(හර්ෂණ තුෂාර සිල්වා බණ්ඩාරවෙල සිට)

ඉදිරි වසරවලදී අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සංශෝධන හා ප‍්‍රතිසංවිධාන කටයුතු රැසක් සමඟ විශාල පෙරළියක් කරන බව, අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා බණ්ඩාරවෙලදී ඊයේ (18) ප‍්‍රකාශ කළේය.

”අධ්‍යාපනයේ තිබෙන අර්බුදවලට විසඳුම් සොයමින් කඩිනමින් ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්තිය ඉදිරිපත් කරන බව කී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දැනටමත් ඒ සඳහා සාකච්ඡා පවත්වන බවත් යෝජනා ද ලැබී ඇති බවත්” පැවැසීය.

”මෙරට සියලූ පාසල් ජාත්‍යන්තරයට යනු දැකීම ආණ්ඩුවේ අපේක්ෂාව බවත්, ඒ වෙනුවෙන් ගුරුවරුන් තෝරා ගැනීමේ සිට සියලූම කටයුතු නිසි දැක්ම සහිත වැඩපිළිවෙළ ඉදිරිපත් කරන බවත්” අග‍්‍රාමාත්‍යවරයා එහිදී තවදුරටත් කීය.

බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කර තිබූ අධ්‍යාපනික ප‍්‍රදර්ශනය විවෘත කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් එක්වෙමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඒ අදහස් පළ කළේය.

අධ්‍යාපනයේ තිබෙන අර්බුදවලට හේතුව මුදල් නැතිකම නොව සුදුසු, ඇත්දැකීම්, දැනුම, පළපුරුද්ද හා දක්ෂතාව ඇති පිරිස් තනතුරුවලට පත් නොවීම යයි පෙන්වා දුන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා උත්සව සභාව අමතමින් මෙසේ ද කීය.

”මෙය විශාල ප‍්‍රදර්ශනයක් වනවා. අවාසනාවකට මට සියලූ කුටි නරඹන්න අවස්ථාව නැහැ. පාසලේ දරුවෝ තාක්ෂණ හා විද්‍යා කුටි ඇතුළු කුටි 60ක් නිර්මාණය කරලා. එය අපට මහත් සතුටක් වනවා. පාසලේ දරුවන්ට ඉදිරි දින දෙක කාර්ය බහුල වේවි. ප‍්‍රදේශයේ අනෙක් පාසල් වගේම ජනතාවත් ප‍්‍රදර්ශනය නරඹන්න පැමිණේවි.

මේ පාසලේ ඉතිහාසය ගැන මා යමක් කිව යුතුයි. මේ පාසල ආරම්භ වුණේ 1942 දීයි. ජපාන අධිරාජ්‍යයා ලංකාවට බෝම්බ දැමුවේ ඒ වර්ෂයේයි. ඒ වසරේ අපේ‍්‍රල් 6 වැනිදා කොළඹට බෝම්බ දැම්මා. කොළඹ එවකට පැවැති රෝයල්, තෝමස් ඇතුළු සියලූ පාසල් බි‍්‍රතාන්‍ය රාජකීය හමුදාවේ කඳවුරු බවට පත් වුණා.

කොළඹ තිබූ පාසල් සියල්ල එදා බණ්ඩාරවෙලට ආවා. රෝයල්, ශාන්ත තෝමස්, ශුද්ධ පවුලේ කන්‍යාරාමය ඇතුළු පාසල් සියල්ල බණ්ඩාරවෙලට ගෙන ආවා. මගේ සීයා, මගේ අම්මත්, තාත්තත් බණ්ඩාරවෙලට එව්වා. මගේ සීයා ඞී.ආර්. විජයවර්ධන මේ පළාතේ වෙච්ච සංවර්ධනය දුටුවා.

බණ්ඩාරවෙල රාජකීය විද්‍යාලය, බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය බවට පත් වුණා. ශාන්ත තෝමස් විද්‍යාලය ගුරුතලාවටත් බණ්ඩාරවෙලටත් ආවා. ඒ නම්වල වෙනසක් වුණේ නැහැ. මේ පාසල නැවත ගත්තායින් පසුව මේ ප‍්‍රදේශවල පෞද්ගලික පාසල් නැතුව ගියා. රටේ බොහෝ ප‍්‍රදේශවල එහෙමයි.

ලාභ උපයපු පාසල් වගේම ලාභ ඉපයීමෙන් තොර පාසල් ද තිබුණා. අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ද මට බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයට පැමිණෙන්න අවස්ථාව ලැබුණා. මගේ බිරිඳත් මේ පාසලට පැමිණ තිබෙනවා.

බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ බණ්ඩාරවෙල අධ්‍යාපන ආයතනය බවට පත් වෙලා. මා හරීන් ප‍්‍රනාන්දු අමාත්‍යවරයාට බණ්ඩාරවෙලට පිහිනුම් තටාකය දීම සම්බන්ධයෙන් කතා කළා. බණ්ඩාරවෙල ප‍්‍රදේශයට හොඳ ක‍්‍රීඩාංගණයක් අවශ්‍යයි. අනෙකුත් පාසල්වලටත් භාවිත කළ හැකි පිහිනුම් තටාකය සහ ක‍්‍රීඩාංගණය අවශ්‍යයි. බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලය බණ්ඩාරවෙල සහ ඌව පළාතේ සංවර්ධනයේ කේන්ද්‍රස්ථනය ලෙස හඳුනා ගන්න පුළුවනි.

බණ්ඩාරවෙල ශාන්ත තෝමස් අද ප‍්‍රදේශයේ ප‍්‍රධාන අධ්‍යාපන ආයතනය බවට පත්වෙලා. බණ්ඩාරවෙල පමණක් නොවේ රටේත් උසස් තත්ත්වයේ තිබෙන පාසලක් බවට පත් වෙන්න ශාන්ත තෝමස් විද්‍යාලට හැකියාව ලැබිලා.

ශාන්ත තෝමස් විද්‍යාලයත් ඇතුළුව අපට උසස් තත්ත්වයේ පාසල් හයක් පමණ මේ ප‍්‍රදේශයෙන් හඳුනා ගන්න පුළුවනි. එහෙත් අවාසනාවකට අනෙකුත් පාසල් ඒ තත්ත්වයට පත්ව නැහැ. එය කනගාටුවට කරුණක් වනවා. මොනරාගල ඇතුළු දිස්ත‍්‍රික්ක, ප‍්‍රදේශ ගණනාවක මේ ප‍්‍රශ්නය තිබෙනවා.

අධ්‍යාපනයේ අර්බුදයක් තිබුණා. ඒ අර්බුදය මුදල් නැතිකම නොවේ. රජයෙන් අධ්‍යාපනය සඳහා විශාල මුදලක් වෙන් කරනවා. ඒ මුදල් වලින් විශාල කොටසක් පළාත් සභාවලට යනවා.

අප මූලික අධ්‍යාපනය දෙනවා. ගුරුවරුන් බඳවා ගන්නවා. එහෙත් උසස් ප‍්‍රතිඵල ඉහළ ප‍්‍රගතිය පෙන්නුම් කරන්න බොහෝ පාසල් අසමත් වෙලා. ඒ නිසා බොහෝ මාපියන් තමන්ගේ දරුවන් රජයේ පාසල්වලින් ඉවත් කරගෙන පෞද්ගලික පාසල්වලට දමනවා. බොහෝ පාසල්වල අධ්‍යාපනය තිබෙන්නේ පහළ මට්ටමකයි. ලාභ ලබන වගේම ලාභ නොවන පෞද්ගලික පාසල් ද අද බිහි වෙලා.

අද අධ්‍යාපනයට විශාල පිපාසයක් ඇති වී තිබෙනවා. මාපියන් අධ්‍යාපනයෙන් සංවර්ධනය බලාපොරොත්තු වෙනවා. අධ්‍යාපනයට දක්ෂ පිරිස් තනතුරුවලට යොමු කළ යුතුයි. අද අපේ තිබෙන ක‍්‍රමවේදයේ අඩුපාඩුවක් තිබෙනවා. ඒ අඩුපාඩුව පසුගිය දශක දෙක තුනේදීම දකින්න ලැබුණා.

කොහොමද ගුරුවරුන් යොදවන්නේ? කොහොමද ගුරුවරුන්, විදුහල්වතිවරුන් තෝරන්නේ? මුදල් වලින් උපරිම ප‍්‍රයෝජනයක් ගන්නේ කොහොමද? මියුසියස් විද්‍යාලයත් අනෙක් පාසල් අතරත් වෙනස එයයි. ශාන්ත තෝමස් විද්‍යාලයත් අපේ පාසල් අතරත් වෙනස එයයි. ඒ දේවල් නිසි ප‍්‍රමිතියකට කරන්න  ඕනෑ.

අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නංවන්න නම්, අධ්‍යාපනයේ දියුණුව අත්පත් කර ගන්න නම්, පාසල් සංවර්ධනය කරන්න නම් අධ්‍යාපනයට දක්ෂ පිරිස්, දැනුම තිබෙන පිරිස් පළපුරුද්ද තිබෙන අයට පාසල් බාර දෙන්න  ඕනෑ. අධ්‍යාපනයේ සංවර්ධනයට විශේෂ දැනුමක් තිබෙන්න  ඕනෑ. එවැනි පිිරිස් තනතුරුවලට පත් කරන්න  ඕනෑ.

ශාන්ත තෝමස් විද්‍යාලයේ, මියුසියස් විද්‍යාලවල ගුරුවරුන් විදුහල්පතිවරුන් තෝරන්නේ එහෙමයි. එහෙත් සමහර ක්ෂේත‍්‍රයේ එහෙම වෙන්නේ නැහැ. පත්වීම් කරද්දී දේශපාලන බලපෑම් වෙනවා. හිත මිත‍්‍රකම් මත පත්වීම් දෙනවා. විවිධ ආගමික පසුබිම්, විවිධ හේතු මත පත්වීම් දෙනවා. එයින් දියුණුවක් අත් වන්නේ නැහැ.

ප‍්‍රමිතියට අනුව විදුහල්පතිවරුන්, ගුරුවරුන් තෝරා ගන්න  ඕනෑ. දක්ෂ, පළපුරුදු අය තනතුරුවලට පත් කරන්න  ඕනෑ. විෂය, ඉල්ලීම, අවශ්‍යතාව අනුව පාසලට  ඕනෑ විදියට ගුරුවරුන් දෙන්න  ඕනෑ. පත් කරන්න  ඕනෑ.

මේ පාසල්වල එහෙම වුණත් රජයේ පාසල්වල එහෙම වෙන්නේ නැහැ. විද්‍යා ගුරුවරුන් දෙනවිට කලා ගුරුවරුන් බඳවා ගන්නවා. එහෙම කරන්න බැහැ. ඒ නිසා ශාන්ත තෝමස් මියුසියස් වැනි විදුහල්වල වගේ පත්වීම් තෝරා ගැනීම් කරන්න  ඕනෑ. ගුරුවරුන් පත් කිරීමේ, තෝරා ගැනීමේ ප‍්‍රමිතිය ඇති කළ යුතුයි.

මා ජනාධිපතිවරයා, අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළා. ගුරුවරුන්, විදුහල්පතිවරුන් පත් කර ගැනීමේ රාජ්‍ය ප‍්‍රතිපත්තිය සකස් කරන්න අප කටයුතු කරනවා. ශාන්ත තෝමස් වැනි විද්‍යාලවල ක‍්‍රියාවට නංවන ක‍්‍රමවේද ද රාජ්‍ය ප‍්‍රතිපත්තිවලට යොදා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා.

රාජ්‍ය ප‍්‍රතිපත්තිය සකසා ඒ අනුව ගුරුවරුන් බඳවා ගෙන ප‍්‍රගති සමාලෝචන ක‍්‍රමවේදය සකස් කරනවා. පුහුණු ගුරුවරුන් පත් කරන්න  ඕනෑ. එකම ගුරුවරයා කිහිප වරක් පුහුණු කරන්න  ඕනෑ. රජයේ, මධ්‍යම ආණ්ඩුවේ වගේම පළාත් සභාවලත් රාජ්‍ය ප‍්‍රතිපත්තිය ජාතික ප‍්‍රතිපත්තිය විදියට එය ක‍්‍රියාත්මක කරනවා.

අපි රජයේ බලතල දෙන්නෙත් නැහැ. පළාත් සභාවල බලතල ගන්නෙත් නැහැ. එහෙත් ගුරුවරුන් පත් කිරීම, තෝරා ගැනීම ආදිය ජාතික ප‍්‍රතිපත්තියට අනුව ක‍්‍රියාත්මක කරනවා. ඒ සම්බන්ධයෙන් විමසා බලනවා. ප‍්‍රගති සමාලෝචනය කරනවා.

පාසල් සංවර්ධනය නැතිනම් මාපියන්, පාසල අයත් ප‍්‍රදේශයේ ජනතාවට පැමිණිලි කරන්න අවස්ථාව දෙනවා. ඒ සම්බන්ධයෙන් කමිටු පත් කර විමර්ශනය කරනවා. ඒ සඳහා අපක්ෂපාතී ක‍්‍රමවේදය සකස් කරනවා. මේ සියල්ල ජාතික ප‍්‍රතිපත්තිය විදියට ක‍්‍රියාත්මක කරනවා.

