IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


සියලු නායකයන් මරා දැමූ විටෙක පක්ෂ නායකත්වය බාරගත් මා ඊළඟ ජාතික මැතිවරණයෙන් තනි ආණ්ඩුවක් හදනවා

(නිමල කොඩිතුවක්කු)

බිම් මට්ටමේ සිට පක්ෂ නායකත්වය දක්වා සියලු නායකයන් මරා දැමූ අවස්ථාවක පක්ෂ නායකත්වය බාරගත් තමා ඊළඟ ජාතික මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් හදන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී පැවැසීය.

එළැඹෙන ජාතික මැතිවරණයෙන් තමා හදන්නේ වසර 20ක් පවතින එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බව සඳහන් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ඊට අදාළ දෙවැනි පෙළ නායක කණ්ඩායම මේ වනවිටත් හදා ඇතැයි ද කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ඊළඟ වසර 20ම බලයේ සිටින්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යයි ද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති එක්සත් ජාතික පක්ෂ ජාතික මැයි රැලිය අමතමිනි.

“එක්සත් අපේ මැයි දිනය - පරිණත නායකත්වයට නව ජවයක්” තේමාව යටතේ එත්සත් ජාතික පක්ෂ ජාතික මැයි රැලිය පැවැත්විණි.

දිවයිනේ නන්දෙසින් පැමිණි විශාල ජනතාවගේ සහභාගීත්වයෙන් පැවැත් වූ එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ, ශ්‍රී ලංකාවේ හැම ගමකම ‘පුංචි සිරිකොත’ බැගින් පිහිටුවීමේ වැඩ කටයුතු ඉදිරි මාස 18 තුළ සම්පූර්ණ කරන බවය.

එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය ඇමතූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

බලාපොරොත්තු වූවාටත් වඩා විශාල ජනතාවක් අද දින එක්සත් ජාතික පක්ෂ මැයි රැලියට පැමිණීම පිළිබඳව මා සතුටට පත් වෙනවා. ඒ වගේම සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට ඇතුළුවීමට ඉඩකඩ නැතිකම නිසා පිටත රැඳී සිටින ජනතාවට මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. 

මේතරම් විශාල ජනතාවක් අපේ මැයි රැලිය සඳහා සහභාගි වන බව දැන සිටියා නම් අප තෝරා ගන්නේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරය නොව, සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණයයි. 

එක්සත් ජාතික පක්ෂයත්, යහ පාලන ආණ්ඩුවත් ගැන පූර්ණ විශ්වාසය සහ බලාපොරොත්තු තබා සිටින ඔබ සියලු දෙනාට මා ස්තූතිවන්ත වෙනවා. ශාලාවෙන් පිටත රැඳී සිටින හතර ගුණයක් පමණ වන ජනතාවගෙන්, වෘත්තිය සමිති සහ පක්ෂය වෙනුවෙන් මා නැවතත් සමාව ඉල්ලා සිටිනවා. කෙසේ හෝ ඔබේ පැමිණීම පිළිබඳව මගේ ස්තූතිය පිරිනමනවා. 

ඒ වෙනුවට අපට අවශ්‍ය වුණේ කම්කරුවාට උපහාරයක් වන ආකාරයේ මැයි දින රැලිය පැවැත්වීමටයි. විශිෂ්ට සංවිධානයකින් යුතුව මැයි රැලිය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතාට ස්තූතිවන්ත වෙනවා. 

අද දිනයේ නියමාකාරයෙන් කම්කරුවාට ප්‍රණාමය පුද කළා. කිසිවකුත් ඒ පිළිබඳව ගැටලුවක් ඇති කර ගත යුතු නැහැ. අප මෙවැනි මැයි දිනයක් සංවිධානය කළේ ඇයිදැයි බොහෝ දෙනා විමසනවා. ඒ සඳහා වන පිළිතුර ඉතා සරලයි. එනම්, ශ්‍රී ලාංකේය දේශපාලනයේ අලුතෙන් සිතන එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය වීම ඊට පිළිතුරයි. ඒ සම්බන්ධයෙන් කිසිවෙකුට දෝෂාරෝපණය කළ නොහැකියි. දොස් පවරනවා නම් දොස් පැවරිය හැක්කේ, මේ ස්ථානයට ඇතුළු වීමට නොහැකිව පිටත රැඳී සිටින ජනතාවට පමණයි. 

රටේ කම්කරු දිනය සැමරීමේ සැබෑ අයිතිය ඇත්තේ එක්සත් ජාතික පක්ෂය පමණක් බව කිව යුතුයි. ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග ආදී එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරුන් යටතේ කම්කරු ප්‍රජාව විශාල ප්‍රමාණයකින් වර්ධනය වුණා. 

ඩී.එස්. සේනානායක මැතිතුමා අපේ රටට නිදහස ලබා දුන් පළමු නායකයායි. එතුමා නිදහස දිනා ගන්නා කාලයේ ශ්‍රී ලංකාවේ තිබුණේ කෘෂිකාර්මික ආර්ථිකයි. ජනතාවගෙන් බහුතරය ජීවත් වුණේ ග්‍රාමීය ප්‍රදේශවලයි. නමුත් පසු කාලීනව නිදහස් අධ්‍යාපනය ඔස්සේ තරුණ තරුණියන් අධ්‍යාපනය ලබා ගැනීමට යොමු වුණා. ඉන් පසුව ඔවුන් රැකියා අවස්ථා බලාපොරොත්තු වුණා. 

