IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මසකට දැරියන් 16ක් අතවරයට ලක්වෙන බදුල්ලේ කාන්තා උරුමය

අඟහරු ලෝකය කියා එම ගම්මානයට නම් ලැබී ඇත්තේ හුදකලා වූ මූකලානයේ පිහිටි බැවිනි. මහියංගණය - පදියතලාව මාර්ගයේ 50 කණුව හන්දියෙන් හැරී කෙසෙල්පොත, ඌව තිස්සපුර මාර්ගයේ කි.මී. 6ක් යායුතුය. යාය දෙක නම් වූ ගොවි ජනපදයේ සමුපකාර හන්දියෙන් ඉකිරියගොඩ මාර්ගය දෙසට කි. මී. 2 ක් පමණ ගිය පසු හමුවන්නේ වරාපිටියවැව හන්දියයි.

එතැන් සිට තවත් කි.මී. දෙකහමාරක් පමණ දුර කොලොන්බැද්ද මාර්ගයේ ගමන් කළ විට හමුවන්නේ තිරුවානා ගල්කන්ද රජයේ රක්ෂිතයයි. මේ ප්‍රදේශය හඳුන්වන්නේ අඟහරු ලෝකය නමිනි.

   
අඟහරු ලෝකයේ හුදකලා නිවසක දිසානායක මුදියන්සේලාගේ හීන්මැණිකා (59) සහ විජේතුංග මුදියන්සේලාගේ රේණුකා (40) යන මව සහ දුව ජීවත් වූහ. ඒ මහියංගණයේ දුෂ්කර ගම්මානවල බොහෝ කාන්තාවන් මෙන් ඔවුන්ගේ ජීවිත කතාව වන පෙත තුළට පමණක් සීමා කරමිනි.   


උල්හිටිය ජලාශය ආශ්‍රිත අනවසර වැලිතොටුපළ හීන්මැණිකාගේ සැමියා මියයාමෙන් පසු ඇය සතුවිය. සැමියා මියගිය පසු ඇය මෙම වැලිතොටුපළ වැලි ජාවාරම්කරුවන්ට බදු දී ගෙදර වියදම සොයා ගත්තාය. රේණුකා දියණියද මින් පෙර සැමියන් තුන් දෙනෙක් සමග දීග කා සියල්ල අමතක කර මහියංගණයේ බේකරියක වැඩට ගියාය.   


හීන්මැණිකාට මහියංගණයේදී හමුවූ පුද්ගලයෙක් ටික දිනකින්ම ඇගේ අනියම් සැමියා විය.   


දැන් මේ ගෙදර හීන්මැණිකා ඇගේ අනියම් සැමියා සහ රේණුකා දියණිය ජීවත්වෙමින් සිටියදී රේණුකා දියණියද අලුත් පෙම් කතාවක පැටල්‍ී එම තරුණයාද මේ ගෙදරට එන්න යන්නට විය.   


හීන්මැණිකාගේ එක් පුතෙක් කොළඹ ජීවත් වන්නේය. දිනපතාම රාත්‍රියේ අම්මාට දුරකථනයෙන් අමතා දුක සැප විමසීමට ඔහු පුරුදුව සිටියේය. එදා ඉකුත් 19 වැනිදා රාත්‍රී අම්මාට කතා කළත් පිළිතුරක් නොවුයෙන් කොළඹ සිටින සමන් පුතාට එය ප්‍රහේලිකාවක් විය.   

 

ඔහු සැණින් කතා කළේ මව සහ සහෝදරිය සමග නිවෙ​ෙස් ජීවත් වන විමලසේන හෙවත් විමලේටය. “මම අම්මට කතා කළා අම්මා ෆෝන් එක ගන්නේ නැහැ. අම්මට “මොකද වුණේ?” සමන් පුතා විමසුවේය.   
“හරි වැ​ෙඩ් වුණේ. පුතේ, අම්මයි, අක්කයි, මමයි ගෙදර රෑ බත් කකා ඉන්නකොට පොලු අරගෙන තුන්දෙනෙක් ගෙට ඇතුළුවෙලා අපට ගැහුවා. අම්මයි අක්කයි මැරුණා. මම පැනගත්තා” යැයි විමලේ උත්තර දුන්නේය.   
නිසැක වශයෙන්ම මේ විමලේගේ වැඩක් බව තේරුම් ගත් සමන් “උඹ තමයි මගේ අම්මයි අක්කයි මැරුවේ” කියා කෑගසත්ම විමලේ දුරකථනය විසන්ධි කළේය.   


