IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


රුවන්වැලි සෑයේ පුරාවිද්‍යා සොයාගැනීම්

රුවන්වැලි සෑ වැලිමළුව ප්‍රතිසංස්කරණයට පෙර

 

 

මධ්‍යම සංස්කෘතික අරමුදල පිහිටුවනු ලැබුවේ 1980 වර්ෂයේදීය. අනුරාධපුර බෞද්ධ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන කැණීම් කිරීම සහ සංරක්‍ෂණය සඳහා වැඩකටයුතු ආරම්භ කිරීමේදි විශේෂ අවධානය  අභයගිරිය සහ ජේතවන ව්‍යාපෘති ද්වය සඳහා යොමුවිය. 1982 දී එම ස්ථාන ලෝක උරුම ස්ථාන වශයෙන් යුනෙස්කෝ සංවිධානය විසින් නම් කරන ලදී. කෙසේ වෙතත් රුවන්වැලි සෑය පිහිටා ඇති මහාවිහාර භූමියේ වැඩකටයුතු බොහෝ ප්‍රමාණයක් අභයගිරිය ව්‍යාපෘතිය විසින් සිදුකරන ලදී. පුරාවිද්‍යා  වැඩකටයුතු විධිමත් පරිදි පවත්වාගෙන යාම සඳහා කටයුතු සංවිධානය කිරීමේදී මහාවිහාරය නමින් ස්වාධීන වූ ව්‍යාපෘතියක් 1997 දී ආරම්භ වුවත් ඉතාමත් කෙටි කාලයක දී මුල්‍යමය දුෂ්කරතා හේතුවෙන් බිඳවැටීමකට ලක්විය.


 ථෙරවාදි බෞද්ධ සම්ප්‍රදාය ස්ථාපිත  වූ මහාවිහාරයේ පුරාවිද්‍යා කැණීම් සහ සංරක්‍ෂණ  කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා විශේෂ අවධානය නැවත වතාවක් යොමුවුයේ 2015 වසරේදීය. මේ  සඳහා උපදෙස් සහ මඟපෙන්වීම ලබාදෙනු ලැබුවේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක සභාවේ සභාපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ රුවන්වැලි  චෛත්‍යාරාමාධිපති පල්ලේගම හේමරතන ස්වාමින්වහන්සේ විසිනි.


 පැරණි ලංකාවේ බෞද්ධාගම ප්‍රචලිත වීමේ ක්‍රියාවලියේදී මහාවිහාර සංකීර්ණය ප්‍රබල කාර්යයක් ඉටුකර ඇත. මෙම පසුබිම සකස් කිරීම සම්බන්ධ ක්‍රියාවලියේදී පැරණි ලංකාව සහ භාරත දේශය අතර පැවති සමීප සම්බන්ධතාව විශේෂ කරුණක් ලෙස දැක්විය හැකිය. එකල මෙම සමීප සම්බන්ධය දෙරට අතර ගොඩනැගීම සඳහා පැරණි ලංකාව පාලනය කළ දේවානම්පියතිස්ස රජතුමාත් භාරත දේශය පාලනය කළ අශෝක රජතුමාගේත් රාජ්‍යතාන්ත්‍රික දෘෂ්ටිය විශේෂ හේතුවක් වූ බව සඳහන් කළ හැකිය. බෞද්ධ වාස්තු විද්‍යාවේ බොහෝ ගොඩනැගිලි සංඝයා වහන්සේලාට සහ බැතිමතුනට ප්‍රයෝජනවත් වන ආකාරයෙන්  මහාවිහාර භූමිය තුළ සැලසුම් කිරීමේ භාරදූර  කාර්යය ඉටුකරනු ලැබුවේ එම සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් ලෙස ලංකාවට පැමිණි අශෝක රජතුමාගේ පුතණුවන් වූ මිහිඳු හිමියන් විසිනි. මහාවිහාරය ථෙරවාදි බෞද්ධාගමේ මුලස්ථානය බවට පරිවර්තනය වූයේ එම ඓතිහාසික සිද්ධාන්තය පදනම් කර ගනිමිනි.


