IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කොළඹ අලංකාර කළැයි කෑගහන අය කිසිම ව්‍යාපෘතියකට මුදල් ගෙවා අවසන්කර තිබුණේ නෑ

(අංජුල මහික වීරරත්න)

(ඡායාරූප - ගයාන් අමරසේකර)


“කොළඹ අලංකාර කළා යැයි කියමින් කෑ ගසන අය ඇරඹූ කිසිම ව්‍යාපෘතියකට මුදල් ගෙවා අවසන් කර තිබුණේ නැතැයි” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ හැව්ලොක් සිටිහි දී පැවැසීය.

“කොළඹ අලංකාර කෙරුණේ යයි කෑගසන ව්‍යාපෘති වෙනුවෙන් වසර තුනක් ගතවන විටත් වත්මන් ජාතික රජය මුදල් ගෙවමින් සිටින බව කී අග්‍රාමාත්‍යවරයා, රටේ ආර්ථිකය දැන් ස්ථාවර කර තිබෙන හෙයින් එක්සත් ජාතික පක්ෂ නගර සභාව යටතේ කොළඹ නගරය සංවර්ධනය පහසුවෙන්ම කළ හැකි යැයි” ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂ නැගෙනහිර හා බටහිර කොළඹ ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගී වෙමිනි.

කොළඹ-හැව්ලොක් සිටි සම්මන්ත්‍රණ ශාලාවේ දී රැස්වීම පැවැත්විණි.

කොළඹ-හැව්ලොක් සිටි සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති එක්සත් ජාතික පක්ෂ නැගෙනහිර හා බටහිර කොළඹ ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීවේය.
මගේ දේශපාලනය ආරම්භ වූයේ මේ ස්ථානයෙන් බව ශාලාවට පැමිණිමේ දී මතක් වුණා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා 1972 දකුණු කොළඹ මැතිවරණ කොට්ඨාසය ඇති කිරීමෙන් පසුව වැල්ලවත්ත උතුර නාගරික කොට්ඨාසය මට බාර දුන්නා.

ඒ කාලයේ මේ ස්ථානයේ පැවැතුණේ වැල්ලවත්ත රෙදි මෝලයි. ප්‍රදේශයේ පිහිටා තිබූ තට්ටු නිවාසයේ වාසය කළ ප්‍රේමදාස මහතා අපට මෙහි සංවිධායක කටයුතු සඳහා සහයෝගය දුන්නා.

එතැනින් ඉදිරියට ගිය මම බියගමට, කොළඹට තරග කරමින් අගමැතිවීමට අවස්ථාව ලැබුණා. ඒ අනුව කොළඹ සිට රටේ වගකීම බාර ගැනීමට මට හැකියාව ලැබුණා.

කොළඹ නගරයේ වගකීම බාර ගැනීමට බටහිර කොළඹ පුරපතිවරයකු පත් කිරීමටයි, දැන් අප බලාපොරොත්තු වන්නේ. ඒ ඔබේ සංවිධායිකා රෝසි සේනානායක මහත්මියයි.

රට දියුණු කරමින් කොළඹ දියුණු කළ යුතුයි. රෝසි සේනානායක මහත්මිය මන්ත්‍රීවරියක ලෙස, පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස, ඇමැතිවරියක ලෙස මගේ කාර්ය මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානි ලෙස ආදි වශයෙන් විශාල වැඩ කොටසක් කරනවා. ඇය බටහිර කොළඹ සංවිධායක ලෙසත්, පුරපති අපේක්ෂිකාව ලෙසත් ඉදිරිපත් කර තිබෙන්නේ ඇගේ ඇති විශාල අත්දැකීම් ප්‍රමාණය නිසයි. එතුමියගේ කාර්ය භාරය නැවත අමුතුවෙන් කළ යුතු නැහැ. සියලුම දෙනා ඒ සම්බන්ධව හොඳින් දන්නවා.

