(සුරංග රාජනායක)

පරිසරයට ඉහළ වටිනාකමක් ලබාදී අද දවසේ වගකීම් නිසි ලෙස ඉටු නොකළහොත් හෙට දවසේ රටට උදාවන්නේ මහත් ඛේදවාචකයක් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මහනුවරදී ඊයේ (11) පැවැසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මහනුවර, දෙල්තොට, කන්දෙතැන්න වැව් පරිශ‍්‍රයේ ඊයේ පැවැති ජාතික රුක් රෝපණ වැඩසටහනේ සමාරම්භක උළෙලට සහභාගි වෙමිනි. ජනාධිපති කාර්යාලය සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන මෙම වැඩසටහන ‘‘වන රෝපා’’ වැඩසටහන ලෙස නම් කර තිබිණි.

‘‘වන රෝපා’’ ජාතික රුක් රෝපණ වැඩසටහන සංකේතවත් කරමින් පලතුරු පැළ පාසල් සිසුන්ට බෙදාදීම ද ජනාධිපතිවරයා අතින් සිදුවිය.

උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා මෙසේ ද කීවේය. ජල පෝෂක ප‍්‍රදේශ සංරක්ෂණය හා වනරෝපා ජාතික රුක් රෝපණ වැඩසටහන මහනුවර දිස්ත‍්‍රික්කයේ දෙල්තොට ප‍්‍රදේශය වැනි ඉතාමත් සුන්දර ගම්මානයකදී ඇරඹෙද්දී මේ ආදරධෑය පින්වන්ත දරුවන් සමඟ මේ කටයුත්තට එක්වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටට පත් වෙනවා.

අද දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර තිබෙන ජාත්‍යන්තර ගැහැණු දරුවන්ගේ දිනය. ඒවගේම ඔක්තෝබර් මාසය ජාතික වශයෙන් රුක් රෝපණය සඳහා යොදාගත් මාසයක්. ගිය මාසේ ජාතික සාහිත්‍ය මාසය.

ඔක්තෝබර් මාසය තවත් පැත්තකින් ජාතික කියවීමේ මාසය. මේ වනරෝපා වැඩසටහන මහවැලි හා පරිසර අමාත්‍යාංශය විතරක් නොවෙයි අධ්‍යාපන, ඉඩම්, කෘෂිකර්ම, වාරිමාර්ග, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ගණනාවක් ඒකාබද්ධව කරන ජාතික වැඩසටහනක්.

පැළ සිටුවීම වගේම වනාන්තරය ආරක්ෂා කිරීම, රුක්රෝපණය, පරිසර සංරක්ෂණය, පරිසරයට සංවේදී වීම, පරිසරයට ආදරය කිරීම, ගහකොළ, ඇළ දොළ, සතා සීපාවා, මහ පොළොවට ආදරය කිරීම, සුරක්ෂිත කිරීම, පෝෂණය කිරීම මිනිසුන් විදියට අප විසින් ඉටු කළ යුතු මූලික වගකීමක් සහ යුතුකමක් වෙනවා.

2016 - 2018 තුන් අවුරුදු සැලැස්ම ගිය අවුරුද්දේ සිට ක‍්‍රියාත්මක වන පුනරුදය ජාතික වැඩසටහනේ ජල පෝෂක ප‍්‍රදේශ සංරක්ෂණය සඳහා මූලිකත්වය දෙමින් තමයි අද මේ කාර්යය ඉටු කරන්නේ. ජලපෝෂක ප‍්‍රදේශ වශයෙන් ගත් විට ඇළ දොළ, ගංගා, වැව්අමුණු, පොකුණු ආදී ජලය එක්රැස්වන ස්ථාන වෙත ජලය ගලා එන ප‍්‍රදේශ ජල පෝෂක ප‍්‍රදේශ වශයෙන් තමයි හඳුන්වන්නේ. ඒ ජල පෝෂක ප්‍රදේශ අප විසින් ආරක්ෂා  යුත්තේ ඇයි? අද විද්‍යාඥයින් ප‍්‍රකාශ කරනවා ලෝකයේ තිබෙන ස්වාභාවික සම්පත් පිළිබඳව පැහැදිලි කිරීමේදී 2050 වන විට ලෝකයේ ජීවත් වන මිනිසුන් මුහුණ දෙන ප‍්‍රධානම ප‍්‍රශ්නය තමයි පානීය  ජලය පිළිබඳව ප‍්‍රශ්නය කියන එක. අපේ රටේ වර්තමානය තත්ත්වය පිළිබඳව කතා කළොත් ප‍්‍රදේශ ගණනාවක පානීය ජලය නැහැ. එක් පැත්තකින් වසර එකහමාරක දීර්ඝ කාලීන නියඟය මේ තත්ත්වයට දැඩි ලෙස බලපා තිබෙනවා.

