IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අපි පොහොට්ටුවේ දේශපාලනයක් කරන්න බලාපොරොත්තු වුණේ නෑ

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී 

දයාසිරි ජයසේකර

ඇමැති ධුර අතහැර විපක්ෂයට ආ බව කී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අතරමංවීමකද? ඔහු යළිත් ඇමති ධුරයක් බාර ගනීද? අනාගත දේශපාලන සැලසුම කුමක්ද? මේ ඒ ගැන විමසමින් ඒ මහතා සමඟ කළ සාකච්ඡාවකි.   


ප්‍රශ්නය :- සමහරු නම් කියන්නේ දැන් ‘දයාසිරි ට වෙරිසොරි’ කියලයි? 

 
පිළිතුර :- එහෙම සමහරු හිතනවා ඇති. මම කල්පනා කරන්නේ ඊට වඩා වෙනස් විදියකට. දයාසිරිට වෙරි සොරි කියලා කියන්නේ වැඩි ජනයා ඉන්න පැත්තට නොගැනීම නිසා කියලයි මම හිතන්නේ. නමුත් මගේ කල්පනාව තියෙන්නේ ඊට වැඩිය අපි යම් මතවාදයක් සහිතව වැඩ කරනවා නම් මට තිබුණ ප්‍රධාන ප්‍රශ්නය තමයි මට ජනමතය වගේම අපේ පක්ෂය, අපේ ප්‍රතිපත්ති වැදගත්. අපට තවත් පක්ෂයකට යන්න පුළුවන්ද? අපි කොහොමද මේ වැඩකටයුතු ටික කරන්නේ. අන්න ඒ වගේ අර්බුදයක් තමයි මට තිබුණේ. ඒ නිසා මම ගත්ත තීන්දුව නිවැරදියි කියලා මම විශ්වාස කරනවා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ රැඳී සිටීම ගැන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ මට විශාල ගෞරවයක් දක්වනවා. ඒ නිසා ඒ ගෞරවයත් රැකගෙන පැරදුණත් දිනුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නවා කියන ස්ථාවරයෙ මම ඉන්නේ. ඒක අනාගත​ය විසින් තීරණය කරයි.   


ප්‍රශ්නය :- ඔබ එහෙම නම් මොකටද ඇමැතිකම් ද‌ාලා එළියට ආවේ?   


පිළිතුර :- ඇත්ත වශයෙන්ම අපේ 16 දෙනාගේ කණ්ඩායම බොහොම පැහැදිලිවම තීන්දු කළේ අපි ආණ්ඩුවෙන් එළියට ගිහිල්ලා විපක්ෂයේ වාඩිවෙලා විපක්ෂයේ දේශපාලනය කරමු කියලයි. එතකොට විපක්ෂයේ දේශපාලනය කිරීමේදී අපේ බලාපොරොත්තුවක් තිබුණේ නෑ අපේ බහුතරයක් පිරිස ගිහිල්ලා කෙළින්ම පොහොට්ටුවේ දේශපාලනය කරන්න.   


ප්‍රශ්නය :- එහෙම නම් මොකක්ද කරන්න හිතාගෙන හිටියේ?   


පිළිතුර :- අපිට උවමනා කරල තිබුණේ මගේ මතය මුල ඉඳලම තිබුණේ අපි 16 දෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳිමින් ඇමැති ධුර අතහැරලා විපක්ෂයේ වාඩිවෙලා විපක්ෂ දේශපාලන බලවේගයක් සමඟ එකට වැඩකරමු කියලයි. එතකොට අපිට 16 දෙනාගේ කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට ආපු වෙනම කණ්ඩායමක් හැටියට පෙනී ඉන්නවා. ඒක හරියට විමල් වීරවංශ මැතිතුමාලා, දිනේෂ් ගුණවර්ධන මැතිතුමලා, වාසුදේව නානායක්කාර මැතිතුමාලා, උදය ගම්මන්පිල මැතිතුමාලා වගේ පක්ෂයේ අනන්‍යතාවයක් තියා ගනිමින් ඒකාබද්ධ විපක්ෂයෙ තවත් අනන්‍ය වූ මතවාදයක් සහිත පිරිසක් විදියට අපි වැඩ කරනවා. ඒක තමයි අපේ අරමුණ වුණේ.   


ප්‍රශ්නය :- ඔබ නම් කියපු විමල්, දිනේෂ් මේ කවුරුවත් ආණ්ඩුවේ නෑ. නමුත් ශ්‍රී ලංකා එක ආණ්ඩුවේ ඉන්නවා. එතකොට ඔබ කොහොමද ඔය විදියට වැඩ කරන්නේ?   


