IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඇතැමුන් රට අවුල් කරනවා

(ජේ.ඒ.එල්. ජයසිංහ)

ජාතීන් අතර සහෝදරත්වය ඇතිකර සියලු දෙනාට සතුටින් ජීවත්විය හැකි සමාජයක් ගොඩනැගීමට රජය ජාතික සංහිඳියාව ශක්තිමත් කිරීමේ ප්‍රතිපත්තියක කටයුතු කරද්දී ඊට එරෙහිවන ඇතැම් පිරිස් රට නොසන්සුන් කිරීමේ උත්සාහයක යෙදී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත්දා (16) මහනුවරදී පැවැසීය.


පාසල් නිල ඇඳුම් වෙනස් කිරීමට කිසිදු තීරණයක් ගෙන නැති බවත් නිල ඇඳුම කිසිසේත් වෙනස් නොකරන බවත් ජනාධිපතිවරයා කීවේය.

ජනාධිපති සිරිසේන මහතා මේ බව සඳහන් කළේ මහනුවර අස්ගිරිය ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ පැවැති වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගි වෙමිනි.

එහිදී ජනාධිපතිවරයා මෙසේද කීවේය.

අස්ගිරි පාර්ශ්වය නියෝජනය කරමින් වසර 23 කට වැඩි කාලයක් එහි මහනායක ධුරය හොබවමින් වැඩ විසූ පලිපාන ශ්‍රී චන්දානන්ද මහා නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ ගුණ සමරමින් උන්වහන්සේගේ නමින් ආරම්භ කළ ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ දසවෙනි සමරුව පවත්වන අවස්ථාව වගේම වාර්ෂික ත්‍යාග සහ සහතික පත් ප්‍රදානෝත්සවයට සහභාගි වීමට අවස්ථාව ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.              
                                              
අපේ රටේ නිදහස් අධ්‍යාපනය හේතුවෙන් මේ රට වගේම අපේ රටෙන් පිටස්තර විදේශයන්හි විවිධ ක්‍ෂේත්‍රවල ජයග්‍රහණය කරන විශිෂ්ටයින් බිහිකරන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. එහෙත් ඊටත් වඩා කීර්තිමත් වූත් විශිෂ්ට වූත් අධ්‍යාපනයක් පිළිබඳව අපේ රටේ සඳහන් වෙන්නේ බෞද්ධ අධ්‍යාපනය, විහාරස්ථානය, ගමේ පන්සල, පිරිවෙන මුල් කරගත් අධ්‍යාපනය තුළයි. බොහෝ වෙලාවට අද ත්‍රෛ භාෂා විශාරදයින් පිළිබඳව කතා කරනවා. නමුත් අපේ බෞද්ධ අධ්‍යාපනය තුළ පිරිවෙන් අධ්‍යාපනයේදී එදා කතා කළේ ෂඞ් භාෂා විශාරදයින් පිළිබඳවයි. පිරිවෙන මුල්කරගත් පන්සල මුල් කර ගත් අධ්‍යාපනය මේ රටේ යහපත් බව, හැදිච්චකම, විනය, හික්මීම ජාතියේ මුළු ඉතිහාසය පුරා  සටහන් කර තැබූ කීර්තිමත් වූ කතාවක් බවට පත් වෙලා තිබෙනවා.

ලෝකයේ තාක්ෂණය තුළ ඉහළම දියුණුවක් තිබෙනවා. සංවර්ධනයේ මහා ප්‍රබල ලෙස විශිෂ්ටත්වයන් පෙන්වුණු ලෝකයේ රටවල්වල ඒ තාක්ෂණයේ දියුණුව කොතෙක් තිබුණත් මිනිසුන්ගේ යහපත් බව, කරුණාව, පරිත්‍යාගශීලීභාවය, මනුස්සකම බොහෝ විට අඩු බව අපි දන්නවා. නමුත් ශ්‍රී ලාංකික සමාජයේ පරිත්‍යාගය, කරුණාව, දයාව සහ මනුස්සකම වඩාත්ම ශක්තිමත් වී ඇත්තේ බෞද්ධ අධ්‍යාපනය තුළ වසර දහස් ගණනක ඉතිහාසය පුරා කියවෙන විශේෂයෙන්ම පිරිවෙන මුල් කර ගත් අධ්‍යාපනය තුළින් ලැබූ ශික්ෂණය, විනය, හැකියාව කියන එකයි අපි සෑම කෙනෙක්ම දන්නේ. ඒ වගේම විශ්වාස කරන්නේ.

