IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අපි ආණ්ඩුවේ දිගටම හිටියොත් ශ්‍රීලනිපය දියවෙලාම යනවා

(මුලටියන එස්. බාලසූරිය සහ අකුරැස්ස සුජීව සමරක්කොඩි)

මේ ආණ්ඩුව සමග ඉඳල වැඩක් නෑ. එහෙම හිටියොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැත්තටම නැතිවෙනවා යැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

ඔහු මෙසේද කීය.

පසුගිය ජනාධිපතිවරණයේදී අප මහින්ද රාජපක්ෂ දිනවන්න දිවිහිමියෙන් කටයුතු කළා. මෛත්‍රීපාල සිරිසේන මහතාට අපි ඡන්දය දුන්නේ නෑ. මේ ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාට ආරක්ෂාවක් නෑ. එක්සත් ජාතික පාක්ෂිකයාටත් ආරක්ෂාවක් නැහැ. රටේ මහජනතාවටත් ආරක්ෂාවකුත් නැහැ.

මේ ආණ්ඩුවේ කැබිනට් එකේ ඉඳගෙන රටට වින කරන අණපනත් රැසක් අප නැවැත්තුවා. අප නොසිටියා නම් රජයේ බැංකු ටිකත් පුද්ගලීකරණය කරලා. මේ තත්ත්වය පාලනය වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අප සිටිය නිසයි. 

අප මේ සටන ආරම්භ කළේ මේ රටේ සියලුම දෙනාට පිළිගන්න පුළුවන් ප්‍රගතිශීලී ජනාධිපති අපේක්ෂකයකු ජයග්‍රහණය කරවන්නයි. ඊට පස්සෙ අපේම ජනාධිපතිවරයකු පත් කර ගෙන එක්සත් ජාතික පක්ෂය පරාජය කරලා ජනතාවට ජයග්‍රහණය ලබා දෙනවා. මේ ආණ්ඩුව සමග ඉඳලා වැඩක් නැහැ. එහෙම හිටියොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැත්තටම නැති වෙනවා යැයි මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඉකුත් 26 දා මාතර දී පැවසීය.

ඒ මහතා එසේ ප්‍රකාශ කළේ හෘද සාක්ෂියේ නිදහස සම්මන්ත්‍රණ මාලාවේ මංගල වැඩසටහනේ පළමු වැනි දේශනය පවත්වමිනි.

ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රමුඛ මාතර දිස්ත්‍රික්කයේ සංවිධායක කමිටුව විසින් සංවිධානය කරන ලද මෙම රැස්වීම මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ඒ මහතා මෙසේද කීය.

මගේ දේශපාලන ජීවිතයට වසර 40 ක් විතර වෙනවා. වයස අවුරුදු 15 දී තරුණ සමිතියක ලේකම්වරයෙකු ලෙස දේශපාලන ගමන ආරම්භ කරලා මාතර දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයකු ලෙස 1988 වර්ෂයේ ඉඳලා ඉන්නවා. මේ සියල්ල මට ලබා දුන්නේ මාතර දිස්ත්‍රික්කයේ ජනතාවයි. 

ශ්‍රීලනිපයෙන් දේශපාලනය කරලා අප දහසය දෙනා පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දිනවන්න දිවිහිමියෙන් කටයුතු කළා.

අප මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දුන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය ඇතිව ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරු අනූපස් දෙනාගේ එකඟත්වය මත මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිපයේ සභාපති වුණාම ඒ පක්ෂයේ මන්ත්‍රීවරුන් හැටියට ආණ්ඩුවට එකතු වුණා.