අප කොළඹට ණය ගැතියි. අපේ පක්ෂය හැදුනෙත්, ආරක්ෂා වුණෙත් කොළඹ නිසයි. 1960 දශකයේ සිට අපේ බලකොටුව ලෙස පැවතුණේ කොළඹයි. ඒ නිසා නගර සභා ඡන්දයක දී කොළඹ ජනතාව වෙනුවෙන් සාමාන්‍ය වැඩ කොටසකට වඩා වැඩ කොටසක් කළ යුතුයි.

2015 දී අප ආණ්ඩු බලය ගන්නා විට නගර සභාවේ බලය තිබුණේ ඊට පෙර වතාවේ අපට නගර සභා බලය තිබුණ ද ආණඩු බලය තිබුණේ නැහැ. එවිට එදා කොළඹ නගරයේ වැඩ වුණේ අපට ප්‍රතිවිරුද්ධවයි.

ඔවුන් එදා කොළඹ නගරයේ අලංකාරත්වය පිළිබඳව කතා කළා. නමුත් ඇත්ත වශයෙන්ම අලංකරණය පිළිබඳව දැන ගැනීමට හැකි වුණේ මා අගමැතිවූ පසුයි. අලංකාරය වෙනුවෙන් ඔවුන් ආරම්භ කළ කිසිදු ව්‍යාපෘතියක් සඳහා අවශ්‍ය මුදල් ගෙවා අවසන් කර නැහැ.

ඔවුන් අලංකාරය වෙනුවෙන් ආරම්භ කළ ව්‍යපෘති වෙනුවෙන් වසර 03 ක් ගත වන විටත් අපේ ආණ්ඩුවට ගෙවීමට සිදුව තිබෙනවා.

පසුගිය ආණ්ඩුව කොළඹ අලංකරණය කළ බවට කෑ ගහනවා. විශාල වශයෙන් මුදල් විනාශ කළා. භාණ්ඩාගාරය හිස් කළා. ඔවුන් ඉදි කළ තට්ටු නිවාස සඳහා මුදල් ගෙවන්න සිදුව තිබෙන්නේද අපටයි.
ආණ්ඩුව බලයට පත්වීමත් සමග නගර සභාවේ නිල කාලය අවසන් වුණා. ඒ නිසා දැන් ඔබෙන් ඉල්ලන්නේ ආණ්ඩුවේ බලයත්, නගරසභාවේ බලයත් යන දෙකම අපට දෙන ලෙසයි.

අපට බාර දුන්නේ ණය බරින් මිරිකී සිටි රටයි. 2015 දී රටේ ආදායම ණය පියවීමටත් ප්‍රමාණවත් නොවන මට්ටමක තිබුණා. රට මුහුණ පා සිටි මූල්‍ය අර්බුදය කොතරම් විශාල ද කියනවා නම් හිටපු ජනාධිපතිවරයා ජනාධිපතිධුරය ද අතහැර පලා ගියා.

අප ඒ රට බාර ගත්තා. අද වනවිට කෙසේ හෝ ණය ගෙවන මට්ටමට රට පත් කර ගැනීමට අපට හැකියාව ලැබුණා. හිටපු ජනාධිපතිවරයා ගේ පව් පවා අපට ගෙවීමට වෙලා.

අද ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන කවුරුවත් ප්‍රශ්න කරන්නේ නැහැ. කොළඹ නගරය වෙනුවෙන් හොඳ ආර්ථිකයක් අප නිර්මාණය කළ යුතුයි.

ජී.එස්.පී. ප්ලස් සහනය මා ශ්‍රී ලංකාවට නැවත ගෙන දුන්නා. සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගත්තා. ඒ හරහා විශාල සැලසුමක් නිර්මාණය කළා. නුවර සිට හම්බන්තොට දක්වා දියුණු යටිතල පහසුකම් සහිත ආර්ථික කලාපය ඇති කරනවා.

