IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ශ්‍රීලනිපය ජාතික ආණ්ඩු සංකල්පය හරියට හඳුනාගත්තේ නෑ

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති 
රාජිත සේනාරත්න

ආණ්ඩුවේ ඉදිරි ගමන් මග කෙබඳුද? මේ ඒ ගැන විමසමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා සමග කළ සාකච්ඡාවකි.

 

ප්‍රශ්නය - දැන් ජාතික ආණ්‍ඩුවට මොකද වෙන්නේ?  


පිළිතුර - 2015 දී අපි බිහි කළේත් ජාතික ආණ්ඩුවක්. ඒක බිහි කරන්න තමයි ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය අරගෙන ක්‍රියා කළේ. මොකද මේ රට හදන්න එවැනි උත්සහයක් ගත යුතුව තිබුණා. එක්සත් ජාතික පක්ෂයට තනියෙන් ආණ්‍ඩු කරන්න පුළුවන්කම තිබිය දීත් අනික් පැත්තටත් අවස්ථාව දුන්නා.  


ප්‍රශ්නය - ඒ තීන්දුව දේශපාලන ඉතිහාසයේ වැරදිම තීන්දුව කියලා කිව්වොත්?  


පිළිතුර - ඇත්තටම ඒක එහෙම වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්ගේ හැසිරීම නිසයි. ඔවුන් ජාතික ආණ්ඩු සංකල්පය හරියට හඳුනාගත්තේ නෑ. ජනාධිපතිතුමා හැසිරුණෙත් මේ ආණ්‍ඩුවේ කෙනෙක් විදියට නොවෙයි. ඒ ගොල්ලෝ ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලයේ කිසිම සංවාදයක් කළේ නෑ. ඒගොල්ලෝ සංවාද කළේ පත්තර එක්කයි, රූපවාහිනි නාලිකා එක්කයි. එතැනයි වෙච්ච වැරැද්ද. කැබිනට් ඇමැතිවරයකුගේ වගකීමෙන් තොරව තමයි ඒගොල්ලෝ හැසිරුණේ. ඒ නිසාම තමයි පළාත් පාලන මැතිවරණයේ දී අර වගේ නරකම ප්‍රතිඵලයක් ලැබුණේ. ආණ්ඩුවේම අය ආණ්ඩුවට ගහනවා. එහෙම දෙයක් ලංකා ඉතිහාසයේ කවදාවත්ම දැකලා තිබුණේ නෑ. ආණ්ඩුවේ ප්‍රධානියා ආණ්ඩුව විවේචනය කරන අරුම පුදුම ආණ්ඩුවක් ඒක. ඒ කලකිරීම නිසා ආණ්ඩුවේ ඇතැම් පිරිස් මැතිවරණයට ආවෙත් නෑ. ඒක තමයි ඒ ප්‍රතිඵලයට හේතුව.  


ප්‍රශ්නය - දැන් ඒ දීගය ඉවරයිනේ?  


පිළිතුර - ඔව්! අපි ඒ අවසානය දැක්කා. ජනාධිපතිවරයා ගමන කෙළවර කළේ කොතැනින්ද? තමන්ගේම හතුරු කඳවුරක් එක්ක. තමන්ව මරන්න හිටියා...... පැරදුණා නම් අඩි හයක් යට ඉන්න වෙන්නේ කියලා කියපු හොරකම් කළා කියපු පිරිස් එක්ක තමයි එතුමා ගිහින් අන්තිමට නතර වුණේ. එතුමා ඔය කැබිනට් මණ්ඩලයේ දී ප්‍රකාශ කළා ‘‘මම ඉන්නකම් රාජපක්ෂ කෙනෙකුට ඉඩ දෙන්නේ නෑ’’ කියලා. නමුත් එතුමාම ගිහින් ඉඩ දුන්නා. ඒකෙන් තමයි අනෙක් අර්බුදය ආවේ. ඒකට උත්තරයක් වශයෙන් තමයි මේ ජාතික ආණ්ඩු යෝජනාව ඇවිත් තියෙන්නේ.  


