IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


නැගිටින්න අතදුන් පාසල බලන්න ආ ඇමෙරිකාවේ ඉන්න ලාංකිකයා

ගමේ හැදී වැඩී නගරයට යන ඇතැම්හු ටික කලකදී ගම අමතක කරති. ගමේ සිරියාව ඇළ දොළ, වන රොදවල් වෙල් එළිය, ගහ කොළ පමණක් නොව එකට හැදුණු වැඩුණු හිත මිතුරෝද ඔවුහු අමතක කරති. මේ අයුරින්ම ගමෙන් නගරයට පැමිණ එතනින් විදේශ ගතවන සමහර දෙනා ගම පමණක් නොව උපන් මව්බිමද අමතක කරති. හිත මිතුරන් පමණක් නොව ඇතැම් විට මාපිය සොයුරු සොයුරියන්ද අමතක කරති.   


 එහෙත් අප මේ කියන්නට යන්නේ මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ බොහෝ සැප පහසුකම් මැද්දේ පදිංචිව සිටියත් අදින් වසර 40 කට පමණ පෙර තම නෑඹුල් තරුණ විය ගෙවා දැමූ හද්දා පිටිසර ගම්මානයකට මෙන්ම එහි මිනිසුන්ටද පෙර සේම ආදරය කරන අපූරු මිනිසෙකු ගැනය. නගරයේ ඉපිද හැදී වැඩී තුරුණු වියේදී හද්දා පිටිසර ගමක දහසකුත් එකක් දුක් කම්කටොලු විඳ පසුකලෙක නගරයටත් එතනින් ඇමරිකා එක්සත් ජනපදයටත් ගොස් මිල මුදල් යහමින් අත ගැවැසුනද තමුන් තාවකාලිකව ජීවත්වූ ගම මෙන්ම ගමේ මිනිසුන්ද අමතක නොකළ මිනිසෙකු පිළිබඳවය.   


ඔහු කොළඹ පන්නිපිටියේ ඉපිද 1979 වසරේදී වියලුවේ අතිදුෂ්කර පාසලක්වූ කලුගහකඳුර මහා විද්‍යාලය වෙත පැමිණ වසර 12 කට අධික කාලයක් තිස්සේ එහි ගණිත විද්‍යා ගුරුවරයෙකු ලෙස සේවය කළ ඒ හේමපාල ද සිල්වා මහතාය.   


මේ වන විට සිය බිරිය හා දරුවන් දෙ​ෙදනා ද සමග ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ පදිංචිව සිටින ඔහු අපට හමුවූවේ නිවාඩුවක් ගත කිරීමට තම මව්බිමට පැමිණ, වසර 12 ක කාලයක් තිස්සේ තමා රැකියාව කළ කලුගහකඳුර ගම්වාසීන්ගේ දුක සැප බලන්නට එම ගමට පැමිණි අවස්ථාවේ දී ය.   


‍වසර 27 කට පසුවත් තමාට සෙවණ දුන් පාසලත් දුක සැප බෙදා ගනිමින් තමුන් ඇසුරු කළ එම ගම්මානයේ ජනතාවත් අමතක නොකළ මේ අපූරු පුද්ගලයා ඔවුන් සොයා පැමිණ සිටියේ හිස් අතින්ම නොවේ. තවමත් දියුණුවේ අරුණැල්ලක් පවා වැටී නොමැති මේ දුෂ්කර ගම්මානයේ මිනිසුන්ට කිසි දිනෙක අමතක නොවන අන්දමේ දැවැන්ත වෛද්‍ය කඳවුරක්ද රැගෙනය.   


ඔහු සේවය කළ කලුගහකඳුර මහා විද්‍යාලයේ දී පැවැති මෙම වෛද්‍ය කඳවුරට දන්ත වෛද්‍ය සායනයක්, අක්ෂි සායනයක්, වෛද්‍ය සායනයක්ද ඇතුළත්වූ අතර 600 කට ආසන්න පිරිසකට මෙහිදී ප්‍රතිකාර සිදුකෙරිණි. එසේම අක්ෂි සායනයට පැමිණි 300 කට අධික පිරිසකට මෙහිදී ඇස් කණ්ණාඩි පිරිනැමීමද විශේෂ සිදුවීමක් විය.   


