IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අප ඉදිරියේදී ගොඩනගන ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ අනිවාර්යයෙන්ම තියෙන්නේ සාමූහික නායකත්වයක්

මහ නගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක   

රටේ දේශපාලනයේ නව තත්ත්වයන් සම්බන්ධයෙන් මහ නගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා සමඟ කළ සාකච්ඡාවකි.   


ප්‍රශ්නය - ‘‘රට සූදානම් නම් මාත් සූදානම්’’ කියලා ගෝඨාභය රාජපක්ෂ කිව්වා. ඔබේ කඳවුරේ සූදානම කොහොමද?   


පිළිතුර - ඇත්තටම ගෝඨාභය මහත්මයාට තමන්ගේ ඇමරිකන් පුරවැසිකම අත හැරලා මේ රටේ ඡන්දය ඉල්ලන්න අයිතිය තියෙනවා. නමුත් රාජපක්ෂ පවුලේ ඒ කඳවුරේ තියෙනවා විශාල ප්‍රශ්නයක්. ඒක තමයි රාජපක්ෂ පවුලෙන් පිට මහින්ද, බැසිල්, ගෝඨාභය, නාමල්, චමල්, යෝෂිත එහෙම නැත්නම් තව ඉන්න රාජපක්ෂලා හෝ ඒ ගොල්ලන්ට ගෑවිච්ච නැති අයගෙන් පිට කිසිම කෙනෙකුට බලගතු, වැදගත් ඇමැති පදවියක්වත් ලබා නොදෙන පවුල්වාදී, පවුල්කාමී පසුගාමී දේශපාලන ගොහොරුවක් තියෙන්නේ. මේ පවුලේ ඉන්නේ අතිදක්ෂයෝ කියලා ඒගොල්ලන් හිතාගෙන ඉන්නවා.   


ප්‍රශ්නය - නමුත් එහෙම එකක් නෑ?   


පිළිතුර - ඇත්තටම ඔව්. ඒක නිසා ගෝඨාභය මහත්තයා විතරක් නොවෙයි චමල් මහත්තයත් ඔය කතාව කියලා තිබුණා. මම දැක්කා එළියේ කිව්වේ නැති වුණත් බැසිල් මහත්තයා ඉන්නෙත් ඔය අදහසේ. ඔය කඳවුර කටින් මොනවා කිව්වත් ප්‍රතිපත්තිමය වශයෙන් මොන මොනවාහරි කිව්වත් ඇතුළාන්තය ඉතාම පසුගාමී පවුල්කාමී ක්‍රියාවලියක්. ඒ වගේම විශේෂයෙන්ම ඒගොල්ලෝ 2010 ඉඳන් 2015ට මේ රටේ සංවර්ධනයේ හා ප්‍රජාතන්ත්‍රවාදය නාමයෙන් කියලා කරපු ව්‍යසනය තව දශක ගණනක් ඒ පවුලේ බර මේ රටට ගෙවන්න වෙයි.   


ප්‍රශ්නය - ඔබ එහෙම කිව්වත් පැරදුණ මහින්ද රාජපක්ෂ දවසෙන් දවස ශක්තිමත්ව ඉදිරියට ආවා....?   


පිළිතුර - එහෙම එකක් නෑ. 2018 ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රමාණය 2005 ඉඳන් ගත්ත ඡන්ද ප්‍රමාණය එක්ක බලනකොට ලොකු වෙනසක් නෑ. වෙච්ච එකම දේ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් බණ්ඩාරනායක නාමය අහවර කළ නිසා රාජපක්ෂවාදී පවුල්කාමී පක්ෂයක් බවට පත්වීම විතරයි. එහෙම නැතිව අලුත් යමක් එතැන නෑ. අලුත් පක්ෂයක් එතැන නෑ. අලුත් පක්ෂයක් හදන්න මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පැරැණි නම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන නමම පාවිච්චි කරලා උත්සාහ කළත් ඒ ව්‍යාපෘතිය අසාර්ථක වුණා.   


ප්‍රශ්නය - ඔබ කිව්වා රාජපක්ෂ කඳවුර තුළ රාජපක්ෂවරුන්ට හැර වෙනත් කෙනෙකුට ඉඩක් නෑ කියලා. දැන් ඔබ ඉන්න කඳවුරේත් තත්ත්වයත් ඒකමයි?   


