IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ජනතාවගේ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු කරනවා

තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ  

 

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ කැබිනට් මණ්ඩලය ඉකුත් බද‌ාද‌ා දිවුරුම් දුන්නේය. ඒ කැබිනට් මණ්ඩලයේ ළාබාලම සාමාජිකයා ලෙස තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ධුරයෙහි දිවුරුම් දුන්නේ නාමල් රාජපක්ෂ මහතාය. වීරෝදාර රුහුණේ ගිරුවාපත්තුවේ දේශපාලන උරුමය සහිත නාමල් රාජපක්ෂ මහතා සමග මේ කතාබහ කැබිනට්ටුව පත් කිරීම හා ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙනි.  

ප්‍රශ්නය:- අලුත් කැබිනෙට්ටුවේ තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමැති ඔබයි?  


පිළිතුර:- ඔව්. ඉතාම සතුටුයි. ඒ වගේම විශාල අභියෝගයක්. විශේෂයෙන්ම ලෝකයේ අලුත් තත්ත්වය වගේම කොවිඩ් 19 මාරක වසංගතයත් සමග අපිට අලුතෙන් හිතන්න වෙනවා. ඒකත් එක්ක තරුණ පරපුරට විශේෂ වගකීමක් තියෙනවා. මම විශ්වාස කරනවා මගේ රාජ්‍ය ඇමැති තේනුක විදානගමගේ මැතිතුමා හා නිලධාරීන් සමග එකතුවෙලා ජනතාව බලාපොරොත්තු වෙන තැනට මේ රට ගෙනියන්න පුළුවන් කියලා.  


ප්‍රශ්නය:- පහුගිය රාජපක්ෂ දශකයේදී මෙරට තරුණ පරපුරට හිතුණා. ‘රාජපක්ෂ තරුණ පුතුන්ට තියෙන අවස්ථා තමන්ට නෑ’ කියලා. ඒක අැත්ත කියලා ඔබ හිතන්නේ නැද්ද?  


පිළිතුර:- නෑ. ඇත්තටම මම හිතන්නේ නැහැ එහෙම එකක් තිබුණා කියලා. සමාජ ජාලවල තියෙන විවරණය ගත්තොත් ඒකේ හොඳ නරක දෙකම තියෙනවා. ලැම්බෝගිනි, රත්තරන් අශ්වයෝ වැනි කාරණාත් මඩ ගැසීම පිණිසම නිර්මාණය කරපු ඒවා මිසක් ඇත්ත නොවෙයි. දේශපාලනය කරනකොට විවිධ කතිකාවන් නිර්මාණ වෙනවා. ඒවායේ ඇත්ත නැත්ත මේ වෙනකොට සමාජය ඉදිරිපිට ඔප්පුවෙලා තියෙනවා.  


ප්‍රශ්නය:- නමුත් රාජපක්ෂ පුතුන්ට තිබූ අවස්ථා සමාජයේ බහුතරයක් තරුණයන්ට තිබුණේ නැහැ?  


පිළිතුර:- මගේ සහෝදරයන්ට සාපේක්ෂව නොවෙයි. යම් අසාමානතාවක් සමාජයේ තියෙනවා. මෙතනදී අපි තේරුම් ගත යුතු දේ තමයි තරුණයන්ගේ ප්‍රශ්න දිහා අපි අලුතෙන් බැලිය යුතුයි. ඔය ඔබ කියන විදියෙ මතවාදයක් ඇති වුණේ ඇයි කියලා අපි හොයන්න ඕනෑ. එහෙම නම් මගේ වගකීම තමයි තරුණයන්ට තිබුණ ගැටලුව නිවැරැදිව හඳුනා ගැනීම. නාමල්ට තිබුණ රටේ තරුණයන්ට නොතිබුණදේ මොකක්ද කියලා තේරුම් ගත යුතුයි. ඒ ප්‍රශ්නයට විසඳුමක් දීම මගේ වගකීම කියලයි මම හිතන්නේ.  


ප්‍රශ්නය:- ඔබ හිතන විදියට මෙරට තරුණයාට තියෙන ප්‍රධානම ප්‍රශ්නය මොකක්ද?  


