එක්සත් ජාතික පෙරමුණේ පත් කළ මන්ත්‍රී  
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා  

 

  • ආරක්ෂක කවුන්සිලයත් විහිළුවට අරන් තිබිලා තියෙන්නේ 
  • ​බෝම්බ ප්‍රහාරයක් වළක්වා ගන්න පුළුවන් ආරක්ෂක වැඩපිළිවෙළක් තියෙනවා කියලා මම දකින්නේ නෑ 
  • එක චෙක් පොයින්ට් එකක්වත් මම දැක්කේ නෑ  
  • මාව නීතිය හා සාමය ඇමැති කරන්න කියා එජාපය ඉල්ලුවම ජනපති කියල තියෙන්නේ අපොයි මේක එයාට දුන්නොත් එයා ඉස්සෙල්ලාම මාව අත්අඩංගුවට ගනීවි කියල

 

 

රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් රට තුළ නොනිමි සංවාදයකි. යුද ජයග්‍රහණයෙන් දස වසරකට පසුව එල්ල වූ පාස්කු ඉරිද‌ා ප්‍රහාරය ඒ සංවාදයට නිමිත්ත සැපයුවේය. ආරක්ෂාව සම්බන්ධයෙන් කතා කළ හැකි ප්‍රමාණාත්මක විශේෂඥයකු වන එක්සත් ජාතික පෙරමුණේ පත් කළ මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමග මේ කතා බහ රටේ ආරක්ෂාව සම්බන්ධයෙනි.  


ප්‍රශ්නය:- රටේ අලුත්ම තත්ත්වය ගැන ඔබේ විග්‍රහය?  


පිළිතුර:- අලුත්ම තත්ත්වය කියන්නේ සීයට ද‌ාහක් සාමය තිබුණ රටක් මේක. ඒ රට පහුගිය අවුරුදු දහය ඇතුළත බලධාරින් ඒ සාමය භුක්ති වින්ද‌ා හැරෙන්න පස්ස හැරිලා බලලා නෑ රට කොහොමද පස්සෙන් එන්නේ කියලා. රටේ ආරක්ෂාවට අද‌ාළව ගත යුතු කිසිම පියවරක් අරගෙන නෑ. ආරක්ෂක හමුද‌ා තමන්ගේ මට්ටමින් ඒ කටයුතු කරගෙන හිටියත් ආරක්ෂාව පිළිබඳව විමසිල්ලෙන් ඉඳලා නෑ. අවශ්‍ය පියවර අරගෙනත් නෑ.  


ප්‍රශ්නය:- අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පස්සේ ආරක්ෂක තත්ත්වය?  


පිළිතුර:- ඔව්. අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පස්සේ දක්වපු ප්‍රතිචාරවලින් පේනවා මේගොල්ලෝ කිසිම සූද‌ානමකින් හිටියේ නෑ කියලා.  


ප්‍රශ්නය:- ඔය තත්ත්වයට වගකිවයුත්තන් හැටියට ඔබ හඳුනාගන්නේ?  


පිළිතුර:- ආරක්ෂක ඇමැති ජනාධිපතිවරයනේ. ඔහු සහ ඔහුගෙන් පහළ ආරක්ෂක කවුන්සිලයේ කට්ටිය. නමුත් මට දැන් ලැබෙන තොරතුරුවලට අනුව ආරක්ෂක කවුන්සිලයෙන් විහිළුවට අරන් තිබිලා තියෙන්නේ. ආරක්ෂක කවුන්සිලයේදී රටේ ආරක්ෂාව, ජනතාවගේ ආරක්ෂාව, රටේ ඒකීය භාවය ගැන අවධානය යොමු කරනවා වෙනුවට පුළුවන් තරම් දේශපාලන න්‍යාය පත්‍රවලට යන්න තමයි උත්සාහ කරලා තියෙන්නේ. හමුද‌ාව වුණත් පාවිච්චි කරලා තියෙන්නේ දේශපාලන න්‍යාය පත්‍රවලට. ඉතින් ඒක හින්ද‌ා රට අවාසනාවන්ත ඉරණමකට මුහුණ දීලා තියෙනවා. දැන් තාමත් සමහරුන්ගේ ඇස් ඇරිලා නෑ. තාමත් හදන්නේ ජනතාව රවට්ට රවට්ට ජනතාව නොමග යවමින් තනතුරු ආරක්ෂා කරගෙන ඉන්න.  


