IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


රටේ ප්‍රජාතන්ත්‍රවාදය රකින්න පරණ පාර්ලිමේන්තුව කැඳවන්න ඕනෑ නෑ

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

  • විදේශ ආධාර දෙනවා කියලා පොරොන්දු වුණාට තවම ලැබිලා නෑ
  • පළමුවෙනි රෝගියා හමුවෙනකොටම ගන්න ඕනෑ තීන්දු ගත්තා
  • රුපියල් පන්දහස දීම දේශපාලනීකරණය වෙලා නෑ
  • සල්ලි තිබුණත් නැතත් අපි වැඩ කළා. දැනුත් කරගෙන යනවා.
  • පාර්ලිමේන්තුව විසිරුවන්න ලැබෙන පළමු අවස්ථාවෙම විසුරුවනවා කියලා අපි කලින්ම කියලා තිබුණා
  • හමුදාව යොදා නොගත්ත මේ වැඩේ කාර්යක්ෂමව කරන්න බෑ
  • හම්බන්තොට වරාය ඒ අය විකුණගෙන කෑවා
  • අප මුදල් විසර්ජන පනතක් ගේනවා කීවම මේ අය කීවා ඒක පරද්දනවා කියලා. එහෙම පාර්ලිමේන්තුවක් තියාගෙන වැඩක් නෑ

 

කොරෝනා මාරාන්තික වයිරසයට එරෙහි මෙහෙයුම් සාර්ථකද? මහ මැතිවරණයේ ඉරණම කුමක්ද? පාසල් විවෘත කිරීම සම්බන්ධව හා මේ මොහොතේ ආණ්ඩුවට එරෙහිව එල්ල කරමින් තිබෙන චෝදනා ආදිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග කළ සාකච්ඡාවකි.    

• ප්‍රශ්නය - කොරෝනා මර්දන මෙහෙයුම, දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව කරන්න ගිහිල්ල රට අමාරුවේ දාලා කියලා තමයි විපක්ෂය කියන්නේ?   


ඔය විපක්ෂය තව මොනවද නොකියන්නේ. මේ මෙහෙයුම දේශපාලන අරමුණුවලින් තොරව කරපු නිසා තමයි කොරෝනා වසංගතය පැතිරෙන්නේ නැතිව මෙහෙම ආරක්ෂා කරගෙන ඉන්නේ. අනික් රටවල් දිහා බැලුවම අපේ රට බොහොම ඉහළින් ඉන්නේ. කො​රෝනා පරද්දගෙන ඉන්නේ ඇත්ත වශයෙන්ම රජය ගත්ත ක්‍රියාමාර්ග නිසයි. දේශපාලනිකව නම් තීන්දු තීරණ ගත්තේ තත්ත්වය මීට වඩා වෙනස්.   


• ප්‍රශ්නය - එයාර්පෝර්ට් එක වැහුවේ රටම ලොක්ඩවුන් කළේ නාමයෝජනා බාර ගත්තට පස්සේ. ඡන්දය තමයි ප්‍රධාන වුණේ?   


නෑනේ. වේලාසනින් පටන් ගන්න ඕනෑ නැහැනේ. කොරෝනා වයිරසය ගැන රටට ලෝකයටම අවබෝධයක් එන්න ඉස්සෙල්ලා අපි මුලින්ම පාසල් වහලා වයිරසය ජනතාව අතරට පැතිරෙන එක අපි වැළැක්වුවා. ඒක අපි වෙලාවට කළා. ඒක පරක්කු වුණේ නෑ. පළමුවැනි රෝගියා හමුවෙනකොටම ගන්න ඕනෑ තීන්දු තීරණ ගත්තා.   


• ප්‍රශ්නය -කොරෝනා වයිරසය රටට ආවේ එයාර්පෝර්ට් එක හරහා. හරි තීරණය හරිම වෙලාවේ ගත්තා නම් ඒක වළක්වන්න තිබුණා.   


