IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


දීපිකා පදුකොන්ගේ හිස ගසා දමන කෙනාට රුපියල් කෝටි 100ක්

කුල භේදය සහ ආගම් භේදය ඉන්දියාවේ ඉහවහා ගොස් තිබේ. ඉන්දියාව දෙකඩ කිරීමට ද සමත්වුණු ‘හින්දු මුස්ලිම් විරසකය’ විවිධාකාරයේ මුහුණුවරින් විටින්විට ඉස්මතු වෙයි. මේ වනවිට ‘පද්මාවතී’ බොලිවුඩ් චිත‍්‍රපටය මුල්කොට ගනිමින් ද ඉස්මතු වී ඇත්තේ ද එම විරසකයයි. 


ඉන්දියාවේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ, හර්යානා ප‍්‍රාන්තය නියෝජනය කරන හින්දු ජාතිකවාදී නායක සුරාජ් පාල් අමූ පසුගිය දා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ, චිත‍්‍රපටයේ පද්මාවතී ලෙස චරිත නිරූපණය කරන බොලිවුඩ් සුරූපිනී, දීපිකා පදුකෝන්ගේත්, චිත‍්‍රපටයේ අධ්‍යක්ෂ මෙන්ම එහි නිෂ්පාදකවරයා ද වන සන්ජේ ලීලා බන්සාලිගේත් හිස ගසා දමන්නේ නම්, එය කරන කෙනකුට ඉන්දීය රුපියල් කෝටි 100 ක මුදල් ත්‍යාගයක් ලබා දෙන බවය. 


තිරගත වීමටත් පෙර, මේ වනවිට ඉන්දියාවේ ප‍්‍රාන්ත තුනක ‘පද්මාවතී’ චිත‍්‍රපටය තහනම් කර තිබේ. මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ සංචාරක ඇමැති ජයිකුමාර් රාවාල් පවසා ඇත්තේ මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ ද ‘පද්මාවතී’ තහනම් කළ යුතු බවය. ඔහු ඒ බව දන්වමින් ප‍්‍රාන්ත මහ ඇමැති දේවේන්ද්‍ර ෆඩ්නාවිස්ට ලිපියක් යැවීය. ‘ඉතිහාසය විකෘති කිරීමට පෙර සන්ජේ ලීලා බන්සාලිගේ චිත‍්‍රපටය වහා නැවැත්විය යුතුයි’ යනුවෙන් එම ලිපියෙහි සඳහන් වෙයි. ‘පද්මාවතී’ චිත‍්‍රපටය තහනම් කළ ඉන්දීය ප‍්‍රාන්ත වන්නේ රාජස්ථානය, උත්තර ප‍්‍රදේශ් ප‍්‍රාන්තය සහ හර්යානා ප‍්‍රාන්තයයි. මෙම ප‍්‍රාන්ත තුනම භාරතීය ජනතා පක්ෂය සතු ප‍්‍රාන්තය. 


උත්තර ප‍්‍රදේශ් මහ ඇමැති යෝගී ආධිත්‍යනාත් දැඩි හින්දු ජාතිකවාදියෙකි. ‘මුස්ලිම් සොහොනක්’ යැයි පවසමින්, ටාජ් මහල ප‍්‍රාන්තයේ සංචාරක පොත්වලින් ඉවත් කිරීමට පවා මහ ඇමැති යෝගී ආධිත්‍යනාත් කටයුතු කර තිබේ. ඔහු දැඩි මුස්ලිම් විරෝධියෙකි. මහ ඇමැතිවරයා පවසා ඇත්තේ හින්දු ජනතාවගේ අභිමානය සමඟ හෝ ඔවුන්ගේ හැඟීම් සමඟ හෝ ‘සෙල්ලම් කිරීමට’ සන්ජේ ලීලා බන්සාලිට ඉඩ දිය යුතු නැති බවය. 