මේ සුන්දර කඳුකරය අද ඉතාමත් බරපතළ විදියට පරිසර විනාශයට ලක්වෙලා තිබෙන බව ඔබ දන්නවා. මම අද කොළඹ සිට මේ වැඩසටහනට එන ගමන් මගේ සහෝදරියක් සිටින නිල්ලඹ ප‍්‍රදේශයේ නිවසට ගියා.

මීට අවුරුදු 40 කට 45 කට එහා මම තරුණයෙක් විදියට නිල්ලඹ ඒ ගෙදරට ගියාම ඒ ගෙදර වටේට තිබුණා උල්පත් හරහා කඳුවලින් පහළට ගලා ගෙන ලස්සන දියඇලි. ඒවායින් ජලය ගලා ගෙන යනවා. ඒ වගේම ගේ වටේ තිබුණු පොකුණුවල ජලය එක් රැස් වෙලා. ඒවා උතුරලා යනවා. මම අද මහ ඇමතිතුමත් එක්ක පොඩි කාලේ වගේ ඒ ගේ වටේ ටිකක් ඇවිද්දා. එදා තිබුණු ජල උල්පත් අද එකක්වත් දකින්න නැහැ. ඒ ගේ වටේට ගලා ගෙන ගිය ජලය දකින්නට නැහැ. ගෙවී ගිය දශක තුනක හතරක කාලය තුළ මොනතරම් වෙනසක් සිදුවෙලා තිබෙනවද කියන කාරණය

ඉන් පැහැදිලි වෙනවා. මේක තමයි කඳුකරය වගේම මුළු දිවයිනටම බලපාලා තිබෙන ප‍්‍රධානම ප‍්‍රශ්නය. මේ ජලය පිළිබඳව තිබෙන ප‍්‍රශ්නය. මම අද පත්තරේ බලන විට දැක්කා ඇමරිකාවේ ගම්මාන රාශියක් ලැව් ගිනිවලින් විනාශ වෙලා සිය ගණනක් මැරිලා, වාහන දහස් ගණනක් ගිනි අරගෙන තිබෙනවා. අද පත්තරය කියවන විටත් මේ වනවිටත් ලැව් ගින්න නිවන්න බැරිව ගිහින් තිබෙනවා.

ඔබ දකින්න ඇති පසුගිය දිනවල ලෝකයේ රටවල් ගණනාවක සුනාමි, භූමිකම්පා, සුළිසුළං, ගංවතුර වැනි ස්වාභාවික ව්‍යසනයන් සිදුවුණාද කියලා. ඒ නිසා මේ තත්ත්වය අපේ රටට පමණක් සීමා වූ ප‍්‍රශ්නයක් නොවෙයි. ඇතැම් අය වැරදි දේශපාලන විග‍්‍රහ කරනවා. අපේ ආණ්ඩුව ආවට පස්සේ තමයි මේ නියඟයයි, ගංවතුරයි කියලා. හැම ආණ්ඩුවක් කාලයකම මේ රටේ නියඟය තිබුණා.

සෑම ආණ්ඩුවක් කාලෙම ගංවතුරත් ඇවිත් තිබෙනවා. මගේ ජීවිත කාලය තුළ මම දන්නවා මොනතරම් ගංවතුරට, නියඟයට අපි මුහුණ දීලා තිබෙනවද කියලා. ඒ නිසා අපි සෑම කෙනෙක්ම සියලූ සත්ත්වයාගේ පැවැත්මට අවශ්‍ය වනය, ඇළ දොළ, ගංගා, මහ පොළොව, ගහ කොළ, සතා සීපාවා වැනි ස්වාභාවික සම්පත් සියල්ල පෝෂණය කරන්න, ආරක්ෂා කරන්න බැඳී සිටිනවා. ඒ සඳහා පාසල් දරුවන් ප‍්‍රමුඛව රටේ පොදු මහජනතාවටත් අනෙකුත් සියලූ අංශවල අයත් තමාගේ අවධානය යොමු කරමින් මෙවැනි වැඩසටහන්වලට එක්වීමෙන් ලබා ගන්නා අත්දැකීම් සමඟ අප විසින් ඉටු කළ යුතු වගකීම් ඉටු කිරීම සඳහා පෙළගැසිය යුතු බව ඉතා පැහැදිළිව ඔබට සඳහන් කළ යුතුයි.

කඳුකරය වගේම මහපොළොව, සෝදාපාලූවීමෙන් වැළැක්වීමට පාංශු සංරක්ෂණය ඇති කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය වූ කටයුත්තක්. අද නොයෙක් ජාවාරම්කාර ව්‍යාපාරිකයින වනාන්තර විනාශ කරනවා. මහපොළොව විනාශ කරනවා. කඳු කපලා නොයෙකුත් ව්‍යාපාරවලට පරිසරය විනාශ කරනවා.