ප්‍රශ්නය - ඒක විලි ලැජ්ජා නැති යෝජනාවක් කියලා තමයි කියන්නේ?  


පිළිතුර - නෑ නේ.... මේ ජාතික ආණ්ඩුවට එන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ඉන්නවා. එබඳු ජාතික ආණ්ඩුවකට එකතු වෙලා රට ගොඩනගන වැඩපිළිවෙළකට දායක වෙන්න කැමැත්තෙන් විශාල පිරිසක් ඉන්නවා.  


ප්‍රශ්නය - ඔබ එහෙම කිව්වත් ඔය ජාතික ආණ්ඩුවට ජනාධිපති මෛත්‍රී කන රත්වෙන ‘‘ෂොට්’’ එකක් දුන්නා?  


පිළිතුර - එතුමා මේ වැඩේට විරුද්ධයි. ඒ විරුද්ධ නිසාම ඒ පක්ෂය ඇතුළේ මේ මත ගැටුම අරගලය ඇරැඹෙනවා. ඒකට මොකද වෙන්නේ කියලා අපි බලමු.  


ප්‍රශ්නය - තනි මන්ත්‍රීවරයෙක් ඉන්න මුස්ලිම් කොංග්‍රසයත් එක්ක කොහොමද ජාතික ආණ්ඩුවක් හදන්නේ?  


පිළිතුර - තනි මන්ත්‍රී කෙනෙක් වෙන්නේ කොහොමද? ඇයි ජනාධිපතිතුමා කෙහේද ඉන්නේ? ජනාධිපතිතුමා ඇමැති ධුර කීයක් දරනව ද මේ රජයේ? පරිසර ඇමැතිකම දරනවා. මහවැලි ඇමැතිකම දරනවා. ආරක්ෂක ඇමැති ධුරය දරනවා. නීතිය හා සාමය ඇමැති ධුරය දරනවා. හරිය! කැබිනට් මණ්ඩලයේ මූලාසනය අරගෙන ඒකේ ප්‍රධානියා හැටියට ඉන්නවා. එතකොට එතැනම ජාතික ආණ්ඩුවක්නේ. එතුමා ඉන්නවා කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්‍ඩුවේ ඉන්නවා කියන එකනේ. එතකොට ඒක ජාතික ආණ්ඩුවක්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ජාතික ආණ්ඩුවේ ඉන්නේ.  


ප්‍රශ්නය- මුස්ලිම් කොංග්‍රසයේ ඉන්න එකම මන්ත්‍රීත් මේ ආණ්‍ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයෙක්. එතකොට මේක අරුම පුදුම ජාතික ආණ්ඩුවක්?  


පිළිතුර - නෑනේ. මේක දැනටත් ජාතික ආණ්ඩුවක්නේ. ඔය බව කියන අලිෂහීර් මවුලානා මේ ආණ්‍ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයෙක් තමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා මේ ආණ්ඩුවේ කැබිනට් ඇමැති ධුර දරනවා.  


ප්‍රශ්නය - එහෙම නම් දැන් පුළුවන්නේ කැබිනට් එක වැඩි කරගන්න?  


පිළිතුර - එහෙම කරන්න පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්න ඕනෑනේ. එතකොට කාටවත් වරදක් කියන්නත් බෑ. කාටවත් නවත්වන්නත් බෑ. අපි හිතමු අපි මේක පිළිඅරගෙන දැම්මම ජනාධිපතිවරයා නවත්වයි කියලා. නමුත් පාර්ලිමේන්තුව තීන්දුවක් දුන්නොත් කාටවත් නතර කරන්න බැහැනේ.  


ප්‍රශ්නය - පාර්ලිමේන්තුවේ අනුමත කර ගන්න අවශ්‍ය ඡන්ද ටික තියෙනවද?  


