IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සීගිරි ගලට පිවිසෙන තවත් පියගැට පෙළක් සොයාගනියි

ලොව අටවැනි පුදුමය ලෙස විශ්ව සම්මාන දිනන්නට යෝජනා වී ඇති විෂ්මිත නිර්මාණයක් ලෙස නම්දරා තිබෙන සීගිරියේ බිතු සිතුවම් සහ නටඹුන් මතු පරපුරට රැකදීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ව්‍යාපෘතියක් දියත් කර ඇත.  


ආසියාවේ ඉපැරණිම රාජධානියක් ලෙස සැලකෙන සීගිරිය ලෝක උරුමයක් ද ලෙස යුනෙස්කෝව විසින් නම්කර තිබියදී එම ලෝක උරුමය අනාගත පරම්පරාවට ද රැක ගැනීම සඳහා මෙවැනි ව්‍යාපෘතියක් රජය මගින් ඇරැඹීම ප්‍රශංසනීය කරුණකි.  


සීගිරියේ ශේෂව පවතින නටඹුන් අතර සීගිරි බිතු සිතුවම්වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. මෙම බිතු සිතුවම් ශ්‍රී ලංකාව තුළ මේ වනවිට ආරක්ෂා වී තිබෙන ආදිතම සිතුවම් අතරට එක්වී ඇත.  


වර්ෂ 1967 ඔක්තෝබර් මාසයේදී මානසික රෝගී පුද්ගලයකු විසින් එල්ල කළ තීන්ත ප්‍රහාරයකින් විනාශ වූ සීගිරි බිතු සිතුවම් නැවත ප්‍රකෘති තත්ත්වයට පත්කරන ලද්දේ ඉතාලි ජාතික ආචාර්ය ලුසියානෝ මරෙන්සි මහතා විසින්ය.  
එවැනි සිදුවීමක් සීගිරි රාජධානියට යළි නොවේවායි පතමින් මෙන්ම එම අමිහිරි සිදුවීමට වසර 50ක් සපිරීම සනිටුහන් කරමින් සීගිරියේ ජනතාව පසුගිය සතියේදී දානමය පුණ්‍යකර්මයක් ද සිදුකළහ.  

 

 

අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු භාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුව මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක්ව මෙම සංරක්ෂණ වැඩපිළිවෙළ ක්‍රියාවට නංවයි.  


මීට අමතරව දෙස් විදෙස් සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සැපයීමේ සංවර්ධන වැඩපිළිවෙළක් ද මේ වනවිට ක්‍රියාත්මක කරමින් සිටියි.  


එසේම සංචාරකයන්ගේ අවධානයට වැඩි වශයෙන් යොමු නොවූ සීගිරි රාජධානි භූමියේ පවතින තවත් සුවිශේෂී ස්ථාන රැසක් සංචාරකයන්ගේ අවධානයට ලක්කිරීමේ වැඩසටහනක් ද මේ වනවිට ක්‍රියාත්මක කර ඇත.  
මේ සියලු කරුණු පසුගියදා සීගිරියේ කළ සංචාරයකදී අපට දැකගත හැකි විය.  


දැනට සීගිරියේ ප්‍රධාන වශයෙන්ම හමු වී තිබෙන්නේ බිතු සිතුවම් 22ක් වැනි සුළු ප්‍රමාණයක් වුව ද ක්‍රිස්තු වර්ෂ අටවැනි සියවසේදී ලියැවුණු සීගිරි කුරුටු ගීයකට අනුව බිතු සිතුවම් 502ක් පිළිබඳව කරුණු අනාවරණය වී තිබේ.  
සීගිරි සිතුවම් ප්‍රධාන වශයෙන් බටහිර ගල් පර්වතයෙහි ඇඳ තිබෙන අතර මීට අමතරව පහළ කොටසෙහි පිහිටි දැරණියගල ගුහාව, වතුර බක්කිගල, නයිපෙන ගුහාව (පරුවත ලෙන) යන ස්ථානවලින් ද විවිධාකාරයේ සිතුවම් හමු වී තිබේ.  