ඔහු සේවය කළ කලුගහකදුර ගම්මානයේ පමණක් නොව ඒ අවට ගම්මාන රැසක සිය දහස් ගණනක් ජනතාව වෙනුවෙන් පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂ දහයකට අධික වියදමක් ඒ සඳහා ඔහු වෙන් කර තිබිණි.   
සායනයට පැමිණි රෝගීන් සඳහා නොමිලේ ​ෙවෙද්‍ය පරීක්ෂණ මෙන්ම ඖෂධ ලබාදීමද සිදුකෙරුණු අතර, ප්‍රතිකාරවලට කලක් තිස්සේ යොමු නොවී සිටි රෝගීන් රැසක් ඉදිරි ප්‍රතිකාර සඳහා රජයේ රෝහල් වෙත යොමු කිරීම ද මෙහිදී සිදු කෙරිණි.   


වෛද්‍ය සායනය සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ඇතුළු බදුල්ල පළාත් මහ රෝහලේ වෛද්‍ය නිලධාරීන්, මීගහකිවුල දිසා රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය සුජීව අබයකෝන් මහතා ඇතුළු වෛද්‍ය නිලධාරින්ද හෙද හෙදියන් ඇතුළු 20කට ආසන්න සේවක සේවිකාවන් පිරිසක්ද ස්වෙච්ඡාවෙන්ම කිසි දිනෙක ඇසුරු කර නොමැති හේමපාලද සිල්වා මහතාගේ මෙම සත් ක්‍රියාව වෙනුවෙන් සිය දායකත්වය ලබාදීමට කටයුතු කිරීම ද විශේෂ සිදුවීමක් විය.   


මීට අමතරව බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ජංගම දන්ත වෛද්‍ය ඒකකයේ නිලධාරීහුද ස්වෙච්ඡාවෙන්ම මෙම සත්කාර්යය සඳහා සිය දායකත්වය ලබා දුන්හ.   


මෙම පිංකම සදහා සිල්වා මහතාගේ බිරිද සීතා රංජනී මනතුංග, ඇයගේ සොහොයුරෙකු වූ මහ බැංකුවේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික මනතුංග අත්තනායක මහතා මෙන්ම එම දෙපළගේ පවුලේ සාමාජික සාමාජිකාවෝ විශාල පිරිසක්ද කලුගහකඳුර විදුහලේ විදුහල්පති ඩී. එම්. ජිනදාස මහතා ඇතුළු ගුරු මණ්ඩලය, ශිෂ්‍ය ශිෂ්‍යාවෝ මෙන්ම ප්‍රදේශවාසීහුද ඔහුගේ මෙම සත් ක්‍රියාවට පූර්ණ සහයෝගය ලබා දුන්හ.     


අදින් වසර 40 කට පෙර තමා සේවය කළ කලුගහකඳුර ගම්මානයේ එදා තත්ත්වය මෙන්ම මෙම සත් කාර්යය සම්බන්ධයෙන්ද ඉරිදා ලංකාදීපය වෙත අදහස් දැක්වූ හේමපාල සිල්වා මහතා මෙලෙස කීය.   


“මගේ උපන් ගම පන්නිපිටිය. මම 1979 වසරේ තමයි මේ කලුගහකඳුර ගමට ආවේ. ඒ ගණිත විද්‍යා ගුරුවරයෙක් විදිහට. නගරයේ හැදී වැඩී පාසල් ගිය මට මේ ගමේ දුෂ්කර ජීවිතයට හැඩගැහෙන්න ටිකක් අමාරු වුණා.   
මම වැඩට ආව මුල්ම දවස තාමත් මතකයි. අද වගේ මේ ගමට වාහන එන්නේ නැහැ. පානදුර ඩිපෝවේ ඉඳල කැටවත්ත ගමට එන බස් එකේ ඇවිත් ගුරුමඩ හංදියෙන් බැහැලා එතන ඉඳල කිලෝමීටර් 20 ක් විතර පයින් ඇවිත් තමයි මම මේ පාසලට ආවේ. මම අරගෙන ආව බෑග් මලු උස්සගෙන අඩි පාරක් වගේ දුෂ්කර මාර්ගයේ කඳු පල්ලම් තරණය කරගෙන ඉහින් කනින් දාඩිය පෙරාගෙන මේ ගමට එන්න මට පැය හතරකටත් වඩා ගියා. 