ගෞරවණීය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලාගේ අනුශාසනාවලදී කියවුණු පරිදි අපි යහපත් රටක් හදන්න ගන්නා වූ උත්සාහයේදී අධ්‍යාපනය තමයි මුල් වන්නේ කියන එක අපි සෑම කෙනෙක්ම දන්නවා. ජාතියේ අනාගතය සඳහා කරන්නා වූ දීර්ඝකාලීන ආයෝජනය රටේ දරුවන්ට දෙන අධ්‍යාපනය යි. අපිට අද දවසේ තිබෙන්නා වූ අභියෝග සැලකිල්ලට ගත්විට ඒ අභියෝගවල පැහැදිලිව කැපීපෙනෙන දෙයක් තමයි සමාජය තුළ හික්මීම, විනය, ශිෂ්ටකම, ශිෂ්ටත්වය පිළිබඳව ප්‍රශ්නය. අද අන්තර්ජාලය, ෆේස්බුක්, වෙබ්සයිට් සියල්ල තුළ අද දවසේ කතා වෙන මේ රටේ ප්‍රශ්න කිහිපයක් තිබෙනවා අපේ මහ නායක හාමුදුරුවනේ.

එක් පැත්තකින් රටේ ඩෙංගු උවදුර. තවත් පැත්තකින් කැළිකසළ. තවත් පැත්තකින් බෞද්ධ, මුස්ලිම්, හින්දු ජාතීන් අතර තිබිය යුතු සමගිය, එකමුතුව සහ සහෝදරත්වය. මේ සියල්ල පිළිබඳව අපි අවධානය යොමු කළොත් ඒ පිළිබඳව සොයා බැලුවොත් එම නැගී ඇති ප්‍රශ්න සහ ගැටලුවලට මූලිකම කාරණයක් තමයි අපේ හැදියාව ශිෂ්ටත්වය පිළිබඳව ප්‍රශ්නය. කවුරුන් වේවා කුමන ආකාරයේ කෙනෙක් වේවා කුමන පාර්ශ්වයක් වේවා කුමන පුද්ගලයෙක් වේවා කුමන සංවිධානයක් වේවා රටක ජීවත් වන ජනතාවගේ දෛනික ජීවිතය, සමාජ ජීවිතය, නිදහස් ජීවිතය ඒ සියල්ලට බාධාවන ආකාරයෙන් කෙනෙක් හැසිරෙනවා නම් ඔහු කුමන භාෂාවක්, කුමන ආගමක්, කුමන ජාතියක් නියෝජනය කළත් ඒ තුළ කියවෙන්නේ සහ පෙන්නුම් කරන්නේ ඔවුන් තුළ තිබෙන්නා වූ ශිෂ්ටත්වය පිළිබඳව ප්‍රශ්නය යි. අපේ අධ්‍යාපනයේ ප්‍රධාන අරමුණ දැනුම මෙන්ම ඒ දැනුම තුළින් මිනිසුන්ට දරුවන්ට ලැබෙන්නේ හැදියාව සහ ශිෂ්ටකම. ඒ නිසා ශිෂ්ටකම, හැදිච්චකම, විනය මේ පිළිබඳව ඉතාමත්ම වැදගත්ම ස්ථානය තමයි පාසල, පන්සල, අධ්‍යාපන කේන්ද්‍රස්ථානය. ඒ නිසා මෙවැනි බෞද්ධ විද්‍යාලයක අපි රටක් විදියට බලාපොරොත්තු වන උතුම් අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා මේ ක්‍රියාකරන්නා වූ ගමන් කරන්නා වූ ගමන් මග අපි ඉතාමත්ම අගය කරනවා.