එයාර්පෝර්ට් එක එක පාරටම වහන්න අවශ්‍යතාවයක් නෑනේ. එයාර්පෝර්ට් එකෙන් එන අයව අපි මොනිටර් කළා. කොරෝනා වසංගතය පැතිරිලා තිබුණ පළාත්වලින් තමයි අපි මුලින්ම නිරෝධායනයට ගත්තේ. ඉන්දියාවේ පැතිරිලා තිබුණෙ නෑ එතකොට. ඉන්දියාව, ඉන්දුනීසියාව පැත්තට ගිහින් තිබුණේ නෑ එතකොට. පස්සෙනේ ආවේ. ඒ නිසා තමයි මුලින්ම එහෙන් ආව අයව වෙනම ගත්තේ.   


• ප්‍රශ්නය - ලෝක මට්ටමින් වයිරසයක් පැතිරෙමින් තිබියදී ඇයි පාර්ලිමේන්තුව විසිරෙව්වේ? මේ පාර්ලිමේන්තුවට අගෝස්තු වෙනකම් කල් තියෙනවා.   


පාර්ලිමේන්තුව විසුරුවන්න ලැබෙන පළමු අවස්ථාවෙදීම විසුරුවනවා කියලා අපි කියලත් තිබුණා.

පාර්ලිමේන්තුව විසුරුවීම ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනවාත් සමගම කරන්න තිබුණ වැඩක්. නමුත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක්ක එහෙම කරන්න බෑනේ. නමුත් ජනාධිපතිතුමාට ඒ බලය ලැබුණ පළමු අවස්ථාවෙම ඒක කළා. ඒක කොරෝනා වසංගතයත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ. අපි කලින්ම තීරණය කරලා තිබුණේ ලැබෙන පළමු අවස්ථාවෙදීම පාර්ලිමේන්තුව විසුරුවනවා කියලා. අපි ඒක වේදිකාවලත් කිව්වා.   


• ප්‍රශ්නය - ආණ්ඩුවට ඕනෑ වෙලා තිබුණේ ජනතාව බිල්ලට දීලා හරි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලබාගන්නයි?   


අපිට එහෙම කිසිම අවශ්‍යතාවයක් තිබුණේ නෑ. තුනෙන් දෙකක බලය ගන්න කිසිම ඕනෑකමක් නෑ. අපි මුල ඉඳලම කිව්වනේ අපේ සටන මුල ඉඳලම තිබුණේ ජනාධිපතිවරණය අපි දිනනවා. ඊට පස්සෙ ලැබෙන පළමු අවස්ථාවෙදිම පාර්ලිමේන්තුව විසුරුවනවා. ඒක අපි ජනතාවට දීපු පොරොන්දුවක්. මොකද ජනාධිපතිවරයට විතරක් තනිවම ආණ්ඩුවක් ගෙනියන්න බෑ. විපක්ෂයක් තියාගෙන කොහොමද රටක් ඉස්සරහට අරගෙන යන්නේ. ආණ්ඩුව ගෙනියන්න අපට අයිතිය තියෙන්න ඕනෑ. අපිව මෙයාලා පරද්දන්න හැදුවනේ. අපි මුදල් විසර්ජන පනතක් ගේනවා කිව්වම මේ අය කිව්වා ඒක පරද්දනවා කියලා. ඒ නිසා අපි ඒක ගෙනාවෙත් නෑ. ඊට පස්සේ එහෙම පාර්ලිමේන්තුවක් තියාගෙන ඉඳලා වැඩක් නෑනේ. ඒක නිසා තමයි අපි විසුරුවේ.   


• ප්‍රශ්නය -විපක්ෂය කියනවා පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. එහෙම කැඳවන්නේ නැත්තේ විශ්වාසභංගයක් ගෙනැවිත් ආණ්ඩුව පෙරළයි කියන බයට?   


නෑ. එහෙම කිසිම බයක් නෑ. පාර්ලිමේන්තුව කැඳවන්නේ නැත්තේ කැඳවන්න ඕනෑ නැති නිසයි. දැන් තියෙන්නේ අලුත් පාර්ලිමේන්තුවක් කැඳවන්නයි. කල් ඉකුත් වෙච්ච පාර්ලිමේන්තුවක අවශ්‍යතාවයක් දැන් නෑ. එහෙම කැඳවලා මොකටද? මොනවා කරන්නද? හරි එයාලව කැඳවලා මොනවද කරන්නේ. එහෙම අවශ්‍යතාවයක් නෑ.   