 පැරණි ලංකාව ක්‍රමයෙන් දියුණු සංවර්ධන ක්‍රියාවලියකට අවතිර්ණ වීම හේතුකොට ගෙන විශාල ස්තූප නිර්මාණය වීම ආරම්භ විය. රුවන්වැලි සෑය, අභයගිරිය, ජේතවනය ඉදිවූයේ එම සමාජ ආර්ථික හා ආගමික දියුණුවේ ප්‍රතිඵලයක් වශයෙනි. අනුරාධපුර අටමස්ථානය බෞද්ධ ජනතාවගේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන නිසා දිනපතා රුවන්වැලි සෑය ඇතුළු ආගමික ස්ථාන වැඳපුදා ගැනීම සඳහා බැතිමත්හු විශාල පිරිසක් පැමිණෙති. ශ්‍රී ලංකාවේ වාර්ෂිකව පැවැත්වෙන ආගමික උත්සව හැරුණුවිට මෑත කාලයේ සිට සංවිධානය කර ඇති පිච්ච මල් පූජාව සහ සිවුරු පූජාව ඇතුළු වෙනත් උත්සවලදී රුවන්වැලි සෑය වැඳපුදා ගැනීමට ලක්‍ෂ සංඛ්‍යාත පිරිසකගේ පැමිණීමෙන් හඳුනාගත හැකිවන්නේ ලෝකයේ බැතිමත් සංචරණය සඳහා ශ්‍රී ලංකාව ප්‍රධාන ස්ථානයක් හිමිකරගෙන ඇති බවකි.


 දැනට පවතින ප්‍රධාන අභියෝගය වන්නේ විධිමත් අයුරින් පූජා සංවර්ධන කටයුතු සංවිධානය කිරීම සඳහා ප්‍රමුඛස්ථානය ලබාදීමයි. විශේෂයෙන් අනවශ්‍ය ඉදිකිරීම් ඉවත් කිරීම ඇතුළු පරිසර හිතකාමි සැලැස්මක් ක්‍රියාත්මක කිරීම සඳහා දැනට දෙස් විදෙස් ආයතන කිහිපයකම අවධානය යොමු වී ඇත. මෙහිදි රාත්‍රී කාලයේදි අටමස්ථානය වැඳපුදා ගැනීම සඳහා විදුලි ආලෝකය ලබාදීම සඳහාද අවධානය යොමුවී තිබේ.

කැණීමෙන් හමු වූ කැසිකිළි ගල් ඇතුළු පුරාවස්තු


මිහිඳු හිමියන්ගේ ලංකා දූත චාරිකාවේ ප්‍රතිඵල වශයෙන් මෙරට බෞද්ධ විහාරාරාම ඇතුළු තවත් ක්‍ෂේත්‍ර ගණණාවක ඇති වූ දියුණුව පිළිබඳ මහාවංසය විස්තර කරයි. මහාවිහාරය නම් වූ බෞද්ධ මුලස්ථානය මහාමේඝ වනය තුළ ඉදිකිරීම සඳහා මිහිඳු හිමියන් විසින් කටයුතු කළ ආකාරය සහ එමගින් පැරණි රාජකීය උද්‍යානය සංඝයා වෙත කැපකළ ආකාරය පිළිබඳවත් දිර්ඝ වශයෙන් මහාවංසය තුළ පැහැදිලි කර තිබේ.