ප්‍රශ්නය:-ඇස් ඇරුණේ නැති ඒ අය කවුද?  


පිළිතුර:- ජනාධිපතිවරයා තමයි ප්‍රධාන වශයෙන්ම. එයානේ ආරක්ෂාව පිළිබඳ බලධාරියා. එයා යටතේ තමයි අනික් සියලු දෙනාට වැඩ කරන්න වෙලා තියෙන්නේ.  


ප්‍රශ්නය:-ත්‍රිවිධ හමුද‌ාපතිවරුන් හා පොලිස්පතිවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වලා කිව්වා ‘තත්ත්වය සාමකාමියි’ කියලා. ඔබ ඒක පිළිගන්නව ද?  


පිළිතුර:- බෑ. එහෙම වෙන්නේ නෑ. මේ රටේ පාලකයට ආරක්ෂාව පිළිබඳ කිසිම හැඟීමක් නෑ. නිසි අවබෝධයකුත් නෑ. ඒ ගොල්ලෝ හිතන්නේ ඔය හමුද‌ා පෙළපාළියකට ගිහින් උත්තමාචාරයක් ලබා ගත්තොත් හමුද‌ා නිලධාරින් ඇවිත් ආචාර කරලා ගියාම සියල්ල සම්පූර්ණයි කියලා. ඊට පස්සේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේම මේකෙන් පස්සේ හමුද‌ාව පොලිසිය එළියට බැස්සාම කිසියම් ප්‍රමාණයකට තත්ත්වය පාලනය වෙනවා. යම් යම් අය අත්අඩංගුවටත් ගන්නවනේ. නමුත් ඒකෙන් අදහස් කෙරෙන්නේ නෑ මේ උවදුරේ කෙළවරක් දැක්කා කියලා. මම දැක්කා ටීවී එකෙන් ජනාධිපතිවරයා නැගෙනහිරට ගිහින් කියනවා. ‘ඔක්කොම අල්ලලා ඉවරයි. තව දෙතුන් දෙනයි අල්ලන්න තියෙන්නේ’ කියලා.

කොච්චර බොළඳ කතාවක් ද?  


ප්‍රශ්නය:- ඇයි ඔබ එහෙම කියන්නේ?  


පිළිතුර:- ජනාධිපති එයාම තමයිනේ ආරක්ෂක ඇමැති. ඊට කලින් දවසේ පාර්ලිමේන්තුවට ඇවිත් කිව්වේ ‘150 කටත් අඩු ත්‍රස්තවාදීන් ප්‍රමාණයක් තමයි ඉන්නේ. ඒකෙන් 56 ක් අපි අල්ලලා තියෙන්නේ’ කියලා. ඊට පැය 24 කට පස්සේ නැගෙනහිරට ගිහිල්ලා කියනවා ‘තව අල්ලන්න ඉන්නේ දෙතුන් දෙනයි’ කියලා.  


ප්‍රශ්නය:-බොහෝ තැන්වලින් කඩු කිනිසි අහුවෙනවා. ඔබ හිතන විදියට සූද‌ානම මොකට ද?  


පිළිතුර:- ඒවා මාත් හිතන්නේ මේ රටේ දර්ගා නගරයේ ප්‍රහාරය වගේ ගලගොඩඅත්තේ ඥ‌ානසාර හාමුදුරුවන්ගේ කට්ටිය කරපු නොයෙක් ආකාරයේ තර්ජන ගර්ජන මහනුවර දිගන සිද්ධිය වගේ දේවල්වලින් පස්​සේ ඒ අය ආරක්ෂාවට ඒවා තියාගෙන ඉන්න ඇති. මොකද සමහර වෙලාවට කොළඹ ගත්තත්... මගේ ආසනය ගත්තත් පෑලියගොඩ, කැලණිය වගේ තැන්වල සමහර අය පරිසරය අනුව පෞද්ගලික ආරක්ෂාවට ඔය වගේ දේවල් තියාගෙන ඉන්නවා. අතේ පිහියක් තියෙනව නම් පොඩි ආරක්ෂාවක් තියෙනවනේ. ඒ වගේ මානසිකත්වයකින් තමයි වෙන්න ඕනෑ ඒවා තියාගෙන ඉන්නේ. නමුත් මේ උවදුර ඊට වඩා හුඟාක් බරපතළ බැරෑරුම් ගැඹුරක් තියෙන උවදුරක්. ඒක තේරම් අරන් නෑ මේ ගොල්ලෝ.  