• ප්‍රශ්නය - ර​ටේ ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ගත්තොත් පාර්ලිමේන්තුව එහෙම වහලා තියෙන එක හරිද?   
ප්‍රජාතන්ත්‍රවාදය රකින්න පරණ පාර්ලිමේන්තුව කැඳවන්න අවශ්‍ය නෑ. පුළුවන් තරම් ඉක්මණට ඉලෙක්ෂන් එක තියලා අලුත් පාර්ලිමේන්තුව කැඳවන්නයි ඕනෑ.   

• ප්‍රශ්නය - රටේ මොකද්ද වෙන්නේ කියලා නිශ්චිත සාකච්ඡාවක් නෑ. ආණ්ඩුවට ඕනෑ දේ ආණ්ඩුව කරගෙන යනවා.   


වැඩේ කියන්නේ මේ වෙලාවේ ඔය ඔබ කියන සාකච්ඡාව කරන්න නීත්‍යානුකූලව බලය තියෙන්නේ ජනාධිපතිවරයටයි, ප්‍රාදේශීය සභාවටයිනේ. ජනවරමින් පත්වෙලා තියෙන්නේ ඒ තැන් දෙකනේ. දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නෑ. එහෙම නම් කරන්න තියෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය ඉක්මනින් තියලා අලුත් මන්ත්‍රීවරුන් පිරිසක් පත්කර ගැනීමයි. පරණ පාර්ලිමේන්තුව ජනතාව දෙපාරක්ම ප්‍රතික්ෂේප කළානේ. ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ඔය කට්ටියව ජනතාව ප්‍රතික්ෂේප කළානේ. ජනාධිපතිවරණයේදීත් වුණේ ඒකමනේ. දෙපාරක්ම ප්‍රතික්ෂේප වෙච්ච පාර්ලිමේන්තුව කැඳවනවද? අලුත් පාර්ලිමේන්තුවක් කැඳවනවද? තීරණය කරන්න තියෙන්නේ ඔච්චරයි.   


• ප්‍රශ්නය -විපක්ෂය බොහොම තදබල විදියට කියනවා කොරෝනා වසංගතය ගැන ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛන අසත්‍යයි කියලා?   


ඕනෑම පොඩි ළමයෙක් වුණත් පිළිගන්නවා ඔය චෝදනාව බොරුවක් කියලා. ඔය තොරතුරු හංගන්න බැරි දේවල්නේ. අපිට ඕනෑ ඕනෑ විදියට තොරතුරු ඉදිරිපත් කරන්න බෑ. රාජ්‍ය නිලධාරීන්, වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් ඉන්නවා, ඉතින් ඔයා හිතනවද මේ ඉන්න සියලුම විශේෂඥ වෛද්‍යවරුන් ආණ්ඩුව කියන කියන විදියට තොරතුරු දෙනවා කියලා. එහෙම දෙයක් කරන්න බෑ. ඔය තොරතුරු හංගන්නත් බෑ. අනික එහෙම හංගලා මොනවද අපිට තියෙන වාසිය? ආණ්ඩුවට අවශ්‍ය වෙන්නේ මේ වසංගතයෙ ඇත්ත තත්ත්වය රටට කියන්නයි. එතකොටයි ජනතාවගේ සහාය ලැබෙන්නේ.   


• ප්‍රශ්නය -කොහොම වුණත් මේ යන ගමන ඒකපාර්ශ්වීයයි කියලා ඔබ හිතන්නේ නැද්ද?   


නෑ නෑ එහෙම එකක් නෑ. මේ වසංගතය මර්දනය කිරීම මේ විදියට නොකළා නම් කරන්නත් බැහැ. මේවා මේ පාර්ලිමේන්තුව ඇතුළේ ඉඳගෙන කෑගහලා කෑගහලා මේ ප්‍රශ්න විසඳන්න බෑ. යම්කිසි අදහස් තියෙනවා නම් අපි ඔය 225 ම කැඳෙව්වේ ඒකනේ. එහෙම කැඳෙව්වේ තමන්ගේ අදහස් තියෙනවා නම් ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්නනේ. යෝජනා හොඳයි නම් අපි ඒවා ක්‍රියාත්මක කරනවා. එහෙම ක්‍රියාත්මක කරපු යෝජනාත් තියෙනවා.   


