(පොලොන්නරුව - ක.ග. කරුණාරත්න)

අපේ රටේ විවිධ ක්‍ෂේත්‍රවල තිබෙන ප්‍රධාන ගැටලු ආර්ථික, දේශපාලන, සමාජමය කුමක් වුවද ඒවාට විසඳුම් තිබෙන්නේ බෞද්ධ දර්ශනය තුළ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලොන්නරුවේදී ඉකුත් දා ප්‍රකාශ කළේය.

රටේ අනාගතය වෙනුවෙන් බෞද්ධ සමාජය ශක්තිමත් කරමින් එමගින් මුළු මහත් ලාංකීය සමාජයට අවශ්‍ය මඟ පෙන්වීම කළ යුතුව ඇතැයි ද ජනාධිපතිවරයා කීය. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේ පොලොන්නරුව පුරාණ ඉසිපතනාරාම විහාරස්ථ විජයබා පිරිවෙනේ රුපියල් ලක්‍ෂ 90 ක වියදමින් ඉදිකරන ලද නව දෙමහල් ගොඩනැගිල්ල සඟසතුකොට පූජා කිරීම නිමිත්තෙන් ඉකුත්දා (06) පැවති උත්සව සභාවක් අමතමිනි.

පුරාණ ඉසිපතනාරාමාධිපති උතුරු මැද, තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක උඩගම ධම්මානන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

“මා ඉතාමත් සතුටු වෙනවා අද මේ සන්ධ්‍යාවේ මගේ ජීවිත කාලයට ඉතාම හුරුපුරුදු ස්ථනයක් වූ මේ ඓතිහාසික ඉසිපතන රාජමහා විහාරස්ථාන පූජනීය පුද බිමේ පිරිවෙන් අධ්‍යාපනය ශක්තිමත් කිරීම සඳහා නව ගොඩනැගිල්ල අද විවෘත කිරීමට ලැබීම ගැන. ඉසිපතනාරාම විහාරස්ථානයත් මගෙත් අතර තිබෙන්නේ ඉතාම දීර්ඝකාලීන සම්බන්ධතාවක්. අපවත් වී වදාළ බටගල්ලේ පඤ්ඤා රංසි නායක ස්වාමීන්වහන්සේ මෙහි වැඩවසන කාලයේ දී තමයි ඇතුමල්පිටිය විහාරස්ථානයත් උන්වහන්සේට භාරව තිබුණේ. ඒ කාලයේ තමයි මම මේ ස්ථානයට යන්න එන්න පටන් ගත්තේ. අපේ ධම්මානන්ද නායක ස්වාමීන් වහන්සේ ඒකාලේ බොහොම තරුණ ස්වාමින් වහන්සේ කෙනෙක් විදිහට, ඒ වගේම ගිරිතලේ දේවානන්ද ස්වාමීන් වහන්සේ, ඒ වගේම අපවත්වී වදාළ හතමුනේ ඥානාවාස ස්වාමින් වහන්සේ කියන මේ ස්වාමීන්වහන්සේලාගේ මූලස්ථානය වගේම මමත් නිතර යන්න එන්න වුණා. මගෙත් මූලස්ථානයක් බවට පත්වුණා.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලේ මම මෙතනට නිතර යන්න එන්න වෙලා ඒ පිළිබඳව අපේ ධම්මානන්ද නායක හාමුදුරුවන්ට ඒ කාලේ චෝදනාත් ආවා. මාව වුවමනාවට වඩා මෙතෙන්ට කිට්ටු කරගෙන තියෙනවා කියලා. ඒ තරම් ලොකු සම්බන්ධතාවක් මේ උතුම් පූජනීය ස්ථානය සමග තිබෙනවා. 1979 දී පමණ මගේ මතකයේ හැටියට මහා සුලිසුළඟ ආපු වෙලාවේ එදා රාත්‍රියෙත් මම හිටියේ මෙතන. මෙතන තිබුණු පුංචි පොල්අතු ශාලාවේ ඉන්න බැරුව බොහොම අමාරුවෙන් වේගයෙන් පොල්ගහෙන් පොල්ගහ අල්ලාගෙන එහාට ගිහිල්ලා හාමුදුරුවන්ගේ ආවාසයට අපි ගියා. එදා මේ ප්‍රදේශයම විනාශ වුණා. පොල් ගස්, අනිත් ගස් වැටිලා, විදුලි කණු වැටිලා පොලොන්නරුව ප්‍රදේශයට විශාල විනාශයක් මහා ඛේදවාචකයක් සිද්ධ වෙච්ච දවසක්. මම පහුවදා උදේ පයින් තමයි මෙතන ඉඳලා ලක්ෂ උයනේ ගෙදරට ගියේ. කිසිම පාරක වාහන යන්න පුළුවන්කමක් නෑ. විදුලි කණු වැටිලා, ගස් වැටිලා බයිසිකලයක්වත් යන්න බෑ. ඉතින් ඒ මතකයන් සමග මගේ පෞද්ගලික මතය නම් මෙතනට යුතුකම් ඉටුකළා මදි කියලයි මට හිතෙන්නේ. ප්‍රමාදවෙලා හෝ මේ නව ගොඩනැගිල්ල ලබා දීලා ගෞරවණීය මහා සංඝරත්නයට, ශාසනයට පූජා කිරීමට ලැබීම ගැන මම ඉතාම සතුටු වෙනවා.

