මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති  පාඨලී චම්පික රණවක

රටේ මොකද වෙන්නේ? මේ ඒ ගැන විමසමින් මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා සමග කළ සංවාදයකි.   


ප්‍රශ්නය:- බඩු මිල ගින්දරෙන් දැවෙමින් තිබුණ ජන ජීවිත උඩට ආණ්ඩුව ඉන්ධන හැළුවා?   

පිළිතුර:- අපි මේ රජය බලයට පත් වෙනකොට මහින්ද රාජපක්ෂ පාලනයට කරපු ප්‍රධාන චෝදනාවක් තමයි 2013, 2014 වසරවල ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ඉතාමත් ම පහළට ආපු වෙලාවේ ඉන්ධන මිල අඩු කරලා එ් සහනය දෙන්නේ නැතිව අයථා බදු අය කරගෙන ආවා කියන එක. ඒ අනුව තමයි ඒක අපි ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයටත් ඇතුළත් කළේ. අපි ඒ පොරොන්දුව ඉටු කළා. දින 100 ආණ්ඩුවේ තෙල් ඇමැති හැටියට ඉතිහාසයේ කවුරුවත් නොකරපු විදියට මම තෙල් මිල අඩු කළා. ඒ හරහා රජයට ලැබෙන්න තිබුණ විශාල ආදායමක් ජනතාවට ලබා දුන්නා.   

ප්‍රශ්නය:- නමුත් ඡන්ද ප්‍රතිඵල දිහා බැලුවම පේනවා ඒක හරියට වැඩ කරලා නෑ කියලා? 

 
පිළිතුර:- ඔව්. ඒකෙන් අපි බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලය ලැබුණේ නෑ තමයි. ඒක අපි පිළිගන්න ඕන.   


ප්‍රශ්නය:- එහෙම වුණේ ඇයි?   


පිළිතුර:- ඇත්තටම අපි බලාපොරොත්තු වුණා ඒ හරහා ජනතාවගේ ජීවන බර අඩුවෙයි කියලා. නමුත් ජනතාවට ඒ ලැබුණු සහනයෙන් පස්සේ රජයේ සේවකයන්ට පඩි වැඩිවීමත් ඒ සමගම වගේ වුණා. ඒ එක්කම වාහන තදබදය වේගවත් වුණා.   


2015 විතරක් වාහන හත් ලක්ෂයක් පාරට ආවා. රටේ ප්‍රවාහන අර්බුදය ඒ හරහා තීව්‍ර වුණා. 2015 අගෝස්තු මාසයේ දී මම මිල සූත්‍රයක් යෝජනා කළා. ඒ මිල සූත්‍රයෙන් මම අදහස් කළේ ස්ථිර විදියට වෙළෙඳ ​ෙපාළ මතත් තීරණය වන ඉන්ධන හා විදුලිබිල අය ක්‍රමයක් ඇති කිරීම. නමුත් එදා ඒකට මහා භාණ්‍ඩාගාරය ඉඩ දුන්නේ නෑ.   


ප්‍රශ්නය:- මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හෙජින් ගිවිසුම හරහා කළේත් ඒකම නේද?   


පිළිතුර:- නෑ... නෑ.... හෙජින් ගිවිසුමේ එහෙම දෙයක් තිබුණේ නැ. හෙජින් ගිවිසුමෙන් කළේ ලෝක වෙළෙඳ පොළේ ඛනිජ තෙල් මිල ඉහළ යනකොට ඒක ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා සමාගමක් එක්ක එකඟතාවක් හදාගෙන කටයුතු කිරීමයි. මිල ඉහළ යන කොට ඇතිවන වාසිය මිල පහළ යනකොට ඒකේ තිබුණේ නෑ. ඒ නිසා ඒකෙන් විශාල හානියක් වුණා.   


