IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මහින්ද මහත්තයා කියනදේ තමයි අද ජනතාව පිළිගන්නේ

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී 
අනුර ප්‍රියදර්ශන යාපා

 

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයේ දී එයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇමැති තනතුරු අතහැර විපක්ෂයට එක්වූ 16 දෙනාගේ කණ්ඩායමේ ඉදිරිපෙළ නියමුවකු වෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා සමග මේ කතාබහ වත්මන් දේශපාලන තත්ත්වය හා ඉදිරි දේශපාලන තත්ත්වය පිළිබඳවය.

 

• ප්‍රශ්නය - ‘දකුණට හිට්ලර් උතුරට ප්‍රභාකරන්’ රටට මොකද මේ වෙන්නේ?  


පිළිතුර - ප්‍රකාශවල මතුපිට අර්ථය අරගෙන බැලුවොත් ලොකු ප්‍රශ්නයක් විදියට තමයි පේන්නේ. හිට්ලර් කියන්නේ සමූහ ඝාතකයෙක්. ප්‍රභාකරන් කියන්නෙත් ඝාතකයෙක්. ප්‍රභාකරන් කියන්නේ තමන්ගේ වර්ගයා මෙන්ම රටේ සෙසු ජන කොටස් ද ඝාතනය කළ නරුම ත්‍රස්තවාදී නායකයෙක්. එහෙම කෙනෙක් අවශ්‍යයි කියලා කෙනෙක් කියනවා නම් එයා හොඳ සිහියෙන් ඉන්න කෙනෙක් කියලා හිතන්න බෑ. විශේෂයෙන්ම ත්‍රස්තවාදය වෙනුවෙන් පෙනී නොසිටින බවත් ත්‍රස්තවාදය ප්‍රවර්ධනය නොකරන බවත් ප්‍රතිඥා දුන් මහජන නියෝජිතයකුට එය කිසිසේත්ම ගැළපෙන්නේ නෑ.  


• ප්‍රශ්නය - ඔබ ‘හිට්ලර්’ අමතක කළා?  


පිළිතුර - ඒ ප්‍රකාශය වෙනස්. අනුනායක හාමුදුරුවන් ප්‍රකාශ කළ දේ මොකද්ද? අද රටේ නීතියක් තියෙනවද? නීතියේ විධානය තියෙනවාද? මම අපේ පළාත ගැන කියන්නම්. අපේ පළාතේ ගම්වල කුඩු වැහි වැහැලා. තරුණ පරපුර විනාශයි. මේක අද රටේම පැතිරිච්ච තත්ත්වයක්. බලන්න? පාතාලය කොච්චර දරුණු වෙලාද කියලා.  මාතර වෙච්ච සිද්ධිය බලන්න. ‘ඌෂි ගන්’ කියන ගිනි අවියෙන් තමයි පාතාලයන් වෙඩි තියලා තියෙන්නේ. මම හිතන්නේ අපේ හමුදාවටත් ඌෂි ගන් 100ක් නෑ. ඒ තරම් දරුණු තත්ත්වයට රට ඇවිත්. මේ තත්ත්වයෙන් රට මුදා ගැනීමේ වගකීම තමයි එදා අනුනායක හිමියන් ප්‍රකාශ කළේ.  


• ප්‍රශ්නය - ඔබ කියනවා රටේ තත්ත්වය අන්තිම දරුණුයි කියලා. හැබැයි මේ ආණ්ඩුවේ ඔබත් අවුරුදු තුනක් ඇමැතිකම් දැරුවා?  


පිළිතුර - පළමුව කිව යුතුයි මම ඇමැතිකමක් ගත්තේ පක්ෂයේ තීරණයකට අනුවයි. මට පෞද්ගලික අරමුණු නෑ. ඒ වගේම රටේ තත්ත්වය ගැන අපි දිගින් දිගටම කතා කළා. නමුත් ප්‍රයෝජනයක් නෑ කියලා දැනුණාම අපිට එළියට බහින්න පුළුවන් වුණු පළමු මොහොතෙම අපි එළියට බැස්සා.  


