IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


එදා උතුරේ හොර බඩු ජාවාරම

 

ඒ 1981 වර්ෂයේ ඔක්තෝබර් මස එක්තරා දිනයකි. ස්ථානය - යාපනය අර්ධද්වීපයේ ‘පෝක්’ සමුද්‍රසංධියට මුහුණලා පිහිටි වැල්වෙටිතුරය යුද හමුදා අනුඛණ්ඩයේ සිට පේදුරුතුඩුව දෙසට දිවෙන මාර්ගයේ කිමි 3 ක් පමණ ඈතින් පිහිටි හුදකලා මංසන්ධියක් වූ තික්කමිය. ​ෙව්ලාව - අලුයම දෙකහමාරට පමණ ඇත. කාලගුණය සාමාන්‍ය වන අතර හඳ එළිය පවතී. මංසන්ධියේ බිම වැතිර තමන් ඉදිරියේ දිස්වෙන මුහුදු ප‍්‍රදේශය නිරීක්‍ෂණය කරමින් සිටිනා පිරිසකි. ඒ අන් කවරෙකු නොව දෙවැනි ලුතිනන්වරයෙකුගේ අණදීම යටතේ සය දෙනෙකුගෙන් යුත් රාත‍්‍රී ජංගම මුර සංචාරයේ යෙදෙන යුද හමුදාවේ පළවැනි ගැමුණු හේවා බලඇණියට අයත් භට පිරිසකි. 


අදාළ මාර්ගය හා මංසන්ධිය මුහුදට වඩා ඉහළින් පිහිටා ඇති බැවින් අවට මුහුදු ප‍්‍රදේශය ඔවුනට හොඳින් නිරීක්‍ෂණය වේ. භට පිරිස් පැමිණි ජීප් රථය මංසන්ධිය අසල භුමියේ ස්ථානයක සඟවා නවතා ඇත. ඔවුන් මෙලෙස නිරීක්‍ෂණය කරන්නේ අන් කිසිවක් නොව ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර හොර බඩු ප‍්‍රවාහනය කරන්නා වූ බෝට්ටු පිළිබඳවය. එහෙත් මසුන් මැරීම සඳහා යොදා ගන්නා වූ විවිධ වර්ගයේ යාත‍්‍රා හා බෝට්ටු ද මුහුදේ ගමන් ගන්නා හෙයින් හොර බඩු පටවාගත් බෝට්ටු වෙන් කර හඳුනා ගැනීම ඔවුනට දුෂ්කර වී ඇත. 


එපමණක් නොව භට පිරිසේ කිසිවෙකු මීට පෙර හොර බඩු රැගෙන යාත‍්‍රා කරමින් තිබූ බෝට්ටුවක් නිසි ලෙස දැක නැත. සැබැවින්ම ඔවුන් පමණක් නොව තම අනුඛණ්ඩය වූ වැල්වෙටිතුරය කඳවුරේ ද එවැනි බෝට්ටුවක් අත්අඩංගුවට ගැනීම පිළිබඳව පෙර අත්දැකීම් ලත් කිසිදු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හෝ සෙසු නිලයෙකු හෝ ද නැත. නමුත් ඔවුන් අතර සිටිනා හමුදා බෝට්ටු ක‍්‍රියාකරුවන් ඇතුලු තවත් කිහිප දෙනෙකු පමණක් දිවා කාලයේ දී මුහුදු රැළි කපා යමින් අධික වේගයෙන් යාත‍්‍රා කරන හොර බඩු රැගත් බෝට්ටු කිහිපයක් දැක ඇත. ඒ කඳවුරේ පිහිටා ඇති උස් නිරීක්‍ෂණ අට්ටාලයේ සිට හා බෝට්ටු මුර සංචාරයන්හි යෙදෙන විටදීය. හමුදා මුර සංචාරක බෝට්ටු මෙකී හොර බඩු බෝට්ටු පසු පස හඹා ගොස් තිබුණ ද ඒ කිසිදු අවස්ථාවක දී අවම වශයෙන් ඒවාට ආසන්නවීමට හෝ හැකියාව ලැබී නොමැත. 


