

කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සෞඛ්‍ය හා පෝෂණ ඇමැති රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශ ගණනාවක් හරහා නොනිමි ආන්දෝලනයක් හටගෙන තිබේ. මේ ඒ සම්බන්ධයෙන් ඒ මහතා සමග කළ සාකච්ඡාවකි.  


ප්‍රශ්නය:- කැබිනට් මණ්ඩල තීන්දු තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව තියන්නේ කැබිනට් මණ්ඩලයේ තීන්දු තීරණ දැනුම් දෙන්න?  


පිළිතුර:- ඔව්. ඒකටනේ ඒ ප්‍රවෘත්ති සාකච්ඡාව තියෙන්නේ.  


ප්‍රශ්නය:- ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔබ එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට ‘දරුවන්’ කියලා තියෙනවා?  


පිළිතුර:- ඔබ ඒක හරියට අහලා ඔය ප්‍රශ්නය අහන්න.  


ප්‍රශ්නය:- ඔබ ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවෙදීම කියනවා ‘මිස්ටර් ප්‍රභාකරන්’ කියලා.  


පිළිතුර:- මම එතැනදී ‘මිස්ටර් විජේවීර’ කියලා කියනවා ඔබට ඇහුණේ නැද්ද?  


ප්‍රශ්නය:- අපි ඒ ගැන පසුව කතා කරමු. මට දැනගන්න අවශ්‍ය වෙන්නේ කැබිනට් එකේ මතය ද කියලයි?  


පිළිතුර:- මේ රටේ දේශපාලනඥයෝ වර්ග තුනක් ඉන්නවා. සමහරු ඇහැට පේන සත්‍ය කියන්නේ නෑ, බයයි. ඒ ඡන්ද නැතිවෙයි කියලා. ඒකනේ මේ රට මෙච්චර පස්සට ගියේ. ඇහැට පේන ඇත්ත කියන්න කොන්දක් නැහැ. මහ මජර දේශපාලනයක්. මේක ඉතිහාසයේ ඉඳලම තිබුණා. තව කට්ටියක් ඉන්නවා ඇත්ත මොකක් වුණත් ඒක තමන්ගේ වාසියට යොද‌ා ගන්නවා. දැන් ඔය රණවිරුවන් ගැන කතා කරන්නේ රණවිරුවන්ට තියෙන ආදරේටද? එහෙම ආදරයක් තියෙනවා නම් ඔය රණවිරුවන්ට ජීවිත පූජා කරන්න වෙන්නේ නැති පරිසරයක් හදන්න එපැයි. එහෙම නෑ. ලේ රහට වහ වැටුණාම ඒකෙන් ගොඩගන්න බෑ. අදත් ඔය කරන්නේ ඒ ලේ ගංගාවෙම පිහිනීම තමයි. තවත් පිරිසක් ඉන්නවා රටේ අනාගතය ගැන හිතන අතීතයේ වෙච්ච වැරදි දැකලා ඒ වැරදි නැවත ඇති නොවන පරිසරයක් වෙනුවෙන් පෙනී හිටින අය.  


ප්‍රශ්නය:- මං ඇහුවේ ඔබ ඉදිරිපත් කළේ කැබිනට් මණ්ඩලයේ පොදු මතය ද කියලයි?  


පිළිතුර ඔව්. පොදු මතය තමයි. ඒ මතට එකඟ නැති එකෙක් දෙන්නෙක් ඇති. ඒත් බහුතරය අර මම කියපු තුන් වැනි මතය දරන අය.  


ප්‍රශ්නය:- ඔබේ ඔය මතයට එකඟ නැති ‘එකා දෙන්නා’ කවුද?  


පිළිතුර:- කට ඇරියම කවුරුහරි ‘උම්බෑ’ කියනවා නම් අන්න ඒ අය?  


ප්‍රශ්නය:- ජනාධිපතිවරයා කිව්වා ‘රණවිරුවා හා ත්‍රස්තවාදීන් අතර වෙනස දන්නේ නැති අය ආණ්ඩුවෙත් ඉන්නවා’ කියලා?  


පිළිතුර:- ඒක ඔබ අහන්න ඕනෑ ජනාධිපතිතුමාගෙන්.  


ප්‍රශ්නය:- ජනාධිපතිවරයාගේ ඒ කතාව අහගෙන ඉන්න කොට මට නම් මතක් වුණේ ඔබව?  


