IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ගම්බද ජනතාව සජිත් එක්ක ඉන්නේ කිව්වට ප්‍රතිඵල බැලුවම එහෙම එකක් පේන්න නෑ

එක්සත් ජාතික පෙරමුණේ  මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී   
ලක්ෂ්මන් කිරිඇල්ල

 

  • සිංහල බෞද්ධ ඡන්ද සියයට විසිපහක් තිහක් තමයි අපට ලැබුණේ
  • මේ පරාජයට ඒ අර්ථයෙන් මේ නායකයො දෙන්නම වගකියන්න ඕනැ
  • ඇමැතිවරුන් භික්ෂුන්වහන්සේලාගේ ලිංගිකත්වය ගැනත් වීඩියෝ හැදුවම පක්ෂය කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නෑ

ජනාධිපතිවරණයේදී මොකද වුණේ? මේ ඒ ගැන විමසමින් එක්සත් ජාතික පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමග කළ සාකච්ඡාවකි.   

 

 ප්‍රශ්නය:- ජනාධිපතිවරණයේදී මොකද වුණේ?   


පිළිතුර:- ප්‍රධානම කාරණය තමයි අපට සිංහල බෞද්ධ ඡන්ද සියයට 25 ක් 30 ක් විතර තමයි ලැබුණේ. සියයට 70 ක් සිංහල බෞද්ධ ඡන්ද අපට විරුද්ධව කෙළින්ම දුන්නා.   


 ප්‍රශ්නය:-ඒකට හේතුව වශයෙන් ඔබ දකින්නේ?   


පිළිතුර:- ඒකට හේතුව අපේ ආණ්ඩුවේම වැරැද්ද?. පහුගිය කාලයේ බුදු දහමට එරෙහිව යම් යම් ඇමැතිවරුන් අදහස් ප්‍රකාශ කළා. භික්ෂුන් වහන්සේලාගේ ලිංගිකත්වය ගැන වීඩියෝ හදලා ඒවා ප්‍රදර්ශනය කළා. ඇමැතිවරුන් මේවා කළාම පක්ෂය කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නෑ. එක ඇමැතිවරයෙක් කිව්වා ‘ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවෙයි’ කියලා.   


 ප්‍රශ්නය:-එහෙම කිව්වේ ඇමැති මංගල?   


පිළිතුර:- ඔව්. මංගලනේ එහෙම කිව්වේ. එතුමා එහෙම කිව්වට පස්සේ පක්ෂයට තිබුණා ඒකට පියවරක් ගන්න. පක්ෂයේ නායකයෝ දෙන්නා රනිල්ටයි සජිත්ටයි දෙන්නටම තිබුණා කියන්න ඒ ප්‍රකාශය වහාම ඉල්ලා අස්කර ගන්න කියලා.   


 ප්‍රශ්නය:- එහෙම කිව්වෙත් නෑ?   


පිළිතුර:- ඔව්. එහෙම කිව්වෙත් නෑ. රංජන් රාමනායක ඔය භික්ෂුන් වහන්සේලාගේ ලිංගිකත්වය ගැන වීඩියෝ හදනකොටත් ඒ ගොල්ලන්ට කියන්න තිබුණා ‘වහාම ඕක නවත්වන්න’ කියලා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා යූඑන්පී එකේ නායකයා වෙලා ඉන්න කාලේ ඔහොම වුණා නම් ‘ඕවා ඉල්ලා අස්කර ගනින් වහාම’ කියලා කියනවා. නමුත් මෙතැනදී ඒක එහෙම වුණේ නෑ. ඒ නිසා රටේ පොදු ජනතාව හිතුවා ‘මංගලගෙයි රංජන්ගෙයි මතය තමයි පක්ෂයේ පොදු මතය’ කියලා. ඒකයි වුණේ. බොහෝ සරලයි.   


 ප්‍රශ්නය:- ඇයි පක්ෂය පොදු ජනතාවගේ හද ගැහෙන රිද්මය හඳුනා නොගත්තේ?   


පිළිතුර:- මෙහෙමයි. අපි තරම් පන්සල්වලට සල්ලි දීපු ආණ්ඩුවක් තවත් නෑ. දැන් අගමැතිතුමාගේ අමාත්‍යාංශය ගත්තොත් ලංකාවේ තියෙන හැම පන්සලකටම වගේ රුපියල් ලක්ෂ 5 බැගින් දුන්නා. සජිත් සංස්කෘතික ඇමැතිවරයා හැටියටත් ඒ වගේ සේවයක් කළා.   


