(අංජුල මහික වීරරත්න)

”දේශපාලන ප‍්‍රතිසංස්කරණ පමණක් නොව ජනතාව යහපාලන රජයෙන් බලාපොරොත්තු වන අලූත් ආර්ථික වෙනස ද වහ වහා ක‍්‍රියාත්මක කරන බව” අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹ දී ඊයේ (14) පැවැසීය.

”ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක එක්වී ඉදිරියට යන ජාතික රජයේ ගමන සාර්ථක නොවුණහොත් නැවත ජාතිවාදයේ හෝ ඒකාධිපතිවාදයේ හෝ රට සිරවිය හැකි බව කී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, ජනතාව දෙස බලා ජනතා ප‍්‍රශ්න විසඳන දේශපාලන ක‍්‍රම වර්තමානයේදී අවශ්‍ය වී ඇතැයි”, සඳහන් කළේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව කීවේ ශ්‍රේෂ්ඨ රුසියන් විප්ලවයේ සියවස් සමරු උත්සවයේදීය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ-බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණශාලා පරිශ‍්‍රයේ-නුග සෙවන ශාලාවේදී සමරු උත්සවය පැවැත්විණි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සංවත්සර සමරු ප‍්‍රදර්ශනය විවෘත කළේය.

උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීවේය.

”මා මෙහි පැමිණියේ කතාවක් කරන්න බලාපොරොත්තුවකින් නොවෙයි. නමුත් මේ උත්සවය ගැන යමක් කතා කරන්න කල්පනා කළා. මා මෙහි සිටින සෙසු පිරිස මෙන් කිසි දිනෙක මාක්ස්වාදී පක්ෂයක සාමාජිකත්වය දරා නැහැ.

අප විටෙක මාක්ස්වාදය විග‍්‍රහ කළා. මාක්ස්වාදයේ කොටසක් අප කොපි කළා. තවත් කොටසක් ගැන විවේචන ඉදිරිපත් කළා.

කෙසේ හෝ ජෝන් රිච් කී ලෙස ඔක්තෝබර් විප්ලවය ලෝකය හෙල්ලූවා. සම්පූර්ණයෙන්ම දේශපාලන දර්ශන, ධර්ම සියල්ලම විසින් වෙනසට ලක් වුණා. කර්මාන්ත විප්ලවයෙන් පටන්ගත් ආර්ථික ව්‍යූහය, දේශපාලනය ඔක්තෝබර් මහා විප්ලවයෙන් වෙනසට ලක් වුණා.

අප අද සමරනු ලබන්නේ ඒ වෙනසේ ශතවර්ෂයයි. ලෝකයේ මෙතරම් විපර්යාසයක් කළ අවස්ථාවක් ගැන අප කතා කළ යුතුයි. ඒ විප්ලවයෙන් වූ සේවය, පාඩුව පිළිබඳව විවිධ මත තිබෙනවා. ඒ සියල්ලක් පිළිබඳවම විග‍්‍රහ කළ යුතුයි. මේ විප්ලවයත් සමග දේශපාලනය වෙනසකට ලක්වුණා.

පළමු ලෝක යුද්ධය අවසන් වී වැඩවසම් ක‍්‍රම, අධිරාජ්‍යවාදයේ අවසානය පටන් ගත්තේ රුසියානු විප්ලවය නිසා බව කිව යුතුයි. යුරෝපයෙනුත් ඒ තත්ත්වයත් අවසන් වුණා.

1960 දශකය වනවිට අධිරාජ්‍යවාදය අප‍්‍රිකාවෙන් ද තුරන් වුණා. එහි ආරම්භය ඇති කළේ එක් සිද්ධියක් හරහායි. ඒ සිද්ධියෙන් ඇති වූ විකාශය දෙස බැලූ විට සම්පූර්ණයෙන්ම දේශපාලන බලය උඩ සිට පහළට පැමිණියා.

මුලදී සන්නද්ධ බලය පාවිච්චි කරන්න වුණා. සන්නද්ධ බලය නිසා මුලදී ඉතා නොදියුණු වැඩවසම් සමාජය කර්මාන්ත කරණයට පැමිණ ලොව බලවත් රාජ්‍යයක් බවට පත් වුණා. අලූත් සංකල්ප ඇති වුණේ එතැනදීයි.