පිළිතුර:- ඔබට හිතෙන ඔක්කොම ඒවා හරියන්න විදියක් නෑනේ.  


ප්‍රශ්නය:- ජනාධිපතිවරයා එහෙම කිව්වේ ‘මට නොවෙයි’ කියලා ඔබ හිත හද‌ාගන්නවා.  


පිළිතුර:- නෑ... නෑ... මම ත්‍රස්තවාදීන් හා රණවිරුවන් අතර වෙනස හොඳට දන්නවා.  


ප්‍රශ්නය:- ඒ නිසාද ඔබ එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට ‘දරුවන්’ කියලා කිව්වේ?  


පිළිතුර:- මම ත්‍රස්තවාදීන්ට දරුවන් කියලා කිව්වේ නෑ. මම ඒකයි කිව්වේ ඒක හරියට බලන්න කියලා. මම කියන්නේ ඒ ත්‍රස්තවාදීන් වුණත් අම්මලාට තාත්තලාට දරුවන්. මේ සමාජයේ පාතාලයෙ කෙනෙක් මැරුණම ඒ අම්මලා තාත්තලා ඒ දරුවන්ව බදාගෙන අඬන්නේ නැද්ද? මොකා වුණත් තමන්ගේ දරුවන් මැරුණාම ඒ අය සිහිපත් කරන්න දෙමාපියන්ට ඥාතීන්ට අයිතියක් තියෙන්න ඕනෑ. හතුරෙකුට වුණත් ඒ අයිතිය තියෙනවා. ඒ අයිතිය දෙන්න තරමට අපි ශිෂ්ට සම්පන්න වෙන්න ඕනෑ. දැන් ඔය ජේවීපී එකත් සමරන්නේ.  


ප්‍රශ්නය:- ජේවීපී එකයි එල්ටීටීඊ එකයි සමාන කරන්න බැහැ?  


පිළිතුර:- ඇයි බැරි? මේ සමාජයට මුලින්ම ත්‍රස්තවාදය හඳුන්වලා දුන්නේ ජේවීපී එක. එල්.ටී.ටී.ඊ. එක ආයුධ අතට ගන්නත් කලින් තමයි ජේවීපී එක ආයුධ ගත්තේ. 

 
ප්‍රශ්නය:- නමුත් අරමුණු වශයෙන් ගත්තාම?  


පිළිතුර:- මොකක්ද අරමුණේ තියෙන වෙනස. ත්‍රස්තවාදය නම් ත්‍රස්තවාදයම තමයි. ඒකේ හොඳ ත්‍රස්තවාදයකුයි නරක ත්‍රස්තවාදයකුයි කියලා දෙකක් තියෙන්න බෑ. ඔයගොල්ලන්ටත් වෙලා තියෙන්නේ තමන්ට ඕනෑ විදියට සිද්ධි ගළපා ගැනීමයි. ජේවීපී එක මිනී මැරුවේ නැද්ද? හාමුදුරුවරුන්ට වෙඩි තියල මරලා දැම්​ෙම් නැද්ද? උපකුලපතිවරුන් ඝාතනය කළේ නැද්ද?  


ප්‍රශ්නය:- නමුත් ඇමැතිතුමනි....?  


පිළිතුර:- පොඩ්ඩක් ඉන්න. ඉතිහාසය කතා කරනවා නම් ඉතිහාසය කතා කරමු. ජේවීපී එක හමුදා කඳවුරුවලට ගැහුවේ නැද්ද? හමුදාවේ පොලිසියේ අය මැරුවේ නැද්ද? සාමාන්‍ය මිනිස්සු ඝාතනය කළේ නැද්ද?

පාර්ලිමේන්තුවට බෝම්බ ගැහුවේ නැද්ද?  


ප්‍රශ්නය:- මම ඔබට බාධා කරනවා. එල්.ටී.ටී.ඊ. ය සටන් කළේ රට දෙකඩ කරන්න. අරමුණ ඒකයි. ඒ අරමුණ ඉටුකරගන්න පාවිච්චි කළේ ත්‍රස්තවාදයයි.  


පිළිතුර:- එතකොට ජේවීපී එක?  


ප්‍රශ්නය:- ඉන්දියන් හමුදාව මේ රටට ඇවිල්ලා මේ රට ආක්‍රමණය කරපු වෙලාවේ?  