 ප්‍රශ්නය:- එහෙම සල්ලි දීලා පමණක් ඇද්ද?   


පිළිතුර:- ඔබ හරි. බුද්ධාගමට ළෙන්ගතුකමක් පෙන්වන්න ඕන.   


 ප්‍රශ්නය:- පන්සලේ පින් කැටයටත් සීල් තියන ආණ්ඩුවක් බවට ඔබේ ආණ්ඩුව පත්වුණා?   


පිළිතුර:- ඔව්. ඔව්. ඒවා ඔක්කොම වැරදි වැඩ. 

 
 ප්‍රශ්නය:- ඔබ සභානායක. ආණ්ඩුවේ දෙවැනියා. ඇයි ඔබ මැදිහත් නොවුණේ?   


පිළිතුර:- අපි මේවා පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවලදී කිව්වා. මංගල සමරවීර කිව්වම ‘මේක සිංහල බෞද්ධ රටක් නොවෙයි’ කියලා. මම පහුවැනිදම නුවරදී කිව්වා ‘මේක සිංහල බෞද්ධ රටක්’ කියලා. ඒක ලොකුවට ගියා. නමුත් පහුවද‌ාම මංගල ඒ කතාව ආපහු කිව්වා. මම නම් මේකට චෝදනා කරන්නේ පක්ෂයේ නායකත්වයට. පක්ෂයේ නායකත්වයට තිබුණා මේවා නතර කරන්න. ඒක වුණේ නෑ. ඒ නිසා ජනතාව හිතුවා මේක තමයි පක්ෂයේ මතය කියලා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලේ සිරිල් මැතිව් ඇමැතිතුමා ඔය වගේ ජාතිවාදි ප්‍රකාශයක් කළාම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා එතුමාව වහාම ඇමැතිකමෙන් අයින් කළා. නමුත් මේ වෙලාවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහත්, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමද‌ාසත් නිශ්ශබ්දව හිටියා. මේ පරාජයට ඒ අර්ථයෙන් මේ නායකයෝ දෙන්නම වගකියන්න ඕනැ.   


 ප්‍රශ්නය:- ඔබ හිතනව ද ඔබේ කඳවුරෙන් ඉදිරිපත් කළේ හොඳම අපේක්ෂකයා කියලා? 

 
පිළිතුර:- මෙහෙමනේ, ඇත්ත වශයෙන්ම පක්ෂයේ තීන්දු තීරණ ගන්න තැන්වල හිටපු අය සජිත්ගේ අපේක්ෂකත්වය වෙනුවෙන් පෙනී හිටියා.   


 ප්‍රශ්නය:-ඒ තීරණ ගන්න තැන්වල ඔබ නෑ?   


පිළිතුර:- තීරණ ගන්න තැන්වල අපිත් ඉන්නවා. නමුත් එතැන අති බහුතරය කිව්වේ සජිත් තමයි හොඳම අපේක්ෂකයා කියලා. 

 
 ප්‍රශ්නය:- ඔබ තාමත් හිතනව ද ඒ තීරණය නිවැරැදියි කියලා?   


පිළිතුර:- දැන් ආපස්සට හැරිලා බලන කොට ඒ ගැන ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒ අය කිව්වේ ගම්බද ජනතාව සජිත් එක්ක ඉන්නේ කියලා. නමුත් ප්‍රතිඵල දිහා බලනකොට එහෙම දෙයක් පේන්න නැහැ. කිසිම විශේෂත්වයක් පේන්න නෑ. ඇත්තටම සජිත් මහන්සි වුණා. රැස්වීම් 150 ක කතා කළා. හුඟාක් මහන්සි වුණා. රැස්වීම්වලට විශාල වශයෙන් සෙනඟ ආවා. මම රනිල් වික්‍රමසිංහ මහත්මයාට ගරු කරනවා. එතුමා නිතරම කියපු දෙයක්... අපේ මැතිවරණ ව්‍යාපාරය ගැන කරපු සාකච්ඡාවලදී ‘අපේ යූඑන්පී බේස් එක ආරක්ෂා කර ගනිමින් ඒකට පිටින් එකතු කරගන්න’ කියලා. ඉස්සෙල්ලාම පක්ෂයේ අත්තිවාරම ආරක්ෂා කළ යුතුයි.   