ප්‍රශ්නය:- ඔබ හිතන විදියට මේ මොහොතේ කළ යුත්තේ කුමක් ද?  


පිළිතුර:- අනිවාර්යයෙන්ම ඔබතුමාට මතක නම් අපේ අතීතය. එල්ටීටීඊ කාලයෙ කොළඹ ආරක්ෂාව මීට වඩා තදින් තිබුණනේ. මම දැන් ගෙදරින් පිටත් වෙලා මෙතැනට එනකම් එක චෙක් පොයින්ට් එකක්වත් දැක්කේ නෑ. මෙතැන සිට පාර්ලිමේන්තුව ළඟට යනකම් එක චෙක්පොයින්ට් එකක්වත් නෑ. සමහර තැන්වල සෙබළෙක් දෙන්නෙක් හිටගෙන ඉන්නවා. හැබැයි ඉතින් එයාගේ නහය ළඟිනුත් වාහන යනවා. බෑග් උස්සගත්ත අයත් යනවා. ඒවා චෙක් වෙන්නේ නෑ. නමුත් එල්ටීටීඊ ත්‍රස්තවාදය තියෙද්දී හැම දෙනාගෙම ඇඟට ඒ උවදුරේ ප්‍රමාණයත් ඒ වෙනුවෙන් ගත යුතු පියවරත් දැනිලා තිබුණේ. කනිෂ්ඨම සෙබළාට පවා ඒක තිබුණා.  


ප්‍රශ්නය:- ඔබ කියන්නේ දැන් එහෙම එකක් නැහැ?  


පිළිතුර:- දැන් හමුද‌ාවේ සියයට පනහක්ම අලුත් අය. යුද්ධයෙන් පස්සේ ආව අය. පොලිසියෙත් එහෙමයි. ඒ ගොල්ලෝ පළමු වැනි වතාවට තමයි මේ වගේ එකක් දැක්කේ. ඒක හින්ද‌ා මේ තියෙන ආරක්ෂක වැඩපිළිවෙළ... එක්කෙනක් දෙන්නෙක් අල්ලනවා. එයාගේ මාර්ගයෙන් තව එක්කෙනක් අල්ලනවා. ඒ වැඩේ කෙරෙනවා ඇරෙන්න පොදුවේ ජනතාවට බෝම්බ ප්‍රහාරයක් වළක්වා ගන්න පුළුවන් ආරක්ෂක වැඩපිළිවෙළක් තියෙනවා කියලා මම දකින්නේ නෑ. හරියට එහෙම වැඩපිළිවෙළක් තියෙනවා නම් ජනතාවට ඒක දැනෙන්න ඕනෑ. එහෙම දැනුණොත් ප්‍රතිඵල තියෙනවා. ඒ නිසා මේ යන වැඩපිළිවෙළ සාර්ථකයි කියලා මම නම් හිතන්නේ නෑ. අනිත් එක මම කිව්වා මේක සාර්ථකව අවසානයක් දකින්න නම් අවුරුදු දෙකක් විතර යයි කියලා.  


ප්‍රශ්නය:-ඔබ රට බය කරනව ද?  


පිළිතුර:- නෑ. ඇත්ත තත්ත්වය ඒක. මම එහෙම කියන්නේ අපි නැවතත් විශාල ආරක්ෂක ජාලයක් හදන්න ඕනෑ. ඒ ජාලය හදන්න බෑ ජනාධිපතිවරයා කියනවා වගේ තව තුන් දෙනෙක් අල්ලලා. ඒ ජාලය හැදුණාම තමයි ජනතාවට සැනසිල්ලේ ඉන්න පුළුවන් වෙන්නේ. නැත්නම් ආපහු හරි ලේසියි කොයි වෙලාවක හරි මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන එක. ඒක හරිම ලේසියි. දැනුත් බුද්ධි අංශ මගින් අපේ ආරක්ෂක නිලධාරීන්ට දැනුම් දීලා තියෙනවා 13 වැනි ද‌‌ා උදේ 9 ත් දවල් 2 ත් අතර ස්ථාන පහක බෝම්බ ප්‍රහාර බලාපොරොත්තු වෙන්න කියලා. ඒ අතරම කියලා තියෙනවා දිනය වෙනස් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙන කොට අපි කොහොමද කියන්නේ තත්ත්වය හරි කියලා. ජනතාවනේ මේකෙන් බැට කන්නේ. ආරක්ෂක ඇමැතිට නම් ආරක්ෂාව තියෙනවනේ. වෙඩි නොවදින රථ තියෙනවනේ. විපක්ෂනායකතුමාටත් එහෙමයි.