පිළිතුර - මෙහෙමයි. ඒක අපි වෙනස් කරන්න ඕනෑ මෙතැන පවුල්වාදයක් නෑ. නමුත් අපි ඉදිරියේ ගොඩනගන්න බලාපොරොත්තු වන ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ අනිවාර්යයෙන්ම තියෙන්නේ සාමූහික නායකත්වයක්. එහෙම නැත්නම් නායකත්ව මණ්ඩලයක්. ඒ වගේම කුසලතාව, නිපුණතාව මත ඕනෑම කෙනෙකුට ඉදිරියට යන්න පුළුවන් විදියේ ව්‍යුහයක් තමයි අපි එකතුවෙලා ඇති කළේ. ඒක නිසානේ අපි ජනාධිපතිවරණයක් තියන්න තියන්න කියලා අභියෝග කරනකොට මේ ගොල්ලෝ බය වෙන්නේ. මෙතැන එහෙම පවුල්වාදයවත් ගජ මිතුරු වාදයවත් අපේ අපේක්ෂකයා තීරණය වෙන්නේ නෑ කියලා ඒගොල්ලෝ දන්නවා.   


මෙතැන අපේක්ෂකයා තීරණය වෙන්නේ කුසලතාව නිපුනතාව හා ජය ගැනීමේ හැකියාව මතයි. ඒ නිසා මම හිතනවා අපි ගොඩනගන අලුත් සන්ධානයේ සාමූහික නායකත්වය අපේ ඉදිරි ගමනට ඉතාම විශ්‍වාසනීයයි කියලා.   

 

මේ රටේ නිපුණතාවට, දක්ෂතාවට තැනක් නැති එකම තැන දේශපාලනය.   

 


ප්‍රශ්නය - ඔය ඔබ කියන නායකත්ව මණ්‍ඩල යෝජනාව නිසා අගමැති රනිල් වික්‍රමසිංහ, ඔය අලුත් සන්ධානයට කැමති නෑ කියලා පුවත් පළ වුණා?   


පිළිතුර - ඇතැම් මාද්‍යවල මොනවා පළ වුණත් සන්ධානයක් නිල වශයෙන් එළියට එන්න ඕනෑ වෙන්නේ මැතිවරණයක් ආවම. සන්ධානයක් පිහිටුවන බව ඒ සඳහා සාකච්ඡා කෙරිච්ච බව ඒකට ව්‍යවස්ථාවක් හදපු බව ඒ ව්‍යුහයට පක්ෂ නවයේම අය එකතු වෙච්ච බව තවත් අනු සංවිධාන පනහකට අධික සංඛ්‍යාවක් ඒ සඳහා කැමැත්ත පළ කරලා තියෙන බව අපි දන්නවා.   


ඒ නිසා ඒක නම් රටේ ඇති පළල් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයක් වෙයි. මැතිවරණය ප්‍රකාශයට පත් වූ වහාම ඒක එළියට ඒවි.   


ප්‍රශ්නය - පහුගිය දවස්වල එජාපයේම මන්ත්‍රීවරුන් ප්‍රසිද්ධියේ කිව්වා ‘‘පක්ෂ නායකත්වය සජිත්ට දිය යුතුයි’’ කියලා.   


පිළිතුර - ඒක එක්සත් ජාතික පක්ෂය ඇතුළේ සිදුවිය යුතු දෙයක්.   


ප්‍රශ්නය - පක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදය නොදී ඔබේ අලුත් සන්ධානයට ප්‍රජාතන්ත්‍රවාදය ලැබෙයි කියලා ඔබ විශ්වාස කරනවද?   


පිළිතුර - දැන් ඔය පහුගිය කාල වකවානුව තුළම එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ ප්‍රශ්නය කොහොම වෙතත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ කාරණයේදී එක්සත් ජාතික පක්ෂය හා ඒ පක්ෂයත් එක්ක එකට එකතුවෙලා ඉන්න දේශපාලන පක්ෂ විවිධ සීමාකාරකම් මැද්දේ වුණත් රාජපක්ෂ කඳවුරට වඩා ප්‍රජාතන්ත්‍රවාදී ගති ලක්ෂණ මානව නිදහස සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සම්බන්ධයෙන් ආර්ථික නිදහස සම්බන්ධයෙන් පළ කරලා තියෙනවා. ඒක අපි පිළිගන්න ඕනෑ.   


ප්‍රශ්නය - ඊළඟ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඔබේ නමත් කියැවෙනවා. ඔබ සූදානම් ද?   


පිළිතුර - ‘‘මම සූදානම් කීවා වගේ මාව පෙරට ගැනීමේ මමංකාරයක් මට නෑ’’ අපිට තියෙන්නේ අපේ රටේ ජනතාව පිළිබඳව ඒ ජනතාවගේ ඉදිරි ගමන පිළිබඳව වැඩපිළිවෙළක් ඉදිරියට ගැනීමේ උවමනාවයි.   


