(අංජුල මහික වීරරත්න සහ දෙනියාය විශේෂ එස්.ඞී. කොඩිකාර දෙනියායේ සිට)

ණය බර වැඩි වී සංවර්ධනය අත්හිටව පැවති රට බාර ගෙන කෙටි කාලය ඇතුළත ණය නැති අපනයන සංවර්ධනය ඉදිරියට යන රටක් බිහි කිරීම සඳහා මූලික පියවර තැබීමට හැකි විනැයි අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දෙනියායේදී පැවසීය.

කතා කළ කාලය අවසන් කර හම්බන්තොට සංවර්ධනයේ සැබෑ ඵල නෙළන කාලය පැමිණ ඇති බව කී අග‍්‍රාමාත්‍යවරයා, හම්බන්තොට ඇතුළු සියලූ ප‍්‍රදේශ සඳහා ඉඩම් දී ඇත්තේ ව්‍යාපාර කරන්න පමණක් බව ද ඒවායේ සියලූ අයිතිය ශ්‍රී ලංකාව සතුවන බව ද අවධාරණය කළේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ රට පුරා ඉඩම් අයිතිය අහිමි ජනතාවට ඉඩම් ඔප්පු ප‍්‍රදානය කිරීමේ ජාතික වැඩසටහනේ දෙනියාය මැතිවරණ කොට්ඨාසයේ වැඩසටහනට සහභාගී වෙමිනි.

දෙනියාය මධ්‍ය මහා විද්‍යාල ක‍්‍රීඩාංගණයේදී විශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් උත්සවය පැවැත්විණි.

නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය, ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සහ ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වැඩසටහන ක‍්‍රියාත්මක කරයි.

උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

”දෙනියායේ ජනතාවට ඉඩම් ඔප්පු දීම හැකි ඉක්මණින් කළ යුතු බව මා මීට පෙර කොටපොළට පැමිණි අවස්ථාවේදී අදාළ අමාත්‍යවරුන්ට දැනුම් දුන්නා. ඉඩම් ඔප්පු දීමේ කාර්ය සීඝ‍්‍රයෙන් කිරීම මගේ අරමුණ වුණා. නොවැම්බර් මාසයේදී ඔබට ඔප්පු ප‍්‍රදානය කිරීමට තීරණය වුණා.

ඒ කටයුත්ත කඩිනම් කිරීම සම්බන්ධයෙන් ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාට ස්තූතිය පළ කළ යුතුයි. මේ වනවිට රට පුරාම ඉඩම් ඔප්පු ප‍්‍රදානය කිරීමේ කටයුතු ආරම්භ වෙලා. ගයන්ත කරුණාතිලක මහතා අමාත්‍යාංශය භාරගත් දා සිට ඔප්පු ප‍්‍රදානය කිරීමේ කටයුත්ත ඉතා සාර්ථක අයුරින් ඉටු කරනවා.

ජීවිතයේ සුරක්ෂිත බවෙහි ප‍්‍රධානතම කාරණය වන්නේ ඉඩමක අයිතිය සහ නිවෙස ගැනීමයි. එය සියලූම දෙනාට අවශ්‍යයි. විවාහ වීමට සිටින තරුණ තරුණියන් උත්සාහ කරන්නේ නිවෙසක ඉඩමක අයිතිය ගැනීමටයි. සමහරුන්ට මව්පියන්ගේ මුදල් ඇති විට ඒවා ගැනීමට හැකියාව තිබෙනවා. නමුත් බොහෝ අයට ඒ වාසිය නැහැ.

ඉඩමක අයිතිය තහවුරු කිරීම සඳහා ඉඩම් ඔප්පුව දිය යුතුයි. එමෙන්ම නිවාස ඉදි කිරීමට පහසුකම් සහිත ණය මුදල් දීමේ වගකීම අපට තිබෙනවා. අපේ ප‍්‍රධාන වැඩ කටයුත්ත වන්නේ එයයි.

එලෙස සුරක්ෂිත බව දීමේ තවත් කොටසත් තිබෙනවා. නිවස හදන්න නම්, මිලදී ගන්න නම් ආදායම තිිබිය යුතුයි. ඒ සඳහා මෙරට රැකියා සහ ආදායම් මාර්ග වර්ධනය කළ යුතුව තිබෙනවා.

