කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති 
පී. හැරිසන්

 

රටේ අලුත් දේශපාලන පෙළගැසීම් සම්බන්ධයෙන් හා ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති පී. හැරිසන් මහතා සමග කළ සාකච්ඡාවකි.  


ප්‍රශ්නය:- පාස්කු ඉරිද‌ා ප්‍රහාරයෙන් පස්සේ පාර්ලිමේන්තුවේ 225 ම එපා කියන තැනට සමාජය ආවා?  


පිළිතුර:- නෑ. මිනිස්සු එහෙම කිව්වේ නෑ. එක නායකයෙක් විතරක් එහෙම කියලා තිබුණා. එක ප්‍රහාරයකට මුළු පාර්ලිමේන්තුවම වගකියන්න ඕනැ නෑ. අපි දැක්කා ආරක්ෂක අංශවලට පණිවුඩ හුවමාරුවෙහි යම් යම් ප්‍රමාදදෙ‌ා්ෂයන් නිසා තමයි ඒ ප්‍රහාරය ඇති වුණේ කියන එක. ඒක කලින් වළක්වා ගන්න තිබුණ ප්‍රහාරයක්. නමුත් නොසැලකිලිමත්කම නිසා ඒ ප්‍රහාරය එල්ල වුණා.  


ප්‍රශ්නය:-  පාස්කු ප්‍රහාරයෙන් පසුවත් අපි දකිමින් ඉන්නේ එකිනෙකා මත වරද පටවන්න උත්සාහ කරන කුළල් කා ගන්නා දේශපාලනයක්?  


පිළිතුර:- වරද පටවන්න නොවෙයි. අද වෙනකොට රටේ ජනතාවට ඔප්පු වෙලා තියෙනවා කොතැනද වැරැද්ද වුණේ කියලා. මොකද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ගිහිල්ලා ආරක්ෂාව දෙන්න බැහැනේ. මෙතැන දී අපි පැහැදිළිව දකින්නේ කලින් මේ පණිවිඩය ලැබිලා තියෙනවා. ආරක්ෂක අංශ දැනුම්වත් වීමක් වෙලා තියෙනවා. ඒ වගේම සමහර තැන්වලට උපදෙස් ගිහිල්ලා තියෙනවා. ක්‍රියාත්මක වීමේ දී අඩුපාඩුවක් වෙච්ච නිසා ඒ ප්‍රහාරය එල්ල වුණා. ඒ ගැන කතා කළ යුතුයිනේ. එහෙම නැත්නම් වැරදි හද‌ා ගන්නත් බැහැනේ.  


ප්‍රශ්නය:- හොඳයි ඔබ කියන්න කවුද වැරැදි?  


පිළිතුර:- ඒ ගැන හොයන්න තමයි පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් පිහිටෙව්වේ. ඒකෙදි යම් යම් කරුණු අනාවරණය වෙනවා.  


ප්‍රශ්නය:- - ඒ කාරක සභාවේ පිටපත, අධ්‍යක්ෂණය, පුහුණුව අරලියගහ මන්දිරයෙන් කියලා ජනාධිපති මෛත්‍රී කියනවා?  


පිළිතුර:- පාර්ලිමේන්තුවේ සිද්ධ වෙන දේවල් අරලියගහ මන්දිරයෙන් තීරණය කෙරෙන්නේ නැහැ. ඔය විශේෂ කාරක සභාව පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේ දී තීරණයක් අරන් කතානායකතුමා පාර්ලිමේන්තුවට යෝජනාවක් වශයෙන් ඉදිරිපත් කරලා සියලුම පක්ෂවල කැමැත්ත ඇතිවයි ඒක කළේ. එහෙම නැත්නම් මේක අරලියගහ මන්දිරයේ පිටපතක්, පුහුණුවක්, අධ්‍යක්ෂණයක් කියලා නම් මම පිළිගන්නේ නෑ.  


ප්‍රශ්නය:-  එහෙම නම් ජනාධිපතිවරයා එහෙම කිව්වේ?  


පිළිතුර:- ඒ ප්‍රශ්නය නම් අහන්න ඕනෑ ජනාධිපතිතුමාගෙන්ම තමයි. එතුමා එහෙම කිව්වා නම් මොන අදහසකින් ද එහෙම කිව්වේ කියලා දන්නේ එතුමනේ.  