 බෞද්ධ විහාරාරාමයක අවශ්‍යතාව සම්පුර්ණ කිරීමේදි යොදාගත යුතු ගොඩනැගිලි පිළිබඳව  විශේෂ දැනුමක් සහ පැරණි ලංකාවේ ථෙරවාදී බෞද්ධාගම ඉදිරියට ගෙනයාම සඳහා ඒවායේ භාවිතාව පිළිබඳවත් මිහිඳු හිමියන්ට විශේෂ අවබෝධයක් පැවති බවත් මෙයින් තහවුරු වේ. මෙලෙස සැලසුම් කළ මහාවිහාරයේ සැලැස්ම සඳහා බෝධිය, ථූපාරාම ස්තූපය, ලෝහපාසාදය, දානශාලාව ඇතුළු අනෙකුත් විහාරාරාම ගොඩනැගිලි සැලසුම් කිරීම සඳහා වූ ස්ථාන නම් කරන ලදී. 


මහා විහාරයේ සැලැස්ම සකස් කිරීමේදී ඉතා වැදගත් කරුණක් ලෙස සඳහන් වන්නේ එකී සැලැස්ම  තුළ රුවන්වැලි සෑය හෙවත් මහාථූපය නම් වූ ස්තූපයක් දුටුගැමුණු රජතුමා විසින් අනාගතයේදී ඉදිකරනු ලබන බවට අනාවැකියක් සඳහන් කිරීම සහ ඊට අදාළ නිශ්චිත ස්ථානය වෙන් කිරීමයි. පුරාවිද්‍යා  සාක්‍ෂ්‍ය අනුව රුවන්වැලි සෑය සහ ලෝහ පාසාදය ඉදිකරන ලද්දේ ක්‍රි.පූ. 1 සියවස  තුළ බවට තහවුරු වීම මගින් මිහිඳු හිමියන් විසින් පළකරන ලද අනාවැකිය පිළිබඳ වංශකථාවේ දක්වා ඇති ප්‍රවෘත්තිය තහවුරු කරයි. දුටුගැමුණු රජතුමා විසින් මෙම ස්තූපය අතිවිශාල ප්‍රමාණයකින් යුක්ත වන පරිදි ඉදිකිරීමට සැලසුම් කරනවිට බෞද්ධ ලෝකයේ මෙතරම් විශාල ස්තූපයක් නොවීය. එබැවින් මෙම ස්තූපය සඳහා මහාථූප නාමය එක්වූ බව සිතිය හැකිය.

 

කැණීමෙන් අනාවරණය වූ කොරවක්ගල් සහ මුරගල්

 


 බි්‍රතාන්‍ය යටත් විජිත පාලන සමයේදී අනුරාධපුරයේ පිහිටි බෞද්ධ ආගමික ස්ථාන වැඳපුදා ගැනීමට බැතිමතුන් පැමිණි බව සඳහන් වේ. පැරණි ගොඩනැගිලි නැවත යථා තත්ත්වයට පත්කිරීමේ කාර්යයේ දී රුවන්වැලි සෑය ප්‍රතිසංස්කරණය කිරීමේ කාර්යය සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටුකරනු ලැබුවේ නාරංවිට සුමනසාර හිමියන් විසිනි. උන්වහන්සේ විසින්  ස්තුපයේ සංරක්‍ෂණ කටයුතු ඉතා පරෙස්සමෙන් ආරම්භ කළ බව සඳහන්  වේ. ප්‍රදේශවාසී ජනතාව ඒකරාශි කොටගෙන මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සංවිධානය කෙරුණු අතර අනතුරුව රත්නමාලි චෛත්‍යය සංවර්ධන සමාගම මගින් වැඩකටයුතු ඉදිරියට ගෙනගොස් ඇත. 1910 අප්‍රේල් 23 වැනි දින රුවන්වැලි සෑයේ උත්සවයක් පැවති අතර එහිදී මළු දෙකම ලාම්පු ආධාරයෙන් ආලෝකමත් කළ බව සඳහන් වීමෙන් පෙනීයන්නේ වැලිමළුව මේ කාලයේදී බැතිමතුන්ගේ කාර්ය ප්‍රයෝජනය සඳහා යොමු වී තිබූ බවයි.   