එසේ නම් අපට වගකීම් දෙකක් තිබෙනවා. පළමුවැන්න නිවාස ඉදිකර ගැනීම සඳහා අවස්ථාව දීමයි. දෙවැන්න ඊට වියදම් කිරීම සඳහා ආදායම් මාර්ග සකස් කර දීමයි. මේ කාරණා දෙකම ඉටුකර ගැනීම සඳහා මා කටයුතු කරනවා.

සියලූම දෙනාට හොඳින් ජීවත් වීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා මෛත‍්‍රීපාල සිරිසේන ජනපතිගේ ප‍්‍රධානත්වයෙන් ජාතික ආණ්ඩුව පිහිටුවා අප බාර ගත්තේ ණය බර වැඩි වී සංවර්ධනය අත්හිටුවා තිබූ රටයි.

2009 වසරේ යුද්ධය අවසන් වූ පසුව ණය අඩු වී සංවර්ධනය වැඩි විය යුතුව තිබුණා. නමුත් යුද්ධය අවසන් වූ පසුව ණය බර වැඩි වුණා. සංවර්ධනය නැති වුණා. එවැනි රටක් බාර ගෙන යහපත් අතට හැරවීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. තනි ආණ්ඩුවකට වඩා ඒ වැඩ කටයුත්ත ජාතික ආණ්ඩුවකින් කිරීමට සුදුසුයි. පක්ෂ ගණනාවක් එක්වී ජාතික ආණ්ඩුව පිහිට වූයේ ඒ නිසයි.

විශාල ලෙස ණය ගැනීමට පටන් ගත්තේ 2007 වසරේදීයි. ඒ යුද්ධය අවසන් වන සමයයි. 2013 වසර වනවිට ණය ගෙවීමට රටේ ආදායම ප‍්‍රමාණවත් වුණේ නැහැ. ඒ නිසා ඉතිරි ණය ගෙවීමටත්, තවත් ණය ගෙන තිබුණා. එපමණක් ද නොව ඒ වසරේ සම්පූර්ණ අයවැයට ගෙවීමටත් ණය වෙලා සිටියා.

ජාතික රජය පිහිටුවා පළමු වසර දෙක යොදා ගත්තේ ණය ගෙවීමට හැකි ස්ථාවර ආර්ථිකය ගොඩනගා ගැනීම සඳහායි. ණය ගෙවීමට නොහැකි නම් රටේ ආර්ථිකය අස්ථාවර වෙනවා. පුද්ගලයකු වශයෙන් ණය වී ණය ගෙවා ගන්න බැරි වුවහොත් ඒ පුද්ගලයාගේ ආර්ථිකය අස්ථාවර වනවා.

පළමුවෙන්ම අධික ණය බර ගෙවා දමන්නේ කෙසේ දැයි අප කල්පනා කළා. ඒ කරුණ සැලසුම් කිරීමට වසර දෙකක කාලයක් ගත වුණා. රටේ ආදායම වැඩි කර ණය ගෙවීමේ පරිසරය නිර්මාණය කර ගත යුතුව තිබුණා. දැන් ණය ගෙවීම සඳහා අපේ ආදායම ප‍්‍රමාණවත් වෙලා. ඉතිරි මුදල් සංවර්ධනයට යෙදවිය හැකියි. අයවැය සඳහා යෙදවිය හැකියි. අයවැය සඳහා සම්පූර්ණ මුදල් එතනින් නොලැබෙන නිසා ඉතිරි වැඩ කිරීම සඳහා නැවත ණයක් ගැනීමට විය හැකියි.

ණය ගන්නවා මෙන්ම පරණ ණය ගෙවීමටත් සීඝ‍්‍ර සංවර්ධනය තුළින් හැකියාව ලැබෙනවා. දැන් ණය ගෙවීම ආරම්භ කරලා. 2016 වසරේදී වැට් බද්ද වැඩි කිරීමට වුණා. එහිදී විවිධ උද්ඝෝෂණ ද ඇති වුණා. කෙසේ හෝ දැන් ක‍්‍රමානුකූලව අපේ ආදායම වැඩි කරගෙන යනවා. ලාබ ලබන ලෙස කටයුතු කරන්නැයි සංස්ථාවලට දැනුම් දුන්නා.

වැඩිපුරම ණය ගෙවීමට ඇත්තේ 2018 සහ 2019 වසරවලදීයි. ඒ වසරවල අපට රුපියල් කෝටි ලක්ෂ තුනක් නැවත ගෙවීමට වනවා. ඉදිරියට යාමට නම් ඒ ණය ගෙවා දැමිය යුතුමයි.