• ප්‍රශ්නය - එහෙම එළියට බහින්න ගත්ත තීරණය ගැන දැන් මොකද හිතෙන්නේ?  


පිළිතුර - නිවැරදි තීරණය නිවැරදිම වෙලාවේ ගත්තා. ඒ පිළිබඳව කිසිම දෙගිඩියාවක් නෑ. තනතුරුවල සදාකාලිකවම ඉන්න ඕනෑ කියලා හිතන කෙනෙක් නොවෙයි මම. අපි සදාකාලිකව දේශපාලනය කරන්නෙත් නෑ. හිතට එකඟ නැත්නම් අපිට එතැන ඉන්න අමාරුයිනේ. ඒ අයිතිය අපි ජයගන්න ඕනෑනේ. මොකද මම ගියේ යූඑන්පීයට නොවෙයිනේ. මම ඉන්නේ ශ්‍රී ලංකා එකේම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මම දරපු ඇමැතිකමෙන් ඉවත් වෙලා මම ඇවිල්ල විපක්ෂයේ වාඩි වුණා. මට දැන් තියෙන්නේ විපක්ෂයේ රාජකාරිය කරන්න.  


• ප්‍රශ්නය - දැන් ඔබ ඉන්නේ විපක්ෂයේද? ඒකාබද්ධ විපක්ෂයේද?  


පිළිතුර - අපි දැන් ඉන්නේ ඒකාබද්ධ විපක්ෂයේ. ඒ නමින් හඳුන්වන්නේ සියලු දෙනාගෙන් සැදුම්ලත් ඒකාබද්ධ කණ්ඩායමනේ. ඒ කණ්ඩායමේ තමයි අපි ඉන්නේ.  


• ප්‍රශ්නය - ආපු ගමන්ම කිව්වේ ‘අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් හැටියටයි ඉන්නේ’ කියලා?  


පිළිතුර - ඇත්ත වශයෙන්ම අපි 16 දෙනෙක් ඇමැතිකම්වලින් ඉවත් වුණේ විශ්වාසභංගයෙන් පස්සෙනේ. ඒ විශ්වාසභංගය එනකොටත් අපි දැනගෙන හිටියා විශ්‍වාසභංගය පරදිනවා කියලා. අපිට තිබුණේ‍ හෘදයශාක්ෂිය පිළිබඳ ප්‍රශ්නයක්නේ. ඉතින් අපි 16 දෙනෙක් එළියට ආවා. ඊට පස්සේ අපි 16 දෙනාම එක මතයකට ගත යුතුයිනේ? පළමුවෙන් කළ යුතුව තිබුණේ‍ ඒකයි. ඒකෙන් පස්සේ තමයි අපි ඒකාබද්ධයට ඇවිත් එක කණ්ඩායමක් බවට පත්වුණේ. ඒකට මාසයක් දෙකක් ගත වුණා. එකම ක්‍රියාදාමයක විවිධ අවස්ථා තිබුණේ. දැන් අපි 70ක් ගැන කතා කරනවා මිසක් 16 දෙනෙක් ගැන කතා කරන්නේ නෑ.  


• ප්‍රශ්නය - ඔබලා ආණ්ඩුවෙන් එළියට ආවට පොහොට්ටුවෙන් ලැබුණේ එපා වාහෙට හොදි බෙදනවා වගේ පිළිගැනීමක්.  