පිළිතුර:- ඇත්තටම තරුණයාට තියෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි හෙට දවස පිළිබඳව තියෙන අවිනිශ්චිත බව. ඒ අවිනිශ්චිත බව තුළින් ඇතිවෙලා තියෙන්නේ අවිශ්වාසය. සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ මොකක්ද කරන්නේ? ඒ වගේම උසස් පෙළට තෝරා ගන්නා විෂයන් මොනවාද? කියන එක ගැන පවා ප්‍රශ්නයක් තියෙනවා.  


ප්‍රශ්නය:- ජනාධිපති ගෝඨාභය නම් කිව්වේ ‘දේශපාලන විද්‍යාව කරලා වැඩක් නෑ’ කියලයි?  


පිළිතුර:- මම හිතන්නේ ජනාධිපතිතුමා එතැනදී අදහස් කළේ වැඩි පිරිසක් තෝරා ගන්නා විෂයන් පමණක් නොවෙයි. වෙනත් විෂයන් කරා යොමු විය යුතුයි කියන එකයි. නූතනත්වයට ගැළපෙන විෂයන් කළ යුතුයි. මම ඒකයි කිව්වේ සාමාන්‍ය පෙළෙන් පස්සේ ඊළඟට තෝරා ගතයුතු විෂයන් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා කියලා. උසස් පෙළ විභාගයෙන් පස්සේ මොකක්ද කරන්නේ? විශ්වවිද්‍යාලයට යනවාද? රැකියාවක් කරනව ද? තමන්ගේ ජීවිතය ගොඩගන්නේ කොහොමද? තමන්ගේම කියලා නිවසක් හද‌ාගන්නේ කොහොමද? තමන් හිතන පතන ලෝකය නිර්මාණය කර ගන්නේ කොහොමද? මේක තමයි තියෙන ප්‍රශ්නය. ඒ නිසා ආණ්ඩුවක් විදියට කළ යුතු දේ තමයි ඒ සඳහා නිවැරැදි මාර්ගයක් සකස් කිරීම. මගේ අමාත්‍යාංශය හරහා මම බලාපොරොත්තු වෙන්නෙත් මේ කාරණා හඳුනාගෙන වඩාත් ජයග්‍රාහී තැනකට මේ රටේ තරුණ පරපුර ඔසොවා තබන්නයි.  


ප්‍රශ්නය:- පහුගිය කාලය ගත්තොත් ක්‍රීඩා ඇමැති කිව්වම ඇත්තටම ඔවුන් ‘ක්‍රිකට් ඇමැතිවරුන්’ බවට පත්වුණා. ඒ ඉරණමෙන් ගැලවෙන්න ඔබටත් පහසුවෙන එකක් නෑ?  


පිළිතුර:- ඇත්තටම මම මේක කිව යුතුයි. මම එක ක්‍රීඩාවක ඇමැති නොවෙයි.  


ප්‍රශ්නය:- ඔබ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ හිටපු නායකයා. දැන් ඉතින් රග්බි ක්‍රීඩාවට වසන්තය උද‌ාවෙයි?  


පිළිතුර:- මම ඒකනේ කිව්වේ මම එක ක්‍රීඩාවක ඇමැති නොවෙයි කියලා. ක්‍රීඩා ඇමැති ලංකාවේ තියෙන හැම ක්‍රීඩාවකටම ඉන්න ක්‍රීඩා ඇමැති. ඔබ කිව්වා වගේම අපේ රටේ බොහෝ අවස්ථාවල ක්‍රීඩා ඇමැතිට ක්‍රිකට් වගකීම තමයි ඉටු කරන්න වුණේ. එහෙම නැත්නම් තමන් කැමැති වෙනත් ක්‍රීඩාවක්. ඒක එහෙම විය යුතු නෑ. ක්‍රිකට් බලාගන්න පාලක මණ්ඩලයක් ඉන්නවා. අපි කළ යුත්තේ ඒ සඳහා අවශ්‍ය පරිසරය සකස් කරලා දෙන එක. ගැටලු ඇති තැන්වල ඒ ගැටලු ලෙහලා ද‌ාන එක. ඒ නිසා ක්‍රීඩා ඇමැතිවරයා හැටියට මම ඉස්සෙල්ලාම කරන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම ක්‍රීඩා සංගම් සමඟ සාකච්ඡා කරලා ඔවුන්ගේ සැලසුම් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම. ඔවුන් මොනවද කරලා තියෙන්නේ? ඒ වගේම ඉදිරි මාස 6 ට, ඉදිරි අවුරද්දට, ඉදිරි අවුරුදු තුන හතරට මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා අපි බලන්න ඕනෑ. ඒ අනුව ඉදිරි ක්‍රීඩා සැලැස්ම නිර්මාණය කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. 