1956 සිට පැවැති ආණ්ඩුවලට රටේ කර්මාන්ත ඇති කිරීමට නොහැකි වුණා. ශ්‍රී ලංකාවේ පළමු කර්මාන්ත ශාලා කිහිපය ඇති කළේ එක්සත් ජාතික පක්ෂ රජය යටතේයි. 

ඉන් පසුව බලයට පැමිණි අනෙකුත් ආණ්ඩු කම්කරුවන් පිළිබඳව කෙතරම් කතා කළත් 1956 ත්, 1977 ත් අතර කාලය තුළ රටේ කම්කරු ප්‍රජාවේ වර්ධනයක් වුණේ නැහැ. 

රටේ ආර්ථිකය විවෘත කරමින් අපනයන කර්මාන්ත ඇති කිරීමටත්, දේශීය කර්මාන්ත ආරම්භ කිරීමට ඇති සීමා ඉවත් කිරීමටත් අප තීරණය කළේ ඉන් පසුවයි. ඒ වගේම නව කර්මාන්ත සඳහා බදු සහන දීමටත් අප කටයුතු කළා. ඉන් පසුව රට තුළ විශාල වශයෙන් කර්මාන්ත ශාලා ඇති වුණා. 

කර්මාන්ත ශාලා පමණක් නොව, වෙළෙඳ අංශය, සංචාරක කර්මාන්තය ආදියත් දියුණුවට පත් වුණා. ඒ හරහා රටේ සේවා අංශ දියුණු වුණා. 

අනතුරුව රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ධුර කාලයේත්, ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයාගේ ධුර කාලය තුළත් ශ්‍රී ලංකාවට තොරතුරු තාක්ෂණය ගෙන ඒමට හැකි වුණා. ඒ වගේම වරාය දියුණු කිරීමේ කටයුතු ද කළා. ඒ අනුව වැටුප් ලබන සේවක සංඛ්‍යාවේ වර්ධනය ඇති වුණේ එක්සත් ජාතික පක්ෂ යුගවල දී බව කිව යුතුයි. 

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට දළ දේශීය නිෂ්පාදනය තුළ කෘෂිකර්මාන්තයට වඩා වෙනත් අංශවලට ඉඩක් ලැබුණා. කර්මාන්ත, සේවා සහ වෙළෙඳ අංශ තුළ දළ දේශීය නිෂ්පාදනය වර්ධනය වුණා. ඒ වගේම අපනයන කර්මාන්තය ඇති කිරීමටත් අපට හැකියාව ලැබුණා. 

පුද්ගලික අංශයේ සේවකයන් ශක්තිමත් කිරීමට අපට හැකි වුණා. සේවානියුක්තිකයන්ගේ භාර අරමුදල ඇති කළා. නව කම්කරු නීති සම්පාදනය කළා. මේ සියලු දේ කළේ එක්සත් ජාතික පක්ෂයයි. ඒ නිසා වෙන කාටවත් වඩා කම්කරු දිනය සැමරීමේ අයිතිය එක්සත් ජාතික පක්ෂය සතු බව කිව යුතුයි. 

අද බොහෝ දෙනා පෙළපාළි, උද්ඝෝෂණ කරන්නේ අප කර්මාන්ත ශාලා ඇති කර තිබෙන නිසයි. ඒ වගේම ගම්මානවල ඇඟළුම් කර්මාන්ත ශාලා 200ක් ඇති කර තිබෙන නිසයි. රට පුරා හෝටල් ව්‍යාපෘති ආරම්භ කළ නිසයි. 
වර්තමානයේ සෑම කම්කරුවකුගේම නිවසේ රූපවාහිනී යන්ත්‍රයක්, ශීතකරණයක් ආදී අවශ්‍ය උපකරණ බොහෝ දෑ තිබෙනවා. එසේ නම් අප කම්කරුවාගේ අතට මුදල් ලැබෙන ආකාරයට කටයුතු කළා. ඔවුන්ට ආදායම් මාර්ග ඇති කර දුන්නා. ඒ අනුව පළමු වතාවට කම්කරු ජනතාවට මධ්‍යම පන්තියට පිවිසීමේ දොරටු විවෘත කරදීමට අපට හැකි වුණා. 

අද කම්කරුවාට පහසුකම් අප දී තිබෙනවා. කම්කරුවාගේ දරුවාට අධ්‍යාපනය ලබා ගැනීමට අවශ්‍ය පරිසරය සැකසුවා. ඔවුන් අද වෛද්‍ය පීඨ හෝ නීති පීඨවල හෝ අධ්‍යාපනය ලබනවා. සියලු දේ ඉටු කළේ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක් නොව, එක්සත් ජාතික පක්ෂය බව කිව යුතුයි. 

1994 වසරේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු පැවැතියා. ඒ ආණ්ඩු හරහා රටේ ඇති වූ දියුණුව කුමක්ද? රටේ කර්මාන්තකරණය ඇති වුණා ද? ඔවුන් යටතේ ඇති වූ එක් විශාල කර්මාන්ත කලාපයක් පෙන්විය හැකි ද? අප ඇති කළ සීතාවක වෙළෙඳ කලාපයෙන් පසුව එක් වෙළෙඳ කලාපයක් හෝ ඇති කිරීමට ඔවුන් කටයුතු කළේ නැහැ. 
ඔවුන්ගේ පාලනය කාලය තුළ රට වෙනුවෙන් කළේ කුමක්ද? අවසානයේ ඔවුන් රටේ විශාල ඒකාධිපති පාලනය ඇති කළ බව නම් අප දන්නවා. ඒ මහින්ද රාජපක්ෂ රෙජීමයයි. 