මා මැරෙනතුරු එජාපයට යන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉතිහාසය මා දන්නවා. අප දේශපාලනය කරන්නේ පොළොවේ පය ගහපු නායකයකු සමගයි. මේ ආණ්ඩුවෙන් ශ්‍රීලනිප පාක්ෂිකයාට ආරක්ෂාවක් නැහැ. එජාප පාක්ෂිකයාටත් ආරක්ෂාවක් නැහැ. රටේ මහජනතාවට ආරක්ෂාවකුත් නැහැ. රටට සුගතියක් නැහැ. දුගතියක් තමයි තියෙන්නේ. අපට දේශපාලනය හොඳට තේරෙනවා. පක්ෂයේ විනයක් ඇතිව ඉන්න ඕනෑ. අප මේ ආණ්ඩුවේ කැබිනට් එකේ ඉඳගෙන රටට වින කරන අණපනත් රැසක් නැවැත්වූවා. අප නොහිටියා නම් රජයේ බැංකු ටිකත් පුද්ගලීකරණය කරලා ජනතාවට දැනට ලැබෙන සහනයක් නැහැ. මේ තත්ත්වයට වත් පාලනය වුණේ ශ්‍රීලනිපයේ අය හිටිය නිසයි. ඒ නිසා තමයි එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරු ශ්‍රීලනිපයේ ඇමැතිවරුන්ට ගහලා එළවන්න හදන්නේ. ආණ්ඩුව තුළ ඉඳගෙන අප සටනක් කළා. මහ බැංකු මහා කොල්ලය සිදුවුණූ වෙලාවේ ඒ පණිවුඩය රටටම දුන්නේ අප. ඒකට විරුද්ධව සටන් කළේ අප.

හෘද සාක්ෂියට එකඟව මහජනතාව වෙනුවෙන් අප ඒවා කළේ. මේකට විරුද්ධව අගමැතිට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනාවා. ඒකාබද්ධය අප මේක ගෙනැවිත් දිනන්න හදා ගත්තා. එහෙත් මේක නැවැත්තුවේ අපේ අයයි. ඒකයි අපට තිබෙන වෛරය. ඒ අයට අප කීවා පක්ෂව ඡන්දය දෙන්න බැරිනම් ඡන්දයෙන් වළකින්න කියලා. ඒක ඒ අයගේ දේශපාලන අනාගතය. හැබැයි අපට තනතුරු අවශ්‍ය නැහැ. අප රනිල් මහත්තයාට විරුද්ධව ඡන්දය දුන්නා. ඇමැතිකම් තියාගෙන විපක්ෂයේ ඉඳලා නොවෙයි අප තනතුරු අත්හැරලා ආවේ සටන් කරන්නයි.

ශ්‍රීලනිපයේ ජනාධිපතිතුමා කියනවා මේ ආණ්ඩුව සමග ඉඳලා වැඩක් නැහැ කියලා. එහෙම හිටියොත් ශ්‍රීලනිපය නැත්තටම නැති වෙනවා. සමහරු අහනවා අප යන්නේ කොතැනටද කියලා. අප යන්නේ ප්‍රගතිශීලී පෙරමුණටයි. අප මේ සටන ආරම්භ කළේ සියලු දෙනාට පිළිගන්න පුළුවන් ප්‍රගතිශීලී ජනාධිපති අපේක්ෂකයකු ජයග්‍රහණය කරවන්නයි. මේ 16 දෙනා ඒ සඳහා දිවිහිමියෙන් කැප වෙනවා. අප කේක් එකක් හැදුවා. කේක් එකේ අයිසින් එක තමුන්නාන්සේලා. අයිසින් නැතිව කේක් එක රස නැහැ. ජනාධිපතිවරණයක් දිනන්න මේ 16 දෙනාගේ හයිය අවශ්‍යයි. මේ දහසය දෙනාට පුළුවන් සුළුජාතීන් ඒකරාශී කර ගන්න. ඒ නිසා අපේ සටනට ලකුණු කීපයක් තියෙනවා. අත, පුටුව, බුලත්කොළය, අලුතෙන් ආපු පොහොට්ටුව මේ සියල්ල එකතුවෙලා එක ලකුණකින් ජනාධිපතිවරණයට එනවා.