සමන් කීපවතාවක්ම යළි ඇමතුම් ගත්තද විමලේ ප්‍රතිචාරයක් නොදැක්වීය.   


සමන් ඉන්පසු මහියංගණය පොලිසියට කතා කර මේ සිද්ධිය කීවේය.   

බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධම්මික වීරසේකර හා සහකාර පොලිස් අධිකාරි උදිත් ලියනගේ යන මහත්වරුන්ගේ උපදෙස් මත වහාම ක්‍රියාත්මකවු මහියංගණය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සී.ජී.කේ. විජේසේකර මහතා සිය නිලධාරිහු සමඟ අඟහරු ලෝකයට ගියහ. ඒ වන විටත් රෑබෝවී තිබිණ.   


නිවසේ දොර විවෘත කර බලන විට කාමරයක දොරට බූරු ඇඳක් හේත්තුකර තිබිණ.   


දොර තල්ලු කළද ඊට මෝල්ගසක්, අලවංගුවක් හිර කර තිබූ නිසා දොර විවෘත කිරීමට අපහසු විය.   


වැරෙන් තල්ලුකරන විට මෝල් ගස සහ අලවංගුව විසිවී දොර විවෘත විය. පොලිස් නිලධාරීන්ට දක්නට ලැබුණේ අදහාගත නොහැකි දසුනකි.   


හීන්මැණිකා ඇඳ මතම මියගොස් සිටියාය. දියණිය එම ඇඳ ළඟම බිම වැටී සිටියාය. ලේ ගංගාවකින් සිරුරු තෙත් වී තිබිණ. දෙදෙනාම මියගොස් තිබිණ.   


පොලිසිය මහියංගණ මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු වාර්තා කිරීමෙන් පසු එහි පැමිණි වැඩබලන මහේස්ත්‍රාත්වරයා මූලික නිරීක්ෂණ සිදුකර, මෘතදේහයන් දෙක බදුල්ල මහරෝහලට යවා අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට ලක්කරවා අධිකරණයට වාර්තාව ඉදිරිපත් කරන ලෙසත් විමර්ශන සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහියංගණ පොලිසියට නියෝග කළේය.   


ඒ අනුව මවගේ සහ දියණියගේ මෘතදේහයන් බදුල්ල මහරෝහලේ මෘත ශරීරාගාරයට ගෙන එනු ලැබිය.   


බදුල්ල මහරෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය සඳකැන් වඩුගේ මහතාගේ උපදෙස් මත අධිකරණ වෛද්‍ය නිලධාරි අකිල රත්නායක මහතා පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකළේය. වෛද්‍ය අමිල විජේසිංහ මහතා ද ඒ සඳහා සහාය විය.   


හීන්මැණිකාගේ ඉළ ඇට කැඩී ඇති බවත් මොට ආයුධයකින් පහරදීමක් නිසා මෙය සිදුවිය හැකි බවත් අධිකරණ වෛද්‍ය නිලධාරි අකිල රත්නායක මහතා අනාවරණය කළේය. ඊට අමතරව ඇයට වස පොවා ඇති බවටද අනාවරණය කෙරිණ. 

 
රේණුකා (දියණිය) මරණට පත්ව ඇත්තේ හිසට බරැති මොට ආයුධයකින් පහරදීම නිසා හිස් කබල පුපුරා මොළයට සිදුවූ හානියෙන් බව ද රත්නායක මහතා සිය වාර්තාවෙන් පෙන්වා දුන්නේය.   
හීන්මැණිකාගේ මෘතදේහයේ යටිපතුල්වල තිබු ලේ පැල්ලම් ගැනද ඇගේ සිරුරේ ලේ සමග රැඳී තිබූ බීඩියක් ගැන ද මෙහිදී සටහන් යෙදුවේය.   


මේ ද්විත්ව ඝාතන සම්බන්ධයෙන් හීන්මැණිකාගේ අනියම් සැමියා සැක බවට කරුණු අනාවරණය විය. විමලසේන පිළිබඳව පොලිසියට සැක පහළ වුවත් ඔහු අත්අඩංගුවට ගැනීමට තිබු ප්‍රධාන බාධකය වූයේ ඔහුගේ හැඩරුව නොදැනීමය.   


බදුල්ල පොලිස් අධිකාරි ධම්මික වීරසේකර මහතාගේ උපදෙස් මත මේ සිද්ධියේ විමර්ශන අංශ කිපයකින් පැවැත්විණ. බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණ තොරතුරු අනුව බිබිල පිටකුඹුර ප්‍රදේශයේ ජීවත්වන සැකකරුගෙන් වෙන්වූ විවාහක බිරිඳගේ නිවස සොයා ගැනිණ.   