පිළිතුර :- පක්ෂය අපිට එළියට ගන්න බැරි නම් අපි මොකද කරන්නේ? අපිට ශ්‍රී ලංකා එකෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙන්නත් බෑනේ. ඒකනේ අලුත් පක්ෂයක් හදාගෙන පොහොට්ටුව හැටියට ඒ ගොල්ලෝ වැඩ කළාට පක්ෂයෙ ඉන්නවා. ඒ අය පක්ෂයෙන් එළියට ඇවිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිය කිය වෙනමම පොදුජන පෙරමුණට වැඩ කරනවා. ඉතින් එහෙම නම් අපිත් කරන්න තියෙන්නේ එක්කෝ එතැනට යන එක. නැත්නම් ඉතින් වෙන අමාරු මතවාදයක් එක්ක මෙතැනි ඉන්න එක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වෙලා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදියට ඉන්න එක අමාරු කාර්යභාරයක් වෙන්න පුළුවන්. මොකද පක්ෂය තියෙන්නේ ආණ්ඩුවේ ඇතුළේ. ඉතින් අපි ආවේ අපේ මූලික පරමාර්ථය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විපක්ෂයට ගැනීම. ආණ්ඩුවෙන් එහෙම ඉවත්කර ගන්න උවමනා නම් අපි විපක්ෂයේ ඉඳගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතවාදය අරගෙන යන එකද වටින්නේ, එහෙම නැත්නම් වෙනත් පක්ෂයක් එක්ක එකතු වුණාම ද කියලා තීරණය කළ යුතුව තිබුණා. ඒක තමයි තිබුණ තර්කය.   


ප්‍රශ්නය :- දැන් මොකද වෙලා තියෙන්නේ?   


පිළිතුර :- දැන් තියෙන තත්ත්වයත් එක්ක 16 දෙනාගේ යම් පිරිසක් ඔවුන් කෙළින්ම පොහොට්ටුවේ ඉඳගන්න තත්ත්වයට පත්වෙලා තියෙනවා. ඒක තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ සියලු දෙනාම අනික් අය විශ්වාස කරනවා මේ ගොල්ලෝ දැන් ඉන්නේ පොහොට්ටුවේ කියලා. මොකද මිනිස්සු හිතන විදිය වෙනස්. එතැනත් ඉන්නවා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම සිටිය යුතුයි කියලා හිතන පිරිසක්. නමුත් මේ ගත්ත තීරණයත් එක්ක ඔවුන් බොහොම පැහැදිලිව සාමාන්‍ය ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා කල්පනා කරන්නේ ‘මේ ගොල්ලෝ ගිහිල්ලා දැන් මහින්ද මහත්තයා එක්ක තමයි ඉන්නේ’ කියලා. ඒක වෙනස් කිරීම සඳහා තමයි අපිට උවමනා කළේ. මහින්ද මහත්තයත් මෛත්‍රි මහත්තයත් එකතු කිරීමේ පාලමක් විදියට වැඩ කරන්න. ඒකට අපි විපක්ෂයේ වෙනම බලවේගයක් විදියට වැඩ කළ යුතුයි. ඒ වගේම ඒකාබද්ධ විපක්ෂයේ කොටස්කාරයකුත් විය යුතුයි කියලා. ඒකට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. පක්ෂය ආණ්ඩුවත් එක්ක ඉඳීම. අපිට ඒක කරන්න පුළුවන්. අමාරු වැඩක්. නමුත් කළ හැකියි.   


ප්‍රශ්නය :- මේ මොහොතට අද‌ාළ දේශපාලනය තුළ නායකයෝ දෙන්නා එක්කම වැඩ කරන්න බෑනේ. එක නායකයෙක් පමණක් පිළිගන්න වෙනවා?   


