IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


දුම්රිය මගීන්ගේ බඩු උස්සන අඹු සැමි යුවළ

 

දුම්රිය මගීන්ගේ ජංගම දුරකතන හා මුදල් පසුම්බි සොරාගෙන යාමේ නිරත සිටි බව කියන තරුණයෙක් සහ ඒ සඳහා හවුල්වූ බව කියන ඔහුගේ ගැබිනි බිරිය ද අත්අඩංගුවට ගනු ලැබුවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදීය.


දුම්රිය ආරක්ෂක අංශයේ නිලධාරීන්ට කොටුවූ අවස්ථාවේ තරුණ අඹුසැමි යුවළ ඔවුන් දන්නා උප්පරවැට්ටි සේරම දමා බේරීයාමට නොගත් උත්සාහයක් නම් නොමැත. කොච්චර උප්පර වැට්ටි දමා දුම්රිය ආරක්ෂක නිලධාරීන්ගේ ඇස්වසා ගැලවීයාමට උත්සාහ කළත් වැඩක් නම් වූයේ නැත.


අවසානයේදී තරුණ ගැබිනි මව සහ ඇයගේ සැමියා දුම්රිය ආරක්‍ෂක නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්විය.


මේ ඒ කතාවයි.


ත්‍රිකුණාමලයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රියට මව සිය දියණිය සමඟ ත්‍රිකුණාමලයේ දුම්රිය ස්ථානයෙන් රාත්‍රි තැපැල් දුම්රියට ගොඩවූයේ කොළඹ ඒමටය.


විදෙස් රටක රැකියාවට යෑමට නියමිතව සිටි දියණියට ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය පරීක්‍ෂණයකට ලක්වී වෛද්‍ය වාර්තා ලබාගත යුතු නිසා ඔවුන් දෙදෙනා ත්‍රිකුණාමලයේ සිට කොළඹ පැමිණ ඇත.


පසුදින අලුයම් කාලය වනවිට දුම්රිය කොටුව දුම්රිය ස්ථානය වෙත ළඟා වෙමින් තිබිණි. අනේ දුවේ කවුදෝ මගේ හැන්ඞ් බෑග් එක ඇරලා මොබයිල් ෆෝන් එක අරගෙන. ඒ ෆෝන්එක දාලා තිබුණ කවරය ඇතුලේ රුපියල් 6000කුත් තිබුණා.


මව සිය දියණිය අමතා කියා ඇත්තේ තරමක් උස් හඬිණි. මව සහ දියණිය වාඩිවී සිටි දුම්රිය මැදිරියේ ඔවුන් දෙදෙනා සමීපයේ තරුණ ගැබිනි කාන්තාවක් සහ තරුණයෙක් වාඩිවී සිට ඇත. 


දුරකථනය නැහැ යැයි කියා පවසද්දී තරුණයා සහ ඔහුත් සමඟ සිටි ගැබිනි කාන්තාව තැතිගත් ස්වරූපයක් තිබූ බව මවට සහ දියණියට පෙනී ගොස් තිබේ. 


 ඔයගොල්ලෝ මගේ හැන්ඞ්ෆෝන් එක ගත්තානම් කරුණාකරලා ආපසු දෙන්න වෙන කවුරුහරි ෆෝන් එක ගත්තද? කියා කාන්තාව පවසද්දී ගැබිනි බිරිය හා ඇයත් සමඟ සිටි තරුණයා ගෝරනාඩු දමන්නට පටන් ගත්තේ අපි හොඳ වැදගත් මිනිස්සු අපිට කාගෙවත් ෆෝන් හොරකම් කරන්න අවශ්‍යය නැහැ යැයි කියමින්ය. 


මේ ඉන්නේ මගේ අයියගේ නෝනා එයාට බබෙක් හම්බවෙන්න ආසන්නයි කොළඹ ප්‍රයිවට් හොස්ට්පිට්ල් එකකට එක්කරගෙන යනවා. ඩොක්ටර් කෙනෙක් චැනල් කරන්න. අයියා එයාගේ කාර් එකෙන් හදිස්සි වෙනත් වැඩකට ගියා. ඒකයි අද අයියගේ නෝනත් එක්ක මම ආවේ. අපි කෝච්චියේ යන මිනිස්සු නොවේ. අද කාර් එක නැති හින්දයි කෝච්චියේ ක්ලිනික් යන්න ආවේ.
ගැබිනි කාන්තාව සමඟ සිටි තරුණයා එක දිගටම කියාගෙන ගියේ අවට සිටි මගීන්ට ද ඇසෙන අන්දමිනි. කෝච්චිපෙට්ටියේ ගමන්ගත් මඟීන් වැඩි දෙනෙක්ද පවසා ඇත්තේ මේ නෝනයි මහත්තයයි නම් මේ වගේ දෙයක් කරණ අය කියා හිතන්න අමාරු බවයි.


