(අංජුල මහික වීරරත්න සහ දෙනියාය - විශේෂ එස්.ඩී. කොඩිකාර)

ගංවතුරෙන් සහ නාය යාමෙන් ආපදා වූ ප්‍රදේශ යළි ගොඩනැංවීම සඳහා අවශ්‍ය මුදල් සියල්ල සොයා ගෙන අවසන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙනියාය-කොටපොළදී පැවැසීය.

“නිවාස ඉදිකිරීම් ඇතුළු සෙසු වැඩ කටයුතු සඳහා රුපියල් බිලියන 20 ක් අවශ්‍ය බව ඇස්තමේන්තු කර ඇතැයි කී අග්‍රාමාත්‍යවරයා, සම්පූර්ණයෙන් බිඳ වැටුණු ආර්ථිකය කෙටි කලක් තුළ යථා තත්ත්වයට පත් කිරීම සඳහා කැපවන බව අවධාරණය කළේය.

දේශපාලන බේද ඉවතලා ජනතාව වෙනුවෙන් වැඩ කරන්නට එක්වන්නැයි සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටින බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුවේ නාය යාමෙන් සහ ගංවතුරෙන් ආපදා වූ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශවල සංචාරය කරමින් එහි ජනතාව හමුවී ඔවුන්ගේ සුවදුක් විමසීමෙන් පසු රාජ්‍ය නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවේදීය.

කොටපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සාකච්ඡාව පැවැත්විණි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවැසීය.

ගංවතුරෙන් ආපදාවට පත් ජනතාවට ඒ අවස්ථාවේම සහන සැලසීමට රජය ලෙස අප ක්‍රියා කළා. ගංවතුර ආපදා තත්ත්වය මේ වනවිට අවසානයි. දැන් කිරීමට තිබෙන්නේ ආපදාවට පත් ප්‍රදේශ නැවත යථා තත්ත්වයට පත් කිරීමයි. ඒ පිළිබඳ කරුණු අවබෝධ කර ගනිමින් සහ සාකච්ඡා කරමින් අවශ්‍ය සහන සැලසීමට කටයුතු කරනවා.

පසුගිය අඟහරුවාදා දිනයේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති අමාත්‍යවරුන් සහ නිලධාරින් සහභාගිවූ සාකච්ඡාවේදී මේ පිළිබඳව අවශ්‍ය කටයුතු කිරීමට අප තීරණය කළා.

මීට පෙර අදහස් දැක්වූ ඇමැතිවරුන් දෙදෙනාම පැවැසූ පරිදි සහන සැලසීමේ කටයුතුවල දී අප සාර්ථක ලෙස ක්‍රියා කළේ කෙසේ දැයි විශේෂයෙන් මා පැවැසිය යුතුයි. එලෙස සාර්ථක වීමට හැකි වූයේ ඒ අවස්ථාවේදී දක්ෂ ලෙස ක්‍රියා කළ නිලධාරින් නිසයි.

බදාදා පස්වරුව වනවිට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි යයි තොරතුරු ලැබී තිබුණා. ඊට සූදානම් වීමට බ්‍රහස්පතින්දා දිනයේ අප වැඩ කටයුතු රාශියක් කළා. ස්වදේශ කටයුතු අමාත්‍යවරයා දිසා ලේකම්වරුන්ගේ හමුවට පැමිණ සිටි නිලධාරීන් දැනුම්වත් කර වහාම ඔවුන්ගේ ප්‍රදේශ කරා පිටත්කර හැරියේ ඇති වන ගංවතුර තත්ත්වයට මුහුණදීමට උපදෙස් දීමෙන් අනතුරුවයි.

