මවුපියන්ගෙන්, ගුරුවරුන්ගෙන් මෙන්ම දරුවන්ගේ ආරක්ෂාවට ඇති ස්ථානවලදීත් දරුවන්ට කරදර සිදුවෙනවා නම්, දරුවන් ගැන කීමට ඇත්තේ දෙවියන්ට පමණක් නොවන බවත්, සියලු දෙනා දෙවියන් මෙන් දරුවන් ආරක්ෂා කරගැනීමට ක්‍රියා කළ යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (18) පැවැසීය.
 
දරුවන් පීඩාවට, හිරිහැරවලට ලක්වන ප්‍රධානම ස්ථානය නිවෙස සහ මව්පියන් අතරේ  පවතින බවත් ජනාධිපතිවරයා මව්පියන්ගේ අනවබෝධය, නූගත්කම සහ මත්ද්‍රව්‍ය එවැනි ප්‍රශ්නවලට මුල් වන බවත් කීය.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ පැවැසුවේ කිලිනොච්චිය මධ්‍ය මහ විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී ඊයේ (18) පැවැති ‘දරුවන් සුරකිමු’ ජාතික වැඩසටහනේ කිලිනොච්චි දිස්ත්‍රික් සමුළුව අමතමිනි.
 
ජනාධිපතිවරයා මෙසේ ද පැවැසීය.
 
“කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ දී ‘දරුවන් සුරකිමු’ ජාතික වැඩසටහනේ විශේෂ අවස්ථාවට ඔබ සමඟ එක්වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. බොහෝ වේලාවට උත්සවයකට පැමිණි විට ජනාධිපතිවරයා කතා කරන්නේ අන්තිමට. නමුත් මෙහි විශේෂත්වය වන්නේ ජනාධිපතිවරයා මුලින්ම කතා කිරීමයි. මා ‘දරුවන් සුරකිමු’ ජාතික වැඩසටහනේ ප්‍රධාන වගකීම දැරීම ඊට හේතුවයි.
 
අපේ අම්මලා තාත්තලා අපිට කියන්නේ දරුවෝ කියලා. එසේ බැලූ විට අපි හැමෝම දරුවෝ. නමුත් ‘දරුවන් සුරකිමු’ මේ වැඩසටහනේ තිබෙන විශේෂත්වය සැබෑ ලෙසම දරුවන් විදියට හඳුන්වන වයස අවුරුදු 17න් පහළ සෑම කෙනෙක්ම මේ වැඩසටහනේ ප්‍රධාන අරමුණට එක්කර ගැනීමයි. 
 
එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක ළමා දිනය වශයෙන් දිනයක් නම් කර තිබෙන බව ඔබ දන්නවා. ලෝක ළමා දිනයේදී ලෝකයේ සියලුම රටවල් දරුවන් වෙනුවෙන් අවධානය යොමු කර වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. දරුවන් සුරකිමු මේ වැඩසටහන ආරම්භ කිරීමට පෙර සිටම රජය, විවිධ අංශ, ආයතනවලින් දරුවන් වෙනුවෙන් වැඩසටහන්, ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කරන බව ඔබ දන්නවා. අපි මෙවැනි වැඩසටහනක් ආරම්භ කිරීමට අරමුණ කරගත්තේ ඇයි කියන කාරණාව මා පැහැදිලි කිරීම අවශ්‍යයි. 
 