රුවන්වැලි සෑ ස්තූපය ඉදිකර ඇති ආසන්නයේ ඇති සළපතල මළුවට බැහැර ප්‍රදේශය වැලිමළුව ලෙස හඳුනාගත හැකිය. වැලිමළුව පාලි භාෂාවෙන් හඳුන්වන්නේ “වාලිකාංගන” යන නමිනි. බෞද්ධ ස්තූපය සඳහා මෙවැනි අංගයක් එකතුවී ඇත්තේ ක්‍රි. පූ. 1 සියවසේදී පමණ බව සැලකිය හැකිය. ඓතිහාසික තොරතුරු අනුව මහාදාඨික මහානාග රජතුමාගේ (ක්‍රි. ව. 7-19) රාජ්‍ය සමයේදී රුවන්වැලි සෑ වැලිමළුව විශාල කරවා සකස් කළ බව සඳහන්වේ. තවද, මහානාග රජු (ක්‍රි. ව. 573-575) සමයේදී රුවන්වැලි සෑයේ ඇත්පවුර නිර්මාණය කළ බවත් මිත්තසේන රජු (ක්‍රි. ව. 428-429) සමයේදී ඇත් පවුර මැදින් ස්තූපය සඳහා දොරටුවක් නිර්මාණය කළ බවද සඳහන්වේ. අනුරාධපුර රාජධානිය බිඳ වැටීමෙන් පසු එහි බෞද්ධාගමික ගොඩනැගිලි නෂ්ටාවශේෂ බවට පත්විය. අනතුරුව පොළොන්නරු යුගයේදී අනුරාධපුර නගරයේ බොහෝ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීමට පොළොන්නරු රාජ්‍ය පාලකයින්ගේ අවධානය යොමුවූ අතර එහි දී රුවන්වැලි සෑය ආශ්‍රිත අංග සංරක්ෂණයට ලක්වූ බව සිතිය හැකිය.


රුවන්වැලි සෑයේ වැලිමළුව කැණීම් කොට සංරක්ෂණය කිරීමේ කාර්යය ආරම්භ කරනු ලැබුවේ 2016 වර්ෂයේදීය. විශේෂයෙන් දැනට ඇති සාක්ෂ්‍ය අනුව මෙම වැලිමළුව මීටර් 202X202 දිගකින් සහ පළලකින් යුක්ත වූවකි. දළ වශයෙන් බලනවිට සළපතල මළුවට අයත් හස්ති ප්‍රාකාරයේ සිට වැලිමළුවට අයත් ප්‍රාකාරය දක්වා මීටර් 30ක් පමණ පළලකින් යුක්තය. මෙම වැලිමළුව තුළ මෑත කාලවකවානුව තුළ අක්‍රමවත් ලෙස ඉදිකර තිබූ ඇතැම් ඉදිකිරීම් ඉවත් කිරීම සහ ක්‍රමවත් අන්දමින් වැලිමළුව තුළ සංස්කෘතික භූ දර්ශනය සකස් කිරීම කෙරෙහි විශේෂ අවධානය මෙහිදී යොමුවිය.

 


වැලිමළුව තුළ සහ සළපතල මළුවට අයත් ප්‍රාකාර බැම්ම අසල ජලය බැහැර කිරීමේ ක්‍රමවේදය විධිමත් කිරීම කෙරෙහි විශේෂ අවධානය මෙහිදී යොමුකොට ඇත. මෙහිදී මීටර් 10 කට සෙ. මී. 1ක් බැගින් බැස්මක් සහිතව මීටර් 1.5ක පළලකින් යුක්ත මෙම කාණුව ඇත්පවුර වටා මීටර් 576ක පමණ දිගකින් යුක්තවේ. ස්තූප වාස්තු විද්‍යාවේදී ස්තූප සළපතල මළුව සහ වැලිමළුවට එකරැස්වන ජල මාර්ග පැරැණි මූලාශ්‍රවල දක්වා ඇත්තේ “වාරිමග්ග” සහ “ජලනිග්ගමනාලි” යන නම්වලිනි. ඒ අනුව මෙම ජලය පුරාණ කාලයේදී වැලිමළුවෙන් පිටත තිබෙන පොකුණු ආදිය සඳහා ගලාගෙන යාමට සලස්වා ඇත.