මේ රටේ ජනාධිපතිවරයකු පත් කර ගන්න මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආශිර්වාදය අවශ්‍යයි. ජනතාවගේ එකඟත්වයත් අවශ්‍යයි. එහෙම කරලා ජනතාව ඒකරාශී කරලා අපේම ජනාධිපතිවරයෙකු පත් කර ගන්නවා. අප ජයග්‍රහණය කරලා එජාප රජය පරාජය කරලා ජනතාවට ජයග්‍රහණය ලබා දෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා:-

ශ්‍රීලනිපයේ හා එජාපයේ ප්‍රතිපත්ති අතර පැහැදිලි වෙනසක් තිබෙනවා. ශ්‍රීලනිපය පක්ෂයක් හැටියට එදා ජනතාව පිළිගන්නේ දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ ප්‍රගතිශීලි නායකත්වය නිසායි. මේ රටේ ප්‍රගතිශීලී නායකයන් සමග සියළුම ජනකොටස් එකතු කර ගෙන සමාජ ගත කරපු සඟ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගය නිසායි. ඒ ශක්තිය අරගෙන පොදු මිනිසාගේ දේශපාලන පක්ෂය හැටියට ගමේ දුප්පතුන්ගේ පක්ෂය හැටියට. කම්කරුවන්ගේ පක්ෂය හැටියට මහා සංඝරත්නයේ ආශිර්වාදය ඇතිව මේ පක්ෂය ගොඩනැගුවේ. ඊට පස්සේ ප්‍රගතිශීලී නායකයන් මේ පක්ෂය ආරම්භ කළා.

මේ ආණ්ඩුව ජනතාවට එරෙහිව ගත් තීරණවලදී අප විරුද්ධ වුණා. විවේචනය කළා. හැබැයි ඒ එකකටවත් මේ ආණ්ඩුව ඇහුම්කන් දුන්නේ නැහැ. බැඳුම්කර වංචාව පිළිබඳව ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන්න කියලා යෝජනා කළේ අප. විශ්වාසභංගයක් ගේන්න කීවේ අප. ඒකේ චෝදනා 15 ක් තිබෙනවා අගමැතිට විරුද්ධව. විශ්වාසභංගයේදී ශ්‍රීලනිප එක්සත් ජනතා නිදහස් සංධානය, ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ කණ්ඩායම් පක්ෂව ඡන්දය දුන්නා. හෘද සාක්ෂියේ නිදහස අප භාවිතා කළා. මහජන නියෝජිතයකුගේ වගකීම වෙන්නේ රට හා ජනතාව වෙනුවෙන් බරපතළ කාරණවලදි නිවැරදි දෙය ඉටු කරන්නයි. එහෙම නැතිව ඡන්දය නොදී ගෙදර ඉන්න එක නොවේ. ජනතාව අපට ඡන්දය දුන්නේ ඒ යුතුකම ඉටු කරන්නයි. මේ රටේ අති බහුතර ජනතාවගේ මතය අනුව විශ්වාසභංගයට පක්ෂව අප ඡන්දය දුන්නා. ඒ සඳහා අපට කොන්දක් තිබුණා.

ජාතික වශයෙන් වැදගත් වන විසි වැදෑරුම් ප්‍රතිපත්ති මාලාවක් හදලා ඒක සමාජ ගත කරනවා. අනාගතයේදී ගොඩනගන ප්‍රගතිශීලී වැඩ පිළිවෙළ සඳහාම සියළුම දෙනා ඒකරාශී කර ගන්නවා. මහින්ද රාජපක්ෂ මහතාට අපේ හයියත් දීලා ඒ ප්‍රගතිශීලී වැඩපිළිවෙළ ගොඩ නගනවා. අපි කවදාවත් ශ්‍රීලනිපය හැර ගියේ නැහැ. ප්‍රගතිශීලී කඳවුර හැර ගියේ නැහැ.