2005දී මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනකොට බැසිල් හැරෙන්න අද ඔය ඉන්න කිසිම සහෝදරයෙක් හිටියේ නෑ. වෙන ඥාතිවරයකු හිටියෙත් නෑ. මංගල සමරවීර හා ශ්‍රීපති හැරෙන්න පක්ෂයේ වෙන කවුරුවත් හිටියෙත් නෑ. ජනතා විමුක්ති පෙරමුණයි අපියි තමයි එතුමාට හිටියේ. ඒ වගේම 2010 දී ප්‍රශ්නයක් මතු වුණා සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට එනවා කියලා කිව්වාම රාජපක්ෂ පවුලේ ඇතැම් අය කිව්වා මුලින්ම මහ ඡන්දය තියලා ඒක ජයග්‍රහණය කරලා සුරක්ෂිත විදියට ජනාධිපතිවරණයට යමු කියලා ඒ වෙලාවේ අපේ අදහස මත තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරණය කලින් කැඳෙව්වේ. ඒ වෙලාවේ ඒක සිද්ධ වුණේ එහෙම තමයි. 2005දී අපි රටේ ඒකීයභාවය වෙනුවෙන් ත්‍රස්තවාදය අනාගතයේ දවසක පරාජය කිරීම සඳහා බලවේග බලමුළු ගැන්වීම වෙනුවෙන් මිසක් අපි මහින්ද රාජපක්ෂට කඩේ ගියේ නෑ. ඒ අරමුණු අපි ඉටුකර ගත්තා.   


ප්‍රශ්නය - ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ දිනවීම ගැන පසුතැවීමක් නෑ.   


පිළිතුර - ඇත්තටම 2005 ඉඳන් 2010 දක්වා මහින්ද රාජපක්ෂගේ රට පාලනය කිරීම ප්‍රසස්ථයි. හුඟක් දෙනකුගේ අදහස් විමසුවා. පවුලේ බලපෑම ඉතාම සීමාකාරීයි. නමුත් 2010 ජයග්‍රහණයෙන් පස්සේ ඒ ලැබුණු ජයග්‍රහණය ඔහුට ලැබුණු ජයග්‍රහණයක් කියලා හිතලා ඔහු කටයුතු කරන්න පටන් ගත්තා.   


ප්‍රශ්නය- ඒ ආණ්‍ඩුවේ ඔබත් ඇමැතිවරයෙක්?   


පිළිතුර - ඔව්! අපි හිතුවා ත්‍රස්තවාදයත් පරාජය කිරීමෙන් පස්සේ ඔහු අලුත් ගමනක් යයි කියලා. නමුත් සංවර්ධනය නමින් ඔහු කළේ ජාතික මංකොල්ලයක්, තව දශක දෙකක් යනකම් මේ රටේ ජනතාවට ඒකට ගෙවන්න වෙනවා. අද අයවැය අරගෙන බලන්න. මේ අයවැයේදී සංවර්ධනයට වියදම් කරන්න තියෙන ප්‍රමාණය බිලියන 800යි. ඒත් ණය ගෙවන්න තියෙන ප්‍රමාණය බිලියන 2200යි. තුන් ගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයක් ණය ගෙවිය යුතුයි.   


ප්‍රශ්නය - මේ ආණ්ඩුව ගත්ත ණයත් එතැන තියෙනවා?   


පිළිතුර - නමුත් එතැන තියෙන ණයෙන් සියයට 80ක්ම මහින්ද රාජපක්ෂ ගත්ත ණය. ඉතින් අපට පේනවා අපි කියන්න යන්නේ නෑ. අද කළමනාකාරීත්වය ගැන අද අතිදක්ෂ අය පාලනයට දක්ෂ පක්ෂ කියලා කියන ගෝඨාභයගේ සිට පවුලේ අය කරපු දේවල් හොඳම උදාහරණය අද මහා අර්බුදයක් බවට පත්වෙලා තියෙන ශ්‍රී ලංකන් ගුවන් ​සේවය හා මිහින් ලංකා එක. අද වෙනකොට එක පුරවැසියෙක් රුපියල් 12,500ක ණය කාරයෙක් බවට පත් කරලා තියෙනවා.   


කිසිම රාජ්‍ය ආයතනයක් ආදර්ශමත්ව හදලා පෙන්වපු අය නොවෙයි. සල්ලි වීසි කරලා සල්ලි වියදම් කරලා කාබාසිනියා කරපු අය. විදේශ චාරිකාවක ගියත් සංවර්ධන ව්‍යාපෘතියක් කළත් තාත්තගේ අම්මගේ සොහොන හැදුවත් ගමට ගුවන් තෙටුපළවල්, වරායවල්, සම්මන්ත්‍රණ ශාලා, ක්‍රිකට් ක්‍රීඩාංගණ හැදුවත් අධිවේගී පාරවල් හැදුවත් මේ හැම දෙයකම අපි දැක්කේ රට ණය කර කර ජාතික ධනය කාබාසිනියා කිරීමක් විතරයි. ඒකයි අපි එළියට ආවේ.   


ප්‍රශ්නය - ඔබ අද හදවතින්ම සතුටු වෙනවද ඒ ගත්ත පියවර ගැන.   