පිළිතුර :- ඔව්. අපිට ඒත් වැඩ කරන්න සිද්ධ වෙනවා. අපි පක්ෂයක් විදියට වෙනම වැඩ කරනවා නම් ඒකාබද්ධ විපක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ මහත්තයා නොවෙයි දිනේෂ් ගුණවර්ධන මහත්තයානේ. නමුත් සමස්තයක් වශයෙන් ආධ්‍යාත්මික නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමයි. ඉතින් අපිට පුළුවන් නම් ඒ ක්‍රියාද‌ාමය තුළ වෙනම අනන්‍යතාවයකින් වැඩ කරන්න අපිට අපේ පක්ෂයේ නායකයත් එක්ක වැඩ කරන්න බැරිවෙන්නේ නෑ. ඒක පටලවා ගත්තොත් තමයි අපිට අර ඒකාබද්ධ විපක්ෂයේ සමහර අය චෝදනා කරන්නේ කකුල් දෙක දෙපැත්තේ තියාගෙන කියලා. ඉතින් ඒගොල්ලොත් කකුල් දෙක දෙපැත්තේ තමයි තියාගෙන ඉන්නේ. ඒගොල්ලෝ පොදුජන පෙරමුණෙත් ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙත් ඉන්නවා. ඉතින් අපිට වැඩිය ඒ ගොල්ලෝ තමයි කකුල් දෙක දෙපැත්තේ තියාගෙන ඉන්නේ. අපි නොවෙයි. අපි ඉන්නේ හරියටම කකුල් දෙක එක ළඟ තියාගෙන. අපි ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. පොදුජන පෙරමුණේ භාගයක් වැඩ කරන ගමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ කරන්නේ නෑ. ඒ ගොල්ලො ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙත් ඉන්නවා. පොදුජන පෙරමුණෙත් ඉන්නවා. ඔය කියන එක්කෙනකුවත් පොදුජන පෙරමුණේ සාමාජිකත්වය අරගෙන නෑ. පුළුවන් නම් පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ප්‍රසිද්ධියේ අරගෙන පෙන්වන්න. ඒ ගොල්ලෝ සාමාජිකත්වය ගන්නේ පළාත් සභා ඉවර වේගෙන එනකොට. ඔවුන් කලින් සාමාජිකත්වය ගත්තොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියමාර්ග ගන්නවා.   


ප්‍රශ්නය :- ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් නොවන්නේ නීත්‍යානුකූල ප්‍රශ්නයක් නිසයි. නමුත් තමුන්ගේ නායකයා මහින්ද රාජපක්ෂ කියලා ඔවුන් පැහැදිලිව කියනවා. නමුත් ඔබ එතැන නෑ?   


පිළිතුර :- ඒකේ අවුලක් තියෙන්න විදියක් නෑ. මොකද හේතුව මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි මෛත්‍රිපාල සිරිසේන මහත්තයාට පක්ෂයේ නායකත්වය දුන්නේ. මෙතැන පුද්ගල සාධක අපට වැඩක් නෑ. දැන් සමහරු කියන්නෙ ‘දයාසිරි ජයසේකර කාලයක් මහින්ද රාජපක්ෂ ළඟ හිටිය, දැන් මෛත්‍රි ගාව ඉන්නවා කියලා. අපට පුද්ගලයෝ නොවෙයි වැදගත් වෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා කවුද? ඒ නායකයා එක්ක තමයි අපි දේශපාලනය කළේ. 2015 ජනාධිපතිවරණයේදී වැඩ කළේ මහින්ද රාජපක්ෂ මහත්තයාට. මමයි විමල් වීරවංශ මහත්තයයි තරම් මෛත්‍රිපාල මහත්තයාව කවුරුත් විවේචනය කළේත් නෑ. හැබැයි ඒ ජනාධිපතිවරණය ඉවර වුණාම මහින්ද මහත්තයා මෛත්‍රි මහත්තයාව එක්කරගෙන ඇවිත් අපේ පක්ෂයේ නායකයා බවට පත් කළා. ඊට පස්සේ අපි මෛත්‍රි මහත්තයා එක්ක නැතිව වෙන කා එක්ක දේශපාලනය කරන්නද? හෙට උදේ මෛත්‍රි මහත්තයා පක්ෂයේ නායකත්වයෙන් ඉවත්වෙලා වෙන කවුරු හරි පක්ෂයේ නායකයා වුණත් අපි ඒ නායකයා එක්ක වැඩ කරන්න ඕනෑ. එතකොට කියයි ඔන්න මෛත්‍රි ගාව හිටියා දැන් වෙන එක්කෙනෙක් ආව කියලා මේ අය තීරණය කරන්නේ පුද්ගල සාධක මත. මම කියන්නේ දේශපාලනයේදී පුද්ගල සාධක බොහෝම කෙටි කාලයයි. පුද්ගල සාධක මත අපට දේශපාලනය කරන්නත් බැහැ. අපි වැඩකරන්න ඕන ප්‍රතිපත්තිත් එක්ක. අපේ ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ ප්‍රතිපත්තියයි. මැද පිළිවෙත, නොබැඳි පිළිවෙත, දේශීය ආර්ථිකය නැංවීම මේ වගේ කාරණා තමයි අපි ප්‍රතිපත්ති හැටියට පිළිගන්නේ.   


ප්‍රශ්නය :- ඔබට තියෙන්නේ මහින්ද රාජපක්ෂ සමඟ ප්‍රශ්නයක්?   


