IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කප්පම් ගත්ත ඔක්කොම ඇමැතිවරු මගේ මිත්‍රයෝ තමයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක විජයදාස රාජපක්ෂ

 

රටේ අලුත් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක විජයද‌ාස රාජපක්ෂ මහතා සමග කළ සාකච්ඡාවකි.  


ප්‍රශ්නය - ඔබත් හිටපු යහපාලන ආණ්ඩුවට තිබුණ බරපතළ චෝදනාවක් තමයි දේශපාලන පළිගැනීම් කළා කියන එක. මේ ආණ්ඩුව කරන්නෙත් ඒකමයි.  


දේශපාලන පළිගැනීම් කියන්නේ වරදක් නැතිව අත්අඩංගුවට ගැනීම්. වරදක් කරපු අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම කොහොමද දේශපාලන පළිගැනීමක් වෙන්නේ?  


ප්‍රශ්නය - හිටපු ඇමති චම්පික රණවකගේ නඩුව ගත්තොත් ඒ නඩුව අහලා තීන්දුවක් දීපු එකක්. මේ ආණ්ඩුව ආපහු ඒක ඇද්දා?  


ඒ නඩුව අහලා තීරණයක් දීලා තිබුණෙ නෑ. පොලීසිය වාර්තාවක් දාලා ඒ නඩුව නතර කරලා තියෙනවා. නඩු ඇසීම වළක්වලා තියෙනවා පොලීසිය වංචනික වාර්තාවක් ද‌ාලා.  


ප්‍රශ්නය - නීතිය ක්‍රියාත්මක වෙන්නේ තෝරගත් පිරිසකට පමණයි.  


එක රැයින් ඔක්කොම කරන්න බෑනේ. දැන් ඔය දේශපාලන පළිගැනීම් ගැන විමර්ශනය කරන විශේෂ ජනාධිපති කොමිසමේදි හෙළිවෙන්නේ. කොහොමද දේශපාලනඥයන් බලපෑම් කළේ කියලා. ඒ අය උත්සහ කළේ සතියකට එක බැගින් රාජපක්ෂ කෙනෙක් අත්අඩංගුවට ගන්නයි. මම ඒවට විරුද්ධ වුණා. නඩු නිමිත්තක් නැතිව නඩු පවරන්න බැහැ කියලා මම පෙන්වලා දුන්නා. අන්තිමට මට ඇමති කමත් නැතිව ගියා. මට කිව්වා ‘‘හොරු රකින ඇමති’’ කියලා. ඇත්තටම මම හොරු රැක්කා නොවෙයි. නීතිය රැකීමයි කළේ. එදයි අදයි වැඩ කෙරෙන ආකාරය ගොඩාක් වෙනස්.  


ප්‍රශ්නය -ඔබත් කටට එන එන එක කියනවද කියලා සැක හිතෙන තරමට ඔබ පසුගිය ආණ්ඩුවේ හිටපු ඇමතිවරුන්ගේ නම් කියමින් කප්පම් ගත්තා කියලා චෝදනා කරනවා. නමුත් ඔප්පු කරන්නේ නැහැ?

  
ජනාධිපති කොමිසමක් තියෙනවා. මම ඒ කොමිසමට ගිහින් සාක්කි දුන්නා. තවත් බොහෝ අය සාක්ෂි දෙනවා.  


ප්‍රශ්නය - මම අහන්නේ කෝ ඔප්පු කළාද කියලයි. නම් කියැවෙන හිටපු ඇමතිවරු අභියෝග කරණවා පුළුවන්නම් ඔප්පු කරන්න කියලා.

  
ඔබ සමග මේ සාකච්ඡාවට කලින් මම මාධ්‍ය හමුවක් පවත්වලා රාජිත සේනාරත්න කියන ඇමතිවරයා කප්පම් ගත්ත හැටි මම සාක්ෂි සාධක සහිතව ඔප්පු කළා. ලක්ෂ පනහේ චෙක්පත් තුනක් මම අද මාධ්‍ය හමුවට ඉදිරිපත් කළා. ඒ ඇමතිවරයාගේ ලේකම් ඇවිත් ඒ චෙක්පත්වලට අද‌ාළ ඉන්වොයිස් අත්සන් කරලා අරන් ගිහින් තියෙනවා.  


ප්‍රශ්නය -ඔබ තවත් හිටපු ඇමැතිවරුන්ගේ නම් කිව්වා. ඒවා ඔප්පු කරගන්න බැහැ.  