මෙම බිතු සිතුවම් සංරක්ෂණය කිරීමේ කාර්යය භාරව සිටින්නේ දැනට ශ්‍රී ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම සහ ප්‍රවීණතම බිතු සිතුවම් සංරක්ෂණ නිලධාරියකු ලෙස පිළිගැනීමට ලක්ව සිටින ලලිත් කුමාරසිරි මහතාය.  


වසර තිහක පමණ සේවා පළපුරුද්දක් සහිත පළමුවැනි ශ්‍රේණියේ බිතු සිතුවම් සංරක්ෂකයකු වන කුමාරසිරි මහතා සේවයෙන් විශ්‍රාම ගැනීමට ඇත්තේ තව​ කෙටි කාලයකි. ඉතාලියේ ඉක්‍රොම් නමැති ජාත්‍යන්තර බිතු සිතුවම් සංරක්ෂණ ආයතනයෙන් බිතු සිතුවම් සංරක්ෂණය පිළිබඳ විශේෂඥ පුහුණුවක් ද ලබා සිටින කුමාරසිරි මහතා මීට පෙර දඹුලු ලෙන් විහාරය, මහනුවර ශ්‍රී දළදා මාලිගාව හා සීගිරියේ ද බිතු සිතුවම් සංරක්ෂණය සඳහා කටයුතු කළ දක්ෂ නිලධාරියෙකි. මේ ඔහු සීගිරියේ බිතු සිතුවම් සංරක්ෂණයේ තිබෙන වැදගත්කම පිළිබඳ පැහැදිලි කළ ආකාරයයි.  


“අපි මේ බිතු සිතුවම්වල හායන රටාව හඳුනාගෙන හරිහැටි ප්‍රතිකර්ම යෙදුවේ නැත්නම් මතු පරපුර වෙනුවෙන් අපේ මේ වටිනා දායාදය ගිලිහිලා යනවා. මෙතැනදී අපිට රාජ්‍ය යුග ගණනාවකට නෑකම් කියන බිතු සිතුවම් ස්ථර ගණනාවක් හමුවෙලා තිබෙනවා.  


ඉහළ කොටසේ වැඩි වශයෙන්ම හමුවෙන්නේ මල් අතින් ගත් උඩුකය සහිත කාන්තා බිතු සිතුවම් පමණයි. ඉන් පහළ කොටසේදී හමුවන දැරණියගල ලෙනේ උඩුකය සහ යටිකය සහිත කාන්තා රූපයක් හමුවෙනවා. ඒ වගේම අපිට කැටපත් පවුරේ පිටත පෘෂ්ඨයේ තිබී 2006 වසරේදී පමණ හමු වුණා සිතුවම් නවයක සලකුණු. එතැනදී හමුවූ සුවිශේෂී චිත්‍රයක් තමයි දෑත් විහිදාගෙන අහසේ සිටින කාන්තා රූපය. ඒකේ උඩුකය සහ යටිකය දෙකොටසම පැහැදිලිව දිස්වෙනවා. ඒ වගේම එතැනම තිබී හමු වුණා විශාල බාහුවක් කියලා සිතිය හැකි සිතියම් කොටසක්. මේ බාහුවේ වළලුත් තිබුණු නිසා ඒක පිරිමි අතක කොටසක් විය හැකි බවට අපි වැඩි වශයෙන් විශ්වාස කරනවා.  


මේ සිතුවම් කොටස ප්‍රභූවරයකුගේ කියලා අපි විශ්වාස කරනවා. මොකද ඊට ඉහළින් තියෙන්නේ ජත්තයක් (කුඩයක්) ඉහළගත්තු රූපයක කොටසක්. මේකත් සුවිශේෂී රූපයක් කියා අපි සිතන්නේ සීගිරියේ බිතුසිතුවම් අතර පිරිමි රූප අඩු නිසයි.  


මීට මාසයකට කලින් අපි පහන්ගල කියන කොටසේ බිතු සිතුවම් සංරක්ෂණය සම්පූර්ණයෙන්ම අවසන් කළා. එතැනත් වර්ග මීටර් දෙකක පමණ කොටසක බිතු සිතුවම් තහවුරු කරලා සංරක්ෂණය අවසන් කළා.  