මේ රට කෘෂිකාර්මිකයි. 70% ක් කෘෂි කර්මාන්තයෙන් යැපෙන්නේ. 2016 දී දළ දේශීය නිෂ්පාදනය ප්‍රතිශතයක් හැටියට ඍණ බින්දුවයි. දශම තුනයි. (-0.3) 2017 දි ඍණ 0.8 යි. 2020 වනවිට සහල් මෙටි්‍රක් ටොන් 7,60,000 ක් ආනයනය කරන්න සිදු වෙනවා. පවුල් ලක්ෂ නවයක් ආහාර හිඟයට මුහුණපානවා. නියඟය නිසා කන්න කීපයක්ම කුඹුරු පාළුවුණා. වැස්ස ආවාම පොහොර සහනාධාරය නැහැ. හැබැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොඩනැගිල්ලට මාසයකට ලක්ෂ 257 ක් ගෙවනවා. මේ ගොල්ලෝ මේවා තියාගෙන තමයි විශ්වාසභංගයට ෂේප් න්‍යාය දැම්මේ. අද ලෝකයේ නිවාස හදන්නේ හරහට නොවේ. නමුත් අපේ රටේ බිම් කට්ටි කඩ කඩ ගෙවල් හදනවා. මෙහෙම කරද්දී වගා කරන්න භූමියක් ඉතුරුවේවිද. රටේ ජනතාව මිලියන 21 යි. ඉදිරියේ ජනගහණය වැඩි වීමත් සමග ප්‍රශ්නය තවත් උග්‍ර වෙනවා. නව ලෝකයට ගැළපෙන ජාතික ප්‍රතිපත්තියක් අපට නැහැ.

සයිටම් අර්බුදයට වසර තුන හමාරක් වෙනවා. තාමත් ඒකට විසඳුමක් නැහැ. රජයේ නිලධාරීන් වැඩ කරන්නේ නැහැ කියලා රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශක පාස්කරලිංගම් කියනවා. එෆ්.සී.අයි.ඩී. එකට යන්න වෙන නිසා කියලා කියනවා.

පළාත් පාලන ඡන්දය වසර දෙක හමාරක් කල් දැම්මා. නමුත් ඡන්දය තිබ්බම ජනතාව තොග පිටින් ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දුන්නා. ඉදිරි මැතිවරණවලදී තොග වශයෙන් නොවෙයි තොග දෙගුණ කරලා ඡන්ද දෙන්න ජනතාව බලා සිටිනවා. ඒ ජයග්‍රහණයට අපගේ ශක්තියත් ලබා දෙනවා.

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා:-

අප යූ.එන්.පී. ආණ්ඩුවේ වලිගයක් වෙලා හිටියේ නැහැ. එහෙම හිටියා නම් මෙහෙම එළියට බහින්න අපට බැහැ. අප එළියට ආවේ තවදුරටත් ශ්‍රීලනිපය මරාදාන්න ඉඩ දෙන්න බැරි නිසයි. මේ රටේ මිනිසුන්ගේ හද ගැහෙන රාවය තේරුම් ගත්තේ අප තමයි. ආණ්ඩුවේ ඉඳගෙන එජාපයට කත්අදින්න ඕනෑ කියලා ඒ අය හිතනවා. එහෙම නොකරන විට ඒ අයගේ ගෝලබාලයෝ දාලා අපට ගහනවා.
1818 දී කැප්පෙටිපොළ ඉංග්‍රීසින් එළවලා දාන්න කැරැල්ල මෙහෙවූවා වාගේ 2018 දී රනිල් ප්‍රමුඛ එජාපය එළවලා දාන්නයි අප මේ කැරැල්ල ගැහුවේ. සමහරු අහනවා අප කොතැනද ඉන්නේ කියලා. අප ඉන්නේ ශ්‍රීලනිපයේ. මේ ආණ්ඩුවට තව මාස 18 යි තියෙන්නේ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාත් සමග ඒකරාශී වී ප්‍රගතිශීලී බලවේග සමග ඒකාබද්ධ වී මේ ආණ්ඩුව පලවා හැරීමේ ඓතිහාසික කාර්යයට අපගේ මුළු ශක්තියම යොදවනවා. ඊළඟ ජනාධිපතිවරණය සඳහා ප්‍රගතිශීලී වාමාංශික නායකයකු පත් කර ගැනීමේ සටනට අප උර දෙනවා.