පිළිතුර - අනිවාර්යයෙන්ම. ඒ ගැන සැකයක් ඇති කර ගන්න එපා.  


ප්‍රශ්නය - මෙතැන දී ඇමැති ධුර දෙන්නේ ජනාධිපතිවරයා. ඔහුට නොදී ඉන්නත් පුළුවන්?  


පිළිතුර - පාර්ලිමේන්තුව අනුමත කළොත් නොදී ඉන්න බැහැනේ. පාර්ලිමේන්තුවනේ උත්තරීතර. 

 
ප්‍රශ්නය- ඇමැතිකම් නැතිව ඉන්න බැරි අය සතුටු කරන්න තමයි මේ ජාතික ආණ්‍ඩුව හදන්නේ?  


පිළිතුර - එහෙමත් පේනවා. ඇත්තටම ඇමැතිකම් දිය යුතුයි. ජාතික ආණ්‍ඩුවක් හදනවා නම් තවත් පක්ෂ එකතු වෙනවා නම් ඒ එන අය නිකම් එන්නේ නෑ. ඒගොල්ලොත් කැබිනට් මණ්‍ඩලයට ඇවිල්ලා මේ රටේ වගකීමක් අරගෙන ක්‍රියා කරන්න ඕනෑ. ඒ නිසා එවැනි තත්ත්වයක් ඇති කරන්න තමයි සමහර අමාත්‍යාංශ තියෙන්නේ සමහර අමාත්‍යාංශවලට එල්ලලා. නැතිව ඒවා විද්‍යාත්මකව නොවෙයි දීලා තියෙන්නේ. එහෙම එල්ලලා තියෙන්නේ ඉදිරියේ දී එන අයට දෙන්න. ඉතින් සමහර ඇමැතිවරුන්ට ඇමැතිකම් වැඩියි. තව කෙනෙක් එනකම් තමයි දීලා තියෙන්නේ. ජාතික ආණ්ඩුවට එන අයට ඒ ඇමැතිකම් දෙනවා.  


ප්‍රශ්නය - ඔබේ පිළිතුර තර්කයක් විදියට හරි වෙන්න පුළුවන්. නමුත් සදාචාරය පැත්තෙන්?  


පිළිතුර - ඔව්! මම කියන්නේ නෑ මේක ශුද්ධ සුචරිතවාදී වැඩපිළිවෙළක් කියලා. නමුත් එක පැත්තකට සම්පූර්ණ සදාචාරාත්මක වෙන්න බැහැ. සදාචාර විරෝධී ප්‍රතික්‍රියා එනකොට සදාචාරය ද බලන්න ඕනෑ. මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරලා ජනතාවට සේවය කිරීම ද බලන්න ඕනෑ. අපිට තියෙනවා ගම් පෙරළිය වැඩසටහන. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන තියෙනවා. ජනතාව වෙනුවෙන් අපි මේවා කරන්නේ. ඕනෑම ආණ්‍ඩුවක් වැඩසටහන් ගන්නේ තුන්වැනි අවුරුද්ද අවසන් වෙනකොට. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා වැඩ පටන්ගත්තේ 1980දී.  

ප්‍රශ්නය- මේ ආණ්‍ඩුවට තව අවුරුදු එක හමාරක්වත් නෑ?  


පිළිතුර - ඉතින් අපි වැඩ පටන්ගන්නකොටම තමයි ව්‍යවස්ථා කුමන්ත්‍රණය කළේ. ඒක නිසා වැඩ තවත් ප්‍රමාද වුණා. දැන් තමයි අපි අපේ වැඩපිළිවෙළ පටන් අරගෙන ඉදිරියට යන්නේ. ආරම්භ කරපු වැඩපිළිවෙළවල්වල ප්‍රතිඵල දැන් තමයි එළියට එන්නේ. ඒ නිසාම තමයි මං හිතන්නේ ජනාධිපතිතුමා විපක්ෂයත් එක්ක එකතු වෙලා මේ වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න හදන්නේ.  