පිළිතුර :- නෑ මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක මට කිසිම ප්‍රශ්නයක් නෑ. මම තවමත් එතුමට ආදරෙයි. ගරු කරනවා. හැබැයි පුද්ගලවාදී දේශපාලනයක් කරන එක මම හිතන්නේ නෑ දේශපාලනය ගැන කියවපු කෙනෙක් හැටියට ඉගෙන ගත්ත කෙනෙක් හැටියට මම හිතන්නේ අපි පක්ෂයත් සමඟ ප්‍රතිපත්ති මාලාවක් සමඟ වැඩ කළොත් තමයි වැදගත් වෙන්නේ කියලා. ඒ නිසා තමයි අනික් පක්ෂ තමන්ගේ අනන්‍යතාවය තියා ගනිමින් මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක ඒ වැඩකටයුතු ටික කරගෙන යන්නේ. අපිටත් ඒ ක්‍රියාදාම කරන්න තිබුණා. ඒක නොකිරීම තමයි මේ තියෙන ප්‍රශ්නය.   


ප්‍රශ්නය :- ඇමැතිකම් අතහැරලා ආපු එක දැන් ලොකු අවුලක් වගේ දැනෙනවද?   


පිළිතුර :- එහෙම නෑ. සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඔය ගැන හොඳ විග්‍රහයක් කරලා තිබුණා. ඇත්තටම අප අතර පොදු චේතනාවක් තිබුණේ නෑ. නමුත් එකම චේතනාවක් තිබුණා.   


ප්‍රශ්නය :- ඒ චේතනාව මොකක්ද?   


පිළිතුර :- ඒ තමයි එද‌ා ආපු විශ්වාසභංගයට පක්ෂව අපි ඡන්දය දුන්නා. එහෙම පක්ෂව ඡන්දය දීපු යම් යම් අය​ෙග් අදහස් තියෙන්න ඇති කෙළින්ම ගිහින් පොහොට්ටුවේ ඉඳගන්න. හැබැයි ඒක අපි අතර කතා වුණේ නෑ. ඒක රහසක් විදියට තමයි සමහර අය තියාගෙන ඉඳලා තියෙන්නේ. දැන් තමයි ඒ රහස එළියට එන්නේ. ඉතින් අමු අමුවේම ගිහින් පොහොට්ටුවේ ඉඳගන්න ඕනෑ නම් කලින්ම යන්න තිබුණා. නමුත් එහෙම ගියෙත් නෑ. 16 දෙනාගේ කණ්ඩායම තුළ ඒ ගොල්ලොත් හිටියා. ඊට කලින් ගිය ප්‍රියංකර ජයරත්න මහත්තයා. අරුන්දික ප්‍රනාන්දු මහත්තයා ගියා. නිමල් ලංසා මහත්තයා ගියා. ඩුලිප් විජේසේකර මහත්තයා ගියා. මේ විදියට සමහරු වෙන වෙනම ගියා. අපේ 16 දෙනා අතරත් කීප දෙනෙක් අරුන්දික ප්‍රනාන්දු මහත්තයත් එක්ක කරපු සාකච්ඡාවල හිටියා.   


ප්‍රශ්නය :- කවුද ඒ? ඔබ ඒ නම් කියන්න බය වෙන්නේ නැතිව ඇති?   


පිළිතුර :- බෑ බෑ මම නම් කියන්න කැමැති නෑ. මේ 16 දෙනාගේ කණ්ඩායම ගැන මට ගෞරවයක් තියෙන නිසා. ඒ නිසා ඒ අය පැහැදිලිව ඒ අයගේ උපක්‍රමය මේ වෙලාවේ පාවිච්චි කළා. විශේෂයෙන්ම තවත් පිරිසක් සමගම ආවම ඒ අයටත් යම් පිළිගැනීමක් ලැබෙන නිසා. ඒක තුළ තමයි මේ ප්‍රශ්නය ඇති වුණේ. අපි ආණ්ඩුවෙන් එළියට ආ​වේ ප්‍රශ්න ගණනාවක් නිසා. අපි කැබිනට් එක ඇතුළේ විශාල අරගලයක් කළා. අපි ආණ්ඩුවේ සමහර වැඩවලට විරුද්ධ වුණේ පක්ෂයේ ප්‍රතිපත්ති මත ඉඳගෙන මිසක් පෞද්ගලික කාරණා වෙනුවෙන් නොවෙයි. අපි ඒවට විරුද්ධ වුණ නිසා ආණ්ඩුව තුළ අපට විශාල ප්‍රතිවිරෝධයක් ආවා. ඒ නිසා අපි විශ්වාසභංගයට ඡන්දය දීලා එළියට ආවා.   


ප්‍රශ්නය :- අවුරුදු තුනක් ඇමැති සැප විඳලා පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵලයෙන් තක්බීර් වෙලා තමන්ගේ හෙට දවස ගැන හිතලා එළියට ආවා නොවෙයි?   