අගමැතිතුමාටත් ආරක්ෂාව තියෙනවා. නමුත් ජනතාවට මොනවද තියෙන්නේ? ජනතාව තමයි ඒකට බිලිවෙන්නේ. ඒ නිසා ජනතාවගේ හෘදය සාක්ෂිය ඔවුන්ට කියන්නෙත් ඔබ ඉන්නේ බයෙන් කියන එකයි. ජනතාව බයෙන් ඉන්නවා නම් එතකොට අපිට සෑහීමට පත්වෙන්න බැහැනේ අපේ යුතුකම ඉටු කළා කියාල. අද වෙනකම් ඒ යුතුකම තාම හරියට ඉටු වෙලා නෑ. දිගුකාලීනව සීයට සීයක්ම අපි එල්ටීටීඊ එක ඉවර කරලා ආවා වගේම සාමය ගේන්න සැලැස්මක් තියෙනවා කියලා මම හිතන්නේ නෑ.  


ප්‍රශ්නය:- ඔබ ජනාධිපති මෛත්‍රී ගේන්න වෙහෙසී වැඩ කළා. මේ ආණ්ඩුවේ ඔබ ඇමැතිවරයෙක් විදියට හිටියා. අදටත් ඔබ ආණ්ඩුවේ සාමාජිකයෙක්. රටේ මේ තත්ත්වය ගැන ඇයි ඔබ ආණ්ඩුව ඇතුළේ කතා නොකළේ?  


පිළිතුර:- මෙහෙමයි. ඇමැතිවරු සාමාන්‍යයෙන් කතා කරන්​නේ ඒ ගොල්ලන්ට අද‌ාළ විෂයන් ගැන. කැබිනට් මණ්ඩලයේදිත් එහෙමයි. මට තිබුණේ වනජීවි අමාත්‍යාංශය. එතකොට මම කතා කරන්නේ ඒ අමාත්‍යාංශය ගැනයි. අනික් ඇමැතිවරුන්ගේ වැඩ ගැන අපි කතා කරන්න විවේචනය කරන්න යන්නේ නෑ. 

 
ප්‍රශ්නය:-නමුත් රටේ පොදු ප්‍රශ්න ගැන?  


පිළිතුර:- ඒවට වෙනම ක්‍රියාද‌ාම තියෙනවනේ. ඒවට වෙනම යාන්ත්‍රණ තියෙනවනේ. ඒ යාන්ත්‍රණ නිසියාකාරව යනවා කියලා අපි විශ්වාස කරනවා. අනික් ඇමැතිවරු විශ්වාස කරනවා වගේ අමාත්‍යාංශයෙ වැඩ මම හරියට කරනවා කියලා. නමුත් දැන් මෙහෙම ප්‍රශ්නයක් ඇති වුණාම තමයි ජනතාව සියලු දෙනාම ප්‍රශ්න කරන්න පටන් ගන්නේ. ඒ හැරෙන්න රජයේ ඇමැතිවරයෙක් වෙච්ච පළියට ආරක්ෂාව ආදිය ගැන මම අවධානය යොමු කරන්නේ නෑ. යොමු කළ යුතුත් නැහැ. ඒකට වගකිවයුතු පිරිසක් ඉන්නවා.  


ප්‍රශ්නය:- ඔබ ලංකා ඉතිහාසයේ පළමු ෆීල්ඩ් මාර්ෂල්වරයා. යුද්ධය මෙහෙයවපු යුද හමුද‌ාපතිවරයා. ඒ නිසා ඔබට ඔබේ ආණ්ඩුව ඇතුළේ ආරක්ෂාව ගැන කතා කරන්න විශේෂ වගකීමක් තියෙනවා?  


පිළිතුර:- එහෙම එකක් නෑ. මම විශ්‍රාම ගිය යුද හමුද‌ා නිලධාරියෙක් විදියට දැන් ඉන්නේ. ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තියෙනවා මම විශ්‍රාම ගිය හමුද‌ා නිලධාරියෙක් කියලා. වෙනත් රටවල්වල එහෙම අයට දෙන වගකීම් තියෙනවා. එංගලන්තය ෆීල්ඩ් මාර්ෂල්ලා ඔක්කොම රැජිනගේ ආරක්ෂක උපදේශකවරයෝ. අපේ එහෙම නෑනේ. කුහක දේශපාලන න්‍යාය පත්‍රවල ඉන්න ​දේශපාලනඥයන් එහෙම වගකීම් දෙන්න කැමැති නෑ. මොකද හීනමානය නිසා හිතනවා ‘මේ මිනිහට වගකීම් දුන්නොත් මිනිහා කැපිලා පෙනෙයි’ කියලා. එහෙම හිතන ගතියක් අපේ දේශපාලනඥයන් අතර තියෙනවා.  