නමුත් 2002 දී කරු ජයසූරිය මැතිතුමා තෙල් ඇමැති විදියට ආසියානු සංවර්ධන බැංකුවත් මැදිහත් කරගෙන හැදුවා මිල සූත්‍රයක්. ඒකෙන් මාසෙන් මාසෙට ඉන්ධන මිල මාරු වුණා. ඒක මම හිතනවා හොඳ ක්‍රමයක් කියලා.   
අපිත් ඒ මිල සූත්‍රය පදනම් කරගෙන දේශීය විශේෂඥ කණ්ඩායමක් පත් කරලා තෙල්වලටයි, විදුලියටයි, ගෑස්වලටයි ප්‍රවාහන ගාස්තුවටයි අපි මිල සූත්‍රයක් හඳුන්වලා දුන්නා. නමුත් ඒකට මහා භාණ්ඩාගාරය ඒකට ඉඩ දුන්නේ නැහැ.   


ප්‍රශ්නය:- දැන් මොකද කරන්නේ? තව ඉස්සරහටත් තෙල් මිල ඉහළ යයිනේ?   


පිළිතුර:- ඇත්තටම ඕකට ඛණිජ තෙල් ඇමැති හෝ මුදල් ඇමැති හරි ඕනෑ පැහැදිලි කිරීමක් කරන්න.   


ප්‍රශ්නය:- මට ඔබේ මතය කියන්න?   


පිළිතුර:- මගෙ මතය නම් ඛණිජ තෙල් වගේ බලශක්ති දේවල් අපි ප්‍රවාහන ප්‍රශ්නය ගැනත් අවධානය යොමු කරලා විශේෂයෙන්ම පොදු ප්‍රවාහනයට මුල්තැන දෙමින් විද්‍යානුකූල ආකාරයකට ඛනිජ තෙල්, විදුලිබලය ඒ වගේම ගෑස් හා ප්‍රවාහන ගාස්තු කියන මේ හතර කළමනාකරණය කළ යුතුයි. මොකද ලංකාවේ ඉදිරි ගමනට තියෙන විශාලම බාධාවක් තමයි අර ත්‍රස්තවාදය වගේම ප්‍රශ්නයක් තමයි. මාර්ග තදබදය හා ඒ හා බැඳිච්ච ක්‍රියාවලිය. ඒක සම්බන්ධයෙන් තමයි අපි බලන්න ඕනෑ.   


ප්‍රශ්නය:- ඔබ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ‘මෙගා ඩීල්’ ‘මෙගා හොරු’ කියලා චෝදනා කළා. නමුත් ජනාධිපති මෛත්‍රිගේ කාර්ය මණ්ඩල ප්‍රධානියත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියත් කෝටි දෙකක අල්ලස් ගනිද්දී අතටම අල්ලා ගත්තා?   


පිළිතුර:- මේකේ කරුණු කිහිපයක් තියෙනවා. එකක් මේක ඛේදවාචකයක් වුණත් මේ සිද්ධිය හරහා මේ රටට ආඩම්බර වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒ තමයි අල්ලස් දූෂණ කොමිසමේ නිලධාරින් නිර්භය වෙලා තියෙනවා රටේ ප්‍රධානියාගේ දෙවැනි නිලධාරියාව වුණත් අත්අඩංගුවට ගන්න. ඒ කියන්නේ ප්‍රධානියාගෙන් මේකට බලපෑමක් නෑ අපට නිදහසේ වැඩ කරන්න පුළුවන් කියන එක මේකෙන් පෙන්නලා තියෙනවා. මොකද අල්ලස් කොමිසමේ සභාපතිතුමා කියලා තියෙනවා පසුගිය අවුරුදු 24 ටම අල්ලස් දූෂණ කොමිසම හැත්තෑපස් දෙනෙකුට තමයි නඩු දැම්මේ. හතර දෙනයි වැරදිකාරයෝ වුණේ කියලා. එතකොට අල්ලස් දූෂණය ගැන කොයිතරම් පහළ තත්ත්වයකද අකාර්යක්ෂම තත්ත්වයකද අපි ඉන්නේ කියන එක ඒ ප්‍රකාශයෙන් කියවෙනවා.   