පිළිතුර :- ඔය දෙන්නෙක් තුන් දෙනෙක් එහෙම හිතනවා ඇති. මට නම් ඒක අදාළ නැහැ. මම නම් හැම වෙලේම කල්පනා කරන්නේ අපට වැදගත් වෙන්නේ ජනාධිපතිවරණයයි. අපි කොහොමද ඒක දිනන්නේ. ජනාධිපතිවරණයට ගැලපෙන අපේ අපේක්ෂකයෙක් අපි කොහොමද එකතු කරගන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක සම්බන්ධවෙන්න කැමැති දේශපාලන පක්ෂ මොනවාද? කොහොමද අපි ඒ ගොල්ලොත් එක්ක වැඩ කරන්නේ. එහෙම පොදු එකඟතාවයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කැමැති වන වාමාංශික ව්‍යාපාර එක්ක අපි ගමන් කරන්න ඕන. ඒකාබද්ධ විපක්ෂය සමගත් සාකච්ඡා කරලා අපි දෙගොල්ලෝම මහින්ද රාජපක්ෂ මැතිතුමාත් ඒ වගේම අනෙකුත් පක්ෂ නායකයනුත් ඒ වගේම මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාත් ඔක්කොම එකට එකතු වෙලා ඉදිරිපත් කරන ​අපේක්ෂකයෙක් ගැන අපි හිතන්න ඕනෑ. එතැනින් පස්සේ තමයි මහ මැතිවරණය එන්නෙ. 2020 තියෙන මහ මැතිවරණයට දැන් බයවෙලා. මම නම් එළියට ආවේ නෑ. මම කල්පනා කරන්නේ මුලින්ම එන ජනාධිපතිවරණය දිනන්නේ කොහොමද කියලයි. ඒ නිසා පළාත් පාලන මැතිවරණයෙ ඡන්ද ප්‍රතිඵල භීතියෙන් නම් මම මේ ආණ්ඩුවෙන් එළියට ආවේ නෑ. ඒක බොහොම ගෞරවයෙන් කියන්නේ.   


ප්‍රශ්නය :- පොහොට්ටුවට නම් අපේක්ෂකයෙක් ඉන්න බව කියනවා. ඔබ තවත් අපේක්ෂකයෙක් ගැන කියනවා. ඕවා කෙරෙන දේවල් ද?   


පිළිතුර :- මෙහෙමයි. ඉස්සෙල්ලාම තමන්ගේ තියෙන මහන්තත්තකම නැතිකර ගන්න ඕනෑ. උද්ධච්චකම නැති කරගන්න ඕනෑ. මොකද ඔය පොහොට්ටුවේ සමහර නායකයෝ හිතාගෙන ඉන්නවා ඒගොල්ලෝ නැතිව දිනන්න බැහැ කියලා. ඉතින් ඡන්ද එක්කෝටි විසිපන් ලක්ෂයෙන් ඡන්ද ලක්ෂ හතළිස් නවද‌ාහයි උපරිම ආණ්ඩු විරෝධය පාවිච්චි කරලත් පොහොට්ටුව ගත්තේ. එතකොට ඒ ඡන්ද ටිකෙන් ඒගොල්ලෝ හිතනවා නම් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් හද‌ාගන්න පුළුවන් කියලා මම දන්නෑ පුළුවන් නම් කරගන්න. ම​ෙග් තර්කය තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්ද ලක්ෂ 15 ක් ගත්තා. අපි අනෙකුත් දේශපාලන පක්ෂත් එකතු කරගෙන ඡන්ද ලක්ෂ හතළිස් නවයේ ඡන්ද ශක්තියක් එකතු කරගෙන තමයි ජනාධිපතිවරණයට මුහුණ දිය යුත්තේ කියලයි මම කියන්නේ. එතකොට තමයි අපිට ඡන්ද ලක්ෂ 65 ට යන්න පුළුවන් වෙන්නේ.