ණය ගෙවීම තවත් කල් දමන්නැයි සමහරුන් කියනවා. නමුත් එය කිරීමට හැකියාව නැහැ. එසේ කළහොත් ණය ගෙවීම ඊළඟ පරපුරට බාර වෙනවා. ඊළඟ පරපුරත් ණයකරුවන් බවට පත් කිරීමට මට අවශ්‍ය නැහැ. අපේ කාලයේදී ගත් ණය අපේ කාලයේදීම ගෙවා අවසන් කළ යුතුයි. එවිට අපේ තරුණ පරපුරට ප‍්‍රශ්නයක් නැතිව ඉදිරියට යාමට අවස්ථාව ලැබෙනවා.

 2018x2019 වසරවල අදාළ මුදල් පියවා දැමීම මගේ අරමුණයි. රටේ ආදායමෙන් වැඩි කොටස වැය වන්නේ ණය ගෙවා දැමීම සඳහායි. ඉතිරි මුදල් සෙසු සංවර්ධන කටයුතු සඳහා වැය කළ යුතුව තිබෙනවා.

මහා මාර්ග ඉදිකිරීම, අධ්‍යාපනය දියුණු කිරීම, නිවාස ඉදිකිරීම, සෞඛ්‍ය ක්ෂේත‍්‍රය දියුණු කිරීම සඳහා ණය ගෙවන අතරම මුදල් වෙන් කරනවා. අතීතයේදී ණය වැඩි වී සංවර්ධනය අඩු වුණා. දැන් ණය බරත් අඩු කර සංවර්ධනය ද ආරම්භ කර තිබෙනවා.

රැුකියා, ආදායම් වැඩි කිරීමට නම් සංවර්ධනය වේගවත් කළ යුතුයි. ඒ කටයුත්ත ශ්‍රී ලංකාවේ සිටින කෝටි දෙකක ජනගහනය සහිත වෙළෙඳපොළෙන් කිරීමට හැකියාවක් නැහැ. අප මුළු ලෝකයම අල්ලා ගත යුතුයි.

ලබන වසරේ අපේ‍්‍රල් 01 වැනිදා සිට අපනයන සංවර්ධනය කරන සමාගම් සඳහා බදු සහන දීමටත්, දිරිගැන්වීම් කිරීමටත් සඳහා වන නව නීතිය ක‍්‍රියාත්මකයි. දැන් අපට තිබෙන්නේ සියල්ල දීමයි.

ණය වැඩි වී අපනයන නතර වූ සමයේ සිට අපනයන සංවර්ධනය ඉදිරියට ගෙන යාමටත් අප වැඩසටහන් ආරම්භ කළා.

හම්බන්තොට වරාය ආශ‍්‍රිතව ආර්ථික කලාපයේ මෙහෙයුම් කටයුතු සඳහා නව කාර්යාල ආරම්භ කළා. ණය ගෙන වරාය හැදුවත් ඊට කිසිවෙකුත් ආවේ නැහැ. වරාය අප නඩත්තු කළේ කොළඹ වරායෙන් ලැබෙන මුදල්වලිනුයි.

මත්තල ගුවන් තොටුපොළ ඉදි කළා. එහි පැමිණියේ මොනරුන් පමණයි. කොළඹ ගුවන් තොටුපළෙහි ලාබවලින් මත්තල ගුවන් තොටුපොළ නඩත්තු කළා.

මෙවැනි කාරණා නිසා වරාය අධිකාරියේ අලාබ වැඩි වුණා. මේ ආකාරයට තවදුරටත් කටයුතු කළහොත් ගුවන් සේවා අධිකාරිය සම්පූර්ණයෙන්ම අලාබ ලබන ආයතනය බවට පත් වෙනවා.

2017 වසරේ සිට නැවත හම්බන්තොට වරායට ණය ගෙවිය යුතුයි. හම්බන්තොට වරාය පිළිබඳව චීනය සමඟ කතා කළා. ලෝකයේ නැව් හම්බන්තොටට ගෙන ඒමට අපට ශක්තියක් නැති බව ද ප‍්‍රකාශ කළා. ත‍්‍රිකුණමලයට නැව් ගෙන්වා ගන්න බැරි නම් හම්බන්තොටට නැව් ගෙන්වා ගන්නේ කෙසේද? ඒ නිසා ණයක් නොගෙවා වරාය වසා දමන්න වන බව චීනයට පැවසුවා. මත්තල ගුවන් තොටුපළ සම්බන්ධයෙන් ද මේ ප‍්‍ර‍්‍රශ්නය තිබෙනවා.

