රටේ දේශපාලනය දිනෙන් දින උණුසුම් වෙමින් තිබේ. එකම කඳවුරකින් වුවද නිතර ඇසෙන්නේ එකිනෙකට වෙනස් මතවාදයන්ය. මේ ඒ උණුසුම් දේශපාලනය සම්බන්ධයෙන් ගිනියම් මතවාද මතු කළ තාක්ෂණ, තාක්ෂණ අධ්‍යාපන හා රැකියා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ හඬය.

 


ප්‍රශ්නය:- ඔබ ඉන්නේ සතුටෙන්ද?
පිළිතුර:-
පෞද්ගලික ජීවිතය නම් බොහොම සතුටෙන්. නමුත් වටපිටාවේ ඒ කියන්නේ දේශපාලන ක්ෂේත්‍රයේ සිද්ධ වෙන දේවල් දිහා බැලුවම නම් සතුටු වෙන්න බෑ.


ප්‍රශ්නය:- ඔබ වෘත්තීය දේශපාලනඥයෙක්. ඉතින් අසතුටු වෙලා හරියනවාද?
පිළිතුර:-
ඒකට හේතුවක් තියෙනවනේ. මේ රටේ ප්‍රධාන දේශපාලන දහරාවන් දෙකක් තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත්. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පහුගිය මහ මැතිවරණයට ඉල්ලුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්. එක්සත් ජාතික පක්ෂය පෙරමුණක් හැටියට පක්ෂයෙ ලාංඡනයෙන් ඉල්ලුවේ. මැතිවරණ ප්‍රතිඵල ගත්තාම ශ්‍රී ලංකා එකෙත් යූඑන්පී එකෙත් මන්ත්‍රී සංඛ්‍යාව සමානයි. 82 යි 82 යි ඉන්නේ. අනික් පක්ෂ එකතු වුණාම  තමයි 106 යි 96 යි වුණේ.
දැන් ශ්‍රී ලංකා එකේ කොටසක් ඉන්නවා සම්මුතිවාදී රජයේ. ජනාධිපතිතුමා පක්ෂයේ සභාපති හැටියට හා මධ්‍යම කාරක සභාව ගත්ත තීරණයකට අනුව අවුරුදු දෙකකට සම්මුතිවාදී ආණ්ඩුවට ගියා.


ප්‍රශ්නය:- දැන් අවුරුදු දෙක ගෙවෙන්න ළඟයි?
පිළිතුර:-
මම ඒ ගැනත් කියන්නම්. අපේම කට්ටියක් සම්මුතිවාදී ආණ්ඩුවට ගියා. තව පිරිසක් විපක්ෂයේ ඉන්නවා. දැන් මේ තත්ත්වය පළාත් සභාව, නගර සභාව හරහා ගම් මට්ටම දක්වාම යනවා. මේක දේශපාලනික වශයෙන් හොඳ තත්ත්වයක් නොවෙයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. ඉතින් මම දේශපාලනය ආරම්භ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්. අත ලකුණෙන් මුලින්ම තරග කළේ. අදත් ඉන්නේ පක්ෂයේ. ඉතින් ඒ නිසා මේ තියෙන ව්‍යාකූල තත්ත්වය ගැන සතුටු වෙන්න බෑ කියලා කිව්වේ ඒකයි.


ප්‍රශ්නය:- ඔබ ව්‍යාකූල තත්ත්වයක් ගැන කතා කරනවා. ඉතින් ඔබත් ඒකට  හවුල්නේ.
පිළිතුර:-
ඒ කොහොමද?


ප්‍රශ්නය:- ඔබ ඇමැති ධුරයක් දරනවා?
පිළිතුර:-
දැන් මම ඇමැති කෙනෙක් නොවුණා නම් මම මොකක්ද කරන්න ඕනෑ. මම ඇමැති කෙනෙක් වුණේ  තනියෙන් ගත්ත තීරණයක් අනුව නොවෙයි. පක්ෂයක් හැටියටයි ඒ තීන්දුව ගත්තේ.