සියලු දෙනා එකතු වී රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමට කටයුතු කළා. එක්සත් ජාතික පක්ෂය රාජපක්ෂ රෙජීමයට බිය වුණේ නැහැ. රාජපක්ෂ රෙජීමයට විරුද්ධ, ප්‍රජාතන්ත්‍රවාදයට කැමති සියලුම දෙනා සමග කටයුතු කිරීම සඳහා ඔබ මට අනුමැතිය එදා දුන්නා. ඒ අනුව සියලු දෙනා එකතු වුණා. 

ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කළා. ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් අප ඉදිරියට ගියා. ඉන් පසුව පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් අවශ්‍ය බහුතරය ගැනීමට අපට නොහැකි වුණා. ඒ නිසා අප ජාතික ආණ්ඩුව ඇතිකර ගත්තා. ඒ තුළ විවිධ අදහස් ඇති අය සිටිය ද අප ඉදිරියටම යනවා. 

ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂක වෙනුවෙන් විවිධ මත පළ වී තිබුණා. එක් අන්තයක ජනතා විමුක්ති පෙරමුණත්, තවත් අන්තයක ද්‍රවිඩ ජාතික සංධානය සහ වෘත්තීය සමිතිත් සිටියා. නමුත් එක්සත් ජාතික පක්ෂය සියලු දෙනා එකතු කර ගනිමින් පොදු අපේක්ෂක ඉදිරිපත් කළා. ඉන් පසුව අප ආණ්ඩුව පිහිටුවා ගත්තා. 

ඒ ආණ්ඩුව තුළ විවිධ අදහස් ඇති බව අප පිළිගන්නවා. අප පළමුවෙන් ක්‍රියා කළේ රාජපක්ෂ බිය තුරන් කිරීම සඳහායි. සුදු වෑන් තර්ජන ඉවත් කරමින් මාධ්‍ය නිදහස දීමට මා කටයුතු කළා. 

අද මට මාධ්‍යයෙන් පහර ගසන ආකාරයට එදා මහින්ද රාජපක්ෂට පහර ගැසුවා නම් ඔවුන් සියලු දෙනා අද සිටින්නේ කනත්තේ බව කිව යුතුයි. කෙසේ වුවත් මාධ්‍ය මගින් සෑම දිනකම පහර ගැසීමත් මා ශුභවාදීව දකිනවා. එවිට වස් දොස් පහව යනවා. නමුත් ප්‍රමාණය ඉක්මවා මට පහර ගැසුවොත් ඒ මාධ්‍ය ආයතනය සතු ජනතා ආකර්ෂණය දිනෙන් දින අඩු වන බවත් මතක තබා ගැනීම හොඳයි.

අද ජනතාවට බියක් සැකක් නැතිව ජීවත් වීමට හැකියාව ලැබිලා. අපේ ජනාධිපතිතුමා අද ලොව පුරා සංචාරය කරනවා. ලෝකයේ රටවල් අද අපව පිළිගන්නා තත්ත්වයට පැමිණ තිබෙනවා. කිසිදු ජාත්‍යන්තර රටක් අපට විරෝධය පළ කරන්නේ නැහැ. ඔවුන් ශ්‍රී ලංකාව විශේෂ කර සලකනවා. 

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ පිළිගන්නවා යයි පැවසීමට අධික වියදමක් දැරීමට වන  “චෝගම්” වැනි උත්සව පැවැත්වීමේ අවශ්‍යතාවය අද නැහැ. එය ඔප්පු විය යුත්තේ අප ජාත්‍යන්තරයට යන විටයි. අප එය ඉටු කළා. අද අපට ලෝක සහයෝගය ලැබෙනවා. 

ශ්‍රී ලංකාව ජීනීවා මානව හිමිකම් කවුන්සිලයට ගිය විට කිසිදු රටක් විරෝධය දක්වන්නේ නැහැ. අද ශ්‍රී ලංකාවට එරෙහිව හඬ නගන්නේ සරත් වීරසේකර සහ ලන්ඩනයේ සිටින ද්‍රවිඩ සංවිධානය පමණයි. වෙන කිසිවකුත් ශ්‍රී ලංකාවට එරෙහි වන්නේ නැහැ. ලෝකයේ කොන් වී තිබු ශ්‍රී ලංකාව අප අද ඒ තත්ත්වයට ගෙනැවිත් තිබෙනවා. රට තුළ නිසි පාලනය ඇති කළා. නීතිය අකුරට අද ක්‍රියාත්මක කරනවා. 

අපේ රට මුහුණ පා සිටින විශාලතම ගැටලුව නම් රාජපක්ෂ පාලන සමයේ ලබාගත් අති විශාල ණය කන්දරාවයි. ලබාගත් ණය සඳහා පොලිය ගෙවීමටවත් එදා මුදල් තිබුණේ නැහැ. 2016 - 17 කාලය තුළ දී ණය ගෙවීමට හැකි පරිදි රටේ ආර්ථිකය සකස් කළා. දැන් අපට අඩුම වශයෙන් රටේ ආදායමින් ණය ගෙවීමටවත් හැකි තත්ත්වය ලැබීලා. 