පිළිතුර - අනිවාර්යයෙන්ම! අපි එළියට ඇවිත් මොනවද කළේ. ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය පත්‍රය අපි ගත්තා එළියට. ඔය ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය පත්‍රය ගොඩාක් කාලයක ඉඳන් ගොඩක් දෙනෙක් එළියට ගන්න හදපු දෙයක්. නමුත් ඒක ජයග්‍රහණය කරගන්න බැරිව හිටියේ. නමුත් අපි ඉදිරිපත් වෙලා අපි ඒක ජයග්‍රහණය කළා.   


ප්‍රශ්නය - මගේ ප්‍රශ්නය වුණේ ජනාධිපතිවරණයට ඔබේ සූදානම ගැනයි?   


පිළිතුර - මම මේ එන්නේ ඔබේ ප්‍රශ්නයට තමයි. පසුගිය දින පනස් දෙකේ කුමන්ත්‍රණය වුණා. රාජපක්ෂලා කලින් තක්සේරු කරපු විදියට රනිල් වික්‍රමසිංහ මහත්තයා අරලියගහ මන්දිරයෙන් ගිහිල්ලා බලය බාර දෙයි පහුවදාම යූඑන්පියේ මන්ත්‍රීවරුන් පැජට් පාරේ ජනාධිපති නිල නිවෙසට ගිහින් ඇමැතිකම් ගනීවි කියන හීන මාලිගා ඔක්කොම කඩා වැටුණේ ඒ මහින්දලා, ගෝඨාභයලා, බැසිල්ලා මහා වැඩකාරයෝ කියලා රටේ තිබුණ මහා ව්‍යාජ මතය බිඳ වැටුණේ අපි අධිෂ්‍ඨානයෙන් ඒ අරගලය කරපු නිසයි. ඒ නිසා මම බොහොම පැහැදිළිව කියනවා. මමයි ජනාධිපති වෙන්න ඕනෑ. කියන අදහසේ මම නෑ. හැබැයි මේ රටේ උතුරෙත්, දකුණේත්, නැගෙනහිරත්, බටහිරත් දක්ෂතාව නිපුනතාව තියෙන අති විශිෂ්ට පිරිසක් ඉන්නවා. මේ රටේ කලා ලෝකයේ ඒ නිපුණතාව තියෙනවා. ක්‍රීඩා ලෝකයේ ඒ නිපුණතාව තියෙනවා. ව්‍යාපාරික ලෝකයේ ඒ නිපුණතාව තියෙනවා. හැබැයි ඒ නිපුණතාවට දක්ෂතාවට තැන නැති එකම තැන දේශපාලනය.   


​ෙම් නිසා තමයි ජවිපෙට ඒ වගේම එක පැත්තකින් බැලුවම එල්ටීටීඊ පිරිස්වලට වගේම ඩග්ලස් දේවානන්ද ඇතුළු කණ්ඩායම්වලට මේ රට විටින් විට මහා කැරලිවලට තල්ලු කරන්න සිද්ධ වුණේ. අපිට තවදුරටත් සත්‍යපාල වන්නිගමලා බිහි කරන්න අවශ්‍ය නෑ. අපි තවදුරටත් උත​ෙරන් රාජිනී තිරාණගමලව නිර්මාණය කරන්න අවශ්‍ය නෑ. මේක තමයි අපිට අවශ්‍ය දේ අන්න ඒ දේ කරගැනීම සඳහා බලවත් අධිෂ්‍ඨානයෙන් 2019-2020 දී ක්‍රියා කරනවා. අපිට මේ ඇමැතිකම් කරගෙන, කීයක් හරි හම්බ කරගෙන, පිටරට දේපළ අරගන්න ළමයි පිටරට අරගෙන යන්න අවශ්‍ය නෑ.   


ප්‍රශ්නය - අධිරාජ්‍ය ගැති බව කියන එජාප කඳවුර ඇතුළේ ඔය ඔබ කියන වර්ගයේ ප්‍රගතිශීලි වැඩකට ඉඩක් තියේවිද?   


පිළිතුර - ඔය පිටින් ගහපු කට්ටියනේ. ඇමරිකාවේ පුරවැසියෝ ලොස් ඇන්ජලීස්වල ජීවත් වෙමින් දේපොළ තියාගෙන ඉන්න පුරවැසියෝ තමන්ගේ දරු පවුල් ඕස්ට්‍රේලියාවේ මෙල්බන්වල තියාගෙන ඉන්න පුරවැසියෝ. තමන්ගේ දේපොළ ඉතාලියේ මිලානෝ නුවර තියාගෙන ඉන්න අය තමයි ලොකු දේශප්‍රේමියෝ වෙලා ඉන්නේ. ලොකු ජාති මාමකයෝ වෙලා ඉන්නේ. එක්සත් ජාතික පක්ෂය වුනත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන්න පුළුවන් අපි රට ඇතුළේ ඉන්න මිනිස්සු එක්කයි දේශපාලනය කරන්නේ. මේ වගේ වංචනිකයෝ එක්ක නොවෙයි. වංචනික දේශප්‍රේමියෝ එක්ක නොවෙයි.   


