(මුදිතා දයානන්ද)

විසිවැනි  සංශෝධනය ගැන මැවූ බිල්ලන් දැන් පරාජය කර තිබෙනවා. ත්‍රාඩ මත දරන්නන් හැරුණූ කොට අනෙක් සියලු දෙනා සම්ග විස්ස ගැන සාකච්ඡා කිරීමට සූදානම් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (28) පැවසීය.

දිසානායක මහතා මෙම අදහස් පළ කළේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.

එහිදී  ඔහු මෙසේ ද පැවසීය.

අප ඉදිරිපත් කර තිබෙන විසිවැනි සංශෝධනය පිළිබඳව කරුණු ප්‍රමාණයක් ඉදිරිපත් කිරීමට මෙම මාධ්‍ය හමුව පවත්වනවා. මේ පිළිබඳව විවිධ පාර්ශ්වයන් විවිධ විකෘති කරුණු ඉදිරිපත් කරමින් දේවතා එළි එවමින්, ප්‍රචාරයන් ගෙන ගිය බව ඔබට මතකයි. නමුත් පසුගිය සිකුරාදා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහෝදරයා නමින් විසිවැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට බාර දුන්නා. දැන් මෙය ප්‍රසිද්ධ ලියවිල්ලක්. ඒ නිසා අංජනම් එළි බලමින් දේවතා එළි එවමින් බිල්ලෝ මැවූ, වැරදි අර්ථකථන දුන් සියලු දෙනාම නිරුත්තරභාවයට පත්කරන පරිදි අප මේ සංශෝධනය ඉදිරිපත් කර තිබෙනවා. 

මෙම සංශෝධනයට එල්ලවුණු ප්‍රධාන චෝදනාව 13 වැනි සංශෝධනය මගින් ජනාධිපතිවරයාට පැවරී තිබෙන බලතල අවලංගු වෙනවාය යන්නයි. මේ සංශෝධනය බෙදුම්වාදීන්ගේ උගුලක්, ‘රෝ’ ඔත්තුකරුවන්ගේ සැලැස්මක් වැනි අර්ථකථන දී තිබුණා. නමුත් විසිවැනි සංශෝධනය ඉතා පැහැදිලිව ඉදිරිපත් කර තිබෙන්නේ, 13 වැනි සංශා්ධනයෙන් ජනාධිපතිවරයාට ලැබී තිබෙන බලතල කිසිවක් වෙනස් නොවන ලෙසයි. ආණ්ඩුකාරවරයා පත්කිරීම සම්බන්ධ බලතල වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම මහජන ආරක්‍ෂක පනත මගින් ජනාධිපතිවරයාට ලැබී තිබෙන බලතල අනුව තීන්දු තීරණ ගැනීමේ හැකියාව විසිවැනි සංශෝධනය මගින් වෙනස් වෙන්නේ නැහැ.

මවා තිබු තවත් බියක් වෙන්නේ පාර්ලිමේන්තුවේ අස්ථාවරභාවයක් ඇතිවීම ගැනයි. විසිවැනි සංශෝධනයේදී ඇතිවිය හැකි එවැනි අස්ථාවරභාවයන් ගැන අවධානය යොමුකොට වගන්ති ගණනාවක් ඇතුළත් කොට තිබෙනවා. විශේෂයෙන්ම එවැනි තත්ත්වයක් ඇතිවන්නේ පිල් පැනීම් නිසා බැවින් ජනතාව විසින් තෝරා පත්කර ගන්නා ලද මතය විකෘති කරමින් සිදුකරන පිල් පැනීම් වැළැක්වීම සඳහා සංශෝධන ඇතුළත් කොට තිබෙනවා. 

පක්‍ෂයේ තීන්දුවලට පටහැනිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට කටයුතු කිරීමේදී විනය ක්‍රියාමාර්ග ගත්තාම අධිකරණය ඉදිරියට ගොස් එම විනය ක්‍රියාමාර්ග අත්හිටුවීමේ වාරණ නියෝගයන් ලබා ගන්නවා. යම් පක්‍ෂයක් මන්ත්‍රීවරයකුට එරෙහිව ගන්නා විනය ක්‍රියාමාර්ග අත්හිටුවීමට හෝ වාරණය කිරීමට කිසිදු අධිකරණයකට බලයක් නොමැති බවට වගන්ති මෙහි ඇතුළත් කොට තිබෙනවා. හැබැයි ඒ මන්ත්‍රීවරයාට විනය ක්‍රියාමාර්ගවලින් අනතුරුව ඒ පිළිබඳව අධිකරණයකට ගොස් විසඳා ගැනීමේ අවස්ථාව ලබා දී තිබෙනවා. නමුත් පාර්ලිමේන්තුව අස්ථාවරභාවයට පත්කරන එහෙට මෙහෙට පැනීම වැළැක්වීමට කටයුතු කර තිබෙනවා. 