• ප්‍රශ්නය -සාකච්ඡාවක් කරනවා නම් ඒක කරන්න ඕනෑ සාකච්ඡාවක් විදියට. හිටපු මන්ත්‍රීවරුන් 225 යි ඊට පෙර හිටපු මන්ත්‍රීවරුයි කැඳෙව්වම කොච්චර දවසක් සාකච්ඡා කරන්නද?   


225 විතරයි ගෙන්වන්න තීරණය කළේ. ඊට පෙර හිටපු අයත් හිටපු මන්ත්‍රීවරුනේ. ඒගොල්ලොත් දේශපාලනය කරන අයනේ. ඒ අයත් පාර්ලිමේන්තුවේ හිටපු අයනේ. පිට අය ගෙන්නුවේ නැහැනේ. මේ අය එන්නේ නැහැ කිව්වම තමයි ඊට පෙර හිටපු අයත් ගෙන්නුවේ. කොහොමහරි එකසිය හැත්තෑ ගණනක් ඇවිත් හිටියා. ඒ අය හොඳ අදහස් ඉදිරිපත් කළා.   


• ප්‍රශ්නය - දෙමළ ජාතික සන්ධානයත් විශේෂයෙන්ම ආවා.   


ඔව්, ඔව් ඒ අයත් ඔක්කොම වගේ අැවිත් හිටියා.   


• ප්‍රශ්නය - ඒ රැස්වීමෙන් පස්සේ දෙමළ ජාතික සන්ධානය ඔබේ නිල නිවෙසේදී ඔබව වෙනමත් හමුවුණා‍?   


ඔව්, ඒ රැස්වීමෙන් පස්සේ මාව වෙනම හමුවෙන්න ඕනෑ කිව්වා. මම කිව්වා හවස පුළුවන් කියලා. ඒ අය ඊට පස්සෙ ඒ අයට තියෙන ප්‍රශ්න කතා කළා.   


• ප්‍රශ්නය -ඒ විශේෂ හමුවෙදි විශේෂයෙන් කතා වුණේ?   


විශේෂ දෙයක් කතා කළේ නෑ. නමුත් සාමාන්‍යයෙන් එයාලට අපිට ලැබෙන ආධාර ගැන අපි පෙන්වලා දුන්නා. 

• ප්‍රශ්නය - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුදාව ඉස්සර කරගෙන ඒකාධිපති ගමනක් යන බවටත් චෝදනාවක් තියෙනවා.   

මේ වගේ හදිසි අවස්ථාවකදී හමුදාව තමයි ප්‍රයෝජනයට ගන්න ඕනෑ. එහෙම කරලා සාර්ථක වෙච්ච රටවල් තියෙනවා. හමුදාව මේ සඳහා යොදා නොගත්තා නම් සාමාන්‍ය අයට මේවගේ දෙයක් කරන්න බැහැ. මෙච්චර ඉක්මනින් කාර්යක්ෂමව මේක කරන්න වෙන අයට බෑ. නිරෝධායනය කරන්න පිරිස ආවම ඒ සඳහා ස්ථාන සොයාගන්න ඕනෑ. ඒවා හදන්න ඕනෑ. දැන් ඕවා හදන්න සෞඛ්‍ය අමාත්‍යංශයට පුළුවන්කමක් නෑනේ. සෞඛ්‍ය අමාත්‍යංශයට බස් හොයාගෙන, ගොඩනැගිලි හොයාගෙන, ඒවා අලුත්වැඩියා කරලා වැසිකිළි කැසිකිළි පහසුකම් හදලා අංගසම්පූර්ණ තත්ත්වයට ගේන්න පුළුවන්කමක් නෑ. හමුදාවට කියපු ගමන් හමුදාවට බස් හොයාගන්න ඇහැකියි. ගොඩනැගිලි හදන්න ඇහැකියි. අවශ්‍ය පහසුකම් හමුදාව හැදුවා. ඒ නිසා ඉක්මණින් ඒ වැඩටික කරන්න පුළුවන් වුණා. අපි එවැනි දෙයකට තමයි හමුදාව යොදාගත්තේ. 

 
• ප්‍රශ්නය - කොරෝනා මර්දනයට ලැබුණ ලෝක ආධාරවලට මොකද වුණේ? ඒවාට වෙච්ච දෙයක් කිසිම කෙනෙක් දන්නේ නෑ.   