ප‍්‍රධාන චීන සමාගම් සහ ශ්‍රී ලංකාවේ වරාය අධිකාරිය එකට එක්වී හවුල් ව්‍යාපාරය ලෙස වරාය පවත්වාගෙන යාමට අවසානයේ චීනය යෝජනා කළා. චීන සමාගමට බහුතර කොටස් දෙනවා නම් වසර 30ක ගාස්තු ගෙවීමට සූදානම් බව චීනය පැවසුවා. අප ඒ කාරණයට එකඟතාවය පළ කළා. ඉඩම අපේයි. ඔවුන්ට අයිතිය ඇත්තේ ව්‍යාපාර කරන්න පමණයි.

නව සමාගම දෙසැම්බර් 8 වැනිදා වැඩ ආරම්භ කිරීමට සූදානමින් සිටිනවා. ඒ සමඟම හම්බන්තොට විශාල කර්මාන්තපුරය ස්ථාපිත කිරීමට නියමිතයි.

දැන් කතා කළ කාලය අවසානයි. හම්බන්තොට සිට වරාය සහ කර්මාන්තපුරය යන දෙකම ක‍්‍රියාත්මක කළ යුතුයි.

තෙල් පිරිපහදුව සඳහා දැනටමත් ඉඩම් ඉල්ලා තිබෙනවා. එල්.එන්.ජී. විදුලි බලාගාරය සඳහා ඉඩම් සොයනවා. සිමෙන්ති කම්හලට, වානේ කම්හලට, නැව් තටාකයට දැන් ඉඩම් වෙන් කරගෙන යනවා.

නව සමාගම ලබන වසරේ වරායට අවශ්‍ය නව යන්ත‍්‍ර මිලදී ගැනිම සඳහා ඩොලර් කෝටි 60ක මුදල යොදවනවා. නව වෙළෙඳ කලාප ආරම්භ කිරීම පිළිබඳව මා අමාත්‍යවරුන් සමඟ සාකච්ඡුා කළා. ඒ සඳහා විශාල සමාගම් ප‍්‍රමාණය ඉදිරිපත් වී සිටිනවා.

මුල් අදියරේදීම මේ කටයුතු වෙනුවෙන් අක්කර දෙදහසක් වෙන් කළ යුතුයි. කටුනායක, බියගම, සීතාවක, කොග්ගල යන කලාප හතරම එකතු කළත් අක්කර දෙදහසක් නැහැ. එක් සමාගමක් යන කලාප හතරම එකතු කළත් අක්කර දෙදහසක් නැහැ. එක් සමාගමක් තම කර්මාන්ත සඳහා අක්කර 200 බැගින් ඉල්ලා තිබෙනවා.

රබර් කර්මාන්ත ආයතනය අක්කර 300 ඉල්ලා තිබෙනවා. මේ ආයතනය සඳහා අවශ්‍ය රබර් ප‍්‍රමාණය ලංකාවේවත් නැහැ. මොනරාගල රබර් වැවීමේ කටයුතු තවත් දියුණු කිරීමට අදහස් කරනවා. එවැනි විශාල දියුණුව ලැබුණු පසු මොනරාගල, හම්බන්තොට, මාතර, ගාල්ල ප‍්‍රදේශවටලත් විශාල දියුණුව ලැබෙනවා.

 

හම්බන්තොට වරායට ඉන්දියන් සාගරය හරහා යන නැව් පැමිණි භාණ්ඩ සියල්ල එතැන් සිට චීනයට ප‍්‍රවාහනය කරනවා. දැන් අපට ඉතිරි වී ඇත්තේ මත්තල ගුවන්තොටුපොළ පමණයි.

සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ ඉන්දියා සමාගම එක්ව හවුල් ව්‍යාපාරයක් ලෙස ලබන වසරේ මාර්තු මාසයට පෙර ගුවන් තොටුපොළ ගොඩ නැගීම සඳහා කටයුතු කිරීම අපේ අරමුණයි.

හම්බන්තොට සම්මන්ත‍්‍රණ ශාලාවෙන් ද ප‍්‍රයෝජනය ගැනීම සඳහා නව කාර්යාලය විවෘත කළා.

තව එකක් ඉතිරි වී තිබෙනවා. ඊට කුමක් කරන්න දැයි මා නම් දන්නේ නැහැ. ඒ සූරියවැව ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයයි. ඒ සඳහා කිසිවකුත් එන්නේ නැහැ. විශාල අලාභයක් ලබන සූරියවැව ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයට එන්නේ වල් අලි පමණයි. අනෙක් ප‍්‍රශ්න සියල්ල ක‍්‍රමානුකූලව විසඳාගෙන යනවා.