අපි දන්නවා ඒ පක්ෂවල ඉන්න අයගේ අවංකකම ගැන. ඒ නිසා විදේශ පුරවැසිකම් තියාගෙන දරුවන් තියාගෙන විදේශවල සල්ලි මලු හංගාගෙන ඉන්න අයත් එක්ක නොවෙයි අපි දේශපාලනය කරන්නේ.   


ප්‍රශ්නය - අතීතයේ දී ඔබ අගමැති රනිල් වික්‍රමසිංහට දොන් ජුවන් ධර්මපාල කියලා කිව්වා? ඔබ වෙනස් වෙලාද? අගමැති රනිල් වෙනස් වෙලාද?   


පිළිතුර - මම එහෙම කියලා නෑ. අපි රනිල් වික්‍රමසිංහ මහත්තයා 2001-2004 වකවානුවේ අනුගමනය කරපු එල්ටීටීඊ හිතවාදී විදේශමය සැලසුමකට අනුව මේක පරාජය කරන්න පුළුවන් මතවාදයට එරෙහි මතවාදයක් අපි දැරුවා. බොහොම පැහැදිලිව අපි ඒක ප්‍රකාශ කරලා තියෙනවා. එහෙම නැතිව අපි කිසිම දවසක පුද්ගලයන්ට ගහලා නෑ. ඒවා ඇවිල්ලා අර..... මම නම්ගම් කියන්නේ නෑ.   


ඔය රාජපක්ෂ කඳවුරේ ඉන්නවා කෑදැත්තෝ ටිකක්. ඒ කෑදැත්තෝ ගෙනාපු සටන් පාඨ ටිකක් ඕවා. අපි එහෙම කෑදැත්තෝ නොවෙයි. අපි දේශපාලනික වශයෙන් ජන විඥානය අවදි කරපු මිනිස්සු.   


ප්‍රශ්නය - මගේ ප්‍රශ්නය වුණේ කවුද මෙතැනදී වෙනස් වුණේ‍ කියන එකයි?   


පිළිතුර - මෙහෙමයි. එල්ටීටීඊය සම්බන්ධයෙන් මේ රටේ තිබුණා මත දෙකක්. ප්‍රධානම මතය තමයි එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කරන්න බෑ. දෙමළ ජනයායි එල්ටීටීඊයයි කියන්නේ ජලයයි මාළුවයි වගේ. මාළුවාගෙන් ජලය වෙන් කරනවා වගේ දෙමළ ජනතාවට බලය බෙදීම නමැති දේශපාලන විසඳුම දීලා දෙමළ ජනතාව ඒ උගුලෙන් ගලවාගන්න ඕන. එල්ටීටීඊ එක පරද්දනවානම් පරද්දන්න ඕක තමයි මේ රටේ තිබුණ මහා සම්ප්‍රදාය.   


චන්ද්‍රිකා මැතිනිය, රනිල් වික්‍රමසිංහ මහත්තයා, මහින්ද රාජපක්ෂ ඔය ඔක්කොම පිළිගත්ත මතය ඒකයි. මහින්ද රාජපක්ෂගේ මතයත් ඒකමයි. කවදාවත් එල්ටීටීඊය යුද්ධයෙන් පරාජය කරන්න බැහැ කියලයි කිව්වේ. ඒකනේ එල්ටීටීඊයත් එක්ක සාකච්ඡා කරනවා කියලා 2009 දී ප්‍රකාශ කළේ‍. ඒ විතරක් නොවෙයි යටින් එල්ටීටීඊ එකත් එක්ක ගනුදෙනු කළා. අදටත් මම කියනවා එල්ටීටීඊ කොටස් එක්ක ගනුදෙනු කරනවා කියලා. එතකොට අපි දැරුවා වෙනස් මතයක්. ඒ තමයි එල්ටීටීඊ කියන්නේ දෙමළ ජනතාව මත යැපෙන ව්‍යාපාරයක් නොවෙයි.එල්ටීටීඊය කියන්නේ ස්වයංව ගොඩනැගිච්ච නව නාසිවාදී ව්‍යාපාරයක්. මේ නව නාසිවාදී ව්‍යාපාරය යුදමය වශයෙන් පරාජය කරලා තමයි දෙමළ ජනතාව ගලවාගන්න ඕනෑ කියන මතය. ඒ අදහසේ අපි හිටියා. එතැනදී සිංහල සමාජයේ අතීත ඉතිහාසයට ගහලා ජාතිකත්වයට ගහලා ආගමට ගහලා මේක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ සිංහල ජනතාවගේ ජාතිකාභිමානය තුළින්ම තමයි මේක පරාජය කරන්න පුළුවන්. අන්න ඒ අපේ මතය තමයි ජයග්‍රහණය කළේ.   