එමෙන්ම පොලිසියත්, නාවික හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාවත් ආපදා තත්ත්වයට මුහුණදීමට සූදානමින් තැබුවා.
එදින රාත්‍රියේ වර්ෂාව දැඩි ලෙස ලැබීම හේතුවෙන් තත්ත්වය තවත් බරපතළ වූ අතර කොටපොළ මෙන්ම කුකුළේ ගඟ ඇතුළු අවට ප්‍රදේශ රැසකට විශාල ගංවතුර තත්ත්වයක් ඇතිවුණා. 2003 වසරේ ඇතිවූ විශාල ගංවතුරට සමාන ආපදාවකට මුහුණදීමට අපට සිදුවුණා.

ආපදා තත්ත්වයේදී ජනතාවට සහන සැලසීමේ කටයුතු සාර්ථක කර ගැනීමට අපට හැකිවුණේ පෙර සිටම සැලැස්මක් තිබූ නිසයි. සිකුරාදා උදෑසන සිට ආපදා කළමනාකරණ අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයා ත්‍රිවිධ හමුදාව ඇතුළු අනෙකුත් ආයතන යොදා ගනිමින් සහන සැළසීමේ කටයුතු මෙහෙයවූවා. සියලු මෙහෙයුම් කටයුතු සාර්ථක වුණේ සියලුම රාජ්‍ය නිලධාරින් කැපවීමෙන් වැඩ කළ නිසයි.

ඔවුන් සියලු දෙනාම තම ජීවිත හෝ දේපළ හෝ පිළිබඳ නොසිතා ආපදාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු සඳහා උපරිමයෙන් දායක වුණා. රාජ්‍ය සේවකයන් පමණක් නොව පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවත් මේ කටයුතු සඳහා විශාල දායකත්වය දුන්නා.

නෙළුව ප්‍රදේශයේ සහන සැලසීමේ කටයුතුවලදී ජීවිතක්ෂයට පත්වූ ගුවන් හමුදා නිලධාරියා ගැන විශේෂයෙන් සිහිකළ යුතුයි. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් ආදි සියලුම දේශපාලනඥයන්ද මේ අවස්ථාවේදී විශාල දායකත්වයක් දුන්නා. සහන සැලසීමේ කටයුතු සාර්ථක වුණේ මේ සියලු දේ නිසයි.
විනාශයට පත්වූ සියලු ප්‍රදේශ සහ දේපළ හඳුනාගෙන ඒවා යථා තත්ත්වයට පත් කිරීම දැන් කළ යුතුව තිබෙනවා. රටේ පවතින මූල්‍ය තත්ත්වය මත මේ පිළිබඳව සාකච්ඡා කරමින් ජනතාවට අවශ්‍ය විසඳුම් දීමට අප සූදානම්.

ආපදාව වූ සතියේ සෙනසුරාදා දිනයේ ජනතාවට සහන සැලසීමට ප්‍රධාන තීරණ දෙකක් අප විසින් ගනු ලැබුවා. ඉන් පළමුවැන්න ලෙස ජනාධිපතිතුමා කළුතර ප්‍රදේශයේ සංචාරය කරමින් හානිවූ නිවාස සඳහා අවශ්‍ය මුදල් දීමට තීරණය කළා. හානිවූ ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමට නම් පළමුවෙන්ම ජනතාවට නිවාස පහසුකම් සලසාදිය යුතුයි.

දෙවැනි තීරණය ලෙස ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සම්පාදනය කරන ආකාරය පිළිබඳව අදාළ බලධාරින්ට උපදෙස් මා දුන්නා. එහි පියවර කීපයක් ක්ෂණිකව ක්‍රියාත්මක කිරීමට ද හැකිවුණා.
නිවාස දීම සඳහා සම්පූර්ණ, අර්ධ සහ සුළු වශයෙන් හානියට පත්වූ නිවාස පිළිබඳ වාර්තා ගත්තා. එහි 50% මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙනවා. නිවාස සඳහා ආධාර දීමට මහ බැංකුව හරහා රුපියල් මිලියන 15-20ත් අතර මුදලක් මේ වනවිට අප ගෙන තිබෙනවා. ඒ මුදලින් හානියට පත් සියලු නිවාස සඳහා ආධාර දීමට අප කටයුතු කරනවා.