පිළිතුර - මම ඔයිට වඩා දේශපාලන ගැටලු දැකලා තියෙනවා. මම දැකලා තියෙනවා චන්ද්‍රිකා මැතිනිය ඇතුළු කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එනකොට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළේ මොනතරම් ප්‍රශ්නයක් තිබුණාද? සමහර අවස්ථාවල ගැටුම් දක්වා ඒවා වර්ධනය වුණා. අනුර බණ්ඩාරනායක මහත්තයා පක්ෂය දාලා ගියා. එහෙම තමයි දේශපාලන පක්ෂ ඇතුළේ තියෙන දේශපාලන අර්බුද මතු වුණාම. පක්ෂයක් දෙකට බෙදිලා රණ්ඩු කරගන්නකොට පිට පක්ෂයකින් කෙනෙකුට ඒ පක්ෂයට එනවට වඩා අමාරුයි ඒ කණ්ඩායම් දෙක එකතු කරන්න. ඒක තමයි ඇත්ත කතාව. මම ඕවා මගේ ජීවිතේ ඕනෑතරම් දැකලා තියෙනවා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳලා ඒහා සමාන අදහස් තියෙන කණ්ඩායමකට එකතු වුණා මිසක් එක්සත් ජාතික පක්ෂයට ගියේ නෑ. ඉතින් ඒ සමහර අංශවල තිබුණු ප්‍රශ්න ගොඩක් දැන් ලෙහිලා තියෙන්නේ. එහෙම ලෙහෙන බව දන්න නිසා තමයි අපි කතා කරන්නේ නැතිව මුනිවත රැක්කේ.  


• ප්‍රශ්නය - පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගත යුතුයි කියලත් ඔබලාට කොන්දේසියක් දැම්මා?  


පිළිතුර - නෑ. නෑ. අපිට නම් එහෙම කවුරුවත්ම කිව්වේ නෑ. අපෙන් එහෙම ඉල්ලීමක් කළේත් නෑ. අපි ඔක්කොම පාර්ලිමේන්තුවට ගියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සන්ධානයේ සාමාජික පක්ෂයක්. අපි ඔක්කොම එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ. ඒ නිසා අපට තවත් පක්ෂයකට බැඳෙන්න නීතිමය අවසරයක් නෑ අපේ මන්ත්‍රී ධුරය තිබෙනතුරු.  


• ප්‍රශ්නය - ඔබලාව පිළිගන්න බැසිල් රාජපක්ෂ පාර්ශ්වය ඒතරම් කැමැත්තක් දැක්වූවේ නෑ?  


පිළිතුර - නෑ. මට එහෙම තේරුණේ‍ නෑ. ඒගොල්ලන් ලංකාවේ ඉතාම ළාබාල පක්ෂයක් හදලා එදා තිබුණු වාස්තවික තත්ත්වයන් යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අති බහුතරයක් එතැනට ගිහිල්ලා ප්‍රාදේශීය සභා ඡන්දයක් අලුත් පක්ෂයක් හැටියට ජයග්‍රහණය කරලා ඒ අය තුළ අමන්දානන්ද හැඟීමක් තියෙන වෙලාවක්. ඒ හැඟීම් ප්‍රකාශ කරන ආකාරයත් එක එක ආකාර වෙන්න පුළුවන්. අපි ආවේ ඒ අයගේ අමන්දානන්දය නැති කරන්න නොවෙයි. අපිට තියෙන්නේ තවත් කාර්යයක් වෙනුවෙන් ඒ කණ්ඩායමත් එක්ක වැඩ කරන්න. එහෙම වැඩ කරනකොට ගොඩාක් කරුණු නිරාකරණය වෙයි කියලා මම හිතනවා. මම ඕවා ඕනෑතරම් දැකලා තියෙනවා. ලංකාවේ පක්ෂ කොයිතරම් කැඩිලා එක්වෙලා තියෙනවා. සන්ධාන කැඩිලා තියෙනවා. එකතු වෙලා තියෙනවා. ඔබ දන්නවා බණ්ඩාරනායක මහත්තයා හා සමසමාජ කොමියුනිස්ට් පක්ෂ අතර විශාල විරසකයක් තිබුණා. බණ්ඩාරනායක මහත්තයගේ මරණයෙන් පස්සෙ සිරිමාවෝ මැතිනියගේ පළමු වැනි ආණ්ඩුව කාලෙත් ඒ විරසකය තිබුණා. වෙලාවක දී මැතිනිය කිව්වා ‘ඇන්.ඇම්. මට පිටිපස්සෙන් ඉඳගෙන පිහියෙන් ඇන්නා’ කියලා. නමුත් ආපහු 1970 වෙනකොට ලොකු සන්ධානයක් හදලා ආණ්ඩුව ගත්තා. ලංකාවේ දේශපාලන සන්ධානයකින් තොරව කිසිම ප්‍රධාන පක්ෂයකට දිනන්න බෑ. කවුරුහරි හිතනවා නම් ‘මට තනිවම දිනන්න පුළුවන්’ කියලා, ඒක සාර්ථක අදහසක් නොවෙයි. ඒ නිසා අපි කල්පනා කරන්නේ දේශපාලනය කරනකොට යම් යම් ගැටලු තියෙනවා නම් ඒවා විසඳාගෙන ඉදිරියට යා යුතුයි කියලයි. අපි ඒකට බුද්ධිමත් විය යුතුයි. අපි දේශපාලනයට ළාබාල අය නොවෙයිනේ. අපිත් කාලයක් හිටපු අයනේ. ඒ නිසා අපි හිතන්න හොඳ නෑ ඕව ඒ තරම් ලොකු ප්‍රශ්න කියලා. එහෙම ගණන් ගන්නේ පෞද්ගලික ලාභාපේක්ෂාවෙන් ඉන්න අයයි. මට එහෙම ලාභාපේක්ෂාවක් නෑ.  