ඉතින් මේ​ෙකන් පෙනුණා යම්කිසි දුරකට ඉහළම තරාතිරමක අය වුණත් අල්ලන්න පෙළඹෙනවා කියලා. අනික් කාරණය තමයි අපේ රටේ මතයක් තිබුණා දේශපාලකයෝ තමයි හොරු රාජ්‍ය සේවය ස්වාධීන කරලා රාජ්‍ය නිලධාරින්ට බාර දුන්නා නම් රටට හරියනවා කියලා. නමුත් අපි හොඳටම දන්න දෙයක් තමයි මේ රටේ ප්‍රබල මතයක් තියෙනවා ‘දේශපාලකයෙක් අල්ලා ගත්තොත් අවුරුදු පහයි. නිලධාරියෙක් අල්ල ගත්තම අවුරුදු තිහයි’ කියලා. මේකත් අපි තේරුම් ගන්න ඕනෑ මේ රටේ අල්ලස දූෂණය කියන එක නිලධාරින් දක්වාම ව්‍යාප්ත වෙලා ගිය එකක්.   


විශේෂයෙන්ම තාක්ෂණික දූෂණ කරලා තියෙන්නේ දේශපාලකයෝ නොවෙයි නිලධාරින්. මම දන්න අමාත්‍යාංශ ලේකම් කෙනෙක් ඉන්නවා ඩොලර් මිලියන 30 ක දේපොළ විදේශ රටවල්වල තියෙන. මම දන්න තරමින් ලංකාවේ කිසිම දේශපාලනඥයකුට එහෙම දේපොළක් තියෙනවා කියලා වාර්තා වෙලා නෑ.   


ප්‍රශ්නය:- ඒ ලේකම්වරයා තාම ඉන්නවද?   


පිළිතුර:- ඉන්නවා. ඉන්නවා. ඔහු ගැන පැහැදිලි දත්ත ලැබිලා තියෙනවා. මේ වගේ අල්ලස් දූෂණ සම්බන්ධයෙන් ගත්තොත් 2015 ජනවාරි 8 වෙනසේ ප්‍රධාන සාධකය වුණේ මේ කාරණයට ආණ්ඩුව මොනවා හරි කරයි කියලයි.   


දැන් බලන්න මැලේසියාවේ. මැලේසියාව අවුරුදු 60 ක් පාලනය කරපු බැරිසන් නැෂනල් එහෙම නැත්නම් උන්හෝයි එකට උන් - නෝ කළා. සම්පූර්ණයෙන්ම පරාජය කළා. මොකද කළේ ඒ අලුත් ආණ්ඩුව. පහුවැනිදාම නජිබ් මහත්තයාගේ ගෙවල් වට කළා. ඔහු සමග හිටපු අයගේ ගෙවල් වට කළා. අති විශාල ධනයක් පළමුවැනි දවසෙම හොයා ගත්තා. අපි මොකද කළේ. අපි හෙලිකොප්ටර් දීලා ධනය පිටකර ගන්න ඉඩ දුන්නා.   
මේ රජය බලයට පත්වුණ වෙලාවේ පහුගිය රජයේ ජනාධිපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා රුපියල් මිලියන දහස් ගානක් ගෙනිච්චාය කියලා පැහැදිලි තොරතුරු ලබා දීලා තිබියදීත් කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නෑ. අප ආණ්ඩුවේ ඒ දුර්වලකමට ජනතාව හොඳ කනේ පාරක් අපට දුන්නා පහුගිය පළාත් පාලන මැතිවරණයේදි.   


ප්‍රශ්නය:- ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීන් අත්අඩංගුවට ගැනීම ගැන ඔබ ආඩම්බර වෙනවා කියලා කිව්වා. ඇත්තටම මේ දේවල් මෙහෙම වෙන්නේ ආණ්ඩුව ඇතුළේ තියෙන බල අරගලය නිසා නේද? 

 
පිළිතුර:- නෑ... නෑ.. එහෙම ප්‍රශ්නයක් නෑ. මේ ආණ්ඩුවේ බලගතු චරිතයක් වෙච්ච අර්ජුන් මහේන්ද්‍රන්ට අපි නීතිය ක්‍රියාත්මක කළා.   


ප්‍රශ්නය:- ඒකට රිටර්න් එක තමයි මේ?   