 


එම නිවසේ සිටින සැකකරුගේ පුතකු ළඟ තිබී සැකකරු වසර කිපයකට පෙර ගත් ඡායාරූපයක් සොයා ගැනීමට බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මංගල ගුණතිලක මහතාට හැකි විය.   


සැකකරුගේ ඡායාරූපයේ හැඩරුව අනුව සැකකරු සොයා මහියංගණ පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඒ.එම්. සේනාරත්න බණ්ඩා මහතා ප්‍රමුඛ මහියංගණ පොලිසියේ නිලධාරීන් හා බුද්ධි අංශ නිලධාරීන් දින කීපයක් කළ මෙහෙයුමකින් පසු සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ මහියංගණය පරණවේවත්ත මාර්ගයේදීය. කූඹුක් ගසක් යට ඉඳගෙනසිටි සැකකරු පොලිසිය දැක පලා යන්නට උත්සාහ කළත් පොලිසියෙන් මිදීයාමට ඔහු අසමත් විය.   


පොලිසියට රැගෙන විත් ප්‍රශ්න කිරීමේදී සැකකරු පාපෝච්චාරණයක් කිරීමට කැමති විය. ඔහු පොලිසියට කළ පාපෝච්චාරණය අනුව මෙම අමානුෂික ඝාතනයේ සුලමුල හෙළිවූ බව පොලිසිය සඳහන් කරයි.   
දිසානායක මුදියන්සේලාගේ විමලසේන හෙවත් විමලේ නමැති ඔහු පොලිසියට කළ පාපෝච්චාරණය මෙසේය.   


මම කවදාවත් ඉස්කෝලේ ගිහින් නැහැ. මට සහෝදර සහෝදරියන් 5 දෙනෙක් ඉන්නවා. මම ලොකු මහත් වෙනකොට එක එක තැන්වල බිස්නස් කළා. ගොවිතැනුත් කළා. බිබිලේ පිටකුඹුර කාන්තාවක් එක්ක 1982 දි මා විවාහ වුණා. දරුවන් 5 දෙනෙක් ඉන්නවා.   


බිරිඳ හා දරුවන් මට සැලකුවේ නැතිව මාව අතහැර දැම්මා. ඊට අවුරුදු 5 කට පමණ පෙරදී මම පවුලෙන් ඈත්වෙලා යාළුවන්ගේ ගෙවල්වලයි කුලියට ගත් නිවාසවලයි ජීවත්වුණා. එහෙම ඉඳන් පොලේ පිහියා වෙළෙඳාම් කටයුතු කළා. ඔහොම ඉන්න කොට 2017 මුල හරියේ විතර මට හසලක පැත්තේ ගැහැනු කෙනෙක් පොලේදී හම්බ වුණා.   


මම එයත් එක්ක අනියම් පෙම් සබඳතාවක් ඇතිකර ගත්තා. එතකොට එයාගේ මහත්තය මැරිලා හිටියේ. එහෙම සම්බන්ධතාව පටන්ගෙන මහියංගණ මාපාකඩ ප්‍රදේශයෙන් කඩ කාමරයක් කුලියට ගෙන ඒ ගැහැනු කෙනත් එක්ක ඒකේ නතරවෙලා පලතුරු කඩයක් දාගෙන එයත් එක්ක ජීවත්වුණා.   


2017 මැයි මාසයේ විතර මම ඒ ගැහැනු කෙනත් එක්ක තරහ වෙලා එයා අතහැරල දැම්මා. ඊට පස්සේ මම ආයෙත් එක එක තැන්වල නැවතිලා වෙළෙඳාම් කරගෙන හිටියා ඒ වගේ ඉන්න කොට 2018 ජනවාරි 15 වැනිදා මහියංගණය නගරයේ දී ගැහැනු කෙනෙක් මුණ ගැසුණා. එයාගේ නම හීන්මැණිකා. (මරණකාරිය).   


අපි දෙන්නා කතාකර කර ඉන්න කොට මට දැනගන්න ලැබුණා. එයාගේ මහත්තයා මියගිහින් කියලා. මම කිව්වා මම ඔයත් එක්ක ඉන්නවට ඔයාගේ දරුවෝ කැමැති වෙයිද දන්නේ නැහැ කියලා. එයා මගේ දුරකථන අංකය ඉල්ලා ගෙන ගිහින් ඊට සතියකට විතර පස්සෙ මට කෝල් කරලා කිව්වා මම දරුවන්ටත් කිව්වා ඒගොල්ල කැමතියි ඔයා එනවට කියලා.   