ප්‍රශ්නය:- ඔබ ඔය කතා කරන්නේ අත්දැකීමෙන්?  


පිළිතුර:- අනිවාර්යයෙන්ම ඔව්. 2015 ජනවාරි 8 ආණ්ඩුව පෙරළුවාට පස්සේ මම මන්ත්‍රී කෙනෙකුත් නොවෙයි. ජනාධිපති ඇහුවා මගෙන් ‘ඔබතුමාට මොනවද මගෙන් කෙරෙන්න ඕනෑ’ කියලා. එයාම කිව්වා ඔබතුමා පක්ෂ නායකයෙක් නිසා සභාපතිකම් වගේ දේවල් ඔබතුමාට කරන්න බැහැනේ. තානාපතිකම් වගේ දේවල් කරන්න බැහැනේ. එතකොට මම කිව්වා අර ඉන්දියාවේ තියෙනවා ජාතික ආරක්ෂක උපදේශක කියලා තනතුරක්. එයාට ඇමැති කෙනෙකුට සමාන බලතල තියෙනවා. එහෙම තනතුරක් හදලා මාව ඒකට ද‌ාන්න’ කියලා. ඊට පස්සෙත් මම දෙවරක්ම මතක් කළා. එයා ඒක මගහැරියා. එතකොට මට තේරුණා මෙයා හදන්නේ අපේ පිහිටෙන් තමයි ජනාධිපති වුණේ. නමුත් අපට බලතල එනවට මෙයාගේ ඔළුවෙ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඊට පස්​සේ මම ඒ පස්සේ ගියේ නෑ.  

ප්‍රශ්නය:-රටේ අගමැතිට තිබුණා ඔබෙන් ඒ සේවය ලබා ගන්න?  


පිළිතුර:- මෙහෙමයි ඉතින්. ඒ කාල​යේ අගමැති හරහා ජනාධිපති ගාවට යන්න අවශ්‍ය වුණේ නෑ. කෙළින්ම අපි ජනාධිපතිත් එක්ක සම්බන්ධ වෙලා හිටියේ. ජනාධිපතිවරණයේදී එයා වේදිකාවට නගින්නෙත් මගේ කතාවෙන් පස්සේ. මගේ ළඟ තමයි වාඩිවෙන්නේ. ජනාධිපතිවරණයෙන් පස්සේ මම එයාව හමුවෙන්න ඇපොයිමන්ට් එකක් ඉල්ලලා තිබුණා. එතකොටත් මට කිව්වේ ඔබතුමාට මොකටද ඇපොයිමන්ට්. ඔබතුමා ඕනෑම වෙලාවක මේක ඇතුළට ඇවිදගෙන එන්නකෝ’ කියලයි. එහෙම මානසිකත්වයක හිටියේ. ඒ නිසා මට අගමැති හරහා යන්න අවශ්‍යතාවක් තිබුණේ නෑ.  


ප්‍රශ්නය:-ඒ සම්බන්ධය බිඳවැටුණේ?  


පිළිතුර:- මෑතක් වනතුරුම ඒ සම්බන්ධය තිබුණා. නමුත් නීතිය හා සාමය පිළිබඳ ඇමැති ධුරයට මගේ නම ගිය අවුරුද්දෙ පෙබරවාරිවල විතර යැව්වා. ඒක මගඇරියට පස්සේ මා තුළ එතුමා ගැන තිබ්බ විශ්වාසය නැති වුණා. ඊට පස්සේ මම එයා එක්ක දේශපාලන ගනුදෙනු කළේ නැහැ. මම හිතුවා මගේ දේශපාලනය මම කරනවා කියලා. එයා ගැන මගේ හිතේ භක්තියක් විශ්වාසයක් දැන් නෑ. එයත් කැමැති ඇති එහෙම වෙනවට.  


ප්‍රශ්නය:- ඇයි ඒ?  


පිළිතුර:- එයා අකැමැත්තෙන් හිටියේ රටේ දේවල් ගැන එයත් එක්ක කතා කරනවට. එහෙම මානසිකත්වයක් තමයි මට පෙනුණේ. ඒ නිසා මම පැත්තකට වුණා.  


