IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පාතාලයෙක් ඝාතනයට උසාවියට අවිගෙන ආ “ලොකු මයියා”

 

ගල්කිස්ස අධිකරණයේ විභාගවීමට නියමිතව තිබූ නඩුවකට ඉදිරිපත් කරනතෙක් අධිකරණ සිර මැදිරියේ බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ රැකවල් යටතේ රඳවා සිටි පාතාල කල්ලි නායකයෙක් සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් ලෙස සැලකෙන දේමුණි හැරල්ඞ් රෝහණ හෙවත් ගොනාකෝවිලේ රොහා ඝාතනය කිරීමට ගිනි අවි දෙකක් රැගෙන ආ බව කියන පාතාල ප්‍රබලයකු ලෙස සැලකෙන ලොකුමයියා නමැත්තෙක් මේ වනවිට සිටින්නේ පොලිස් අත්අඩංගුවේය.


පාතාල ප්‍රබලයෙක් ලෙස සැලකෙන ලොකුමයියා නමින් හැඳින්වෙන පුද්ගලයා රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ගොනාකෝවිලේ රොහා ඝාතනය කිරීමට සැලසුම් සකස් කළ අය මෙන්ම ඒ හා සම්බන්ධ වැදගත් තොරතුරු රැසක්ම මේ වනවිටත් අනාවරණය වී හමාරයි.


ගොනාකෝවිලේ රොහා අධිකරණ සිර මැදිරියේ රඳවා සිටියදී වෙඩි තබා මරා දැමීමට යොදා තිබූ සැලැස්ම වැළැකී ගොස් ඇත්තේ නූලෙනි.


බැරිවෙලාවත් රොහාට වෙඩි තැබුවේ නම් සමහරවිට ඔහු පමණක් නොව ඔහුත් සමග සිර මැදිරියේ රඳවා සිටි අනෙකුත් රැඳවියන්, බන්ධනාගාර නිලධාරීන් හා අධිකරණයට පැමිණ සිටි තුන්හතර දෙනෙක් හෝ අඩුම තරමින් මියගොස් තවත් පිරිසක් තුවාල ලැබීමට බොහෝ සෙයින් ඉඩ තිබුණ බව පොලිසියේ විශ්වාසයයි.


මේ ඒ කතාවේ පෙළගැස්මයි.


පාතාල ලෝකයේ ප්‍රබල නායකයෙක් මෙන්ම ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් ලෙස සැලකෙන ගොනාකෝවිලේ රොහා ඉකුත් 11 වැනිදා උදේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන නඩුවකට ඉදිරිපත් කිරීමට රැගෙන එන නිසා ඊට කලින් දිනයේ ගල්කිස්ස කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන අතුකෝරල මහතා පොලිස් නිලධාරීන් කැඳවා එදිනට යෙදවිය යුතු ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.


දෙහිවල සිට ගල්කිස්ස අධිකරණය දක්වා ද ඒ අවට ප්‍රදේශයේ ද එදින (11) දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවනු ලැබුවේ ඒ අනුවය.
මහර අධිකරණයේ විභාග වන නඩුවකට ද ගොනාකෝවිලේ රොහා 10 වැනිදා බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි රැකවල් යටතේ රැගෙන ආ අවස්ථාවේ ද ඒ අවට ප්‍රදේශයේ විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබිණි.


මෙවැනි ආකාරයට මහර අධිකරණය හා ගල්කිස්ස අධිකරණයට විශේෂ පොලිස් රැකවල් යොදවනු ලැබුවේ ඔහුට ප්‍රතිවාදී පාතාල කල්ලියකින් එල්ල වී තිබූ තර්ජන ගැන සැලකිල්ලට ගනිමිනි.


බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි රැකවල් යටතේ රැගෙන ආ ගොනාකෝවිලේ රොහා නමැත්තා අධිකරණ සිර මැදිරියේ රඳවා සිටියේ ඔහුට එරෙහිව පවරා තිබූ නඩුව කැඳවන තෙක්ය.


ගොනාකෝවිලේ රොහා අධිකරණ සිර මැදිරිය තුළට දමා වැඩි වේලාවක් ගත වූයේ නැත.