ප්‍රශ්නය - දවස් 52ක අලාභයක් ගැන ආණ්ඩුව නිතරම කියනවා. රේගු වර්ජනය ආවා. දවස් හතක් යනතුරු වෘත්තීය සමිති එක්ක සාකච්ඡාවක්වත් කළේ නෑ. එතකොට ඒ අලාභය?  


පිළිතුර - නෑ ඉතින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය අස් කිරීම ගැන ඔයගොල්ලෝ ඔක්කොම කතා කරනවා. ඒ රේගු අධ්‍යක්ෂක ජනරාල්වරිය පත් කළේ කවුද? ඒත් මේ ඇමැතිතුමානේ. එතකොට පත් කරපු එක්කෙනාටමනේ අයිතිය තියෙන්නෙත් අයින් කරන්නත්.  


ප්‍රශ්නය - නමුත් මේක දේශපාලන පත්වීමක් නොවෙයි?  


පිළිතුර - රාජ්‍ය සේවයේ ලේකම්වරයාට බලය දීලා තියෙනවා එයා තමයි පත් කිරීමේ නිලධාරියා. එතකොට පත් කිරීමේ නිලධාරියාටම තමයි ඉවත් කිරීමේ බලය තියෙන්නේ. එතකොට ඔය කියන අධ්‍යක්ෂ ජනරාල්වරියව ඔතැනට ගෙනාවෙත් මංගල සමරවීර. එහෙම නැතිව මේ නිවැරදි ක්‍රමයට ප්‍රමෝෂන්වලින් ආපු එකක් නොවෙයි. මංගල සමරවීර තමයි එයාව ගෙනාවේ බොහොම ජ්‍යෙෂ්ඨ පරිපාලකවරියක් ලෙස. එහෙම ගෙනල්ලා මේ ගොල්ලෝ දුන්නා එයාට ඉලක්කය. ඒ ඉලක්කය තමයි ට්‍රිලියන 1.2ක් අපට ආදායමක් ලබා දෙන්න කියලා. නමුත් ඇයට පුළුවන් වුණේ බිලියන නවසිය හැට ගාණක් ද කොහේද හොයලා දෙන්න. එතැනදී තමයි කිව්වේ හිත නරක් වෙලා හරි වෙන මොකක් හරි නිසා නොවෙයි මෙතැනට කර්යක්ෂම කෙනෙක්ව ගේන්න ඕනෑ කියලා.  


ප්‍රශ්නය - ඇයි එතැනට හමුදා නිලධාරියෙක් පත් කරන්න හැදුවේ?  


පිළිතුර - එතැන තියෙන දූෂණ නැති කරන්න බලවත් කෙනෙක් අවශ්‍යයි. ඒ අනුව තමයි මංගල සමරවීර තීරණය කළේ හමුදාවේ කෙනෙක්ව දාන්න. එතකොට හොඳ පරිපාලනයක් ගෙනල්ලා එතැන හදන්න. මොකද රටට නීති විරෝධීව එන ඒවායින් අනෙකුත් සියලුම ස්ථානවලින් එන්නේ සියයට 5යි. එතකොට සියයට 95ක්ම එන්නේ රේගුව හරහා. එතකොට මේවා පාලනය කරන්නත් ඕනෑ. එහෙම පාලනය කරනවට අකමැති කට්ටියක් මේ වගේ වෙලාවක දී නැගී සිටිනවා. ඒකත් මතක තියා ගන්න. කොහොම හරි සියලු කට්ටියගේ උවමනාව පිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලින් පස්සේ ඇයටම බාරදීලා තියෙනවා.  


ප්‍රශ්නය - රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉවත් කළේ දේශපාලන අවශ්‍යතා මත කියන එක වසන් කරන්න බෑ?  