ප්‍රශ්නය:- අගමැති රනිල් කියනවා ‘මාස හයකින් ආරක්ෂක මණ්ඩලයට කැඳෙව්වේ නෑ’ කියලා. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ තමයි එහෙම කියන්නේ. ඊට පෙර අඩුම තරමින් පාර්ලිමේන්තුවටවත් කියන්න තිබුණා?  


පිළිතුර:- ඔව්. අනිවාර්යයෙන්ම ඒක නිදහසට කාරණාවක් නොවෙයි. එතුමා කැබිනට් මණ්ඩලයටවත් අපිටවත් පාර්ලිමේන්තුවටවත් කිව්වේ නෑ. ඒ වෙනුවෙන් සටන් කළේත් නෑ. අගමැතිවරයා එහෙම වෙලාවට එහෙම නොවෙයි කටයුතු කළ යුත්තේ කියලයි මාත් හිතන්නේ. අනිත් එක ඊට ඉස්සෙල්ලත් අවුරුදු තුන හමාරක් නීතිය හා සාමය අමාත්‍යාංශය තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන් ළඟ. ඒ නිසා මේ ප්‍රශ්නයේදී එක්සත් ජාතික පක්ෂයටයි අපිටයි ආණ්ඩුවටයි ගැලවෙන්න බෑ. අපිටත් වගකීමක් තිබිලා තියෙනවා. නමුත් ඒ වගකීම ඉෂ්ඨ වෙලා නෑ. මේ ප්‍රශ්නය තිබිලා තියෙනවානේ දිගටම. මීට කලින් ආණ්ඩුව කාලෙත් මේක තිබිලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් කාලයෙත් තිබිලා තියෙනවා. ඒ එක්කෙනකුටවත් මේකෙන් ගැලවෙන්න බෑ. නමුත් අපට ගැලවෙන්න පුළුවන්. මොකද අපිට වගකීමක් තිබුණේ නෑ. අපිට කාටවත් දොස් කියන්න බෑ. සෑම රාජකාරියකටම වගකිවයුතු පුද්ගලයන් ඉන්නවා.  


ප්‍රශ්නය:- ඔබ පාර්ලිමේන්තුවේදී කිව්වා ඔබේ පක්ෂයේ පොලිසිය බාර ඇමැතිවරුන්ට ජුලම්පියේ අමරේට තරම්වත් පොලිසිය ගැන දැනුමක් තිබුණේ නැහැ කියලා?  


පිළිතුර:- ඔව් ඉතින්... ඔයාව නීතිය හා සාමය පිළිබඳ ඇමැති හැටියට පත් කළොත් ඔයාට ඒ රාජකාරිය කරන්න අවශ්‍ය පරිසරය තියෙනව ද? දේශපාලනඥයකුට වුණත් එච්චරයිනේ. එහෙම පසුබිමක් නැත්නම් දැනුමක් නැත්නම් ඒ අංශය ගැන අධ්‍යයනයක් කරලා තිබුණේ නැත්නම් එක පාරටම ඇමැති වුණාම මොනවද කරන්න පුළුවන්?  
එතකොට කරන්නේ අර පොලිසියේ තියෙන ආචාර පෙළපාළිවලට යනවා. පොලිසියෙන් කිව්වොත් අපට බිල්ඩිමක් ඕනෑ කියලා කැබිනට් පේපර් එකක් ද‌ානවා. ඔය වගේ දේවල් තමයි එතැනින් එහාට බිම් මට්ටමේ මිනිහා රාජකාරිය හරියට කරනව ද? බිම් මට්ටමේ මිනිහට අවශ්‍ය දේවල් තියෙනව ද? ඒ වගේ දේවල් හොයලා බලන්න නම් ඒ වගේ පසුබිමක් තිබිය යුතුයි. අඩුම තරමින් පොලිසියේ අවුරුදු පහක් සේවය කරන පීසී කෙනෙකුට වගේ දැනුමක් තිබිය යුතුයි. ඒ මුකුත් නැති කෙනෙක් ඒ තනතුරට ගියාට කිසිම වැඩක් කරන්න බෑ. ඒක තමයි ඇත්ත. එහෙම පසුබිමක් තියෙන මිනිස්සු පැත්තකට ද‌ාලා වෙන අය පත්කරද්දී ඒ කියන්නේ එතැන හරි දේ වෙලා නෑ කියලයි.  