 

 

සිල්වා පවු​ෙල් අය සමග

වෛද්‍ය සායනයට පැමිණි රෝගීන් කොටසක්


හැබැයි ගමට ආවට පස්සේ ගමේ මිනිස්සු වගේම පරිසරය දැක්කම මට මහන්සිය නැති වුණා. ඒ කාලේ මේ ගම අදටත් වඩා හරිම ලස්සනයි. බැලූ තෙක් මානයේ කුඹුරු. අනිත් පැත්තේ කැලෑව. ගමට වාහන ආවේ නැහැ. අඩි පාර. බඩු අරන් ආවේ තවලම්වලින්. මිනිස්සු ලෙඩ වුණාම කදක බැඳල උස්සගෙන යනවා. ඒ කාලේ සිමෙන්ති දාල උලු වහල හදපු ගෙවල් දෙක තුනකට වඩා තිබුණේ නැහැ. බොහොමයක් ගෙවල් කටුමැටි පිදුරු මානා වගේ දේවල්වලින් තමා හදල තිබුණේ.   


ගොවිතැනින් වගේම කිතුල් මැදලා ජීවත්වුණූ හරිම අව්‍යාජ පිරිසක් තමා ගමේ හිටියේ. පාසලේ තිබු​ෙණත් එක ගොඩනැගිල්ලයි. සමහර දරුවො සරම් ඇඳගෙන පාසල් ආවා මට මතකයි. නිසි වයසට පාසලට දරුවන් බාර දීමක් පවා ඒ කාලේ තිබුණේ නැහැ.   


අපිට ඉන්න පොඩි ගුරු නිවාසයක් තිබුණා. මම වගේම පිට පළාත්වලින් ආව ගුරුවරු පිරිසක් ඒ ගුරු නිවාසේ හිටියා. මුලින්ම අපිට කෑම ලැබුණේ ගමේ කෝරාල මහත්තයගේ ගෙදරින්. අපේ විදුහල්පති තුමා වුණේ එතුමගේ ලොකු පුතා මනතුංග මහත්තයා. 

 
ගම පුරුදු වුණාට පස්සේ අපි උයාගෙන කෑවා. නගරයේ තියෙන දේවල් මිලදී ගන්න නම් කිලෝමීටර් 25 ක් විතර ගෙවාගෙන මීගහකිවුල නගරයට යන්න ඕනි. ඒ නිසා අපි නගරයට යන අයට කියල අවශ්‍ය දේවල් ගෙන්වා ගත්තා. හුගක් වෙලාවට අපේ ආහාරයට එකතු වුණේ ගමේ දේවල්. ලුණු ඇරුනම අනිත් හැම දේම මේ ගමේ තිබුණා.  


ගමට විදුලිය තිබුණේ නැහැ. කුප්පි ලාම්පු තමයි පත්තු ක​ෙළ්. සමහර ගෙවල්වල පුළුන් සහ කැකුණ මද තළලා හදපු “මල කැට” කියලා ජාතියක් ඉටිපන්දම් වගේ පත්තුකරලා තමා ආලෝකය ලබා ගත්තේ.   


පාසලේ වැඩි පහසුකම් තිබුණේ නැහැ. දරුවෝ හරිම නිහතමානියි. අපිට ආදරෙයි. විශාල ගෞරවයක් තිබුණා. ඒ අය අදටත් ගමට ආවම අපිට ගරු කරනවා. අපි තරුණ ගුරුවරු නිසා සමහර වෙලාවට දරුවන්ට දඬුවම් කරනවා. හැබැයි කිසි කෙනෙක් අපිට විරුද්ධව කතා කළේවත් නැහැ.   


අපිට බාහිර දේවල් තිබුණේ නැහැ. ඒ නිසා අපි හුඟක් වෙලාවට පාසල් වෙලාවෙන් පස්සෙත් දරුවන්ට ඉගැන්නුවා. ඒ නිසාම මේ ගමේ පාසලේ දරුවෝ නගරයේ දරුවන්ටත් වඩා අධ්‍යාපන මට්ටම අතින් ඉදිරියෙන් හිටියා.   
මේ දරුවො ඒ කාලේ කිසි කෙනෙක් ක්‍රිකට් ගැන අහලවත් තිබුණේ නැහැ. නමුත් මම මේ දරුවන්ට ක්‍රිකට් ගහන්න ඉගැන්නුවා.   