අපවත් වී වදාළ පලිපාන ශ්‍රී චන්දානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ රටේ ශාසනික වශයෙන්, ආගමික වශයෙන්ම වගේම සමාජීය වශයෙන් ඒ වගේම ජාතික වශයෙන් ඉතාමත් පුළුල් වූ උතුම් වූ ශ්‍රේෂ්ඨ සේවාවක් ඉටු කළ අපේ උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක්. ඒ නිසා උන්වහන්සේගේ නමින් නම් කර ඇති මේ බෞද්ධ විද්‍යාලයේ අධ්‍යාපනය ලබන දරුවන් ඉතාමත්ම පින්වන්ත වූත් භාග්‍යවන්ත වූත් වාසනාවන්ත වූත් දරුවන් ලෙසයි මම දකින්නේ. මේ වගේ පාසලකට ඔබට එන්න හැකියාව ලැබීම ඔබේ ජීවිතයේ වාසනාවක් ලෙසයි මා දකින්නේ.

අපේ විදුහල්පති ස්වාමීන් වහන්සේ ආචාර්ය ගොඩගම මංගල ස්වාමීන් වහන්සේ පාසලේ වාර්තාව ඉදිරිපත් කරන ගමන් පාසලේ වාර්තාවේ අදාළ පාසලේ කරුණු වගේම ඉන් බාහිර කරුණු කිහිපයක් පිළිබඳව උන්වහන්සේ ප්‍රකාශ කරනු ලැබුවා. උන්වහන්සේ සඳහන් කළා රජය මේ පාසල් දරුවන්ට ටැබ් එකක් දෙනවා කිව්වා. තවම මේ පාසලට නම් ලැබුණේ නැහැ කියලා. උන්වහන්සේ කිව්වාට පස්සේ මම මෙතන ඉඳගෙනම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට කතා කරලා ඇහුවා මේ ටැබ් එක පිළිබඳව ප්‍රශ්නය කොහොමද? මේක දුන්නද නැද්ද මොකද වුණේ කියලා. එතුමා මාත් සමග දැන් කිව්වා ඒ ටැබ් එක තවම කිසිම ශිෂ්‍යයෙකුට කිසිම පාසලකට දීලා නැහැයි කියලා. ඒකට හේතුවක් තිබෙනවා. ඒ හේතුවේ එක් කොටසක මමත් ඉන්නවා. පසුගිය අයවැය යෝජනාවල තමයි මේ පිළිබඳව සඳහන් කළේ. ඒ අයවැය යෝජනාවල සඳහන් කළාට පසුව මම අධ්‍යාපන ඇමතිතුමාගෙනුත් අධ්‍යාපන ලේකම්වරයාගෙනුත් ඇහුවා මේ ටැබ් එක දරුවන්ට දෙනවා නම් දෙන ක්‍රමය කොහොමද කියලා. ටැබ් එකේ තිබිය යුතු කොටස්, ඒ වගේම අවලංගු කළ යුතු කොටස්. අපි අද දකින අන්තර්ජාලයේ, ෆේස් බුක්, වෙබ් සයිට් අපි කතා කරන දකින ශිෂ්ටත්වය, විනය පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් වී තිබෙන බව ඔබ අප කවුරුත් දන්නවා. අද මේ රටේ ජාතිවාදය අවුස්සන්න සිංහල, දමිළ, මුස්ලිම්, බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම් ඒ සෑම ආගමකම ඒ සිටින සෑම කෙනෙක් අතරේම නොසන්සුන්භාවය ඇති කරන්න ගැටුම් ඇති කරන්න අද අන්තර්ජාලය, ෆේස් බුක් ඇතැම් මාධ්‍ය කටයුතු කරන බව අපිට පෙනී යන කාරණයක්.

මීට දවස් දෙකකට කලින් අපේ මහ නායක හාමුදුරුවනේ රාජ්‍ය නොවන රූපවාහිනී ආයතනයක සන්ධ්‍යාවේ තිබූ වැඩසටහනක් මම අහගෙන හිටියා. ඒ වැඩසටහනට ආපු එක්තරා මහත්මයෙක් කිව්වා මේ රටේ ක්‍රිස්තියානි, කතෝලික, පල්ලි 166 ක පසුගිය මාස කිහිපයේ පහර දීලා තියෙනවා කියලා. ඒ වැඩසටහන අහපු නිවේදකයා ඒ මහත්මයාගෙන් ඇහුවා ඔබ වගකීමකින්ද මේක ප්‍රකාශ කරන්නේ කියලා. එච්චර එවැනි සිද්ධියක් වෙලා තියෙනවද කියලා. ඒ පුද්ගලයා කිව්වා රටටම ඇහෙන්න ලෝකයටම ඇහෙන්න කතෝලික පල්ලි 166 කට පහර දීලා තියෙනවා කියලා. මම ඊයේ අපේ මැල්කම් රංජිත් කාදිනල්තුමාට දුරකතනයෙන් කතා කරලා එතුමාගෙන් ඇහුවා මෙහෙම කලින් දවසේ රූපවාහිනී සංවාදයක මහත්මයෙක් ගිහින් කිව්වා කතෝලික ක්‍රිස්තියානි පල්ලි මෙච්චර සිය ගණනකට පහර දීලා තියෙනවා කියලා. ඔබ වහන්සේ දන්නවද එවැනි දෙයක්.