ආධාර දෙනවා කියලා කියනවා. තාම ඒ ආධාර අපට හම්බ වුණේ නෑ. මීට ඉස්සෙල්ලත් මම ඕක කිව්වා. මිලියන හයසිය පනහක් අපි ආධාර වශයෙන් දෙනවා කියලා කිව්වොත් එහෙම කිව්ව පලියට ඒක ආධාරයක් වෙන්නේ නැහැනේ. ආධාරය අපට ලැබුණම තමයි ඒක ආධාරයක් වෙන්නේ. ඒක තාම ලැබිලා නෑ. පොරොන්දු වෙලා තියෙනවා දෙනවා කියලා.   


• ප්‍රශ්නය - රට දුවවන්න සල්ලි තියෙනවද?   


කොහොමහරි කරන්න ඕනෑ. බංකොලොත් වෙච්ච ආර්ථිකයක්නේ අපට දුන්නේ. 1.5 ක වර්ධන වේගයක් තිබ්බ ආර්ථිකයක් තමයි අපිට දුන්නේ. නමුත් අපි මේවගේ වසංගත ප්‍රශ්න මැද්දෙත් රට ඉදිරියට අරගෙන යන්න සූදානම්.   


• ප්‍රශ්නය - වියත් මගට සම්බන්ධ ප්‍රභූ ව්‍යාපාරිකයන්ට බදු සහන දෙන්න ගිහින් ජාතික ආදායම විශාල වශයෙන් අහිමි කරගත්තා කියලා චෝදනාවක් තියෙනවා.   


අනවශ්‍ය බදු නිසා ආර්ථික වර්ධනයක් ඇති වුණේ නෑ. කෙනෙකුගේ ආදායමෙන් සියයට 45 ක් බදු වශයෙන් අය කළාම මිනිසුන්ට ආයෝජනය කරන්න ශක්තියක් නැතිව යනවා. අපි අනවශ්‍ය බදු ඉවත් කළා. එහෙම අනවශ්‍ය බදු ඉවත් කළාම ඒක හරහා ඔවුන් ආයෝජනය කිරීම ආරම්භ කරනවා. ඒකෙන් රැකියා අවස්ථා සැලසෙනවා. ඒ ආයෝජනය කිරීමට අවස්ථාව සලසා දීමේ අරමුණෙන් තමයි අනවශ්‍ය බදු ඉවත් කළේ.   


• ප්‍රශ්නය - කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් වෙච්ච ජනතාවට රුපියල් පන්දාහ දෙන්නෙත් දේශපාලන හිතවත්කමට. ප්‍රා​දේශීය සභා මන්ත්‍රීගේ ගෙදරට ගිහින් ඒ ආධාරය ගන්න වෙලා තියෙනවා කියලා කියනවා.   


නෑ නෑ. එහෙම කළේ නෑ. මන්ත්‍රීවරයා කරන්නේ ලැබිය යුතු අයට නොලැබුණම ඒක ගිහින් පෙන්නුම් කරනවා. ඒ අයිතිය විතරයි එයාට තියෙන්නේ. එයාලට ගිහින් ඇඟිලි ගහලා තමන්ගේ අයට විතරක් දෙන්න කියලා කියන්න අයිතියක් නෑ. අරක බොරු චෝදනාවක්.   


• ප්‍රශ්නය -ආධාර ලැබීමේ ලැයිස්තුව හදන්නේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා නම්?   


නෑ නෑ එහෙම එකක් වුණේ නෑ. ගමේ ඉන්නවනේ රාජ්‍ය නිලධාරීන් පස්දෙනෙක්. ඒ අයනේ කොමිටියෙ ඉන්නේ. ඒ කොමිටිය තමයි නිර්දේශ කරන්නේ. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා කරන්නේ ලැබිය යුතු කෙනෙකුට නොලැබී තියෙනවා නම් ඒකට මැදිහත් වෙන්න විතරයි. ඒක නිසා ඒක දේශපාලනීකරණයක් වෙලා නෑ. 

 
• ප්‍රශ්නය - මිනිසුන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම හැමතැනම හරි විදියට වුණා කියලා ඔබ හිතනවද?   