ප්‍රශ්නය:- ඔබ අසතුටෙන්ලු. එහෙම නම් ඇයි ඒ අසතුටුදායක තීන්දුව ගත්තේ?
පිළිතුර:-
පහුගිය මහ මැතිවරණයෙන් පස්සේ 113 ක් ඕනෑනේ රජයක් පිහිටුවන්න. 113 ගත්ත එක පක්ෂයක්වත් නෑ. ප්‍රධාන පක්ෂ දෙකටම වෙන පක්ෂ එකතු කරගෙන ආණ්ඩුවක් හදන්න බෑ. ටී.එන්.ඒ. එකයි ජේවීපී එකයි දෙකම එකතු කරගන්න වෙනවා. එහෙම නම් කරන්න තිබුණේ ශ්‍රී ලංකා එකෙන් හරි යූඑන්පී එකෙන් හරි කඩල ගන්න. හැබැයි ශ්‍රී ලංකා එකේ සභාපතිවරයා හැටියට මෛති්‍රීපාල සිරිසේන මැතිතුමා පත්වෙච්ච නිසා ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය එතුමාට සම්පූර්ණ සහයෝගය දුන්න නිසා දෙපැත්ත කඩාගෙන ආණ්ඩුවක් හදන්න පුළුවන්කමක් තිබුණේ නෑ. ඉතිහාසයේ එහෙම වුණා. 2005 දී මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙනකොට ජේවීපී එකේ මන්ත්‍රීවරුන් 38 ම හිටියේ විපක්ෂයේ වාඩි වෙලා. ආණ්ඩු පක්ෂයට බහුතරය තිබුණෙම නෑ. අපට හිටියේ 104 යි. එයින් 38 ක්ම ජේවීපී. හැබැයි ජේවීපී එක විරුද්ධ වුණේ නෑ 2005 ඉඳල. 2010 වෙනකම්ම ඒ ගොල්ලෝ විරුද්ධ වුණේ නෑ. විමල් වීරවංශ මැතිතුමා 2007 වෙනකම් හිටියේ ඒ කණ්ඩායමේ. කරු ජයසූරිය මැතිතුමා ඇතුළු 18 ක් යූඑන්පියෙන් ඇවිත් ඇමැති තනතුරු දරපු නිසයි ආණ්ඩුව අරන්යන්න පුළුවන් වුණේ. එහෙම තත්ත්වයක් මෙතැන මතු වෙන්නේ නැහැ. මෙතැන තත්ත්වය ඊට වෙනස්නේ. එතකොට ආණ්ඩුවක් හදන්නත් ඕනැ. ආණ්ඩුවක්  හදන්නේ නැතිව රට ගෙනියන්න බැහැනේ. එහෙම නම් ජනාධිපතිවරයාට වගකීමක් තියෙනවා රජයක් හදන්න. ඒ නිසා පක්ෂ දෙක තීන්දුවක් අරගෙන සම්මුතිවාදී ආණ්ඩුවක් හැදුවේ නිශ්චිත කාල සීමාවකට, නිශ්චිත අරමුණක් සඳහා.


ප්‍රශ්නය:- මොකක්ද ඒ නිශ්චිත අරමුණ?
පිළිතුර:-
අංක එක තමයි ජිනීවා වගේ ප්‍රශ්නයක්. අපි කොහොමද රටක් විදිහට ඒකට මුහුණ දෙන්නේ කියන කාරණය. අනිත් එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය.


ප්‍රශ්නය:- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අකුල් හෙළන්නේ ශ්‍රී ලංකා එක බවයි යූඑන්පිය කියන්නේ.
පිළිතුර:-
අපි ඒකට සම්බන්ධ වුණේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයකට. විශේෂයෙන්ම ජනමත විචාරණයකට තුඩු නොදෙන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයකට. අනික් කාරණය තමයි ආර්ථික සංවර්ධනය. 