මඟීන් මෙනවා කිව්වත් කාන්තාව කියා ඇත්තේ තමාගේ හෑන්ඞ් ෆෝන් එක අත් බෑග් එකේ සිප් එක ඇර ඉස්සුවේ මේ දෙදෙනාගෙන් එක් අයෙකු බවයි.


ඇයගේ ඒ කතාව විශ්වාස කිරීමට තියා ඇයගේ පැත්තට කතා කිරීමට කිසිවෙක් ඒ දුම්රිය මැදිරියේ සිටියේ නැත. දුම්රිය කොටුව දුම්රිය ස්ථානයේ නතර කළ පසු ගැබිනි කාන්තාව සහ තරුණයා බැස වේදිකාව දිගේ යද්දී මව සහ දියණිය ද ඔවුන් පසු පසින් ගොස් දුම්රිය ආරක්ෂක නිලධාරීන්ට වෙච්ච සිද්ධිය කියා ගැබිනි කත සහ තරුණයා පෙන්වා  ඇත.


දුම්රිය ආරක්ෂක නිලධාරීන් වහා ක්‍රියාත්මකව ගැබිනි කාන්තාව සහ ඇයත් සමඟ සිටි තරුණයා නතර කරගෙන ඔවුන් දෙදෙනා කැඳවාගෙන ගියේ කොටුව දුම්රිය ස්ථානයේ පිහිටි දුම්රිය ආරක්ෂක සේවා මූලස්ථානය වෙතය.


තමන් ව්‍යාපාරිකයකු බවත් අනුනගේ දේවල් සොරා ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් සොරුන් කියා තමන්ට චෝදනා කිරීම ගැන ජංගම දුරකථනය නැතිවූ කාන්තාවට සහ දුම්රිය ආරක්ෂක නිලධාරීන්ට බැණ වදින්නට පටන්ගත්තේය. 


ගැබිනි කාන්තාවද ඊට දෙවැනි නොවීය.


ඇය ද බැණ වැදුනාය.


කුසේ ඉන්නා දරුවා ගැනවත් සිතා කටයුතු නොකිරීම ගැන කියමින් ඇය බැණ වැදී ඇති බව කියති. මේ දෙදෙනා සතුව තිබූ බෑග් පවා පරීක්‍ෂාකර බැලුවත් කාන්තාව සතුව තිබියදී නැතිවූ ජංගම දුරකථනය සොයා ගැනීමට නොහැකි විය.


එහෙත් මව සහ දියණිය එකහෙලාම පවසා ඇත්තේ දුරකථනය සොරාගත්තේ මේ දෙදෙනාගෙන් කෙනෙක් බවය.


දුම්රිය අරක්ෂක නිලධාරියෙකුට කදිම අදහසක් පහළ වූයේ මේ අවස්ථාවේදීය.


ඔහු ජංගම දුරකථනය නැතිවූ ත්‍රිකුණාමලයේ කාන්තාවගෙන් ඇයගේ ජංගම දුරකථන අංකය ඉල්ලාගෙන එම අංකයට ඇමතුමක් ලබාදී ඇත. ඒ අවස්ථාවේ ගැබිනි කාන්තාවගේ සිරුරෙන් ජංගම දුරකථනය නාද වීමට පටන් ගත්තේය.


ජංගම දුරකථනය නාද දෙන්නට පටන් ගත් අවස්ථාවේ ගැබිනි කාන්තාව බියට පත්වූවාය. ඇය කොච්චර බයට පත්වුවා ද කියා කියනවාම් ඇඳසිටි ඇඳුම් දහඩියෙන් පෙඟීගොස් ඇත.


ඇයගේ තොල්කට පවා වියළීගොස් ඇති බවත් පෙනෙන්නට තිබුණි. 


මෙච්චර වෙලාවක් තමන් වැදගත් අය බව කියමින් බැණ වැදුණු ගැබිනි කාන්තාව සහ තරුණයා කිසිවක් කරකියා ගත නොහැකිව බිම බලාගෙන සිට ඇත්තේ ඊළඟට සිදුවන්නේ කුමක්දැයි කියා සිතා ගත නොහැකිව වන්නට ඇත.


තනපට අස්සේ ගසාගෙන සිටි ජංගම දුරකතනය ගැබිනි කාන්තාව අරගෙන දුම්රිය අරක්ෂක නිලධාරීන්ගේ අතට පත්කළේ වේව්ලමිනි.


ඔවුන් දෙදෙනාටම කටඋත්තර නැති විය.


ජංගම දුරකතනයේ අයිතිකාර කාන්තාවට තරුණයා කියා තිබුණේ මේ ඉන්නේ මගේ සහහෝදරයාගේ නෝනා කියාය.


එහෙත් ඒ කතාව බොරුවක් බව හෙළිවූයේ දුම්රිය ආරක්ෂක නිලධාරීන් ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදීය.


ගැබිනි කාන්තාව සමඟ සිටි තරුණයා ඇයගේ සැමියා විය.


