IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


දරුවන් නැති සෙබළ බිරියට හිටපු කොටි කතකගෙන් දරුවෙක්

විවාහ වී වසර හතරක පමණ කාලයක් ගතවී තිබුණත් දරු පැටියකුගේ සුරතල් බැලීමට තරම් වාසනාවක් නොලැබුණ නිසා කනස්සල්ලෙන් පසුවූ කාන්තාවක් යුද හමුදාවේ රාජකාරි කරන සිය සැමියාට දාව ඔහුගේ හිතවතියක වූ පුනරුත්ථාපනය වී සිටි හිටපු කොටි කාන්තාවකගේ මාර්ගයෙන් දරුවකු බිහිකර ඒ දරුපැටියා දරුකමට හදා වඩා ගැනීමේ අරුම පුදුම සිද්ධියක් ගැන තොරතුරු වැල්ලවාය පොලිසිය මගින් අනාවරණය කරගෙන ඇත.


විවාහ වූ කාන්තාවකට දරුවන් නොමැතිනම් එවැනි කාන්තාවක් බොහෝ අවස්ථාවලදී පවුලේ අයගෙන් පමණක් නොව සමාජයෙන්ද විවිධ අපවාදයන්ට ගැරහුම්වලට ලක්වන බව නොරහසකි.


මේ නිසා එවැනි කාන්තාවන් දැඩි පීඩනයකට කනස්සල්ලකට පත්වන බව අමුතුවෙන් කිවයුතු නොවේ.


අප මේ කියන්නට යන කතාවේ එන නායිකාවද එසේ පීඩාවට පත්ව සිටි තැනැත්තියකව සිට ඇති අතර ඒ පීඩාවෙන් සමාජ අපවාදවලින් ගැලවීමට ගත් අහිංසක උත්සාහයක් බව මේ කතාව කියවන ඔබටද පෙනී යනවා නොඅනුමානය.


කෙසේ වෙතත් මේ කතාව අවසන් වූයේ දරුවා ප්‍රසූත කළ හිටපු කොටි කාන්තාව දරුවාගේ සැබෑ පියාවන හමුදා කෝප්‍රල්වරයා සහ තවත් අයකු රිමාන්ඞ් බන්ධනාගාර ගතවීමෙනි.


මාස 04ක වයසැති දරුපැටියා බණ්ඩාරවෙල ප්‍රදේශයේ ළමා නිවාසයකට යොමුකිරීමට අධිකරණයෙන් නියෝග කෙරිණි.


ඒ නිසි ක්‍රමවේදයක් අනුගමනය කරමින් දරුවකු කුලවද්දා නොගැනීම නිසාය.


පොලිස් මූලස්ථානයේ 119 හදිසි ඇමතුම් අංශය මගින් සපයන ලද තොරතුරක් මත වැල්ලවාය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් කොටවෙහෙරගල යාය ප්‍රදේශයේදී පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු හා කාන්තාවක් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 13 වැනිදාය.
යුද හමුදාවේ රාජකාරි කරන කෝප්‍රල්වරයෙක් සහ තවත් කාන්තාවක් සහ ඔවුන් ගමන් කළ ත්‍රීරෝද රථයේ රියැදුරාද මෙසේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.


ත්‍රිරෝද රථයේ මාස 4ක දරු පැටියෙක්ද සිටියදී පොලිසියට හමු වි ඇත.


අත්අඩංගුවටගත් එක් කාන්තාවක් 35 වියේ පසුවූ මුලතිව් ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක වූවාය.


මුලතිව් ප්‍රදේශයේ පදිංචි ද්‍රවිඩ කාන්තාවක් වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි සිංහල පවුලක් සොයා පැමිණියේ කුමන අරමුණකින්ද යන්න ගැන ඇතිවූ සැකය මත ඒ ගැන විශේෂ අවධානය යොමුකර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.


ඇයගේ පැටිකිරිය හෙළිවූයේ පොලිසිය කළ විමර්ශනවල ප්‍රතිඵලයක් වශයෙනි.


වැල්ලවායේදී පොලිස් අත්අඩංගුවට ගත් මේ කාන්තාව එල්.ටී.ටී.ඊ. සංවිධානය ක්‍රියාත්මකව පැවැති වකවානුවේ එම සංවිධානය විසින් පිහිටුවා තිබූ පොලිස් විශේෂ කාර්ය බළකායේ කොස්තාපල්වරියක් බවට තොරතුරු පොලිසිය අනාවරණය කරගන්නේ ඇයගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදීය.


1998 වසරේ දී කොටි සංවිධානයේ පොලිස් විශේෂ කාර්ය බළකායේ කොස්තාපල්වරියක ලෙස බැඳී ඇති මෙම කාන්තාව එම සංවිධානය විසින් ලියාපදිංචිකර ඇත්තේ 1998 යන අංකය යටතේය.