ජනාධිපතිවරණය දිනන්න ඡන්ද ලක්ෂ 62-65 ත් අතර යන්න ඕනෑ. ඉතින් එක්කෝටි විසිපන් ලක්ෂයෙන් ඡන්ද ලක්ෂ 65 ක් ගන්න පුළුවන් වෙන්නේ යම් සමාන මතවාදී අදහස් තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොදුජන පෙරමුණත් අනෙක් දේශපාලන ව්‍යාපාරත් එකතු කරගත්තොත් පමණයි. එහෙම නැතිව කවුරුහරි කියනවා නම් රයිට් අපි ද‌ාන අපේක්ෂකයාට තමුසෙලා ඇවිල්ලා වැඩ කරනවා’ කියලා මම හිතන්නේ එතැන තියෙන්නේ උද්ධච්චකමක්. අන්‍යොන්‍ය වශයෙන් තවත් පක්ෂයකට ගරු කිරීමක් නොවෙයි. ඒ ගොල්ලේ හිතාගෙන ඉන්නේ අපි ඒ ගොල්ලෝ ළඟට ගිහින් දණ නමාගෙන දොහොත් මුදුන් තියාගෙන වැඳලා දේශපාලනය කරන්න ඕනෑ කියලා. අපිට එහෙම දේශපාලනය කරන්න උවමනාවක් නෑ. අපි ඉන්නේ බොහොම පැහැදිලිව ඒ මතවාදය එකට එකතු කරන්න ඕනෑ කියන ස්ථාවරයේ.   


ප්‍රශ්නය :- ඔබ පොහොට්ටුවේ උද්ධච්චකම ගැන කිව්වා. රාජ්‍ය බලය තියාගෙන ගිහින් ගත්ත ප්‍රතිඵලයත් මාස දෙක තුනකදී පක්ෂයක් හද‌ාගෙන ගිහින් ගත්ත ප්‍රතිඵලයත් එක්ක එහෙම උද්ධච්ඡ බවක් ඇතිවීම ස්වභාවිකයි? 

 
පිළිතුර :- ඔව්. ඔව්. එහෙම උද්ධච්ඡකමක් ඇතිවන එක සාධාරණයි. හැබැයි ඉතින් ඒගොල්ලෝ දැනගන්න ඕනැ ඒකම ඇතිද... තමන්ගේ ඊළඟ ඡන්දය දිනන්න කියලා. ඒ වගේම මතක තියාගත යුතු කාරණය තමයි මේ පොදුජන පෙරමුණට ලැබුණු ඡන්ද ප්‍රමාණය ලැබුණේ පොදුජන පෙරමුණට තිබුණ ප්‍රසාදයක් නිසා නොවෙයි. එහි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකත්වය ගැන මම තර්ක කරන්නේ නෑ. නමුත් ඒ සියලුම ඡන්ද ලැබුණේ ඒකෙන් අඩුම තරමින් සියයට 20ක් 23 ක් වත් ලැබුණේ පැහැදිලිවම මේ ආණ්ඩුව කරන වැරදි නිසයි. ඒ නිසා ඒ ඡන්ද ප්‍රතිඵලය ගැන කවුරු හරි අධිතක්සේරුවක් කරනවා නම් දේශපාලනය නැවත කියවිය යුතුයි කියලා මම යෝජනා කරන්නේ.   


ප්‍රශ්නය :- ඔබ හිතන්නේ 2020 දී මෛත්‍රිපාල ජනාධිපතිවරයව නැවත දිනවල මහ මැතිවරණයට යෑමද?   


පිළිතුර :- අපේ තර්කයක් තිබුණා... මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට අපි කියන්න හිටියේ මහින්ද රාජපක්ෂ මැතිතුමාව අගමැති කරල වහාම ආණ්ඩුවක් හදාගෙන මහින්ද රාජපක්ෂ මහත්තයාගේ සහයෝගයක් ඇතිව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාව දෙවැනි වරටත් ජනාධිපති කරවීමයි. ඒක හොඳයි කියලා තමයි අපේ තර්කය වුණේ. ඒක කොයිතරම් ප්‍රායෝගික ද කියන කාරණය දැන් මතුවෙමින් තියෙනවා. මේ විදියට කැඩුණම වෙන්නේ අනික් කොටස ගිහින් තව තැනකට හේත්තු වෙනවා.   


ප්‍රශ්නය :- ඔබ කියන කාරණය පැහැදිලි නෑ.   