ඒ වගේම බණ්ඩාරවෙල ගුරු සේවය වෙනුවට පාසල්වලට වෙන් වූ ගුරු සේවය නිර්මාණය කරනවා. පාසල්වල අවශ්‍යතාව, පාසල්වල වුවමනාව, විෂය අනුව ගුරුවරුන් තෝරා ගැනීමට පාසල් මණ්ඩලවලට අවස්ථාව දෙනවා.

මියුසියස් විද්‍යාලය ගත්තාම, ඒ පාසලට විතරයි. ශාන්ත තේමස් විද්‍යාලය ගත්තාම ඒ විද්‍යාලයට පමණයි. පාසලේ ගුරු මණ්ඩලය ඒ පාසලට සීමා කරනවා. බදුල්ල ගුරු සේවය, ඌව ගුරු සේවය වෙනුවට කන්දකැටිය මධ්‍ය මහා විද්‍යාලයේ ගුරු සේවය විදියට සීමා කරනවා. මෙතෝදිස්ත විද්‍යාලය නම් ඒ විද්‍යාලයට විතරයි. එංගලන්තයේ තවමත් එහෙමයි. රජය වියදම් කළාට ගුරු සේවය පාසලට පමණයි. ඒ ඒ ගුරුවරුන් ඒ පාසලට විතරයි. එහෙම වුණාම අඩු ගානේ අවුරුදු හතක් අටක් එහෙමත් නැති නම් අවුරුදු දහයක් ඒ ගුරුවරුන් පාසලේ ඉන්නවා.

ඊළඟට අධ්‍යාපන පරීක්ෂකවරුන් ගැන බලමු. අපෙත් ඉස්සර ඒ ක‍්‍රමය තිබ්බා. එංගලන්තයේ තවමත් ඒ ක‍්‍රමවේදය තිබෙනවා. පරීක්ෂකවරුන් පාසල්වලට ගිහින් පරීක්ෂා කරනවා. අවසන් පරීක්ෂණ වාර්තාව පාසල් මණ්ඩලයට, කලාපයේ අධ්‍යාපන කාර්යාවලට, සංවර්ධන මණ්ඩලවලට, පළාත් සභාවට, මධ්‍යම ආණ්ඩුවට දෙනවා. ඒ අනුව ඒ ඒ පාසල් ගැන ගුරුවරුන් ගැන අවබෝධයක් තිබෙනවා. ඒ ඒ පාසල්වල අඩුපාඩු මොනවද කියා අපට හොයා ගන්න පුළුවනි. අදාළ පාසලේ සංවර්ධනය කොතැනද තිබෙන්නේ කියා අපට හොයා ගන්න පුළුවනි.

ගුරුවරුන් බඳවා ගෙන පුහුණු කිරීම පළමු වැන්නයි. අවශ්‍යතාව අනුව සුදුසු පරිදි ගුරුවරුන් තෝරා ගැනීම දෙවැනියට කරනවා. පරීක්ෂකවරුන් යෙදවීම තෙවැන්නයි. ගුරුවරුන් තෝරා ගෙන පුහුණු කරනවා. විෂය අනුව ගුරුවරුන් පුහුණු කරනවා. ඉන් අනතුරුව ගුරුවරුන් පාසල්වල අවශ්‍යතාව අනුව යොදවනවා.

ගුරුවරුන් පුහුණු කිරීම සඳහා මුදල් වියදම් කළ යුතුයි. එකම ගුරුවරයා වසරකට කිහිප වතාවක්ම පුහුණු කරනවා. ගුරුවරුන්ට නව දැනුම, තාක්ෂණය පිළිබඳව අවබෝධය දිය යුතුයි. ඉන් අනතුරුව පාසල්වල අවශ්‍යතාව අනුව ගුරුවරුන් යොදවනවා. පරීක්ෂකවරුන්, ගුරුවරුන්, පාසල් ගැන පරීක්ෂා කර බලනවා. එවැනි ක‍්‍රමවේදයට ජාතික ප‍්‍රතිපත්තියට යා යුතුයි. මෙය අවුරුදු හතරක්, පහක් හයක් කළ යුතු සංශෝධනයි. මේවා ප‍්‍රතිසංවිධානයි.