19 වැනි සංශෝධනය නිසා අගමැති ඉවත් කිරීමේ බලයක් ජනාධිපතිට නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා ඒ සංශෝධනය ගෙනාවේ ඔහුට වාසි වෙන ආකාරයටයි. රනිල් වික්‍රමසිංහ මහතා කියනවා 2030 වනතෙක් එජාපයට නායකයකු ඉන්නවා කියලා. අනෙක් පක්ෂවලට එහෙම කෙනෙකු නැහැ කියනවා. එහෙම කිය කියා ජනතාවට බදු පිට බදු ගහනවා.

කුංකුනාවේ හාමුදුරුවෝ කියපු විදියට අපේ රටට අලුත් නායකයකු අවශ්‍යයි. එජාපයට රට හදන්න බැහැ. මේ රට ගොඩ නගන්න නම් ජනතාවාදී ආණ්ඩුවක් පත් කර ගත යුතුයි. බැඳුම්කර වංචාව යට ගහන්න ඇලෝසියස් 118 දෙනෙකුට සල්ලි දීලා තිබෙනවා කියලා කියනවා. අප ඇලෝසියස් ආරක්ෂා කරන්න සල්ලි ගත්තේ නැහැ. ඔහු ආරක්ෂා කරන්න කටයුතු කළෙත් නැහැ. හිරේ නොවේ හිර ගෙවල් දාහක දැම්මත් අප දහසය දෙනා නිවැරදි පිරිසිදු පාලනයක් මේ රටේ ගොඩ නැගීම සඳහා මුළු ශක්තියම යොදවනවා. අපේ සටන අප නොබියව ඉදිරියට ගෙන යනවා.
රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා:- අප දහසය දෙනා පසුගිය 8 වැනිදා විපක්ෂයට ගියේ මේ ආණ්ඩුවේ වසර තුනක කාලයේ සිදු කළ වැරදි නිසායි. වසර දෙකක් සඳහා ජාතික ආණ්ඩුවක් හදන්න අප එකතුවුණේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ඉල්ලීම නිසායි. ජාතික ආණ්ඩුව තුළ අප බලාපොරොත්තු වූ ජනතා අපේක්ෂාවන් ඉටු වුණේ නැහැ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට කීවාට ඒවාට ඇහුම්කන් දුන්නේ නැහැ.

පොහොර සහනාධාර කපා දැමු හින්දා වී ගොවීයන් වාගේ තේ කුරුඳු ඇතුළු අනෙකුත් වගාකරුවන් දුෂ්කරතාවට පත්වුණා. රටේ කෘෂිකර්මාන්තය අඩාල වුණා. 2012 වන විට මේ රට සහලින් ස්වයංපෝෂිත වී තිබුණා. පිටරටටත් සහල් අපනයනය කළා. ඒ කාලයේ මේ රටේ මිනිසුන් තුන්වේලටම බත් කෑවා. එහෙත් දැන් පිටරටින් හාල් ගේන්න සිදුවෙලා. පිටරටින් ගම්මිරිස් ගේන හින්දා ගම්මිරිස් වගාකරුවන් අනාථ වුණා. කෘෂිකර්මාන්තයේ කඩාවැටීම පිළිබඳව අප පෙන්වා දුන්නා. එහෙත් ඒවා ගණන් ගත්තේ නැහැ. එජාපයේ ඇමැතිවරු තමයි ආර්ථීක අංශයේ හැම පැත්තෙන්ම පාලනය කළේ. ඩොලරය දැන් රුපියල් 160 යි. 2015 දී රුපියල් 130 යි. රුපියල අවප්‍රමාණය වීම නිසා විදේශ ණය ගෙවීම සඳහා ඩොලර් මිලියන 550 ක පමණ අමතර මුදලක් ගෙවන්න සිදු වෙනවා. මේ ආණ්ඩුවේ වැඩ පිළිවෙළක් සමග රට ගොඩනගන්න බැරි නිසයි අප ආණ්ඩුවෙන් ඉවත් වුණේ. ප්‍රගතිශීලී ජනතාවාදී නායකයකු යටතේ රට ඉදිරියට ගෙන යෑම සඳහා අපගේ මුළු ශක්තියම යොදවනවා.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා:

