ජනපති රාජ්‍ය නිලධාරීන්ට කියයි

 

 

(විනීතා එම් ගමගේ)

මේ වසර මැතිවරණ වර්ෂයක් බැවින් මැති ඇමැතිවරුන් එනතුරු බලා නොසිට ඒ ඒ අවස්ථාවන්හිදී පැවැත්විය යුතු කමිටු රැස්වීම් සියල්ල නිසිවේලාවට පවත්වා රට වෙනුවෙන් කළ යුතු මෙහෙය නිසිලෙස ඉටු කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීන්දු තීරණ ගන්නා මට්ටමේ සියලු රාජ්‍ය නිලධාරින්ගෙන් පෙරේදා (11) ඉල්ලීමක් කළේය.

මැතිවරණ වසරක් නිසා දේශපාලකයින් මැතිවරණ කටයුතුවල නියැළෙනු ඇති බවත් සංවර්ධන වැඩ සඳහා ඔවුන්ගේ සහභාගිත්වය බලා සිටියහොත් දැනට පවතින සියයට 3.4 ක ආර්ථික වර්ධන වේගය බින්දුවටත් පහළ යාම වැළැක්විය නොහැකිවනු ඇති බවත් හෙතෙම කියා සිටියේය. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පෙරේදා (11) පැවැති රැස්වීමක් අමතමිනි. ග්‍රාමශක්ති ජාතික මෙහෙයුම් වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා තිබිණි.

එහි දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද කියා සිටියේය. “චක්‍රලේඛ නොයවා අද ඔබ මේ විදියට කැඳෙව්වවේ ඇයි කියා ඔබ හිතනවා ඇති. මාධ්‍ය තුළත් දේශපාලන ලෝකයේත් මේ දිනවල කතා කරන පරිදි මේ වර්ෂය මැතිවරණ වර්ෂයක්. දේශපාලකයන් දේශපාලනය කරද්දි නිලධාරින්ගේ වගකීම හා යුතුකම වන්නේ ඔබේ රාජකාරිය හා යුතුකම් වගකීම් ඉටු කිරීමයි. ඊයේ දවසේ සිදුවූ සිදුවීම් කතා කිරීම හෝ හෙට දවසේ සිදුවන දේ කතා කිරීම නොව අද දවසේ අප විසින් කළයුතු දේ සිදුකිරීමයි අවශ්‍ය වන්නේ. මේ මැතිවරණ වර්ෂයක් නිසයි අද ඔබ කැඳෙව්වේ. ආර්ථික වර්ධන වේගය වගේම ජී.ඩී.එච්. එනම් සතුට පිළිබඳ දර්ශකය ගැනත් කතා කළ යුතුයි. සතුට හදන්න ලංකාවේ ජනතාවට බාධාකරන දෙන්නෙක් ඉන්නවා. ඒ දේශපාලකයන් සහ මාධ්‍යයි. මේ දෙගොල්ලො සතුට ඇති කිරීමට බාධා කරනවා.

සතුටට හානි කරනවා. සතුට ඇති කරන්න නොදී වෙන වෙන ප්‍රශ්න ඇති කරනවා. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක ඇති ප්‍රශ්නයක් ලෙසයි මම දකින්නේ. මේ මැතිවරණ වර්ෂයේ දී අපේ ආර්ථික වර්ධන වේගය කොපමණද? සියයට 3.4යි. මේ වේගයේ ඉන්න අපි මේ අවුරුද්ද මැතිවරණ වර්ෂයක් නිසා දේශපාලන ක්ෂේත්‍රයේ සිටින අය ඒ කටයුතුවලට ප්‍රවේශ වන අතර ඔබේ කාර්යක්ෂමතාව අඩු වුණොත් නැත්නම් දේශපාලකයන් කරන දේ ගැන අවධානය යොමු වුණොත් ලබන අවුරුද්දේ සියයට බින්දුව නොවෙයි රින ගණනක් වෙන්නත් පුළුවන්. මේ වසර හැරවුම් වසරක් විය යුතුයි. සංවර්ධන අංශ අඩපණ වේද කියා බයක් තිබෙනවා. මේ වර්ෂයේ අපි වැටුණොත් බින්දුවේ ඉඳල යන්න වේවි. ඒ නිසා අපේ සාමූහික ප්‍රයත්නයක් තිබෙනවා. කලට වේලාවට ඉටු කිරීමට අවශ්‍ය වෙනවා. මම නිදහස් දිනයේ කළ කථාවේදීත් කිව්වා වගේම විරැකියාව සියයට තුනයි දශම පහයි. දුගිී භාවය සියයට 40න් එහා. මම මේ ගැන සති දෙකක් ඇතුළත කතා කරන තුන්වැනි අවස්ථාවයි මේ. එහෙම කියන්නේ මෙහි තිබෙන වැදගත්කම දැඩිලෙස අවධාරණය කරන්නයි. දැඩිලෙස හිතට ගන්නයි. මගේ දරුවන් සහ ඔබේ දරුවාත් පුරවැසියන්ගේ දරුවනුත් හෙට දවසේ විශාල අභියෝගයකට මුහුණ දෙනවා.