ඒ නිසා මගේ ගෙදරම ඉන්න කිව්වා. ඒ දුරකථනයෙන්ම එයාගේ පුතෙකුත් මට කතා කළා. එයා කිව්වා මාමා ඇවිත් අම්මත් එක්ක ඉන්න කියලා.   


මං ගෙදරට එන්න දන්නේ නැහැ කියලා කිව්වම හීන්මැණිකා දුවත් පුතත් එක්ක මහියංගණය ටවුමට ඇවිත් මා ඒ ගොල්ලන්ගේ ගෙදරට එක්කරගෙන ගියා. හීන්මැණිකාගේ මහත්තයා දැනට අවුරුද්දකට පෙර මියගොස් ඇති බව මට දැනගන්න ලැබුණා.   


හීන්මැණිකාත් දුව රේණුකාත් එක්ක (මරණකාරියන්) මමත් මාස දෙකහමාරක් විතර ඒ ගෙදර හිටියා.   


රේණුකා දුව මහියංගණයේ බේකරියක වැඩ කළා උදේට යනවා. සවසට එනවා සමහර දවස්වල දවස් දෙක තුන ගෙදර එන්නෙත් නැහැ. මට යන්න එන්න අපහසු නිසා පොලට යාම නතර කරලා ගෙදර වත්ත වගා කරන්න කියල හිතාගෙන හිටියා.   


රේණුකා දවසක් තරුණයකු එක්ක ගෙදර ආවා. ඇවිත් දින 2 ක් විතර හිටියා. ඉඳල යන්න ගියා. මං හීන්මැණිකාට කිව්වා අහපං මේ කොල්ල එන්නේ දුව බඳින්නද? කියලා” හීන්මැණිකා මට කිව්වා උඔට වැඩක් නැහැනේ කට වහගෙන හිටපන් කියලා.   


ඔය වගේ ප්‍රශ්න නිසා රේණුකාත් මා අතරත් හීන්මැණිකා හා මා අතරත් විටින්විට ප්‍රශ්න ඇති වුණා.   


ඊට පස්සේ අප්‍රේල් 13 වැනිදා අර තරුණයා ආයෙත් ගෙදර ආවා. ඇවිල්ලා 18 වැනිදා දක්වා හිටියා.   


අප හතර දෙනා ඉන්දෙද්දි 19 වැනිදා හීන්මැණිකාගේ මියගිය පුරුෂයාගේ අවුරුද්දේ දානය යෙදුණා.   


උදේ නැගිටලා මමයි, හීන්මැණිකයි, රේණුකයි දානය හැදුවා. අර ඉලංදාරියා නිදාගෙන හිටියා. මමයි හීන්මැණිකයි දානය අරන් 8-45 ට විතර ගෙදරින් පිටත්ව පන්සලට ගියා.   


ආපසු ආවේ 3.30 ට විතර. ඒ එනකොට අර කොල්ලා හිටියේ නැහැ. රේණුකා කිව්වා එයා කොළඔ වැඩට ගියා කියලා. සිද්ධිය වූදා සවස 5-30 පමණ අපි තුන්දෙනා එකතුවෙලා රාත්‍රි ආහාර හැදුවා. බත් පරිප්පු සෝයාමීට් බෝංචි හැදුවා.   


ඒ හදන ගමන් මම කුස්සියෙන් එළියට ආවා.   


“කෙහොම හරි මේ මිනිසා ගෙදරින් එළවමු ඒ කරලා වත්තේ තියෙන තිරුවානා කෑල්ලට පර්මිට් එකක් හදලා ඒක විකුණාගෙන ඉමු කියලා. අම්මයි දුවයි සාකච්ඡා කරනවා මට ඇසුණා.   


මම එළියට වෙලා නෑහුණා වගේ කල්පනා කරමින් සිටියා. මම මුන් දෙන්නට මේච්චර හොඳින් හිටියත් මේ ගෙදරින් එළියට දාන්න හදනවා නේද කියලා දෙන්නා එක්ක තරහක් ඇති වුණා. කොහොම හිටියත් මෙහෙන් යන්න වෙනවා. මුන් දෙන්නාම මරල මම මේ ගෙදරින් යනවා කියල හිතාගෙන ගේ ඇතුළට ආවා. එතකොට වේලාව රාත්‍රී 7.30 විතර ඇති මම ගේ ඇතුළට ඇවිත් ටිකක් වෙලා ඉන්න කොට හීන්මැණිකා කිව්වා බත් බෙදලා තියෙන්නේ කාපන් කියලා.   