‘පද්මාවතී’ චිත‍්‍රපටය තිරගත කිරීමට නියමිතව ඇත්තේ එලැඹෙන දෙසැම්බර් පළමු වැනිදා සිටය. එය තිරගත කරනවා ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් මේ වනවිට අර්බුදයක් පවතී. ‘පද්මාවතී’ චිත‍්‍රපටයට මේ අයුරින් ඉන්දියාවේ නන්දෙසින් හින්දු ජාතිකවාදී කණ්ඩායම්වලින් සහ හින්දු ජාතිකවාදී දේශපාලන පක්ෂවලින් විරෝධයක් එල්ල වෙද්දී, චිත‍්‍රපටය තිරගත කිරීම ප‍්‍රමාද කිරීමට එහි නිර්මාණකරුවෝ පසුගිය 21 වැනිදා තීරණය කළහ. 


පද්මාතී නිර්මාණකරුවන් ප‍්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ තමන් කැමැත්තෙන්ම චිත‍්‍රපටය තිරගත කිරීමේ දිනය වෙනස් කළ නමුත් අවසන් තීරණය ඇත්තේ ඉන්දීය රැඟුම් පාලක මණ්ඩලය සතු බවය. අපට විශ්වාසයි චිත‍්‍රපටය පෙන්වනවා ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් රැඟුම් පාලක මණ්ඩලය තීරණයක් ගනීවි. ඉක්මණින්ම චිත‍්‍රපටය එළිදැක්වීමට ඔවුන් කටයුතු කරාවි’ යැයි එම ප‍්‍රකාශයේ සඳහන් වෙයි. 


‘පද්මාවතී’ සම්බන්ධයෙන් මුලින්ම විරෝධයක් එල්ල වූයේ ‘රාජ්පුත් කර්ණී සේනා’ නමැති රාජස්ථානයේ හින්දු ජාතිකවාදී කණ්ඩායමෙනි. ඒ, පසුගිය ජනවාරියේය. චිත‍්‍රපටය රූගත කෙරුණේ රාජස්ථානයේ ජායිපූර් කේන්ද්‍රකොට ගනිමිනි. ‘රාජ්පුත් කර්ණී සේනා’ විරෝධතාකරුවෝ පිරිසක් කළහකාරීව හැසිරෙමින්, රූගත කිරීම් කඩාකප්පල් කිරීමට උත්සාහ ගත්හ. අධ්‍යක්ෂ සන්ජේ ලීලා බන්සාලිට පහර දීමට ද තැත් කළහ. ‘රාජ්පුත් කර්ණී සේනා’ යනු අතීතයේ පටන් රාජ්පුත් කුලයට අයත් රණශූරයෝය. චිත‍්‍රපටයේ කතාව ඔවුන්ගේ අභිමානයට කැළැලක් යැයි ඔවුහු චෝදනා කරති. 


‘පද්මාවතී’ගේ චරිතයට පණ දෙන දීපිකා පදුකෝන්ගේ හිස ගසා දැමිය යුතු යැයි පවසන්නේ හර්යානා ප‍්‍රාන්ත නායක සුරාජ් පාල් අමු පමණක් නොවෙයි. ඉකුත් සතියේ, ‘අකිල් භාරතීය ශාස්ත්‍රීය මහාසභා’ කණ්ඩායම ද නිවේදනය කළේ දීපිකාගේත්, බන්සාලීගේත් බෙලි කපා දමනවා නම් ඒ වෙනුවෙන් ඔවුන් ඉන්දීය රුපියල් මිලියනයක මුදල් ත්‍යාගයක් ලබා දෙන බවය. 


මේ අතර, මුම්බායි නුවරට රැස්වුණු විරෝධතාකරුවෝ දීපිකාගේත් බන්සාලිගේත් රුවට සමාන අයුරින් පඹයන් නිර්මාණය කර ඒවාට ගිනි තබමින් විරෝධතා පැවැත් වූහ. විරෝධතා මේ අයුරින් ප‍්‍රචණ්ඩකාරී වෙද්දී, දීපිකාටත්, බන්සාලිටත් විශේෂ ආරක්ෂාවක් ලබා දීමට මුම්බායි පොලිසිය කටයුතු කර කළ බව ද ඉන්දීය පුවත් සේවා වාර්තා කළේය. 