දරුවන් අද බොහෝ ප්‍රශ්නවලට මුහුණ දෙනවා. එය අපේ රටේ පමණක් නොව, ලෝකයේ සියලුම රටවල්වල සිදු වෙනවා. නමුත් ආර්ථික වශයෙන් පහළ සංවර්ධනය අඩු රටවල්වල මේ ප්‍රශ්න වැඩියි. එමෙන්ම යුද්ධය පවතින සහ යුද්ධය පැවති රටවල්වල මේ ප්‍රශ්නය වැඩියි. දකුණු ආසියාතික රටවල්වල දරුවන්ට බොහෝ ප්‍රශ්න තිබෙනවා. දරුවන් මුලින්ම ප්‍රශ්නවලට මුල් වන ස්ථාන තමන්ගේ නිවෙසයි. දරුවන් හැදෙන්නේ මව්පියන් ඇසුරේ බව ඔබ දන්නවා. නමුත් ගෙවල්වල, පවුල්වල තිබෙන ආර්ථික ගැටලු නිසා දරුවන්ට යම් පීඩාකාරී තත්ත්වයන් ඇති වෙනවා. 
සමහර වේලාවට මව්පියන් මත්ද්‍රව්‍ය භාවිතා කරලා ගෙදර සිටින දරුවන්ට හිරිහැර කරනවා. අවබෝධයෙන් අඩු දෙමව්පියන් තමන් කියන දේ කරන්නේ නැහැ කියා දරුවන්ට බොහෝ හිරිහැර කරනවා. ඉතාමත් කනගාටුවෙන් මේ දේ කිව යුතුයි. දරුවන් මව්පියන් අතින් අපචාරයට ලක් වූ අවස්ථා ඔබ මාධ්‍ය තුළ දකිනවා. එවැනි දේ ශීලාචාර, යහපත් සමාජයක කිසිසේත් අනුමත කළ නොහැකියි. 
 
දරුවන් පීඩාවට, හිරිහැරවලට, කරදරවලට ලක්වන ප්‍රධානම ස්ථානය නිවෙස සහ මව්පියන් අතරේ බව මුලින්ම සඳහන් කළ යුතුයි. මව්පියන්ට තිබෙන අනවබෝධය, නූගත්කම, මත්ද්‍රව්‍ය බොහෝ වේලාවට එවැනි ප්‍රශ්නවලට මුල් වෙනවා. දරුවාට ආරක්ෂිත ස්ථානය නිවෙස බවට පත්කිරීමට අපි සෑම කෙනකුම කටයුතු කළ යුතුයි. 
 
දරුවා පාසලට ගිය විටත් දරුවාගේ සුරක්ෂිතභාව පිළිබඳව ප්‍රශ්න තිබෙනවා. පාසලේදී දරුවන් අතරේ ඇති වන ප්‍රශ්නවලදී දරුවන් හිරිහැරවලට ලක් වෙනවා. සමහර අවස්ථාවලදී උගත් ගුරුවරුන්ගෙනුත් දරුවන්ට නොයෙකුත් හිරිහැර, කරදර සිදුවෙනවා. ඉන් මා අදහස් කරන්නේ දරුවකු වරදක් සිදු කළ විට ගුරුවරයෙක් සාමාන්‍ය දඬුවමක් දීම නොවේ. පාසලක දරුවෝ දහස් ගණන් සිටිනවා. ගෙදරක සිටින්නේ දරුවන් එක්කෙනයි, දෙන්නයි, තුන්දෙනයි. අම්මටයි තාත්තටයි දරුවෝ ටික හදා ගන්න තිබෙන අමාරුව ඔවුන් දන්නවා. එසේ නම් දරුවෝ සිය ගණනක්, දහස් ගාණක් සිටින පාසලක දරුවෝ බලාගන්න ගුරු මහත්ම මහත්මීන්ට කොතරම් අසීරු ද කියා අපි සිතිය යුතුයි. මගේ අදහස නම් පාසලක විනය පවත්වා ගැනීමට වරදක් සිදු කළ විට පාසල් ශිෂ්‍යයකුට පුංචි දඬුවමක්, අවවාදයක් දීම වරදක් නොවේ. 
 