2020 වෙනකොට මම අඛණ්‍ඩව අවුරුදු 25ක් පාර්ලිමේන්තුවේ ඇමැති තනතුරු 9ක් දරලා තියෙනවා. ඒ නිසා ඒවට මගේ ආශාවක් නෑ. මගේ හදවතට එකඟව ප්‍රතිපත්තියට එකඟ තැන මොකද්ද ඒ අයත් එක්ක කතා කරලා එකඟව වැඩ කිරීම මගේ කැමැත්ත. මගේ පෞද්ගලික කැමැත්තකුත් තියෙන්න එපැයි දේශපාලනයට. ඒ පෞද්ගලික කැමැත්තත් එක්ක මට කාගෙවත් තර්ක විතර්ක දුබලකම් සඵලකම් මට වැඩක් නෑ.  


• ප්‍රශ්නය - ආණ්‍ඩුවෙන් එළියට ඇවිත් ඔබලා ප්‍රවෘත්ති සාකච්ඡා තිබ්බේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ. දැනුත් එහෙමද?  


පිළිතුර - අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යෝජනාවක් ඉදිරිපත් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය මැතිවරණයෙන් පරාජය ලැබුවේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වුණ නිසයි. ඒක තමයි ඇත්ත කතාව. පළාත් පාලන මැතිවරණයේ දී අපි විශාල පරාජයක් ලැබුවා. ඒක පිළිගන්න එපැයි. ඒකට හේතු සාධක වුණු කරුණු අපි තේරුම් ගත්තට පස්සේ වසර දෙකකට නම් ආණ්‍ඩුවත් එක්ක එකතු වුණේ, ඒකත් අසාර්ථකයි නම්, අපි යෝජනා කරලා තියෙනවා ආණ්ඩුවෙන් ඉවත් වෙන්න.  


• ප්‍රශ්නය - නමුත් ජනාධිපති මෛත්‍රී, ඒකට කැමති නෑ.  


පිළිතුර - ඒකට දැඩිව විරෝධය දක්වන්නේ අපේ පක්ෂයේ ඉන්න ප්‍රධාන තනතුරු දරන්නන්. මම කතා කළේ‍ මම වෙනුවෙන් නොවෙයි. මම කතා කළේ‍ සමස්ත පක්ෂය වෙනුවෙන්. 35 වසරක් මම වැඩ කරපු මගේ පක්ෂය වෙනුවෙන්. මේක හරියට අම්මා තාත්තා දාලා යනවා වගේ වැඩක්නේ. පක්ෂ මාරුකරලා මට හුරු නෑ. මම අනික් අය වගේ එහෙට මෙහෙට පැනපු එකෙක් නොවෙයි. පක්ෂය නැවත සංවිධානය කරමින් පොදු සන්ධානයක් ගොඩනැගීම සඳහා තමයි අපි අපේ යෝජනා ඉදිරිපත් කළේ.  