පිළිතුර:- නෑ....නෑ.. එක එක්කෙනාට එක එක විදියට එහෙම අර්ථකථනය කරන්න පුළුවන්. කාගෙන් කොහෙන් සිදධ වුණත් ජනාධිපති ගාව හිටියත් අගමැති ගාව හිටියත් කවරාකාර​ෙය් හෝ වංචනික ක්‍රියාවකට සම්බන්ධයි නම් ඒක වාර්තා කරන්න තරමටම අද මේ රට නිදහස්. ඒ වගේම ඒවාට එරෙහිව පියවර ගන්න තරමට අද මේ රටේ ආණ්ඩු ක්‍රමයේ යම් වෙනසක් සිද්ධවෙලා තියෙනවා. හැබැයි ඒක ප්‍රමාණවත් නෑ. 

 
ප්‍රශ්නය:- ආණ්ඩුවෙන් 16 ක් එළියට ගියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මධ්‍යම කාරක සභාව රැස්වෙනවලු. ආණ්ඩුවේ ඉන්නවාද නැද්ද කියලා තීරණයක් ගන්න. මෙහෙම ඉස්සරහට යන්න පුළුළුන්ද?   


පිළිතුර:- මෙහෙමයි. මේ ආණ්ඩුවේ දේශපාලන අර්බුදයක් තියෙනවා. ඒක පිළිගන්න එපැයි. මේ දේශපාලන අර්බුදයට හේතුව පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයයි. ඒ ප්‍රතිඵලයෙන් ආණ්ඩුව කරපු පක්ෂ දෙකම පරාදයි.   


ප්‍රශ්නය:- පොහොට්ටුව දිනුම්?   


පිළිතුර:- ඔව්. පොහොට්ටුව දිනුම්. හැබැයි ඔය ජනමාධ්‍ය වාර්තා කළා වගේ විශාල ජයග්‍රහණයක් ලැබුණේ නෑ. ඔවුන්ට ලැබුණ ඡන්ද ප්‍රතිශතය සියයට 39 යි. උතුරෙන් දෙමළ සන්ධානය ඔවුන් පළාත් සභා ඡන්දෙදි ගත්ත ඡන්දවල සාපේක්ෂව සියයට 35 ට වැටුණා. විශාල ආකාරයක පරිවර්තනයක් වුණා. ඒ මැතිවරණ පරාජය තමයි මේ ක්‍රමයෙන් දේශපාලන අර්බුදයක් බවට පත්වෙන්නේ. මේ දේශපාලන අර්බුදය ආර්ථික අර්බුදයක් දක්වා පත් වෙනවා. සියලු ආයෝජන සිද්ධ වෙන්නේ ස්ථාවරත්වය කියන පදනම මතයි. මූලික කරණය ඒකයි.   


ස්ථාවරත්වය පිළිබඳ ප්‍රශ්න ආවම අර ඔක්කොම අර්බුදයට පත් කරනවා. එතකොට මේක කොච්චරදුරට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය තේරුම් අරගෙන තියෙනවද කියන එක තමයි දැන් තිබෙන ගැටලුව. පොහොට්ටුව ජයග්‍රහණය කළත් ඒක තුළත් දැන් බිය සැක ඇතිවෙලා. මේක දැන් බැසිල්ට අයිති වෙන්න යනවද? නැවතත් රාජපක්ෂ පවුල්වාදයට යටවෙයිද? මේක ගෝඨාගේ කල්ලිය අල්ල ගනීද? එතැනත් දැන් අර්බුදකාරී වාතාවරණයක් ඇවිල්ලා?   


ප්‍රශ්නය:- මගේ ප්‍රශ්නය වුණේ ආණ්ඩුවේ අනාගතය ගැනයි?   


පිළිතුර:- ඔව්. මගේ යෝජනාව දැන් තවදුරටත් මේ රටට යන්නම් වාලේ යන්න බෑ. මේ රටට ඉතා පැහැදිලි පවුල්වාද ගජමිතුරුවාද වලින් තොර වූ විවෘත ප්‍රජාතන්ත්‍රවාදි විද්‍යානුකූල ආණ්ඩුකරණයක් අවශ්‍යයි. ඒක රටේ දේශපාලනයටත් ඕනෑ. ආර්ථිකයටත් ඕනෑ. ඒ යුගයට දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම මේ නායකයෝ මාරු වෙන්න ඕනෑ. ඒක මේ රට දැන් ඉල්ලලා තියෙන්නේ.   