බස් එකකට නගින්න හුගක් දුර යන්න ඕනි නිසා අපි අත්‍යවශ්‍යම දේකට මිසක් බදුල්ල නගරයට වත් යන්නේ නැහැ. හුඟක් වෙලාවට නිවාඩු දෙන දවසට තමයි අපි නගරයට ගිහින් එතනින් ගමට යන්නේ. ඒ කාලේ දරුවෝ අපි නිවාඩුවට ගෙදර යනකොට අපේ බෑග් ටික පවා බස් එක ළඟට ගිහින් දෙනවා අපිට මතකයි.” 

 
නගරයේ සිට ගමට පැමිණි සිල්වා මහතාගේ විවාහ ජීවිතයට අඩිතාලම වැටෙන්නේද එම ගම්මානයේදීමය. ඒ පිළිබදවද හෙතෙම සිහිපත් කළේය.   


‘‘මේ ගමට ඇවිත් ටික කාලයක් යද්දිම මේ ගම මට මගේ ගම වගේ දැනෙන්න පටන් ගත්තා. අපිට හුගක් නිදහස තිබුණා. අපි පාසල් වෙලාවෙන් පස්සේ මේ ගමේ වගේම අවට ගම්වල ඇවිදින්න ගියා. කඳු හෙල් නැගගෙන දිය කඳුරු ඕවිටි මැදින් අඩි පාරවල් දිගේ ගිය ගමන් හරිම සුන්දරයි. මේ ගමේ අපි නොගිය අඩි පාරක් නාපු නැති දොළ පාරක් කෑමක් බීමක් නොගත්ත ගෙයක් නැති තරම්. මොකද ඒ කාලේ මිනිස්සු හරිම අව්‍යාජයි. අපි පාරේ යනව දැක්කත් ගෙවල්වලට කතා කරල හකුරු කෑල්ලක් එක්ක තේ කෝප්පයක් කිතුල් රා වීදුරුවක් දෙන්න තරම් ඒ අය සංග්‍රහශීලි වුණා. හේන් කාලෙට ඉරිඟු වගේ දේවල් ගෙනත් දුන්නා. ඉස්සර මේ ගම්වල මිනිස්සු කැලේ මැදට ගිහින් ඒව එළි පෙහෙළි කරල හේන් වවනව. හේන්වල හදන පැල්වලම තමයි හේන් ඉවර වෙනකම් ඉන්නේ. සමහර වෙලාවට ඒ පැලකට ගොඩ උනොත් ඒ අය අපිටත් පිලිස්සු ඉරිඟු වගේ දේවල්වලින් සංග්‍රහ කරනව.   


ඔය අතරේ මම වැඩකරපු විදුහලේ විදුහල්පති තුමාගේ නැගණිය සමග මම විවාහ වුණා. ඇයත් ගුරුවරියක්. ආදර සම්බන්ධතාවයක් හරහා තමයි විවාහය සිදු වුණේ. “මේ සිද්ධිත් එක්ක මට මේ ගම මගේ ගම වගේ දැනෙන්න පටන් ගත්තා.   


“මම අවුරුදු 12 ක්ම මේ ගමේ වැඩ කළා. මම උපන් ගමටත් වඩා මේ ගම සමීප වුණා. ගමේ හැමෝටම අපි කතා කළේ මාමා නැන්දා අය්යා අක්කා කියල. හැමෝම ජීවත් වුණේ නෑදෑයෝ වගේ. හැබැයි අපි එහෙම හිටියට මේ අය අපිට ගරු කළා.   


කොහොම වුණත් මට 1992 දී කොළඹ රාජකීය විද්‍යාලයට මාරුවීමක් ලැබුණා. හැබැයි මම ඒ පාසලට ගියත් මට ගම අමතක කරන්න බැරි වුණා. ගමේ මිනිස්සු මගේ ගෝලයෝ මට නිතර මතක් වුණා. ඒ නිසා කොළඹ ඉන්න කාලෙදිත් මම කීප වතාවක්ම මේ ගමට ඇවිත් ගමේ මිනිස්සු එක්ක කතා බහ කරලා යන්න පුරුදු වුණා.   