වරාය 02ක්, ගුවන් තොටුපළ 02ක්, කර්මාන්ත කලාප, සංචාරක කලාප, වාණිජ කලාප ඇති වෙනවා. ඒ අනුව මහනුවර-හම්බන්තොට අතර ඇතිවන ආර්ථික කලාපයේ කේන්ද්‍රය කොළඹ නගරය බව මා කියන්න කැමැතියි.
එම කේන්ද්‍රස්ථානය වන කොළඹ නගරයට 21 වැනි ශත වර්ෂයට මුහුණ දී ජයගත හැකි ආකාරයට ඇති කළ යුතුයි. මෙය තනි නගරය නොවෙයි. මෙය විශාල නගරයයි. කොළඹ තුළ කර්මාන්ත ශාලා ආදිය අවශ්‍ය නැහැ.

ඒවා කොළඹින් බැහැර ප්‍රදේශවල ස්ථාපිත කළ හැකියි. නිවාස ආදී පහසුකම් කොළඹ නගරය තුළ ඇතිකළ යුතුයි. එවැනි විශාල දියුණුවක් සහිත කොළඹ නගරයක් ඇති කරනවා. රටේ ආර්ථිකය ස්ථාවර කර තිබෙන නිසා කොළඹ නගරය සංවර්ධනය කිරීමේ වැඩ කටයුත්ත දැන් පහසුවෙන් කළ හැකියි.

මහනුවර සිට හම්බන්තොට දක්වා පැය 04 කින් ගමන් කළ හැකි අධිවේගී මාර්ගයේ වැඩ ආරම්භ කරනවා. අප  පැමිණෙන විට බාගෙට ඉදි කළ මහා මාර්ග තිබුණා. හම්බන්තොට වරාය තිබුණා. නමුත් නැව් පැමිණෙන්නේ නැහැ. මත්තල ගුවන්තොටුපොළෙහි සිටියේ මොනරුන් පමණයි.

අප ආණ්ඩුව බාරගත් පසු මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කරමින් අනෙක් සංවර්ධන වැඩ ද කරන්නේ ආර්ථිකය දියුණු කිරීමටයි. සුදු ජාතිකයන්ගේ පාලන සමය තුළ කොළඹ නගරය දියුණු වුණේ කෙසේද? කොළඹ සිට ඈත ප්‍රදේශ දක්වා දුම්රිය මාර්ගය සහ මහා මාර්ග ඇති කළා. කොළඹ කේන්ද්‍රස්ථානය බවට පත් කළා. අලුතින් ආරම්භ කළ යුත්තේ ද එයයි. කොළඹ දියුණු කරන ශක්තිය තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව මා කිව යුතුයි.

වරාය දියුණු කිරීමට ජපානය කැමැත්ත පල කළා. ඒ ආකාරයට සියලුම දෙනා ආයෝජන සඳහා මෙරටට පැමිණෙනවා.

දියුණු වන කොළඹ නගරයේ වගකීම කාන්තාවන්ට බාරදීමට මා සූදානම්. රෝසි සේනානායක මැතිනිය අමාත්‍යතුමිය ලෙස කටයුතු කරන කාලයේ කාන්තාවට අවම දේශපාලන නියෝජනය දීමට අව්‍යශ්‍ය පියවර ගැනීමට මා සමග කටයුතු කළා. ඒ පනතින් ඕනෑම පළාත් පාලන ආයතනයක දී කාන්තාවන් සියයට 25ක කාන්තා නියෝජනය ලැබෙනවා. ඒ අනුව බලගතු කොළඹ නිර්මාණය කිරීම සඳහා රෝසි සේනානායක කොළඹ පුරපතිනිය කරන්න යයි ඔබට ප්‍රකාශ කරනවා.

රටේ ආර්ථික ගොඩ නගන අතරම කොළඹ ආර්ථිකය අමතක කළේ නැහැ. අවුරුදු 10ක් තුළ නොවිසඳුණු ගැටලු සහ ඉදිරි අවුරුදු 10 තුළ පැමිණීමට නියමිත ගැටලුවලට පිළිතුරු සෙවීමට අපට හැකි වුණා.
ඔවුන් අපට මීතොටමුල්ල කුණු කන්ද ඉතිරි කර ගියා. අවාසනාවකට මීතොටමුල්ල කුණු කන්ද නාය ගියා. ඉන් පසුව නැවතත් මිතොටමුල්ලට කුණු බැහැර කරනු ඇතැයි බොහෝ දෙනා කල්පනා කළා. නමුත් දැන් කුණු බැහැර කරන්නේ අරුවක්කාරු ප්‍රදේශයටයි.