කාල් මාක්ස්, එංගල්ස් කී ධනවාදී යුගයක රුසියාව තිබුණේ නැහැ. එක් පිම්මෙන්ම එතැනට ආවා. ඒ නිසා ඉදිරියට යන විට ප‍්‍රශ්න ඇති වුණා. ජාත්‍යන්තර විප්ලවය ඇති කළ යුතු බව ට්‍රොස්කිගේ මතය වුණා.

මේ ක‍්‍රමය සෝවියට දේශයේ වර්ධනය කරා තහවුරු වූ පසුව ලෝකයට යා යුතු බව ස්ටාලින් පැවැසුවා. එහි ඇති වූ සිවිල් යුද්ධ - භේද පමණක් නොව අවසානයේ දෙවැනි ලෝක යුද්ධයේදී යුරෝපයේ ෆැසිස්ට්වාදී හමුදා පරාජය කළේ සෝවියට දේශයයි.

ජර්මන් හමුදාවේ බොක්ක ගලවා දැමුවේ සෝවියට් හමුදා බව බි‍්‍රතාන්‍යයේ වින්ස්ටන් චර්චිල් අගමැතිතුමා පැවසුවා. සෝවියට දේශය සහ ඇමෙරිකාව විශාල බලවත් රාජ්‍යයන් දෙක බවට තහවුරු වූයේ මේ කාලයේදීයි.

අප පාසල් යන යුගයේ බලවත් රාජ්‍යයන් දෙකක් තිබූ බව මතකයි. එය දෙකට බෙදී තිබුණා. නමුත් යුද්ධයෙන් පසුව ඇතිවූ දේශපාලන හා සමාජ විපර්යාසවලට සෝවියට් කොමියුනිස්ට් පක්ෂ පාලනය බලාපොරොත්තු වූ ප‍්‍රචාරය නොලැබුණ නිසා අන්තිමට තවත් ජන මතයක් පැමිණ ඒ ක‍්‍රමවේද සහිත සෝවියට දේශය නැති වුණා. නමුත් රුසියන් විප්ලවයෙන් ඇති වූ වෙනස අප පිළිගත යුතුයි.

විප්ලවය නිසා අධිරාජ්‍යවාදය නැති වූ අතරම සෙසු දේශපාලන සංවිධානවලට ඇති වූ තත්ත්වයන්ට මුහුණ දී ප‍්‍රතිචාර දක්වන්න සිදු වුණා. එක් පැත්තකින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයටත් ධනවාදී ආර්ථිකයටත් මුහුණදීමට වුණා. අලූත් යෝජනා එන්න පටන් ගත්තා. ඇමෙරිකාවෙන් 1933 සිටම නව යෝජනා ඉදිරිපත් වුණා.

ජර්මනියේ යුද්ධයෙන් පසු නව යෝජනා ඉදිරිපත් වුණා. හැම අංශයකටම අදහස් බලපෑම් එල්ල කළා. නව අදහස් නිසා හැම දෙනාම වෙනස් වුණා. 1917 පසු ලෝක දේශපාලනය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.

ඒ වෙනස සමග සෝවියට් කොමියුනිස්ට් පක්ෂයට වෙනස් වීමට නොහැකි වූ නිසා සෝවියට දේශය නැති වුණා. නමුත් චීන කොමියුනිස්ට් පක්ෂය සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂය නව අදහස් ගෙන මාක්ස්වාදය සහ වෙළෙඳ ආර්ථිකය මිශ‍්‍රණය කර ගනිමින් ඉදිරියට ගොස් සමාජ දේශපාලන ක‍්‍රමය සකස් විය යුත්තේ කෙසේ දැයි සාකච්ඡා කළා.ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමවේදය සළකා බලද්දී ඇඩම් ස්මිත් ධනවාදයත්, කාල් මාක්ස්ගේ මාක්ස්වාදය ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් මිශ‍්‍රණයෙන් මතු කරන පියවර ගත යුතුයි.