මෙම වකවානුවේ දී සන්නද්ධ කල්ලි සෙමෙන් හිස ඔසවමින් සිටියහ. ප්ලෝට්, එල්ටීටීඊ, ටෙලෝ මින් ප‍්‍රධානය. පොලිස් සාමාජිකයන් ඉලක්කකොට ගත් හුදකලා ප‍්‍රහාරයන් එල්ල කිරීම, පොලිසියට ඔත්තු සපයන්නන් ඝාතනය කිරීම, බැංකු කොල්ලකෑම හා දෙමළ දේශපාලකයන් ඝාතනය කිරීම විටින් විට සිදු විය. මෙවැනි ආරක්‍ෂක තත්ත්වයක් පවතින අවධියක හොර බඩු රැගෙන මුහුදේ යාත‍්‍රා කරමින් තිබූ බෝට්ටු වෙන්ව හඳුනා ගැනීම දුෂ්කර මෙන්ම අවදානම් ද විය. යම් හෙයකින් ත‍්‍රස්තවාදීන් යනුවෙන් වැරදි ලෙස හඳුනාගෙන පලා යන බෝට්ටුවකට හෝ මෝටර් රථයකට හෝ සැකය මත වෙඩි තැබීම හේතුවෙන් යම් අයෙක් මරණයට හෝ තුවාලවීමකට ලක්වුවහොත් එය නීති විරෝධි වෙඩි තැබීමක් පමණක් නොව හමුදා වෘත්තීය මට්ටමට හා විනයට හානිගෙන දෙන අන්ද​ෙම් ක‍්‍රියාවක් ලෙස ද නිගමනය කෙරෙනු ඇත. 


එවකට යුද හමුදා මූලස්ථානය හා ප‍්‍රදේශ මූලස්ථානය වෙතින් ලබා දී ඇති උපදෙස්වලට අනුව යුද හමුදාවට, නාවික හමුදාවට වඩා මෙම මුහුදු ප‍්‍රදේශයේ සිදුවන හොර බඩු ජාවාරම මැඬලීමේ කාර්යයේ සෘජුවම නියැලී සිටීමට සිදුවිය. එසේම නාවුක හමුදාව, ‘පෝක්’ සමුද්‍රසංධිය ආශ්‍රිත මුහුදු ප‍්‍රදේශයේ එවකට යොදවා තිබුණේ ඔවුන් සතුව පැවැති සෙමෙන් යාත‍්‍රා කරන විශාල වර්ගයේ ‘ගන් බෝට්’ යන නමින් හඳුන්වනු ලබන 1960 වර්ෂයේ දී චීනයේ නිෂ්පාදිත සන්නද්ධ යුද නෞකාවකි. එම නෞකාවන් විශේෂයෙන් නිර්මාණය කර ඇත්තේ විශාල හා ගැඹුරු ගංගාවන් මත යාත‍්‍රා කිරීමටය. එවැනි නෞකාවකට හොර බඩු රැගෙන මුහුදේ යාත‍්‍රා කරනු ලබන අධිවේගී බෝට්ටු හඹා යාම සැබැවින්ම සිහිනයක් විය. එපමණක් නොව ‘පෝක්’ සමුද්‍රසංධියේ මෙම මුහුදු ප‍්‍රදේශය ආවරණය කිරීම සඳහා කරේයිනගර් හි පිහිටි ‘එළාර’ යන නමින් හඳුන්වන උතුරු නාවුක හමුදා මූලස්ථානය හට වරකට යෙදවීමට හැකියාව තිබුණේ එක් නෞකාවක් පමණි. 