ඊට පෙර නිවාස අහිමිව කූඩාරම්වල ජීවත්වන ජනතාවට කුලී පදනම මත නිවාස සොයා ගැනීම සඳහා අවශ්‍ය මුදල් දීමට අප තීරණය කළා. ඉන්පසුව ජනතාවට සිය නිවෙස් නැවත ඉදිකර ගැනීම සඳහාත් මුදල් දෙනවා. මේ වනවිට ඊට අදාළ තක්සේරු කිරීම්ද අවසන් කරලා. මේ සඳහා මහා භාණ්ඩාගාරය, වෙනත් අරමුදල්, විදේශ ආධාර සහ පුද්ගලික පරිත්‍යාගශීලීන් ඉදිරිපත්වී සිටිනවා.

මෙවර ආපදාවෙන් අනතුරුව කඩිනමින්ම විනාශවූ ආර්ථිකය නඟා සිටුවීමටද මා තීරණය කළා. 2003 දී සහ සුනාමි අවස්ථාවේදී විනාශ වූ ගොඩනැගිලි සහ නිවාස ඉදිකළද විනාශවූ ආර්ථිකය නඟා සිටුවීම අමතක කළා. නමුත් මෙවර ආපදාව වූ අවස්ථාවේදීම මහ බැංකුවෙන් රුපියල් බිලියන දෙකක මුදලක් මම ඉල්ලා සිටියා. මේ ප්‍රදේශවල ආර්ථිකය නැවත නඟා සිටුවීමට සහ ජනතාවට අවශ්‍ය ණය මුදල් දීමට මා එය යොදවනවා.

ආපදාවට පත්වූ ප්‍රදේශවල විශාල කර්මාන්ත ශාලා ඉදිකරමින් ග්‍රාමීය ආර්ථිකය නැවත නඟා සිටුවීමට උපකාර කිරීමට තමන් සූදානම් බව පෞද්ගලික ව්‍යාපාරිකයන් කිහිප දෙනකුද මා සමඟ පවසා සිටියා. ඒ සඳහා අවශ්‍ය මූල්‍යාධාර දීමටත් අප සූදානම්.

මේ ප්‍රදේශවල කුඩා ව්‍යාපාර සඳහා ආධාර දීමට විශේෂ ණය ක්‍රමය සහ යෝජනා කීපයක්ම අපට ලැබී තිබෙනවා. මුදල් අමාත්‍යංශය හරහා ඒ පිළිබඳ සාකච්ඡා කරමින් දිය හැකි මූල්‍යාධාර වෙන් කිරීමට මා කටයුතු කරනවා.

ආපදාවට පත්වූ දේපළ සඳහා රක්ෂණාවරණ දීමට රක්ෂණ ආයතන තවමත් ඉදිරිපත්වී නැතැයි චෝදනාවක් එල්ල වෙනවා. ඒ පිළිබඳව සලකා බලා කටයුතු කරනවා. හානිවූ දේපළ වෙනුවෙන් ජනතාවට රක්ෂණ මුදල් ලැබෙනවා නම් ප්‍රදේශයේ ආර්ථිකය නැවත සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට හැකියි.

මේ ප්‍රදේශවල ඇතැම් නගර මුළුමනින්ම ජලයෙන් යටවුණා. ඇතැම් නගරවල කොටසක් ජලයෙන් යටවූ අතර හානි නොවූ නගරත් තිබෙනවා.

මේ ප්‍රදේශයේ ආර්ථිකය විශාල වශයෙන් රඳා පවතින්නේ තේ කර්මාන්තය මතයි. දකුණේ ආර්ථිකය පිළිබඳ සලකා බලන විට සංචාරක සහ ධීවර කර්මාන්තය වෙරළබඩ ප්‍රදේශයන්හි තිබෙන අතර දකුණේ අභ්‍යන්තර ප්‍රදේශවල තිබෙන්නේ තේ කර්මාන්තයයි.