පිළිතුර:- ඔයා කොහොමද ඒක ආක්‍රමණයක් කියලා කියන්නේ. මං කිව්වේ ඒකනේ. මේක මේ එක එක්කෙනාට ඕනෑ විදියට අර්ථකථනය කරනවා. ඉන්දියානු හමුදාව ආවේ අපේ රටට යුදමය වශයෙන් ආධාර කරන්නයි. ඒක ඒ වෙලාවේ මේ රටේ හිටපු හැම වාමාංශික පක්ෂයක්ම අනුමත කළා. විජය කුමාරතුංග ජීවිතය පූජා කළේ ඒ වෙනුවෙන්. එල්.ටී.ටී.ඊ. එකත් පුද්ගල ඝාතන කළා. සමූහ ඝාතන කළා.  


ප්‍රශ්නය:- ඔබ ඒ ඝාතන අපරාධ අනුමත කරනවා?  


පිළිතුර:- අනුමත කරනවා නම් මමයි කරු ජයසූරිය මහත්තයයි ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ අපි 16 දෙනෙක් මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට එයිද? අපි ආවම තමයි මහින්දගේ ආණ්ඩුව ශක්තිමත් වුණේ. අපි ආවේ ඒ වෙලාවේ යුද්ධය හරියට කරගෙන යන්න මහින්දගේ ආණ්ඩුවට ශක්තිය දෙන්න.  


ප්‍රශ්නය:- නමුත් ඊට කලින් තිබුණ සටන් විරාම ගිවිසුමටත් ඔබ සහාය දුන්නා?  


පිළිතුර:- සහාය දුන්නා විතරක් නොවෙයි දිවි පරදුවටත් තියලා ඒ සටන් විරාම ගිවිසුම ආරක්ෂා කරන්නත් කැපවුණා. මොකද අපි දන්නවා යුද්ධය කියන්නේ මහා විනාශයක්. අපට ඕනෑ කළා සාකච්ඡා මාර්ගයෙන් මේ ප්‍රශ්නය විසඳගන්න.  


ප්‍රශ්නය:- කවුද ඒක කඩාකප්පල් කළේ?  


පිළිතුර:- ප්‍රභාකරන්. වෙන කවුද? ඇත්තටම ඉතිහාසයක් පුරා අපේ දකුණේ පාලකයන්ගේ හැසිරීම උතුර විශ්වාස කළේ නෑ. ඒකත් බලපෑවා. අපට අවශ්‍ය කරන්නේ ඒ ඉතිහාසය වෙනස් කිරීමටයි.  


ප්‍රශ්නය:- ඒකද ත්‍රස්තවාදීන්ට දරුවන් කියලා කියන්නේ?  


පිළිතුර:- මං ඔයාට මෙහෙම කියන්නම්. මම මුලිනුත් කිව්වනේ ත්‍රස්තවාදය මේ රටට මුලින්ම ගෙනාවේ ජේවීපී එකයි කියලා. ජේවීපී එකත් ත්‍රස්තවාදය පාවිච්චි කළා. හරි. ඒ අය දැන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ඇවිත් ඉන්නවා. ඒ ගොල්ලෝ ඡන්දවලට ඉදිරිපත් වෙනවා. ඇමැතිකම් පවා දැරුවා. එතකොට අපි 71 දී හරි 87 දී හරි කරපු මිනීමැරුම් මතක් කරන එක හරිද? ඒ බෝඩ් එක පෙන්නන එක හරිද? මතක තියාගන්න. වෛරයෙන් වෛරය සන්සිඳෙන්නේ නෑ. හරි මේ සමාජය ඔවුන් ආදරයෙන් පිළිගත්තා. දකුණේ තරුණයාට එහෙම එන්න පුළුවන් නම් උතුරේ තරුණයාට එහෙම එන්න බැරි ඇයි? මම අහන්නේ ඒකයි.  