ප්‍රශ්නය:- පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කිහිපයක්ම පවරලා තියෙනවා. අධිකරණයේ විභාග වන දෙයක් පිටස්තර තැනක සාකච්ඡා කිරීම අධිකරණය හෑල්ලු කිරීමක්?  


පිළිතුර:- නෑ. මම එහෙම පිළිගන්නේ නෑ. අද රටට සැබෑ තත්ත්වය අනාවරණය වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඔබ මුලින් කියපු විදියට පාර්ලිමේන්තුවේ 225 දෙනාම වගකියන්න ඕනෑ කියලා ජනතාව හිතනවා. ඇත්ත ඒක නොවෙයි කියලා දැන් ඔප්පු වෙලා.  


ප්‍රශ්නය:- මේ කොමිසම නිසා බුද්ධි අංශ ප්‍රධානීන් රටට අනාවරණය වුණා. මේක දෙවනි මිලේනියම් සිටි පාවාදීම කියලා ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා?  


පිළිතුර:- මිලේනියම් සිටි සිද්ධිය ගත්තොත් ඒක පාවාදීමක් නොවෙයි කියාල ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමත් කිව්වා. ඒනිසා ඒ චෝදනාව පදනම් විරහිතයි. බුද්ධි අංශ ප්‍රධානියා අයින් වුණාට පස්සේ ඊළඟට පත්වෙච්ච බුද්ධි අංශ ප්‍රධානියා කවුද කියා පත්තරවල මුල් පිටුවේ පින්තූරත් එක්ක විස්තර ගියා. හැම නාළිකාවකින්ම පෙන්නුවා. එහෙම වුණාම ඒකත් අනාවරණය වීමක් නොවේ ද?  


ප්‍රශ්නය:-  ඒවා පාලනය කළ යුත්තේ ආණ්ඩුව. අද රටේ ආණ්ඩුවක් නැද්ද?  


පිළිතුර:- ආණ්ඩුවක් තියෙනවා. ඒ නිසානේ දවස් දෙක තුනක් යන්න ඉස්සර සියලු දෙනාවම කොටුකර ගන්න ලැබුණේ. ඔබත් දන්නවා මාස හයක් තිස්සේ අපේ අගමැතිතුමාව ආරක්ෂක කවුන්සිලයට කැඳවලා තිබුණේ නෑ. විෂය භාර ඇමැතිවරයා ජනාධිපතිතුමයි. එතුමා යටතේ තමයි සියලු ආරක්ෂක අංශ, බුද්ධි අංශ, පොලිසිය තියෙන්නේ. එහෙම නම් එතුමා තමයි මේවට සෘජුවම මැදිහත් විය යුත්තේ.  


ප්‍රශ්නය:-  ජනාධිපතිවරයා කියනවා එන්ජීඕ කාරයන්ට ඕනෑ විදියට 19 වැනි සංශෝධනය ගෙනල්ලා රටම විකාරයක් කළා කියලා?  


පිළිතුර:- 19 වැනි සංශෝධනය අපේ පක්ෂයේ එකක් නොවෙයිනේ. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත වුණේ. ආණ්ඩු පක්ෂයත්, විපක්ෂයත් පක්ෂව ඡන්දය දුන්නා.  


ප්‍රශ්නය:- විශේෂ කාරක සභාවට අගමැති රනිල් කැඳවනවා කියලා ප්‍රවෘත්තියක් පළ වුණා?  


පිළිතුර:- ඔව් මමත් එහෙම ප්‍රවෘත්තියක් දැක්කා.  


ප්‍රශ්නය:-  අගමැති රනිල්ට එන්න කිව්වොත් යයි ද?  


පිළිතුර:- මං හිතන්නේ එතුමට සහභාගි වෙන්න වෙනවා. ඒක කාටවත් වළක්වන්න බෑ. එතුමා සද්භාවයෙන්ම ඒකට සහභාගි වේවි.  


ප්‍රශ්නය:- ජනාධිපති මෛත්‍රී නම් කියලා තිබුණා ‘මම යන්නේ නෑ’ කියලා.  


පිළිතුර:- ඒක ඉතින් එතුමගේ තීන්දුව. නමුත් අපි බැඳිලා ඉන්නවා තේරීම් කාරක සභාවට මන්ත්‍රීවරයෙක්, ඇමැතිවරයෙක්, අගමැතිවරයා, රාජ්‍ය නිලධාරියෙක් කැඳෙව්වාම ඒ වගේ උත්තරීතර කමිටුවකට සහභාගි වෙන්න.  