ගිනි අවි දෙකක් සහ උණ්ඩ 10ක් සහිත පාර්සලයක් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ බංකුවක් අසල බිම වැටී තිබී සොයා ගැනීමත් සමග එහි දැඩි නොසන්සුන් තත්ත්වයක් උද්ගත වූ අතර අධිකරණයේ කටයුතු ද ඒ සමගම අත්හිටුවීමට පියවර ගත්තේය.


අධිකරණයේ නඩුවක් විභාග වෙද්දී එහි බංකුවක් මත වාඩිවී සිටි අයකු අතේ තිබූ පාර්සලයක් බිමට වැටෙනු දුටු ඒ බංකුවේම වාඩිවී සිටි අයෙකු ඒ බව පාර්සලය තබාගෙන සිටි පුද්ගලයාට පවසා ඇත.


ඒ සමගම කලබලයට පත් වූ පාර්සලය ළඟ තබාගෙන සිටි පුද්ගලයා බිම වැටී තිබූ පාර්සලය අහුලා ගන්නවා වෙනුවට බංකුවෙන් නැගිට කලබලයෙන් මෙන් පිටව ගොස් තිබේ.


මේ සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත පාර්සලය බිම වැටෙනු දුටු පුද්ගලයා ඒ බව වහාම අධිකරණයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියකුට දැනුම් දී තිබිණි.


පොලිසිය පැමිණ බංකුව යට වැටී තිබූ පාර්සලය පරීක්ෂා කර බලනු ලැබුවේ ඒ පුද්ගලයා කළ දැනුම්දීම මතය.


චීනයේ නිෂ්පාදිත 3.8 වර්ගයේ පිස්තෝලයක් සහ ඊට යොදා තිබූ ජීව උණ්ඩ 04ක් ද රිවෝල්වරයක් සහ එම උණ්ඩ 6ක් ද මෙම පාර්සලයේ තිබී පොලිසියට සොයා ගැනීමට හැකිවිය.


බන්ධනාගාර නිලධාරීන්ගේ හා පොලිසියේ විශේෂ රැකවල් යටතේ රොහා සිර මැදිරියෙන් පිටතට ගෙන බන්ධනාගාර බස් රථයකින් ඔහු රඳවා සිටි බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබීය.


ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන අතුකෝරල සහ පොලිස් අධිකාරි රොහාන් ප්‍රනාන්දු යන මහත්වරුන් ද සිද්ධිය සැල වූ මොහොතේම අධිකරණ භූමියට පැමිණියේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවීමටය.


පිස්තෝලය සහ රිවෝල්වරය එකට තබා ඒවායේ කටවල් දෙපැත්තට සිටිනසේ ගැටගසා ඒවාට උණ්ඩ පුරවා එවලේම වෙඩි තැබීමට හැකිවන අයුරින් සූදානම් කර තිබූ බව පොලිසියට පෙනී ගොස් ඇත.


එක් ගිනි අවියක උණ්ඩ ඉවර වූ සැණින් අනෙක් ගිනි අවියෙන් වෙඩි තැබීමට හැකිවන අයුරින් මේ ආකාරයට රිවෝල්වරය සහ පිස්තෝලය සූදානම් කර තිබූ බවද පොලිසිය කළ පරීක්ෂණවලදී හෙළිවිය.


පොලිසිය සැක කළේ මෙම ගිනි අවි ගොනාකෝවිලේ රොහා ඝාතනය කිරීමට ගෙනා ඒවා බවටයි.


මෙම ගිනි අවි පාර්සලය සොයා ගැනීමත් සමගම නඩු විභාග කටයුතු අත්හිටුවා අධිකරණයේ සහ අධිකරණ භූමියේ සිටි කිසිවකුටත් පිටවී යාමට ඉඩනොදී සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී.


පොලිස් නිල සුනඛ ජෙනී ද පරීක්ෂණවලට සහාය කරගනු ලැබූ අතර ගිනි අවි දෙක එකට බැඳ තිබූ නූල් කැබැල්ල ඉව කිරීමට සැලැස්වීමෙන් පසු සුනඛයා අධිකරණ ශාලාවේ හා භූමියේ රඳවා සිටි පිරිස් අතරින් ගියත් ගිනි අවි පාර්සලය ගෙනා පුද්ගලයා සොයා ගැනීමට නොහැකි වී ඇත්තේ  ඒ වනවිටත් ඒවා ගෙනා පුද්ගලයා පලා ගොස් තිබුණ නිසාය.


මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි ලාල් සෙනෙවිරත්න මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් නිල සුනඛ ජෙනී මෙහෙයවනු ලැබුවේ පොලිස් සැරයන් ටී.බී. රත්නායක (31135) මහතා විසිනි.


අධිකරණ භූමියේ කිසිම පැහැදිලි හේතුවක් නොමැතිව රැඳී සිටි තරුණයන් 20 දෙනෙකු මෙම සෝදිසි මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ඔවුන් ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඞ් මිගාල් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 13 වැනිදා දක්වා රිමාන්ඞ් භාරයේ තැබීමට නියෝග කරන ලදී.


මෙලෙස රිමාන්ඞ් බාරයට පත්වූයේ රත්මලාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ට අඩු තරුණයින් පිරිසකි.


මෙම තරුණයන්ට අධිකරණ භූමියට ඇතුළුවීමට කිසිදු හේතුවක් තිබී නොමැත.


සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මෙම තරුණයන් මෙම සිද්ධියට කිසිදු සම්බන්ධතාවක් නොමැති අය බවය.


ගල්කිස්ස ප්‍රදේශයේ පැවැති ක්‍රිකට් තරගයකට සහභාගි වීමට පැමිණියත් එම තරගය ආරම්භ කිරීමට කල්වේලා තිබුණ නිසා අධිකරණ භූමියට මෙම තරුණයන් පැමිණි බවට නීතිඥවරුන් තවදුරටත් අධිකරණයට කරුණු දක්වමින් පවසා තිබිණි.


පොලිසිය මේ අවස්ථාවේ කරුණු දක්වමින් කියා සිටියේ මොවුන් සම්බන්ධයෙන් අධිකරණයේ කිසිදු නඩු කටයුත්තක් විභාග නොවන බවත් එසේ තිබියදී මෙම පිරිස නිකරුණේ අධිකරණයට පැමිණීම සැක සහිත බවය.


මෙම තරුණයන් කණ්ඩායම අධිකරණයට කැඳවාගෙන ආ බව කියන  තැනැත්තා ගැන හෙළි වූයේ අල්ලාගත් අයගෙන් පොලිසිය කරන ලද ප්‍රශ්න කිරීම්වලදීය.


ගොනාකෝවිලේ රොහා ඝාතන සැලැස්ම ක්‍රියාත්මක කරන වෙඩික්කරුවන්ට සහාය ලබා ගැනීමට එක් තරුණයෙකුට රුපියල් 2000 බැගින් හා බත් පාර්සලය බැගින් ලබා දී මෙම තරුණයන් 20 දෙනා කැඳවාගෙන පැමිණි බව ද කරුණු අනාවරණය වූ නිසා මෙම තැනැත්තා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.


පොලිසිය තමාව අත්අඩංගුවට ගැනීමට සොයන බව දැනගත් සැකකරු නීතිඥවරයකුගේ මාර්ගයෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිසියට බාරවූයේ පසුගිය 2 වැනිදාය.


පොලිසියට බාර වූ ඔහු පසුව අත්අඩංගුවට ගැනිණි. ගල්කිස්ස මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් පුෂ්පකුමාර, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ගුණතිලක සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධනංජය පෙරමුණ යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවා ඇත.


ගිනි අවි දෙකක් සහ උණ්ඩ 10ක් සහිත පාර්සලය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ ශාලාවක් තුළට උපක්‍රමශීලි ලෙස ගෙනා බව කියන පාතාල කල්ලි ප්‍රබලයෙක් බවට සැලකෙන ලොකුමයියා නමින් හැඳින්වෙන අයෙක් අත්අඩංගුවට ගනු ලැබුවේ වැල්ලවත්ත පොලිසියේ පොලිස් පරීක්ෂක සුනිල් ප්‍රසන්න සිල්වා මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.


ලොකුමයියා නමැත්තා ද ගොනාකෝවිල ප්‍රදේශයේම පදිංචි අයෙකි.


පොලිසිය මුල සිටම සැක කළේ ගිනි අවි දෙක අධිකරණ ශාලාවට ගෙනාවේ  ගොනාකෝවිලේ රොහා මරා දැමීමට යැයි කියාය.
අත්අඩංගුවට ගත් ලොකු මයියාගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමේදී ඒ බව තහවුරු කර ගත්තේය.