වේලාව - අලුයම 3.00 ට පමණ ඇත. ඉදිරි මුහුදේ මසුන් ඇල්ලීම සඳහා ගොස් ඇති විවිධ යාත‍්‍රා හා බෝට්ටුවල ලාම්පු හා විදුලි එළි දිස්වේ. ඒ සමඟම දියඹට යන හා එහි සිට නැවත එන යාත‍්‍රා හා බෝට්ටුවල ලාම්පු හා විදුලි එළි මෙන්ම ඒවායෙන් නිකුත් වෙන විවිධ ශබ්දයන් හා හඬ ද අවට පරිසරයට එකතු​ෙව්. මේ සියල්ල මධ්‍යයේ ඉදිරි මුහුදු ප‍්‍රදේශය තම දුරදක්නයෙන් නිරීක්‍ෂණය කරමින් සිටින ලුතිනන්වරයා තම භට පිරිස් අමතා මෙසේ කීය. ”වීවීටි ( වැල්වෙටිතුරයට කියනු ලබන කෙටි යෙදුමය) වලට ඇවිල්ල දැන් සුමාන දෙකක් විතර වෙනවා ... ෆුට් පැට්රෝල් ගියා .. බෝට් පැට්රෝල් ගියා .. මොබයිල් පැට්රෝල් ගියා ... ඒ එකකින් වත් වැඩක් නැහැ... හොර බඩු බෝට්ටුවක් අල්ලගන්න තියා ... ඒ වගේ එකක් නිකමටවත් ඇහැ ගැහුණේ නැහැ”. එම වර්ෂයේ ජූලි 18 වැනි දින අධිකාරී ලබා පළවැනි ගැමුුණු හේවා බලඇණියට අනුයුත්ත කරනු ලැබු මෙම දෙවැනි ලුතිතන්වරයා වැල්වෙටිතුරයේ පිහිටි තම ඒකකයේ ‘ඩෙල්ටා / ඩී ’ කණ්ඩායමට පැමිණියේ මීට සති දෙකකට පමණ පෙරය. 


”ඇත්තටම ඇයි අපිට ඔය කියන ජාතියේ බෝට්ටුවක් මේ දක්වා අල්ලගන්න බැරි වුණේ ” ලුතිතන්වරයා තමාට පෙර වැල්වෙටිතුරය අනුඛණ්ඩයේ රාජකාරී කර අත්දැකීම් ලත් පිරිසේ ජ්‍යෙෂ්ඨයෙකු වූ ලාන්ස් කෝප‍්‍රල් ස්ටැන්ලි (ඔහු පසුකලෙක අධිකාරියට පත්ව මේජර් නිලය දක්වා උසස්වීම් ලබා විශ‍්‍රාම ගියේය) ගෙන් ඒ පිළිබඳව විමසීය. ”සර් මටත් හිතා ගන්න බැහැ... අපි මේ කරගෙන යන ක‍්‍රමයේ මොකක් හරි වරදක් තියනවා ද දන්නේ නැහැ” යනුවෙන් පිළිතුරු දුන් ඔහු තවදුරටත් මෙසේ කීය. ” මීට අවුරුදු කීපයකට ඉස්සෙල්ලා ලෙෆ්ටිනන්ට් ශාන්තසිරි කියලා සර් කෙනෙක් බෝට්ටු කීපයක් අල්ලලා තියනවා ... හැබැයි ඒ ඔක්කොම මුහුදේ දී... ඒ සර් දවසේ වැඩි හරියක් ඉඳලා තියෙන්නේ මුහුදේ ... ගාල්ලේ ටූ වී ගැමුණු එකේ සර් කෙනෙක්ලු” (මෙහි ටු වී යනු දෙවැනි ස්වේච්ඡා යන්නය). 