ඇයි බැරි? ඒ අයත් අභියෝග කළොත් ඊට පස්සේ මම ඔප්පු කරලා පෙන්වන්නම්.  


ප්‍රශ්නය - ඔබ මේ වෙලාවේ දේශපාලන වාසියක් ගන්නයි හදන්නේ.  


දේශපාලන වාසි කියන එක ගන්න බැහැ. ඒක ලැබෙන දෙයක්. ඔව් මේ අපකීර්තිමත් ක්‍රියා කලාප හෙළිදරව් වෙනකොට අපිට වාසියක් කෙසේ වෙතත් ඒ අයටනම් අවාසියක් තමයි. ඉතින් මට අභියෝග කළොත් මම ඔප්පු කරලා පෙන්වන්නම්.  


ප්‍රශ්නය -ඔබ හිටපු අධිකරණ ඇමති කෙනෙක්. ඔබ චෝදනා ඔප්පු කරන්නේ අභියෝග කළොත් පමණයි.  


නෑ නෑ අවශ්‍ය වෙලාවෙදි මම ඒක කරලා පෙන්වන්නම්.  


ප්‍රශ්නය -රාජිත සේනාරත්න ඇමතිවරයාට ලක්ෂ 150 ක් දීමේ චෙක්පත්වල පිටපත් ලැබුණේ 2015 වසරේදීමයි කියලා ඔබ මාධ්‍ය හමුවේදි කිව්වා. හැබැයි ඔබ ඒවා ඉදිරිපත් කරන්නේ දැන්. ඔබ ඒ කාලේ අධිකරණ ඇමති?  


මම අධිකරණ අැමතිනේ. මට ක්‍රියාමාර්ග ගන්න බෑ. මට පුළුවන් ජනාධිපතිව දැනුම්වත් කරන්න. අගමැතිට කියන්න. පොලීසියට යවන්න පුළුවන්. අධිකරණ ඇමතිට පොලීසියට නියෝග දෙන්න බලයක් නෑ.  


ප්‍රශ්නය - මම අහන්නේ ඒ සාක්ෂි තිබිලත් ඔබ ඒ කාලේ මොනවද කළේ කියලයි.  


මම කළ හැකි දේවල් කළා. අනික මම මොකද කරන්නේ කෙනෙක් කප්පම් ගෙව්වම. මම ඒ ගැන පැමිණිලි කරන්න ගියොත් මමත් පාර්ශ්වකරුවෙක් වෙනවනේ. කප්පම් දුන්න කෙනා එපැයි පැමිණිලි කරන්න.  
ප්‍රශ්නය - ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ඒ කාලේ පැමිණිලි කළාද?  


කාලය නම් මොකද්ද කියන්න මම දන්නේ නෑ. ඔහු සී.අයි.ඩී එකට පැමිණිලි කරලා තියෙනවා.

  
ප්‍රශ්නය - ඔබත් නිශ්ශංකන් ගජ මිත්‍රයෝ කියලා චෝදනා ලබන හිටපු ඇමතිවරුන් කියනවා. ඔබ මෙහෙම චෝදනා කරන්නේ ගජ මිතුරුකම උඩ?  


ඔහු මගේ මිත්‍රයෙක් තමයි. ඉතින් මමයි ඔය ඇමතිවරුත් මගේ මිත්‍රයෝනේ. ඒ ගොල්ලෝ කප්පම්කාරයෝ කියලා දැන් දැනගත්තට ඒ කාලේ ඡන්දෙ කරනකොට මගේ මිත්‍රයෝ. කප්පම් ගන්න ඔක්කොම ඇමතිවරුත් මගේ මිත්‍රයෝ තමයි. අපි එකටනේ හිටියේ. දැන් බලනකොට මම ආශ්‍රය කරලා තියෙන්නේ කප්පම් කාරයන්වනේ.  


ප්‍රශ්නය -කප්පම් ගැහීම වගේම දීමත් වැරැදියි?  


කප්පම් දීම වැරැදි නෑ. කප්පම් බලහත්කාරයෙන්නේ ගන්නේ. ඒ නිසා කප්පම් දෙන එක්කෙනාට දඬුවම් කරන්න බැහැ.  


ප්‍රශ්නය -පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ දූෂිත නිලධාරින් පිරිසකගේ ජාවාරමක් අනාවරණය වෙලා තියෙනවා. රට කොතැනටද යන්නේ කියන ප්‍රශ්නය මතුවෙනවා.  