ටික කාලෙකට පස්සේ මම ගුරු වෘත්තියෙන් විශ්‍රාම අරන් ඇමරිකාවේ පදිංචියට ගියා. මගේ බිරිය වගේම දරුවොත් දැන් ඉන්නේ ඇමරිකාවේ. මම බිරිඳත් එක්ක ව්‍යාපාරයක් කරගෙන යනවා. පුතා වෛද්‍යවරයෙක්. දියණියත් මගේ වැඩවලට උදව් කරනවා. අපි දැන් වසර 10 ක විතර කාලයක් ඇමරිකාවේ පදිංචිවෙලා ඉන්නවා.   


මම ඇමරිකාවේ හිටියත් මට නිරතුරුව කලුගහකඳුර ගම වගේම මිනිස්සු මතක් වෙනවා. මම හැමදාම හිතුවේ අවුරුදු 12 ක් මට කන්න බොන්න දීල සලකපු මිනිස්සුන්ට මොනව හරි දෙයක් මගේ අතින් කරන්න ඕනි කියල. මම මේ අදහස මගේ බිරිඳට වගේම පවුලේ අයටත් කියද්දි ඒ අය එකහෙළාම ඊට එකඟ වුණා.   


ඒ අනුව තමයි මම මේ වෛද්‍ය කඳවුර සංවිධානය කළේ. මම හිතුවේ මේ ගමේ අයට මගේ අතින් දෙන්න තියෙන හොඳම දේ මේ වෛද්‍ය කඳවුර කියලයි. කාලෙකට ඉස්සර මියගිය මගේ බිරිඳගේ දෙමාපියන්ට පින් සිද්ධ වෙන්නත් එක්ක පවුලේ හැම දෙනාම එකතු කරගෙන අපි මේ වෛද්‍ය කඳවුර සාර්ථකව පැවැත්වුවා. ඒකට මම කවදාවත් දැකලාවත් නැති මීගහකිවුල හා බදුල්ල රෝහල්වල වෛද්‍ය නිලධාරින් ඇතුළු විශාල පිරිසක් කැමැත්තෙන්ම ඇවිත් මට උදව් කළා. මිනිස්සුත් හරියට සතුටු වුණා. ඇස් දෙක නොපෙනුණු විශාල පිරිසකට පෙනීම ලබා දෙන්නත් අපිට මේ හරහා හැකි වුණා. මට ඕනෑ වුණේ මේ ගමේ අය සතුටු කරන දෙයක් වගේම ඒ අයට ප්‍රයෝජනවත් වෙන දෙයක් කරන්නයි. මම මේකට කීයක් වැය වෙනවද කියල කිසි දවසක හිතුවේ නැහැ. මම හිතුවේ මේකෙන් මිනිස්සුන්ට ලැබෙන ප්‍රතිඵලය ගැන විතරයි. මම හිතන්නේ ඒ දේ ඕනෑවටත් වඩා සිද්ධ වුණා කියලයි.   


මේ ගමේ මිනිසුන් එක්ක ගත කරපු ජීවිතේ, ඒ මිනිස්සු මට සලකපු දේවල් ගැන හිතුවම ඒ ණය ගෙවන්න මේ සායනයක් කරල ප්‍රමාණවත් නොවුණත් ඒ මිනිස්සු වෙනුවෙන් දැනෙන යමක් කරන්න මට පුළුවන්වීම ගැන මට හරිම සතුටක් දැනෙනව. කොහොම වුණත් මේ වැඩේ සාර්ථක කර ගන්න උදව් කළ හැමෝටමත් සායනයට ආව හැමෝටමත් ස්තූති කරන්නත් මම මේක අවස්ථාවක් කර ගන්නවා” උපන් ගම රට අමතක කර තම මව්බිමට පිටුපාන බොහෝ දෙනෙකුට සැබෑ ආදර්ශයක් වූ සිල්වා මහතා අව්‍යාජ සිනහවකිවන් මුව සරසා ගනිමින් එසේ පැවැසීය. 

 

 

 

 

සටහන - ජායාරූප වියලුව වාර්තාකරු 
නිශාන්ත කුමාර   

 

 



අදහස් (0)

නැගිටින්න අතදුන් පාසල බලන්න ආ ඇමෙරිකාවේ ඉන්න ලාංකිකයා

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 204 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16149 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7903 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2787 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5239 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3938 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 288 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site