පිළිතුර :- මේ 16 දෙනා ආවේ මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක කරපු සාකච්ඡවේදී අපි කිව්වේ අපි පාලමක් වෙන්නම් සර් කියලයි. හැබැයි දැන් පාලම පැත්තකින් තියලා පාලමත් කඩාගෙන ගිහින් තියෙන්නේ. දැන් යන්න පාලමක් නෑ. 23 දෙනාට එන්න පාලමක් නෑ. කවුරුහරි විශ්වාස කරනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ දැන් ඉන්න 23 ගෙන් කට්ටියක් ආපහු මේ පැත්තට එයි කියලා මම ඒක විශ්වාස කරන්නේ නෑ. ඔවුන් නැවත ඒකාබද්ධ විපක්ෂය සමඟ හෝ වෙනත් දේශපාලන ව්‍යාපාරයක් සමඟ හෝ එකතු වීමට තිබෙන ඉඩකඩ ඉතාම අඩුයි. මොකද අපි එළියට බැහැපු ගමන් ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න සමහර මොළයක් නැති මන්ත්‍රීවරු ඔවුන්ගේ 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔවුන්ට එන තරගයක් ගැන බය වෙලා මේ ආපු 16 දෙනාට ගැහුවා. ලෝක ඉතිහාසයේ කවද‌ාවත් ආණ්ඩුවෙන් විපක්ෂයට එනකොට විපක්ෂයෙන්ම මෙහෙම පහර දීලා නෑ. ඒ විතරක් නොවෙයි ලංකා ඉතිහාසයෙත් වැඩිම පිරිසක් ආණ්ඩුවෙන් විපක්ෂයට එක්වුණ පිරිස තමයි අපි. ඉතින් ඒක ගැන සංවේදී නොවී තමන්ගේ අනාගතය සම්බන්ධයෙන් හිතලා මේ එන අයට පහර දෙනවා නම් මම හිතන්නේ නෑ ශ්‍රී ලංකා එකේ ඉන්න 23 දෙනාගෙන් එක්කෙ​ෙනක්වත් ගන්න පුළුවන් කියලා.   


ප්‍රශ්නය :- 16 දෙනාගේ කණ්ඩායමේ ඔය ඔබ දරන මතය පිළිගන්න අය කී දෙනෙක් ඉන්නවාද?   


පිළිතුර :- මට ගණන් හිලව් කියන්න බෑ. සෑහෙන දවසකින් මට ඔවුන් හමුවුණෙත් නෑ. විවිධ අය විවිධ ප්‍රශ්න මතු කරනවා. අපේ මතවාද ගණනාවක් තිබුණා. අපි කිව්වේ එස්.බී. දිසානායක මැතිතුමා බොහොම පැහැදිලිව කිව්වේ ‘අපි ඔක්කොම එක එක මතවාදවල ඉමු.’ හැබැයි එක ස්ථාවරයකට එමු.’ කියලයි. එහෙම තීන්දුවක නොවෙයි අවසාන කාලයේදී හිටියේ. ඒක තමයි වෙච්ච විනාශය කියලයි මම හිතන්නේ. 

 
ප්‍රශ්නය :- ඔබ කියන්නේ 16 දෙනාගේ කණ්ඩායමේ හිටපු ජුද‌ාස්ලා සටන පාවා දුන්නා කියලයි?   


පිළිතුර :- ඒ අයගෙන් ඇහුවම ඒ අය දන්නවා. ඒ අයගේ හෘදය සාක්ෂිය දන්නවා.   


ප්‍රශ්නය :- ඔබ කවද්ද යළිත් ඇමැති ධුරයෙ දිවුරුම් දෙන්නේ?   


පිළිතුර :- මගේ එහෙම කිසිම බලාපෙ​ාරොත්තුවක් නෑ. මගේ බලාපොරොත්තුව තියෙන්නේ විපක්ෂයේ ඉඳගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත ගොඩනැගීම සඳහා මට කළ හැකි උපරිම කාර්යභාරය කිරීමයි. ඒ වෙනුවෙන් කළ යුතු දේවල් පහුගිය සති කිහිපයේ මම කළා. මොකද අපේ 16 දෙනා මෛත්‍රිපාල ජනාධිපතිතුමා එක්ක බොහොම පැහැදිලි එකඟතාවකට ආවා. අපි පක්ෂ ප්‍රතිසංවිධානයේදී තනතුරු බාරගන්නවා. පක්ෂයේ ප්‍රතිසංවිධානයට සම්බන්ධවෙනවා. සැප්තැම්බර් 2 විතර වෙනකොට පක්ෂය ආණ්ඩුවෙන් එළියට ගන්නත් කටයුතු කරනවා කියලා.   


ප්‍රශ්නය :- බැරි වෙලාවත් පක්ෂය ආණ්ඩුවෙන් එළියට ගන්න බැරි වුණොත්?   


පිළිතුර :- ඊළඟ විකල්පය තමයි මේ කරලා තියෙන්නේ. මේක කරන්න තිබුණේ සැප්තැම්බර් 2 වැනිදා. පුදුම හදිසියක්නේ මේ තිබුණේ. සැප්තැම්බර් 2 වැනිදා වෙනකම් අපි අපේ සටන ගෙනිච්චෙ නෑනේ. අපි පොරොන්දු වුණු විදියට පක්ෂයෙ ප්‍රතිසංවිධාන කටයුතු කළේ නෑ. ශාඛා සමිති හැදුවේ නෑ. සමහරු කියනවා පිරිසක් ආණ්ඩුවේ ඉන්දද්දී ශාඛා සමිති හදන්න බෑ. මිනිස්සු නෑ කියලා. එහෙම කියලා බෑ. මට නම් මිනිස්සු ඉන්නවා. මගේ ආසනය ඇතුළේ මම හොඳට වැඩ කරනවා. දිස්ත්‍රික්කයට ගියාමත් මට මිනිස්සු ඉන්නවා. තමන්ට තියෙන ඡන්ද ප්‍රමාණය ගැනනේ මේ භය.   