පිළිතුර - කොහොමද ඔබ එහෙම කියන්නේ? ඒක සම්පූර්ණයෙන්ම වැරැදි කතාවක්?  


ප්‍රශ්නය - ඇමැතිවරුන්ගේ ව්‍යාපාර, අමැති සොහොයුරන්ගේ ව්‍යාපාර, හිතවතුන්ගේ ව්‍යාපාර මේ සිද්ධිය යට තියෙනවා?  


පිළිතුර - අමූලික බොරුවක්නේ. ඒවා ඔක්කොම හදාගත්ත කතා. අද ඒවා එහෙම කෙරෙන්නේ නෑ. කැබිනට් මණ්ඩලයේ දී ජනාධිපතිවරයා ඉදිරිපිටදී හැමෝම කිව්වේ, මුදල් ඇමැතිවරයා කිව්වේ ඔය කතා අමූලික බොරුවක් කියලා.  


ප්‍රශ්නය - නමුත් කැබිනට් එකේ දී ඇමැතිවරුන්ගේ නම් කියවුණා?  


පිළිතුර - ඔව් කියවුණා. එක වෙලාවකදී එක ඇමැතිවරයකුගේ නම කියැවුණා. තවත් අවස්ථවාකදී තවත් ඇමැති කෙනෙකුගේ නමක් කියැවුණා. නමුත් ඒ ඇමැතිවරු කිව්වේ අඩුම තරමින් දුරකතනයෙන්වත් කතා කළේ නැහැ කියලා. මේවා සේරම හදා ගත්ත කතා.  


ප්‍රශ්නය - සම්බන්ධීකරණ ලේකම්වරුන් කතා කරලා තියෙනවා?  


පිළිතුර - ඔය කවුරුහරි මිනිස්සු කතා කරන්න පුළුවන් සම්බන්ධීකරණ ලේකම් කියලා. අායෙත් කියනවා සම්බන්ධීකරණ ලේකම් කතා කළා කියලා. බලන් යනකොට එහෙම කෙනෙක් නොවෙයි....... නිකම් පාක්ෂිකයෙක් වගේ කෙනෙක්. එහෙම වෙලාවක එතුමියට තිබුණේ ඒ ඇමැතිවරයාට කතා කරලා හරි මංගල සමරවීරට කතා කරලා හරි කියන්න.  


ප්‍රශ්නය - අයවැයට මොකද වෙන්නේ?  


පිළිතුර - මහජන හිතකාමී අයවැයක් අපි ඉදිරිපත් කරනවා. බලන්න! මෙච්චර අමාරුකම් තිබියදීත් මෙහෙම කඩාකප්පල් කරලත් අද ඩොලරයේ අගය එන්න එන්නම අඩු වෙනවා. මේ දවස් 52 අර්බුදය නොවුණා නම් මීටත් වඩා හොඳ තත්ත්වයක් හදාගන්න තිබුණා. ඒ නිසා රටේ ආර්ථිකය දැන් එන්න එන්නම දියුණු වෙනවා.  


ප්‍රශ්නය - ආණ්ඩුවට සල්ලි නෑ?  


පිළිතුර - ඔව්. ආණ්ඩුවට විශාල ප්‍රශ්නයක් තියෙනවා වියදම් සම්බන්ධයෙන්. අපි සමස්තය දිහාම බලලා ජනතාවට ඉතාම සුබවාදී අයවැයක් මාර්තු 5 වැනිදා අපි ඉදිරිපත් කරනවා.  

ප්‍රශ්නය - මොන වගේ සහන ද දෙන්න බලාපොරොත්තු වෙන්නේ?  


පිළිතුර - ඇත්තටම සහන මලු නොවෙයි. ඒ තුළින් රටේ සංවර්ධනයට, ආර්ථික වර්ධනයට බලපාන සහන තමයි දෙන්නේ. අපි දැනට එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා ඉදිරිපත් කරලා තියෙනවා. ඒකේ තියෙන්නේ දේශීය නිෂ්පාදන ගොඩනැගීම.  