රටේ ආර්ථිකය කඩා වැටුණා නම් ඔබ ජීවත් වන්නේ කෙසේ ද? රට තුළට කිසිඳු භාණ්ඩයක් ආනයනය කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ජංගම දුරකථන, ගෘහ භාණ්ඩ, ආහාර මේ කිසිඳු නිෂ්පාදනයක් රටට ගෙන්වා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. එවිට ඔබ ජීවත් වන්නේ කෙසේද? නමුත් ඉතා අපහසුවෙන් රටේ ආර්ථිකය මා නැවත ගොඩ නැගුවා. ඇතැම් අවස්ථාවල ආදායම් ඉහළ දැමීම සඳහා බදු වැඩි කිරීමට වුණා. 

ණය ගෙවීම, ලෝකයේ පිළිගැනීම ලැබීම, අනාගත පරම්පරාව ණය බරින් නිදහස් කිරීම යන අරමුණු ඇතිව මා ආර්ථිකයත්, රටත් සංවර්ධනය කළා. ශ්‍රී ලංකාවට එරෙහිව පනවා තිබූ ජී.එස්.පී. ප්ලස් බදු සහනය නැවත ගත්තා. ඒ හරහා ඇඟලූම් කර්මාන්තයත්, ධීවර කර්මාන්තයත් නැවත දියුණු කිරීමේ හැකියාව ලැබුණා. ලෝකයේ අපනයන වෙළෙඳපොළට පිවිසීමේ හැකියාව ලැබී තිබෙනවා. මෙය ආරම්භය පමණයි. 

මේතරම් වැඩ කොටසක් කර තිබිය දී ඇතැමුන් අපේ ආණ්ඩුව රට වෙනුවෙන් කරන්නේ මොනවාදැයි විමසනවා. අප රට වෙනුවෙන් කර ඇති විශාල කාර්ය භාරය ගොඩනැගිල්ලක් ඉදි කරනවා මෙන් ජනතාවට නොපෙනන බව මා දන්නවා. එය රාජපක්ෂ ආණ්ඩුව සමයේ අඩක් නිම කළ ගොඩනැගිලි මෙන් පෙනෙන්නේ නැහැ. 

තවමත් වැඩ කටයුතු අවසන් කිරීමට නොහැකි වූ ආරක්ෂක අමාත්‍යාංශයේ ගොඩනැගිල්ල මෙන් ජනතාවට නොපෙනෙන බව දන්නවා. නමුත් අපේ කාර්ය භාරය වූයේ විශාල ණය උගුලෙන් රට බේරා ගෙන ඉදිරියට යාමයි. ආයෝජකයන් තුළ ශ්‍රී ලංකාව කෙරෙහි විශ්වාසය මා ගොඩ නැගුවා. 

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම ආයෝජන ප්‍රමාණය පසුගිය වසරේ වාර්තා වුණා. ඒ වගේම වැඩිම අපනයන ප්‍රමාණයත් පසුගිය වසරේ වාර්තා වුණා. මේ වසරේ දී එය තවත් වර්ධනය කර ගත හැකියි. අපට දෝෂාරෝපණ එල්ල වන බව දන්නවා. නමුත් මේ ස්ථානයට පැමිණියේ රටේ අහිංසක තරුණ තරුණියන්ට අනාගතය නිර්මාණය කර දීමටයි. ඔවුන්ට අනාගතය ඇති කර දිය යුතුයි. ඔවුන්ව රැවටීමෙන් ප්‍රයෝජනයක් නැහැ. 

හම්බන්තොට වරාය ඔවුන් ඉදි කළද එහි ණය පියවා ගැනීමට ක්‍රමවේදය තිබුණේ නැහැ. අපේ ආණ්ඩුව යටතේ ණය ගෙවූ පසු දැන් බොරුවට දෝෂාරෝපණය කරනවා. ඔවුන්ට හම්බ කිරීමට හැකියාව නැති නිසා ඔවුන්ම ඉදි කළ හම්බන්තොට වරායට දැන් චෝදනා කරනවා. 

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ දී ඔවුන් සියලුම ඉඩම් චීනයට සින්නක්කරව විකුණා දැම්මා. නමුත් අපේ ආණ්ඩුව යටතේ ඒ ඉඩම් 99 අවුරුද්දකට බදු පදනම යටතේ පමණක් දීමට මා කටයුතු කළා. වරාය නගරයට අනාගතය ඇතිවී තිබෙන්නේ අපේ ආණ්ඩුව යටතේ බව වරාය නගර ව්‍යාපෘතිය බාර සමාගම දැන් පවසනවා. 

අමාරු කාලවල දී ඒ ප්‍රශ්නවලට මුහුණ දීමටත්, ඒ වෙනුවෙන් ජනතාවගෙන් දෝෂාරෝපණයට ලක්වීමටත් වෙනවා. 
2017 වසරේ ඉහළ ආර්ථික වර්ධනය අප බලාපොරොත්තු වුණා. නමුත්, ඒ වසරේ දී විශාල ගං වතුරකට, නියඟයකට සහ කුණු කන්ද නාය යාමේ ඛේදවාචකයටත් මුහුණ දීමට සිදුවුණා. බොහෝ අය සිතුවේ මේ ස්වභාවික ව්‍යවසන හේතුවෙන් රටේ ආර්ථිකය අඩපණ වන බවයි. නමුත් අපහසු අවස්ථාවල අපේ රජය අනුගමනය කළ පියවර නිසා ආර්ථිකය බිඳ වැටීමකට ලක් නොවී පවත්වා ගැනීමට හැකි වුණා. 