රුවන්වැලි සෑ වැලිමළුවේ ප්‍රාකාර බැම්ම වටා බැතිමතුන්ගේ වන්දනා කටයුතු පහසුවෙන් කරගෙන යාම සඳහා ගල් ඇතුරුමක් ඉදිකිරීම ඉතා පරෙස්සමෙන් වැලිමළුවේ ඓතිහාසික සත්‍යතාවය ආරක්ෂා වන පරිදි සිදු කිරීම කෙරෙහි අවධානය යොමුකර තිබේ. මෙමගින් අපේක්ෂා කෙරෙන්නේ පැරැණි වැලිමළුවේ ඓතිහාසික භූ දර්ශනයට බලපෑමක් නොවන පරිදි නවීන සමාජය තුළ ජීවත්වන බැතිමතුන්ගේ ආගමික කටයුතු කෙරෙහි මූලික අවධානය යොමු කිරීම මගින් එහි ඓතිහාසික වටිනාකම ආරක්ෂා කිරීමය.
ඇත්පවුර ආසන්නයේ වැලිමළුව වටා යන පරිදි ප්‍රදක්ෂිණ පථය මගින්ද බැතිමතුන් සඳහා චෛත්‍ය වන්දනා කිරීම සඳහා පහසුවක් ඇති කිරීමට අවධානය යොමුකර තිබේ. මෙම මතුකරගත් ගොඩනැගිලි සංරක්ෂණය කිරීමෙන් අනතුරුව එම ආගමික ගොඩනැගිලි වැඳ පුදා ගැනීමේ අවස්ථාව උදාකරදීම සඳහා අවධානය යොමුකර තිබේ. රුවන්වැලි සෑය වැඳ පුදා ගැනීම සඳහා බැතිමතුන් විශාල පිරිසක් පැමිණෙන්නේ නැගෙනහිර දිශානුගත දොරටුව මගිනි. මෙහි වැලිමළුවට පිටතින් ඇති භූමි ප්‍රදේශය පුරාවිද්‍යා කැණීම්කොට සංරක්ෂණය කිරීම මගින් පැරැණි භූ දර්ශනය යළි ගොඩනැගීම කෙරහි අවධානය යොමුවී ඇත.


මෙම කැණීම මගින් විශේෂ කරුණු ගණනාවක් අනාවරණය කර ගැනීමට සමත්වී ඇත. එහිදි ගොඩනැගිලි තුනක අවශේෂ සහ ඒ හා සම්බන්ධ මුරගල්, සඳකඩපහණ, සහ කැසිකිළි ගල් කැපී පෙනේ. මේ අතර එක ගොඩනැගිල්ලක පැරැණි බදාම තට්ටුවක කොටස් හමුවීම මගින් පැරැණි තාක්ෂණය පිළිබඳව ගැඹුරින් විමර්ශනය කිරීමට අවස්ථාව උදාවී ඇත. මහාථූපය වටා මෙබඳු පරිවාර ගොඩනැගිලි රාශියක් ඉදිවී ඇත්තේ එකල භික්ෂුන් වහන්සේලාගේ නේවාසික සහ සනීපාරක්ෂක අවශ්‍යතා සඳහාය. මෙම ගොඩනැගිලි ඉදිකිරීම් ක්‍රිස්තු වර්ෂයෙන් 4-5 සියවස්වලදී ක්‍රමානුකූල අන්දමින් සකස් වීමෙන් අංග සම්පූර්ණ බෞද්ධ විහාරාරාමයක් බවට පත්වී තිබූ ආකාරය මෙම කැණීම් ප්‍රතිඵල මගින් සනාථ කරයි.