සියලුම ආකාරයේ අය යන්න ඕනෑ. ප්‍රධාන දේශපාලන පක්ෂවල හැම තැනකින්ම ඉල්ලලා තියෙන්නේ ‘යන්න’ කියලයි. දැන් අලුත් පරපුරකට අවස්ථාව දිය යුතුයි. අලුත් පරපුරක් කියලා කියන්නේ අදහස්වලින් වයසින් විතරක් නොවෙයි. අපි පරණ අදහස්වල ඉන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තාම ඉන්නේ මැතිනියගේ බණ්ඩාරණායකගේ යුගයේ. මම දකිනවා ලංකාවේ දේශපාලනය විග්‍රහ කරලා ගත්තාම තමන් කරන දේ මොකක්ද කියලා පර්​ෙ‌ය්ෂනාත්මක විදියට යම්කිසි ආණ්ඩුවක් ගෙනිච්චේ අවස්ථා දෙකකදී විතරයි. එකක් සිරිමාවෝ, ඇන්.ඇම්ලා ඇතුළු පිරිස 70-77 යුගය. අනික ජේ.ආර්. ප්‍රේමදාස, ඇතුළත්මුදලි, ගාමිණී දිසානායකලා ගෙනගිය 78 - 82 යුගය. අනිත් හැම වෙලාවෙම අපි කළේ ජනප්‍රියවාදය. බොරු ෂෝක්වාදය.   


ප්‍රශ්නය:- ඔබේ ඒ විග්‍රහයට මහින්ද රාජපක්ෂ අයත් වෙන්නේ නෑ.   


පිළිතුර:- ඔව්. යම්කිසි ආකාරයට මහින්ද රාජපක්ෂත් මේකට සම්බන්ධ කරන්න ඕනෑ. බණ්ඩාරනායකවත් සම්බන්ධ කරන්න ඕනෑ. මොකද බණ්ඩාරනායකගේ 56 විප්ලවය හරහා කෙරිච්ච විශාල සංස්කෘතික විප්ලවයක් තියෙනවා. ඒ වගේම මහින්ද රාජපක්ෂගේ 2009-2010 යුගයේ රටේ තිබුණ විශාලම ප්‍රශ්නය වූ ත්‍රස්තවාදි ගැටලුව විසඳුණා විතරක් නොවෙයි. කිසියම් ආකාරයකට රටේ විවෘත යටිතල පහසුකම් නැංවීමේ ක්‍රියාවලියකුත් දියත් කළා. හැබැයි ඒ ඔක්කොම ජනප්‍රියවාදය.   


ප්‍රශ්නය:- ඔබ කෙළින් කියන්න? දැන් රටට මොකක්ද වෙන්න ඕනෑ?   


පිළිතුර:- රටට දැන් ජනප්‍රිය වාද, ජනකාන්ත වාද වැඩක් නෑ. ඒ පරණ ඒවා ඔක්කොම අතීතයට අයිති දේවල්. ඒ නිසා රටේ අප අතීත පවුල්වාදී ඒ කල්ලි කණ්ඩායම්වලට නැවත වතාවක් මේ රටේ මහජනයා හසු නොවී ඉදිරිය බලා යන්න නම් අර විවෘත ප්‍රජාතන්ත්‍රවාදී විද්‍යානුකූල ආණ්ඩුකරණයක් රටට අවශ්‍යයි.   


ප්‍රශ්නය:- ඔබ කිව්වා ‘නායකයෝ ඔක්කොම යන්න ඕනෑ’ කියලා. ඒක මෛත්‍රිපාල සිරිසේනටත්, රනිල් වික්‍රමසිංහටත් අදාළද?   