මත්තල ගුවන් තොටුපොළ, මහා මාර්ග පද්ධතිය, කටුනායක ගුවන්තොටුපොළ නිසා සංචාරකයන්ට හොඳම ස්ථානය වන්නේ ගාල්ල දිස්ත‍්‍රික්කයයි. ඒ නිසා ගාල්ල දිස්ත‍්‍රික්කයේ විශාල සංචාරක කටයුතු ඇති කිරීමේ වැඩසටහන දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය සහ සංචාරක අමාත්‍යාංශය විසින් කරගෙන යනවා.

ජෙෆ්රි බාවා විසූ නිවෙස ළඟ දේද්දුව ප‍්‍රදේශයේ අක්කර 1800ක සංචාරක කලාපය ඉදි කෙරෙනවා. එතැන් සිට සැතපුම් 15ක් යන්න පෙර අකුරල සංචාරක කලාපය තිබෙනවා. එය අක්කර 500ක් විශාලයි.

කොග්ගල සංචාරක කලාප 3ක් තිබෙනවා. ගාලූ නගරයේ තවත් සංචාරක වැඩසටහන් කිහිපයක් ක‍්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් තිබෙනවා. ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ පමණක් නොව ආසියාවේ හොඳම සංචාරක කලාපය බවට පත් කිරීම මගේ අරමුණයි.

මේ කටයුතු කරන අතරතුර සංචාරක කර්මාන්තය තුළින් වක‍්‍ර රැුකියා දහස් ගණනක් නිර්මාණය වීමට නියමිතයි. වැලිගම චාලිමන්ට් වත්තේ තවත් කර්මාන්ත කලාපය ඇරඹීමට සැලසුම් කළා.

සිංහරාජ සංවර්ධන සැලැස්ම අපගේ ඊළඟ පියවරයි. ගිං, නිල්වලා, වලවේ ආදී ගංගා සිංහරාජ වනාන්තරය ආශ‍්‍රිතව ආරම්භ වෙනවා. සිංහරාජ වනාන්තරයට හානියක් වුවහොත් මුළු දකුණු පළාතටම වතුර නැහැ. හම්බන්තොට කර්මාන්තපුරයට ජලය නැහැ. සංචාරක කලාප සඳහා ජලය නැහැ. ඒ නිසා සිංහරාජ පරිසරය ආරක්ෂා කරන අතරතුර කුඩා කර්මාන්තවල යෙදෙන අයට ආර්ථික වශයෙන් දියුණු වීමට නව වැඩසටහන ඇරඹුවා.

එක කොනකින් හම්බන්තොට කර්මාන්තකරණයත්, අනෙක් අතින් දකුණු සංචාරක කලාපයත්, සිංහරාජ පරිසර කලාපයත් දකුණට නව ආර්ථිකය දෙනවා. කොළඹට නොදෙවැනි ආර්ථිකය මේ තුළින් දකුණට දෙන්නට කටයුතු කරනවා.

අපනයන සංවර්ධනයේ එක් කේන්ද්‍රස්ථානය බවට ගාල්ල පත් වෙනවා. මාතර, මොනරාගල, හම්බන්තොට ප‍්‍රදේශවලට ද ඒ සංවර්ධනය ලැබෙනවා.

අප බාර ගත්තේ ණය වැඩිවී සංවර්ධනය අහිමි වූ රටයි. අද අප ක‍්‍රියා කරන්නේ ණය ගෙවීමට හැකි අපනයන සංවර්ධනය ඉදිරියට යන රට තුළයි. වෙනස එයයි.

මා බලාපොරොත්තු වන්නේ ඊළඟ වසර දෙක තුන ඇතුළත දී ඒ වෙනස මුළු රටටම දීමටයි. මහවැලියෙන් පසු විශාලතම සංවර්ධනය උරුම වන්නේ දකුණු පළාතටයි” යයි ද රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් පැවසීය.

නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා

”අගමැතිතුමා ඉඩම් ඔප්පු ඉතා කඩිනමින් දිය යුතු බව සඳහන් කළා. වැඩ කටයුත්ත කිරීමට තීරණය වී සති තුන ගිය තැන ඔප්පු දීමට හැකියාව ලැබී තිබෙනවා. රාජ්‍ය නිලධාරීන් මෙන්ම පාර්ශ්වයන් රැසක් අපට උදව් කළා.