ආපදාව හේතුවෙන් තේ කර්මාන්තයට වී ඇති ප්‍රධානම බලපෑම නම් මාර්ග පද්ධති හානියට පත්වී තිබීමයි. තේ දළු කර්මාන්ත ශාලා සඳහා ගෙනයාම පහසු කරවීමට ප්‍රාදේශීය සභා, පළාත් සභා මාර්ග පද්ධති සහ පාලම් කඩිනමින් පිළිසකර කළ යුතුයි. ආපදාවට පත්වූ දිස්ත්‍රික්ක පහම සලකා බලනවිට අක්කර 3000ක පමණ තේ වගාවට හානි වෙලා. ඒ නිසා තේ කර්මාන්තය නැවත නඟා සිටුවීමට, නිවාස ඉදිකරදීමට, ආර්ථිකය නඟා සිටුවීමට අප කටයුතු කරනවා.

එමෙන්ම හානියට පත් වාරි මාර්ග, සෞඛ්‍ය සහ පාසල් පද්ධති ද නැවත පිළිසකර කිරීමට වෙලා. පිටබැද්දර ප්‍රදේශය නිරීක්ෂණය කරන විට ජනතාව වර්ෂාවට බියක් දක්වන බව මට පෙනුණා. එදින රාත්‍රියේදී මටත් වර්ෂාව පිළිබඳව සැකයක් ඇතිවුණා. ඒ නිසා වර්ෂාවෙන් ජනතාවට ඇතිවන බිය පහ කරමින් ඔවුන්ට වෙනත් වාසස්ථාන දීමටත් අප ඉදිරියේදී කටයුතු කරනවා.

චන්දිම රාසපුත්‍ර ඇමැතිතුමා පැවැසූ ආකාරයට පළාත් සභාවලට අවශ්‍ය ආධාර මුදල් දීම කළ යුතුයි. දේශපාලන බේදයකින් තොරව පළාත් සභා, මධ්‍යම ආණ්ඩුව ඇතුළු සියලුම දෙනා ආපදා අවස්ථාවේදී කටයුතු කළ නිසා සහන සැලසීමේ කටයුතු සාර්ථක කර ගැනීමට අපට හැකිවුණා.

දැනට පවතින අය-වැයෙන් ඇතැම් ව්‍යාපෘති සඳහා මුදල් ගැනීමට හැකියි. ඇතැම් සහන සැලසීමේ ව්‍යාපෘති සඳහා මූල්‍යාධාර සොයා ගැනීමට අපට සිදුවනවා. අය-වැයේ අත්‍යවශ්‍ය නොවන මුදල් වෙන් කිරීම්, මධ්‍යම ආණ්ඩුවෙන් සහ විදේශ ආධාරවලින් අප අවශ්‍ය මුදල් ගන්නවා.

දිවයිනේ සමස්ත ආපදාව පිළිබඳ ඇස්තමේන්තුව අපට තවමත් ලැබී නැහැ. බිලියන පනහක්-සියයක් අතර මුදලක් ඒ සඳහා අවශ්‍ය වනු ඇති බව මහ බැංකුව පවසනවා. ඒ සඳහා මුදල් ගැනීමට දැන් අපට වෙනවා.

ආපදාවට ලක්වූ ජනතාව නැවත පදිංචි කිරීමට සහ නැවත මේ ප්‍රදේශ නාය යාමකට ලක් නොවීම සඳහා අවශ්‍ය පියවර ගැනීමටත් කටයුතු කරනවා. එයටත් විශාල වියදමක් දැරීමට වෙනවා.