අපි දුන්නේ සල්ලිනේ. බඩු ගෙන්වීම කරන්නේ ආණ්ඩුවෙන් නොවෙයි. එක එක ආයතන තමයි ඒකට මැදිහත් වුණේ. බඩු මලු බෙදීම අපේ වැඩපිළිවෙළක් නොවෙයිනේ.   


• ප්‍රශ්නය - සැමන් රුපියල් සියයට දීම පරිප්පු කිලෝව රුපියල් හැට පහට දීම ආණ්ඩුව මහත් උත්කර්ෂයට නැංවුවා. නමුත් දැන් ඒ පාලන මිල අයින් කරලා.   


අවුරුද්ද කාලෙට විතරක් ඒක දුන්නා. රුපියල් 140 ට විකුණන එක හැටට දෙනකොට ඒ අඩුපාඩුව අපි ගෙවන්න ඕනෑනේ. ඒක රජය ගෙවලා ඒ සහනය ජනතාවට දුන්නා.

 

• ප්‍රශ්නය - ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහත බැසීමේ වාසිය ජනතාවට දෙන්න එහෙම කළා කියලයි කිව්වේ.   


ඒ වාසියත් අපි මේ සහනය දෙන්න ප්‍රයෝජනයට ගත්තා. නැත්නම් අපිට සල්ලි නැහැනේ.   


• ප්‍රශ්නය - එතකොට තෙල් මිල අඩුවීමේ වාසිය කොහොමද ජනතාවට දැන් දෙන්නේ?   


රජයක් විදියට අපි කරගෙන යන හැම දෙයකටම මේ මුදල් ගන්නවා. මේ කොරෝනා වසංගතය අපි වියදම් කරන්නේ ලංකාවේ සල්ලිනේ. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩුවීමේ වාසියත් අපි මේ දේවල්වලටම තමයි යොදවන්නේ. ඒ අතරතුර අපි සංවර්ධනයත් අතහැරියෙ නෑ. පාරවල් හදන එකද ඒ එකක්වත් අපි නතර කළේ නෑ.   


• ප්‍රශ්නය - අධිවේගී මාර්ග හදන්න බිලියන ගණනින් මුදල් වෙන්කරන කැබිනට් පත්‍රිකා ඉතාම හදිසියෙ දැම්මා?   


ඒවා කරගෙන යන්න ඕනෑනේ. රටේ තියෙන වැඩ කොටස කරගෙන යන්න අපි දන්නවා. මගේ කාලයෙත් එහෙමනේ. මගේ කාලයේ කරපු වැඩ ප්‍රමාණය 2005 ඉඳලා 2015 දක්වා කරලා තියෙන වැඩ ප්‍රමාණය යුද්දෙත් දිනලා ඒ කරපු සංවර්ධනය දිහා බැලුවම ගිය අවුරුදු පහේ සිරිසේනගේ හා රනිල්ගේ ආණ්ඩුවේ වැඩ දිහා බලනකොට පේනවනේ මොකද්ද මේ වෙනස කියලා. එයාලට මුකුත්ම කරගන්න බැරිවුණානේ. සල්ලි තිබිලත් කරගන්න බැරිවුණා. සල්ලි තිබුණත් නැතත් අපි වැඩ කළා. දැනුත් වැඩ කරගෙන යනවා.   


• ප්‍රශ්නය -මෙගා ව්‍යාපෘතිවලට රාජපක්ෂවරුන් කොහොමත් කැමැත්තක් දක්වනවා කියලා තමයි විපක්ෂය කියන්නේ?  