• ප්‍රශ්නය - මගේ ප්‍රශ්නය වුණේ‍ පක්ෂ මූලස්ථානයේ යළිත් ප්‍රවෘත්ති සාකච්ඡා තියනවද කියලයි?  


පිළිතුර - මම එන්නේ එතැනට තමයි. අපේ යෝජනාව ක්‍රියාත්මක වෙන්නේ නෑ. දැන් බැලුවොත් එළියේ විශාල විවේචන කරන අපේ පක්ෂයේ ප්‍රධාන නිලධාරීන් කියන කතා බැලුවම.... ඒ ගොල්ලෝ ඉන්නේ කොතැනද කියලා මට තේරෙන්නේ නෑ. ඒ අය වමේ දර්ශනය අගය කරනවද? එහෙම නැත්නම් දකුණේ‍ දර්ශනය බලා ගමන් කරමින් ඉන්නවද කියල මට තේරෙන්නේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හුදෙකලා වෙලානේ තියෙන්නේ. ඒක සුසානය කරා ගමන් කරමින් තිබෙන්නේ. මට සුසානය කරා යන්න බෑනේ. ශක්තිමත් භාවය කියන්නේ සුසානය කරා දක්කගෙන යන එක ද? සුසානයට මෙහායින් මට බහින්න සිද්ධ වුණා. ඒකට පෞද්ගලික හේතුත් තියෙනවා. පොදු හේතුත් තියෙනවා.  


• ප්‍රශ්නය - මොනවද ඒ හේතු?  


පිළිතුර - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර නායකයෝ කියන ඒවා දිහා බැලුවම මට තේරෙන්නේ නෑ මේ අය ඉන්නේ කොහේද කියලා. ඉතින් එවැනි අයත් එක්ක වාඩි වෙන්නේ කොහොමද? එහෙම වාඩි වුණාම මමත් වැටෙනවා ඒ ගොඩට. යථාර්ථය තෙරෙන්නේ නැත්නම් පෞද්ගලික කරුණු මත නම් දේශපාලනය දිහා බලන්නේ, කොහොමද ගමනක් යන්නේ? චන්ද්‍රිකා ජනාධිපතිනිය ජනතා විමුක්ති පෙරමුණත් එක්ක පෞද්ගලික ප්‍රශ්න තිබුණත් යුගයේ අවශ්‍යතාව වෙනුවෙන් ජවිපෙත් එක්කත් ආණ්ඩු හැදුවා. ඒ නිසා පෞද්ගලික හේතු අපි කවදාවත් දේශපාලනයට ගාව ගන්න නරකයි. දේශපාලනය කියන්නේ වෙනම විෂයක්. ප්‍රතිපත්තිවලට එකඟනම් අපේ අදහස්වලට ගැළපෙනවා නම් අපි ඒ අයත් එක්ක එකතු විය යුතුයි. එහෙම තත්ත්වයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පේන්නේ නෑ. ඒ අය යන්නේ කා එක්කද කියලා පැහැදිලි නෑ. මට පේන්නේ නම් ඒ අය දක්ෂිණාංශයට තමයි වඩාත් ළඟ කියලයි. එතකොට මට ඒගොල්ලෝ එක්ක වාඩිවෙන්න අමාරුයි.  


• ප්‍රශ්නය - ඔබේ නායකයා කවුද දැන්? මෛත්‍රීපාල සිරිසේන ද? මහින්ද රාජපක්ෂ ද?  