‘පද්මාවතී’ ඓතිහාසික කතාවකි. තිරගත වුවහොත් එය තවත් දැවැන්ත බොලිවුඩ් නිර්මාණයක් වනු නොඅනුමාන යැයි ද පැවැසෙයි. පද්මාවතී චිත‍්‍රපටයට පාදක වන්නේ රාජ්පුත්හි රාණි පද්මාවතී නමැති හින්දු රැජිනගේ කතාවය. ‘පද්මාවතී’ චිත‍්‍රපටය නිර්මාණය වී ඇත්තේ 1540 වසරේ දී, ‘පද්මාවත්’ යන නමින් සුෆි මුස්ලිම් කවියකු වන මලීක් මුහම්මද් ජයසී විසින් ලියවුණු කවි එකතුවක් පාදක කරගනිමිනි. ඊට අමතරව, 1960 වසරේ තිරගත වුණු දෙමළ සිනමා නිර්මාණයක් වන ‘චිතූර් රාණි පද්මිණී’ චිත‍්‍රපටය ද ‘පද්මාවතී’ සඳහා පාදක කරගත් බව චිත‍්‍රපටයේ අධ්‍යක්ෂ සන්ජේ ලීලා බන්සාලි පවසා ඇත. 


‘පද්මාවත්’ කාව්‍යයට අනුව, ‘පද්මාවතී’ රැජින, රාවාල් රාතන් සිං නමැති රජුගේ බිරියයි. ඉතිහාසයට අනුව, 1303 දී, කෲර මෙන්ම ම්ලේච්ඡ මුස්ලිම් පාලක අලුවුද්දීන් කිලීජි සිය බිහිසුණු හමුදාව මෙහෙයමින් රාවාල් රාතන් සිංගේ රාජධානිය ආක‍්‍රමණය කරයි. ඔහු රාජධානිය ආක‍්‍රමණය කරන්නේ ‘පද්මාවතී’ ඔහුගේ කර ගැනීමේ ආශාවෙනි. අලුවුද්දීන් කිලීජිගෙන් ගැලවීමට පද්මාවතී ඇතුළු රාජධානියේ සෙසු කාන්තාවෝ ගිනි තබා ගනිමින් දිවි නසා ගනිති. 


‘පද්මාවතී’ චිත‍්‍රපටයේ පද්මාවතී සහ අලුවුද්දීන් කිලීජි අතරේ ‘පෙම් හබයක්’ නිර්මාණය කිරීමට සන්ජේ ලීලා බන්සාලි කටයුතු කර තිබේ. ඒ, චිත‍්‍රපටයේ කතාව වඩාත් ප්‍රේක්ෂකයන්ට සමීප කිරීමේ අරමුණින්ය. හින්දු ජාතිකවාදීන්ගේ විරෝධයට හේතුවක් වූයේ මෙයයි. චිත‍්‍රපටයේ අලුවුද්දීන් කිලීජිගේ චරිතයට පණ පොවන්නේ ජනප්‍රිය බොලිවුඩ් නළු රන්වීර් සිංය. දුෂ්ඨයකු ලෙස රන්වීර් කරන මෙම රංගනය සැබැවින්ම කැපී පෙනෙන බවත්, එය අගය කළ යුතු බවත් බොලිවුඩ් සිනමා විචාරකයන්ගේ අදහස වී තිබේ. පද්මාවතීගේ සැමියා රාවාල් රාතන් සිං ලෙස චරිත නිරූපණය කරන්නේ ෂාහිද් කපූර් ය. 