පිළිතුර:- මෙහෙමයි. මම පුද්ගලයෝ නම් කරන්න කැමැති නෑ. දැන් එක්සත් ජාතික පක්ෂය වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, රටේ ජනතාව කැමැති නැති වුණත් රාජපක්ෂ රජ පවුලත් එක්ක දැන් පක්ෂයක් ගොඩ නැගිල තියෙනවා. එතැන ඔය වටේ ඉන්න අය මොන ජාතිකවාදි, සමාජවාදි මොන සටන් පාඨ කිව්වත් අර ජරාජීර්ණ වෙච්ච, ලේ තැවරිච්ච ජාවාරම්කාර හොර හවුලේ පිරිස තමයි ඔය වෙස් වළාගෙන ඇවිල්ලා ඉන්නේ. කිසිම වෙනසක් වෙලා නෑ එතන. ඒක එහෙම බලවත් වෙන්න වගකියන්න ඕනෑ මේ අපේ ආණ්ඩුව. ඒ ජරාජීර්ණ පිරිස නැවත සළුපිළි අන්දලා කරළියට ගෙන ඒමේ වගකීම මේ අපි බාරගන්න ඕනෑ. ඒ නිසා මෙතැන අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් ඡන්දයකට ගිහින් ඡන්දය ඉල්ලීමේ තත්ත්වයක නෑ.   


එක්සත් ජාතික පක්ෂයටත් තව ඡන්දයක් පරදින්න බෑ. ඒ නිසා මේ දේශපාලන පක්ෂ දෙකම අවලංගු වීමේ අනතුරට පත්වෙලා තියෙන්නේ. ඒ අනතුර වළක්වා ගන්න පුළුවන් වෙන්නේ නව උපතකින් පමණයි. මම ඔය ජනතා විමුක්ති පෙරමුණ වගේ දේවල් ගැන කතා කරන්නේ නෑ. ඒවා ඒගොල්ලෝ මොනවා හිතාගෙන හිටියත් අවලංගු වෙලා ඉවරයි. ටී.එන්.ඒ. ඒවා අවලංගු වෙලා ඉවරයි. ඒ නිසා දැන් නව උපතකට කාලය ඇවිත් තියෙන්නේ. නව උපත බොහොම ප්‍රජාතන්ත්‍රවාදීව හැමෝගෙම කැමැත්තෙන් වෙනවා නම් හොඳයි. එහෙම නැත්නම් ඉතින් යන්නේ අර පරණ ලේ වැගිරිච්ච උත්සාහයකටයි ඉදිරි දශකයේදී.   


ප්‍රශ්නය:- ආණ්ඩුව අර්බුදයකට යන හැම වෙලාවෙම ඔබ විවිධ යෝජනා ඉදිරිපත් කරනවා. පුංචි ඡන්දෙන් පස්සෙත් ඔබ ​යෝජනා මාලාවක් ඉදිරිපත් කළා. නමුත් ප්‍රයෝජනයක් නෑ. ඔබට ආණ්ඩුව ඇතුළේ හඬක් නැද්ද?   


පිළිතුර:- ඒ ගැන මම කනගාටුවෙනවා. උදාහරණයක් විදියට ඔය විශේෂ අධිකරණ පිහිටුවීම ගත්තොත් ඔය පිළිබඳ අදහස මම ගෙනාවේ 2015 ජනවාරි 21 වැනිදා. ඊට පස්සේ මම කැබිනට් පත්‍රිකා හතරක් දැම්මා. මේවා ගේන්න බෑ. මේවා කරන්න බෑ. ව්‍යවස්ථාවට විරුද්ධයි කිය කියා අවුරුදු තුන හමාරක් කල් ගත්තා. මේ පළාත් පාලන ඡන්දය පැරදුණාට පස්සේ මම යෝජනා 47 ක් ගෙනාවා. රට ඉදිරියට ගෙනියන්න.   


ප්‍රශ්නය:- නමුත් වැඩක් වුණේ නෑ?   