“ගොනාකෝවිලේ රොහා අධිකරණයට එන නිසා එදා ලොකු පොලිස් ආරක්ෂාවක් යොදා තිබුණා. ඒ නිසා මට ගිනි අවි පාර්සලය උසාවියේ ප්‍රධාන ගේට්ටුවෙන් අරගෙන ඇතුළට යන්න බැරි බව තේරුම් ගියා. ඊට පස්සේ මම කළේ අධිකරණයේ පිටුපසට වන්නට තියෙන තාප්පය මත ගිනි අවි පාර්සලය තබා පසුව ප්‍රධාන දොරටුව ළඟට එක එකයි. ප්‍රධාන දොරටුවේ ආරක්ෂාවට යොදවා හිටිය පොලිස් නිලධාරීන් මාව හොඳටම සෝදිසි කළා. මාව විතරක් නෙමේ ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළු වෙන සේරම පරීක්ෂා කළා. ප්‍රධාන ගේට්ටුවෙන් වෙපන් අරන් යන්න ගියානම් මාව පොලිසියට මාට්ටු වෙනවා. ප්‍රධාන ගේට්ටුවේ සිදුකෙරුණු සෝදිසි කිරීම්වලට ලක්වෙලා අධිකරණ භූමියට ගියාට පස්සේ තාප්පය මත තබා ආ වෙපන් පාර්සලය අරගෙන ඇවිත් අධිකරණ ශාලාව තුළට ගියා” යැයි සැකකාර ලොකු මයියා නමැත්තා පොලිසියට පාපෝච්චාරණයක් කරමින් පවසා තිබෙන බව දැනගන්නට ඇත.


සැකකාර ලොකුමයියා නමැත්තා ගිනි අවි දෙක අධිකරණ ශාලාව තුළට රැගෙන ගිය ආකාරය ගැන කළ මේ හෙළිදරව්ව කෙරෙහි ද පොලිසියට තදබල සැකයක් මතුවී තිබෙන බව කියති.


ඒ නිසා ගිනිඅවි දෙක අධිකරණය තුළට ගෙනගිය ආකාරය ගැන සැකකරු කළ පාපෝච්චාරණය කෙරෙහි ඇතිවී තිබෙන තදබල සැකසංකා ඔස්සේ පොලිසිය තවදුරටත් මෙහි ඇති සත්‍ය අසත්‍යතාව ගැන කරුණු අනාවරණය කර ගැනීමට පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.


පොලිසිය සැකකරනුයේ වෙනත් උපක්‍රමයක් යොදාගෙන මෙම අවි දෙක අධිකරණය තුළට ගෙන යන්නට ඇතැයි කියාය.
කෙසේ වෙතත් ඉදිරියේදී මෙහි සත්‍ය අසත්‍යතාව හෙළිවනු නොඅනුමානය.


ලොකුමයියා නමැති පාතාල ප්‍රබලයාගේ සහෝදරයෙක් වන පොඩිමයියා නැමැත්තාද මේ සිද්ධිය වූ දිනයේ ගල්කිස්ස අධිකරණය තුළ සිට අවි අසුවීමත් සමගම පලාගොස් ඇති බවට ලැබුණු තොරතුරු ඔස්සේ ඔහු අත්අඩංගුවට ගැනීමටද පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.


අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම්වලට ලක් කෙරෙන ලොකුමයියා නැමැත්තා පොලිසියට පවසා තිබෙන බව කියන අන්දමට ගොනාකෝවිලේ රොහාට වෙඩි තැබීමට මුලින්ම සූදානම්ව සිට ඇත්තේ ඔහු බන්ධනාගාර බස් රියෙන් බිමට බස්සවා අධිකරණ ශාලාවට ගෙන යන අතරවාරයේ වුවත් ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වී ඇත.


ඉන්පසු ලොකුමයියා නැමැත්තා ගිනිඅවි පාර්සලයද රැගෙන අධිකරණ ශාලාවේ මහජනයාට ඇති කොටසේ ඇති බංකුවේ වාඩිවී එය ඔඩොක්කුවේ තබාගෙන සිට ඇතැයි කියන්නේ ඉලක්කය ගැනීමට අවස්ථාව ලැබෙන තෙක්ය.