මව්පියන් වගේම ගුරු මහත්ම මහත්මීන් විසිනුත් දරුවන්ට බරපතළ දඬුවම් දීම, වධ හිංසා කිරීම කිසිසේත් සුදුසු වන්නේ නැහැ. සමහර වේලාවට පවුල්වල දරුවන් තුන් දෙනෙක් සිටිනවා නම් ඒ දරුවන් තුන් දෙනාට තුන් විදියට සලකන මව්පියන් සිටිනවා. එමෙන්ම පාසලේත් සමහර ගුරුවරුන් දරුවන්ට විවිධ අයුරින් සලකනවා. සමහර දරුවන්ට හොඳට සලකනවා. හොඳට බලාගන්නවා. සමහර දරුවෝ ගැන බලන්නේ නැහැ. සලකන්නේ නැහැ. කොන් කරනවා. සමහර දරුවෝ ගැන අවධානය අඩුයි. 
 
පන්තියේ සිටින හොඳට විභාගය සමත් වන හොඳට ලකුණු ගන්නා දරුවන් වගේම විභාගය දුර්වල දරුවා ගැනත් ගුරුවරුන් සියලු දෙනාම එක වගේ බැලිය යුතුයි. විෂයන්වලට දුර්වල දරුවා ගැනත් හැම වෙලේම ගුරු මහත්ම මහත්මීන් එක වගේ බලන්න ඕනෑ. ඒ වගේම දරුවා සමාජයට ගියාම ඇතිවන ප්‍රශ්න පිළිබඳවත් ඔබ බොහෝ දුරට දන්නවා. සාමාන්‍ය පොදු ප්‍රවාහන සේවාවල ගමන් බිමන් යන, දරුවන්ට මොන තරම් හිරිහැර සිදුවෙනවා ද කියලා ඔබ දන්නවා. ඒ නිසා අපි දරුවන්ට වන හිරිහැර පිළිබඳවත් අපේ අවධානය යොමු විය යුතු වෙනවා. 
 
ඒ වගේම ඔබ දන්නවා මාපියන් විදේශගත වීම් නිසා දරුවන්ට බොහෝ ප්‍රශ්න මතු වී තිබෙනවා. ඒ වගේම අපි දකිනවා සමහර මාපියන් දරුවන් අත්හැරලා දානවා. සමහර මව්වරුන් දරුවන් ලැබුණු ගමන් හොරෙන් පාරක දාලා එනවා. මේ සියලු දේවල් දරුවන්ට ඇතිවන ප්‍රශ්න. 
 
ඔබ දන්නවා අපේ රටේ යුද්ධයක් තිබුණා. යුද්ධයක් පවතින ඕනෑම රටක දරුවන්ට දැඩි මානසික පීඩා සිදුවෙනවා. යුද අර්බුදයක් පවතින විට සැමවිටම කරදරයට පත්වන්නේ දරුවන්. එහිදී දරුවන්ට මාපියන් අහිමි වෙනවා. දරුවන් බලාගන්න කෙනෙක් නැතිවෙනවා. මෙවැනි ඉතාමත් අනුවේදනීය වූ කටුක අත්දැකීමක් අපි හැම කෙනකුටම තිබෙනවා. පොලිස් දෙපාර්තමේන්තුව, පරිවාස දෙපාර්තමේන්තුව වෙත දරුවන් පිළිබඳ පවතින ප්‍රශ්න ගැන පැමිණිලි එනවා.
 
ඒ වගේම සමාජයේ ආබාධිත දරුවන් පිරිසක් ඉන්නවා. ආබාධිත දරුවන් ගැන විශේෂ වැඩසටහන්වල අවශ්‍යතාව අපි දකිනවා. ඒ වගේම රෝගී දරුවන් බොහොමයක් ඉන්නවා. ඒ නිසා මේ සියලු දේවල් ගැන අවධානය යොමු කරලයි දරුවන් සුරකිමු ජාතික වැඩසටහන ආරම්භ කළේ. 
 