 
ප්‍රශ්නය:- අලුත් කැබිනෙට්ටුව කොහොමද?  


පිළිතුර:- ඇත්තෙන්ම ඉතාමත් තරුණ ඇමැති මණ්ඩලයක් කියලා කිව්වොත් නිවැරැදියි. ජ්‍යෙෂ්ඨයොත් ඉන්නවා. තරුණයෝ බොහෝ දෙනෙකුට ප්‍රමුඛතාව ලැබිලා තියෙනවා. ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මෙතැනදී බලාපොරොත්තු වුණේ ඉතා ක්‍රියාශීලී කැබිනට් මණ්ඩලයක්. ඒ නිසා අපට පුළුවන් සෞභාග්‍යයේ ඉදිරි දැක්ම හොඳට ක්‍රියාත්මක කරන්න. ජනතාව බලාපොරොත්තු වෙන තැනට මේ රට රැගෙන යාමේ වගකීම අපට තියෙනවා. ඒක අභියෝගයක්. නමුත් ජයගත හැකියි.  


 ප්‍රශ්නය:- නමුත් අමාත්‍යාංශවල නම් කියනකොට සමහරු කියනවා හිනා යනවා කියලා. ඉඟුරු, වියළි කොත්තමල්ලි, සාදික්කා වසාවාසි’ ඇමැතිලත් ඉන්නවා කියලයි කියන්නේ.  


පිළිතුර:- සමහරුන්ට මේක විහිළුවක් වුණාට සමහරුන්ට ලොකු බලාපොරොත්තුවක්. සෑම ක්ෂේත්‍රයකටම වගකිවයුත්තෙක් අද ඉන්නවා. ගම්මිරිස් මිල ගැන රටේ ලොකු කතාබහක් ඇතිවුණා. නමුත් යහපාලන ආණ්ඩුවේ ඒකට වග කියන්න කෙනෙක් හිටියෙ නෑ. දැන් ඒ සඳහා වග කියන්න රාජ්‍ය ඇමැති කෙනෙක් ඉන්නවා. ඒ වගේම තමයි මත්තල ගුවන් තොටුපළ, මත්තල ගුවන් තොටුපළට ගුවන් යානා එනව ද නැද්ද කියලා ප්‍රශ්නයක් මතු වුණා. දැන් ඒ ගැන වගකීම දරන්න රාජ්‍ය ඇමැති කෙනෙක් ඉන්නවා. මගේ අමාත්‍යාංශය ගත්තත් පාසල් ක්‍රීඩාව කියන්නේ ලොකු විෂය පථයක්. දැන් මට රාජ්‍ය ඇමැතිවරයෙක් ඉන්නවා පාසල්වලට ගිහිල්ලා අවශ්‍ය පහසුකම් හොයලා බලලා ඒවා සපයන්න. ග්‍රාමීය ක්‍රීඩාව ගැන හොයලා බලන්න ඒ ඇමැතිවරයට වගකීම තියෙනවා. සමහරු මේක විහිළුවක් විදියට දැක්කට ජනාධිපතිතුමත්, අගමැතිතුමත් බැලුවේ සැලසුම් සකස් කළේ මෙරට ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමට සමත් ඇමැති මණ්ඩලයක් සකස් කිරීමටයි. දැන් හැම ක්ෂේත්‍රයකටම වගකීමක් ඇති ඇමැතිවරයෙක් ඉන්නවා. රාජ්‍ය ඇමැති කෙනෙක් ඉන්නවා.  


 ප්‍රශ්නය:- රාජපක්ෂ පවුලේ නඩු හබ වෙනුවෙන් පෙනී හිටපු ජනාධිපති නීතිඥ අලි සබ්රි ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට අරගෙන ඔහුට අධිකරණ ඇමැතිකම ලබා දෙනවා. ‘එක රටක් - එක නීතියක්’ හදන්න යන්නේ එහෙමද?  