ප්‍රශ්නය:- ජනාධිපතිවරයා සතු බලතලත් එක්ක බැලුවම ඔහුට නොයා ඉන්න පුළුවන්?  


පිළිතුර:- ඇත්තටම මම දන්නේ නෑ ඒ ගැන කියන්න.  


ප්‍රශ්නය:-  අගමැති රනිල් කිව්වා ‘දුටුගැමුණු යුගයටත් වැඩියෙන් රට සංවර්ධනය වෙන්නේ දැන් කියලා. ඇයි මේ දුටුගැමුණු රජතුමා අල්ල ගත්තේ?  


පිළිතුර:- දුටුගැමුණු රජතුමාගේ කාලයෙත් මේ රටේ විශාල සංවර්ධනයක් සිදුවුණා. ඒ හා සමානව අද ග්‍රාමීය දැවැන්ත සංවර්ධනයක් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් විශේෂයෙන්ම ගම්පෙරළිය වැනි වැඩසටහන් හරහා අපි ක්‍රියාත්මක කරනවා. මංමාවත්, පාරවල්, ඇළවල්, වැව් ප්‍රතිසංස්කරණ කටයුතු වේගයෙන් ක්‍රියාත්මක කෙරෙනවා. ඒ නිසා තමයි දුටුගැමුණු රජතුමා උද‌ාහරණයකට අරන් කියන්න ඇත්තේ.  


ප්‍රශ්නය:-  ඔය ඔබ කියන වේගවත් සංවර්ධනය ඇතුළේ රටේ දරුවෝ මන්දපෝෂණයෙන් මිය යනවා?  


පිළිතුර:- ඕක අද ඊයේ දෙයක් නොවෙයි. මන්දපෝෂණයෙන් දරුවන් මිය යන්න ඇති. මේ තත්ත්වය ඇමෙරිකාවෙත් තියෙනවා. චීනයෙත් තියෙනවා. රුසියාවෙත් තියෙනවා. ඉන්දියාවෙත් විශාල පිරිසක් මන්දපෝෂණයෙන් මැරෙනවා. රටක් වුණාම එහෙම පොඩි පොඩි ප්‍රශ්න මතුවෙනවා. නමුත් එක මරණයක් නිසා මුළු රටම ඒ හා සමානව මනින්න එපා.   


ප්‍රශ්නය:-  මුලින්ම තියන්න හිතන මැතිවරණය මොකක්ද?  


පිළිතුර:- මම හිතන්නේ ජනාධිපතිවරණයට තමයි බොහෝදුරට ඉඩ තිබෙන්නේ.  


ප්‍රශ්නය:-  ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය නොපැවැත්වුවොත් ගෙදර යනවා කියලා මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා කිව්වා?  


පිළිතුර:- මම කිව්වේ දැනට තිබෙන තත්ත්වයයි. අපි මැතිවරණවලට බය නෑ. එන ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කරන්න ආණ්ඩුවක විදියට අපිට පුළුවන්.  


ප්‍රශ්නය:- ජනාධිපතිවරණය ආවොත් කවුද ඔබේ අපේක්ෂකයා?  


පිළිතුර:- අපි තාම අපේක්ෂකයා කවුද කියලා ප්‍රසිද්ධියට පත්කරලා නෑ. අපේ එක්සත් ජාතික පක්ෂය අපට සහයෝගය දෙන පක්ෂ ඒ සියල්ල එකතු වෙලා කතාබහ කරලා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස් කරලා කතා කරලා තමයි අපේක්ෂකයා කවුද කියලා තීරණය කරන්නේ.  


ප්‍රශ්නය:-  අගමැති රනිල් ජනාධිපති අපේක්ෂකයා වන බවටත් රාවයක් තියෙනවා?  


පිළිතුර:- ඒක අපි තාම තීන්දු කරලා නෑ. එතුමා විතරක් නොවෙයි මම අර මුලින් කියපු විදියට අපි ඔක්කොම එකතුවෙලා කතා කරලා තමයි තීන්දුවක් ගන්නේ.  