දීර්ඝ කාලයක් තිස්සේ අපේ රටේ රාජ්‍ය ආයතනවල බිඳ වැටීමක් තිබුණා. දේශපාලන මැදිහත්වීම් තිබුණා. ඒ ක්‍රමය වෙනස් කරන්න තමයි අලුත් ජනාධිපති කෙනෙක් පත් කළේ. මේ තත්ත්වය වෙනස් කිරීම තමයි අපේ ජනාධිපතිතුමාගේ පළමුවැනි වගකීම වන්නේ.  


ප්‍රශ්නය -දැන් අවුරුදු එකහමාරක් තිස්සේ රටේ ඉන්නේ වැඩබලන පොලිස්පතිවරයෙක්. ඇයි ඒ තනතුරට ස්ථිර කෙනෙක් දාන්නෙ නැත්තේ.  


ඒක එහෙම වෙලා තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වරදක් නිසා. අපි නිශ්චිත නමක් යවලා ඒ නම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කළොත් එහෙම ප්‍රශ්නයක් වෙනවා. ව්‍යවස්ථා සභාව දේහපාලනය කරන්නේ. ඒ නිසා ආණ්ඩුව යවන නම ප්‍රතික්ෂේප කළොත් මේ වෙලාවේ රටට පොලිස්පතිවරයෙක් නැතිව අර්බුදයට යනවා.  


ප්‍රශ්නය -මේ අවුල හැදුවේ ඔබත් හිටපු යහපාලන ආණ්ඩුවමයි.  


මමත් හිටියට මට ඒ විෂය බාර දුන්නේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විෂය අගමැතිවරයා ගැසට් කරගත්තා. අසම්මත විදියට නීතියට පටහැණිව හිටපු අගමැතිවරයා ඒ විෂය පවරා ගත්තා. ඔහු තමයි 19 වැනි සංශෝධනය ගෙනාවේ. මම කළේ ඒකේ හානිය අවම කිරීමයි. 

 
ප්‍රශ්නය -ඔබ කොහොමද එහෙම කළේ?  


ඒ කියන්නේ 19 වැනි සංශෝධනය ඒ ගොල්ලෝ ගෙනාව විදියටම සම්මත කරගන්න දුන්නේ නෑ. විධායක බලතල විශාල ප්‍රමාණයක් කපන්න නොදී ආරක්ෂා කරලා දුන්නා. කැබිනට් මණ්ඩලයේ නායකයා අගමැති වගේ බරපතළ කාරණා ඉවත් කරලා තමයි 19 වැනි සංශෝධනය සම්මත කළේ.  


ප්‍රශ්නය -මම ඒ කාලේ ඔබත් සමග කළ සම්මුඛ සාකච්ඡාවකදි ප්‍රශ්න කළා. 19 න් බිහිවෙන්නේ විධායක අගමැතිවරයෙක් කියලා. ඔබ කිව්වේ ‘‘නෑ එහෙම වෙන්නේ නැහැ’’ කියලා.  


විධායක අගමැති කෙනෙක් ලෝකයේ නෑ.  


ප්‍රශ්නය -නමුත් 19 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයා පඹයෙක් කරලා කියලා චෝදනාවක් තියෙනවා.  


මම කිව්වේ අපි හදපු ක්‍රමවේදය තුළින් අගමැතිට විධායක බලතල ලැබෙන්නේ නැහැ. 19 න් පස්සෙත් කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපතිමයි. ජනාධිපතිවරයාට පුළුවන් ඕනෑම ඇමැති කෙනෙක්ව අයින් කරන්න. ඒක ඉතින් ඉන්න ජනාධිපතිවරයාගේ පෞරුෂය අනුව ඒක වෙනස් වෙයි.  


ප්‍රශ්නය - ඔබලා තුනෙන් දෙකක බලයක් ඉල්ලන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්නත් එක්ක.

  
නෑ මම කියන්නේ ​මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම වෙනස් කරලා අලුත්ම ව්‍යවස්ථාවක් රට ඉස්සරහට ගන්න පුළුවන් අලුත්ම ව්‍යවස්ථාවක් ගෙන ආ යුතුමයි. මැතිවරණ ක්‍රමය වෙනස් කරලා කොට්ඨාසයකම නියෝජනයක් වන පරිදි එය සකස් කළ යුතුයි.  