 ප්‍රශ්නය:-නමුත් එහෙම වුණේ නෑ?   


පිළිතුර:- ඒක තමයි ප්‍රශ්නය. අපිට හිටපු මධ්‍යම පන්තිය අපිත් එක්ක උරණ වුණා. මේ රටේ දුප්පත් යැයි කියන ජනතාවට හැම දෙයක්ම පොහොර ඉඳලා හැම දෙයක්ම නොමිලේ දෙන්න හැදුවා. නමුත් බදු ගෙවන්නේ මධ්‍යම පන්තියනේ. ඉතින් මධ්‍යම පන්තිය හිතුවා අපෙන් බදු අරගෙන මේ හැම එකක්ම නොමිලේ දෙනවා කියලා.   


 ප්‍රශ්නය:-ඔබේ වේදිකාවේ ඇතැම් ඡන්ද පොරොන්දුත් ජනතාවගේ හාස්‍යයට ලක්වුණා?   


පිළිතුර:- ඔව් අනිවාර්යයෙන්ම. එහෙම හාස්‍යයට ලක්වුණා. ජේවීපී එකත් කියන්න පටන් ගත්තනේ ‘ඔන්න නත්තල් පප්පා එනවා. ඕනැ එකක් ඉල්ලා ගනිල්ලා’ කියලා. ඔය දෙනවා කියපු හුඟාක් දේවල් ජනතාව ඉල්ලපු දේවලුත් නොවෙයි.   


 ප්‍රශ්නය:-ඔබ හිතන විදියට ජනතාව මොනවද බලාපොරොත්තු වුණේ?   


පිළිතුර:- ඇත්තටම ජනතාව බලාපොරොත්තු වුණේ පින් පඩි නොවෙයි. රැකියාවල්. කර්මාන්ත සංවර්ධනය, ඒවාට සැලැස්මක් තියෙන්න ඕනැ. අපි කර්මාන්ත ශාලා ඇති කරනවා කියලා කිව්වට ජනතාව ඒවා විශ්වාස කළේ නෑ. මොකද අවුරුදු හතරාමාරටම එකම කර්මාන්ත ශාලාවක්වත් අපි ආරම්භ කරලා තිබුණේ නැහැ. සාමාන්‍යයෙන් ජනතාව විශ්වාස කරනවනේ. යූඑන්පිය බලයට ආවොත් ආර්ථිකය නිකම්ම හොඳ වෙනවා කියලා. ඇත්ත වශයෙන්ම 2015 දී වෙනසක් කරන්න ජනතාව කල්පනා කළේත් ඒකයි. යුද්ධය ඉවරයි. මිනිස්සු කල්පලා කළා යුද්ධය ඉවර වුණාම ආර්ථිකය මෙහෙයවන්න පුළුවන් හොඳම ආණ්ඩුව තමයි යූඑන්පිය කියලා. නමුත් ඒක සිද්ධ වුණේ නැහැ. 

 
 ප්‍රශ්නය:-ඒකට අගමැති රනිල් ඇතුළු සමස්ත ආණ්ඩුවම එපැයි වග කියන්න?   


පිළිතුර:- ඔව්. ඔව්. ආණ්ඩුවේ දුර්වලතා මේකට බලපෑවා. ඒ විතරක් නොවෙයි සජිත් කිව්වනේ එයා බලයට ආවම මන්ත්‍රීවරුන්ගේ වාහන පර්මිට් එක නතර කරනවා.’ කියලා. ඒකට රාජ්‍ය සේවකයෝ හොඳටම කලබල වුණා. මොකද මන්ත්‍රීවරුන්ට ඒ අයිතිවාසිකම අහිමි වුණොත් තමන්ටත් ඒ අයිතිවාසිකම අහිමි වෙයි කියලා. රාජ්‍ය නිලධාරින් හිතුවා මම හොඳටම දන්නවා යාපනයේ ඉන්න දෙමළ රාජ්‍ය නිලධාරින් සජිත්ගේ ඔය කතාව හින්ද‌ා ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දුන්නා. එහෙම දේවල් අපේ මැතිවරණ ව්‍යාපාරයට බලපෑවා.   