රටේ ආර්ථිකය කඩා වැටීමේ වගකීම ගතයුත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතායි. එජාපය සමග ශ්‍රීලනිපය හිටියොත් අපේ පක්ෂය කුණුවෙනවා. දියවෙනවා. රනිල්ට විරුද්ධව ගෙනා විශ්වාසභංගයේදී අපට දිනන්න බැරි වුණේ අපේ පක්ෂයේ අපේම අය නිසයි. බොහොම අමාරුවෙන් තමයි රනිල්ට පක්ෂව ඡන්දය දෙන එකත් වළක්වා ගත්තේ.

වමේ ප්‍රගතිශීලී බලවේග සමග එකතුනොවී මැතිවරණවලට ඉදිරිපත් වීමේ විපාකය අප දැන් අත්විඳිනවා. කුමන මැතිවරණයකදී වුවත් සියළුම ජනකොටස් හා ප්‍රගතිශීලි පක්ෂ සමග එකතුවී කටයුතු නොකළහොත් ජයග්‍රහණයක් ලබා ගන්න අසීරුයි.

අප ආණ්ඩුවෙන් ඉවත් වුණේ තවදුරටත් මේ ආණ්ඩුවේ හිටියට රටට ජනතාවට  සෙතක් නොවන නිසයි. ගොඩනැගී තිබුණූ රට දිනෙන් දිනම අගාධයට යනවා. මේ රට යළි ගොඩ නැගීමේ ඓතිහාසික කාර්යභාරයට උරදීම සඳහා මැති ඇමැතිකම් තනතුරු අත්හැර දමලා ආණ්ඩුවෙන් එළියට ආවේ. ඒ සඳහා මුළු රටම පිළිගන්නා නායකයකුට අපේ ශක්තිය ලබා දෙනවා.

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා:

ශ්‍රීලනිපය මරන්න පුළුවන් පක්ෂයක් නොවේ. එදා බණ්ඩාරනායක ඝාතනය කරලා පක්ෂය මරන්න පුළුවන් වුණේ නැහැ. සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරලත් බැරිවුණා. චන්ද්‍රිකා මැතිනියවත් මහින්ද රාජපක්ෂ මහතාවත් මෛත්‍රීපාල සිරිසේන මහතාවත් ඝාතනය කරන්න හැදුවා. එහෙත් ශ්‍රීලනිපය මරන්න බැරිවුණා. මේ පක්ෂය මේ රටේ මිනිසුන්ගේ ජීවනාලියයි. අද මේ රටේ ස්කෝලේ මහතාගේ පුතෙකුට ඉංජිනේරුවරයකු එන්න ලැබුණේ ගොවියෙකුගේ පුතෙකුට දොස්තර කෙනෙකු වෙන්න ලැබුණේ ඌවේ වැසියකු වූ ඩිලාන්ට නීතිඥයකු වෙන්න ලැබුණේ බණ්ඩාරනායක මහතාගේ ප්‍රතිපත්ති නිසයි.

අප දහසය දෙනා ශ්‍රීලනිප පෙරටු කරගෙන එජාපය පරාජය කිරීමේ පාලම හදනවා. මේ රටේ ඉතිහාසය දිහා බැලුවාම සියලු බලවේග ඒකරාශී කර නොගෙන ජයග්‍රහණයක් ලබා ගන්න බැරි බව පේනවා. ඒ නිසා සියලු බලවේග එකතු කර ගෙන ප්‍රගතිශීලී ආණ්ඩුවක්, ජනාධිපතිවරයකු මේ රටේ ගොඩ නගන්න තමයි අප කටයුතු කරන්නේ. එජාප ආණ්ඩුවත් යටතේ රට ගොඩ නගන්න බැහැ. පසුගිය වසර තුනක කාලය තුළ රට අගාධයෙන් අගාධයට වැටුණා. ජනතාව පීඩාවට පත්වුණා.