අපි පැහැදිලි ලෙසම රාජ්‍යසේවයේ තත්ත්වය ගත්විට රාජ්‍යසේවයේ කාර්යක්ෂමතාව සියයට 30 යි. රාජ්‍ය සේවකයින් ලක්ෂ 16යි. පුරවැසියන් සියයකට නිලධාරින් 18යි. ලෝකයේ කිසිම රටක මේතරම් විශාල පිරිසක් ක්ෂේත්‍ර නිලධාරින් ඉන්නවා ද මම දන්නේ නැහැ. මේනිසා ප්‍රධාන වශයෙන් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සියයට 30ට වැටිලා අපි කොතැනකට ද යන්නේ. මේ ප්‍රමාණය සියයට 70 කරගත යුතුයි. මේක අභියෝග යක්. මේවා මේ ගැන තියෙන ප්‍රශ්න හා ගැටලු ගැන කතා කරන්න. මේවට උත්තර සෙවීමේ දී තිහ 70 කරන්න බැරි වුණත් 50ට යන්න බලන්න ඕන. එතකොට 40කට වත් යන්න පුළුවන් වේවි. මේ කරුණේ දී මූලික වශයෙන් ඔබ විසින් කළයුතු දේ බොහෝයි. කාර්යාලයේ සේවය කරන පිරිස නැගිටුවීම කාර්යක්ෂම කරගැනීමේ නායකත්වය ඔබ ගන්න. මේ සියල්ල සමඟ රාජ්‍ය සේවයේ බහුශ්‍රැතයන් ඉන්නවා. ඒ නිසා මා ඉල්ලන්නේ දෙවියන්ගේ නාමෙන් ඔබ ඔබේ වැඩ ටික කරන්න. මේ සියල්ල සමඟ අපි ග්‍රාමශක්ති සතියක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. මේ සතියේ දී සියල්ල වෙනුවෙන් අවශ්‍ය නායකත්වය ගන්න කියා මා ඉල්ලනවා. මගේ අත් දැකීම අපේ රටේ වැඩිම දරිද්‍රතාව ඇත්තේ උතුරේ හා නැගෙනහිර ප්‍රදේශවලයි. පළාත් 9 සංඛ්‍යාලේඛන දෙස බැලුවාම ආර්ථික පසුබිමෙන් නව විදියක්. සංස්කෘතික පසුබිමෙන් නව විදියක්. මහනුවර මාතලේ කතා කරන සිංහල ගාල්ල මාතර කතා කරන විදියේ වෙනස්කම් තිබෙනවා.