පිළිතුර:- ඔව්. තම තමන්ගේ පටු න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරමින් ඉන්නවා. ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ ඊළඟ ඡන්දය එනකන් විතරයි. ඊට පස්සේ ඒවා ක්‍රියාත්මක කරන්න ඔය පක්ෂ දෙකම පවතින්නේ නෑ. ඒ නිසා මම හිතනවා ඔය පක්ෂ දෙකේම ඉන්න සැලකිය යුතු පිරිසක් ඉතාම හොඳින් අවබෝධ කරගෙන ඉන්නවා අපි අලුත් වෙන්න ඕනෑ. අපි අලුත් ප්‍රතිපත්තිවලට යන්න ඕනෑ කියලා මගේ යෝජනාව විවෘත ප්‍රජාතන්ත්‍රවාදී විද්‍යානුකූල ආණ්ඩුකරණයක් කරන්න ඕනෑ.   


රටේ ප්‍රතිපත්ති පවුලේ කෑම මේසයේදී තීරණය කෙරෙන ගජ මිතුරන්ගේ සංවාදයේදී මේවා තීරණය කෙරෙන තුන් හතර දෙනෙකුගේ ව්‍යාපාරික කල්ලිවලට රටේ අනාගතය තීරණය කෙරෙන ක්‍රමය වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදීව ආණ්ඩු පක්ෂය ඇතුළේ ඉන්න අයගේ වෘත්තීයවේදීන්ගේ අදහස් මත ක්‍රියාත්මක විය යුතුයි. ඒක විවෘත ක්‍රියාවලියක් විය යුතුයි. එහෙම වුණොත් මේ රට ඉතාම හොඳ තැනකට එනවා.   


ප්‍රශ්නය:- එහෙම නොවන එකයි ප්‍රශ්නය?   


පිළිතුර:- ඔව්. අපි හැම දෙයක්ම අත්හදලා බැලුවනේ. වම දකුණ, අර පවුල, මේ මිතුරු කල්ලිය අපි ඔක්කොම පරික්ෂා කරල බැලුවනේ. දැන් ඇති. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එක්සත් ජාතික පක්ෂයයි ඒකට ඡන්දය දීපු අතිවිශාල ජනතාවයි දැන් තීරණය කරන්න ඕන අපේ ගමන් මග මොකක්ද කියලා. ඒකට මම න්‍යාය පත්‍රයක් ඉදිරිපත් කළා කරුණු 47 ක. ඒක සමහරුන්ට නොතකා යන්න පුළුවන්. තව කෙනෙකුට යම් යම් කොටස් ක්‍රියාත්මක කරන්න පුළුවන්. හැබැයි තවත් වරක් එක්සත් ජාතික පක්ෂයට පර්​ෙය්ෂණ කරලා පරදින්න බෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් තවත් වරක් පරදින්න බෑ. ඒ නිසා ජයග්‍රාහී විය හැකි විදියක් වෙනුවෙන් ස්ථාවර ව්‍යුහාත්මක වෙනසක් අවශ්‍යයි. ඒ වෙනස ප්‍රතික්ෂේප කරන අය අවලංගු වෙනවා මිසක් වෙන දෙයක් වෙන්නේ නෑ.   


ප්‍රශ්නය:- මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් මේ ආණ්ඩුවට ආවම ඔබට හිතෙනවද කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්තා වගෙයි කියලා?   


පිළිතුර:- ඇත්තටම ​අපි මේ ආණ්ඩුවෙන් ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වුණේ ප්‍රජාතාන්ත්‍රික නිදහස විතරයි. මහින්දගේ පාලනයේ රාජපක්ෂ පවුලේ පවුල්කාමය තුළ ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. අදටත් නෑ. අදටත් ඔය පොදු ජන පෙරමුණ කියන පක්ෂයේ එකෙකුට තියෙනවද හැඟීමක්වත් ඊළඟ ජනාධිපතිවරණයට රාජපක්ෂ නම නැති එ​ෙකක් ගේන්න? එහෙම කොන්දක් තියෙන එකෙක් ඉන්නවද? රාජපක්ෂ පවුලට විතරද ඔය විශේෂ ජානය තියෙන්නේ. මේ රට කොරන්න පුළුවන් ජානය? එකෙකුට කොන්දක් තියෙනවද පිට එකෙකුගේ නමක් වත් කියන්න. එහෙම එවුන්ට පුළුවන් ද රට හදන්න.   
අනික් එක අද පෙළගැහිලා ආර්ථිකය හදන්න කතා කරන එවුන් ඔක්කොම පට්ටපල් හොරුනේ. අත්වල ලේ තවරා ගත්ත මිනීමරුවොනේ. මේ රටේ ජාතික ධනය ප්‍රකෝටි ගණනින් හොරා කාපු එවුන්නේ.   