මහ පොළොවේ දිනුවේ අපේ මතය. ඒ නිසා ඒ කාරණයේදී මහින්දත් පරාදයි, රනිලුත් පරාදයි, චන්ද්‍රිකාත් පරාදයි. එච්චරයි සිද්ධ වුණේ. අපි මේක කරළියට ගෙනාවම ස්වයං නිර්ණ අයිතිය පිළිඅරගෙන හිටපු ජනතා විමුක්ති පෙරමුණටත් වුණා වෙනස් වෙන්න.   


ජවිපෙ කොහේද හිටියේ, ස්වයං නිර්ණ අයිතිය එහෙම නැත්නම් ඊට කිට්ටුව ස්වයං පාලන ප්‍රදේශ දෙන්න ඕනෑ කියන මතයේ හිටියේ. ඒක වෙනස් කරගන්න වුණේ‍ අපි ඇති කරපු ජාතික බලවේගයේ අනුහසින්. අද කාලතුවක්කු සහිත කොටි නැති හින්දා ෆේෂ් බුක් එකේ කොටියෙක් හදාගෙන ඒකට ගහ ගහ වීරයෝ වගේ ඉන්නවා. 

 
ප්‍රශ්නය - නමුත් අවස්ථා ගණනාවකදීම කොටි සෙවණැලි මතු වුණා?   


පිළිතුර - නෑ කොටියෙක් නෑ. එදා කොටියට කාලතුවක්කු තියෙන වෙලාවේ මන්රාසකුලමට යන්න, මාවිල්ආරුවට යන්න හමුදාවට ශක්තිය ජවය දෙන්න මේ අය කවුරුවත් හිටියේ නෑ. ඒක දැන් ඉවරයි. දැන් අපි බලන්න ඕනෑ ඒ කොටි සංවිධානය පරාජය වුණා. ඒ කොටි සංවිධානයේ හිටපු සාමාජිකයන්ගේ දරුවොත් ලොකුයි. ඒ දරුවන්ට ජලය, ඉඩම්, නිවාස, රැකියා ලබාදීලා මේ රටේ සමාන උරුමක්කරයෝ හැටියට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ රඳවා ගන්නේ කොහොමද කියලයි අපි හිතන්න ඕනෑ.   


ප්‍රශ්නය - ඔබ ඒක ඉවරයි කියලා කිව්වට..... ප්‍රභාකරන්ට යුද්දෙන් කරගන්න බැරි වෙච්ච දේ දෙමළ සන්ධානය අලුත් ව්‍යවස්ථාවෙන් කරගන්න හදනවා කියලයි මහින්ද කඳවුර කියන්නේ?   


පිළිතුර - ඒකත් ඔය හදාගත්ත එකක්නේ. මේ රටේ 2016 ජනවාරි මාසයේ ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලියක් ආරම්භ වුණා. ඒකට පාර්ලිමේන්තුවේ 225ම එකඟ වුණා. 21 දෙනෙක් ගෙන් යුත් මෙහෙයුම් කමිටුවක් පත් කළා.   


ප්‍රශ්නය - ඒ මෙහෙයුම් කමිටුවේ ඔබත් හිටියා?   


පිළිතුර - ඔව්! මාත් හිටියා. දිනේෂ්, ප්‍රසන්න රණතුංග, නිමල් සිරිපාල, සුසිල් ප්‍රේම්ජයන්ත හා ඩිලාන් හිටියා. අනෙකුත් දේශපාලන පක්ෂවල කට්ටියත් හිටියා. එතකොට මේ ක්‍රියාදාමය තුළ විවිධ අදහස් මතු වුණා. අනු කොමිටි පත් කළා.   

 

මහ පොළොවේ දිනුවේ අපේ මතය. ඒ කාරණයේදී රනිලුත් පරාදයි, මහින්දත් පරාදයි, චන්ද්‍රිකාත් පරාදයි.   

 


ප්‍රශ්නය - ෆෙඩරල් යෝජනාවක් ආවා?   


පිළිතුර - ඔව්! එහෙම යෝජනාත් ආවා. අපි ඒවට විරුද්ධ අදහස් පළ කළා. ඒ අදහස් සියල්ලම වාර්තා නවයක් හැටියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එතකොට කිව්වා ආකාර නවයකින් තියෙන්න බෑ. මේක තනි ආකාරයකට සකස් කරන්න කියලා. ඒ අනුව කාගෙත් එකඟතාවයෙන් විශේෂඥ කමිටුවක් පත් කළා. ඒ විශේෂඥ කමිටුවෙත් බෙදීමක් ඇති වෙලා කමිටුවේ බහුතරයක් යම් වාර්තාවක් හැදුවා. ඒක ටිකක් ව්‍යවස්ථාවක ආකාරයට තමයි සකස් කළේ. ඒක තමයි එතැන වෙච්ච වැරැද්ද.   