එවකට පනවා තිබූ ආරක්‍ෂක රෙගුලාසිවලට අනුව පේදුරුතුඩුව වෙරළේ සිට මාදගල් දක්වා සිවිල් පුද්ගලයන්හට අයිතිව තිබූ සියලු වර්ගයේ මුහුදු යාත‍්‍රා හා බෝට්ටු වැල්වෙටිතුරය, මාදගල් හා තොන්ඩමනාරු හි පිහිටි හමුදා අනුඛණ්යන්හි ඒවායේ රජයේ ලියාපදිංචි අංකය සමගින් ලැයිස්තුගත වීම සිදුවෙමින් පැවතිනි. එසේම අශ්වබල 20ට වැඩි ‘ ඕබීඑම්’ හෙවත් ‘අවුටි බෝඩ් මෝටර් ’ යන තාක්‍ෂණ නමින් හැඳීන් වූ බෝට්ටු එංජින් භාවිතය තහනම් කර තිබිණි. එසේ වුවද හොර බඩු රැගෙන යාම සඳහා අධිබල එන්ජින් භාවිත කරන බැව් සෑම අයෙකුම දැන සිටියහ. 
”අපිට හොර බඩු බෝට්ටු ගැන තොරතුරු ලැබෙන්නේ නැති එක ලොකු පාඩුවක්... ඒ වගේම එවැනි තොරතුරු සිවිල් අයගෙන් ලබා ගන්න විදිහක් අපි හදාගෙනත් නැහැ” ... ඒකට හේතුව අපි මේ මුලු යාපනයටම අමුත්තෝ... මට නිකං දැනෙන්නේ අපි වෙනම රටක ඉන්නවා වගේ... ඒක මට දැනුනේ පළවෙනි වතාවට යාල්දේවියෙන් ලෙෆ්ටිනන්ට් මොහාන් ජයවර්ධනත් එක්ක යාපනයට එනකොට... අනුරාධපුරයෙන් පස්සේ මුලු කෝච්චියම දෙමළ අය ...

වව්නියාවෙන් උඩ සම්පූර්ණයෙන් වෙනස් ... ” යනුවෙන් පවසමින් ලුතිතන්වරයා ඉදිරි මුහුදේ නැංගුරම්ලා ඇති හා ගමන් කරමින් තිබෙන යාත‍්‍රා පිළිබඳව තවදුරටත් නිරීක්‍ෂණය කරමින් ඒවායින් නිකුත් වෙන විවිධ හඬවලට සවන් දේ. 
හොර බඩු බෝට්ටු අත්අඩංගුවට ගැනීම පිළිබඳව ශ‍්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ සඳහන්ව ඇත්තේ ඉතා මද වශයෙනි. ඒවා පිළිබඳව තොරතුරු නිසි අයුරු වාර්තා නොවීම හෝ සටහන් නොවීම හා ඒවාට අදාළ රහස් ක‍්‍රියාන්විත ලිපිගොනු නිසි අයුරු නඩත්තු නොවීම ඊට හේතුවයි. මෙලෙස සුළු වශයෙන් හෝ ඒ පිළිබඳව සඳහන්ව ඇත්තේ යුද හමුදා 50 වැනි සංවත්සරයට නිකුත් කරන ලද ග‍්‍රන්ථයේය. එයට අනුව 1973 වර්ෂයේදී පමණක් යුද හමුදාව වාර්තාගත මුදලක් එනම් රුපියල් 1,879,932.70 ක් උපයා ඇත. එය හොර බඩු රැගෙන එන්නන් 115 දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු නියම කරනු ලැබු දඩ මුදල වූ රුපියල් 90,130.00 ක මුදල හා හොර බඩු ප‍්‍රවාහනය සඳහා යොදා ගත් වල්ලම්, කට්ටුමරම්, බෝට්ටු, කාර් සහ වෑන් රථ යනාදිය රාජසන්තක කිරීමේ දී නියම කරනු ලැබු තක්සේරු වටිනාකම වූ රුපියල් 203,500.00 යන මුදල් ප‍්‍රමාණයන්ට අමතරවය. ​ෙම් සඳහා හොර බඩු ක්‍රියාකාරකම් පිළිබඳව ක‍්‍රියා කළ බුද්ධි තොරතුරු සේවය සාර්ථක මෙහෙයුම් සිදු කළ බැව් පුවත්පතක පළවු ලිපියක් උපුටා දක්වන එකී ග‍්‍රන්ථය පවසයි. 