මට නම් එවැනි දෙයක් වාර්තා වෙලා නැහැ, ඒක නිසයි මම ඔබ වහන්සේගෙන් අහන්නේ කියලා. මැල්කම් රංජිත් කාදිනල්තුමා ඊයේ හවස මම දුරකතනයෙන් කතා කරපුවහම උන්වහන්සේ කිව්වා ජනාධිපතිතුමා අපිට නම් එහෙම කිසි දෙයක් වාර්තා වෙලා නැහැයි කියලා. උන්වහන්සේ කිව්වා මම මාධ්‍යයට කැඳවලා කියන්නම් එහෙම දෙයක් සිද්ධ වෙලා නැහැයි කියලා. මෙවැනි කාරණා පිළිබඳව ඒ නිසා මේ රටේ සමගිය ජාතීන් අතර සහෝදරත්වය හික්මුණු නිදහස් සතුටින් ජීවත් වන සමාජයක් ගොඩනැගීම සඳහා අපි ජාතික සංහිඳියාව ශක්තිමත් කරගත් ප්‍රතිපත්තියක් තුළ කටයුතු කිරීමේදී ඊට එරෙහි වන්නා වූ ඇතැම් පිරිස් විසින් නොයෙක් විදිහේ රට නොසන්සුන් කරන්න ක්‍රියා කරන බවක් පෙන්නුම් කරනවා.

ටැබ් එක පිළිබඳව කතාවේදී ඒ පැත්තට ගියේ ටැබ් එකත් අපි ශිෂ්‍යයින්ට දෙන කොට අධ්‍යාපන ලේකම්ටත් ඇමතිතුමාටත් මම කිව්වා මෙහි ප්‍රධාන වශයෙන්ම අධ්‍යාපනයට අවශ්‍ය කොටස් පමණක් ඒ තුළින් බලා ගත හැකි දැක ගත හැකි ඇසිය හැකි ආකාරයට මේවා සකස් කරලා මිසක් එහෙම නැතිව මේක ළමයින්ට නිකුත් කරන්න එපා කියලා මම පසුගිය දවස්වල කිව්වා. සමහර විට ඒ නිසා වෙන්න ඇති තවම ප්‍රමාදය. ඒ නිසා මම ඒ පිළිබඳව තවදුරටත් සොයා බලනවා. ඒ වගේම අපේ ගෞරවණීය විදුහල්පති ස්වාමීන් වහන්සේ ආචාර්ය ගොඩගම මංගල ස්වාමීන් වහන්සේගේ වාර්තාව තුළ කියවුණා වගේම ඉන් බාහිරව උන්වහන්සේ සඳහන් කළා මේ පාසල්වල දරුවන්ගේ ඇඳුම් පිළිබඳව කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන්. පාසල්වල දරුවන්ගේ ඇඳුම් සම්බන්ධයෙන් දැනට ඇඳගෙන එන ඇඳුමට හැර වෙනස් විදියකට ඇඳිය යුතුයි කියලා නැත්නම් සකස් විය යුතුයි කියලා එහෙම නැත්නම් මෙය වෙනස් විය යුතුයි කියලා. අපි රජය විදියට අමාත්‍ය මණ්ඩලයත් අපි කිසිම තීන්දුවක් එහෙම අරගෙන නැති බව ඉතාමත් වගකීමෙන් ප්‍රකාශ කරන්නට ඕනෑ. ඒ නිසා අපේ පාසල්වල දරුවන් ඉතාමත් හික්මුණු විනයගරුකභාවය වගේම ඉතාමත් සුන්දර ලෙස අලංකාර ලෙස ආකර්ෂණීය ලෙස මේ අඳින ඇඳුම කෙසේවත් වෙනස් නොවිය යුතුයි කියන එක මා ඉතා පැහැදිලිවම දරන ස්ථාරවයක්, මතයක් කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට ඕනෑ.