මේ යන වැඩ පිළිවෙළවල් වලට අපි යනවා. ඒක අවශ්‍යයිනේ. දැන් හම්බන්තොට අධිවේගී මාර්ගය හැදුවේ නැත්නම් මොකද තත්ත්වය. මහනුවර අධිවේගී මාර්ගය හදන්නේ නැත්නම් මොකද වෙන්නේ? කෝචිචිය නිදහසෙන් පස්සේ මාතරින් එහාට ලැබුණේ නැත්නම් ඒක හදන්න ඕනෑ නේද? අපි ඒක බෙලිඅත්ත දක්වා අරන් ගිහින් කතරගම දක්වා අරන් යනවනේ. ඒවා රටේ සංවර්ධනයනේ. හම්බන්තොට වරාය හදලා තිබුණේ නැත්නම් එයාලා විකුණන්නේ මොනවද? ඒ අය ඒක විකුණාගෙන කෑවනේ. හම්බන්තොට වරායක් අලුතෙන් හදලා දුන්නම ඒක චීන සමාගමකට විකුණුවනේ. මෙයාලා කළේ තියෙන සම්පත් විකුණාගෙන කෑව එකනේ. සිරිසේන වික්‍රමසිංහ ආණ්ඩුවෙයි අපේ ආණ්ඩුයි අතර තියෙන වෙනස්කම ඒකනේ. ඒ අය තියෙන සම්පත් විකුණාගෙන කනවා. අපි අලුතෙන් සම්පත් නිර්මාණය කරනවා.  


• ප්‍රශ්නය - පාසල් විවෘත කෙරෙන දිනයක් සම්බන්ධයෙන් හිතාබැලීමක් තියෙනවද?  


ඒක හරියටම කියන්න බෑ. පළමුවෙන්ම දරුවෝ ආරක්ෂා කරගන්න එපැයි. ඒ නිසා සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව තත්ත්වය බලලා තමයි ඒක තීරණය කරන්න වෙන්නේ.  


• ප්‍රශ්නය -පහ ශිෂ්‍යත්වය වගේම උසස්පෙළ විභාගය ඒමට නියමිතයි. මේ විභාග කල් යයිද?  


ඒවා ඔක්කොම ගැන හරි තීන්දුවක් ගන්න ඕනෑ. අධ්‍යාපන අමාත්‍යංශය ඒ ගැන සාකච්ඡා කරනවා. නියමිත කාලයටම විභාග තියන්න පුළුවන්නම් මම හිතනවා හුඟාක් හොඳයි කියලා. හැබැයි ළමයින්ගේ සිලබස් කවර් කරලා නැති එකත් ප්‍රශ්නයක්. ඒ නිසා මාසයක් දෙකක් පරක්කු වුණත් කමක් නෑ සිලබස් කවර් කරල විභාගය තියෙනවා නම්.  


• ප්‍රශ්නය - නාමයෝජනා බාරදුන්නේ නිවාඩු දවසක නිසා ඒක වලංගුද කියන ප්‍රශ්නය මතුවෙනවා?  


නීතිපතිවරයා ඒක පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒකෙ ගැටලුවක් නෑ.  


• ප්‍රශ්නය - ඡන්දයට දින නියම වෙලා තියෙනවා. එදිනටම ඡන්දය තියන්න පුළුවන් වෙයිද?  


ඔව් ඒ වෙනකොට ඡන්දය තියන්න පුළුවන් වෙයි කියලයි මගේනම් විශ්වාසය. මැතිවරණ කොමසාරිස්වරයා ඒක කල් දානවා නම් ඒකත් තව හොඳයි.  


• ප්‍රශ්නය - ඇමතිවරු නම් කියන්නේ මැතිවරණ කොමිසන් සභාව දේශපාලනය කරනවා කියලයි?  


ඕනෑම ආයතනයක් වැඩ කරනකොට විවිධ විවේචන තියෙනවා. ඔය කොමිසමේ හරි පැහැදිලියිනේ. ඒකෙ එක පුද්ගලයෙක් බොහොම පැහැදිලිවම දේශපාලනය කරනවනේ. එයා තමන්ගේ දේශපාලන අදහස් ප්‍රසිද්ධියෙ ප්‍රකාශ කරනවා. දෙන්නෙක් තමන්ගේ පෞද්ගලික අදහස් ප්‍රකාශ කරන්නේ නෑ. අර විදියට වුණාම ඒ ආයතනයෙ ස්වාධීනත්වයක් නැහැ කියන එක තමයි පොදු මතය. ඕකේ ඉන්නේ පහුගිය රජය පත්කරපු අයනේ.  


• ප්‍රශ්නය - ඒ නිසා මැතිවරණ කොමිෂන් සභාව විපක්ෂයට ඕනෑ විදියට වැඩ කරනවා කියලද ඔබ කියන්නේ?  
ඒක නම් මම දන්නේ නෑ. ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කියන්න පුළුවන්.  