ප්‍රශ්නය -ඔබට විශ්වාසයක් තියෙනවද තුනෙන් දෙකක බලයක් ලැබෙයි කියලා.  


ස්ථිර වශයෙන්ම ලැබෙනවා. අපට මුලින්නම් සැකයක් තිබුණා. නමුත් දැන් රනිල් - සජිත් පිල් දෙකේ ක්‍රියාකාරිත්වය අනුව අපේ ඉලක්කය තවත් පහසු වෙනවා.  


ප්‍රශ්නය -මුල් වෙලාවේ ඔබට තිබුණ සැකය කුමක්ද?  


මුල් වෙලාවේ සැකයක් ආවේ ඒ කණ්ඩායම් දෙක විරසක වෙලා තිබුණේ නෑ. නමුත් දැන් ඒ කණ්ඩායම් කැඩිලා, විසිරිලා ගිහින් දියවෙලා ගිහින් තියෙන්නේ. ඒ පක්ෂයේ හිටපු බොහෝ දෙනා දැන් පොහොට්ටුවත් එක්ක එකතු වෙලා ඉන්නේ. මම නියෝජනය කරන මහරගම ගත්තත් ගම් පිටින් අපිත් එක්ක එකතු වෙනවා. මුළු රටේ තත්ත්වය ඒකයි.  


ප්‍රශ්නය - ඡන්දද‌ායකයන් තුළ කිසි උනන්දුවක් නෑ. මැතිවරණ කොමිසම ඒ තත්ත්වය හදන්නේ බටහිරට අවශ්‍ය ආකාරයට කියලා ඇමති විමල් වීරවංශ කිව්වා?  


මම නම් එහෙම දකින්නේ නෑ. හැබැයි එක්සත් ජාතික පක්ෂයේ විශාල පිරිසක් ඡන්දය දීමෙන් වැළකී සිටීවි. කාලයකට පස්සෙ තමයි ගිය පාරත් ඡන්දය දුන්නේ. ඒ පාරත් බොහොම අමාරුවෙන් තමයි ගෙන්න ගත්තේ. පක්ෂය දෙකට තුනට කැඩිලා දියවෙලා ගියාම ඒ පාක්ෂිකයා නැවතත් අධෛර්යට පත්වෙලා ඉන්නේ.  
ප්‍රශ්නය - කොරෝනා මාරාන්තික වයිරසය දෙවැනි රැල්ලක් ගැනත් අනතුරු අඟවනවා. ඒ අස්සේ ඡන්දයකුත් කරණවා.  


ඒක මේ අපි තීරණය කරපු දෙයක් නොවෙයිනේ. මැතිවරණ කොමිෂන් සභාවනේ මැතිවරණයට දින නියම කළේ. මේ මාරාන්තික වයිරසය කියලා ලෝකයේ කිසිම රටක් ඡන්ද කල්ද‌ාලා නෑ. කොරියාවේ ඡන්දය තිබ්​බේ අපිටත් වඩා නරක තත්ත්වයක් තිබියදී. කොරෝනා තිබුණා කියලා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් නැති කරන්න බැහැනේ. අනිත් එක පාර්ලිමේන්තුවක් ආණ්ඩුවක් නැතිව රටයන විදිය වැරැදියි කියලා විපක්ෂයේ ඔක්කොමලා කියනවනේ.  


ප්‍රශ්නය -නමුත් කොරෝනාව කියන්නේ මාරක වසංගතයක්?  


කොරෝනා කියලා අපි ඔක්කොම නතර කරන්න අවශ්‍යද? අද මම ප්‍රවෘත්ති සාකච්ඡාවක් තිබ්බා. ඉස්සර වගේම මාධ්‍යවේදීන් ආවා. දැන් ඔබ මාත් එක්ක කරන මේ සම්මුඛ සාකච්ඡාව ඉරිද‌ා ලංකාදීප පත්තරයේ යනවා. ඉස්සරත් එහෙමනේ. රට ඉස්සරහට යන්න ඕනෑ. මේ රටේ තත්ත්වය සාමාන්‍ය අතට හැරිලා තියෙනවා. අනික මැතිවරණය තියන්න පුළුවන් කියලා කිව්වේ අපි නොවෙයිනේ. සෞඛ්‍ය අංශ නිර්දේශ දුන්නා දැන් රටේ මැතිවරණයක් තියන්න පුළුවන් කියලා. අපට තියෙන්නේ ඒ විදියට කටයුතු කරන්නයි. 