ඒවගේම වැලි ගොඩදාන්න, ගල් කඩන්න, පස් ගන්න විශාල වශයෙන් පරිසරය විනාශ කරනවා. මහවැලි ගඟ වගේම මහමුහුදට ගලා යන ගංගා ඔයවල් 103 ක් අපේ රටේ තිබෙනවා. මේ රටේ හෘදය වස්තුව සේදී යන ආකාරයට තමයි මහපොළොව සෝදා ගෙන මහමුහුදට වැටෙන්නේ. මේ ගංගාවල්, ඔයවල්, ඉවුරු ආරක්ෂා කිරීම සඳහා රජයේ නිලධාරීන් කරන ක‍්‍රියාකාරකම්, ඔවුන්ගේ වගකීම් ඉෂ්ට කිරීම් ඒ සියලූ කටයුතු වගේම රටේ පුරවැසියෝ විදියට, පාසල් දරුවෝ විදියට රාජ්‍ය වේවා රාජ්‍ය නොවන වේවා මේ සියලූ කෙනෙකුගේම වගකීම් සහ යුතුකම් ඉටු කළ යුතු වෙනවා.

මේවා අපි ආරක්ෂා කළේ නැත්නම්, සොදාපාලූවීම් වැළැක්වුවේ නැත්නම්, පාංශු සංරක්ෂණ කළේ නැත්නම්, වනාන්තර ආරක්ෂා කර ගත්තේ නැත්නම්, පැළ සිටෙව්වේ නැත්නම්, මහපොළොව රැක්කේ නැත්නම්, ගංගා ඇළ දොළවල් ඉවුරු ආරක්ෂා කළේ නැත්නම් තව අවුරුදු 40ක් 50 ක් යන විට මේ රටේ මින්සුන්ට ජීවත් වෙන්න රටක් ඉතුරු වෙයිද? මහ පොළොවක් තිබේද?

බොන්න වතුර ටිකක් තිබේද? යන අභියෝගය අප හමුවේ තිබෙනවා. පසුගිය කාලේ රත්නපුර, කළුතර වැනි ප‍්‍රදේශවල අධික ගංවතුරත් සමඟ ඇතිවුණු නායයාම් වගේම බරපතළ විනාශයන් ඔබ දැක්කා. රත්නපුර ප‍්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයින් පරිසරය ආරක්ෂා කරන්නේ නැතිව පරිසරයේ සුන්දරත්වයට වටිනාකම් දෙන්නේ නැතිව මහපොළොවට වටිනාකම් දෙන්නේ නැතිව මැණික් ගැරීමේ කටයුතුවලදී තිබෙන රජයේ නීතිරීතිවලින් බැහැරව මුදල් සොයන්න පරිසරය විනාශ කරමින් කරන ලද දීර්ඝ කාලීන ක‍්‍රියාකාරකම්වල ප‍්‍රතිඵලයක් විදියට තමයි රත්නපුර දිස්ත‍්‍රික්කයේ ජනතාවට එවැනි විනාශකාරී අත්දැකීම්වලට මුහුණපාන්නට සිදු වුණේ.

කළුතර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් තිබෙනවා. ඒ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පමණක් විශාල ගල් කඩන මධ්‍යස්ථාන 23 ක් තිබෙනවා. මේ ගල් කැඞීම්, පස් කැපීම්, වැලි ගොඩදැමීම් සංවර්ධනයට අවශ්‍යයි වගේම ඒ සංවර්ධනය කිරීමේදී සුදුසු ස්ථානවලින් පමණක් ඒ කාර්යය ඉටුකිරීම වැදගත් වෙනවා. ඒ වගේම ආයතනික වශයෙන් රජයේ ආයතන කරන මගපෙන්වීම්වලට අනුකූලව කටයුතු කිරීම පරිසර සංරක්ෂණ නීතිරීති ආරක්ෂා කිරීමත් ඒ සඳහා බලපත‍්‍රයක් ලබා දීමේදී ඒ බලපත‍්‍රයේ තිබෙන කොන්දේසි අනුව කටයුතු කිරීමත් ඉතාමත් වැදගත් වෙනවා.

මේ වනවිට පාසල් දරුවන් වගේම රටේ සාමාන්‍ය ජනතාව, දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන් ඒ සෑම කෙනෙක්ම තේරුම් අරගෙන තිබෙනවා මේ වගකීම් සහ යුතුකම් අප විසින් ඉතාමත්ම ඉහළින් ඉටු කළ යුතුයි කියන කාරණාව. ඒ නිසා මේ ක‍්‍රියාත්මක වන පරිසර සංරක්ෂණය සඳහා වූ වනරෝපා වැඩසටහන ඒ සියලූ අංශවල වටිනාකම් සඳහා ඉහළ තක්සේරුවක් ලබාදෙනවා යැයි ද ජනාධිපතිවරයා කීවේය.

අමාත්‍ය එස්.බී. දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, මධ්‍යම පළාත් අමාත්‍යවරුන් වන තිළිණ බණ්ඩාර තෙන්නකෝන්, බන්දුල යාලේගම යන මහත්වරුන් ඇතුළු පළාතේ මැති ඇමැතිවරුන් ද, පරිසර සහ මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහනුවර දිස්ත‍්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝහණ කීර්ති දිසානායක යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු සමග පාසල් දරුවන්, ප‍්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.