මීට අමතරව නයිපෙන ගුහාවේ වගේම, ආසන ගුහාවේ සහ බී හතර ගුහාවේ තිබෙන සිතුවම් වගේම බොහෝ ලෙන්වල හව්හරණක් නැති චිත්‍ර තිබූ බදාම ස්ථර ඉතා පැහැදිලිව දක්නට ලැබෙනවා. අපි මේවා ද සංරක්ෂණය කරගෙන යනවා.  


මේ සිතුවම්වලට බොහෝවිට හානි සිද්ධවෙන්නේ කාලයෙන් කාලයට මතුවන ලයිකන සහ දිලීර නිසායි. අපි මේවා ඉවත් කිරීම සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍ර ජීවී අංශය භාර මහාචාර්ය ජයරත්න මහතාගේ අධීක්ෂණය යටතේ වැඩසටහනක් ක්‍රියාත්මක කළා. ඒකෙන් ඉතාම සාර්ථක ප්‍රතිඵල ලැබුණා. මේ වනවිට අපි නයිපෙන ගුහාවේ තිබෙන ලයිකන පවා ඉවත් කරගෙන යනවා.  


බිතු සිතුවම් සංරක්ෂණයේ තිබෙන එක පියවරක් තමයි ප්‍රශ්න හඳුනා ගැනීම. ඒ අනුව හඳුනා ගත්තු ප්‍රශ්න සඳහා තමයි මීට අදාළ අනෙකුත් ආයතන සමඟ ද එකතුවෙලා අපි මේ විදියට ගන්න ප්‍රතිකර්ම ගැන තීරණය කරන්නේ. කණ්ඩායමක් විදිහට තමයි අපි කටයුතු කරන්නේ. මේ වැඩපිළිවෙළේ සාර්ථකත්වයේ රහස ඒක තමයි.  


අනාගතයේදී අදට වඩා දියුණු තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ දියුණු සංරක්ෂණ ක්‍රමවේදත් එයි. ඒ වගේම අපිට හමුනොවුණු බිතුසිතුවම් පවා හමුවීමට පුළුවන්. මොකද සීගිරි ගලේ එහා පැත්තේ කොටසකත් බිතු සිතුවම් තිබෙන බවට අපිට තොරතුරු ලැබී තිබෙනවා. අපි ඒවාත් හඳුනාගෙන මතු පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීමට බලාපොරොත්තු වෙනවා.

මේ සියලුම කටයුතු සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල වගේම, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් අපිට විශේෂ සහායක් දක්වනවා” යැයි ද කුමාරසිරි මහතා පැවැසීය.  


කටාරම් කොටන ලද ලෙන් වැඩි ප්‍රමාණයක් දක්නට ලැබෙන්නේ සීගිරියේ බටහිර පාර්ශ්වයේ වීම ද විශේෂත්වයකි. නැගෙනහිර කොටසේ ලෙන් පිහිටා තිබුණ ද ඒවායෙහි කටාරම් කොටා නොතිබීම ද විශේෂත්වයකි.


සීගිරි පර්වතයේ සැලසුම අනුව ඊට පිවිසීම සඳහා තනන ලද විවිධ ආකාරයේ දොරටු රැසක්ම මේ වනවිට සොයාගෙන ඇත. විශේෂයෙන්ම බටහිර ප්‍රවේශයේ වූ දොරටු අතර බටහිර ඇතුළු දිය අගලෙන් ඇතුළුවන ස්ථානයේ පිහිටි දොරටුව සීගිරි පර්වතයට පිවිසෙන ප්‍රධානම දොරටුව බවට හඳුනාගෙන ඇත. අනෙකුත් පිවිසුම් දොරටු සලකුණු කර තිබෙන්නේ පර්වතයට උතුරු හා දකුණු පාර්ශ්වයෙනි.  