කොළඹ නගරය සංවර්ධනයේ සාර්ථකත්වය සඳහා බලශක්තිය අවශ්‍යයි. විදුලිබලය අවශ්‍යයි. ඒ සඳහා ජපන් සහ ඉන්දියානු ආධාර යටතේ එල්.එන්.ජී. විදුලි බලාගාර 02ක් ඇති කිරීමට පියවර ගත්තා. තුන් වැනි විදුලි බලාගාරය සඳහා දැන් ටෙන්ඩර් කැඳවා තිබෙනවා. එසේ නම් කොළඹට බලශක්තිය දීම සඳහා කෙරවලපිටියේ දී එල්.එන්.ජී. විදුලි බලාගාර තුනක්ම ඇති කිරීමට පියවර ගන්නවා.

ඒ වගේම වේගවත් මාර්ග ප්‍රවාහන වැඩසටහන ආරම්භ කිරීමට අප පියවර ගනිමින් සිටිනවා. අද ශ්‍රී ලංකාවේ ලොකුම ප්‍රශ්න මාර්ග තදබදයයි. එය අද හෙට අවසන් නොවුණ ද එය අවසන් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. පසුගිය අටවැනිදා අපි ගුවන් පාළම විවෘත කළා. ඉදිරියේදී තවත් ප්‍රධාන ගුවන් පාලම් මාර්ගයක් විවෘත කිරීමට කටයුතු කරනවා.

ඒ වගේම නගර සභා මගින් පාලනය කෙරෙන ඩෙංගු මර්දන ව්‍යාපාරය ද ඉදිරියට ගෙන යා යුතුයි. සියලු වැඩ කටයුතු පාලනයට දක්ෂ ප්‍රධානියෙකු අවශ්‍යයි.

උතුරු කොළඹ, මැද කොළඹ, බොරැල්ල ආදී ප්‍රදේශවල ලොකුම ප්‍රශ්නය කුමක්ද? මත්ද්‍රව්‍යයි. මේ ප්‍රදේශවල සෑම කොනකම මත්ද්‍රව්‍ය විකුණනවා. ඒවා මර්දනයට මා තදින් ක්‍රියා කරමින් සිටිනවා.

කරුණාකරල කුඩුකාරයන් නම් නගර සභාවට පත් කරන්න එපා. කුඩු විකුණන, බෙදන පුද්ගලයන්, ඔවුන් සමඟ වැඩ කරන අය පත්කරන්න එපා.

මත් උවදුර නැති කළ යුතුයි. ඒ සඳහා හොඳ නගර සභාවක් ඇති කර ගත යුතුයි. අපේ එක්මන්ත්‍රීවරයෙකු මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වූවොත් ඔවුන්ට විරුද්ධව ක්‍රියා කිරීමේ ශක්තිය අපට තිබෙනවා.
මෙහි සිටින සියලු අපේක්ෂක අපේක්ෂිකාවන් ඊට සහයෝගය දිය යුතුයි. මේ කිසිවෙකුත් මත්ද්‍රව්‍ය ජාවාරම්වලටසම්බන්ධ නැති බව මා හොඳින්ම දන්නවා. පොලිසිය ද මේ වැඩ සඳහා සම්බන්ධ කර ගන්නවා. පොලිසියේ වැඩ කටයුතු සම්බන්ධව යම් ගැටලු තිබෙනවා නම් ඒ පිළිබඳව අප දැනුවත් කරන්න. නගර සභාව ප්‍රධානත්වයෙන් මේ වැඩකටයුතු පාලනය කළ යුතුයි.

එසේ නොමැතිව නගර සංවර්ධනය කිරීමෙන් පළක් නැහැ. නගරය බාර ගැනීමට අනාගත පරපුර නැතිවීමේ අවදානම මත්ද්‍රව්‍ය නිසා ඇති වෙලා. ඒ නිසා එය පාලනය කළ යුතුමය.