ගංවතුර, නියඟය හේතුවෙන් රටේ කෘෂි නිෂ්පාදන පහත වැටුණා. බඩු මිල ඉහළ ගියා. ඒ වගේම පොහොර හිඟය ද ඇති වුණා. මේ කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුව වෙනුවෙන් මා කණගාටුව ප්‍රකාශ කරනවා. මේ ගැටලු නිසා එක්සත් ජාතික පාක්ෂිකයාට ගම් මට්ටමේ දී චෝදනා එල්ල වූ බවත් අප දන්නවා. ඒ සම්බන්ධයෙන් මා සමාව ඉල්ලා සිටිනවා. කෙසේ හෝ අවසානයේ දී සියල්ලට මුහුණ දෙමින් අප ඉදිරියට පැමිණියා. 

අපට ඒ ශක්තිය හා විශ්වාසය තිබෙනවා. මහින්ද රාජපක්ෂට 2014 වසරේ තමා ගත් ණයවල පොලිය ගෙවීමටවත් මුදල් තිබුණේ නැහැ. ඔහු ගත් ණයවලට වැඩිම පොලී ප්‍රමාණය ගෙවීමට තිබෙන්නේ 2018 - 2019 කාලවලදීයි. ඒ සඳහා අප සූදානම් බවත් පැවසිය යුතුයි. 

හම්බන්තොට වරායේ සියලු ගෙවීම් ගෙවා අවසානයි. මේ වන විට මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ ආරම්භ කර තිබෙනවා. 

පළාත් පාලන මැතිවරණය පැවතුණේ පසුගිය පෙබරවාරි මාසයේදීයි. ඒ කාලය වන විට බඩු මිළ ඉහළ යෑම, පොහොර හිඟය ඇති වීම ආදී කාරණා නිසා අපට පසුබෑමකට ලක්වීමට සිදු වුණා. නමුත් ඒ මැතිවරණය පසුගිය මැයි මාසයේ දී පමණ පැවැත් වුණා නම් එක්සත් ජාතික පක්ෂය ඉතා පහසුවෙන් ජයග්‍රහණය කරනවා. එය අපට අවාසනාවන්ත කාලය වුණා. 

සියලුම පළාත් පාලන ආයතනවල මැතිවරණ එක් දිනක දී පැවැත් වීමට අවශ්‍ය වුණා. ඒ වගේම එක්සත් ජාතික පාක්ෂිකයාගේ ඇතැම් බලාපොරොත්තු ඉටු කර තිබුණේ නැහැ. දේශපාලන පළිගැනීම්, රැකියා දීමේ ගැටලු ආදිය තවමත් තිබෙනවා. ඒ වගේම පළාත් පාලන ආයතනවල අපේ මන්ත්‍රීවරුන් දේශපාලනික වශයෙන් ශක්තිමත් කිරීමට අපට වනවා. 

තවත් මාස 18ක් ඉදිරියට යාම සඳහා අපට ඉතිරිව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය පසුබිම මා සැකසුවා. දැන් ඉතිරිව තිබෙන්නේ ඉදිරියට යාමයි. 

පසුගිය 70 වැනි සංවත්සරයේ දී මා දුන් පොරොන්දුව ඉටු කළා. ඒ එක්සත් ජාතික පක්ෂයට නව නායක පරපුර ඇති කිරීමේ පොරොන්දුවයි. 

ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා පක්ෂය වෙනුවෙන් නායකයන් තිදෙනෙකු පුහුණු කළා. ඒ සියලු දෙනා රටට අහිමි වුණා. ඒ නායකයන් තිදෙනාට අමතරව මමත් කටයුතු කරමින් සිටියා. එය සරළව කියනවා නම් වාහනයක අමතර රෝදය වැනියි. නමුත් අවසානයේ මා පක්ෂ නායකත්වයට පත් වුණා. එදා මා පිටුපසින් කිසිවෙකුත් සිටියේ නැහැ. 
එක්සත් ජාතික පක්ෂයට වන්නේ කුමක්දැයි 1994 දී ඇතැම් අය විමසුවා. මගෙන් පසුව පක්ෂය ඉදිරියට යාමක් නැති බව කියා සිටියා. පක්ෂයේ ප්‍රධාන පෙළෙහි නායකයන් පමණක් නොව, දිස්ත්‍රික් සහ ග්‍රාමීය මට්ටමේ නායකයන් ද පක්ෂයට අහිමි වුණා. බිම් මට්ටමේ නායකයාගේ සිට පක්ෂ නායකයා දක්වා සියලුදෙනා ඝාතනය වුණා. 