 ප්‍රශ්නය:-හොරු අල්ලන්න ආපු ආණ්ඩුව අන්තිටම මහ බැංකුවටත් වැඩේ දුන්නා කියලයි මිනිස්සු කිව්වේ?   


පිළිතුර:- ඒක ඇත්ත. ආණ්ඩුව ඇවිත් මාස දෙකයිනේ. ඔය බැඳුම්කර ප්‍රශ්නය එනකොට. ආණ්ඩුවට ඔයිට වඩා සුපරික්ෂාකාරී වෙන්න තිබුණා. ඔය බැඳුම්කර සිදුවීම ජනතාවගේ මතයට සෑහෙන බලපෑමක් කළා. අපි ඒකට සාර්ථක ලෙස මුහුණ දුන්නේ නෑ.   


 ප්‍රශ්නය:-ඔබට ඔබේ අමාත්‍යාංශයටත් බරපතළ චෝදනා එල්ල වුණා?   


පිළිතුර:- ඒක දේශපාලන මඩ. මම ඒ චෝදනාවලට පාර්ලිමේන්තුවේදී උත්තරත් දුන්නා. රජයේ සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය කරන්න නිලධාරින් පත් කළාම මේ අය කිව්වා මේක මහා හොරකමක් කියලා. මම හිතන්නේ නැගුණු චෝදනාවලට පාර්ලිමේන්තුවේදී උත්තර දීලා නිර්දෙ‌ා්ෂි බව ඔප්පු කළේ මම විතරයි.   


 ප්‍රශ්නය:- ජනතාව ඉදිරියට යන්න වෙනවා කියලා හිතලා ආණ්ඩු කරපු බවක් අපි නම් දැක්කේ නැහැ?   


පිළිතුර:- ප්‍රධානම හේතුව වුණේ අපි 2015 දී බලයට පත්වෙලා මාස කිහිපයක් යනකොටම ජනාධිපතිතුමයි, අගමැතිතුමයි විරසක වුණා. කැබිනට් මණ්ඩලයේ ඉන්න කොට අපි ඒක දැක්කනේ. යූඑන්පී එකෙන් මොකක් හරි යෝජනාවක් ගෙනාවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම විරුද්ධ වුණා. ඔය කඹ ඇදීම ගියා. ඒ නිසා තමයි කිසිම දෙයක් සාර්ථකව කරගන්න බැරි වුණේ. තනි යූඑන්පී ආණ්ඩුවකුත් නොවෙයි.   


 ප්‍රශ්නය:-අන්තිමට නටපු තොවිලයකුත් නෑ. බෙරේ පලුවකුත් නෑ?   


පිළිතුර:- එහෙමම නෑ. අපි මේ රටට විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් ලබා දුන්නා. ඔබ දන්නවා 2015 වෙනකොට අපේ රට තිබුණේ කොතැනද කියලා. විශේෂයෙන් ජාත්‍යන්තරය තුළ අපේ රට කොන්වෙලා තිබුණේ. ආර්ථික සම්බාධක පනවන්න හිටියේ. ඒ තත්ත්වය වෙනස් කරලා ජාත්‍යන්තරය තුළ අපේ රට සම්බන්ධයෙන් හොඳ ප්‍රතිරූපයක් හදන්න අපට පුළුවන් වුණා. මාධ්‍ය නිදහස ඇති කළා. වෙන ආණ්ඩුවක් තිබුණා නම් ඔය සමහර මාධ්‍ය ආයතනවලට ඔහොම වැඩ කරන්න පුළුවන් වෙයි ද? අපේ රටේ තිබුණේ සුදු වෑන් සංස්කෘතියක්. විරුද්ධව කතා කළා නම් ඉස්සුවා. අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළා. අද ඔය හැම එක්කෙනෙක්ම බල්ටි ගහන්නේ අපි හදපු ප්‍රජාතන්ත්‍රවාදී පිට්ටනියේ. මැතිවරණ මොනතරම් සාමකාමී ද කියලා බලන්න. මෙහෙම සාමකාමී විදියට මැතිවරණ තියන්න පුළුවන් යුගයක් රටේ තිබුණ ද? ඇත්තම කියනවා නම් මේ ටික වුණත් ප්‍රමාණවත් අපිට නැවතත් බලය දෙන්න. නමුත් අපිට ඒවාවත් හරියටම මාර්කට් කරගන්න බැරි වුණා.   