ප්‍රශ්නය - ඒක දෙන්නේ එක්සත් ජාතික පාක්ෂිකයාට පමණයි?  


පිළිතුර - නෑ හැමෝටම. ඕනෑම කෙනෙකුට ඒකට යාහැකියි. කොහෙවත් කියලා නෑ ඒක එක්සත් ජාතික පාක්ෂිකයාට කියලා. බැංකුවලින් ඉල්ලන අයට ලබා දෙනවා.  


ප්‍රශ්නය - නමුත් ආසන සංවිධායකවරයාගේ ලිපියක් අවශ්‍යයි?  


පිළිතුර - අපෝ නෑ. ඒක අමූලික බොරුවක්. එහෙම කිසිම දෙයක් නෑ. බැංකුවට ගිහින් ඕනෑම කෙනෙකුට සහන පොලියට ඒ ණය ගන්න පුළුවන්.  


ප්‍රශ්නය - සමහර ඇමැතිවරුන්ගේ වැය ශීර්ෂය පරාජය කරන්න එජාපයේම පසුපෙළ මන්ත්‍රීවරුන් සූදානමින් ඉන්නවා?  


පිළිතුර - ඒවත් ඔක්කොම කතා විතරයි. ඒවා ඔක්කොම බොරු. ගිය සැරෙත් ඕවා කිව්වනේ. දැන් රනිල්ව පරද්දන්න ඉන්නවා කිව්වා. නමුත් අගමැතිතුමා වැඩි ඡන්ද 48කින් විශ්‍වාසභංගය ජයග්‍රහණය කළා. පසුගිය අර්බුද දවස්වලත් කිව්වා ‘‘අරයා යනවා. මෙයා යනවා’’ කියලා. අන්තිමට ගියේ කුමන්ත්‍රණ කරපු කට්ටිය.  


ප්‍රශ්නය - නමුත් පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කැරැල්ල දරුණු වෙලා අගමැති රනිල්ට සිද්ධ වුණ කමිටුවක් පත් කරන්න?  


පිළිතුර - මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න තියෙනවා. ඒ නිසා එතුමා මැදිහත් වෙලා කමිටුවක් පත් කළා තමයි. ඒක එකක්වත් අර්බුදකාරී තත්ත්වයට යන්නේ නෑ.  


ප්‍රශ්නය - ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආපු අයට මොකටද ඇමැතිකම් දෙන්නේ කියලයි තරුණ මන්ත්‍රීවරුන් අහන්නේ?  


පිළිතුර - ජාතික ලැයිස්තුවෙන් ආපු අයට කලිනුත් දීලා තියෙනවා ඕනෑ තරම්. ගිය රජයේ පවා දුන්නා. එතකොට, නමුත් වැඩේ තියෙන්නේ සියලු තනතුරු දීම්වල සාධාරණ බව අසාධාරණ බව ගැන මම කතා කරන්න යන්නේ නෑ. මේවායේ ප්‍රශ්න තියෙනවා තමයි. සමහර අයට ඇයි තනතුරු කිහිපයක් දෙන්නේ? මන්ත්‍රීකමයි ඇමැතිකමයි ඔක්කොම දෙන්න අවශ්‍ය නෑ. ක්‍රියාකාරී හොඳ කට්ටියට දෙන්න තිබුණා. මේ දවස් 52න් පස්සේ පවා අපිට හොඳ තරුණ කට්ටියගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් හදාගන්න බැරි වුණා. නැවතත් පත් වුණේ අර පරණ කට්ටියමයි.  


ප්‍රශ්නය - ‘‘රට සූදානම් නම් මම සූදානම්’’ කියලා ගෝඨාභය රාජපක්ෂ කිව්වා?  