පිළිතුර:- අලි සබ්රි මැතිතුමා ඉතාමත් දක්ෂ නීතිඥයෙක්. එතුමා ජනාධිපති නීතිඥයෙක්. තරුණයෙක්. එතුමා ඔබ කිව්වට රාජපක්ෂවරුන්ගේ නඩු වෙනුවෙන් පෙනී හිටියා කියලා එහෙම නොවෙයි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නඩු වෙනුවෙන් තමයි පෙනී හිටියේ. ඒ නඩු​ වෙනුවෙන් විතරක් නොවෙයි එක්සත් ජාතික පක්ෂයේ නඩු වෙනුවෙනුත් පෙනී සිටියා. එතුමා වෘත්තීමය නීතිඥයෙක්. හැබැයි ඒ සීමාවෙන් එළියට ගිහින් අපේ හාමුදුරුවරු හැට නමක් රක්ෂිත බන්ධනාගාරගත කරනකොට රණවිරුවන් හිරේ ද‌ාන කොටත් ඒ වෙනුවෙන් අධිකරණයේ පෙනී හිටියා. ඊළඟට එතුමාට තියෙන වගකීම තමයි කොහොමද රට ඉදිරිපිට තියෙන ගැටලු විසඳන්නේ කියන එක. එතුමා ඇමැති කෙනෙක් විදියට ඉතාම සාර්ථකව ඒ අභියෝගය ජයගනු ඇතැයි අපි විශ්වාස කරනවා. මීට කලිනුත් ජනාධිපති නීතිඥවරු කැබිනට් මණ්ඩලවල ඉඳලා තියෙනවා. ෆයිසර් මුස්තාපා මැතිතුමා ගන්න. එතුමා ඇමැති කෙනෙක් වුණාමත් එතුමාගේ ජූනියර්ලා නඩු කතා කරනවා. ඒ ගැන කවුරුවත් කතා කළේ නෑ. අලි සබ්රි මැතිතුමා ගැන සමහරුන්ට තියෙන ප්‍රශ්නය තමයි එතුමා මධ්‍යස්ථව හිතන කෙනෙක්. එතුමා අන්තවාදියෙක් නොවෙයි. අන්තවාදී නොවන කෙනෙක් අධිකරණ ඇමැති වුණාම අන්තවාදී අයට දරාගන්න බෑ.  


ප්‍රශ්නය:- විජයද‌ාස රාජපක්ෂ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමේ උත්සවයටවත් සහභාගි වුණේ නෑ. අධිකරණ ඇමැති ධුරය පිළිබඳ ප්‍රශ්නයක් නේද එතැන තිබුණේ?  


පිළිතුර:- මම හිතන්නේ එහෙම කාරණයක් නොවෙයි. එතුමයි ජනාධිපතිතුමයි අතර සාකච්ඡාවක් තිබුණා. ඒ සාකච්ඡාවට අපි හිටියේ නෑ. ජනාධිපතිතුමත් එක්ක කරපු පෞද්ගලික සාකච්ඡාවක් ඒක. ඒ සාකච්ඡාවේදී ගත්තු තීරණයක් අනුව වෙන්නැති එහෙම වුණේ.  


 ප්‍රශ්නය:- හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනටත් කිසිම ඇමැතිකමක් නෑ. ඒක කැපිල්ලක් ද?  


පිළිතුර:- නෑ. මම හිතන්නේ එතුමා ඇමැති මණ්ඩලයට එන්න ඕනැ නෑ. එතුමා හිටපු ජනාධිපතිවරයෙක්. මං හිතන්නේ එතුමාට නිසිතැන පාර්ලිමේන්තුව තුළ ලැබෙනවා. ඇමැති මණ්ඩලයට පැමිණීම තුළ එතුමාට නිසි ගෞරවය ලැබෙන්නේ නැහැ.  


ප්‍රශ්නය:- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරලා උප ජනාධිපති හෝ උප අගමැති වගේ තනතුරක් දෙන්නද බලාපොරොත්තු වෙන්නේ?  