ප්‍රශ්නය:- කොහොම වුණත් ඔවුන් සමරන්​ෙන් මළවුන් නොවෙයි. ඔවුන්ම කියන පරිදි ඔවුන් සමරන්නේ ‘ජන සංහාරක සතියක්’  


පිළිතුර:- එක එක්කෙනාට එක එක දේවල් කියන්න පුළුවන්. ඒත් අපි කලබල වෙන්න ඕනැ නැහැ. ඔයිට වඩා දේවල් කියපු අයත් ඉන්නවා. කියන අයත් ඉන්නවා. හැමෝම පොදු කාරණාවකට මුවාවෙලා තමන්ගේ වැඩේ කරගන්න බලනවා. අපි ඒවට උත්තර දෙන්න යන්න ඕනෑ ඔළුවෙන්. ඔළුව නරක් කරගත්ත අය තමයි ඕවට කලබල වෙන්නේ. වචන නොවෙයි අපි බුද්ධිමත්ව ඒ අයව දිනාගන්න ඕනෑ. තාම මතකයේ උණුසුම තියෙනවා.  


ප්‍රශ්නය:- ඔබත් කිව්වා යුද්ධයේදී සාමාන්‍ය වැසියන් ඝාතනය වුණා කියලා?  


පිළිතුර:- ඔව්. ඒක මම දැනුත් කියනවා.  


ප්‍රශ්නය:- ඒ හරහා මේ රට යුද අපරාධ දංගෙඩියට ගෙනියන්න ඔබ උඩගෙඩි දෙනවා?  


පිළිතුර:- ඕවා මොන බොරු කතාද? ඔය කතා 2015 ජනවාරි 8 වැනිදා මේ රටේ උගත් බුද්ධිමත් ජනතාව ප්‍රතික්ෂේප කළා. ඔය රාජපක්ෂවාදීන් තමයි විදුලි පුටුව, විදේශීය විනිශ්චයකාරවරුන් සහිත අධිකරණය වගේ බිල්ලෝ මැව්වේ. ඒ ගොල්ලන්ට එහෙම බිල්ලෝ මැව්වේ නැත්නම් ඡන්ද ගන්න බෑ. ඒක තමයි ඇත්ත. හැබැයි ඔය රාජපක්ෂ කල්ලිය දිගටම හිටියා නම් ඔය ඔක්කොම දේවල් වෙන්න තිබුණා. යුද්දෙ විතරක් නොවෙයි මාධ්‍යවේදීන්ට පහරදීම්, මාධ්‍යවේදීන් මරා දැමීම, සුදු වෑන් ගැන එහෙම හොයන්නත් ජාත්‍යන්තර අධිකරණයක් එනවා. නමුත් ජනවාරි 8 වැනිදා මේ රටේ මිනිස්සු බුද්ධිමත් තීරණයක් ගත්ත නිසා ඒ අනතුර වැළකුණා. මුන්ට තවමත් ලැජ්ජාව ගිහින් නෑ.  


ප්‍රශ්නය:- මගේ ප්‍රශ්නය වුණේ සාමාන්‍ය ජනතාව ඝාතනය වුණාද කියලයි?  


පිළිතුර:- යුද්ධයක් කියන්නේ රාත්‍රී භෝජන සංග්‍රහයක් නොවෙයි. යුද්ධයම අපරාධයක්. කොච්චර දේවල් වෙන්න පුළුවන්ද? හැබැයි ඒවා චේතනාත්මක නොවෙයි. ඔය උතුරේ ඉන්න සමහර ජාතිවාදී නායකයොත් ඕක තේරුම් ගන්න ඕනෑ. සමහර දේවල් අපිට දරා ගන්න වෙනවා. අමතක කරන්න වෙනවා. හැබැයි චේතනාත්මකව අපරාධ කරපු කල්ලිවලට දඬුවම් දෙන්නත් ඕනෑ. අපිට ආපහු කළු දශකයට යන්න බෑ. හැබැයි සමහර මාධ්‍යවේදීන්ටත් මේක තේරුම් ගන්න බෑ. සමහරු තාම හිතාගෙන ඉන්නේ මේ රටේ තියෙන්නේ රාජපක්ෂ පාලනයක් කියලයි.  


ප්‍රශ්නය:- බෙදුම්වාදයට පණ පොවන්න බලාපොරොත්තුවෙන් ඉන්න පිරිස් මේ රටේත් පිටරටත් ඉන්නවා කියලා ඔබ පිළිගන්නවද?  


පිළිතුර:- ඉන්නවා. එහෙම ඉන්න එක නොවෙයි ප්‍රශ්නය. අපි ඒවට උඩගෙඩි දෙන්න හොඳ නෑ. ඔය කාටවත් ඕනෑ දේ නොවෙයි අවසානෙට වෙන්නේ. ප්‍රභාකරන් තේරුම් නොගත්තෙත් ඒක. මහින්ද රාජපක්ෂ තේරුම් නොගත්තෙත් ඒක. දැන් රටට සංහිඳියාව අවශ්‍යයි.  