ගැබිනි කාන්තාවගේ වයස අවුරුදු 19 වන අතර ඇයගේ සැමියාගේ වයස 21 කි.


මට බබා හම්බවෙන්න තව දවස් හතරකට පහකට වඩා නැහැ. හොස්පිට්ල් එකට ඇඞ්මිටි වෙන්න යන ගමන් සැමියා මට හෑන්ඞ් ෆෝන් එකක් කෝච්චියේදී දුන්නා. මම ඒක වැඩි පරිස්සමට තනපට අස්සේ ගසා ගත්තා. සැමියා හොරකම් කරපු එකක් කියා මම දන්නේ දැන් තමා. ඇය දුම්රිය ආරක්ෂක නිලධාරීන් හමුවේ කියා ඇත්තේ හැඬූ කඳුළිනි. 


දුම්රිය ආරක්ෂක නිලධාරීන් පැවසුවේ සැමියා විසින් කාන්තාවගේ අත්බෑගය සූක්ෂම ලෙස ඇයට නොපෙනෙන ලෙස විවෘත කර ජංගම දුරකථනය සොරාගෙන බිරිඳ අතට පත් කිරීමෙන් පසු ඇය (ගැබිනි කාන්තාව) එය තනපට අස්සේ සඟවාගෙන ඇති බවයි.
ගැබිනි කාන්තාවගේ තනපට අස්සේ සඟවාගෙන තිබියදී සොයාගත් ජංගම දුරකථනයේ වටිනාකම රුපියල් 37,000කි. 


ජංගම දුරකථනය සොරා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා දුම්රියේ ගැට කපන නම ගිය අයෙක් බව දුම්රිය ආරක්ෂක නිලධාරීන් පවසයි.


මීට පෙරද ඔහු දුම්රිය ආරක්ෂක නිලධාරීන්ට මේ වගේ සොරකම් කර කොටුවී ඇති අයෙකි. 


විවාහ වීමට පෙර සිටම මොහුගේ ජීවන වෘත්තියවී තිබෙන්නේ කෝච්චියේ ගොස්  මගීන්ගේ ජංගම දුරකථන හා මුදල් පසුම්බි ඉස්සීමය.


මේ වැඬේට ඔහු රුසියෙක් බව දුම්රිය ආරක්ෂක නිලධාරීන් පවසයි.


සැකකාර තරුණයා ඔහුගේ බිරිඳ කරගත් තරුණිය සමඟ හොර රහසේ පැනගොස් ඇත්තේ ඇය බාල වයස්කාර දැරියක්ව සිටියදීය. ඒ දෙන්නා අතර පැවති ප්‍රේම සම්බන්ධතාවයක ප්‍රතිඵලයක් වශයෙනි.


දැරියගේ මව්පියන් මේ සම්බන්ධයට විරුද්ධ නිසා අවසානයේ දෙදෙනා පැනගොස් ඇත්තේ යුග දිවි මිහිර විඳීම සඳහාය.


මව්පියන් මේ ගැන පොලිසියට පැමිණිලි කිරීම නිසා තරුණයාට බාල වයස්කාර දැරියක් අපහරණය කිරීමේ චෝදනාව යටතේ බන්ධනාගාර ගත කිරීමට සිදුවී ඇති අතර දැරියට පරිවාස බාරයේ සිටීමට සිදුවී ඇත.


වයස සම්පූර්ණ වූ පසු මේ දෙදෙනා නීත්‍යානුකූලව විවාහවී ඇත. දුම්රිය ආරක්ෂක නිලධාරීන් මේ තොරතුරු අනාවරණය කර ගත්තේ අඔු සැමි යුවළගෙන් ප්‍රශ්න කිරීමේදීය.


ගැබිනි කාන්තාව මේ සුදානම් වී සිටින්නේ ඇයගේ කුළුදුල් දරු ප්‍රසූතිය සඳහාය.


සැකකාර අඹුසැමි යුවළ අත්අඩංගුවට ගනු ලැබුවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ විශේෂ අපරාධ පරීක්‍ෂණ කොට්ඨාශයේ කාර්ය බාර නිලධාරී ඩී.එන්.එස්. සිබේරා, ආරක්ෂක නියාමකවරුන් වන එන්. ඒ. එස්. නානායක්කාර (91263) සහ ඩබ්ලිව්. එච්. කේ. ගුණරත්න (91233) යන මහත්වරුන් විසිනි.


දුම්රිය ආරක්ෂක හමුදාවේ අධිකාරි අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වා ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවේ විශේෂ අපරාධ පරීක්‍ෂණ කොට්ඨාශයේ සහකාර අධිකාරී ඕ. කේ. ලලිත් කුමාර මහතාය.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය



අදහස් (0)

දුම්රිය මගීන්ගේ බඩු උස්සන අඹු සැමි යුවළ

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 203 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16147 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7903 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2787 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5239 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3938 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1626 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1511 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site