එල්.ටී.ටී.ඊ. පොලිස් විශේෂ කාර්ය බළකායට 1998 වසරේ බැඳුණු ඇය 2002 වසර දක්වා පූර්ණ කාලීනව සේවයකර පසුව එයින් ඉවත්ව වෙනත් ආධාර උපකාර කර තිබෙන බවත් පරීක්ෂණවලින් කරුණු අනාවරණය විය.


යුදහමුදාව එල්.ටී.ටී.ඊ සංවිධානය සම්පූර්ණයෙන්ම පරාජය කර යුද්ධය නිමා කිරීමත් සමගම මෙම සැකකාරිය හමුදාවට බාරවී ඇති අතර ඉන්පසු වවුනියාව පම්පෙමඩු ප්‍රදේශයේ පිහිටි පුනරුත්ථාපන කඳවුරේදී 2009 වසරේ සිට 2010 වසර දක්වා පුනරුත්ථාපනය වී සමාජගත කර තිබෙන බවට ඇය පොලිස් නිලධාරීන් සමග පැවසුවාය.


හමුදාවේ මහත්තයා ඒ කාලේ සේවය කළේ මං පදිංචිව ඉන්න ප්‍රදේශයේ තිබුණ හමුදා කඳවුරක. ඒ නිසා හමුදාවේ මහත්තයා අපිව හොඳට හඳුනනවා. මාත් එක්ක විතරක් නෙමේ අපේ අම්මලා තාත්තා එක්කත් කුළුපග වුණා. නිතර අපේ ගෙදර යනවා එනවා. එයාව මගේම සහෝදරයෙක් වගේ ආශ්‍රය කළා. එයාගේ පවුලේ අයත් අපිත් එක්ක හිතවත් වුණා. හමුදාවේ මහත්තයා බැඳලා අවුරුදු හතරක් වුණත් දරුවෝ නැහැ කියා මාත් එක්ක කියා තිබෙනවා.


අපිට දරුවෙක් හදාලා දෙන්න පුළුවන්ද කියා හමුදාවේ මහත්තයා දවසක් මගෙන් විමසුවා. මම ඒකට එක පාරටම කැමති වුණේ නැහැ. පස්සේ දුක හිතුණා. මහත්තයාගේ නෝනගෙන් හා පවුලේ අයගෙන් කැමැත්ත අරන් දුන්නොත් මම කැමතියි කියා කිව්වා. හමුදාවේ මහත්තයාගේ නෝනා මට කතාකරලා කැමති වුණා. ඒ විතරක් නෙමේ මහත්තයගේ නැන්දම්මත් මේ වැඬේට කැමැත්ත ප්‍රකාශ කළා. අනේ නංගි මට දරුවෙක් නැතුව හරිම වේදනාවෙන් ඉන්නේ කියා ඇය බොහොම වේදනාවෙන් මාත් එක්ක කිව්වා. එතකොට තවත් ගොඩක් මට දුක හිතුණා. ඊට පස්සේ ඒ ගොල්ලන්ට මගේ කුසෙන් ඉපදෙන දරුවෙක් බිහිකරලා පරිත්‍යාග කරන්න කැමති වුණා. මම මේක හොඳට හිතලා බලලා ගත්තු තීරණයක්. මම කැමතියි කියලා කිව්වහම හමුදාවේ මහත්තයාගේ නෝනා හරියට සතුටු වුණා යැයි ඇය පවසා ඇතැයි කියයි.


ඒ වෙනකොට හිටපු කොටි කාන්තාව සේවය කළේ කැලණිය කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක ඇඟලුම් සේවිකාවක ලෙසය. 


ඒ ප්‍රදේශයේම බෝඩිමක නවාතැන්ගෙන ඇය ඇඟලුම්හලේ සේවයට ගියාය.


බෝඩිමේදී හමුදාවේ මහත්තයා හා ඇය බොහෝ දිනවල රාත්‍රිය ගතකර ඇත. මේ බව හමුදාවේ මහත්තයාගේ නෝනාද දැන සිටියාය.


තමාගේ කුසෙන් නොවුණත් වෙනත් කාන්තාවකගේ කුසේ වැඩෙන්නේ තමාගේම සැමියාගේ ලෙයින් මසින් හැදුණු දරුපැටියෙක් නිසා ඇය සැනසුම් සුසුම් හෙළන්නට ඇත.


පිටස්තර කෙනෙකුගේ දරුවෙක් අරගෙන හදාවඩා ගන්නවාට වඩා මෙයට හමුදාවේ මහත්තයාගේ නෝනා කැමති වී ඇත.


ඇය ඇඟිලි ගනිමින් සිට ඇත්තේ කිරිකැටියකුගේ හසරැලිවලින් කිරි සුවඳින් පුංචි නිවහන පිරී ඉතිරී යන්නේ කවදාද කියාය.


මුලතිව් කාන්තාවට දරු පැටියෙක් පිළිසිඳගෙන ඇති බව දැනගත්තාම හමුදාවේ මහත්තයාගේ නෝනා සතුටින් ඉපිලීගොස් ඇත.
දරුවා මෙලොවට බිහිවන තෙක් මුලතිව් කාන්තාවගේ සෑම අවශ්‍යතාවක්ම ඔවුන් නොපිරිහෙළා ඉටුකර තිබේ.