ප්‍රශ්නය:- ඒකට ද ඔබ ‘මිස්ටර් ප්‍රභාකරන්’ කියලා කිව්වේ?  


පිළිතුර:- ඇයි මම එතැන මිස්ටර් විජේවීර කියලා කියනවා ඇහුණේ නැද්ද? විජේවීරට ‘මිස්ටර්’ කියලා කිව්වට කාටවත් ප්‍රශ්නයක් නෑ. එතකොට විජේවීර ත්‍රස්තවාදී ක්‍රියා කරලා නැද්ද? ආයුධ අතට ගත්ත, මීනීමරපු ත්‍රස්තවාදීන් බක්මහ විරුවන් කියලා සමරනවා. ඉල්මහ විරුවන් කියලා කියනවා. දකුණට එහෙම පුළුවන් නම් උතුරට ඒක තහනම් කරන්නේ කොහොමද? ඒ අය මිනිස්සු නොවෙයිද? මතක තියාගන්න ඒ අය ඔය ඔබ කියන විදියට ත්‍රස්තවාදීන් වෙන්න ඉස්සර මේ රටේ දරුවෝ. ඒ දරුවන් ත්‍රස්තවාදීන් වුණේ කොහොමද? ඔය ජාතිවාදී පටු කෝණයෙන් එළියට ඇවිත් මේවා දිහා බලන්න ඕනෑ. ආපහු රට ගිනි තියන්නද කියන්නේ? මේ දරුවන් ත්‍රස්තවාදීන් වුණේ කොහොමද කියලා මුලින්ම බලන්න.  


ප්‍රශ්නය:- ඔබ හිතන විදියට කවුද ඒකට වග කියන්න ඕනෑ  


පිළිතුර:- උතුරේත් දකුණේත් ජාතිවාදී දේශපාලනඥයන් වග කියන්න ඕනෑ. ඒවා දිහා බලාගෙන හිටපු අපිත් වග කියන්න ඕනෑ. රාජපක්ෂලා හිතන්​ෙන් තුවක්කුවෙන් ඔක්කොම ප්‍රශ්න බේරගන්න පුළුවන් කියලයි.  


ප්‍රශ්නය:- ප්‍රභාකරන්ට ‘මිස්ටර් ප්‍රභාකරන්’ කියපු එකට ඔබ උත්තර දුන්නේ නෑ?  


පිළිතුර:- මම ඔබට මෙහෙම උත්තරයක් දෙන්නම්. එළාර දුටුගැමුණු යුද්ධයෙන් එළාර මිය ගියාම දුටුගැමුණු රජ්ජුරුවෝ එතැන දෙමළ මහා සෑය හැදුවා. එතැනින් යන අය ඒ සොහොනට ආචාර කළ යුතුයි කියලත් නියෝගයක් පැනෙව්වා. අපේ යුද සදාචාරය එහෙමයි. තුවාලයක් පාර පාර සනීප කරන්න බැහැ. අපි අලුතෙන් හිතන්න පුරුදු නොවුණොත් ඊළඟ පරම්පරාවත් ආයුධ අතට ගනීවි.  


ප්‍රශ්නය:- 87-89 සාපලත් භීෂණ සමයේ තරුණයන් මරා ද‌ාපු ප්‍රා සංවිධානයේ ඔබත් හිටියා. ඔබ එහි ප්‍රධානියා කියලත් ජවිපෙ කියනවා?  