ඉදිරි වසර පහ-හය තුළ මෙය කිරීමටයි අප බලාපොරොත්තු වන්නේ. ඒ සඳහා විදේශ ආධාර සහ රටේ මුදල්ද යෙදවීමට වෙනවා. මෙවැනි ආර්ථික ගැටලු සඳහාත් මුහුණ දෙමින් අප සහන සැලසීමේ කටයුතු කළ යුතුයි.
මේ ප්‍රදේශවල සංචාරය කරමින් ප්‍රදේශය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු පිළිබඳව අවබෝධ කර ගැනීමට මට හැකියාව ලැබුණා. විශේෂයෙන් මේ දිස්ත්‍රික්ක පහ තුළ හානිවූ ඉඩම් පිළිබඳ වාර්තාව ගැනීමෙන් අනතුරුව වැවිලි කර්මාන්ත අමාත්‍යංශය සහ වැවිලි සමාගම් එකතුකර ගනිමින් ඒ ඉඩම් සඳහා වන්දි දීමට කටයුතු කරනවා යයිද රනිල් වික්‍රමසිංහ මහතා තව දුරටත් කීවේය.


නීතිය සාමය දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා-
රජයේ නිලධාරීන්ගේ කැපවීම නිසා අප ගොඩ ආවා. ආපදාව සාර්ථකව කළමනාකරණය කරගත් හැටි අප දුටුවා. එසේ නැති වුණා නම් ජනතාවට විය හැකි හානිය මීට වඩා බරපතළ වෙන්න තිබුණා.

බොහෝ දේ මාධ්‍යයටත් ආවරණය කරගන්න බැරි වුණා. ඒ නිසා නිලධාරින් කළ කැප කිරීම් ජනතාවට දැන ගන්න බැරි වුණා.

ජනතාව නැවත පදිංචි කිරීම සඳහා ඉඩම් හඳුනා ගැනීම ඉතා වැදගත් දෙයක් වනවා. එය විද්‍යාත්මකව මෙන්ම ප්‍රායෝගිකව කළ යුතුයි. කුඩා තේ වතුවල සිට තේ දළු පාරට ගෙන ඒමට නොහැකි තත්ත්වයක් මතුවී තිබෙනවා. ඒ මාර්ග ඉතා කඩිනමින් ඉදිකළ යුතුයි.

කැඩී ගිය මාර්ගවලට පැළැස්තර අලවන්නේ නැතිව විධිමත් ආකාරයට පිළිසකර කළ යුතුව තිබෙනවා.


දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර මහතා-
ආපදා කළමනාකරණයේදී අපටත් වඩා රජයේ නිලධාරීන් කැපවී ක්‍රියා කළා. එමෙන්ම මහජන නියෝජිතයින්ද සියලු බේද ඉවතලා කටයුතු කළ බව කිව යුතුයි.

විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීමේ කටයුතු අප විසින් ආරම්භ කර තිබෙනවා. බොහෝ පාසල්වල පන්ති පැවැත්වීමට අසීරුයි. ඒ තත්ත්ව හඳුනාගෙන විසඳුම් දීම අපේ අරමුණයි.


මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා-
දිස්ත්‍රික්කයේ සියලු දේශපාලන නායකයින් රාජ්‍ය නිලධාරීන් එක්ව උපරිම ශක්තිය යොදවා ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට කටයුතු කළා.
නිල්වලා වේල්ල පුපුරා යෑමේ අවදානම මතුවූ අවස්ථාවේදී අප වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහයෝගය ඉල්ලුවා. පසුව අග්‍රාමාත්‍ය කාර්යාලයේද සහයෝගය ඇතිව එය යථා තත්ත්වයට පත් කිරීමට හැකිවුණා.
අවතැන් ජනතාව නැවත පදිංචි කිරීම සඳහා අප ඉඩම් සොයමින් සිටිනවා. එමෙන්ම හානි වූ නිවාස වෙනුවෙන් නව නිවාස දීමේ කටයුතු මේ වනවිට අරඹලා.

මේ අවස්ථාවට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාද ඇතුළු ප්‍රදේශයේ දේශපාලනඥයෝද රාජ්‍ය නිලධාරිහුද සහභාගිවූහ.

(ඡායාරූප - ඉෂංක සුනිමල්)