ඒක ව්‍යවස්ථාවක ආකාරයට සකස් කළේ‍ ජනාධිපතිතුමා කරපු ඉල්ලීමක් නිසා. ඒකට එරෙහිව අපේ අදහස් අපි ඉදිරිපත් කළා. පහුගිය දවසේ පාර්ලිමේන්තුවට වාර්තා තුනක් ඉදිරිපත් කළා. ඒ එක වාර්තාවක් අල්ලාගෙන තමයි මේ නටන්නේ. අනික් වාර්තා දෙකේ මොකද්ද ජාතික හෙළ උරුමය කිව්වේ මොකද්ද අනික් දේශපාලන පක්ෂ කිව්වේ කියලා තියෙනවා.   


ප්‍රශ්නය - ඔබේ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ බහුතරය හදාගෙන තියෙන්නේ දමිළ ජාතික සන්ධානයේ සහයෙන්. ඔවුන් ඉල්ලන දොළ පිදේනි නුදුන්නොත් ඔවුන් ඉවත් වෙනවා?   


පිළිතුර - දෙමළ සන්ධානය ප්‍රසිද්ධියේත් කියලා තියෙනවා මේ ව්‍යවස්ථා ක්‍රියාවලියයි ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් සම්බන්ධ ඔවුන්ගේ ක්‍රියාවලියයි අතරේ එහෙම කිසිම එකඟතාවක් නැති බව. එහෙම කිසිම එකඟතාවක් නෑ. දෙමළ සන්ධානය ඕනෑම මොහොතක ආණ්‍ඩුවට විරුද්ධව ඡන්දය දෙයි. එහෙම නැතිව අපිත් එක්ක සන්ධාන ගතවෙලා නෑ. නමුත් මම කියනවා මේ රටේ දේශපාලන ක්‍රියාවලිය වෙනස් වෙන්නේ නැත්නම්... මේ තියෙන අනුග්‍රහවාදී දේශපාලනය.   


ඒ කියන්නේ යම් ප්‍රදේශයකට සංවර්ධනයක් වෙන්නනම් ඒ පළාතේ මැති ඇමැති කෙනෙක් ඉන්න ඕනෑ. විශ්‍වවිද්‍යාලයක් යම් පළාතක පිහිටුවන්නේ විද්‍යාත්මක ජාතික භෞතික සැලැස්මකට නොවෙයි. උසස් අධ්‍යාපන ඇමැති කොහේද කියන එක මතයි. මම මේ උදාහරණයක් කිව්වේ.   


1968 දී තිරුචෙල්වම් මහත්තයා ආණ්ඩුවෙන් ඉවත් වුණාට පස්සේ ප්‍රධාන දහරාවේ කිසි​ෙවක් ආණ්‍ඩුවක ඇමැතිකම් දරල නෑ. ඩග්ලස් දේවානන්ද ඇමැතිවරයෙක් වශයෙන් හිටියට ඔහු ප්‍රධාන දහරාවේ නොවෙයි. ඉතින් මොකද්ද උතුරට වෙන්නේ, මේ අනුග්‍රහවාදී දේශපාලනය යටතේ හොඳ පාසල් ලැබෙන්නේ නෑ. හොඳ විශ්වවිද්‍යාල ලැබෙන්නේ නෑ. හොඳ කර්මාන්ත ලැබෙන්නේ නෑ.   


විපක්ෂයේ ඉන්න නිසා රස්සා නෑ. ජනතා විමුක්ති පෙරමුණටත් ඔය ප්‍රශ්නය තියෙනවා. එ් නිසා එක්කෝ අපි රටට විද්‍යාත්මක ආණ්ඩුකරණයක් ගේන්න ඕනෑ. එහෙමත් නැත්නම් මේ අනුග්‍රහවාදී දේශපාලනය නම් යථාර්ථය දෙමළ සන්ධානයේ අය ආණ්‍ඩුවට ඇවිත් ඇමැතිකම් ගන්න ඕනෑ.   


ප්‍රශ්නය - ආණ්‍ඩුවට එන්නේ නැතිව දෙමළ සන්ධානය අද ඔබත් ඉන්න ආණ්‍ඩුව නටවනවා?   