ගිනි අවි සහිත පාර්සලය එක්වරම ලොකුමයියා අතින් ගිලිීහී් ගොස් ඇත්තේ අතේ තවරාගෙන සිටි කිසියම් ආලේපන වර්ගයක් නිසාය.
ගිනිඅවි පාවිච්චිකිරීමේදී ඒවායේ තමාගේ ඇඟිලි සලකුණු සටහන් නොවීමට මෙවැනි ආලේපන අතේ තවරාගත් බව සැකකරු පොලිසියට පවසා තිබෙන බවද කියති.


 ගොනාකෝවිලේ රොහා මැරීමට ලොකුමයියා නැමැත්තාට කොන්ත්‍රාත්තුව දී ඇත්තේ අංජු නමින් හැඳින්වෙන අයෙකු බව පොලිසිය තොරතුරු සොයාගත්තේය.


අංජු නැමැත්තා වෙන කවුරුවත් නොව මහර උසාවියේ විභාගවන නඩුවකට පෙනී සිට ආපසු යෑමට සූදානම් වූ අවස්ථාවේ වෙඩි ප්‍රහාරයකට ලක්ව පසුගිය වසරේ ජූලි මාසයේදී මරුම් කෑ සුරේෂ් අසංක හෙවත් ගොනාකෝවිලේ ලංසියාගේ සහෝදරයෙක් වන්නේය.
අංජු නැමැත්තා මෙවරත් පලාගොස් සැඟව සිටින්නේ මැලේසියාවේය.


ඒ ඔහුව මිනීමැරුම් හා මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට ගැනීමට සොයන නිසාය.


ලොකුමයියා නැමැත්තාද පොලිසියෙන් ඇල්ලීමට සොයන නිසා මැලේසියාවට පලාගොස් සැඟව සිට ගොනාකෝවිලේ රොහා මරා දැමීමට එහි සිට පැමිණ තිබුණේ පසුගිය පෙබරවාරි මාසයේය.


මගේ සහෝදරයාව මරපු එකේ පළිය කොහොම හරි රොහාගෙන් ගන්න ඕන. උඹ ගිහින් ඌව ඉවරයක් කරලා දාලා වරෙන්. ඌව ඉවරයක් කරන කම් මගේ හිතට කිසිම සහනයක් නැහැ. රොහාව මරන්න මම සේරම ප්ලෑන් කරලයි තියෙන්නේ. උඹට බය වෙන්න කිසිම දෙයක් නැහැ. ගානට වැඬේ කරපන්.


මැලේසියාවේ සිට එන්න කලින් ලොකුමයියාට අංජු නැමැත්තා එසේ පවසා තිබෙන බව කියති.


වෙඩිකා මිය ගිය ලංසියාගේ අවසන් කටයුතු ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදුකෙරුණු අතර මිනී පෙට්ටියට හා මළසිරුර සුසාන භූමියට රැගෙන යන අතරවාරයේ හෙලිකොප්ටරයකින් මල් ඉසීමට ලක්ෂ 20ක් පමණ මුදලක් වියදම්කර තිබුණු බව දැනගන්නට ලැබුණේ ඔහුගේ පවුලට සම්බන්ධ අයගෙනි.


ලොකුමයියා නැමැත්තා ලංසියාගේ සමීපතමයා හා විශ්වාසවන්තම සගයකුව සිට ඇත.


ඒ නිසා ලංසියාගේ ඕනෑම වැඩකට ලොකුමයියාද සම්බන්ධකරගෙන ඇත්තේ විශ්වාසවන්තකම නිසාය.


ලොකුමයියාට බාර දෙන වැඩක් ලෙහෙසියෙන් වැරදී ගොස් නොමැත. ඒ වුණත් රොහා මරන්න බාරදුන් කොන්ත්‍රාත්තුව නම් වැරදී ගියේ නොසිතූ ආකාරයෙනි.


ගොනාකෝවිලේ රොහා සහ ගොනාකෝවිලේ ලංසියා කාලයක් හොඳම මිතුරෝ වූහ.


මේ දෙන්නා ගැන කරුණු කාරණ දන්නා පොලිසියේ අය කියන ආකාරයට දෙන්නාට එකතුවී හෙරොයින් ජාවාරම ජයටම කරගෙන ගොස් ඇත.