පිළිතුර:- ප්‍රා එක මොකක්ද? ප්‍රා එක මොකක්ද කියලා දන්නේ නැතිව සමහරු කතා කරනවා. ප්‍රා එක කියන්නේ ‘පීපල්ස් රෙවලූෂන් රෙඩ් ආමි’ කියන එක. මහජන විප්ලවකාරී රතු හමුදාව. එදා ධනේෂ්වරයේ අතකොළුවක් වෙච්ච ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ වාමාංශික නායකයන්ට එරෙහිව යුද ප්‍රකාශ කළා. වාමාංශික නායකයන් මරලා දැම්මා. ඒ වෙලාවේ සියලුම වාමාංශික පක්ෂ හා බලවේග එකට එකතු වුණා. එහෙම එකතු වුණේ වාමාංශික නායකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. ඒක නීති විරෝධී නැහැ. ජේ.ආර්. ජයවර්ධන රජයම තමයි වාමාංශික නායකයන්ට ආරක්ෂාව සඳහා අවශ්‍ය පියවර ගන්න උපදෙස් දුන්නේ. හමුදා ආරක්ෂාව ලබා දුන්නා. හිතූ හිතූ හැටියට මිනිස්සු මරන්න කාටවත් අයිතියක් නෑ. ජේවීපී එක විප්ලවයට මුවා වෙලා කළේ ඒකයි. අපි ඒකට සාර්ථකව මුහුණ දුන්නා. මගේ ඇඟේ බෝම්බ කෑලි හතරක් තියෙනවා. ඒකෙන් තුනක් ජේවීපී බෝම්බ කෑලි. අපි තමයි ජේවීපී තුවක්කුවෙන්, බෝම්බයෙන් වාමාංශික නායකයන් බේරා ගත්තේ. අපි මේක මුලින්ම පටන් ගත්තා නම් විජය කුමාරතුංග, දේව බණ්ඩාර සේනාරත්න වගේ නායකයන් බේරා ගන්න තිබුණා. මතක තියාගන්න මට තියෙන්නේ සටන් ඉතිහාසයක්. කරන්න ඕන සටන මොකක්ද කියලා මම තේරුම් ගන්නවා. ඒ වෙනුවෙන් අවශ්‍ය වුණොත් ඉන්න තැන වෙනස් කරනවා. නමුත් ප්‍රතිපත්තිය වෙනස් වෙන්නේ නෑ.  


ප්‍රශ්නය:- උතුරේ විරුවන් සමරණ කොට දකුණේ යුද ජයග්‍රහණ සැමැරුම නතර කෙරෙනවා. ප්‍රශ්නය ඒකයි.  


පිළිතුර:- යුද ජයග්‍රහණ සැමරුම් නතර කරලා නෑ. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව යුද සැමැරුම් සතියයි කළේ. අපි ඒක මාසයක් දක්වා දික් කරලා තියෙනවා. මට ඔයා කියන්න උතුරේ ඇතැම් ජාතිවාදී නායකයන් කරන කියන විදියට දකුණේ ආණ්ඩුවත් කටයුතු කරන්න ගියොත් මොකද වෙන්නේ? අපි ජාතිවාදී විය යුතු නැහැ. අපි බුද්ධිමත්ව මේ තත්ත්වය තේරුම් ගත යුතුයි. ආරක්ෂක අංශවලට මේ රජයෙන් ලැබිය යුතු ගෞරවය උපහාරය හැමද‌ාමත් තියෙනවා. අද ඔය රණවිරුවන් ගැන කතා කරන අය එදා සරත් ෆොන්සේකා කුදලාගෙන යනකොට කොහේද හිටියේ? අපි ඡන්ද බලාගෙන නොවෙයි දේශපාලනය කරන්නේ රටේ අනාගතය දිහා බලලයි.  


ප්‍රශ්නය:- රටේ අනාගතය කොහොම වුණත් ඔබේ දේශපාලන අනාගතය නම් මේ අනුව තීරණය වෙන්න ඉඩ තියෙනවා?  


පිළිතුර:- මම මුලිනුත් කිව්වේ. මම සටන් විරාම ගිවිසුම ආරක්ෂා කරන්න දිවි හිමියෙන් කැපවුණා. ඒකට බෙල්ල දුන්නා. 2004 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය පරාජය වෙද්දී මට කළුතර දිස්ත්‍රික්කයේ ලක්ෂ ගණනක් ජනතාව ඡන්දය දුන්නා. 2015 ජනාධිපතිවරණයේදී ඊනියා දේශප්‍රේමීන් විදුලි පුටුව ගැන කියද්දී මේ රටේ බහුතරයක් ජනතාව ඒ ඓතිහාසික මිථ්‍යාව පරාජය කළා. ඒ ඊනියා දේශප්‍රේමීන් නිරුවත් කරපු මට තමයි මේ පාරත් කළුතර දිස්ත්‍රික්කයේ ලක්ෂ ගණනක් ජනතාව ජන්දය දුන්නේ. ඒ ජනතාව ම​ෙග් අනාගතය බලා ගනීවි.  

 

 

 

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්