පිළිතුර:- ඇත්තටම ව්‍යවස්ථාව ඇතුළට අපි තනතුරු ගේන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතැනදී අපි බලන්නේ 19 වැනි ව්‍යවස්ථාව සංශෝධනයෙන් ඇතිවෙලා තියෙන ගැටලු නිරාකරණය කිරීම. 19 වැනි සංශෝධනය අහෝසි වෙනකොට යම් යම් කාරණා තියෙනවා සංශෝධනය විය යුතු. ඒවා වෙන්න ඕනෑ. ඒ කාරණා වෙනුවෙන් මිසක් අලුත් තනතුරු හදන්න අපට ජනතාව ඡන්දය දීලා නෑ. ජනාධිපතිතුමත්, අගමැතිතුමත් මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඒ සාකච්ඡා තවම අවසන් නෑ. ඒ සාකච්ඡාවලදී යම් එකඟතාවක් ආවොත් අපිට ඒ ගැන දැනුම් දේවි. මගේ පෞද්ගලික විශ්වාසය තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පුද්ගලයන් ඉලක්ක කරගෙන නොකළ යුතුයි කියන එක.  


ප්‍රශ්නය:- 19 වැනි සංශෝධනය අහෝසි කරලා 18 බල ගන්වනවද? නැත්නම් 20 ගේනව ද?  


පිළිතුර:- තවම ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් නෑ. මේ වෙලාවේ රටේ ස්ථාවර ආණ්ඩුවකට ප්‍රායෝගික කාරණය තමයි 19 ඉවත් කිරීම.  


ප්‍රශ්නය:- ඇමැති මණ්ඩලයට 26ක් පත් කරන්න පුළුවන් වුණාට පත් කළේ 25 යි. එකක් ඉතුරුයි. ඒ කවුරු වෙනුවෙන් ද?  


පිළිතුර:- ඒක ජනාධිපතිතුමත්, අගමැතිතුමත් ගත්ත තීන්දුවක්. මේ රටේ ලොකු ඉල්ලීමක් තියෙනවා රටට බරක් නොවන ඇමැති මණ්ඩලයක් අවශ්‍යයි කියලා. ඒ වෙනුවෙන් තමයි එහෙම අඩු කිරීමක් කළේ. එහෙම නැතිව කවුරුවත් වෙනුවෙන් තියා ගත්තා නොවෙයි.  


ප්‍රශ්නය:- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට ඒමේ බැරියර් එක අයින් කරනවා. ඊට පස්සේ බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු එනවා. එහෙම ඇවිත් ඉතිරිවෙලා තියෙන ඇමැති ධුරයේ දිවුරුම් දෙනවා.  


පිළිතුර:- බැසිල් රාජපක්ෂ මැතිතුමාට ඇමැතිකමක් ඕනෑනම් මට හරි ඉල්ලා අස්වෙලා ඒක දෙන්න පුළුවන්නේ. එහෙම නැත්නම් ඕනෑනම් ඒ ඇමැති ධුරයත් මම අරගෙන බැසිල් රාජපක්ෂ මැතිතුමා ආවාහම එතකොට දෙන්න පුළුවන්නේ. එහෙම කිසිම සැලැස්මක් නැහැ. මේක තමයි විපක්ෂයේ ප්‍රශ්නය. ඔවුන් නැති බිල්ලෝ මවනවා. මෙහෙම වෙයි. එහෙම වුණාම මෙහෙම වෙයි කියලා හිතනවා. ඒ හිතලු දේශපාලන ප්‍රකාශ හැටියට එළියට ද‌ානවා. එයින් ඔවුන් මානසික තෘප්තියක් ලබනවා. ඉතින් අපි ඒ මහත්වරුන්ට ඒ අහිංසක තෘප්තිය ලබන්න ඉඩ දෙනවා මිසක් ඒකට බාධා කරන්න යන්නේ නෑ.  


ප්‍රශ්නය:- ආණ්ඩුවට තුනෙන් දෙකක ජනවරමක් ලැබුණා. මේ ජනවරම ඔබ කියවා ගන්නේ කොහොමද?  