පසුකාලයක මේ දෙන්නා විරසකවී ඇත්තේ හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් ඇතිවූ බව කියන ගනුදෙනු සම්බන්ධයෙනි.


මේ විරසකය නිසා ගොනාකෝවිලේ රොහා හා ගොනාකෝවිලේ ලංසියා අතර ඇතිවී තිබෙන්නේ නයි පෙළොං වෛරයකි.


මොවුන් දෙන්නාගෙන්ම මැතිවරණවලදී උදව් ඉල්ලා ගත් පසුගිය රජයේ හිටපු ඇමතිවරයෙක් මේ දෙන්නාව ලොකු හෝටලයකට ගෙන්වා සාමදාන කර ඇතත් ඒ සමාදානය ටික කාලයකට පමණක් සීමා වූවක් බව තතුදත්තෝ පවසති.


මේ පාතාල නායකයින් දෙන්නාගේ විරසකය නිසා මේ වන විටත් දෙපාර්ශවයේම හතර පස්දෙනෙක් මැරුම්කා ඇත්තේ වෙඩි ප්‍රහාරවලට ගොදුරු වීමෙනි.


රොහාගේ ඥාති සහෝදරයෙක් පිළියන්දල ප්‍රදේශයේදීද, වාද්දුව දුම්රිය ස්ථානයට නුදුරේදී බාප්පා කෙනෙක්ද ලංසියාගේ ඥාතියෙක් වන නාගරික මන්ත්‍රීවරයෙක්ද සහ තවත් අයෙක් රත්මලාන රේල්ගේට්ටුව අසලදීද මරා දමා තිබිණි.


රොහා පොලිස් අත්අඩංගුවට පත්වන්නේ කුරුණෑගල මාස්පොත ප්‍රදේශයේ හෝටලයක් අසලදී කුරුණෑගල මූලස්ථාන පොලිසියේ උප පොලිස් පරීක්ෂක දසනායක මහතාට වෙඩි තබා ඝානතය කිරීම සම්බන්ධයෙන් සැකපිටය.


මහර උසාවිය ආසන්නයේදී ගොනාකෝවිලේ ලංසියා ඝාතනය කිරීමටද පැමිණ ඇත්තේ ගොනාකෝවිලේ රොහා බව පොලිසිය කියයි.
මැලේසියාවට පලාගිය ලංසියාගේ සහෝදරයා එහි සිට තම සහෝදරයාගේ පාතාල ගෝල බාලයන් සමග නිරන්තරයෙන් ජංගම දුරකථන හා ස්කයිබ් තාක්ෂණය ඔස්සේ සම්බන්ධකම් පවත්වමින් හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇති අතර ප්‍රතිවාදීන් ඝාතනය කිරීමටද සැලසුම්කර නියෝග ලබා දී තිබෙන බව පොලිසියට දැනගැනීමට ලැබී ඇත.


ලංසියාගේ ඝාතනයෙන් පසු ඒ තැන ගත්තේ ඔහුගේ මේ සහෝදරයා වන අංජු නැමැත්තාය.


පොලිසිය පවසන ආකාරයට රොහාගේ ඥාතියෙක් පිළියන්දලදී වෙඩිතබා මරා දමා ඇත්තේද ලොකුමයියා විසිනි.


මැලේසියාවේ සිට පැමිණ මෙම ඝාතනය සිදුකර ලොකුමයියා ආපසු ඒ රටටම ගොස් ඇත.


පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ මෙහෙයවීමෙන්  වනවිටත් පාතාලය මර්දනය කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.


බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ විශේෂ උපදෙස් මත කොළඹ දිසා බාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, කොළඹ අපරාධ විමර්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා, කොළඹ දකුණු කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පාලිත පනාමල්දෙණිය සහ කොළඹ දකුණ සහකාර පොලිස් අධිකාරි රොෂාන් ඩයස් යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල විජේමාන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් පරීක්ෂක සුනිල් ප්‍රසන්න සිල්වා මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.

සටහන ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
 
 

 



අදහස් (0)

පාතාලයෙක් ඝාතනයට උසාවියට අවිගෙන ආ “ලොකු මයියා”

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 168 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16142 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7899 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2786 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5238 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3933 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site