අද ජනතාව දෙස බලා, ජනතා ප‍්‍රශ්න විසඳන දේශපාලන ක‍්‍රම අවශ්‍යයි. ගමන ඇරැඹිය යුත්තේ එතැනිනුයි. ශ්‍රී ලංකාවේ සම සමාජ පක්ෂයේ මධ්‍යම කමිටුවේ සාමාජිකයකු ලෙස මගේ පියා දේශපාලනය ආරම්භ කළා. එතුමා අවසන් දශක කිහිපය දේශපාලනය කළේ එක්සත් ජාතික පක්ෂයේයි. ඔහු එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ද කටයුතු කරමින් තුන් වතාවක් පක්ෂය බලයට ගෙන ඒමට ක‍්‍රියා කළා. එයින් පෙනෙන්නේ දේශපාලනයේ විපර්යාසයයි. කාලය සමග දේශපාලනය වෙනස් වුණේ කෙසේද යන කාරණයයි. චීන කොමියුනිස්ට් පක්ෂය සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂය අද ක‍්‍රියා කරන්නේ කෙසේද යන කාරණයත් මෙහිදී අප අධ්‍යයනය කළ යුතුයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේත්, මාක්ස්වාදයේත් ඇති වූ සමානාත්මතාව, සාධාරණත්වය මෙන්ම වෙළෙඳ ආර්ථිකය සමග එක්ව ජාත්‍යන්තර වශයෙන් ඉදිරියට යන්න අප සැළසුම් කළ යුතුයි.

ඇතැම් විට ට්‍රොස්කි කතා කළ ජාත්‍යන්තර විප්ලවය සහ ගෝලීය-කරණය අතරත් සමානකම් තිබෙනවා. ඔහු ඒ අංශ දෙස බැලූවේ ජාත්‍යන්තර ඇසකිනුයි. එක් පැත්තකින් දේශපාලනය, කම්කරු අරගලය මෙන්ම වෙළෙඳ ආර්ථිකය සහ ධනවාදය පිළිබඳව ඔහු අවධානය යොමු කළා.

චීනයේ වූයේ කුමක්ද? මාක්ස්වාදය බලාපොරොත්තු වූ කම්කරුවන්ගෙන් පැනනැගුණු විප්ලවය වෙනුවට ගමෙන් විප්ලවය ඇති වුණා. ඔවුන් ඉදිරියට ගියේ ඒ විප්ලවයෙනුයි. මෙවැනි විපර්යාසවලට අප මුහුණ දිය යුතුව තිබෙනවා.

චීනය, වියට්නාමය මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති නැති රටවල් එවැනි විපර්යාසවලට මුහුණ දුන්නා. අපත් එවැනි තත්ත්වයන් යටතේ ක‍්‍රියා කළ යුතුව තිබෙනවා.

ජයදේව උයන්ගොඩ මහතා කී ලෙස අපත් එවැනි අවස්ථාවකට මුහුණ දුන්නා. ඔක්තෝබරය යනු ඇතැම් කැලැන්ඩර්වල නොවැම්බර් මාසයයි. නොවැම්බරයේ අප රටේත් විප්ලවයක් තිබුණා.

පක්ෂ ගණනාවක් එක් වී එක් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමත් එක්තරා විපර්යාසයක් වුණා. එලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්කර පළමු විප්ලවය අප ආරම්භ කළා.

දෙවැනි විප්ලවය නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග එක්ව ආණ්ඩුව නිර්මාණය කිරීමයි. ඒ විප්ලවය අප ඉදිරියට ගෙන යා යුතුව තිබෙනවා. ඒ විපර්යාසය ඉදිරියට ගෙන යන්නේ කෙසේද?

ලෙනින්-ට්‍රොස්කි අවස්ථාවෙන් ප‍්‍රයෝජනය ගත්තා සේ අප ද ලැබූ අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගන්නේ කෙසේදැයි සැලසුම් කළ යුතුයි. සෝවියට් දේශයේ පක්ෂ ලෙසම අපට ඒ ගැන වාද කළ හැකියි. අලූත් ආර්ථික ප‍්‍රතිපත්ති පිළිබඳව අධ්‍යයනය කළ යුතුයි.

අපට ඇති අභියෝගය නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කර දේශපාලන ප‍්‍රතිසංස්කරණ ඇති කිරීම පමණක් නොවෙයි ජනතාව ආර්ථික වශයෙන් අලූත් දෙයක් බලාපොරොත්තු වෙනවා. සමාජ - ආර්ථික මෙන්ම දේශපාලන වශයෙන් ජනතාව අලූත් වෙනසක් බලාපොරොත්තුවෙන් සිටිනවා.

බලයට තරග කරන පක්ෂ කාලයක් එකතු වී වැඩකර ඉන්පසුව වෙන්වී යන්නේ කෙසේද? ඒ පිළිබඳව සාකච්ඡා කර අප මේ ක‍්‍රමය ඉදිරියටම ගෙන යනවා.