අවසාන වශයෙන් අද මේ වැදගත් උත්සව සභාවට ඇවිල්ලා මම වාඩිවෙලා ඉන්න ගමන් අපේ විදුහල්පති ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා දැන් මේ විද්‍යාලය බොහෝම ලස්සනයි. ගොඩනැගිලි හොඳට තිබෙනවා. දරුවෝ හොඳට ඉගෙන ගන්නවා. හොඳ විභාග ප්‍රතිඵල පෙන්නුම් කරලා තිබෙනවා. ඉතින් අපි ඇවිල්ලා දැන් අපෙන් මොනවත් දෙයක් බලාපොරොත්තු වෙනවද? මොනවද ඕනේ කියලා මම උන්වහන්සේගෙන් ඇහුවා.

ඉතින් උන්වහන්සේ මට කිව්වා ජනාධිපතිතුමා මෙතන මේ අල්ලපු වැටේ තියෙනවා මාර්ග සංවර්ධන අධිකාරියේ සංචාරක නිවාසයක් තියන ඉඩම් කැබැල්ල. මේක අපිට පුළුල් කර ගන්න ඒ ඉඩම් කැබැල්ල දෙනවා නම් හොඳයි කියලා උන්වහන්සේ මට කිව්වා. මාර්ග සංවර්ධන අධිකාරියත් එහි දේපළවලත් භාරකාරයත් මෙතන ඉන්නවා මේ දිස්ත්‍රික්කයේම ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිතුමාත්. ඒ නිසා මම ඒ භාරකාරයාගෙන් මේ දිස්ත්‍රික්කයේම මව්පියන්ගේම මහජන නියෝජිතයාගෙන් කිරිඇල්ල ඇමතිතුමාගේ කනට කරලා ඇහුවා අපේ හාමුදුරුවෝ කියනවා මේ අල්ලපු වැටේ මාර්ග සංවර්ධන අධිකාරියේ මෙහෙම එකක් තියෙනවා පාසල තව වැඩිදියුණු කරන්න ඉඩම් කැබැල්ල ගන්නවා නම් හොඳයි, ඇමතිතුමා මොකද කියන්නේ කියලා. ඉතින් කිරිඇල්ල ඇමතිතුමා මට කිව්වා ජනාධිපතිතුමා කියනවා නම් දෙමු කියලා. ඒ නිසා ඒ ඉඩම් කොටස අපි මේ බෞද්ධ විද්‍යාලය සඳහා දෙන්න තීන්දු කළා. ඒ අනුව එතුමා මේ විද්‍යාලයේ කටයුතු සඳහා එය නිදහස් කරයි.

ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ අධ්‍යාපනය ලබන දරුවන්ගේ සියලු අධ්‍යාපන කටයුතු අනාගතය සර්වප්‍රකාරයෙන්ම ඉතා විශිෂ්ට ලෙස සහ උතුම් ලෙස සාර්ථක වේවා. ඒ වගේම දරුවන් මව්පියන් මේ විශාල සේවයක් කරන විදුහල්පති ස්වාමීන් වහන්සේ ඇතුළු ආචාර්ය මණ්ඩලය මීට අනුග්‍රහය දක්වන සෑම කෙනෙකුටම වඩාත් යහපත් වූ සුබවාදී අනාගතයට ආශිර්වාද කරමින් සුබපතමින් මේ අවස්ථාවේදී සියලුදෙනාට තෙරුවන් සරණ පතමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා යැයිද ජනාධිපතිවරයා කීවේය.

මල්වතු පාර්ශ්වයේ අනුනායක රාජකීය පණ්ඩිත නියංගොඩ විජිතසිරි හිමියෝ අනුශාසනාවක් කරමින් මෙසේ පැවැසූහ.