ප්‍රශ්නය:- ඔබ එහෙම කිව්වත් තලතා අතුකෝරාළ, චන්ද්‍රානි බණ්ඩාර, අජිත් පී. පෙරේරා වැනි අය සජිත් තමයි අපේ අපේක්ෂකයා කියලා ප්‍රසිද්ධියේ කියනවා?  


පිළිතුර:- පක්ෂය හැටියට මම මුලින් කිව්වා වගේම එකතු වෙලා සාකච්ඡා කරලා තමයි ඒ තීරණය ගන්නේ. නම් කියන්න පුළුවන් එක එක්කෙනාට. හැබැයි ඒ නම්වලට බෙදීමක් ඇති නොවන විදියට තමයි ඒ තීන්දුව ගත යුත්තේ.  


ප්‍රශ්නය:-  ඔබේ කඳවුරෙන් තවත් නම් කියැවෙනවා. ඒ අනුව බෙදීමක් නැතිව තීන්දුවක් ගන්න පුළුවන් වෙයි කියලා ඔබ හිතනවද? 

 
පිළිතුර:- මම ඒකයි කිව්වේ. එක එක්කෙනාට නම් කියන්න පුළුවන්. නමුත් නම් නොවෙයි. අපි බලන්න ඕනෑ මේ වෙලාවේ ජනප්‍රියම හා දිනන්න පුළුවන් හොඳම අපේක්ෂකයා කවුද කියලයි. අපේ පක්ෂය විතරක් නෙමෙයි අපිත් එක්ක ඉන්න අනෙකුත් පක්ෂවල මතයත් විමසිය යුතුයි. ඒ විදියට හොඳ සාකච්ඡාවකින් තමයි අපේක්ෂකයා තෝරාගත යුත්තේ. මං හිතන්නේ තවම කල් වැඩියි ඔය ගැන කතා කරන්න. සුදුසු වෙලාව ආවම නියම අපේක්ෂකයා අපි ඉදිරිපත් කරන්නම්.  


ප්‍රශ්නය:-  රනිල් - සජිත්, කරු, රාජිත, චම්පික ඇතුළු නම් කියැවෙන අයගෙන් ඔබ ඉන්නේ කා එක්ක ද?  


පිළිතුර:- මම ඉන්නේ පක්ෂයත් එක්ක. ඔබ මතක තියාගන්න එක්සත් ජාතික පක්ෂය තමයි ලංකාවේ තියෙන තනි විශාලම පක්ෂය. මේ පක්ෂයට විනය තියෙනවා. පක්ෂය ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා. අපිට ඉදිරි දැක්මක් තියෙනවා. සතුරන්ගේ බොරු වළවල්වල අපි වැටෙන්නේ නෑ. මැතිවරණයක් ළං වුණාම විවිධ බොරු වළවල් පෙන්වනවා. ඒවාට නොවැටී ඉන්න ශක්තිය තිබිය යුතුයි. අපේ පක්ෂයේ කාටවත්ම පෞද්ගලික න්‍යාය පත්‍ර නෑ. අගමැතිතුමාට නෑ. සජිත් මැතිතුමාට ඔය කාටවත්ම පෞද්ගලික අරමුණු නෑ. අපට තියෙන්නේ ගරා වැටිච්ච රටක් අපි හරි පාරට ගත්තා. මේ පටන් ගත්ත සංවර්ධන ව්‍යාපාරය දිගටම කරගෙන යන්නයි අපට ඕනෑ.  


ප්‍රශ්නය:-  ‘මේ තමයි ම​ෙග් අවසන් අවස්ථාව. මේ අවස්ථාව මට දෙන්න’ කියා අගමැති රනිල් කිව්වොත්?  


පිළිතුර:- එතුමා ඒ යෝජනාව කළත් අපේ පක්ෂයත් හවුල්කාර පක්ෂත් එකතුවෙලා කතා කරලා තමයි ඒ තීන්දුව අපි ගත යුත්තේ. දේශපාලන තත්ත්වයන් වේගයෙන් වෙනස් වෙනවා. ඒ අනුව තමයි තීන්දු ගත යුත්තේ.  


ප්‍රශ්නය:- පක්ෂයෙ නොවන අපේක්ෂකයෙක් එයිද?  