ප්‍රශ්නය:-ඔබට පොලිසිය බාර අමාත්‍යාංශය බාර දෙන්න කියලා පක්ෂය කියන්නෙත් දැන්. මුලින්ම කිව්වා නම් දෙන්නත් ඉඩ තිබුණා?  


පිළිතුර:- ගිය අවුරුද්දෙ පෙබරවාරි වෙනකොට හිටපු ඇමැති ගැන ප්‍රශ්න ටිකක් මතුවෙලා පක්ෂයේ අය යෝජනා කළා මාව ද‌ාන්න කියලා. ඔබ කියන විදියට මුලින්ම කවුරුවත් හිතුවේ නෑ තමයි. අගමැතිතුමාවත් හිතුවේ නෑ. නමුත් අරවෙලේ ඉඳලා ඒ මතය තිබුණා. නමුත් ඒක ක්‍රියාත්මක කළේ නෑ.  


ප්‍රශ්නය:- අගමැති රනිල් ඇතුළු කණ්ඩායමක් ඊයේ පෙ​රේද‌ාත් ජනාධිපතිවරයා හමු වී ඔබට නීතිය හා සාමය අමාත්‍යාංශය බාර දෙන්න කියලා ඉල්ලුවා?  


පිළිතුර:- ගිය සුමානේ අඟහරුවාද ඒ හමුව වුණා. මම මේ පළමු වතාවටයි මාධ්‍යයට මේ කතාව කියන්නේ. අගමැතියි, ලක්ෂ්මන් කිරිඇල්ල, මලික් සමරවික්‍රම, කබිර් හෂීම් හා රාජිත සේනාරත්න කියන ඇමැතිවරු ගියා ජනාධිපතිව මුණගැහෙන්න. ලක්ෂ්මන් කිරිඇල්ල දිගින් දිගටම කියලා තියෙනවා මේ අමාත්‍යාංශය අපට ඕනෑ. අපට ඒකට ෆීල්ඩ් මාර්ෂල් පත්කරන්න ඕනෑ කියලා.  


ප්‍රශ්නය:- ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය මොකක්ද?  


පිළිතුර:- ජනාධිපති දීලා තියෙන කෙටි පිළිතුර තමයි ‘අපොයි මේක එයාට දුන්නොත් එයා ඉස්සෙල්ලාම මාව අත්අඩංගුවට ගනියි’ කියලා. ඒ කියන්නේ අත්අඩංගුවට පත්වෙයි කියලා බයක් තියෙනවා. ඔබතුමා මේ රටේ වැරදි කරලා නැත්නම් ඔබතුමා දන්නවා නම් ඔබතුමා තක්කඩියෙක් නෙවෙයි කියලා, ඔබතුමා මොකටද බයවෙන්නේ ඔබතුමාව අත්අඩංගුවට ගනී කියලා? ඒක තමයි දීලා තියෙන උත්තරය. ඒ අමාත්‍යාංශය දෙන්නම බෑ කියන මතයේ එයා ඉන්නවා. එක්සත් ජාතික පක්ෂය අතේ ඒ අමාත්‍යාංශය තියෙන කාලේ වැඩ කළේ නෑලු.  

ප්‍රශ්නය:- ඒ ගැන ඔබ හිතන්නේ?

  
පිළිතුර:- වැඩ කළේ නෑ තමයි. නමුත් දැනුත් වැඩ කරන්නේ නෑනේ.  


ප්‍රශ්නය:- නමුත් කුඩු අල්ලනවා, පාතාලය මර්දනය කරනවා?  


පිළිතුර:- මෙහෙමයි මධුෂ් පස්සේ දිව්වා කියලා රටම අමතක කරලා මධුෂ් පස්සේ දිව්වට කියන්නේ කොහොටද ඒ අමාත්‍යාංශය හරියට වැඩ කරනවා කියලා. ඒවා පොලිස් නිලධාරින්ගේ දක්ෂතාව මත සිද්ධ වෙච්ච දේවල්. මධුෂ්ව අහුවුණෙත් අහම්බයෙන්. එහෙම නැතිව සැලසුම් කරලා නොවෙයිනේ. ඒ වගේ මතයක එයා අදටත් ඉන්නවා.  


ප්‍රශ්නය:-ඔබට වෙන අමාත්‍යාංශයක් දීලා ආරක්ෂක කවුන්සිලයට ඔබව උපදේශකයෙක් වශයෙන් ගෙන්වන්නම්’ කියලා ජනාධිපති මෛත්‍රි අගමැති රනිල්ට කියලා තියෙනවා?  