ප්‍රශ්නය:- ඒ අරමුණු ඉටුවෙලා තියෙනවද?
පිළිතුර:-
ජිනීවා ප්‍රශ්නයට අපි යම් ආකාරයකින් මුහුණ දෙනවා. ආර්ථික සංවර්ධනය පැත්තෙන් ගත්තොත් කිසිම ආකාරයකින් සතුටු වෙන්න බෑ. පසුගිය අයවැයවලදී පවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට අපේ යෝජනා අපි ඉදිරිපත් කළා.


ප්‍රශ්නය:- ඒවා පිළිඅරගෙන නෑ.
පිළිතුර:-
ඔව්. සාධනීය ඒවා එකක්වත් පිළිඅරගෙන නෑ.


ප්‍රශ්නය:- ඔබට උදාහරණයක් දෙන්න පුළුවන්ද?
පිළිතුර:-
දැන් බලන්න වැට් හඳුන්වා දීම. ඒකට අපේ එකඟතාවක් තිබුණේ නැහැ. අන්තිමට මාස 11 යනතුරු වැට් එක දාගන්න බැරි වුණා. ඒකට ටැක්ස් එක එකතු වුණෙත් නෑ. මිනිස්සු පාරට බැස්ස. පෙළපාළි ගියා. අන්තිමට ජනාධිපතිතුමා සහ ආණ්ඩු පක්ෂය මැදිහත් වෙලා තමයි යම් මට්ටමකින් සංශෝධනයක් හරි කරගන්න පුළුවන් වුණේ. හරි, එතැන අසාර්ථකත්වයන් දෙකක්නේ. එකක් අයවැය යෝජනා ක්‍රියාත්මක වුණේ නෑ. දෙක ප්‍රායෝගික වුණේ නෑ. ස්වීප් ටිකට් එකේ මිල වැඩි කිරීම ගන්න. මෙන්න මේ වගේ සුළුදේවල්වලින් රටේ ආර්ථික ප්‍රශ්නයට මුහුණ දෙන්න පුළුවන් කමක් නැහැ. ඉස්සෙල්ලාම ඒක තේරුම් ගන්න ඕනෑ.


ප්‍රශ්නය:- ඔබ කියන්නේ ආණ්ඩුව ඒක තේරුම් අරගෙන නෑ කියලද?
පිළිතුර:-
පේන්න තියෙන දේ මොකක්ද? කොහොම වුණත් අපේ ගිවිසුමට අනුව අවුරුදු දෙක ගත වෙන්න තව තියෙනවා මාස හතරක් විතර. අපේ මතය පක්ෂය හැටියට යූඑන්පී නායකයන් එක්ක කරන සාකච්ඡාවලදී මතු කරලා තියෙනවා.


ප්‍රශ්නය:- සැප්තැම්බරයට අවුරුදු දෙක පිරෙනවා. එතකොට තීන්දුවක් ගන්නවා කියලද කියන්නේ?
පිළිතුර:-
ඔව්. ඒ වෙනකොට අපට පක්ෂය හැටියට රැස්වෙලා තීරණයක් ගන්න වෙනවා.


ප්‍රශ්නය:- මගේ ප්‍රශ්නය වුණේ ගන්නා තීන්දුව මොකක්ද කියලයි?
පිළිතුර:-
මෙහෙමයි. අපි එකඟ වෙච්ච කාරණා ඉටු වෙලාද නැද්ද කියලා බලන්න වෙනවා.