සෝවියට් සභාවට එහි සභාපති ලියොන් ට්‍රොස්කි එදා අවි බලයෙන් බලය ගත්තා. අපට එලෙස අවි බලයෙන් බලය ගන්න බැහැ. උණ්ඩයෙන් ද බලය ගන්න බැහැ. උණ්ඩයෙන් බලය ගෙන ක‍්‍රියාත්මක කරන්න ගියොත් ඊට ජනතා විරෝධය එනවා. ඒ නිසා අප කළ යුත්තේ ඡුන්ද ක‍්‍රමය අනුව වැඩ කිරීමයි.

ඒ නිසා බලයට රණ්ඩු වෙන පක්ෂ දෙක එකට වාඩිවී සාකච්ඡා කිරීමම විප්ලවයක් බව කිව යුතුයි. එය රටට හිතකර ක‍්‍රමවේදයක් ද වූවා. සමහර ප‍්‍රශ්න අප අතර සාකච්ඡාවෙන් විසඳෙනවා.

එදා ඇති වූ රුසියානු විප්ලවයට ප‍්‍රතිචාරයක් ලෙස ෆැසිස්ට්වාදය පැමිණියා. ෆැසිස්ට්වාදය නැති කරන්න තවත් යුද්ධයකට යාමට සිදුවුණා. නමුත් අප එවැනි ක‍්‍රමයක් අනුගමනය කළ යුතු නැහැ.

මෛත‍්‍රීපාල සිරිසේන මහතාත්, අපත් සාකච්ඡා කර ගමන යනවා. ඇතැම් ස්ථානවලදී හිමින් සීරුවේ යන්න වෙනවා. සම සමාජ පක්ෂය එදා වේගයෙන් යන්නැයි කී විට ඞී.එස්. සේනානායක මහතා හෙමින්-හෙමින් යැයි පැවැසුවා. සමහර විට හෙමින් මෙන්ම වේගයෙන් යන්න වෙනවා. සියලූදෙනාම සාකච්ඡා කර ගමන යන්න තිබෙනවා.

අද පවතින තත්ත්වය ඇති කරන්න මාක්ස් වාදී පක්ෂවලින් කළ සේවය අමතක කළ යුතු නැහැ.

ඔක්තෝබර් විප්ලවයෙන් අදහස් ගෙන විවිධ දේශපාලන ආර්ථික ක‍්‍රමවේදයට සමාජ සාධාරණත්වය ගෙන යන්නේ කෙසේද?

එක්සත් ජාතික පක්ෂයේ අප 1963 කළුතර සම්මේලනයේදී එදා ඩඞ්ලි සේනානායක මහතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ක‍්‍රමය ගෙන ආවා. ඉන්පසුව ජේ.ආර්. ජයවර්ධන මහතා මාක්ස්වාදයේ සමහර අදහස් එකතු කර ප‍්‍රජාතන්ත‍්‍රවාදී, සමාජවාදී ක‍්‍රමය කිසිදු පැකිලීමකින් තොරව ඉදිරියට ගෙන ගියා. ඒවා ඉවත් කළ යුතු යැයි සමහරුන් කිව්වා. එවැනි දේ තිබුණට කිසිදු වරදක් නැති බව මගේ අදහසයි.

රුසියානු ඔක්තෝබර් විප්ලවය නොතිබුණා නම් වර්තමානයේදීත් දකින්න තිබෙන්නේ වැඩවසම් සමාජය බව කිව යුතුයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය විශාල ලෙස ව්‍යාප්ත වූයේ විප්ලවයෙන් පසුවයි. ඉන්පසුව එංගලන්තයේ කාන්තා පිරිමි දෙපිරිසටම ඡුන්ද බලය ලැබුණා. 1931 වනවිට අපටත් ඒ අයිතිය ලැබුණා.

 

අපත් මේ දේශපාලන වාසිය ඉදිරියට ගෙනයා යුතුයි. අප දිගුකාලීන ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් ලෙස පැවැතුණා. දැන් අප අලූත් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. තරගයක් නොව සියලූදෙනාම එකතු කරගෙන ඉදිරියට යන්නේ කෙසේදැයි යන්න සලකා බැලිය යුතුයි.

මේ ගමන සාර්ථක නොවුණොත් රට නැවත ජාතිවාදයේ හෝ ඒකාධිපතිවාදයේ හෝ සිරවිය හැකියි.

ඒ නිසා අපි මතවාද සාකච්ඡා කරමු. ඉදිරියට ගෙන යමු. ඉදිරියට යන මාර්ගය හදන විට ජනමතය ගොඩනැගිය හැකියි. ජනමතය නැතිව කිසිවක් කරන්න හැකියාවක් නැහැ.