 ප්‍රශ්නය:- යූඑන්පී නායකයෝ අවංකවම සජිත්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වුණා ද

 
පිළිතුර:- අනිවාර්යයෙන්ම බැස්සා. එ් සම්බන්ධයෙන් විවාදයක් නෑ. හැම එක්කෙනාම මහන්සි වුණානේ.   


 ප්‍රශ්නය:-නමුත් අපි දැක්කා සජිත්ට නාම යෝජනා ලැබෙන්න කලින් ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් පවා ප්‍රශ්න කළ ඇමැතිවරු හිටියා?   


පිළිතුර:-     ඒ වගේ දේවල් තිබුණා. නමුත් හැමෝම කැම්පේන් එකට බැස්සා.   


 ප්‍රශ්නය:- නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර ඊයේ පෙරේද‌ා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා කිව්වා ‘සමහර යූඑන්පී නායකයෝ සජිත්ගේ කකුලෙන් ඇද්ද‌ා’ කියලා?   


පිළිතුර:- ඔය තරුණ මන්ත්‍රීවරුන් ආවේගශීලීවනේ කතා කරන්නේ?. මේ වගේ ප්‍රශ්නයක් දිහා ඔහොම ආවේගශීලීව බලන්න බෑ.   


 ප්‍රශ්නය:-සුළු ජාතිකයන්ගේ ඡන්ද ලැබුණම දිනන්න පුළුවන් කියලා ඔබලා හිතුවා?   


පිළිතුර:- ඔව් එහෙම විශ්වාසයක් තිබුණා.   


 ප්‍රශ්නය:-එහෙම විශ්වාසයක් ඇතිවුණේ දෙමළ නායකයන්ට දීපු පොරොන්දු නිසා ද?   


පිළිතුර:- නෑ කිසිම පොරාන්දුවක් දීලා තිබුණේ නෑ.   


 ප්‍රශ්නය:-ලිඛිතව නොවුණත් වාචිකව හරි?   


පිළිතුර:- අපි දුන්න එකම පොරොන්දුව තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා ආරම්භ කරපු පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සම්පාදක කමිටුවේ වැඩ ඉදිරියට අරගෙන යනවා කියන එක විතරයි. එතැනින් එහා වෙනත් කිසිම පොරොන්දුවක් නෑ. දෙමළ ජාතික සන්ධානයත් බොහොම ප්‍රසිද්ධියේ කියලා තියෙනවා කිසිම පොරොන්දුවක් නැහැ කියලා. 

 
 ප්‍රශ්නය:- උතුරේ ඡන්ද වැටුණු දිහා බැලුවම එහෙම වාචික පොරොන්දුවකට පමණක් එහෙම ඡන්දය දෙයි ද කියලා හිතෙනවා.   


පිළිතුර:- ඇත්ත වශයෙන්ම උතුරේ හා නැගෙනහිර ජීවත් වෙච්ච සුළු ජාතික ජනතාවට හැඟීමක් තිබුණා අපේ ආණ්ඩුව යටතේ ඔවුන්ට ආරක්ෂාවක් සැලසුණා කියලා. ඒ අයත් රටේ සමාන පුරවැසියන් කියන හැඟීම අපේ ආණ්ඩුව යටතේ ඔවුන් තුළ ඇති වුණා. ඒ තත්ත්වය නැති කරගන්න ඔවුන් අකමැතියි. ඡන්ද ප්‍රතිඵලය එහෙම වෙන්න ඒ තත්ත්වය බලපෑවා.   


 ප්‍රශ්නය:-ජනාධිපතිවරණ පරාජයත් එක්ක පක්ෂය තුළ සුපුරුදු කුළල් කා ගැනීම් ඇතිවෙලා?   


පිළිතුර:- ඇත්තටම දැන් අවශ්‍ය වෙන්නේ පක්ෂයේ සමගියයි. ඉන්න නායකයෝ ඔක්කොම අත්වැල් බැඳගෙන අපි ඉදිරියට යන්න ඕනැ.   


 ප්‍රශ්නය:- අලුත් ජනවරමට යටත්ව ආණ්ඩුව බාර දෙන්නත් අගමැති රනිල් කල් ගත්තා?   