පිළිතුර - ඇත්ත වශයෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි මේ මොහොතේ මේ රටේ පවතින තත්ත්වය වෙනස් කරන්න නායකත්වය දෙන්න පුළුවන් නායකයා. පක්ෂයේ නායකයා ද කාගේ නායකයා ද අපිට මේවා වැඩක් නැනේ. අනාගතය කරා යන්න නම් මහජනයා වඩාත් කැමති වෙලා තියෙන්නේ මහින්ද මහත්තයාට. ඒකනේ යථාර්ථය. ඒ යථාර්ථය මම පිළිගන්නවා.  


• ප්‍රශ්නය - 16 දෙනා එළියට ඇවිත් කිව්වේ 2020 ජනාධිපතිවරණයේ දී අපේ අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රීපාල කියලයි.  


පිළිතුර - මම නම් කවදාවත් එහෙම කියලා නෑ. අපේ කණ්ඩායමේ සමහරු කියන්න ඇති. ඒක ඇති වෙන්න පුළුවන් තත්ත්වයක් අද රටේ නෑ. කියන්නම් වාලේ කියන්නත් බෑනේ. 2015 දී එතුමාට ඉඩක් තිබුණා. ඒ වෙලාවෙත් අපි වැඩ කෙරුවේ මහින්ද මහත්තයාට. අනාගත ජනාධිපතිවරණයක දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට වාසිදායක තත්ත්වයක් තියෙනවා කියලා නම් මට පේන්නේ නෑ.  


• ප්‍රශ්නය - එහෙමනම් කවුද ජනාධිපති අපේක්ෂකයා?  


පිළිතුර - අපි එහෙම කියනවාට වඩා හොඳයි දැන් මෙතැන ඉන්නවනේ ‘දේශපාලන පෝප්’ කෙනෙක්. අද ලංකාවේ දේශපාලන පෝප්වරයා මහින්ද රාජපක්ෂ මැතිතුමයි. ඔහු කියන දේ තමයි ජනතාව පිළිගන්නේ. විශේෂයෙන් අපේ කඳවුරේ ජනතාව ඔහු තමයි අපේක්ෂකයා තෝරා දිය යුත්තේ කියලයි අපි හිතන්නේ. ඒක හංගන්න දෙයක් නෑ.  


• ප්‍රශ්නය - 2020 ජනාධිපතිවරණය ගැන ගෝඨාභය රාජපක්ෂගේ නම කියැවෙනවා?  


පිළිතුර - අපිට ප්‍රශ්නයක් නෑ. අපි කවදාවත් පුද්ගලයෙක් ඉලක්ක කරගෙන ගියේ නෑ. කවුද එන්නේ අපි ඒ අයත් එක්ක වැඩ කරනවා.  


• ප්‍රශ්නය - ගෝඨාභය ‘හිට්ලර්’ කෙනෙක් කියලා යූඑන්පීය කියන්න පටන් අරගෙන?  


පිළිතුර - මම නම් ඒ මතයට එකඟ වෙන්නේ නෑ. හිට්ලර් කියන පුද්ගලයා ගැන මම අතිශයින්ම කියවපු කෙනෙක්. මම ඔබට මගේ පුස්තකාලය පෙන්වන්නම්. හිට්ලර් ගැන ලියැවුණු පොත් තොගයක් මං ළඟ තියෙනවා. ස්ටාලින් ගැන ලියැවුණු කෘති ගණනාවකුත් තියෙනවා. ජෝර්ජ් වොෂින්ටන් ගැන කෙනඩි ගැන ලියැවුණු පොත් තොගයකුත් තියෙනවා. මම ජීවන කතා කියවන්න කැමති කෙනෙක්.  


• ප්‍රශ්නය - මගේ ප්‍රශ්නය වුණේ ගෝඨාභය හා හිට්ලර් ගැනයි?  