පිළිතුර - ඔහු කිව්වට දැන් ඔහුට විරුද්ධවම කට්ටිය කතා කරනවානේ. ගම්මන්පිල, විමල් වීරවංශ පවා විරුද්ධව කතා කළා. හැම පාර්ශ්වයක්ම ඒ පිලෙන් විරුද්ධව නැගී සිටියා. වාසුදේව නානායක්කාරත් විරුද්ධයි. ඔහු ආරක්ෂා කරන්න මම දැක්කේ නෑ කවුරුවත්ම කතා කරනවා. කුමාර වෙල්ගම බොහොම විවෘතව ඔහුට විරුද්ධව කතා කරනවා. ඔහු වගේ කෙනෙක් එනවා නම් ඉතා හොඳයි. අපිට හොඳම අපේක්ෂකයා ඔහුයි. ඔහුට සුළු ජන ඡන්ද ලැබෙන්නෙත් නෑ. ඔහු ගැන ලොකු භීතියක් මේ රටේ තියෙනවා. ඔවුන්ට හරි හමන් අපේක්ෂකයෙක් නෑ ඇත්තටම.  


ප්‍රශ්නය - ජනාධිපති මෛත්‍රී, යළිත් ඉදිරිපත් වුණොත්? 

 
පිළිතුර - ඒකටත් එතැන ප්‍රශ්න තියෙනවා. මන්ත්‍රීවරු විරුද්ධව කතා කළා. පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ සංසදය විරුද්ධව කතා කළා. මහින්ද රාජපක්ෂ මහත්තයා අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට කියලා තියෙනවා මෛත්‍රීට දෙන්නේ නෑ. හේතුව ඔහුට දිනන්න බෑ කියලා. ඒ තත්ත්වය තුළ ඔහුට පොහොට්ටුවේ ඉඩක් නෑ.  


ප්‍රශ්නය - එතකොට ඔබේ පෙරමුණේ අපේක්ෂකයා කවුද?  


පිළිතුර - ඉතාමත්ම ජනප්‍රිය ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයෙක් එක්සත් ජාතික පෙරමුණෙන් එනවා. එයා පොදු අපේක්ෂකයෙක් අපේ සන්ධානයෙන් එන.  


ප්‍රශ්නය - ඔහු එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක්ද?  


පිළිතුර - ඒක වෙලාවට තීරණය කරන්නේ. ගිය පාරත් අන්තිම මොහොතේ තමයි අපේ පොදු අපේක්ෂකයා ඉදිරිපත් කළේ. එයා ජයග්‍රහණය කළා. මේ පාරත් ඉදිරිපත් කරන්නේ එහෙම අපේක්ෂකයෙක්.  


ප්‍රශ්නය - ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල නම් කියන්නේ පිට කෙනෙකුට මේ අවස්ථාව දෙන්නේ නෑ කියලයි?  


පිළිතුර - පිට කියලා කියන්නේ කොහොමද? සන්ධානයක් හැදුවාම ඔක්කොම අය ඇතුළේ. පිට කියලා නෑ. වෙනම නමක්.... වෙනම ලාංඡනයක්..... වෙනම මූලස්ථානයක් එතැනින් තමයි තරග කරන්නේ.  


ප්‍රශ්නය - රනිල්, සජිත්, කරු, චම්පික හා ඔබේ නම ජනාධිපතිවරණය වෙනුවෙන් කියැවෙනවා. සීතල බල පොරයක් දැන් තියෙන්නේ?  


පිළිතුර - කිසිම බල පොරයක් නෑ. අපි ඔක්කොම අය සාකච්ඡා කරලා හොඳම අපේක්ෂකයා ඉදිරිපත් කරනවා.

 

 

 

සාකච්ඡා කළේ :
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්

 



අදහස් (0)

ශ්‍රීලනිපය ජාතික ආණ්ඩු සංකල්පය හරියට හඳුනාගත්තේ නෑ

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 83 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1161 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 909 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2303 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2153 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3683 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1552 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1456 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site