මෙයින් ප්‍රධානම උතුරු දොරටුව පිදුරංගල කන්දට මුහුණලා පිහිටා ඇත. මෙම උතුරු දොරටුව ද දකුණු දොරටුවට සෑම අතකින්ම සමාන බවට හඳුනාගෙන තිබේ. සීගිරියේ සිංහ පාදයට පිවිසෙන ස්ථානයට ඉදිරියෙන් පිහිටි මෙම උතුරු දොරටුවේ චන්ද්‍ර පාෂාණයෙන් නිමකළ පියගැට පෙළක කොටසක් පමණක් මේ වනවිට දක්නට ලැබේ. කැලෑවට යටවී ගොසින් තිබෙන උතුරු දොරටුව හදාගෙන එහි ප්‍රතිසංස්කරණ කටයුතු ඇරැඹීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇත.  


එසේ වුවහොත් සීගිරි රාජධානිය පිළිබඳව මෙතෙක් අනාවරණය නොවූ තවත් විස්මිත තොරතුරු රැසක් ද ඉදිරියේදී අනාවරණය වනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.

  
අපේ රටේ තිබෙනවා සංරක්ෂණය කළ යුතු පුරාවිද්‍යාත්මක ස්ථාන පමණක් දෙලක්ෂ පනස්දහසත් තුන්ලක්ෂයත් අතර ප්‍රමාණයක්. අපි මේවා හඳුනාගෙන පළමු අදියරේදී රටට ඉතාම වැදගත් ස්ථාන සංරක්ෂණය කරගෙන යනවා. ප්‍රාදේශීය සහ පළාත් මට්ටමෙන් ප්‍රමුඛතාව හඳුනාගෙන අපි ඒවා ජාතික මට්ටමේ කමිටුවට යොමුකරනවා. ඊට පසුව අපි ජාතික මට්ටමේ කමිටුව මගින් ප්‍රමුඛතාව හඳුනාගෙන එම ස්ථාන සංරක්ෂණය කිරීමයි දැන් අපි සිදුකරන්නේ. සීගිරිය එයින් එක ව්‍යාපෘතියක් විදිහට හඳුන්වන්න පුළුවන්.  


අපි දැන් වෙනදාට වඩා වේගයෙන් වැඩ කරගෙන යනවා. අපි විහාරස්ථාන පමණක් දාහක් සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරලා තියෙනවා. මේවාට මීට පෙර අවධානය යොමුවෙලා තිබුණේ නැහැ. බොහෝ වෙලාවට වුණේ අපි කරන හොඳ වැඩ විවේචනයට ලක් කිරීම පමණයි.  


දැන් බලන්න මෙතෙක් කාලයක් සීගිරියට විශාල අඩුපාඩුවක් වෙලා තිබුණු විදේශිකයන් සඳහා වන වැසිකිළි පද්ධතිය හදාගන්න කාටවත්ම බැරි වුණා. අපි දැන් ස්ථාන දෙකකම මේ වැසිකිළි පද්ධතිය ඉදිකරලා අවසානයි. අපේ රට පිළිබඳව වගේම අපේ ඓතිහාසික ස්ථාන පිළිබඳව යහපත් පණිවුඩයක් විදේශිකයන්ගෙන් ප්‍රචාරය වීම අපේ සංචාරක ව්‍යාපාරයට අත්‍යවශ්‍යම දෙයක් වෙනවා.  


ඒ වගේම අනවශ්‍ය ඉදිකිරීම්වලින් සහ අපද්‍රව්‍යවලින් තොරව, ප්ලාස්ටික් සහ පොලිතීන්වලින් තොර හරිත වර්ණ පරිසරයක් ලෙස සීගිරි රාජධානියේ පරිසරය පවත්වාගන යාමට අපි සැලසුම් කරලා අවසානයි. විශේෂයෙන්ම පුරාවස්තුවල ඓතිහාසිකභාවය සුරැකෙන ආකාරයට පවත්වාගෙන යාමටත් අපි පියවර ගෙන තිබෙනවා.  