වැලිමළුවේ ගිනිකොන දිශානුගතව පිහිටි ප්‍රාකාර බැම්මට යාබදව පිහිටා ඇති පැරැණි බෝධීන් වහන්සේ වටා ප්‍රාකාරයක් ඉදිකිරීම මගින් පැරැණි බෝධිඝරයක වාස්තුවිද්‍යා සැලැස්ම එක්තැන් කිරිමට අදහස් කර ඇත. මෙමගින් වැලිමළුව ප්‍රදක්ෂිණා කරන බැතිමතුන්ට බෝධිය වන්දනාමාන කිරීමේ ඉඩකඩ ද හිමිවනු ඇත. රුවන්වැලි සෑ වැලිමළුවේ නැගෙනහිර දිශානුගතව පිහිටා ඇති පහන් වැට ප්‍රාකාර එතැනින් ඉවත්කොට ප්‍රාකාර බැම්මෙන් පිටත ස්ථාපිත කිරීම මගින් වැලිමළුව තුළ පවතින සක්‍යතාව ආරක්ෂා කිරීම සඳහා කටයුතු කොට ඇත. පහන් වැට නැගෙනහිර ප්‍රාකාර බැම්මෙන් පිටත ස්ථාපිත කිරීමෙන් එම මාර්ගයේ ප්‍රවේශ වන බැතිමතුන්ට පහන් පූජා කටයුතු අවසන්කොට චෛත්‍ය වන්දනාව සඳහා ප්‍රවේශ වීමේ ඉඩකඩ මෙමගින් සලසා තිබේ. 


රුවන්වැලි සෑය වන්දනාමාන කිරීමට පැමිණෙන බොහෝ සැදැහැවතුන් නැගෙනහිර දිශානුගත දොරටුව ඔස්සේ වැලිමළුවට ප්‍රවේශ වී වන්දනා කටයුතු සිදුකරන අතර  උතුරු දිශානුගතව වැලිමළුව හරහා යොදා ඇති ප්‍රවේශ මාර්ගය ආබාධිත සහ වයස්ගත පිරිස සඳහා සළපතල මළුවට ප්‍රවේශවීමට යොදා ගැනේ. කෙසේ වෙතත් උතුරු සහ දකුණු වැලිමළුව හරහා පෙත්මං සංරක්ෂණය කිරීම මගින් බැතිමතුන් විශාල ප්‍රමාණයකට චෛත්‍ය වන්දනාව පහසු කරලීම සඳහා අවස්ථාව උදාවනු ඇත.


වැලිමළුවේ වයඹදිග අන්තයේ අක්‍රමවත් ලෙස තැන්පත්කොට ඇති පුරාවස්තු ආදිය ක්‍රමවත් ලෙස ප්‍රදර්ශනය කිරීම සඳහා විශේෂ වැඩ පිළිවෙළක් ආරම්භ කෙරේ. මේ අනුව දිගු කාලයක් තිස්සේ අවධානයට ලක්වී නොතිබූ මෙම ප්‍රතිමා වැඳ පුදා ගැනීමේ අවස්ථාව බැතිමතුන්ට හිමිවනු ඇත.


රුවන්වැලි සෑ වැලිමළුවෙහි ඓතිහාසික සත්‍යතාවය ආරක්ෂා කොට භූ දර්ශනය සකස් කිරීමේ ක්‍රියාවලියේදී මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් එහි විශේෂඥ සේවාව සහ මූල්‍ය අනුග්‍රහය ලබාදීමට කටයුතුකර ඇත. කෙසේ වෙතත් වැලිමළුව සංරක්ෂණයේදී ශ්‍රම දායකත්වය ලබා ගැනීම සඳහා කැමැත්තක් දක්වන පිරිස සහභාගි කරවීම සඳහා වැඩ පිළිවෙළක් ආරම්භ විය. මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් මීට ඉහත ජේතවනය සහ අභයගිරිය ස්තූප සංරක්ෂණයේදී දිවයිනේ විවිධ පළාත්වල සැදැහැවතුන්ගේ ශ්‍රම දායකත්වය ලබා ගැනීම සඳහා කටයුතු කර තිබිණි. මේ අනුව අභයගිරිය ස්තූපය සංරක්ෂණය සඳහා සහභාගිවූ සැදැහැවතුන් සඳහා ආරාධනා කොට ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීම සඳහා කටයුතු ආරම්භ කෙරිණි. 