අප බස් රථයකට නඟින්නේ එහි රියැදුරා පුහුණුව ලබා තිබෙන නිසයි. අපි ගුවන් යානයකට බය නැතුව නඟින්නේ, දුම්රියකට බයක් නැතිව ගොඩ වෙන්නේ එහි රියදුරා පුහුණුව ලබා තිබෙන නිසයි. ඒ නිසා පාසල් සංවර්ධනය කිරීමේ, විශිෂ්ටයන් බිහි කිරීමේ වගකීම කාර්ය භාරය හා හැකියාව තිබෙන්නේ ගුරුවරුන් සතුවයි. හැම පන්ති කාමරයකම පුහුණුව තිබිය යුතුයි. හැම පන්ති කාමරයකම පුහුණු ගුරුවරුන් සිටිය යුතුයි. සෑම පන්ති කාමරයකම පුහුණුව තිබිය යුතුයි.

අමාරුවෙන් පටන් ගෙන විවිධ දුෂ්කරතා මධ්‍යයේ බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලය ඉහළ තැනකට පැමිණියා. ලංකාවේ ලෝකයේ ප‍්‍රසිද්ධියට පත් වූ පාසල් තිබෙන්නේ කිහිපයයි. අපට  ඕනෑ හැම පාසලක්ම ජාත්‍යන්තරයට යන්නයි.

මේ පාසල ආරම්භ වුණේ අහම්බෙනුයි. ජපන්නු බෝම්බ දැම්මේ නැතිනම් මේ පාසල තියේද නැද්ද කියන්න අප දන්නේ නැහැ. අහම්බෙන් ආරම්භ වුණත් බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලය අද ලංකාව පුරා ජනප‍්‍රිය වෙලා. පිළිවෙළකට, සැලැස්මකට ආරම්භ කරපු සමහර පාසල්වලටත් ඒ තත්ත්වයට යන්න බැරි වෙලා. ඒ නිසා අපට  ඕනෑ සෑම ලංකාවේ පාසලක්ම ජාත්‍යන්තරය ජය ගන්නවා දකින්න” යයි අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී තවදුරටත් කීවේය.

විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා ද එහිදී මෙසේ කීය.

”මම ඌව පළාතේ මහ අමාත්‍යවරයාව සිටියදී බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයට පිහිණුම් තටාකය දෙන බවට පොරොන්දු වුණා. එහෙත් මට ඒ පොරොන්දුව ඉටු කරගන්න බැරි වුණා. මට මහ ඇමැති ධූරයෙන් යන්න වුණා. පාසලට වගේම පළාතට වූ පොරොන්දු කිහිපයක් ඉටු කරගන්න බැරි වුණා. මා අගමැතිවරයාටත් ඒ ගැන කිව්වා. මට ලැජ්ජයි සර්, කියා මා අගමැතිවරයාට කිව්වා.

ඒ පොරොන්දුව ඉටු කරන්න මුල් පියවර තබන්න මා කැමැතියි. පිහිනුම් තටාකය ඉදි කරන්න මගේ පුද්ගලික මුදලින් රුපියල් දක්ෂ දහයක් දෙන්න මා තීරණය කළා. ඒ බව මේ අවස්ථාවේදී කියන්න කැමැතියි. ආදි ශිෂ්‍යන්ගේ ඇතුළු සියලූ දෙනාගේ සහාය ඇතිව අරමුදල් ඇති කර ඒ මුදල් යොදවන්න කටයුතු කරමු.

බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලය පිහිනුම් තටාකය ප‍්‍රදේශයට, බදුල්ල දිස්ත‍්‍රික්කයට වගේම ඌව පළාතට ආශිර්වාදයක් වේවි. පිහිනුම් තටාකය ගැන මා අග‍්‍රාමාත්‍යවරයා සමඟත් සාකච්ඡා කළා. අගමැතිවරයා සමඟ එක්ව මේ පාසලත්, බදුල්ල දිස්ත‍්‍රික්කයත් ඌව පළාතත් සංවර්ධනය කරන්න කටයුතු කරනවා” යයි අමාත්‍යවරයා එහිදී කීවේය.

බෞද්ධ භික්ෂූන් වහන්සේලා, කතෝලික පියතුමන්ලා, ශාන්ත තෝමස් විද්‍යාලයේ ප‍්‍රධානී ක‍්‍රිස්ටෝපර් බාල්රාජ් පියතුමා, පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි යන මහත්වරු ආදි ශිෂ්‍යයන්, මවුපියන්, ගුරුවරුන් හා කාර්ය මණ්ඩලය, ප‍්‍රදේශයේ පාසල් ගුරුවරු, සිසුහු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වූහ.

බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ 75 වැනි සංවත්සරය හා අධ්‍යාපනික ප‍්‍රදර්ශනය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විද්‍යාලයේදී පැවැත්විණි.