බේරේ වැව වටා ප්‍රදේශයේ අලංකාර වාණිජ ප්‍රදේශය බවට පත් කිරීමට කටයුතු කරනවා. නාගරික යළි පදිංචි කිරීමේ වැඩසටහන යටතේ එහි ඊළඟ අදියරේ දී තට්ටු නිවාස පණස් දහසක් ඉදි කිරීම අප ආරම්භ කරනවා. එවිට පවුල් පනස් දහසකට තමාගේ කුඩා නිවසින් ඉවත්ව තට්ටු නිවසක ජීවත් වීමේ අවස්ථාව ලැබෙනවා.
මධ්‍යම පාන්තිකයන් සඳහා රුපියල් මිලියන 75000 ක මුදල වෙන් කළා. ඒ අනුව ජාතික ඉතිරි කිරීමේ බැංකුව හරහා පළමු අවුරුදු පහට සහනදායී පොලියට ණය ගැනීමට හැකියි.

නිවාස අමාත්‍යාංශය හෝ පෞද්ගලික ආයතන හෝ හරහා ඉදි වන මධ්‍යම පාංතික නිවාස තමන්ටම මිලදී ගැනීමට ජනතාවට හැකියි.

කොළඹ නගරය තුළ කාන්තාවන් වැඩි වශයෙන් රැකියා සඳහා පිටත්ව යනවා. ඒ නිසා  කොළඹ නගරය තුළ දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඉදි කිරීමට පියවර ගන්නවා.

සියල්ල පවසන්නේ අප දැනට ඉටුකළ කාර්ය බාරය ගැන පමණයි. ඉදිරියේ දී ජනතාවට පානීය ජල පහසුකම්, වැඩි වශයෙන් නිවාස ආදිය අප දෙනවා.

උතුරු කොළඹ මැද කොළඹ ආදී ප්‍රදේශවල තරුණ-තරුණියන්ට ස්වයං රැකියා ඇති කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරනවා. කළේ කුමක්දැයි ජනතාව අසනවිට මේ වැඩ කටයුතු පිළිබඳව ඔබ ඔවුන් දැනුම්වත් කළ යුතුයි. කුණු කන්දට ස්ථීර විසඳුම දීම පමණක්ම ප්‍රමාණවත් වෙනවා.

අවශ්‍ය වන්නේ බලගතු  ශ්‍රී ලංකාව ඇති කරන විට බලගතු කොළඹ ගොඩ නැංවීමයි.
එක්සත් ජාතික පක්ෂයට කොළඹ නගරය බාර දෙන්න. එවිට රටේ අගමැතිවරයාගේ සිට පහළ සියලු දෙනාටම නගරය පිළිබඳව අවධානය යොමු කළ හැකියි. ඒ වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා ඔබට හොඳ නගරාධිපතිනියක් දුන්නා.

තවත් වසර 04ක් යනවිට මීටත් වඩා දියුණු නගරයක් අප ඔබට දෙනවා. කොළඹ නගරය සංවර්ධනය ඉදිරියටම රැගෙන යන බවට මා අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා යැයි ද” රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවැසීය.
හිටපු අමාත්‍ය සහ ජාතික තොරතුරු මධ්‍යස්ථානයේ සභාපති ඉමිටියාස් බාකිර් මාකර් මහතා:  “රෝසි සේනානායක මහත්මිය පැරෂුට් එකකින් දේශපාලනයට ආව කෙනෙකු නොවෙයි. ඒ වගේම ඇය පවුල් උරුමයකින් දේශපාලනයට ආපු කෙනෙකු ද නොවෙයි.

එක්සත් ජාතික පක්ෂයේ බලය අඩු වු අවස්ථාවල දී රෝසි සේනානායක මහත්මිය පක්ෂය ශක්තිමත් කරන්න දැඩි කැපවීමෙන් ක්‍රියා කළ අන්දම අපට මතකයි”

ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා: “කොළඹ නගර සභාව සහ එක්සත් ජාතික පක්ෂය අතර තිබෙන්නේ එෛතිහාසික බැඳීමයි. මේ මහ නගර සභාවෙන් අපේ පක්ෂයට සහ රටට දැවැන්ත නායකයන් බිහි වුණා.