බොහෝ වෙලාවට දෙස් විදෙස් බොහෝ සංචාරකයන් කෙළින්ම ගමන් කරලා සීගිරි ගල මුදුනට නැගලා ආපසු ඒ මාර්ගයෙන්ම පහළට ගමන් කිරීම සිදුකරනවා. මේ නිසා පහළ කොටසේ තිබෙන කාශ්‍යප රජුගේ තවත් සුවිශේෂී නිර්මාණයක් වන අටපට්ටම් පොකුණ, ආසන ගුහාව, රාජ්‍ය සභා ශාලාව, දැරණියගල ලෙන, නයිපෙන ගුහාව, උගුල් ගල වැනි ස්ථාන පිළිබඳව ඔවුන්ගේ විශේෂ අවධානයක් යොමු නොවන බව අපි දුටුවා.  


මේ නිසා එම ස්ථාන පිළිබඳවත් සංචාරකයන්ගේ අවධානය යොමුකිරීම සඳහාත් විශේෂ වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා.”  


සීගිරිය ව්‍යාපෘති කළමනාකරු මේජර් නිශාන්ත මහතා සීගිරිය බිමේ සංචාරකයන් සඳහා සපයා ඇති පහසුකම් පිළිබඳව මෙසේ විස්තර කළේය.  


“සීගිරියට විශේෂම අවශ්‍යතාව වන සනීපාරක්ෂක සේවාවන් අපි මේ වනවිට උපරිමව සම්පාදනය කරලා තිබෙනවා. දිනකට දේශීය හා විදේශීය සංචාරකයෝ විශාල ප්‍රමාණයක් සීගිරිය බලන්න එනවා. විශේෂයෙන්ම ඔවුන් ගලට නැගලා බහින මොරගහමුල කියන ස්ථානයේ අපි විශාල වැසිකිළි සංකීර්ණයක් ඉදිකර තිබෙනවා. මීට අමතරව මාර්ගෝපදේශකයන්ට, වාහනවල රියැදුරන්ට විවේක ගැනීමට පහසුකම් සපයා තිබෙනවා. එසේම දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා බටහිර දොරටු සංකීර්ණය අසල තවත් විශාල වැසිකිළි සංකීර්ණයක් දැන් ඉදිකෙරෙමින් පවතිනවා.  


ඒ වගේම සීගිරිය නව ගම්මානය කියන ස්ථානයේ සාප්පු සංකීර්ණයක් ඉදිකිරීමට පියවර අරන් තිබෙනවා.

අන්තර්ජාලයෙන් ටිකට් වෙන්කර ගැනීමේ ක්‍රමවේදයක් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙනවා.”  


බඹර ප්‍රහාරයට මුහුණදීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ වියදමෙන් අපි සිංහ පාදය අසල සුවිශේෂී කූඩුවක් ද මේ වනවිට ඉදිකර තිබෙනවා. බඹර ප්‍රහාරයට ලක්වීමට පෙර සංචාරකයන්ට ආරක්ෂාව සැපයීමටත්, ප්‍රහාරයට ලක්වූවන්ට රතුකුරුස සංවිධානයේ පුහුණුව ලත් ප්‍රථමාධාරකරුවන් හරහා ප්‍රතිකාර ලබා දී පහළට ගෙන ඒම සඳහා එම කූඩුව භාවිතා කිරීමට අදහස් කරනවා. මීට අමතරව ඉහළට යන සංචාරකයින්ට ප්ලාස්ටික් ජල බෝතල් ගෙන යාමෙන් වළක්වා පිරිසිදු පානීය ජලය සැපයීමේ වැඩපිළිවෙළක් ද මේ වනවිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.  

 

 

 

 

(තොරතුරු සැපයූ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සම්බන්ධීකරණ අධ්‍යක්ෂ සුජීව සරත්චන්ද්‍ර මහතාට ස්තුතිය.)

 

 

 

 

 

 

 

සේයාරූ හා සටහන :
පුෂ්පකුමාර ජයරත්න



අදහස් (0)

සීගිරි ගලට පිවිසෙන තවත් පියගැට පෙළක් සොයාගනියි

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 165 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16139 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7899 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2786 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5238 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3931 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1411 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site