අද අපේ රටේ විවිධ ක්ෂේත්‍රවල තිබෙන ප්‍රශ්න හා ගැටලුවලදී අපට ඉතාමත් වැදගත් වෙන්නේ මේ රටේ හෙට දවස වෙනුවෙන් බෞද්ධ සමාජය ශක්තිමත් කරමින් ඊට අවශ්‍ය මගපෙන්වීමක් කරන්නයි. ආර්ථික අර්බුද වේවා, දේශපාලන අර්බුද වේවා, සමාජමය අර්බුද වේවා මේ සියල්ල සඳහා විසඳුම් බෞද්ධ දර්ශනය තුළයි තිබෙන්නේ. ඈත අතීතයේ සිට පොලොන්නරු යුගයේ වේවා, අනුරාධපුර යුගයේ වේවා රජවරුන්ගේ රාජ්‍ය පාලනයේ විශේෂ ස්ථානයක් පිරිවෙන් අධ්‍යාපනයට තිබුණා. භික්ෂූන්වහන්සේලාට තිබුණා. අපේ ඉතිහාසයේ අපේ පොතපතේ ඒ පිළිබඳව ඉතා පැහැදිලිව සඳහන් වෙනවා. පිරිවෙන් අධ්‍යාපනය සඳහා මොනතරම් ශක්තියක්, සහයෝගයක් ලැබුණා ද කියන කාරණය. මෑතභාගය ගත් විට නිදහසින් පසු ලංකාවේ පිරිවෙන් අධ්‍යාපනය, භික්ෂු අධ්‍යාපනය සඳහා අවශ්‍ය පරිවර්තනයක් කිරීමට හැකි වුණේ 1956 එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ රජය යටතේ. රට තුළ අවශ්‍ය සංස්කෘතික වෙනස්කම්, දේශීයත්වය රට තුළ ගොඩනැගීමට පිරිවෙන් අධ්‍යාපනය සඳහා රාජ්‍ය අනුග්‍රහය හා මගපෙන්වීම ලැබුණා. ඒ නිසා අද සමාජයේ තිබෙන ප්‍රශ්නවලටත් සැමවිටම පිරිවෙන් අධ්‍යාපනය ශක්තිමත් කරන්න ඕන.