පිළිතුර:- එහෙම කියලා තියෙනවා. මම කිව්වා එපා කියලා.  


ප්‍රශ්නය:- ඇයි ඒ?  


පිළිතුර:- මං තීරණය කරලා ඉන්නවා මේ රජය යටතේ මම වෙන අමාත්‍ය ධුර ගන්නේ නෑ. ජනාධිපති තව මාස හයක් ඉඳියි ඕනෑ නම්. මම මන්ත්‍රී කෙනෙක් විදියට ඉන්නවා. නීතිය හා සාමය අමාත්‍ය ධුරය මට දිය යුතුයි කියන එක ජනතාවගේ ඉල්ලීම නිසා ඒක මට දුන්නොත් මම ඒක බාර ගන්නවා. බොරුවට උපදේශකයෙක් හැටියට එතැනට ගිහින් වාඩි වුණාම එයා හදන්නේ ඒ හරහා මගේ කට වහන්න. එතකොට මට මේ වගේ නිදහසේ කතා කරන්න බැහැ. ඒ විදියේ ටොෆී චොක්ලට් ගිලින්න තරම් මම මෝඩ නෑ. ඒ නිසා මම කොහොමත් තීරණය කරලා තියෙන්නේ ඒ අමාත්‍යාංශය ඇරෙන්න වෙන කිසිම කැබිනට් ඇමැති ධුරයක්වත් මේ රජයෙන් මම බාර ගන්නේ නෑ කියලා.  

ප්‍රශ්නය:- ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් විදියට ඉන්න කාලේ තවුහිත් ජමාත් සංවිධානයේ ඔත්තුකරුවන්ට පඩි ගෙව්වා කියලා කියනවා. ඒ කරුණු අනාවරණය වීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා ඔබ හිතන්නේ නැද්ද?  


පිළිතුර:- යුද්ධය ඉවර වුණාට පස්සේ එයා කරපුවා ගැන නම් මගේ දැනුමක් නෑ. යුද්ධය තියෙන කාලයේ නම් හමුද‌ා බුද්ධි අංශයටත් ඔත්තුකරුවෝ හිටියා. උතුරු නැගෙනහිර ඉන්න ඔත්තුකරුවෝ හුඟක් අය දෙමළ හා මුස්ලිම් අය. ඒ අයට අපි බුද්ධි අංශ ගිණුම්වලින් මුදල් ගෙවනවා. ඒවා හමුද‌ාපති අත්සන් කරලා ආරක්ෂක ලේකම්ට ඇරියම එයා අනුමත කරන්න ඕනෑ. හරිනම් ජනාධිපති අනුමත කරන්න ඕනෑ. මොකද මේ බුද්ධි අංශ මුදල් විගණනය වෙන්නේ නෑ. ඒ නිසා ජනාධිපති තමයි අනුමත කරන්න ඕනෑ. හැබැයි හමුදාපතිගේ අත්සනින් තමයි ඒවා යන්නේ. යුද්දෙ තියෙන කාලේ මුස්ලිම් තරුණයන්ට ගෙව්වා නම් මමත් අත්සන් කරලා ඇති. ඉතින් එහෙම පහුගිය දේවල් පටලවලා මඩගහන දේශපාලන වැඩවලට මම කැමැති නෑ. යුද්ධය ඉවර වුණාට පස්සේ ගෝඨාභය ඔත්තුකරුවන්ට​ කරපු ගෙවීම් ගැන මට අවබෝධයක් නෑ. යුද්දෙන් පස්සෙත් මුස්ලිම් තරුණ ඔත්තුකරුවෝ ඉන්න ඇති. ඒ නිසා ඔය ප්‍රශ්නය ගැන එතැනින් එහාට යමක් කියන්න මට හැකියාවක් නෑ.  


ප්‍රශ්නය:- ඔබ තුළ කිසියම් පරිවර්තනයක් වෙමින් තියෙනව ද?  


පිළිතුර:- ඒක ඔය කොට මොඩල් ළඟ පිකප් කෙනා කියන මඩක්නේ. මට ඕවට උත්තර දෙන්න අවශ්‍ය නෑ.  


ප්‍රශ්නය:- ඒ කවුද?  


පිළිතුර:- ඒ කවුද කියලා මුළු රටම දන්නවා.  

 

 

 

 

 

 සාකච්ඡා කළේ  
 ප්‍රසන්න සංජීව තෙන්නකෝන්