පිළිතුර:- පක්ෂය එක්කත් අපේ පක්ෂයත් එක්ක ඉන්න සහෝදර පක්ෂත් එක්කත් සාකච්ඡා කරන්න ඕනෑ නේ. එක මතයක් තිබුණේ ඉක්මන් මැතිවරණයකට යා යුතුයි කියලා. ඒ ගැනත් සාකච්ඡා කළා. පස්සේ අපි මේ මොහොතේ ගත යුතු හොඳම තීන්දුව ගත්තා.   


 ප්‍රශ්නය:-මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුව තුළ සුළුතරයක් තියෙන්නේ?   


පිළිතුර:- ඔව්. නමුත් අලුත් ජනවරමක් තියෙනවනේ. අපි ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරනවා. මහින්ද රාජපක්ෂ මහත්තයාට පාර්ලිමේන්තුව තුළ බහුතරය නැති වුණත් අපි ඒක අභියෝගයට ලක් කරන්නේ නෑ. අපි හොඳ දෙයට සහයෝගය දෙනවා. කොහොමත් මාර්තු මාසය වෙනකොට මහ මැතිවරණයට යන්න වෙනවා.   


 ප්‍රශ්නය:- මහ මැතිවරණයට යන්න යූඑන්පියට හයියක් තියෙනව ද?   


පිළිතුර:- අනිවාර්යයෙන්ම මේක එක්තරා පසුබෑමක්. හවුල් ආණ්ඩුවකට ආවේණික දුර්වලතා මග ඇරගන්න අපිට බැරි වුණා. මේ ප්‍රතිඵලය ඒ නිසයි. කොහොම වුණත් අනවශ්‍ය ප්‍රශ්න ඇතිකර ගන්නේ නැතිව සියලුම දෙනා සමගියෙන් කටයුතු කළොත් අපට මහ මැතිවරණය ජයග්‍රහණය කරන්න පුළුවන්. පෞද්ගලික න්‍යාය පත්‍ර අමතක කරලා පක්ෂය පෙරමුණට අරගෙන කටයුතු කළ යුතුයි.   


 ප්‍රශ්නය:- පරාජයේ වගකීම බාර අරගෙන සජිත් ප්‍රේමද‌ාස නියෝජ්‍ය නායක කමෙන් ඉල්ලා අස්වුණා. ඒත් රනිල් වික්‍රමසිංහ ‘හ්ම්’ ශබ්දයක් නෑ?   


 පිළිතුර:- මෙහෙමනේ. නායකයෝ ඔක්කොම ඉල්ලා අස්වෙන්න ගියොත් කවුද මේක අරගෙන යන්නේ? අපි මේ මොහොතෙදී සැලසුම් සකස් කරන්න ඕනැ ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරගෙනයි.   


 ප්‍රශ්නය:-සජිත්ගේ පාර්ශ්වය කියනවා ‘රනිල්ට යන්න’ කියලා?   


පිළිතුර:- මං ඉස්සෙල්ලත් කිව්වේ. සමහර තරුණ මන්ත්‍රීවරුන් මෙතැනදී ආවේගශීලීව හැසිරෙනවා. අපි ප්‍රශ්නයක් දිහා බලන්න ඕනැ හැඟීමෙන් නොවෙයි. බුද්ධියෙන්.   


 ප්‍රශ්නය:-විපක්ෂනායකකම රනිල්ට ද සජිත්ට ද?   


පිළිතුර:- ඒක තීරණය වෙන්නේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ බහුතරයෙන්. හිතුණ හිතුණ කෙනාට එහෙම තනතුරු ගන්න බෑ. විපක්ෂනායක වෙන්නේ රනිල් වික්‍රමසිංහ නම් එතුමාට විපක්ෂයේ බහුතර මන්ත්‍රී කණ්ඩායමේ සහාය හිමි විය යුතුයි. සජිත්ටත් එහෙමයි. ඒක පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් තෝරන්නේ. 

 
 ප්‍රශ්නය:- රනිල් - සජිත් ගැටුමත් ඔබේ පරාජයට බලපානවා කියලා හිතෙන්නේ නැද්ද?   


පිළිතුර:- ඔව්. ඒ හැම දෙයක්ම බලපෑවා.   


 ප්‍රශ්නය:- සජිත්ගේ වේදිකාවේදී ඉඟි කළා සජිත් දිනුවොත් අගමැති රනිල් නොවෙයි කියලා?   