• ප්‍රශ්නය -දැන් ඡන්දෙට ඔබ යන්නේ සන්ධානයකින්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට ඇවිත් යූඑන්පියට යයි කියලා සමහරු සැක පහළ කරනවා?  


නෑ මම හිතන්නේ නෑ එහෙම කරයි කියලා.  


• ප්‍රශ්නය - හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උකුස්සෙක් ගැන කතා කළා.  


මං හිතන්නේ ඒක ​පො​ලොන්නරුවට කියපු කතාවක්. ජාතික වශයෙන් කියපු කතාවක් නොවෙයි.  


• ප්‍රශ්නය - ඔබ කිව්වා සිරිසේන - වික්‍රමසිංහ ආණ්ඩුව අසාර්ථකයි කියලා. ඒ සිරිසේන එහෙමනම් ඇයි ඔබේ සන්ධානයෙ සභාපති වුණේ?  


සන්ධානයක් ගහනකොට ඒ සන්ධානයට එකතු වුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඒ තනතුර දුන්නා. සන්ධානයෙ නායක තනතුර මට. සභාපතිකම එයාට.  


• ප්‍රශ්නය -පහුගිය මහ මැතිවරණයෙදි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට හිතවත් අයව ඒ ඒ දිස්ත්‍රික්කවලින් පැරැද්දුවා?  


පැරැද්දුවා නොවෙයි, එයාලා පැරදුණා. ජනතාවනේ ඡන්දය දෙන්නේ මමයැ.  


• ප්‍රශ්නය -මෙවරත් එයම වෙයි?  


ජනතාවත් එක්ක ඉන්න අයව ජනතාව තෝරාගනීවි. ජනතාවගෙන් ඈත්වෙලා හිටපු අය ජනතාව තෝරා ගන්නේ නැහැනේ.  


• ප්‍රශ්නය -උපාධිධාරීන්ගේ මාසික දීමනාව දෙනවා කියනවා. දෙන්නේ නැහැ කියනවා. මොකද්ද ඇත්තම තත්ත්වය.  


අපි සල්ලි යවලත් තියෙන්නේ. මැතිවරණ කොමිසමෙන් තමයි ඒක නවත්වලා තියෙන්නේ.  


• ප්‍රශ්නය - ආණ්ඩුවට තිබුණා පාර්ලිමේන්තුව විසුරුවන්න කලින් ඒ කටයුතු එකලාසයක් කරන්න.  


සල්ලි දුන්නෙත් ඊට කලින්. රටක වැඩක් කරනකොට කැබිනට් තීන්දුවක් අරගෙනනේ කරන්නේ. ඒවා ඒ විදියටම වුණා. උපාධිධාරීන් පනස්දාහකට හැට දාහකට රස්සා දෙනකොට ඒක පොඩි වැඩක් නොවෙයිනේ. ගිය ආණ්ඩුව ඔය වැඩේට අත ගැහුවෙම නෑ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ආපු ගමන්ම ඒක කළා. ඒක ලොකු දෙයක්. දැන් මෙතැන තියෙන්නේ වෙන ප්‍රශ්නයක්.  


• ප්‍රශ්නය - දරුවන්ට වඩාත් සමීපව නායකයෙක් ලෙස යුනිසෙෆ් ආයතනය ඔබව තෝරාගත්තා?  


ඒක ඉතින් මගේ සාමාන්‍ය හැසිරීමනේ. මගේ සාමාන්‍ය හැසිරීමත් එක්ක තමයි ඒවා ඇතිවෙලා තියෙන්නේ. දේශපාලනයේ ඉන්න පැරණිම අය වශයෙන් 1970 දී පාර්ලිමේන්තුවට මම ආවේ. මමයි වාසුදේවයි විතරයි මං හිතන්නේ එහෙම ඉන්නේ. කාලයක් තිස්සේ ඇතිවෙච්ච හැඟීම තමයි ඒ. ඇත්තටම ඒ තමයි මම.

 

සාකච්ඡා කළේ  : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රකින්න පරණ පාර්ලිමේන්තුව කැඳවන්න ඕනෑ නෑ

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 137 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1176 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 938 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2317 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2162 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3688 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 276 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1510 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site