ප්‍රශ්නය :- එළියෙ නම් කියැවෙන්නේ ‘දයාසිරි ජයසේකර ඇමැතිකමේ අද දිවුරුම් දෙනවා. හෙට දිවුරුම් දෙනවා’ කියලයි.   


පිළිතුර :- මට එහෙම අවශ්‍යතාවයක් නෑ. අවස්ථා ගණනාවකදී මම ඔය ගැන කතා කළා. කිහිප දෙනෙක් ඇවිල්ලත් කතා කළා. මට එහෙම උවමනාවක් නෑ. 

 
ප්‍රශ්නය :- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ඔබ කියලත් කියනවා?   


පිළිතුර :- මම දන්නේ නෑ. එක එක්කෙනා කියනවා. දැනටම ආසන සංවිධායකවරු කතා කරනවා. විවිධ මාධ්‍යවල යනවා. ඒක තීරණය කරන්න ඕනෑ පක්ෂය. එහෙම වගකීමක් දෙනවා නම් ඒක පක්ෂය තීරණය කරන්න ඕනෑ. මට හැකියාවක් තියෙනවා. අයිතියකුත් තියෙනවා. මට එහෙම වගකීමක් දුන්නොත් අරගෙන වැඩ කරන්න මම සූදානම්.   


ප්‍රශ්නය :- බැඳුම්කරේ ප්‍රශ්නය නිසා ඔබ යම් තැනක හිරවෙලා?   


පිළිතුර :- නෑ කොහේවත් මම හිරවෙලා නෑ. 2015 ඡන්දයට අර්ජුන් ඇලෝසියස්ගෙන් නොවන වෙනත් පුද්ගලයෙක් හරහා මගෙ නමටත් නොවන චෙක්පතක් මම මාරු කරගැනීම හා එය පර්පචුවෙල් ට්‍රෙෂරීස් කොම්පැනියකුත් නොවේ නම් ඒක කිසිම දැනුම්වත් බවකින් නොවිච්ච දෙයක්. ඒකට අවශ්‍ය කරන නිවැරදි පිළිතුර මම දීලා තියෙනවා. එහෙම ඒ මුදල ගත්තා කියලා කිසිම දවසක මම බැඳුම්කර වංචාව වෙනුවෙන් පෙනී ඉඳලා නෑ. කෝප් කමිටුවේ සාමාජිකයෙකු වශයෙන් මම ඉතා දැඩිව ඒකට විරුද්ධව පෙනී හිටියා. අදත් පෙනී ඉන්නවා. හෙටත් පෙනී ඉන්නවා.   


ප්‍රශ්නය :- ඔබ කිව්වා ‘පොහොට්ටුවේ ආධ්‍යාත්මික නායකයා මහින්ද රාජපක්ෂ’ කියලා. ඔබට වෙලා තියෙන්නේ ඔබ එහෙම පිළිගන්න තියෙන අකමැත්ත?   


පිළිතුර :- නෑ එහෙම ප්‍රශ්නයක් නෑ. මම කියන්නේ 2015 ජනවාරි 8 පරාජයට හේතු ගණනාවක් තිබුණා. ඒ හේතු ගැන විශ්ලේෂණයක් අපි කරලා තියෙනවා? ඉතින් ඒකම නැවත පුනරුච්චාරණය වෙනවා නම් ඒක තමයි මට තියෙන ප්‍රධානම ප්‍රශ්නය. ඒ ක්‍රමයම නම් ක්‍රියාත්මක කරන්න යන්නේ මම ඒකට කැමැති නෑ. වෙනස් ප්‍රතිපත්ති මාලාවක් යටතේ අපි යන්න ඕනෑ. අනික් නායකයන්ටත් මේක ඇතුළේ හඬක් තියෙන්න ඕනෑ. එහෙම නොවුණොත් පැරණි තැනටමයි යන්නේ. ඒ බවක් තමයි දැන් තේරෙන්නේ.

 

 

 

 

 

 

සාකච්ඡා කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූප අන්තර්ජාලයෙනි.



අදහස් (0)

අපි පොහොට්ටුවේ දේශපාලනයක් කරන්න බලාපොරොත්තු වුණේ නෑ

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 57 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1159 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 896 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2299 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2150 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3680 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 215 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1529 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site