පොලොන්නරුවේ සියලුම පිරිවෙන් සංවර්ධනය කිරීම සඳහා රුපියල් කෝටි ගණනින් මුදල් අපි වෙන් කරලා පහුගිය අවුරුදු කිහිපයේ වැඩ කළේ. අපි පිරිවෙන් අධ්‍යාපනය පමණක් නෙමෙයි පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වෙහෙර විහාරස්ථාන සංවර්ධනය කිරීම සඳහාත්  පිබිදෙමු පොලොන්නරුව ව්‍යාපෘතිය යටතේ විශාල මුදලක් වෙන් කරලා කටයුතු කෙරෙනවා. දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට කිසිදු රජයකින් අවධාන යොමු වෙලා තිබුණේ නෑ. රාජ්‍ය නායකයෝ ආවා ගියා. නමුත් සංවර්ධනය වුණේ නෑ. සංරක්ෂණය වුණේ නෑ. මේ වන විටත් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ සංවර්ධනයට, සංරක්ෂණයට විශාල මුදලක් වැය කරලා තිබෙනවා. 

පොලොන්නරුවට පැමිණෙන පිටස්තර කෙනෙක් පොලොන්නරුවේ සිදුවන වෙනස දකිනවා. භික්ෂූන් වහන්සේලා “වෙනත් ප්‍රදේශවලින් මෙහෙ වැඩම කරවන” කියනවා පොලොන්නරුවේ පිරිවෙන් ටික පන්සල් ටික හැදෙනවා වගේ අපේ ප්‍රදේශවලටත් උදව් කරන්න කියලා. පොලොන්නරුවේ රහල හන්දියට ඇවිල්ලා කෙනෙක් බැස්සොත් මේ අවුරුදු කීපය තුළ සිදුවී ඇති වෙනස කොහොමද කියන එක ඉතාම පැහැදිලිව පෙනෙනවා. ඒ වෙනස අපි කරලා තිබෙනවා. කළ යුතු වෙනස්කම් කරලා තිබෙනවා. මේ ගොඩනැගිල්ල විවෘත කරන්න කලින් අර ළමා උයන විවෘත කරනකොට මට ඉතාම සතුටක් ඇති වුණා. එහි පුංචි ළමයින්ට සෙල්ලම් කරන්න තියෙන දේවල් මීට කලින් පොලොන්නරුවේ පුංචි දරුවන්ට ලැබුණේ නෑ. ඒ නිසා අපි සැම කෙනෙක්ම කරන කියන සැම කටයුත්තකදීම අවසන් ප්‍රතිඵලය දරුවන් සඳහා කරන  අනාගත ආයෝජනයක්. ආධ්‍යාත්මික සමාජයක් ගොඩනැංවීම සඳහා බෞද්ධ ආගමික සමාජය ශක්තිමත් කිරීම කළ යුතු වෙනවා.

ඒ වගේම අනෙකුත් මේ රටේ ජීවත් වන මුස්ලිම්, දෙමළ, බර්ගර්, මැලේ ජනතාවගේ ඒ ආගමික නිදහස ශක්තිමත් කරමින් සමානාත්මතා සමාජයක, සහජීවන සමාජයක ජීවත් වන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කරන්න පරිසරය ගොඩනැගීමයි. පිබිදෙමු පොලොන්නරුව ව්‍යාපෘතිය මගින් අධ්‍යාපනය, සෞඛ්‍ය, වාරිමාර්ග, සමාජ සුබසාධනය, මාර්ග සංවර්ධනය, පානීය ජලය ආදී බොහෝ කටයුතු  සිදුකර තිබෙනවා. මේ වන විට සියයට 75ක් - 80ක් පමණ ඒ සියලු_ වැඩ අවසන්. මම හිතන විදිහට නැවත් අවුරුදු 50කට 60 කට පොලොන්නරුවේ අවශ්‍ය සම්පත් සම්පූර්ණ කර තිබෙනවා. අද ජීවත් වන ජනතාවට වගේම හෙට උපදින දරුවන් වෙනුවෙන් කර තිබෙන දෙයක්. රට වශයෙනුත් අපි කර තිබෙන සංවර්ධනයන් වඩාත් සුබවාදී අනාගතයක් සඳහා ශක්තිමත් කළ යුත්තේ බෞද්ධාගමික සමාජයයි. ඒ සඳහා අපේ වන්දනීය පූජනීය මහා සංඝරත්නයෙන් ලැබෙන අවවාද, අනුශාසනා, මගපෙන්වීම් මත මේ කටයුතු සිදු කරන්නේ.