ප්‍රශ්නය:- ඒ කියන්​ෙන් ප්‍රශ්නයක් නෑ?   


පිළිතුර:- ඔව්. ඊට වඩා වෙනසක් මෙතැන තියෙනවා. ඊට වඩා විවෘත භාවයක් තියෙනවා. අඩු තරමින් එක්සත් ජාතික පක්ෂය පසුපෙළ මන්ත්‍රීවරුන්ට කියන්න පුළුවන්කම තියෙනවා අගමැති රනිල් වික්‍රමසිංහට ‘යන්න’ කියලා. රාජපක්ෂගේ වහලුන් එකෙකුට කියන්න පුළුවන්ද රාජපක්ෂට යන්න කියලා. වැඳ වැඳ නැමි නැමී ගෝඨා, බැසිල් එහෙම නැත්නම් චමල්, නාමල්, ශෂීන්‍්ද්‍ර කිය කියා රාජපක්ෂවරුන්නෙ හොයන්නේ. අනිත් ඔක්කොම වීර කතානේ. ඊට වඩා ප්‍රජාතන්ත්‍රවාදයක් මෙතැන තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ගැන විවෘත සංවාදයක් තියෙනවා.   


අපි ප්‍රජාතාන්ත්‍රික වෙනසක් කළා. විධායක ජනාධිපති ධුරයේ බලගතු වෙනසක් කළා. සමාජය ප්‍රජාතන්ත්‍රිකරණය කළා. හැබැයි දැන් රටට අවශ්‍යයි ස්ථාවරත්වය. ආර්ථික සමෘද්ධිය. රට එකඟතාවකින් යුතුව ඉදිරියට රැගෙන යන්න පුළුවන් වැඩපිළිවෙළක්. නව නායකත්වයක්.   


ප්‍රශ්නය:- ඊළඟ ජනාධිපතිවරණයේදී ඔබේ කඳවුරේ අපේක්ෂකයා වීමේ සිහිනයෙ ඔබ ඉන්නවා?   


පිළිතුර:- ප්‍රතිපත්තිමය සිහිනවල මිසක් පෞද්ගලික සිහිනවල නැත. ප්‍රතිපත්තිමය වශයෙන් කිව්වොත් ඊළඟ ජනාධිපතිවරණයේදී කුණු වෙච්ච පවුල්වලට කුණු වෙච්ච ගජ මිතුරුවාද වලට නැවත ලංකාවේ දේශපාලන ජයග්‍රහණ ලබා ගන්න අපි ඉඩ තියන්නේ නෑ.   


ඒ වගේම දේශපාලන වහලුන්ට කකුල් ලෙවකා ගෙන නායකයෝ වන්දනාමාන කරන මේ දේශපාලන වහල්ලු වෙනුවට දෙපයින් සිට ගත් හිස කෙළින් තියා ගත් මේ රටේ සෑම කොනකම ඉන්න පීඩාවට පත් සියලු ජනයාට ප්‍රජාතන්ත්‍රවාදය හා සමානාත්මතාව තියෙන රටක් වෙනුවෙන් අපි කැප වෙනවා. අපිට මඩ ගහලා අපිව විනාශ කරන්න ඔය පවුල්වාදි කල්ලි ඔය ගජමිතුරුවාදි කල්ලි ඒ ජයග්‍රහණ නවත්වන්න බෑ. මොකද අපි යම් අවස්ථාවක් දුන්නා. දැන් ඇති. ඒ නිදහස්කාමී ගමනට ඉදිරි මග අපි හදනවා.   

 

 

 

 

සාකච්ඡා කළේ   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්