ඒ වගේම තවත් ක්‍රියාමාර්ගයක් වශයෙන් අලුත් පාර්ලිමේන්තුවක් පත්වී වසර දෙකක් යනතුරු අයවැය විසර්ජන පනතක් පරාජය කිරීමෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන්නේ නැහැ. පළමු වරට විසර්ජනය පනත පරාජය වූවාට පසුව සංශෝධන ඇතුළත් කරමින් නැවත ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙනවා. ඒ අවස්ථාව පරාජය වුණොත් සංශෝධන සහිතව නැවත ඉදිරිපත් කළ හැකියි. අවස්ථා තුනකදී  අයවැය ලේඛනයක් පරාජයට පත් වුණොත් පමණයි අර වසර දෙක තුළදී පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන්නේ. 

පාර්ලිමේන්තුවේ විකිණෙන මන්ත්‍රීවරුන් ඉන්න නිසා ජනාධිපතිවරයා පත් කිරීමේදී මුදලාලිලාට අවශ්‍ය ජනාධිපතිවරයකු පත්කළ හැකි බවට මතයක් තිබෙනවා. මේ වගේ ප්‍රශ්නවලට ව්‍යවස්ථාවෙන්ම උත්තර හොයන්න බැහැ. රටේ දේශපාලන සංස්කෘතියේ දියුණුවක් අත්වෙන්න ඕනෑ. මන්ත්‍රීවරුන් මිලදී ගැනීම මගින් අර්බුදයක් ඇතිවීම ගැන හිතනකොට ජනාධිපතිවරයා මිලදී ගැනීමේ හැකියාවක් ගැන විවිධ රාජ්‍යයන්වලදී ලෝක අත්දැකීම් තිබෙනවා. ශ්‍රී ලංකාවත් එක උදාහරණයක්. 1987 ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කරන වෙලාවේ තනි පුද්ගලයකු හැටියට ජනාධිපතිවරයා මුළුමනින්ම යටත්වීම මගින් පෙන්නුම් කළේ ඒක. ඒ නිසා සාමූහිකත්වයක් අතට බලය ලැබීම තමයි ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් වැදගත් වෙන්නේ. 

විසිවැනි සංශෝධනය ගැන මවපු තවත් බිල්ලෙක් තමයි සංශෝධනය. මේ ආකාරයෙන් ඉදිරිපත් කළත් කාරක සභා අවස්ථාවේදී බෙදුම්වාදී වුවමනාවන් අනුව රට බෙදීමේ පැත්තට සංශෝධනය ගෙන එන බව කීම කාරක සභා අවස්ථාවේදී මේ  සංශෝධනයට අදාළව යම් සංශෝධනයක් හැර ඊට පරිබාහිර කිසිම සංශෝධනයක් කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් නොකරන බවට මේ සංශෝධනය ගෙන එන ජනතා විමුක්ති පෙරමුණේ අප රටේ ජනතාවට සහතික වෙනවා. ඒ නිසා කාරක සභා අවස්ථාව ගැනත් විසිවැනි සංශෝධනය ගැනත් හදලා තිබෙන බිල්ලා සම්පූර්ණ බොරුවක්.

අපේ රට මුහුණදෙමින් තිබෙන සමාජයීය, ආර්ථික, දේශපාලන අර්බුදයන්ට මේ විසිවැනි සංශෝධනයෙන් පිළිතුරු ලැබෙයි කියලා අපේ කිසිම විශ්වාසයක් නැහැ. ඒ ප්‍රශ්නවලට පිළිතුරු ලබාගැනීම සඳහා වෙනත් දේශපාලන අරගලයක් අපට තිබෙනවා. ඒ අතර ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කරගැනීම සඳහා අවස්ථාවක් අපට තිබෙනවා. මේ පාර්ලිමේන්තුවට මෑත ඉතිහාසයේ ඉදිරිපත් කර තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ සංශෝධනයක් හැටියටයි මෙය ඉදිරිපත් කරන්නේ. 

මෙම අවස්ථාවට ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරුන් ද සහභාගි වූ අතර එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් දිසානායක මහතා මෙසේ පැවසීය.
ප්‍රශ්නය:- මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ගැන සාකච්ඡාවක් තිබෙනවා. මේකට එය ඇතුළත්ද?

පිළිතුර:- ශක්තිමත් පාර්ලිමේන්තුවක් පිහිටුවා ගැනීමට ඡන්ද ක්‍රමය වෙනස් විය යුතුයි ද කියන සාකච්ඡාව ඇතිවී තිබෙනවා. පළාත් පාලන මැතිවරණය නව ඡන්ද ක්‍රමයක් යටතේ පැවැත්වූවා. ඒ ඡන්ද ක්‍රමයට අනුරූපී ඡන්ද ක්‍රමයක් පළාත් සභා මැතිවරණයට යොදාගන්න පාර්ලිමේන්තුවේ අනුමත කොට තිබෙනවා. කවර හෝ පිරිසක් විසින් මේ ඡන්ද ක්‍රමය වෙනස් කිරීම සඳහා යෝජනාවක් ගෙන එනවා නම් ව්‍යවස්ථාව හැදීම සඳහා දැනට තිබෙන කමිටුවේ එකඟතාව අනුව 90%ක් පමණ කටයුතු අවසන් කර තිබෙනවා. අපිත් ඒ වෙනුවෙන් ලැහැස්තියි. මේ ඡන්ද ක්‍රමය වෙනස් කිරීමේ යෝජනාව අනුමත කරන්නත් අප ලෑස්තියි.