කොළඹ මහ නගර සභාවට කුමන පක්ෂ විවිධ සළකුණු රැගෙන විත් ඡන්දය ඉල්ලුවත් ජයග්‍රහණය කරන්නේ එක්සත් ජාතික පක්ෂය බව මා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මෙවර පළාත් පාලන මැතිවරණයේ දී මුළු රටෙන්ම එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට ජයග්‍රහණය කරන විට කොළඹ ජනතාවත් දැවැන්ත ජයග්‍රහණය එක්සත් ජාතික පක්ෂයට අනිවාර්යෙන්ම දෙනවා.

විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා:   පළාත් පාලන මැතිවරණයේ තිබෙන වැදගත්කම එක්සත් ජාතික පාක්ෂිකයා අවබෝධ කර ගත යුතුයි. අපට ඇතැමුන් විවිධ චෝදනා එල්ල කරනවා. මැතිවරණයෙන් එක්සත් ජාතිකි පක්ෂයට රටේ තිබෙන ස්ථානය පෙන්නුම් කරනවා.

වැරදිච්ච තැන් නිවැරදි කර ගත යුතුයි. ගමේ බලය වැදගත් වෙනවා. ගම සංවර්ධනය කරන්න එක්සත් ජාතික පක්ෂයට බලය දෙන්න කියා මා ඉල්ලා සිටිනවා.

අප නිසා පෙරට පැමිණි ඇතැම් දේශපාලනඥයන් වර්තමානයේ කරන-කියන දේ පිළිබඳ එකඟ වන්න බැහැ. පොදු අපේක්ෂකයෙකු ගෙනල්ලා රටට වෙනසක් කරන්නයි, අප එදා උත්සාහ කළේ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වුණේ අප නිසයි. අද සිටින්නේ අප ගෙනාපු ජනාධිපතිවරයායි. අද තිබෙන්නේ අප ගෙනාපු යහපාලනයයි”

මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා:  “රෝසි සේනානායක මහත්මිය අගනුවර පුරපති කිරීමට එක්සත් ජාතික පක්ෂ තීරණය කිරීම පිළිබඳව සංතෝෂ විය යුතුයි. රටේ කාන්තාවන් විශාල ලෙස විවිධ තනතුරුවල සිටිනවා. කාන්තාවන් මේ රටේ ඉදිරියෙන් සිටිනවා. නමුත් දේශපාලනයේ දී කාන්තාවන් සිටින්නේ පසුපසිනුයි.
මෙය වෙනස් කිරීමට එක්සත් ජාතික පක්ෂය විශාල අරගලය ගෙන ගියා. ඒ නිසයි, නගර සභා සහ ප්‍රාදේශීය සභාවල කාන්තා නියෝජනය වැඩි කරන්න තීරණය කළේ.

ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය ඇමැති නීතිඥ සුජීව සේනසිංහ මහතා:  “එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ සේවය කළේ රටටයි. මහවැලිය, ගම්උදාව, ඇඟලුම් කර්මාන්ත ඔවුන් ඇති කළා. රටට විශාලප සංවර්ධන යෝජනා ක්‍රම එක්සත් ජාතික පක්ෂ නායකයන් ක්‍රියාත්මක කළා.

2001දී ඍණ එයි, දශම පහේ තිබූ ආර්ථිකය ධන හයයි දශම දෙකට එදා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා රැගෙන ආවා. ඒ නිසයි, මහින්ද රාජපක්ෂ දන්සල් දෙනවා වගේ රැකියා දුන්නේ. රාජපක්ෂ ආණ්ඩුව රට විශාල ලෙස ණය කරලයි, අපට බාර දුන්නේ. අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය ඇති කළා”

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා: “කොළඹ අනාගත පුරපතිනිය වන රෝසි සේනානායක මහත්මියට මේ අවස්ථාවේ සුබ පතනවා. කොළඹ නගරය පිළිබඳව කතා කිරීමට එහි ජීවත් වන්නන් ලෙස අපට විශාල වගකීම තිබෙනවා.