අප 16 දෙනා එකතු වෙලා රටපුරා කරගෙන යන හෘද සාක්ෂියේ නිදහස් සම්මන්ත්‍රණ මාලාව එකිනෙකාට මඩ ගහන එකක් නොවෙයි. රටේ තත්ත්වය ජනතාවට අවබෝධ කර දෙන්නයි අප හදන්නේ.

බෙල්ලේ වැල දාගෙන ඉන්න කෙනාගේ සරම ගැලවුණාට ඒක අන්දවන්න කලින් බෙල්ලේ තොණ්ඩුව ගලවන්න ඕනෑ. එහෙම නැතිව සරම අන්දවන්න ගියොත් ඒ මිනිසාගේ බෙල්ල තොණ්ඩුවට හිරවෙලා මැරෙනවා. එතකොට සරම අන්දවලා වැඩක් නැහැ. ඒ වාගේ දෙයක් තමයි අප මේ ඉටු කරන්නේ.

මේ සම්මුති ආණ්ඩුව පිරිමි ගැහැනු විවාහයකින් නොවේ. පිරිමි පිරිමි විවාහයක්. ඒ නිසා මේ සම්මුති ආණ්ඩුවෙන් සංවර්ධනයේ දරුවන් ඉපදෙන්නේ නැහැ. නමුත් ඒක තේරුම් ගන්නේ නැහැ. ඒ නිසා අලුත් ආණ්ඩුවක් හදන්න ඕනෑ.
ජාතික චින්තනයක් සහිත නවීන ලෝකයක් සමග ඉදිරියට යා හැකි ප්‍රගතිශීලී නායකයකු රටට අවශ්‍යයි. ඒ සඳහා පක්ෂ පාට ලකුණු අවශ්‍ය නැහැ. සියලු දෙනාටම පිළිගත හැකි ප්‍රගතිශීලී නායකයෙකු ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කරගෙන ඔහු ජයග්‍රහණය කරවීම සඳහා පෙරමුණ ගත යුතුයි.

ඒ සඳහා ශ්‍රීලනිපය ප්‍රමුඛ ප්‍රගතිශීලී බලවේග හා සියළු ජාතීන් එකමුතු කර ගෙන පෙළ ගැසිය යුතුයි. ඒ ඓතිහාසික යුතුකම ඉටු කිරීම සඳහා මේ ආණ්ඩුවෙන් ඉවත් වුණේ. අපගේ මුළු ශක්තියම ඒ සඳහා යොදවා මේ රට යළි ගොඩ නැගීම සඳහා දිවිහිමියෙන් කැප වෙනවා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හිටපු සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක,  විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එම්. ජයතිලක යන මහත්වරුද අදහස් පළ කළහ.

ආණ්ඩුවෙන් ඉවත් වූ සුමේධා ජයසේන, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, තිලංග සුමතිපාල, අනුරාධ ජයරත්න, සාරානාත් බස්නායක යන මහත්ම මහත්මීහු ඇතුළු මාතර දිස්ත්‍රික්කයේ ප්‍රගතිශීලී ජනතාව සහභාගි වූහ.

ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රමුඛ කණ්ඩායම සම්මන්ත්‍රණ මාලාවට සහභාගිවීමට පෙර මාතර ඓතිහාසික බෝධිය වෙත පැමිණ මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගත්හ. වෙහෙරහේන පූර්වාරාමාධිපති කෑගල්ලේ රතනසාර, ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අනුනායක ඕමාරේ කස්සප නාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කළහ.

 



අදහස් (1)

අපි ආණ්ඩුවේ දිගටම හිටියොත් ශ්‍රීලනිපය දියවෙලාම යනවා

kalani Monday, 28 May 2018 05:31 AM

පසුගිය පළාත් පාලන ඡන්දයෙන් දියවෙලා ගිය ප්‍රමාණය හොඳටම ඇති. පිටවානෙන් නොව ප්‍රධාන සොරෙව්වෙන්ම කඩාගෙන ගියේ. දැන් ඉතිරිවෙලා තිබෙන්නේ තැන තැන රැදුන රොඩු ගොඩවල්.

:       0       30

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 183 3

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1183 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 965 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2318 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2165 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3693 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1698 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1545 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site