‘පද්මාවතී’ චිත‍්‍රපටය ඉතිහාසය විකෘති කිරීමක් යැයි ‘රාජ්පුත් කර්ණී සේනා’ හින්දු ජාතිකවාදීහු දිගින් දිගටම චෝදනා නගති. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ඉන්දීය ඉතිහාසඥයන්ගේ මතය වෙනස්ය. ඔවුන් පෙන්වා දෙන්නේ ‘පද්මාවතී’ ඉතිහාසය විකෘති කිරීමක් නොවන බවය. 


ඓතිහාසික තොරතුරු අනුව, කිලීජි උපත ලබා ඇතැයි පැවැසෙන්නේ 1296 සිට 1316 අතර කාලයේය. ඉන්දීය උප මහද්වීපයේ දිල්ලිය කේන්ද්‍රකොට ගනිමින් පිහිටුවා ගත් මුස්ලිම් රාජධානිය පාලනය කළ, කිලීජි රාජවංශය නියෝජනය කළ දෙවැනි බලගතුම පාලකයා මොහුය. 


මුස්ලිම් පාලක කිලීජි ගැන ඉතිහාසයේ සඳහන් වුවත්, පද්මාවතී නමැති රැජිනක ගැන කිසිදු තොරතුරක් ඉතිහාසයේ සඳහන් වී නැති බව ඉන්දීය ඉතිහාසඥයෝ පැහැදිලි කරති. පද්මාවතී යනුවෙන් රාජ්පුත් රැජිනක සිටි බවට කිසිදු සාක්ෂියක් නැති බවත් ඇය හුදෙක් ප‍්‍රබන්ධ චරිතයක් බවත් ඉන්දීය ඉතිහාසඥයෝ සහතික වෙති. ඒ අනුව, හින්දු ජාතිකවාදීන්ගෙන් විරෝධයක් එල්ල වී ඇත්තේ සන්ජේ ලීලා බන්සාලි විසින් නිර්මාණය කෙරුණු හුදෙක් ප‍්‍රබන්ධ චරිතයකටය.

 

 


‘‘දැක්කොත් පද්මාවතී’’ ගීතය මේ   හින්දු රැජිණ ගැනද?


ප‍්‍රබන්ධ චරිතයක් වුවත් නැතත්, මේ ‘පද්මාවතී’ ශ්‍රී ලාංකික අපට ද අමුත්තියක නොවන්නීය. මහාචාර්ය සිරි ගුණසිංහයන්ගේ ‘සත් සමුදුර’ චිත‍්‍රපටයේ සිරිල් වික‍්‍රමගේ රංගනයෙන් දායක වන පී.ඩී. චන්ද්‍රපාල ගායකයා ගායනා කරන ‘දැක්කොත් පද්මාවතී ආලේ නොකරා බැරී’ ගීතයේ කියැවෙන්නේ ද මේ ‘පද්මාවතී’ රැජින ගැන නොවේද?  


 ‘දැක්කොත් පද්මාවතී ආලේ නොකරා බැරී’ ගීතය ‘සත් සමුදුර’ චිත‍්‍රපටයට ඇතුළත් කිරීමට පෙර ටවර් හෝල් යුගයේ අතිශයින් ජනප්‍රිය වුණු ‘පද්මාවතී’ වේදිකා නාට්‍යයේ ගීයකි. වේදිකා නාට්‍යයට අනුව, මෙම ගීය ගයන්නේ ඉන්දීය මුස්ලිම් වෙළෙඳුන් කණ්ඩායමකි. ඔවුන් ගයන්නේ රූ සපුවකින් යුත් ‘පද්මාවතී’ නම් රැජිනක් ගැනය. ඒ, පද්මාවතී ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වුණු ‘රාජ්පුත් පද්මාවතී රැජින’ විය හැකිය.


 

 

 

 

 

 

 

ලුසිත ජයමාන්න 
(එන්.ඩී.ටීවී/ඒ.එෆ්.පී.) 

 
 



අදහස් (0)

දීපිකා පදුකොන්ගේ හිස ගසා දමන කෙනාට රුපියල් කෝටි 100ක්

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 214 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16154 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7904 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2789 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5239 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3938 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site