 
ප්‍රශ්නය -ලක්ෂ කෝටි ගණන් වියදම් කරන්න පුළුවන් අයට ඡන්ද ව්‍යාපාරය කරන්න පුළුවන්. සාමාන්‍ය කෙනෙක් කොහොමද තමන්ගෙ මනාප අංකයවත් ජනතාවට දැනුම් දෙන්නේ?  


ඒ සම්බන්ධයෙන් නම් ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නය නිර්මාණය කරලා තියෙන්නේ මැතිවරණ කොමිසම. සාමාන්‍යයෙන් අපේක්ෂකයකුට කාර්යාලයක් දාගන්න පනතෙන්ම අවසර දීලා තියෙනවා. දැන් නියෝගයක් දීලා තියෙනවා අංකය ප්‍රදර්ශනය කරන්න එපා කියලා. ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකර ඒ තීරණ අරගෙන තියෙන්නේ මැතිවරණ කොමසාරිස්.  


ප්‍රශ්නය - මේ සම්බන්ධයෙන් ඔබ යම් ක්‍රියාමාර්ගයක් ගත්තද? ගන්නවද?  


මම නම් ගත්තේ නෑ. නමුත් ඕනෑම කෙනෙකුට මේකට විරුද්ධව අධිකරණයට යන්න පුළුවන්. මට මේ තියෙන වැඩත් එක්ක ඒකට වෙලාවක් තිබුණේ නෑ.  


ප්‍රශ්නය - ඔබලා තුනෙන් දෙකක බලය ගත්තොත් ස්වාධීන ​කොමිසන් සභා අහෝසි කරලා පරණ පාරටම රට අරගෙන යයි කියලා අනතුරු හඟවන අයත් ඉන්නවා.   


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනකොට ඒක එක එක්කෙනාට ඕනෑ ඕනෑ විදියට හදන්නේ නෑ. ජනතාවගේ හදගැස්මත් තේරුම් අරගෙන තමයි ඒක කරන්නේ. ස්වාධීන කොමිසන් සභා ඕන කියලා මතයක් රටේ තිබුණනේ. ඒකනේ රටේ බහුතර ජනතාව 2015 දී ඒ මතය ජයග්‍රහණය කෙරෙව්වේ. අන්තිමට ඉතාම සූක්ෂම විදියට ඒක අස්සට ව්‍යවස්ථා සභාව දාගත්තා. ඒකෙන් වුණේ කොමිෂන් සභා ස්වාධීන වීම නොවෙයි. දේශපාලනීකරණය වීමයි. ඒ නිසා තමයි ජනතාවට නැවතත් මේ ප්‍රශ්නය ආ​වේ.  


ප්‍රශ්නය -යහපාලන ආණ්ඩුවේ දූෂණ විරෝධී කමිටුවේ ඔබත් හිටියා?  


ඒ කමිටුවට කිසිම නීතිමය පදනමක් නෑ. ඒක ඡන්දෙට කලින් පිහිටුවාගත්තු එකක්. ඒක හොඳ වැඩක්. විපක්ෂයේ ඉන්න කාලේ තොරතුරු ඒකරාශී කරලා ජනතාවට දැනුම් දුන්නා. ඊට පස්සෙත් ඒක ක්‍රියාත්මක වෙන එක හොඳයි. නමුත් ප්‍රශ්නය වුණේ දූෂණ විරෝධි කමිටුව මේ රටේ පොලිසිය බවට පත්වීමයි. අධිකරණයක් බවට පත්වීමයි. අන්න එතැනයි වැරදුණේ. අත්අඩංගුවට ගන්නේ කවුද කියලත් තීරණය කරන්නේ නඩු දාන්නේ කාටද? කියලා තීරණය කරන්නේ ඒ කමිටුව. මං මුලින් කිව්වා වගේම සතියකට වරක් එක රාජපක්ෂ කෙනෙක් හිරේ දාන්නයි ඒගොල්ලන්ට ඕනෑ වුණේ.  


ප්‍රශ්නය -මගේ ප්‍රශ්නයත් ඒකමයි. ඒ කමිටුවේ ඔබත් හිටියා?  


මම හිටියේ නෑ. චම්පික රණවක, අනුර කුමාර, රාජිත සේනාරත්න මංගල වගේ අය තමයි ඒ කමිටුව තුළ ක්‍රියාත්මක වුණේ.  