මේක මහා වාසනවන්ත පුණ්‍යවන්ත ඒ වගේම භාග්‍යවන්ත රටක්. එහෙනම් ඇයි මේ පසුබෑම සිදුවී ඇත්තේ. ග්‍රාම ශක්ති වැඩසටහන රාජ්‍ය අංශය පෞද්ගලික අංශය හා ජනතාව මැදිහත් කරගත් වැඩ පිළිවෙළක්. මේ ත්‍රිකෝණයේ පුළුල් ජාතික අරමුණක් ඉටු කරගන්න කරන වැඩක්. මෙහි ප්‍රමුඛත්වය කාන්තාව හා තරුණයින්. ප්‍රධාන වශයෙන්ම නිෂ්පාදන ක්‍රියාවලිය පහත වැටීම දැනට පවතින ප්‍රධාන ප්‍රශ්නයක්. උවමනා දේට වඩා නුවුවමනා දේ වෙළඳ පොළේ තිබෙනවා. මේ ග්‍රාම ශක්ති වැඩසටහන් පැහැදිලිවම නිෂ්පාදන ක්‍රියාවලියකි. දුගී භාවය නැති කිරීම සඳහා පෞද්ගලික ජීවිත පවුල් සංස්ථාවල වගේම ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමයි. විදේශ වත්කම් වැඩි කිරීමයි. අපි පුංචි කාලෙ ඉස්කෝලෙ ඇරිල ගිහින් උණපඳුරකින් කෑල්ලක් කපන් ඇවිත් අම්මට කරදර කරල නූල් පාට කොල ගෙනත් සරුංගල් හදපු අපි, අද සරුංගලයක් නිර්මාණය කරන්න දෙන්නේ නැහැ. සරුංගලය පිටරටින් ගෙනෙනවා. මේකයි යථාර්ථය. කොහොම ද මේකෙන් මිදෙන්නේ? අපි ආර්ථික සංවර්ධන නිලධාරීන්ට වගකීම් දෙන බව ඔබ දන්නවා. නමුත් ඒ තනතුරට සීමා නොවී ජාතික වගකීම් ඉටු කරන්න ඔබ ක්‍රියා කළ යුතුයි. දිසාලේකම් තුමන්ලාගේ ප්‍රධානත්වයෙන් එහා ප්‍රදේශීය ලේකම්තුමන්ලාගේ ප්‍රධානත්වයෙන් එහි කාර්ය මණ්ඩල ශක්තිමත් කළ යුතුයි. ග්‍රාම ශක්ති වැඩසටහන දුගී භාවය තුරන් කිරීමටයි. පොලිසිය මගේ භාරයට ගත් මේ මාස දෙක තුනේ අපිට ලොකු ප්‍රතිඵලයක් පෙන්වන්න පුළුවන්කම ලැබිල තිබෙනවා. මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්නය ගැන අපි පසුගිය වසර ගණනාවක් තිස්සේ චක්‍රලේඛ ගණනාවක් එවල තිබෙනවා. අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්, දිසාලේකම් කාර්යාලයේ දිසාලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් සියලුම රාජ්‍ය දෙපාර්තමේන්තුවකම එහි ප්‍රධානියාගේ මූලිකත්වයෙන් කමිටුවක් මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් හදන්න කියලයි අපි යැව්වේ. මම දන්නවා සමහර ප්‍රදේශවල ඒ චක්‍රලේඛයෙන් එහා ගිහින් කටයුතු කළ බව.

එවැනි සමහර ගම්මාන කිසිම මත්ද්‍රව්‍යයක් නැති ගම්මාන බවට පත් කරගෙන තිබෙනවා. නමුත් සමහර ආයතනවලට චක්‍රලේඛය ගියා ද වත් දන්නේ නැහැ. මේ ගැන කිසිම අන්දමකින් නොසලකා සිටි බවත් කිව යුතුයි. පහුගිය අවුරුදු තුනහමාරෙන් අවුරුදු තුනක දී උතුරේ ගමකට ගියොත් මා වට කර ගත්තේ අතුරුදන් වූ දරුවන්ගේ මවුවරුන්. ඉල්ලුවේ ළමයි. අවුරුදු දහයක් ගතවෙලා නිසා ඒ පිළිබඳව යම් යම් ක්‍රියාමාර්ග අරන් තිබෙන නිසාත් යම් ප්‍රමාණයකට ඒ හඬ පාලනයවෙලා තිබෙනවා. අද උතුරට ගියොත් කරන ඉල්ලීම වෙන්නේ අපේ ගමේ ජීවත් වෙන්න බැහැ අරක්කු කසිප්පු ගංජා නිසා. ඒවා ඉවත් කර දෙන්න කියලා. අද මුළු රටේම හඬක් බවට පත්වෙලා. අපි පුළුල් ලෙස මත්ද්‍රව්‍ය පාලනය දුරුකිරීම පටන් ගත්තේ. මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් පුනරුත්ථාපනය කරන්න අධිකාරියක් හදන්න අපි තීරණය කළේ මේ නිසයි.

ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබිල තිබෙනවා. මේ රටේ විෂ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පිරිස ලක්ෂයක් පමණ වෙන බව වාර්තා වෙනවා. ඔවුන් පුනරුත්ථාපනය කරන්න තිබෙන ආයතන ගණන ඉතාම අල්පයි. පෞද්ගලික අංශය හා ස්වාමීන් වහන්සේලා කරගෙන යන ආයතන කිහිපයකුත් රාජ්‍ය අංශයේ කිහිපයකුත් තිබෙනවා. ඒවා ප්‍රමාණවත් නැහැ. භාවිතා කරන අය වගේම ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන්න අවශ්‍ය පසුබිම අපි ගොඩනැගිය යුතුයි. අද වනවිට රටේ වන ඝනත්වය සියයට 28යි. වර්ෂයකට සියයට 1.5ක් අඩුවෙනවා. එතකොට තියෙන ගස් සියයට විසි අට ඉවර වෙන්න අවුරුදු කීයද යන්නේ. එතකොට අර රතු ඉන්දියන් නායකයා කී දේ තමයි වෙන්නේ. මේ රට වෙනුවෙන් රාජ්‍ය නිලධාරින්ගෙන් මම ඉල්ලන්නේ අපි ජීවත් වෙන කාලය ගත්තාම සියලු දෙනාගේ දරු පරම්පරාවට හොඳ රටක් හදන්න අපි මූලික විය යුතු බවයි. අපි ජීවත්වෙන කාලයෙන් කොයි තරම් කාලයක් ද රට වෙනුවෙන් කටයුතු කරන්න ලැබෙන්නේ. ගස් කැලෑව වයසට ගිහින් මැරුණාම දරට ගන්නවා. ගොඩනැගිලි හදන්න ගන්නවා. පොහොරට ගන්නවා. සතුන් මිය ගියාම ඇට කැබලි ප්‍රදර්ශනයට ගන්නවා. ඖෂධවලට ගන්නවා. භාණ්ඩ නිෂ්පාදනයට ගන්නවා. නමුත් සතුන් අතර දියුණුම සත්වයා වන මිනිසා මිය ගියාම ඇට ගන්නෙත් නැහැ පොහොරට ගන්නෙත් නැහැ. පස්වෙන්න දමනවා. මුළු පරිසර සංරක්ෂණයටම අපට වඩා ගහකොල සහ සතා සිව්පාවා උරදෙනවා.

 

අමාත්‍ය දයා ගමගේ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.ම් හිස්බුල්ලාහ් යන මහත්වරුන් ඇතුළු පිරිස උත්සවයට එක්ව සිටි අයුරු

 

 

තිරසර සංවර්ධනයේ නියමුවා වන්නේ බුදු හිමියන්. කිතුණු දහමේ ඉස්ලාම් දහමේ ඇතුළු සියලු දහම්වල පරිසරය රැක ගැනීමේ වටිනාකම දේශනා කර තිබෙනවා. අධ්‍යාත්මික දර්ශනවල පැහැදිලිවම දේශනා කර තිබෙනවා මේ ගැන. ඉන් පසු බිහිවූ පඬිවරු පවා මේ කරුණු දේශනා කර තිබෙනවා. දිසා ලේකම්වරුන් අමතක කරන්න එපා. මේ වසර මැතිවරණ වසරක්. ඒ නිසා පැවැත්විය යුතු කමිටු රැස්වීම් මන්ත්‍රීතුමා ආවේ නැත්නම් යොදා ගත් දිනයට පවත්වන්න. ප්‍රාදේශීය සම්බන්ධීකරන කමිටු සියල්ල ඒ අයුරින් කරන්න. සේනා දළඹුවා නිසා එල්ලවූ අභියෝග ඔබ දකින්න ඇති. කාල ගුණ විපර්යාස ගැන නිකුත්වී ඇති අන්තර් ජාතික වාර්තාව ඔබ දකින්න ඇති. 2019 වසර කාලගුණ විපර්යාසවලට මුහුණ දෙන රටවල් අතර ශ්‍රී ලංකාව ඉන්නේ අංක දෙකට. ඉදිරි මාස කිහිපය තුළ මේ රටට මොන වගේ විපර්යාසවලට මුහුණ දෙන්න සිදුවේද දන්නේ නැහැ. මේ පිළිබඳ අවධානයෙන් ඉන්න. සුළි සුළං නායයෑම් ආදිය ගැන කල්පනාවෙන් ඉන්න. මෙන්න මේවා ගැන දැනුවත් කිරීමටයි ඔබ අද කැඳෙව්වේ. ” යැයි ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. අ්‍යන්තර හා ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ද මෙහිදී සභාව ඇමතීය. රැස්වීම ආරම්භයේ ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න මහතා අරමුණු පැහැදිලි කරමින් පැමිණ සිටි පිරිස පිළිගත් අතර ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය තුළ ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන ක්‍රියාදාමයේ වැදගත්කම මැයෙන් මහාචාර්ය ජේ. එම්. ගුණදාස මහතා ද එම ව්‍යාපාරයේ සංකල්පය දැක්ම හා ඉදිරි ගමන් මඟ මැයෙන් නීතිඥ ශිරාල් ලක්තිලක මහතා ද, විසි එක්වන සියවසේ ගම මැයෙන් ආචාර්ය සුනිල් රණසිංහ මහතා ද මෙහිදී දේශන පැවැත්වූහ.