මේ ස්ථානයේ සිටින බොහෝ පිරිසකගේ ඥාතීන් ද එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වැඩ කිරීම නිසා ජීවිතයෙන් වන්දි ගෙවා තිබෙනවා. ඔවුන් වෙනුවෙන් අවුරුදු 20 ක් තුළ ඉටු කිරීමට නොහැකි වූ සේවා තිබෙනවා. හවුල් ආණ්ඩුව යටතේ කඩා වැටුණු ආර්ථිකය නැවත නගා සිටුවීමට අපට හැකි වුණා. කෙසේ නමුත් 2002 දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ ඉටු කිරීමට නොහැකි වූ සියලු දේ ඔබ වෙනුවෙන් ඉටු කිරීමට බලාපොරොත්තු වෙනවා. 
මට අවශ්‍ය වන්නේ වසර 5 ක් පමණ බලයේ පවතින එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව නොවෙයි. මට අවශ්‍ය වන්නේ වසර 20 - 30 ක් පවතින එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවයි. ඒ ආණ්ඩුවේ නායකත්වය මට ඉදිරියටත් දැරීමට නොහැකියි. 

එක්සත් ජාතික පක්ෂය සඳහා නව නායකත්ව මණ්ඩලය ඇති කළේ ඒ නිසයි. 

2017 දී පළාත් පාලන මැතිවරණයෙන් පසු මේ වෙනස ඇති කිරීමට මා බලාපොරොත්තු වුණත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකියාව ලැබුණේ 2018 වසරේදීයි. මේ වන විට නව නායකයන් පිරිස තෝරා ගෙන තිබෙනවා. ඉදිරියේ දී තවත් පිරිසක් තෝරා ගැනීමට නියමිතයි. 

එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණ ප්‍රතිසංවිධානයට ලක්කර ඉදිරි වසර 20 පුරාම බලයේ සිටීමට හැකි එක්සත් ජාතික පක්ෂය මා නිර්මාණය කරනවා. 

ඒ විශාල වැඩ කටයුත්ත මා ආරම්භ කළා. එක්සත් ජාතික පක්ෂ හිටපු සභාපති මලික් සමරවික්‍රම මැතිතුමාටත්, හිටපු මහ ලේකම් කබීර් හෂීම් මැතිතුමාටත් ඔවුන්ගේ සේවාව වෙනුවෙන් ප්‍රණාමය පුද කරනවා. අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් කබීර් හෂීම් මැතිතුමාට මැයි රැලියට සහභාගි නොවන ලෙස ඊයේ එතුමාට උපදෙස් දුන්නා. 

සියලූ දෙනා එක්වී වැඩ කළ යුතුයි. කණ්ඩායම ලෙස වැඩ කිරීමට දක්ෂ විය යුතුයි. එක්සත් ජාතික පක්ෂය එසේ කණ්ඩායම ලෙස වැඩ කරනවා නම් වසර 20 ක් බලයේ සිටීම අපහසු කටයුත්ත නොවෙයි. නමුත් තනි තනිව කටයුතු කරනවා නම් පක්ෂයට ඒ ගමන යාමට නොහැකියි. 

ඒ නිසා පළමුවෙන්ම කණ්ඩායම ලෙස වැඩ කිරීම තේරුම් ගත යුතුයි. පක්ෂය ජයග්‍රහණය කරවීම මේ ශාලාවේ සිටින ඔබ සියලු දෙනාටම බාරයි. 

මීට පෙර පැවැති ආකාරයට සෑම ගමකම පුංචි සිරිකොත බිහි කිරීම මගේ අරමුණයි. 1976 දී මා කැලණිය ආසනයේ සංවිධායකවරයා ලෙස ආසනය පුරා යද්දී ගමේ ඇතැම් ගෙවල් හැඳින් වූයේ පුංචි සිරිකොත ලෙසයි. වර්තමානය වන විට නවීන තාක්ෂණය සහ ජංගම දුරකථන නිසා එය තවත් පහසුයි. 

ජංගම දුරකථනය හරහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, සිරිකොත කාර්යාලය සමගින් සම්බන්ධ වීමේ හැකියාව ඔබට තිබෙනවා. ඒ කාලයේ පක්ෂ සංවිධාන වැඩ සදහා තිබුණේ  “සියරට” පුවත් පත පමණයි. එසේ නම් අද සිට  “පුංචි සිරිකොත” නිර්මාණය කිරීමේ වැඩ කටයුත්ත ආරම්භ කිරීමට කැප වෙමු. 

සමෘද්ධි අමාත්‍යාංශය බාර ගැනීමට අපට හැකියාව ලැබුණා. ඒ අමාත්‍යාංශයේ මීට පෙර පැවැති වැරදි නිවැරදි කිරීමට සිදුව තිබෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය නම් නව ක්‍රමවේදය වුවත් ඇති කළ හැකියි. 

සමෘද්ධි අමාත්‍යාංශයේ සම්පූර්ණ සංඛ්‍යා ලේඛන ඊයේ දිනයේ දී මට ලැබුණා. මාස 12 ක කාලයක් සඳහා සමෘද්ධි අමාත්‍යාංශය වෙනුවෙන් බිලියන 25 ක මුදලක් වෙන් කර තිබෙනවා. නමුත් පළමු මාස තුන තුළ දී ඔවුන් බිලියන 13 ක් වියදම් කරලා. ඒ අනුව මාස තුනක් ඇතුළත දී මුළු මුදලින් සියයට 53ක් වියදම් කර තිබෙනවා. 