මෙම ශ්‍රම දායකත්වය නොමිලේ සැපයීම කැපී පෙනෙන කරුණක් ලෙස දැක්විය හැකිය. දුටු ගැමුණු රජතුමා විසින් රුවන්වැලි සෑයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ අවස්ථාවේ දී වැටුප් රහිතව සිය ශ්‍රමය  මෙම කාර්යය සඳහා කිසිසේත්ම ලබා නොදිය යුතු බවට ආඥා පනවා තිබූ බව පැරැණි මූලාශ්‍රවල සඳහන්වේ. එහිදී ශ්‍රමය සැපයූ ජනතාව වෙනුවෙන් සොළොස් ලක්ෂයක කහවනු විවිධ ආභරණ, ඇඳුම් පැලඳුම් විවිධ පාන වර්ග, සුවඳ මල් ආදිය සපයා තිබූ අතර ඒවා ඔවුන්ට රිසි සේ ගැනීම සඳහා ඉඩකඩ සපයා තිබුණි.
මෙහිදී පුරාවිද්‍යා සංරක්ෂකයින්ගේ උපදෙස් පරිදි වැලිමළුව තුළ තැන්පත්වී තිබූ පස් කපා ඉවත් කිරීම කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරන ලදී. මෙම ක්‍රියාවලිය අනුව ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක දහතුනකට අයත් ගම්මාන තුන්සිය විසිහතරක සැදැහැවතුන් දහසය දහසකට ආසන්න පිරිසක් ශ්‍රම දායකත්වය ලබාදීමට ඉදිරිපත්වීම රුවන්වැලි සෑ වැලිමළුව සංරක්ෂණයේ විශේෂ අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. මෙයින් පෙනී යන්නේ මේ තරම් විශාල බැතිමතුන් පිරිසක් ශ්‍රම දායකත්වය සඳහා ඉදිරිපත්වීමෙන් ආගමික සංරක්ෂණ කටයුතු සඳහා ඔවුන්ගේ ඇති උනන්දුවයි. මෙහිදී විශේෂයෙන්ම එහිදි පස් ඉවත් කිරීමෙන් අනතුරුව අඟල් 6-10 පමණ බොරලු තට්ටුවක් ඇතිරීමෙන් මළුව සඳහා ශක්තිමත් භාවයක් ලබාදීමෙන් අනතුරුව වැලි ඇතිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරිණ.


මෙම ප්‍රථම වැලි ඇතිරීමේ කාර්යයේදී වැලි පාත්‍ර 2000ක් මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් රුවන්වැලි සෑ චෛත්‍යාධිකාරි පල්ලේගම හේමරතන හිමිපාණන්ගේ අනුශාසකත්වය යටතේ සිදුකරන ලදී. සමස්තයක් වශයෙන් වැලිමළුව සම්පූර්ණ කිරීම සඳහා වැලි කියුබ් 500ක් පමණ යොදා ගැනීමට සිදුවූ අතර ඒවා බැතිමතුන් විසින් සිදුකළ පරිත්‍යාග වීම විශේෂිතය. 



අදහස් (0)

රුවන්වැලි සෑයේ පුරාවිද්‍යා සොයාගැනීම්

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 131 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16132 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7896 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2782 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5236 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3927 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 133 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1401 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1341 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site