උතුරේ රෝහලකදී ඇය ලස්සනම ලස්සන දරු පැටියෙක් බිහිකළාය.


ඒ පසුගිය වසරේ නොවැම්බර් මස 24 වැනිදාය.


දින 21ක පමණ කාලයක් සැබෑ මවගේ මව්කිරි රස බැලූ උණුසුම දරු සිඟිත්තා වැල්ලවායේ හමුදාවේ මහත්තයාගේ නෝනාට ගෙනගොස් භාරදී ඇත්තේ හැඬූ කඳුළින්ය.


ඇයගේ හදවත පැලීයන්නාසේ දැනී ඇත්තේ උතුරාගිය දරු සෙනෙහස නිසාය.


හමුදාවේ මහත්තයාගේ නෝනා සෙනහසින් දරු සිඟිත්තා තුරුලු කරගත්තාය.


මුලතිව් කාන්තාවට සක්වළ ගල සසල කරවන තරමට සුසුම් ආවාය.


එක්වර සිරුරේ ඇටකටු 32ක් කුඩුවෙන ආකාරයේ මහා ලොකු වේදනාවක් මවක් දරුවකු ප්‍රසූත කිරීමේදී ඇති වන බවට කියමනක් ඇත.


ලෝකයේ තිබෙන ලොකුම වේදනාව වන්නේද ප්‍රසූත වේදනාව බව කියති.


මුලතිව් කාන්තාව කොපමණ හිත හදාගෙන සිටීමට උත්සහ කළත් එය ඇයට කළ නොහැකි විය.


වැදූ මවට දරු දුක වැඩිය.


දෙතන කිරිවලින් පිරීයන විට ඇයට ඉවසුම් නොදෙන වේදනාවක් ආවාය. මුලතිව් සිට දෙතුන්වරක්ම වැල්ලවායට ගොස් දරුවා සුරතල්කර සිට ආයෙත් ගෙදර ආවේ ඇයටද දරු දුක දැනුණු නිසාය.


මුලතිව් සිට ඇය එදින වැල්ලවායේ පදිංචි හමුදාවේ මහත්තයාගේ ගෙදර ගියේ දරුවාගේ උප්පැන්නය සාදා ගැනීමට වන අතර ඔවුන් පොලිසියට කොටු වූයේද ඒ සඳහා යමින් සිටි අතර වාරයේය.


මුලතිව් කාන්තාව කී කතාව පොලිසිය එක්වරම විශ්වාස කිරීමට සූදානම් වූයේ නැත.


හමුදා කෝප්‍රල්වරයාගේ බිරිඳගෙන් හා ඇයගේ මවගෙන්ද විමසූ අවස්ථාවේ මව සහ දියණිය මුලතිව් කාන්තාව කියන කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත බව පොලිස් නිලධාරීන් සමග පවසා ඇත.


හමුදා කෝප්‍රල්වරයා අත්අඩංගුවට පත්වන විට රාජකාරි කරමින් සිටියේ අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි හමුදා කඳවුරකය.


හමුදාවෙන් නිවාඩු ලබා පැමිණි පසු එම නිවාඩුවලින් අඩක් තමාගේ නිවසේ ගත කළ යුතු බව මුලතිව් කාන්තාව කොන්දේසියක් පැනවීමෙන් හමුදා කෝප්‍රල්වරයාගේ නීත්‍යානුකූල බිරිඳ බලවත් නොසතුටට පත්ව ඇත.


දරුවා ප්‍රසූතකර දරුකමට හදාවඩා ගැනීමට ලබා දුන්නාට පසුව සැමියා සමග දිගටම සම්බන්ධකම් පවත්වාගෙන යාම නොරිස්සූ ඇය මුලතිව් කාන්තාව පොලිසියට කොටුකර දීමට තීරණයකර තිබෙන බව පොලිස් පරීක්ෂණවලින් කරුණු අනාවරණය විය.


පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දුරකථන ඇමතුමක් ලබාදී ඇත්තේ වෙන කවුරුවත් නොව හමුදා කෝප්‍රල්වරයාගේ නීත්‍යානුකූල බිරිඳ විසින් බවද පොලිසිය කියයි.


ඒ වෙන කිසිවක් නිසා නොව ඇය සැමියාගෙන් ඈත්කර තැබීමේ උපක්‍රමයක් වශයෙනි.


මොනරාගල දිසා බාර නියෝජ්‍ය පොලිස්පති අරුණ ප්‍රේමශාන්ත මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මොනරාගල කොට්ඨාස බාර පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් මත මොනරාගල වැල්ලවාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී. එම්. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක උදයංග මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඇත.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය



අදහස් (0)

දරුවන් නැති සෙබළ බිරියට හිටපු කොටි කතකගෙන් දරුවෙක්

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 203 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16147 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7903 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2787 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5239 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3938 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 280 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site