මාස තුනක් ගත වන විට වියදම් කළ යුත්තේ 25% ක් පමණයි. එසේ නම් අනෙක් මුදල්වලට වූයේ කුමක්ද? ඒ නිසා මුදල් අමාත්‍යාංශයටත්, මගේ කාර්යාලයටත්  මා එහි කටයුතු බාර දුන්නා. 

සමෘද්ධි බැංකු කිසිවෙකුගේත් අධීක්ෂණයට ලක් නොවූ ආයතනයයි. සේවක අර්ථ සාධක අරමුදල, මහා භාරකාර අරමුදල මුදල් අමාත්‍යාංශයේ රෙගුලාසි යටතේ පාලනය වෙනවා. නමුත් සමෘද්ධි බැංකුව පාලනය කිරීම සඳහා කිසිදු රෙගුලාසියක් නැහැ. 

ඒ නිසා මේ පිළිබඳව සොයා බලා එය මුදල් අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතට ගන්නා ලෙස මා උපදෙස් දුන්නා. රටේ අනෙකුත් සියලුම බැංකු මහ බැංකුව යටතේ පාලනය වුණත් සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතේ පාලනය නොවීම විශාල ගැටලුවයි. ඉදිරියේදී සමෘද්ධි බැංකුවත් මහ බැංකුවේ පාලනය යටතට ගන්නා බව මා මේ අවස්ථාවේ පවසනවා. ඉදිරියේ දී මේ වැඩ කටයුතු සාධාරණ ලෙස කරන බවත් පැවසිය යුතුයි. 

උපාධිධාරීන්ට රැකියා දීම ආරම්භ කරනවා. ඒ සම්බන්ධයෙන් මා අමාත්‍යාංශවලට උපදෙස් දෙනවා. ඒ වගේම උපාධිධාරී නොවන සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමත් පිරිසටත් රැකියා දීමට කටයුතු කරනවා. 

සියලු දේ කරන්නේ ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහායි. අපට ජයග්‍රහණය කළ හැකියි. පොහොට්ටුව යනු දේශපාලන පක්ෂයක් නොවන බව ඔබ අවබෝධ කර ගත යුතුයි. ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී ලැබූ පරාජය පිළිගෙන ඒ සඳහා හේතු සොයා ගනිමින් ඉදිරියට යා යුතුයි. 2014 වසරේ දී අප්‍රේල් මාසයේ දී එක්සත් ජාතික පක්ෂය සිටියේ මීටත් වඩා පහළ මට්ටමකයි. 2015 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් එක්සත් ජාතික පක්ෂයට රටේ අග්‍රාමාත්‍යධුරය ලබා ගැනීමට හැකි වෙතැයි කිසිවකුත් සිතුවේ නැහැ. අප ඒ වෙනුවෙන් වෙහෙස වී වැඩ කළා. 

ආණ්ඩුවට ඉදිරියට මාස 18 කාලය ඉතිරි වී තිබෙනවා. රටේ දේශපාලනික වශයෙන් අනාගතය තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට පමණයි. අනාගත නායකයන් නම් කර තිබෙන වෙනත් කිසිම දේශපාලන පක්ෂයක් ශ්‍රී ලංකාවේ නැහැ. 

වසර 20 - 25 ක් ඉදිරියට යා හැකි නායකත්ව මණ්ඩලය අපට සිටිනවා. රට ස්ථාවර භාවය කරා ගෙන යාමේ හැකියාව තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට පමණයි. ඒ නිසා ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වැඩ කටයුතු සියලු දෙනාගේ එකමුතුවෙන් කරමු යයි මා අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා යැයිද” රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා:-  “යහපාලන රජයේ අප රාජ්‍ය බලය අතට ගෙන විශාල වැඩ කොටස මේ වනවිට කර තිබෙනවා. වැටුප් වැඩි කර රාජ්‍ය සේවකයන්ට දුන් මේ අගය ඓතිහාසිකයි.

අප බලයට පත්වෙලා ජීවන බර පහත හෙලුවා. ඉන්ධනවලට පනවා තිබූ දුෂිත බදු ඉවත් කර කම්කරුවන්ටත්, ජනතාවටත් සහන දුන්නා. රාජ්‍ය භීෂණය, රාජ්‍ය ත්‍රස්තවාදය පරාජය කර 2015 ජනවාරි 08 වැනිදා අප ලැබුවේ උතුම් ජයග්‍රහණයයි. අප එය පණටත් වඩා රැක ගත යුතුයි.

අගමැතිතුමාට තිබෙන්නේ අපට කොළ එළියක් පෙන්වන්න විතරයි. ජනතාවගේ බඩට කටට දැනෙන සේවාවක් කරන්න එක්සත් ජාතික පක්ෂයේ අප ලෑස්තියි. මෙතැනට ඇවිත් තිබෙන්නේ කොළ පාට ලේ තිබෙන එක්සත් ජාතික පාක්ෂිකයිනුයි. අපට තවදුරටත් බල බල ඉන්න බැහැ. අපට තැන ලැබුණේ ජනතාව නිසයි. පාලකයන් දැන් ජනතාව දෙස බැලිය යුතුයි. සහන, සංවර්ධනය, රැකී රක්ෂා දෙමින් පොඩි මිනිසා සුරැකීම සඳහා බඩ කට පිරෙන්න බෙදීම තමයි අද දවසේ අප කළ යුත්තේ.