ප්‍රශ්නය:- ආර්ථිකය සම්බන්ධයෙන් මේ ආණ්ඩුවේ දැක්ම ගැන ඔබ තෘප්තිමත් නැහැ.
පිළිතුර:-
ඇත්තවශයෙන්ම ඕනෑම පුද්ගලයෙකුට, ආයතනයකට, රටකට දැක්මක් තියෙන්න ඕනෑ. දැක්මක් නැතිව කොහේද යන්නේ කියලා දන්නේ නැහැනේ. දැක්මක් තිබුණොත් තමයි සියලු ආයතන එකට එකතු කරලා මෙහෙයවන්න පුළුවන් වෙන්නේ. අද බැලූ බැල්මට එහෙම එකක් පේන්නේ නෑ. විදේශ ආයෝජන ගන්න පසුගිය අවුරුද්දේ විදේශ ආයෝජනවල මුළු වටිනාකම ඩොලර් මිලියන හයසීයයිනේ. එතකොට ඒ පැත්තෙන් අපි සාර්ථක වෙලාද? ඊළඟට අපනයනය ගන්න. අපනයනයේ තිබිච්ච පරිමාව හා එහි මූල්‍යමය වටිනාකම ඊට පෙර අවුරුදු එක්ක සන්සන්දනය කරන කොට ඒ මට්ටමටවත් ඇවිත් නැහැ. ආනයනය වැඩිවෙලා තියෙනවා. අද රටේ  තියෙන ප්‍රධානම ආර්ථික ප්‍රශ්නය තමයි කොහොමද වෙළෙඳ ශේෂය පියවා ගන්නේ කියන එක. ඒ වෙළෙඳ  ශේෂය පියව ගැනීමට එකතු වෙනවා විදේශයෙන් ගත්ත ණය හා ණය වාරිකයත්, පොලියත්. එහෙම එකතු වුණාම ඒ එකතු වී කොහොමද කියලා බලන්න වෙනවා.


ප්‍රශ්නය:- දැන් ජී.එස්.පී. ප්ලස් සහනයත් ලැබෙනවා කිව්වනේ.
පිළිතුර:-
එතැනත් ප්‍රශ්නයක්නේ. බි්‍රතාන්‍ය දැන් යුරෝපා සංගමයෙන් අයින් වෙලා. එතකොට සියයට 30 ක් බි්‍රතාන්‍යයට යනවා. ජී.එස්.පී. ප්ලස් සහනය ලැබුණත් ඒකෙන් සියයට 30 ක් බි්‍රතාන්‍යයට යනවා. ඊළඟට සහනය ලැබුණත් අපෙන් යන නිමැවුම්, ඇඟළුම් තරගකාරී වෙළෙඳ පොළ තුළ තරග කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය තියෙනවා. අපේ විදුලිබිල වැඩියි. අපේ ලේබර් කොස්ට් එක වැඩියි. ඒ නිසා අපේ ඇඟලුම් කම්හල් හිමියන් පවා අඩු පිරිවැයක් තියෙන රටවල්වලට  කර්මාන්ත ශාලා ගෙනියනවා. ඒ නිසා මේවා මේ විෂය බාරව තියෙන අමාත්‍යාංශ. ඒවායේ අය මේවා වෙන වෙනම විග්‍රහ කරගෙන එක තැනකට ඇවිල්ලා තීන්දු ගන්න ඕනෑ. එහෙම නැතිව අතන කරන එක මෙතැන දන්නේ නෑ. මෙතැන කරන එක එතැන දන්නේ නෑ. විදේශ නියෝජිතයෙක් ලංකාවට ආවට පස්සේ ආවට වඩා වැඩි වේගයකින් දුවනවා. සමහර ඒවා අනුමැතිය දීලා නවත්වනවා. දැන් ගිය ආණ්ඩුව කාලේ අනුමැතිය දීලා තියපු ඒවා ඔක්කොම නැවැත්තුවා.


ප්‍රශ්නය:- දේශපාලන කාරණා වෙනුවෙන්?
පිළිතුර:-
ඔව්. දේශපාලන කාරණා වෙනුවෙන්. ඒවා හොයලා බැලුවේ නැහැ. කලින් ආණ්ඩුව අනුමැතිය දුන්නා කියමුකෝ. දෙනකොටත් ඔක්කොම ඒවා බලනවනේ. මේ ගොල්ලෝ ඒකට අලුත් යෝජනාවක් ගෙනල්ලා හරි ඒක අතනින් තල්ලු කරනවා. එතකොට විදේශ ආයෝජකයන්ගේ විශ්වාසය බිඳ වැටෙනවා. එතකොට ඒ අය එන්නේ නැහැ.