පිළිතුර - හිට්ලර් කියන්නේ අසාමාන්‍ය චරිතයක්. ඔහු සමූල ඝාතකයෙක්. හිට්ලර්ගේ නම කියන්න බෑ යුරෝපයේ. හිට්ලර්ගේ සැලියුට් එක ගැහුවොත් අත්අඩංගුවට ගන්නවා. ජර්මනියේ දී එහෙම හිට්ලර් කියල කිව්වොත් ඇතුළට දානවා. අපේ රටට ස්ථාවරභාවයක් අවශ්‍යයි කියන එකට තමයි අනුනායක හාමුදුරුවෝ තමන්ගේ අනුශාසනාවේ දී ප්‍රකාශ කළේ. උන්වහන්සේත් මේකේ බරපතළකම දකින්න නැතිව ඇති. ඔහු ඉතා දක්ෂ ක්‍රියාධරයෙකි. ඔහු සෘජුව ක්‍රියා කරන්න පුළුවන් කෙනෙකු හැටියට තමයි මම ඔහු නිතරම දකින්නේ. වර්තමාන සමාජ වටපිටාව තුළ ලෝකයේ කොහේවත් හිට්ලර් කෙනෙක් බිහිවෙන්නේ නැහැනේ. හිට්ලර් බිහිවුණේ කොයි කාලයේ ද? ඇමරිකාව හුදකලාවට යමින් තිබුණ කාලයේ, බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය බිඳ වැටෙමින් තිබුණ කාලයේ, රටේ නීතියක් නැති කාලෙක තමයි හිට්ලර් ආවේ. අද එහෙම කරන්න බෑ. ප්‍රජාතන්ත්‍රවාදී අදහස් තියෙන රටක හිට්ලර් කෙනෙක් බිහිවෙන්නේ නෑ. මම ගෝඨාභය මහත්තය එහෙම කෙනෙක් කියලා හිතන්නෙත් නෑ. කවදාවත් ඔහු එක්තරා විදියට සෘජු තීන්දු ගන්න පුළුවන් කෙනෙක්. ඒක හොඳ දෙයක්. ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවද නැද්ද කියලා මම දන්නේ නෑ, ඒක ඔහුගෙන් අහන්න ඕනෑ. ඒක මහින්ද මහත්තයා තීරණය කළ යුතු දෙයක්. යුද්ධය කාලේ ඔහු ඇත්තටම රජයයි හමුදාවයි අතර පාලමක් වුණානේ. හමුදාපතිවරයකුට යුද්ධයක් දිනන්න බෑ ආණ්ඩුවේ නිසි සහයෝගය නොලැබුණා නම්. හුඟ දෙනෙක් අමතක කරනවා ඒක. යුද්ධය ජයගන්න ප්‍රධාන හේතුව රජය උදව් කළා. ඒ සඳහා විශාල කාර්යභාරයක් ගෝඨාභය මහත්තයා කළා. හමුදාපතිවරු තමන්ගේ වගකීම ඉටු කළා. මේක කළමනාකරණය කරන්න ගෝඨාභය මහත්තයා ලොකු මෙහෙයක් කළා. එතැනදී එතුමා සාර්ථකයි.  


• ප්‍රශ්නය - නිව්​ෙ‌යා්ර්ක් ටයිම්ස් පුවත්පතේ හෙළිදරව්ව මහින්ද කඳවුර හොළවන්න සමත් වෙලා?  


පිළිතුර - නෑ එහෙම කිසිම දෙයක් නෑ. ඒක අසත්‍ය චෝදනාවක්. චීන රජයත් ඒ බව පිළිඅරගෙන තියෙනවා. මේ තමයි මේ ආණ්‍ඩුවේ ක්‍රමය. දවස ගෙවා ගන්න මොනවා හරි කරනවා. මේ අසත්‍ය ප්‍රචාරවලට එරෙහිව නීති මගින් කටයුතු කරන බව මහින්ද රාජපක්ෂ මහත්තයා ප්‍රකාශ කරලා තියෙනවා.

 

 

 

 

සාකච්ඡා කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

මහින්ද මහත්තයා කියනදේ තමයි අද ජනතාව පිළිගන්නේ

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 78 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1161 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 907 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2303 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2152 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3681 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1437 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site