පිළිතුර:- මම හිතන්නේ නෑ පක්ෂයේ නොවන අපේක්ෂකයෙක් එයි කියලා. පක්ෂය ඇතුළේ කතාබහක් තියෙනවා ඉතිහාසයේ අපි ලබපු අත්දැකීම් එක්ක පක්ෂයේම කෙනෙක් ආ යුතුයි කියන එක තමයි පක්ෂයේ පොදු මතය.  


ප්‍රශ්නය:- කෝ ධම්මික පෙරේරා?  


පිළිතුර:- මම දන්නේ නෑ ඒ ගැන?  


ප්‍රශ්නය:-  ඔහු ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සමග යම් සාකච්ඡාවක හිටියා?  


පිළිතුර:- ඒවා පුවත්පත්වල ගිය වාර්තා විතරයි. එහෙම නැතිව පක්ෂය ඇතුළේ ඒ ගැන විධිමත් සාකච්ඡාවක් වුණේ නැහැ.  


ප්‍රශ්නය:- ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එහෙම සාකච්ඡාවකට පක්ෂය ඇතුළේ ඉඩක් තියෙනව ද? ‘රෝයල් ටීම්’ එක නේද තීන්දු ගන්නේ?  


පිළිතුර:- නෑ. එහෙම ටීම් එකක් පක්ෂය ඇතුළේ නෑ. පක්ෂය ඇතුළේ තියෙන්නේ ‘ටීම් වර්ක්’ එකක්. ඒ වගේම ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එහෙම ලොකු සාකච්ඡාවක් තාම පක්ෂය ඇතුළේ ඇති වෙලා නෑ. එහෙම සාකච්ඡාවක් තියෙනවා නම් ඔබ අහන ප්‍රශ්නවලට මට මීට වඩා නිශ්චිත උත්තර දෙන්න පුළුවන්. නමුත් තාම එහෙම සාකච්ඡාවක් නෑ.  

ප්‍රශ්නය:- ජනාධිපතිවරණයට මාස කිහිපයයි තියෙන්නේ?  


පිළිතුර:- මේ කාලය හොඳටම ඇති. අපි අපේ පක්ෂ යාන්ත්‍රණය ශක්තිමත් කරලා තියෙන්නේ. ගිය සතියෙත් පක්ෂයේ බිම් මට්ටමේ සංවිධාන යාන්ත්‍රණය ගැන අපි කතා කළා. පක්ෂය ශක්තිමත් කළාම ඕනෑම මැතිවරණයකට ඕනෑම වෙලාවක යන්න පුළුවන්.  


ප්‍රශ්නය:-  2015 ජනාධිපතිවරණය ගත්තොත් එතැනදී තමයි ජනාධිපතිවරණ ඉතිහාසයේ පළල්ම පුළුල්ම සන්ධානය එක්සත් ජාතික පක්ෂය මුල්කරගෙන ගොඩ නැගුණේ. එ් සන්ධානය අද නෑ?  


පිළිතුර:- ඒ සන්ධානය නැතුවමත් නොවෙයි. ඒ සන්ධානයෙ හිටපු පක්ෂ ගණනාවක් අපේ ආණ්ඩුවත් එක්ක ඉන්නවා. සුළු සුළු වෙනස්කම් කිහිපයක් වෙලත් තියෙනවා. ඊටත් වඩා පුළුල් පෙරමුණක් අපි ඉදිරියේ දී ගොඩනගනවා.  


ප්‍රශ්නය:-  2015 දී හිටපු මෛත්‍රී ඇතුළු ශ්‍රීලනිප පාර්ශ්වය අද ඔබේ කඳවුරේ නෑ. ජවිපෙත් වෙනම අපේක්ෂකයෙක් ද‌ාන බව කියනවා?  


පිළිතුර:- ඔබ එහෙම කිව්වත් අපිට අමාරුම ජනාධිපතිවරණය තමයි 2015 ජනාධිපතිවරණය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මහ විශාල පිරිසක් ආවෙත් නෑ. එනවා කියපු අයත් ආවේ නෑ. මන්ත්‍රීවරුන් ගත්තත් දෙන්නයි තුන් දෙනයි ආවේ. හැබැයි ජනතා විමුක්ති පෙරමුණේ සම්පූර්ණ සහයෝගය ලැබුණා. ඒ අයත් වෙනම අපේක්ෂකයෙක් ද‌ාන නිසා තුන්කොන් සටනක් ඇතිවෙයි.  