අතීතයේ සිට කොළඹ ගොඩනැගුවේ එක්සත් ජාතික පක්ෂයේ නායකයනුයි. පසුගිය කාලයේ ගෝඨාභය කොළඹ නගරයේ ඉඩම් විදේශිකයන්ට දුන්නා. මේ නිසා කොළඹ පදිංචි ජනතාවට විවිධ ගැටලුවලට මුහුණ දීමට වුණා.

නගරයේ ජීවත්වන ජනතාව නගරයෙන් එළියට දමන්න එදා කටයුතු කළා. අප ඒවාට විරුද්ධ වුණා. 2015න් පසු කොළඹ නගරයේ ජනතාවට නිදහසේ ජීවත් විය හැකි පරිසරය අප නිර්මාණය කළා.

කොළඹ වතු ජනතාවට නගරයේ සුපිරි පාසල් ලැබෙන්නේ නැහැ. අඩු පහසුකම් සහිත පාසල් ඔවුන්ට ලැබෙනවා. මේ පිළිබඳව අප අගමැතිතුමා සමඟ සාකච්ඡා කළා. අධ්‍යාපන ඇමැතිවරයා සහ නිලධාරීන් සමඟ සාකච්ඡා කර සාර්ථක පිළිතුරක් ගෙන තිබෙනවා. නගරයේ තිබෙන සැප සම්පත් නගරයේ ජනතාවට දිය යුතුයි.


එක්සත් ජාතික පක්ෂ කොළඹ මහ නගර සභා නගරාධිපතිනී අපේක්ෂිකා රෝසි සේනානායක මහත්මිය:

“එක්සත් ජාතික පක්ෂයේ නැගෙනහිර සහ බටහිර කොළඹ ආසන බල මණ්ඩලවල ජනතාව ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට විශිෂ්ට ජයග්‍රහණයක් දීමට සූදානමින් සිටිනවා. කොළඹ නගර සභාව තුළ එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට ජයග්‍රහණය ලබාදීමට ඔවුන් කැපවී ක්‍රියා කරනවා.

බටහිර කොළඹ ආසනයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රබල නායකයන් ක්‍රියා කළා. එවන් ආසනයක සංවිධායකධුරයේ කටයුතු කිරීමට අවස්ථාව දීම පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට මගේ කෘතවේදීත්වය පිරිනමනවා.

මා දේශපාලනයේ අයන්න ආ යන්න ඉගෙන ගත්තේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා නිසයි. ඒ මීට අවුරුදු විස්සකට පෙරයි. එදා අපේ තරුණ කාලයේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළා.
මට දේශපාලනයේ ඍජුවම ජනතාව වෙනුවෙන් සේවය කරන්න ආරාධනාව ලැබුණේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාගෙනුයි. ඒ පිළිබඳව නැවතත් අග්‍රාමාත්‍යතුමාට අනේක වාරයක් ස්තුතිය පුද කරනවා.

මේ අවස්ථාවට කොළඹ නගර සභාව වෙනුවෙන් තරග කරන අපේක්ෂකයන් ඇතුළු පක්ෂ සාමාජිකයෝ විශලා පිරිසක් සහභාගී වූහ.

 



අදහස් (1)

කොළඹ අලංකාර කළැයි කෑගහන අය කිසිම ව්‍යාපෘතියකට මුදල් ගෙවා අවසන්කර තිබුණේ නෑ

wijesundera france Tuesday, 16 January 2018 09:20 PM

රෙද්දක් ඇඳගෙනද ඔය කියවන්නේ? තමුන් අබ ඇටයක තරම් දෙයක් වත් කළාද? තුන් ගුණයක් ණය ගත්තට පාරක්වත් අතු ගෑවද? එදා කරපු දේවල් විතරයි අද දකින්න ලැබෙන්නේ. එ්කත් නඩත්තු කරගන්න පුළුවන් වුණාද? කට නම් දෝලාවෙන්, හැරෙන හැරෙන පැත්තට අරින්නේ කෙබරයක්මයි !

:       311       232

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 60 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1160 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 898 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2299 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2151 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3681 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1534 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site