ප්‍රශ්නය:- දැන් වෙලා තියෙන්නේ ඒක?
පිළිතුර:-
ඔව්. ඒක තමයි වෙලා තියෙන්නේ.


ප්‍රශ්නය:- මේ ආණ්ඩුව නිතරම කියනවා මහින්ද රාජපක්ෂ මේ රට ණය උගුලක හිරකරලා කියනවා. ඔබත් ඒක පිළිගන්නවද?
පිළිතුර:-
නෑනේ. අපේ රට 1950 න් පස්සේ වරින්වර ණය අරගෙන තියෙනවා. මහවැලිය හදන්නත් ණය ගත්තනේ. හැබැයි ඒක ආයෝජනයක්. ඒක රිකවරි වෙන්න අවුරුදු කීපයක් ගත වෙනවා. අපි විදුලි බලාගාරයක් හදන්න ණය ගත්තම  මුලින්ම විදුලි ඒකකයක පිරිවැය රුපියල් පහක් විතර වෙනවා. හැබැයි අවුරුදු තිස්පහක් හතළිහක් ගිහින් ණය ගෙවීමට ඔෆරේටින් කොස්ට් එක විතරයි එන්නේ. රුපියලකට වඩා අඩු වෙනවා. ඔෆරේටින් කොස්ට් එක එතකොට ඒක අපිට ආදායමක්. දැන් එහෙම ණය අරගෙන එදා බලාගාර හැදුවේ නැත්නම් අද මේ ගානටවත් විදුලි ඒකකයක් දෙන්න වෙන්නේ නැහැ.


ප්‍රශ්නය:- මගේ ප්‍රශ්නය වුණේ මහින්ද රාජපක්ෂ රට ණය උගුලක හිර කළ බවට නගන චෝදනාව ගැනයි?
පිළිතුර:-
ණය අරගෙන ඒවා ආයෝජනය කරලා තියෙනවනේ. හයි වේ එක හදන්න ණය ගත්තා. ඉතින් හයිවේ එකක් හදලා තියෙනවනේ. හම්බන්තොට වරාය පේන්න තියෙනවනේ. ඒක අතුරුදන් වෙලා නෑනේ. මත්තල ගුවන් තොටුපොළ තියෙනවනේ. දැන් අපි මොකක්ද කරන්න ඕනෑ. වරායක් හදපු ගමන්. එයාර්පෝර්ට් එකක් හදපු ගමන් සාර්ථක වෙන්නේ නෑ. ලෝකයේ කොහෙත් පටන් ගත්තම එහෙම තමයි.


ප්‍රශ්නය:- නමුත් ඔබේ ආණ්ඩුව මත්තල ගුවන් තොටුපොළ වී ගබඩාවක් කළා?
පිළිතුර:-
මූලික කළමනාකරණ මූලධර්මයවත් නොදන්නාකම නිසානේ එහෙම කළේ. මොන මෝඩයෙක්ද ගුවන් තොටුපළකට හදපු තැනක වී ගබඩා කරන්නේ? මේවායින් පෙන්වන්නේ මොකක්ද මේ. මේවායින් පෙන්වන්නේ එක්කෝ නොහැකියාව. එක්කෝ නොදන්නාකම. මේ ඒකනේ පෙන්වන්නේ. කරන්න තිබුණේ මොකක්ද? නියම කළමනාකරණ මණ්ඩලයක් දාල, කළමනාකරණය දන්න කෙනෙකුට දීලා දියුණු කරන්නනේ. 


ප්‍රශ්නය:- ආණ්ඩුව ඇතුළේ ඔබලා මේවා කතා කරන්නේ නැද්ද?
පිළිතුර:-
ආණ්ඩුව ඇතුළේ මේවා කතා කළාට ඒවාට ඇහුම්කන් දීමක් ඒ ආකාරයෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව.