එදා කොමියුනිස්ට් පක්ෂය පැවැසුවේ කුමක්ද? උද්ඝෝෂණ හා ප‍්‍රචාරය පිළිබඳවයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය අනුවත් ප‍්‍රචාරණය ඉදිරියට යාමට අවශ්‍යයි.

අද දියුණු දේශපාලන ක‍්‍රම අපේ රටවල පවතින්නේ රුසියානු විප්ලවය නිසයි. එයින් වූ විපර්යාසය මෙන්ම සේවය අගය කරමු’’ යැයි ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් පැවැසීය.

පෙබරවාරියේ සිට ඔක්තෝබරය දක්වා රුසියානු විප්ලවයේ උරුමය හා අද ශ්‍රී ලංකාව යන්නෙන් උත්සවයේ ප‍්‍රධාන දේශනය කළ මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා මෙසේ පැවැසීය.

‘‘රුසියානු විප්ලවයේ ශත සංවත්සරය අද මේ වසරේ සමරන්නේ සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් වූ ඓතිහාසික පසුබිමකය.

ලෝක ඉතිහාසයේ ගමන් මගෙන් ඉවත්වෙනු ඇතැයි දහනව වැනි සියවසේ සහ විසිවැනි සියවසේ මුල් භාගයේ සමාජවාදීන් සිතූ සහ අපේක්ෂා කළ ධනවාදී ක‍්‍රමය තවමත් පවතිනවා.

එහෙත් ධනවාදී ක‍්‍රමයේ සුජාතභාවය ගැන සහ එය දිගින් දිගටම මනුෂ්‍ය වර්ගයාටත් ලෝකයාටත් කරන හානිය ගැන කරන ප‍්‍රශ්න කිරීම් නැවතී නැහැ.

ආණ්ඩු ක‍්‍රම ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය ඒ වගකීම නෛතික වශයෙන් බාරව සිටින මහජන නියෝජිතයන් අතර ඇති මතභේද සහ විවාදවල ගොදුරක් බවට පත්වෙමින් තිබෙන බව දැන් පැහැදිලියි.

මහජන නියෝජිතයන්ට ඒ සඳහා පාර්ලිමේන්තු ව්‍යවස්ථා සභාව නමැති අවකාශය තුළ එකඟවිය නොහැකි නම් ඉන් කියැවෙන්නේ කුමක්ද?.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදන කාර්යයේ වගකීම සහ පැහැදිලි තීරණයක් ගැනීමේ වගකීම මහජනයා වෙත පැවරිය යුතුය යන්නයි.

වෘත්තීය දේශපාලකයන් වන මහජන නියෝජිතයන් ඉටු කිරීමට අකමැති සහ ප‍්‍රතික්ෂේප කරන කාර්යය වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන බලයේ උල්පත වන මහජනතාව වෙතට බාරදීමයි.

රටේ නායකයන් වන ජනපතිට සහ අගමැතිට ඇති වගකීම නරක ව්‍යවස්ථාවක නිර්මාණකරුවන් වීම නොවෙයි. වඩා හොඳ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක බර සමසේ බෙදා ගැනීමයි. ඒ වගකීම් බෙදාගැනීම තවම සාර්ථක වී නැති බව පෙනෙනවා.’’

මාධ්‍යවේදී ගාමිණී වියන්ගොඩ මහතා:

‘‘රුසියානු විප්ලවයේ ඉතිහාසය සමරන්න අපට විශේෂ සුදුසුකමක් තිබෙනවා. ඒ වෙනස අඩු වැඩි වශයෙන් ලොව හැම අස්සක් මුල්ලකම රැව් දෙනවා.

මාක්ස්වාදයේ ප‍්‍රායෝගික පැත්තකට යාමට නොහැකි වුවත් එහි යම් සාධක ග‍්‍රහණය කර ගැනීමට අපට හැකි වී තිබෙනවා.’’

රුසියානු විප්ලවය සම්බන්ධ වාර්තාමය චිත‍්‍රපටයක් ද මෙහිදී ප‍්‍රදර්ශනය කෙරිණි.

ගයත‍්‍රි කේමදාස ප‍්‍රමුඛ සංගීත කණ්ඩායම සංගීතමය නාටකයක්ද, රවිබන්දු විද්‍යාපති ප‍්‍රමුඛ නර්තන කණ්ඩායම අභිරංගනයක් ද ඉදිරිපත් කළහ.