ප්‍රශ්නය:- මගේ ප්‍රශ්නය වෙන්නේ 2015 දී අර තරම් බලවේගයක් හැදිලත් පරතරය ඡන්ද ලක්ෂ දෙකයි. ඒ බවේග එලෙසින්ම නැතිව මෙවර තරගයක් දෙන්න පුළුවන් ද කියන කාරණයයි?  


පිළිතුර:- 2015 ගත්තොත් අපි ඡන්දෙට ගියේ විපක්ෂයේ ඉඳගෙනයි. කරපු වැඩක් ගැන කියන්න දෙයක් තිබුණේ නෑ. කරන්න බලාපොරොත්තු වෙන වැඩ තමයි අපි කිව්වේ. නමුත් ​අපි මෙවර ජනාධිපතිවරණයට යන්නේ ආණ්ඩුවක් විදියටයි. ඒ කියන්නේ අපිට තියෙනවා ජනතාවට කියන්න අපි කරපු වැඩ. සංවර්ධනය ගැන අපිට කියන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ස්ථාපිත වෙච්ච ආකාරය ගැන අපිට කියන්න පුළුවන්. මේ රට අපි සුදුවෑන් සංස්කෘතියෙන් මුද‌ාගෙන බියක් සැකක් නැති ශීලාචාර රටක් බවට පත් කළා. ජාත්‍යන්තරය තුළ කොන්වෙලා තිබුණ අපේ රටට යළිත් පිළිගැනීම ලබාගන්න අපිට පුළුවන් වුණා. ඇත්තෙන්ම මීටත් වඩා විශාල දෙයක් අපට කරන්න පුළුවන්කම තිබුණා යම් යම් මත ගැටීම් නොතිබුණා නම්. එ්කෙන් යම් පසුබෑමක් අති වුණා. කොහොම වුණත් අපේ පක්ෂයෙන් ජනාධිපති කෙනෙක් අනිවාර්යයෙන්ම අපිට පත්කරගන්න පුළුවන්.  


ප්‍රශ්නය:-  පාස්කු ප්‍රහාරයෙන් පසුව ආණ්ඩුවේ හිටපු මුස්ලිම් නායකයෝ තනතුරුවලින් අයින් වුණා. නමුත් ඔබේ පක්ෂයේ සභාපති කබීර් හෂීම් යළිත් ඇමැති ධුරයේ දිවුරුම් දුන්නා. ඒකෙන් මුස්ලිම් සන්ධානයත් පිපුරුවා?  


පිළිතුර:- නෑ එහෙම පිපුරුමක් වුණේ නෑ. මේ ප්‍රශ්නය ඇතිවෙලා තිබුණේ රිෂාද් ඇමැතිතුමාගේ කණ්ඩායමට. නමුත් මුස්ලිම් නායකයන් සියලු දෙනාම එක පියවරක් ගත්තේ මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්. කබීර් හෂීම් ඇමැතිතුමාටවත්, හලීම් ඇමැතිතුමාටවත්, මුස්ලිම් කොංග්‍රසයේ ඉන්න ඇමැතිවරුන්ටවත් කිසිම චෝදනාවක් එල්ල වුණේ නෑ. ඊට පස්සේ ඒ ඒ පක්ෂවල නායකයන්ට කිව්වා තමන් කැමැති තීරණයක් ගන්න කියලා. ඒනිසා කබීර් හෂීම් ඇමැතිතුමා ඒ තීන්දුව ගන්න ඇති.  


ප්‍රශ්නය:-  කබීර් හෂීම් ඇමැති ධුරයේ දිවුරුම් දෙනවා අගමැති රනිල් දන්නෙවත් නෑ?  


පිළිතුර:- ඔව් මං හිතන්නේ අගමැතිතුමා ඒ වෙලාවේ දැනගෙන හිටියේ නෑ. හැබැයි කබීර් හෂීම් ඇමැතිතුමා පක්ෂයේ සභාපති හැටියට එතුමා හිතන්න ඇති ඒ ගත්ත තීරණය හරි කියලා.  

ප්‍රශ්නය:-  ඇමැති කබීර් හෂීම්ගෙන් ප්‍රශ්න කරන්න එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් සූද‌ානමින් ඉන්නේ?  


පිළිතුර:- ඕවා ඉතින් පත්තරවල ගිය කතානේ. එහෙම නැතිව ඇත්ත ඒවා නොවෙයි. 

 

 

 

 

සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්