සම්බුද්ධ දර්ශනය හා උතුම් සම්බුද්ධ දේශනාව අපේ පාසල් දරුවන්ගේ සිත් තුළට ඇතුළු කරවීමේ පරමාර්ථයෙන් තමයි මෙම බෞද්ධ මහා විද්‍යාලය ආරම්භ වූයේ. මේ බෞද්ධ විද්‍යාලය අද ඉතා වටිනා මෙහෙවරක් ඉටු කරනවා. මෙම විදුහලේ දරුවන් සෑම පෝය දිනකදීම පංචශීල අටසීල සමාදන් වී ප්‍රතිපත්ති ගරුක වැඩසටහන් ඉටු කරනු ලබනවා. සෑම ක්ෂේත්‍රයකම මේ විදුහලේ දරුවන් නුවණ වඩා ගන්නවා.

උදාවන හෙට දවසේ මුහුණ දිය යුතු අභියෝග ගැන ජනාධිපතිතුමා ඉතා මැනවින් දන්නවා. ඒ අභියෝග ජය ගැනීමේ භාරදූර වගකීම අපේ මහා නායක හිමිපාණන් වහන්සේලා මැනවින් අවබෝධ කරගෙන සිටිනවා.
කුරුණෑගල ඇත්කඳ රාජමහා විහාරාධිපති ආණමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනුනාහිමියෝ අනුශාසනාවක් කරමින් මෙසේ සඳහන් කළහ.

ශ්‍රී චන්දානන්ද බෞද්ධ විදුහලට වර්ෂ 10 ක් සපිරෙන මේ මොහොතේ අපේ දේශීය බෞද්ධ සිරිත් විරිත් සංස්කෘතික සාරධර්ම ආගමික චාරිත්‍ර මේ රට තුළ අර්ථවත් වන සුරක්ෂිත වන අවස්ථාවකටයි අපි පත්ව ඉන්නේ. අපේ දේශීයත්වය අපේ සංස්කෘතික අංශ සුරක්ෂිත කිරීමට ඔබ අප සැමදෙනා බැඳී සිටිනවා. අපේ රටට සංස්කෘතිය ආගමිකත්වය බෞද්ධකම සුරක්ෂිතවන අන්දමටයි අපේ අනාගත පරපුර හැඩගැස්විය යුත්තේ.

යහපත් පෞරුෂයක් සහිත දරු කැලක් සමාජයට බිහිකරල යහපත් පුරවැසියන් රටට දායාද කිරීම අපේ අධ්‍යාපනයේ අරමුණ විය යුතුයි. අපේ පාසල් පද්ධතිය තුළ දරුවන්ට මේ රටේ සුදුසු ඇඳුමක් සුදුසු පරිසරයක් සදාචාරාත්මක භාවයක් ගොඩනැංවිය යුතුයි. එය කිසිසේත් වෙනස් නොවන වැඩ පිළිවෙළකට අපේ පාසල් පද්ධතිය හැඩගැසිය යුතුයි. එවැනි තත්ත්වයක් දැන් දැන් වෙනස් වන තත්ත්වයක් ඇතිවන බව කිව යුතු අතර එයට මහා සංඝරත්නයේ බලවත් විරෝධය පළකරනවා.

අස්ගිරිය පලිපාන ශ්‍රී චන්දානන්ද බෞද්ධ විදුහලේ විදුහල්පති රංගිරි දඹුලු රාජමහා විහාරාධිපති අස්ගිරි ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ආචාර්ය ගොඩගම ශ්‍රී මංගල නාහිමියෝ විද්‍යාල ප්‍රගති වාර්තාව ප්‍රකාශයට පත්කරවමින් මෙසේ පැවසූහ.

රජය අනුමත මේ පෞද්ගලික පාසල 2006 ජනවාරි 4 වැනි දින ආරම්භ කළේ. මේ පාසලේ අද වන විට දරුවන් 3000 ක් ඉගෙනුම ලබනවා. එය 4000 දක්වා වර්ධනය කිරීම සඳහා අවශ්‍ය භෞතික සම්පත් සැකසීමට ඉදිරියේදී කටයුතු කරනු ලබනවා. මේ විදුහල ආරම්භ කළේ ගුරු උපහාරයක් ලෙසටයි.