ප්‍රශ්නය - නමුත් ඒ සාකච්ඡාවලට ඔබත් සහභාගි වුණා? 


මම එකම එක වතාවක් ඒ කමිටුවට ගියා. නමුත් අධිකරණ ඇමති වුණාට පස්සෙ මම ගියේ නෑ. එකම එක දවසක් මට ආරාධනා කළා අගමැතිවරයා. මම කාරණය දැනගෙන හිටියේ නෑ. ගියාට පස්සේ තමයි දැන ගත්තේ ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්න ගත්ත තීණ්දුව ගැන සාකච්ඡා කරන්නයි මාව කැඳෙව්වේ කියලා.   


ප්‍රශ්නය -ඔබේ ස්ථාවරය වුණේ?   


මම නීතිය පහදලා දුන්නා. දේශපාලනික හේතු මත කාවවත් අත්අඩංගුවට ගන්න හිරේ දාන්න බෑ කියලා මම කිව්වා.  


ප්‍රශ්නය - අද ඔබ ඉන්න තැන දිහා බැලුවම ඔබ එදත් කටයුතු කරලා තියෙන්නේ රාජපක්ෂවරුන් ආරක්ෂා කරන්න. ඔබ ඒකට නීතිමය කාරණා පළිහක් කරගත්තා.  

මට කාවවත් ආරක්ෂා කරන්න ඕනෑ වුණේ නෑ. මාව ඇමති කමෙන් අස් කළෙත් ඔය රාජපක්ෂවරුන් ආරක්ෂා කරනවා කියන චෝදනාවටනේ. රාජපක්ෂවරුන් අත්අඩංගුවට ගන්න බාධාව වුණේ මමනම්, රාජපක්ෂවරුන් ආරක්ෂා කළේ මමනම් මාව අයින් කළාට පස්සේ ආව අධිකරණ ඇමතිනියට ඒ වැඩේ කරන්න තිබුණනේ. මමනම් බාධා කළේ මගෙන් පස්සෙ ආව කෙනා හරහා ඒක කරගන්න තිබුණනේ. කොහොමත් කෙනෙක්ව අත්අඩංගුවට ගන්න අධිකරණ ඇමතිට බලය නැහැනේ. ඒක කරන්න පුළුවන් වෙන්නේ පොලීසියටයි.

පොලීසිය බාර ඇමතිටවත් ඒ බලය නෑ. පොලීසිය තමයි තීරණය කරන්න ඕනෑ. නැත්නම් නීතිපති තමයි තීරණය කරන්න ඕනෑ අත් අඩංගුවට ගත යුතුද නඩු දානවද නැද්ද කියලා. අපිට කරන්න පුළුවන් දේ තමයි ඒ අයට ස්වාධීනව ඒ කටයුතු කරන්න ඉඩදීම. නමුත් මෙතැන වුණේ ඇමතිවරු ලිස්ට් හද‌ාගෙන ඇවිත් තීන්දු ගැනීමයි.  


ප්‍රශ්නය -මම ඔබෙන් යළිත් අහනවා තුනෙන් දෙකක බලය ලැබෙයි කියලා ඒකාන්ත විශ්වාසයක් තියෙනවද?  


අනිවාර්යයෙන්ම එ්කාන්ත වශයෙන්ම ඒ ගැන සැකයක් ඇතිකර ගන්න එපා.

 

 

සාකච්ඡා කළේ :
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (3)

කප්පම් ගත්ත ඔක්කොම ඇමැතිවරු මගේ මිත්‍රයෝ තමයි

sa Wednesday, 08 July 2020 11:37 AM

මොනවද ගත්තේ එතකොට.?

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 08 July 2020 02:37 PM

මහින්ද රජය පාර්ශවයේ සිට විරුද්ධ පැත්තට පැමිණ එදා කළ කීදේ අද මතකයේ නැත. එම රජයේද තනතුරු දරමින් සිට අද නැවතත් පෙර සිටි පැත්තේය... අනේ මන්දා ...

:       0       0

Warnakulasuriya Thursday, 09 July 2020 09:32 AM

මෙවැනි දේශපාලකයන් පළ ඇති අත්තට පනින වදුරන් වගෙයි. මේ අය ගැන රටේ ජනතාව විශ්වාස කිරීම රටේ අවාසනාවයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 19 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1154 1

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 885 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2298 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2149 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3678 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site