වර්තමාන ආණ්ඩුවේ ආයුෂ තියෙන්නේ මාස 18ක් පමණයි. එක්කෝ අප හැරෙන්න ඕනෑ. නැතිනම් භාර ගන්න ඕනෑ. අවුරුදු ගණනක් විපක්ෂයේ හිටපු අපට හැරෙන්න බැහැ. අගමැතිතුමා කිව්වා වගේ තව අවුරුදු 20ක් 30ක් ආණ්ඩු බලය ගෙන යන තැනට අප හැදෙන්න ඕනෑ.

ඊළඟ අයවැයෙන් පොහොර නොමිලේ දීමට පුළුවන් ද කියා බැලිය යුතුයි. ප්‍රේමදාස මහත්තයා දුන්න විදිහටම නිල ඇඳුම දෙන්න ඕනෑ කියා මා යෝජනා කරනවා.

2020දී එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙද්දී එක නිල ඇඳුම් කට්ටලයක් වෙනුවට නිල ඇඳුම් කට්ටල දෙකක් සහ සපත්තු කුට්ටමක් දිය යුතුයි.

අපේ පාක්ෂිකයන් ගුටි කෑවා. බැට කෑවා. ඉවසුවා ඇති. අපේම ජනාධිපතිවරයකු බිහි කර ගත යුතුයි. අපේ පාක්ෂිකයන් තෘප්තිමත් වුණේ නැතිනම් ඔළු ගෙඩි මාරු වුණාට, පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු වුණාට වැඩක් නැහැ. අපේ පාක්ෂිකයන් වෙනුවෙන් උපරිම තැනට වැඩ කිරීමට කැප වෙන තැනට අප මෙහිදී ප්‍රතිඥා දෙනවා.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, එක්සත් ජාතික පක්‍ෂ වෘත්තීය කමිටු සමිති සභාපති සහ රාජ්‍ය පරිපාලන කළමනාකරණ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරාත්න  සහ  කොළඹ පුරපතිනි රෝසි සේනානායක යන මහත්ම මහත්මිහු ද මෙහිදි කතා කළහ.

විශාල පිරිසක් මැයි රැලියට සහභාගි වී සිටියහ.



අදහස් (5)

සියලු නායකයන් මරා දැමූ විටෙක පක්ෂ නායකත්වය බාරගත් මා ඊළඟ ජාතික මැතිවරණයෙන් තනි ආණ්ඩුවක් හදනවා

Bamunuarachchi Monday, 07 May 2018 10:52 AM

ඉතින් මෑතකදී අපි දැක්කනේ ජනතාව ඔබලට තිබුණු කැමැත්ත සහ ප්‍රතිචාරය... ඉතින් තව මොනවද කතා? ඔබලා වෙනුවෙන් කතාකරන මිනිස්සු තව ඉන්නවා නම් ඒගොල්ලෝ ඩෙල්ෆ් දිවයිනටම ගෙනියන්න ඕනේ...

:       2       132

A A C D PERERA Tuesday, 08 May 2018 08:00 AM

පොහොට්ටුව පිප්පුවේ අලියා හරි පාරේ ගමන් කරවන්න. නැතිව අලියා කැලේ පන්නන්න නොවේ .දෙවෙනි නායකත්වයක් තියෙන්නේ රනිල්ට විතරයි

:       3       5

Raveendra Tuesday, 08 May 2018 08:44 AM

වයසින් මුහුකුරා යනවිට මිනිසාට උතුර දකුණ මාරුවෙනවා යන්න නිවැරදිය. මෙය ඔබ අප සියල්ලටම පොදු සාධකයකි.

:       0       40

Bamunuarachchi Wednesday, 09 May 2018 02:29 AM

.දෙවෙනි නායකත්වයක් තියෙන්නේ රනිල්ට විතරයිලු. ඔය කීවේ. මයා ඉඅන්නකම් 2020 ගැන මහින්ද මහතාට කිසිම සැකයක් නැත. 2020 වෙනකම් මෙයාව කොහොම හරි තියාගන්න.

:       0       0

kalani Wednesday, 09 May 2018 04:15 AM

පළමුව දැනට ජිවිතයේ සන්ධ්‍යා සාමය ගත කරන වැඩිහිටියන්ට ඉදිරි අවුරුදු විස්සෙන් පසු බිහිවෙන කේතුමතී රාජධානිය දකින්න ජීවත්වීමට වරම් දෙන්න. දෙවනුව අවුරුදු 70ක කාලයක් ඔබතුමා ප්‍රමුඛ පාලකයින් එම කටයුතු අතපසු කලේ ඇයිදැයි ජනතාවට කියන්න.තෙවනුව මයි රැලියට අතිවිශාල ජනතාවක් සහභාගී වනබව තේරුම් ගැනීමට බැරි ආසන සංවිධායකයින් ඉවත් කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1154 1

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 881 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2297 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2148 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3676 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේක 'ඩූ ඕ ඩයි’ සටනක්
2024 ජනවාරි මස 03 1596 5

ලංකා දේශපාලන ඉතිහාසයේ තීව්‍රැතම ගැටුම ඉදිරි මාස හත අට තුළ නිර්මාණය වෙනවා. මේක ‘ඩූ ඕ ඩයි’ සටනක් යැයි ජාතික ජනබලවේගයේ නායක පාර්ලමේන්තු මන්ත්‍රී අනුර කුම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 205 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1499 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site