අප විදුහලේ දරුවන් ජාත්‍යන්තර ක්‍රීඩා තරගවලින් ජයග්‍රහණය කර සම්මාන සහතික තිළිණ කුසලාන දිනාගෙන තිබෙනවා. ජාතික ක්‍රීඩා රැසක් ජයග්‍රහණය කළ අපේ විදුහලේ දරුවන් විසින් ජනමාධ්‍ය තරගවලින්ද කෘෂිකර්ම කටයුතුවලින් හා වගා තරගවලින්ද විශිෂ්ට ජයග්‍රහණ අත්පත් කර ගෙන තිබෙනවා.

අද පාසල් දරුවන් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී සිටිනවා.

සමහරු නගරයේ අන්තර්ජාල පහසුකම් තිබෙන ස්ථානවලට යනවා. ඇතැම් අපේ දරුවන් නගරයේ ලැගුම්හල්වලටත් යොමුවන බව මාධ්‍ය ඔස්සේ අනාවරණය වෙනවා. අද අපේ සමහර දරුවන් පමණක් නොව වැඩිහිටි කතුන් පවා අඳින ඇඳුම අසංවර වී තිබෙනවා. අද පාසල් පද්ධතිය හෑල්ලුවට ලක්කෙරෙන අවස්ථාද අසන්නට දකින්නට තිබෙනවා.

පාසල් දරුවන්ට දෙනවා කියලා කිව්වා අය වැයෙන් ලැප්ටොප් පරිගණක. ඒවා නම් තවමත් ලැබී නැති බව කිව යුතුයි.

ඇතැම් පාසල් පද්ධති තුළ සිසු සිසුවියන්ගේ යම් යම් සමාජයට අහිතකර දරුවන්ට නුසුදුසු ක්‍රියාවන්හි යෙදෙන විට ඒවා වැළැක්වීමට විදුහල්පතිවරුන්ට හැකියාව තිබෙනවා. එවැනි ක්‍රියාවල් වළක්වාලීමට නොහැකිවන විදුහල්පතිවරුන්ගෙන් නිදහසට කරුණු විමසීම් කළ යුතුයි.

ගොවි ගමක ඉපදුණු මඩ නාගත් ගොවියකුගේ පුතෙකු වූ අපේ වත්මන් ජනාධිපතිතුමා අප විදුහල පිළිබඳව විශාල උනන්දුවක් දක්වන විදුහලේ අනාගත අභිවෘද්ධිය දකින්න කැමැති කෙනෙක්. ඒ පිළිබඳව එම ජනාධිපතිතුමාට ප්‍රසංසාව පුද කරනවා.

මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශ්වයේ මහානායකහිමියෝද අස්ගිරි අනුනායක වේඬරුවේ උපාලි, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති අස්ගිරි මහා ලේඛකාධිකාරී ආචාර්ය මැදගම ධම්මානන්ද, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උඩවත්තේ නන්ද යන හිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයද අමාත්‍යවරුන් වන අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල, එස්.බී. දිසානායක, ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුද දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක යන මහත්වරුද විදුහලේ ගුරු මණ්ඩලය, මව්පියන් සහ විදුහලේ සිසු දරුවෝද සහභාගි වූහ.

ජනාධිපතිවරයා අතින් දක්ෂතා දැක්වූ සිසු දරුවන්ට ත්‍යාග සහ තළිණ ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරිණි.

 



අදහස් (2)

ඇතැමුන් රට අවුල් කරනවා

hewawitharana Tuesday, 20 June 2017 09:26 PM

අවුලක් තිබෙන නිසානේ අවුලක් ඇති කරලා අවුල නැති කරන්න හදන්නේ (සෑම ක්‍රියාවකටම ප්‍රතික්ක්රියාවක් ඇත °

:       0       41

THESHAN Thursday, 22 June 2017 11:12 AM

මමත් කතෝලික, ඒ වුණත් මේ කියන තරම් නැති වුණත් පහරදීම් සහ කතෝලික පල්ලිවල දේපල හානි වෙලා තියෙනවා. අගරද ගුරුතුමා දන්නේ නැත්තේ ඒවා ගෙන කියන්න කෙනෙක් නෑ. මොකද... කියලත් පලක් නැති නිසා. හේතුව අපි අපට ගහන, තර්ජනය කරන පුද්ගලයින්ට සමාව දෙනවා.

:       76       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 75 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1160 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 905 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2302 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2152 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3681 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1544 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site