පිළිතුර:- මේ ජනවරම මෙරට දේශපාලන ඉතිහාසයේ ඓතිහාසික ජනවරමක්. මේ වරම ජනතාව දුන්නේ අසීමිත බලාපොරොත්තු තියාගෙන. යහපාලන ආණ්ඩුවෙන් ජනතාව බලාපොරොත්තු වෙච්ච කිසිම දෙයක් වුණේ නෑ. යහපාලන ආණ්ඩුව කළේ රාජපක්ෂවරුන්ගෙන්, රාජපක්ෂ කඳවුරේ නායකයන්ගෙන් පලිගැනීම පමණයි. ඔවුන් රට පාලනය කළේ නෑ. ජනතාවගේ අවශ්‍යතා ඉටු කළේ නෑ. අන්තිමට වුණේ මරණ භීතියෙන් මුදවා ගත්ත රටට යළිත් මරණ භීතිය රැගෙන ඒම පමණයි. දවස ගානේ රාජපක්ෂවරු හිරේ ද‌ාන්න ඒ අය සැලසුම් හද හද‌ා සිටියා. ඒ අතරවාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවෝ අපේ රටේ අහිංසක ජනතාව මරලා දැම්මා. ඒ තිත්ත ආණ්ඩුවට එරෙහිව ඒ තිත්ත ආණ්ඩුවේ නියම හා අනියම් හවුල්කාරයන්ට එරෙහිව ඒ තිත්ත ආණ්ඩුවේ ඇත්ත හවුල්කාරයන්ට එරෙහිව ජනතාවගේ පොදු විරෝධය හා පිළිකුල තමයි මේ ඡන්ද ප්‍රතිඵලය ඇතුළේ තියෙන්නේ. මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ නිදහස් හා සාමකාමී රටක්. ඒ නිසා මේ ජනවරම කියැවීමේදී සාම්ප්‍රද‌ායික කෝණයෙන් එය නොකළ යුතුයි කියලයි මම හිතන්නේ. සමස්ත සිස්ටම් එකේම වෙනසක් ජනතාව බලාපොරොත්තු වෙනවා.  


 ප්‍රශ්නය:- ඒ ‘සිස්ටම් චේන්ජ්’ එක දෙන්න ඔබලාට පුළුවන් කියලා ඔබ හිතනව ද?  


පිළිතුර:- අනිවාර්යයෙන්ම නොවැම්බර් 16 වැනිද‌ා ඉඳලා මේ රටේ ජනතාව දකින්නේ අලුත් ආදර්ශ. කැබිනට් මණ්ඩලය සීමා කිරීමේ ඉඳලා කැබිනට් මණ්ඩලය නම් කිරීම දක්වා ජනතාව දකින්නේ ඔවුන් ඉල්ලා සිටි ඔවුන් පෙනී සිටි ආදර්ශ අපි තව ඉදිරියට යන්. තව බොහෝ බලගතු ආදර්ශ, ජනවරමට සාධාරණය ඉටුකරන ආදර්ශ ඔබට දැක ගන්නට පුළුවන්. ආණ්ඩුවේ අපි හැම කෙනෙක්ම ඒ වෙනුවෙන් වගකීමෙන් බැඳී සිටිනවා.  


 ප්‍රශ්නය:- ඔබ එහෙම කිව්වත් ආණ්ඩුව ඇතුළේ ගෝඨාභයගේ කණ්ඩායම. මහින්දගේ කණ්ඩායම කියලා කණ්ඩායම් දෙකක් ඉන්නවා. පළමුව ගැටුම් ඇතිවෙන්නේ ඔය කණ්ඩායම් දෙක අතර?  


පිළිතුර:- එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. අපේ ඒකාබද්ධ විපක්ෂයෙ හිටපු කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ළඟින් ආශ්‍රය කළ පිරිසක් ඇවිත් ඉන්නවා. හැබැයි මේ කණ්ඩායම් දෙකම පිළිගන්න එක කාරණයක් තියෙනවා. ඒ තමයි මේ රටේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මේ රටේ අගමැති මහින්ද රාජපක්ෂ කියලා. අපි සියලුදෙනා පිළිගන්නා අනික් කාරණය තමයි රටේ අනාගතය තියෙන්නේ. ‘සෞභාග්‍යයේ දැක්ම’ තුළ කියලා. අපි ක්‍රියාත්මක කරන්නේ එක ප්‍රතිපත්තියක්.  


 ප්‍රශ්නය:- ‘වියත් මග’ කියලා විශේෂයක් කරනකොට අනික් අය අවියත් ද? එහෙම නැත්නම් වියපත් ද?  


