(අතුල බණ්ඩාර)

රටක ප්‍රජාතන්ත්‍රවාදය, ඡන්දය බලය හා ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීමට නම් නිසි කලට ඡන්ද පැවැත්විය යුතු බවත්, ඡන්ද විමසීම් කල් දමන හැම රටකම විනාශයක් සිදුවූ බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මැදවච්චිය මෛත්‍රීපාල සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේදී ඉකුත් සිකුරාදා පැවැති සම්මන්ත්‍රණයක දී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

ඡන්ද හිමියන්ගේ දිනය නිමිති කොටගෙන “සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ඡන්ද බලය මත රඳා පවතී” යන තේමාව යටතේ පැවැති මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා අනුරාධපුර මැතිවරණ කාර්යාලය මගිනි.

රාජ්‍ය නිලධාරීන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, මහජන නියෝජිතයින්, ප්‍රදේශයේ ඡන්දදායකයින් හා පාසල් සිසුන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සම්මන්ත්‍රණයේදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා තවදුරටත් මෙසේද පැවැසීය.

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ පදනම ජනතාවගේ කැමැත්ත විය යුතුය. ඒ කියන්නේ, පාලනයේ පදනම ජනතාවගේ කැමැත්ත විය යුතුය. එම කැමැත්ත නිසි කාලාන්තරයන්හි පැවැත්වෙන ඡන්ද විමසීම්වලින් ප්‍රකාශ විය යුතුවේ. එක් අයෙකුට එක ඡන්දයක් තිබෙන ඡන්දවලින්, අව්‍යාජ ඡන්දවලින්, හොඳට පවත්වන ඡන්දවලින් ප්‍රකාශ විය යුතු එක වගන්තියක් තිබෙනවා. ඒ තමයි නිසි කාලාන්තරයන්හි පැවැත්වෙන ඡන්ද ඒ නියමිත කාලයේදී පැවැත්විය යුතුයි යන්න.

ඡන්ද විමසීම් කල්තැබීමෙන් මොකද වෙන්නෙ. හැමදාම ඡන්ද විමසීම් කල් තැබූ රටවල විනාශයක් සිද්ධ වුණා. කිසිදු ඡන්දයක් කල්තැබීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික ගුණාංගවලට ඉඳුරාම පටහැනියි කියලා මැතිවරණ කොමිෂන් සභාවේ අපි ප්‍රසිද්ධියේ කියනවා. ලිඛිතව දේශපාලන පක්ෂවලට දැනුම් දී තිබෙනවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය, ඡන්ද බලය හා ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කරන්න නම් නිසිකලට ඡන්ද පැවැත්විය යුතුයි.

නිසි කලට නිසි ලෙස ඡන්ද නොපැවැත්වුවහොත් මොකද වෙන්නෙ? අපේ රටේ ඡන්ද පොළට යෑම තහනම්කර නොමැති කාලවල තියාපු ඡන්ද අතුරින් දුෂ්ට ඡන්ද විමසීම් තුනක් තිබෙනවා. දුෂ්ට, තුච්ඡ, නින්දිත, නරක යන ඔක්කොම වචන යොදලා කියන්න පුළුවන් අපේ රටේ පැවැත්වුණු ඡන්ද තුනක් තිබෙනවා. ඉන් එකක් 1999 දී පැවැති වයඹ පළාත් සභාවේ කුප්‍රකට ඡන්ද විමසීම.

ඒ ඡන්දයේදී රාජකාරි කරපු සමහර නිලධාරීන් ඡන්දය දා උදේ 9.00 වනවිට ඡන්ද පෙට්ටි අරගෙන කුරුණෑගල කච්චේරියට ආවා. මොකද උදේ 8.45 වනවිට මැරයෝ ඇවිත් ඔක්කොම ඡන්ද දාලා ඉවරයි. ඒක දුෂ්ටම ඡන්දයක්.

හැබැයි, ඒ ඡන්දයෙන් කළු වළාවේ එක රිදී රේඛාවක් මතුවුණා. අර්ජුන පරාක්‍රම මහතා ඇතුළු පිරිසක් ඒ ඡන්දයේ සිදුවූ අක්‍රමිකතා ගැන අධිකරණය හමුවට ගොස් නියමයක් ගත්තා, ඡන්ද පොළක් ඡන්ද දායකයින්ට නිදහසේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි කළහොත්, ඡන්ද විමසීම නියමිත කාලසීමාවට කලින් නැවැත්වීමට සිදුවුවහොත් ඡන්දය අවලංගු කිරීමට හැකි බවට.

අනෙක් දූෂිත ඡන්ද දෙක තමයි 1982 දී පැවැති ජනමත විචාරණය සහ 1981 මැයි මාසයේ පැවැති යාපනයේ දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණය.