මේ නිවන්නේ ජනතාවගේ විශාල ගින්දරයි. පරම්පරා දෙක තුනක් පැවති ප‍්‍රශ්නයයි. තවත් ජනතා ප‍්‍රශ්න තිබෙනවා. ඒ සියල්ලටම අප අවධානය යොමු කරනවා.

ඉඩමේ අයිතිය ලැබීමෙන් ඔබ සුරක්ෂිතයි. ආර්ථික ශක්තිය ද ලැබෙනවා. බැංකු ණයක් ගන්න ව්‍යාපාරයක් ඇරැඹීමට හැකියාව ලැබෙනවා.

අප දුන් පොරොන්දු සියල්ල ක‍්‍රමක‍්‍රමයෙන් ඉටු කරමින් සිටිනවා. ඔබගේ ජීවන මට්ටම ඉහළ දැමීම අපේ අරමුණයි. පහළ වැටී තිබූ තේ මිල දැන් ඉහළ මිලකට ගිහිල්ලා. අප ආණ්ඩුව ගන්නා විට 50 x 58 මට්ටමේ තිබූ තේ මිල අද සීඝ‍්‍රයෙන් වැඩිවෙලා.

තේ ආර්ථිකයට පමණක් සිරවී නොසිට පළාතේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම අපේ අරමුණයි. හම්බන්තොට දියුණුව ඇති කරන විට මේ ප‍්‍රදේශයේ ආර්ථිකය ද ශක්තිමත් වෙනවා.”

ඉඩම් සහ පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා

කඩිනම් ඉඩම් ඔප්පු හා බලපත‍්‍ර දීමේ සාර්ථක වැඩසටහන දෙනියායේ පැවැත්වීමට ලැබුණා. අප ගම් දනව්වල සංචාරය කර ජනතාව හමුවී අදාළ කටයුතු කර ඔප්පු දීමට කටයුතු කළා.

කෙටි දින ගණනක් ඇතුළත විශාල පිරිසකට ඔප්පු ප‍්‍රදානය කිරීමට හැකිවූවා. අප අමාත්‍යාංශය ජනතාව ළඟට ගොස් ඔවුන්ගේ ප‍්‍රශ්න විසඳනවා.

රට පුරාම ජනතාවට ඉඩම් ඔප්පු දීම අපේ අරමුණයි. පසුගිය වසර පහටම ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසම දුන් ඔප්පු ප‍්‍රමාණයට වඩා අද අප දෙනියායේ ජනතාවට දෙන ඔප්පු ප‍්‍රමාණය වැඩියි.

ලබන වසරේ සිට ලක්ෂ ගණනින් ඉඩම් ඔප්පු දීමේ කටයුතු අරඹනවා. ඉඩම්වල පදිංචිවී සිටිය ද ඔබට ඉඩමේ හිමිකම තිබුණේ නැහැ. ඔප්පුව හදා ගන්න ඔබට බොහෝ රස්තියාදු වීමට වුණා. ඔප්පුව නැතිව පාසලකට දරුවකු ඇතුළත් කර ගැනීමටවත් හැකියාවක් නැහැ.

අප රජය යටතේ සැමට සින්නක්කර ඔප්පු දෙන බව අගමැතිතුමා මැතිවරණ සමයේදීත් ප‍්‍රකාශ කළා. රට පුරාම ගොස් ඉඩම් ඔප්පු දීමට කටයුතු කරනවා.

වතුකරයේ ලයින් කාමර වෙනුවට ඔවුන්ට නිවාස දීමේ කටයුතු අගමැතිතුමන්ගේ උපදෙස් පරිදි කෙරෙනවා.

ජාතික ප‍්‍රශ්නයට, රැුකියා ප‍්‍රශ්න මෙන්ම ඉඩම් ප‍්‍රශ්නය ප‍්‍රබල ලෙස තිබෙනවා. දේශපාලන වාසි ගැන නොතකා ඒ ප‍්‍රශ්නවලට සැබෑ විසඳුම් ඇත්තේ අගමැතිතුමා ළඟයි.

ඉදිරි වසර දෙක තුන ඇතුළත ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ඔප්පු දුන් ආණ්ඩුවක නියෝජිතයන් ලෙස අප ඊළඟ මැතිවරණයට ඉදිරිපත් වන බව මෙහිදී ප‍්‍රකාශ කරන්න කැමතියි.

මේ අවස්ථාවට ප‍්‍රදේශයේ දේශපාලන නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.