පිළිතුර:- එහෙම වුණා. ඕකේ දෙපැත්තක් තියෙනවා. සමහරු කියනවා බලපෑමක් වුණා කියලා. තවත් සමහරු කියනවා එහෙම නෑ කියලා. කොහොම වුණත් ඒවා අතිරේක ප්‍රශ්න. ප්‍රධාන ප්‍රශ්නය වුණේ අපේ පක්ෂයේ සිංහල බෞද්ධ පදනම දෙදරා යාම. අපේ පක්ෂයේම ඇමැති කෙනෙක් කිව්වම මේක සිංහල බෞද්ධ රටක් නොවෙයි කියලා. සිංහල බෞද්ධයන්ට ඕනැ වුණා මේක සිංහල බෞද්ධ රටක් තමයි කියලා පෙන්වන්න. මේ වැරැදි අපි හඳුනාගෙන තමයි ඉදිරියට යන්න ඕනෑ.  


 ප්‍රශ්නය:-ජනාධිපතිවරණය වෙනුවෙන් පුළුල් බලගතුම සන්ධානයක් හදනවා කියලා කිව්වා?  


පිළිතුර:- නමුත් ඒක හද‌ාගන්න බැරි වුණානේ.  


 ප්‍රශ්නය:- කවුද ඒක කඩාකප්පල් කළේ?  


පිළිතුර:- ඒක කඩාකප්පල් කළේ ඉතින් පක්ෂයේම පිරිසක්.  


 ප්‍රශ්නය:- ඔබ හිතන්නේ නැද්ද සජිත්ගේ පාර්ශ්වය ඉල්ලන් කෑවා කියලා?  


පිළිතුර:- එහෙම කියන එකත් වැරදියි. සජිත් හරියට මහන්සි වුණා. සජිත් හරි අහිංසකයි. දක්ෂයි, තරුණයි. සංවේදී පුද්ගලයෙක්. අපිටත් හරිම කම්පනයක්. අපිත් අපේ දිස්ත්‍රික්කවල හරියට මහන්සි වුණා.  


 ප්‍රශ්නය:- පක්ෂය පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක්විය යුතුයි කියලා ඔබ හිතන්නේ නැද්ද?  


පිළිතුර:- අනිවාර්යයෙන්ම ඒක විය යුතුයි.  


 ප්‍රශ්නය:-- ඒ කියන්නේ රනිල්ට නායකත්වය අහිමි වෙනවා?  


පිළිතුර:- ඒවා තීරණය වෙන්නේ පක්ෂයේ බහුතර කැමැත්තට අනුවයි.  


 ප්‍රශ්නය:- ඔය බහුතර කැමැත්ත නිසා පක්ෂය රට තුළ සුළුතරයක් වෙනවා?  


පිළිතුර:- ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් විදියට අපිට වැඩ කරන්න වෙන්නේ බහුතර කැමැත්තට අනුව තමයි. එහෙම නැති වුණොත් ඒකාධිපතියෙක් වෙනවනේ.  

 ප්‍රශ්නය:-- සජිත් ප්‍රේමද‌ාස දේශපාලනයෙන් සමුගන්නා බවටත් තොරතුරු වාර්තා වුණා.  


පිළිතුර:- එහෙම කතාවක් යනවා. නමුත් එතුමා එහෙම දෙයක් නිල වශයෙන් කියලා නෑ.  


 ප්‍රශ්නය:-ජනාධිපතිවරණයෙන් පස්සේ සජිත් තවම හමුවුණේ නැද්ද?  


පිළිතුර:- නෑ. එතුමා තවම මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම්වලට ආවේ නෑ.

 

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්   



අදහස් (0)

ගම්බද ජනතාව සජිත් එක්ක ඉන්නේ කිව්වට ප්‍රතිඵල බැලුවම එහෙම එකක් පේන්න නෑ

ඔබේ අදහස් එවන්න

දේශපාලන

විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1154 1

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 881 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2297 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2148 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3676 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේක 'ඩූ ඕ ඩයි’ සටනක්
2024 ජනවාරි මස 03 1596 5

ලංකා දේශපාලන ඉතිහාසයේ තීව්‍රැතම ගැටුම ඉදිරි මාස හත අට තුළ නිර්මාණය වෙනවා. මේක ‘ඩූ ඕ ඩයි’ සටනක් යැයි ජාතික ජනබලවේගයේ නායක පාර්ලමේන්තු මන්ත්‍රී අනුර කුම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 205 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1499 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site