ප්‍රශ්නය:- ජනාධිපතිවරයත් ඉන්නවනේ?
පිළිතුර:-
ජනාධිපතිවරයත් ඉන්න එක ඇත්ත විධායක යම් ප්‍රමාණයක බලයක් තියාගෙන. නමුත් ආණ්ඩුව ගෙනියන්නේ අගමැතිතුමා යටතේනේ. එතකොට ඔය ආර්ථික කමිටුව කියලා එකක් තියෙනවා. ඒකට තමයි ඔය සියලුම දේවල් ගන්නේ. ආයෝජන එන ඒවා. මුදල් හා සම්බන්ධ හැම එකක්ම මුදල් කමිටුවට අරගෙන එතැන වෙනම දවස් ගණන් සාකච්ඡා කරලා අදාළ ආයතන ගෙනැල්ල එතැන කීප දෙනෙක් එක්ක තීන්දු ගන්නවා. හරි, ඒ තීන්දුව ඊට පස්සේ කැබිනට් එකට ගේනවා.


ප්‍රශ්නය:- ඔබලාට කතා කරන්න තැනක් නෑ.
පිළිතුර:-
අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් එහෙම තමයි සිද්ධ වෙන්නේ. අද කොටස් වෙළෙඳ පොළ කඩා වැටිලා. කවුරුවත් ඒ ගැන කතා කරන්නේ නෑ. ආයෝජකයන් එන්නේ නෑ. ඇයි විශ්වාසය බිඳ වැටිලා. බැඳුම්කර ගැසට් එකේ ප්‍රශ්නය බලන්න. දැන් ඒ ගැසට් එක ගහන්න මහින්ද රාජපක්ෂ මහත්තයට පුළුවන්ද? හරි සරලයිනේ. දැන් කවුද රටේ මුදල් ඇමැති. මෙහෙම රටක්. ජනතාවක් නොමග යවන්න පුළුවන් කියලා හිතනවද?


ප්‍රශ්නය:- ආණ්ඩුවට මෙහෙම යන්න පුළුවන්ද?
පිළිතුර:-
අද පවතින මේ ක්‍රමය යටතේ නම් කිසිම කෙනෙකුට මේ ක්‍රමයට රටක් පාලනය කරන්න බෑ. රටේ ප්‍රශ්න තියෙන බව දැන ගෙනනේ ගත්තේ. අපිට දෙන්න අපි කරන්නම් කියලනේ ගත්තේ. එහෙම නම් දැන් කරන්න ඕනෑ. ණය ගත්තා කියලා කියවලා වැඩක් නැහැ. අද හම්බන්තොට නැත්නම් විකුණන්නේ මොකක්ද? මේ යථාර්ථයට මුහුණ දෙන්න ඕනෑ.


ප්‍රශ්නය:- ඇයි පළාත් පාලන මැතිවරණය නොතියන්නේ?
පිළිතුර:-
අපේ පක්ෂයේ මතය නම් පළාත් පාලන මැතිවරණය තැබිය යුතුයි. නොතියන්න ඕනෑකමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නම් නැහැ.