මොකද්ද මේ ඡන්ද විමසීම් දෙකෙන් සිද්ධ වුණේ. 1981 යාපනය දිස්ත්‍රික් සංවර්ධන සභා ඡන්දයේදී ඡන්දපොළ රාජකාරි කිරීමට කිසිදු අයිතියක් නැති කණ්ඩායමක් කොළඹින් හා කුරුණෑගලින් යැව්වා. එහි ප්‍රතිඵලයක් ලෙස මොකද වුණේ. ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද පෙට්ටි අතුරුදන් වුණා. පස්සෙ ඡන්ද පෙට්ටි කිහිපයක් සොයා ගත්තා. හැබැයි ඡන්දයේ ප්‍රතිඵලය වුණේ මොකද්ද? විපක්ෂය සියලුම කොට්ඨාස දිනුවාට බලයේ හිටපු පක්ෂයට එකක්වත් දිනන්න බැරිවුණා. එවැනි ප්‍රතිඵලයක් ලැබුණු එකම එක අවස්ථාව එයයි ලංකාවේ.

මිනිස්සු එහෙම ප්‍රතිචාර දක්වද්දී එදා රෑ තමයි ලංකාවේ ඉතාම අවාසනාවන්ත සිද්ධියක් සිදුවුණේ. යාපනයේ පුස්තකාලය ගිනිබත් වුණේ එදා රාත්‍රියේදියි. ඒ සිද්ධියෙන් පස්සේ යාපනයේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකළ මධ්‍යස්ථ ජනතාවගේ ඡන්දය කෙරෙහි තිබූ විශ්වාසය බිඳුනා. එහි වාසිය අත්වුණේ “බැලට්” එක කෙරෙහි නොව “බුලට්” එක කෙරෙහි විශ්වාසය තබා කටයුතු කළ කල්ලිවලටයි.

බොහෝ අය කියනවා අසූ තුනේ කලබලය තමයි උතුරේ සන්නද්ධ කණ්ඩායම්වලට පෙට්‍රල් දැම්මෙ කියලා. ඒක ඇත්ත. නමුත් මම කියනවා අසූ එකේ යාපනය දිස්ත්‍රික් සංවර්ධන සභා ඡන්දයේදි තමයි ඒ සන්නද්ධ කණ්ඩායම්වලට දර දැම්මෙ කියලා. එහි ප්‍රතිඵලයක් ලෙසයි මහා සන්නද්ධ කල්ලියක් බිහිවී රට විනාශ වුණේ.
අසූ දෙකේ මොකද වුණේ. අසූ දෙකේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව අසූ තුනේ මහ මැතිවරණයක් පැවැත්වූවා නම් අනුපාත ඡන්ද ක්‍රමය යටතේ එදා තරුණයින් නියෝජනය කළ පක්ෂයට මන්ත්‍රීධුර පහක් හෝ දහයක් අතර සංඛ්‍යාවක් ලැබෙන්න ඉඩ තිබුණා. ඒ අවස්ථාව අහිමිවීමෙන් පසු ඒ තරුණයින්ට ඡන්දය ගැන තිබූ විශ්වාසය නැතිවුණා. ඒ නිසා ඒ තරුණ පක්ෂයේ පිරිසක් ආයුධ අතට ගෙන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ගොඩනැගුවා. ඔවුන් රජයට එරෙහිව කැරැල්ලක් මෙහෙයවූවා. ඉන් ජීවිත හැටදාහක් විතර නැතිවුණා.

ඡන්ද හරියට නොතිබ්බොත්, ඡන්ද කල්දැම්මොත් ඒක මරණයට හේතු වෙනවා. ඒක නිසා අපි නියමිත වෙලාවට ඡන්ද පැවැත්විය යුතුයි.

1972 දී ජනරජ ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමෙන් පසු එදා පැවැති ආණ්ඩුවේ අවුරුදු පහක නිල කාලය අවුරුදු හතක් කළා. ඒකට විරුද්ධව එදා විපක්ෂ නායකවරයා ලෙස ජේ.ආර්. ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී ඡන්දය ඉල්ලුවා. ඒ ආදර්ශය ලංකාවේ දේශපාලනඥයෝ දන්නවා.

ඒ නිසා ඡන්ද කල්තැබීමට විරුද්ධවීම දේශපාලනඥයින්ගේ කාර්යයක් ලෙසයි අප දකින්නෙ. ඡන්දය නිසි කලට පැවැත්වීම ආණ්ඩු පක්ෂයේ පමණක් නොවෙයි, විපක්ෂයේත් වගකීමක්. පාර්ලිමේන්තුවේ මහජන මන්ත්‍රීවරුන් 225 දෙනාගේම වගකීමක් තමයි උතුරු මැද සබරගමුව හා නැගෙනහිර පළාත් සභා ඡන්ද පවත්වා ජනතාවට තම කැමැත්ත ප්‍රකාශ කිරීමට කඩිනමින් අවස්ථාව සලසා දීම.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.ඇම්. වන්නිනායක මහතාද මෙම සම්මන්ත්‍රණය ඇමතුවේය.