පිළිතුර - නෑ. එහෙම එකක් නෑ. ඔවුන් කිව්වා එහෙම බලපෑමක් නෑ කියලා. මුස්ලිම් කොංග්‍රසය තොණ්ඩමාන් එකතු වුණා වගේ ඔවුනුත් ආණ්ඩුවට එකතු විය යුතුයි කියලයි මගේ මතය. මම මුලින්ම කිව්වා වගේ එල්ටීටීඊ එකේ සාමාජිකයන්ගේ ළමයින්ටත් ආයෙත් මැරෙන්න බෑ. ජවිපෙ සාමාජිකයන්ගේ දරුවන්ටත් ආයෙත් මැරෙන්න බෑ. දෙමළ සමාජයෙන් ආපු රාජිනී තිරාණගම වගේ බුද්ධිමතුන්ට වෙඩි කන්න බෑ. සත්‍යපාල වන්නිගමලට වෙඩි කන්න බෑ.  


ඒ නිසා නෙල්අඩි මධ්‍යම මහා විද්‍යාලයේ ඉඳන් දික්වැල්ල විජිත විද්‍යාලය දක්වාම මේ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය සිදුවිය යුතුයි. ස්කෝල දෙක තුනක නොවෙයි මේ රටේ පාලන බලය තියෙන්නේ. සියලු දෙනාගෙම ශක්තියෙන් ජවයෙන් පාලනය ඉදිරියට යා යුතුයි. එන්න ඒ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය කරන්න අපි ලෑස්තියි. ඒ බලය අපි මෙවර ගෙන එනවා. 2019 දී හෝ 2020 දී එන ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා තීරණය කරන්නේ ඒ අය. එහෙම නැතිව මාළිගා කුමන්ත්‍රණ, විදේශ රටවල් ඔය එකක්වත් වලංගු නෑ.  


ප්‍රශ්නය - ජනාධිපතිවරණය ගැන ඔබට බයක් නෑ.  


පිළිතුර - කිසිම බයක් නෑ. ජනාධිපතිවරණයේදී කුසලතාවට මුල් තැන දෙන දේශපාලනයක් නිර්මාණය කිරීම වෙනුවෙන් අවශ්‍ය මතය හදනවා. රාජපක්ෂ පවුලේ විතරයි ලේ තියෙන්නේ, අනික් ඔවුන්ගේ ඇඟේ දුවන්නේ මඩ කියලා කියන මුග්ධ මතය අපි පරාජය කරනවා. ඒ වගේම දූෂිත දේශපාලනයට දරුණු තිතක් අපි තියනවා. මම නිතර කියන දෙයක් වික්ටර් රත්නායකගේ පුතා ගීත ගායනා කළා. නමුත් ඔහුට වික්ටර් රත්නායක වෙන්න බැරි වුණා. මොකද සංගීත ක්ෂෙත්‍රයේ කුසලතාව ක්‍රියාත්මකයි.  


ගාමිණී ෆොන්සේකා මහ නළුවාගේ පුතා රඟපෑවා. නමුත් ඔහුට මහා නළුවා වෙන්න බැරි වුණා, අර්ජුන රණතුංග මහතාගේ පුතා ක්‍රිකට් ගැහුවා. නමුත් ඔහුට අර්ජුන රණතුංග වෙන්න බැරි වුණා. මොකද ඔය හැම කේෂ්ත්‍රයකම කුසලතාව ප්‍රධානයි. ලංකාවේ ඉන්න මහ කුවේරයන් දහ දෙනෙක් ගත්තොත් ඔවුන්ගේ තාත්තලා ධන කුවේරයෝ නොවෙයි. ව්‍යාපාරික ලෝකයෙත් ඒ කුසලතාව ප්‍රධානයි. නමුත් දේශපාලන ලෝකයේ එහෙම එකක් නෑ. ප්‍රාදේශීය සභාවේ සිට ජනාධිපති ධුරය දක්වා අසවලාගේ පුතාට අසවලාගේ දූට අවස්ථාව දෙන්න ඕනෑ කියලා මතයක් තියෙනවා.  


ප්‍රශ්නය - ඔබ කියන්නේ පුතාලා අසාර්ථකයි කියලා?  


පිළිතුර - මම කියන්නේ ඒක නොවෙයි. සමහරවිට අම්මා තාත්තාට වඩා දූලා පුතාලා ​ඉහල ගිය තැන් ලෝක දේශපාලන ඉතිහාසයේ තියෙනවා. නමුත් දේශපාලනය තුළ කුසලතාවට මගක් නෑ. මෙන්න මේක අපි බිඳ දානවා. මේ රට අද වෙළාගෙන තියෙන රාජපක්ෂලාගේ නූගත් පවුල්කාමය වෙනුවට කුසලතාව මත ඉදිරියට ඇවිත් රට පාලනය කිරීමේ අවස්ථාව ලබා දිය යුතුයි. ඒ සඳහා අපි කැප වෙනවා.  

 

 

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්  

 



අදහස් (0)

අප ඉදිරියේදී ගොඩනගන ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ අනිවාර්යයෙන්ම තියෙන්නේ සාමූහික නායකත්වයක්

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 176 3

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1182 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 960 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2318 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2165 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3693 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site