මම කෑවේ නැහැ. ඒ වෙලාවේ කේන්තිය වැඩිවෙලා තිබුණේ. මම බත් පිඟාන එහෙමම තියෙද්දි ඒ දෙන්නා හිටිය කාමරයට ගියා. එතකොට ඒ දෙන්නා ඇඳේ වාඩිවෙලා බත් කමින් සිටියා. ඒතැනට ගිහින් මම කිව්වා මම උඹලගෙන් සමුගන්නවා කියලා. එතකොට හීන් මැණිකා කිව්වා පිස්සු නැතිව බත් කාපන් කියලා. 


(ඔහු එතැන්සිට කාන්තාවන් ඝාතනය කළ හැටි විස්තර කර ඇත.) 


ඊට පස්සේ මම බෙඩ් සීට් එකක් අරන් කාමරේ ජනේලයට දාල වැහුවා. වහල ඒ කාමරේ දොර අලවංගුවක් හා ​ෙමා්ල් ගහක් තියලා හේත්තු කරලා වහලා එළියට ඇවිත් අර වහපු දොරට බූරු ඇඳ තියලා ආවරණය කළා.   
එහෙම කරලා ඉස්සරහ දොරෙන් ගේ ඇතුළට ඇවිත් ඒ දෙන්නට ගහපු තලපත්ත අරගෙන සරමයි, කමිසෙකුයි ෂොපින් එකට දාගෙන ඒකත් අරන් ෆෝන් එකත් අරන් මම ඇඳගෙන හිටිය කමිසය හා බොටම (කොට කලිසම) පිටින්ම ගෙදරින් එළියට ආවා.     


ඔහු මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.   


සැකකරු විසින් මේ ඝාතන සදහා යොදාගත් මෝල්ගහ, තලප හැන්ද හා සැකකරුගේ ලේ තැවරුණ කමිසය, කොට කලිසමද වස කුප්පියද සොයාගැනීමට බදුල්ල පොලිස් අධිකාරි ධම්මික වීරසේකර මහතාගේ අධීක්ෂණය යටතේ විමර්ශන සිදුකළ පොලිසිය සමත්ව තිබේ.   


මහමුකළානයට පමණක් සීමා වූ මේ කාන්තාවන් දෙදෙනාගේ අසරණ බවේ මේ කතාව මේ ඉසව්වේ ස්ත්‍රීන් මුහුණ දෙන මහා ඛේදවාචකයන්හි එක් දිග හැරුමක් පමණි.   


දුගීබව, නූගත්කම හා අනාරක්ෂිත බව නිසා ජීවිත වල්මත්ව අන්ත අසරණව වැලි ජාවාරම්කරුවන් හා මත්ලෝලීන් ඇතුළු පව්කාරයන්ගේ කෙළිබඩු වූ ස්ත්‍රීන් සියදහස් ගණනක් මේ දුෂ්කර ගම්මානවල සිටින බව නොරහසකි.   


එහෙත් ඒ පව්කාරයන්ට බයේ තොරතුරු වසන් කිරීමත්, පණ නල ගැට ගසා ගැනීම සඳහා ඕනම දේකට මුහුණ දීමත් නිසා පොලිසියටද කළ හැක්කක් නැති තත්ත්වයකට පත්ව තිබෙන බව අපේ විමර්ශනයේදී අනාවරණය විය.   


දරුවන් වැදූ මව්වරු පමණක් නොව බාල වයස්කාර දැරියන්ගේ ද ජීවිත වල්මත්ව ඇති බවට බදුල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ දත්ත සාක්කි දරනු ඇත.   


අධිකරණ වෛද්‍ය නිලධාරි අකිල රත්නායක මහතා පැවසුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ අපයෝජනයට හා දුෂණයට ලක්වූ බාල වයස්කාර දැරියන් මාසයකට 16 දෙනෙකු පමණ බදුල්ල මහරෝහල් අධිකරණ වෛද්‍ය අංශයේදී වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමුවන බවය.

 

 

 

 

 

සටහන හා ඡායාරූප :
බදුල්ලේ පාලිත ආරියවංශ

 

 

 

 

 



අදහස් (0)

මසකට දැරියන් 16ක් අතවරයට ලක්වෙන බදුල්ලේ කාන්තා උරුමය

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 215 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16154 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7904 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2789 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5239 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3938 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 307 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1682 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site