මේ වැඩසටහනට අපි අමාත්‍යාංශ, පළාත් සභා, ළමා ආරක්ෂක අධිකාරිය වැනි සියලු අංශ එකතු කරගෙන තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය ළමයින් පිළිබඳ ළමා ප්‍රඥප්තියක් ආරම්භ කරලා තිබෙනවා. ඒ ළමා ප්‍රඥප්තිය අනුව අපි සෑම කෙනෙක්ම කටයුතු කළ යුතු වෙනවා. ඒ නිසා දරුවන්ගේ සෞඛ්‍ය, අධ්‍යාපනය, ආරක්ෂාව, සුරක්ෂිතභාවය, මේ සෑම දෙයක් පිළිබඳව වගකීමකින් රජයක් ලෙස කටයුතු කළ යුතුයි. ළමයින්ගේ ආරක්ෂාව සඳහා වෙනම ස්ථාන තිබෙනවා. ඇතැම් වෙලාවට එම ස්ථානවලදීත් ළමයින්ට කරදර ඇතිවෙනවා. 
 
මවුපියන්ගෙන් දරුවන්ට කරදර සිදුවෙනවා නම්, ගුරුවරුන්ගෙන් දරුවන්ට කරදර සිදුවෙනවා නම්, ළමයින්ගේ ආරක්ෂාවට තිබෙන ස්ථානවලදී කරදර සිදුවෙනවා නම්, ළමයින්ගේ ආරක්ෂාව සලසන ආයතනවලදීත් කරදර සිදුවෙනවා නම්, එහෙම නම් දරුවන් ගැන කියන්න වෙන්නේ දෙවියන්ට විතර ද? නැහැ අපි සැවොම දෙවියන් මෙන් දරුවන් ආරක්ෂා කරගත යුතුයි. 
 
පසුගිය දිනක ඉන්දියාවේ කනගාටුදායක සිදුවීමක් සිදුවුණා. දරුවාගේ වයස අවුරුදු 9 යි. ඒ දරුවා සිදුවීමක් සම්බන්ධයෙන් පොලිසියට ගියා. එහිදී පොලිස් නිලධාරීන් අතින් විනාශයට පත්වුණා. ඒ සිදුවීම පිළිබඳ මුළු ඉන්දියාවේම කලබලයක් ඇතිවුණා. එවැනි සිද්ධීන් පිළිබඳව ද අපේ රටේ වාර්තා නැතිවාම නොවේ. ඒ නිසා ලෝකයේ සෑම රටකම මෙවැනි ප්‍රශ්න තිබෙනවා. 
 
ඒ සියලු අංශයන් කෙරෙහිම අවධානය යොමු කරලා අපි මේ ජාතික වැඩසටහන හැදුවේ. මේ වැඩසටහනේ ප්‍රධාන අරමුණ දරුවන්ගේ ආරක්ෂාව සැලසීමයි. සෑම දරුවකුගේම අධ්‍යාපනය, සෞඛ්‍ය තත්ත්වය, භාරකාරත්වය, ආරක්ෂාව, සියලු අංශ මෙම වැඩසටහනට අයත් වෙනවා. මේ වැඩසටහන දිස්ත්‍රික්ක ගණනාවක මේ වනවිට ක්‍රියාත්මකයි. මේ සඳහා අපට සහාය දුන් සියලුම ආයතනවලට අපි ස්තුතිය පළ කරනවා. පොලිසිය, සෞඛ්‍ය සේවාව, කාන්තා හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු සියලු දෙනාම සහාය දීම ගැන ස්තුති වන්ත වෙනවා. අපි සියලු දෙනාම දරුවන්ගේ ආරක්ෂාව හා අනාගතය වෙනුවෙන් කැපවෙමු කියලා මා ඉල්ලා සිටිනවා.”
 
ළමා හා කාන්තා කටයුතු ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ද උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ, ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්, නියෝජ්‍ය අමාත්‍ය අංගජන් රාමනාදන් යන මහත්වරු ද සහභාගී වූහ.
 
(මඩුකන්ද සිතුම් චතුරංග කිලිනොච්චියේ සිට)