ප්‍රශ්නය:- එහෙම නම් කාටද ඒ ඕනෑකම තියෙන්නේ. 
පිළිතුර:-
එහෙම ඕනෑකමක් වෙන කාටද තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ. දැන් පුංචි ඡන්දයට අදාළව 2017 දී තමයි පනත් තුනම සම්මත කරගෙන මේ අලුත් ක්‍රමයට ආවේ. එතකොට කවුරුහරි පාර්ලිමේ්නතුවේ මේකට විරුද්ධ වුණාද? කිසිම කෙනෙක් විරුද්ධ වුණේ නෑ. ඒකමතිකව සම්මත වුණේ. කල්ගතවුණේ සීමා නිර්ණය සඳහා ඇපිල් එකක් දාලා. ඒකේ ප්‍රශ්නත් දැන් හුඟාක් දුරට ශුද්ධ පවිත්‍ර කරලා තියෙන්නේ. තවත් කොහේ හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක විසඳාගන්න විතරයිනේ තියෙන්නේ. 335 න් ප්‍රශ්න නැති ඒවා තියෙන්න පුළුවන්නේ දෙසීයක්. ඒ 200 හරි ඡන්දය තියන්න පුළුවන්නේ. ඔය අතරේ තවත් කුඩා පක්ෂ කිහිපයක් දැන් කියනවා අපි ඕකට එකඟ නෑ කියලා. අගමැතිතුමත් එක්ක සාකච්ඡා කරලා තමයි කියන්නේ. ඔය කතා කියන්නේ අවුරුදු හතරකට පස්සේනේ. එතකොට ඡන්ද නොතියන්න ඕනෑකම තියෙන්නේ කාටද කියලා පැහැදිලියිනේ.


ප්‍රශ්නය:- ජනාධිපතිවරයා තාම ඔය ප්‍රශ්නයට අත තිබ්බේ නැහැ?
පිළිතුර:-
ජනාධිපතිතුමා ඒකට මැදිහත් වෙන්න අවශ්‍ය නෑ. අදාළ අමාත්‍යවරයා තමයි ක්‍රියාත්මක විය යුත්තේ.


ප්‍රශ්නය:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩෙන එක නතර කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවද?
පිළිතුර:-
ඒක තරමක සංකීර්ණ ප්‍රශ්නයක්. අපි තනතුරු දරණ කාලෙනම් අපි කොහොමහරි මේක කැඩෙන්න යා නොදී බේරා ගත්තා. එහෙම කරලත් ජනාධිපතිවරණයේදී අපට ලැබුණු ඡන්ද ලක්ෂ 11 ක් අපට ආවේ නෑ. ඒ අයගෙන් සහායක් ආවා නම් මහ මැතිවරණයේ ප්‍රතිඵලය මීට වඩා වෙනස්.


ප්‍රශ්නය:- ජනාධිපති මෛත්‍රී කළ ප්‍රකාශත් ඒකට බලපෑවා?
පිළිතුර:-
ඒක එක සාධකයක් විතරයි. නමුත් අපේ වේදිකාවේ බෙදීමක් තිබුණා. අපට සම්පත් තිබුණේ නෑ. ඒ සියල්ලම බලපෑවා.


ප්‍රශ්නය:- ඔබ කියන්නේ පක්ෂය කැඩෙන එක නතර කරගන්න දැන් තනතුරු දරණ අය අසමත් කියලද?
පිළිතුර:-
එහෙම දෙයක් නොවෙයි මම කිව්වේ. අපි හිටපු කාලයට වඩා වෙනස් පරිසරයක් දැන් තියෙන්නේ. බොහොම පරිස්සමෙන් තමයි දැන් තීන්දු, තීරණ ගන්න ඕනෑ.


ප්‍රශ්නය:- ආණ්ඩුවේ වැඩයි, පක්ෂයෙ වැඩයි බැලුවම ඔබට හිතෙන්නේ නැද්ද ඔබත් ඒකාබද්ධ විපක්ෂයෙ හිටිය නම් හොඳයි කියලා.
පිළිතුර:-
ඒකාබද්ධ විපක්ෂයෙ හිටියා නම් ඇත්තටම උසාවි ගිහින් මට නඩු ටිකක් අහගෙන ඉන්න තිබුණා. ඊට වඩා දෙයක් කරන්න බෑනේ.


ප්‍රශ්නය:- ඔබ පොතක් ලියනවා කිව්වා. ඒක ලිව්වද?
පිළිතුර:-
නෑ. ඒ පොතට කලින් මගේ ආචාර්ය උපාධියෙ වැඩ ටික අවසන් කරන්නයි හිතාගෙන ඉන්නේ.

 සාකච්ඡා කළේ - ප්‍රසන්න සංජීව තෙන්නකෝන්