 පිළිතුර:- අපි ගත්තොත් රටේ වැඩිහිටි සංගම් ගත්තොත් ඒකේ වැඩිහිටියො විතරක් නොවෙයි තරුණයොත් ඉන්නවා. මිතුරු සුහද සමාගම් කිව්වට ඒවා ඇතුළේ හතුරොත් ඉන්නවා. එක එක සංගම් සමාජය ඇතුළේ ගොඩනැගෙනවා. කාලානුරූපීව අවස්ථානුකූලව ගොඩ නැගෙන සංවිධාන තියෙනවා. පාර්ලිමේන්තුවේ උගතුන් ඉන්නවා. නැති අයත් ඉන්න පුළුවන්. වියත් මගෙත් වියත් අය ඉන්නවා. වියත් නැති අයත් ඉන්න පුළුවන්. හැබැයි අවසාන කාරණය තමයි මේ සියලු දෙනාම පිළිගන්නා කාරණය රටේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ. රටේ අගමැති මහින්ද රාජපක්ෂ කියලා.  


 ප්‍රශ්නය:- අපේ රටේ සාමාන්‍යයෙන් ආණ්ඩු හඳුන්වන්නේ පාලකයන්ගේ නමින්. ජේ.ආර්ගේ ආණ්ඩුව. ප්‍රේමද‌ාස ආණ්ඩුව. චන්ද්‍රිකා ආණ්ඩුව. මේ ආණ්ඩුව හඳුන්වන්න වෙන්නෙම රාජපක්ෂ ආණ්ඩුව කියලා. මොකද පාර්ලිමේන්තුවෙත්, කැබිනට් එකෙත් රාජපක්ෂවරු පිරිලා?  


පිළිතුර:- මම හැමද‌ාම කියන කාරණය තමයි අපිව තෝරලා එවන්නේ මේ රටේ පොදු මහජනතාව. මම පාර්ලිමේන්තුවට මේ පාර ආවේ තුන් වැනි පාරට. චමල් රාජපක්ෂ මැතිතුමා අවුරුදු 30 ක් පාර්ලිමේන්තුවේ. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දේශපාලන ජීවිතයට අවුරුදු 50 ක්. මම එතුමා ගැන කියන්න යන්නේ නැහැ. ඒ නිසා රාජපක්ෂ නාමය තිබීම බාධාවක් වෙන්න බෑ. රටේ ජනතාවට සේවය කරන්න. මම මේ පාරත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළමු වැනියා. ඒක ඓතිහාසික ජයග්‍රහණයක් වගේම වාර්තාගත මනාපයක්. ඉදිරියේදී අපේ පැවැත්ම තීරණය වෙන්නේ නම නිසා නොවෙයි අපේ ක්‍රියාකාරිත්වය හරහායි. අපි වැඩ කළේ නැතිනම් ජනතාව අපිව අනිවාර්යයෙන්ම ප්‍රතික්ෂේප කරයි.  


ප්‍රශ්නය:- පළාත් සභා මැතිවරණය කවද‌ාද?  


පිළිතුර:- සියලු මැතිවරණ නිසි කලට තැබිය යුතුයි. මෙතෙක් කල් අතුරුදන් කරපු මැතිවරණත් අපි තැබිය යුතුයි. ඒක ඉදිරියේදී තීරණය වේවි.  


ප්‍රශ්නය:- ඔබලාට තුනෙන් දෙකක ජනවරමක් ලැබුණා. ඒ ජනවරමට කැළලක් ඇති නොකර එහි ගරුත්වය රකිනවා කියලා ඔබට සහතිකයක් දෙන්න පුළුවන් ද?  


 පිළිතුර:- අනිවාර්යයෙන්ම සෞභාග්‍යයේ ඉදිරි දැක්ම අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ මහ පොළොවේ ජීවමාන යථාර්ථයක් බවට පත් කරලා ජනතාවගේ බලාපොරොත්තු එලෙසින්ම ඉටු කරනවා. ඒ සම්බන්ධයෙන් සැකයක් තියාගන්න එපා. 

 

 

සාකච්ඡා කළේ  
 ප්‍රසන්න සංජීව තෙන්නකෝන්  

 



අදහස් (0)

ජනතාවගේ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු කරනවා

ඔබේ අදහස් එවන්න

දේශපාලන

විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1154 1

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 883 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2297 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2149 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3677 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේක 'ඩූ ඕ ඩයි’ සටනක්
2024 ජනවාරි මස 03 1596 5

ලංකා දේශපාලන ඉතිහාසයේ තීව්‍රැතම ගැටුම ඉදිරි මාස හත අට තුළ නිර්මාණය වෙනවා. මේක ‘ඩූ ඕ ඩයි’ සටනක් යැයි ජාතික ජනබලවේගයේ නායක පාර්ලමේන්තු මන්ත්‍රී අනුර කුම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site