කෙසේ වුවද යාපනය අර්ධද්වීපයේ සිදුවූ හොර බඩු ජාවාරම වැළැක්වීමේ කාර්යයන් ඉටු කිරීම සඳහා නිත්‍ය වශයෙන් පිහිටුවා තිබුණේ යුද හමුදා අනුඛණ්ඩයන් තුනකි. ඒ වැල්වෙට්ටිතුරය, තොන්ඩමනාරු හා මාදගල් යන ස්ථානයන් හි පිහිටි ‘කොස්ටල් ඩිටෑච්මන්ට්ස්’ ලෙස හැඳින් වූ වෙරළබඩ අනුඛණ්ඩ තුනයි. බොහෝ අය අතර ප‍්‍රසිද්ධ කඳවුරේ ස්ථානයක් වූ ‘එළිෆන්ට් පාස්’ හෙවත් අලිමංකඩ හි යුද හමුදා අනුඛණ්ඩයක් පළමුවරට ස්ථාපිත කරනු ලැබුවේ ඉන්දියාවෙන් රැගෙන එන හා ඉන්දියාවට යවනු ලබන හොර බඩු කොළඹ හා යාපනය අතර ප‍්‍රවාහනය සිදුවීම වැළැක්වීම පිණිස රථ වාහන පරීක්‍ෂා කිරීමේ අවශ්‍යතාව සඳහාය. 


ශ‍්‍රී ලංකා යුද හමුදාවේ ඉතිහාසයට අනුව ‘හොර බඩු ප‍්‍රවාහනය වැළැක්වීම’ යුද හමුදාව වෙත පැවරුණ දෙවැනි ක‍්‍රියාන්විත රාජකාරියයි. ‘නීති විරෝධි සංක‍්‍රමිකයන් (කල්ලතෝනින්) ඉන්දියාවේ සිට පැමිණීම වැළැක්වීම’ යුද හමුදාව විසින් ඉටු කරනු ලද පළමු ක‍්‍රියාන්විත රාජකාරිය විය. තලේමන්නාරම දූපත් ප‍්‍රදේශය ඒ සඳහා තෝරා ගත් එක් විශේෂිත වූ ක‍්‍රියාන්විත ප‍්‍රදේශයකි. ඉන්දියාවේ දනුස්කොඩි ප‍්‍රදේශයේ සිට ‘ආදම්ගේ පාලම’ ලෙස හඳුන්වනු ලබන කොරල්පරය භාවිතයෙන් හා ‘මන්නාරම් බොක්ක’ ආශ්‍රිතව පවතින නොගැඹුරු මුහුද හරහා මෙකී සංක‍්‍රමිකයන් එවකට ඉංග‍්‍රීසින්ගේ පාලන සමයේ සිට පැමිණෙමින් සිටීම එසේ තෝරා ගැනීමට හේතුවයි. ඒ සඳහා පිහිටුවන ලැබු ඉතා කුඩා භට පිරිස් වලින් සමන්විත වූ ස්ථානයන් හැඳින්වූයේ ‘සී.ඩබ්ලිව්.පී’ (‘කෝස්ටල් වොච් පොයින්ට්ස්’) යන ඉංග‍්‍රීසි අක්‍ෂර තුනින් වෙන අතර වෙරළබඩ නිරීක්‍ෂණ මුරයන් යන අරුත ඉන් ප‍්‍රකාශ වේ. 1952 වර්ෂයෙන් ඇරඹි මෙම ක‍්‍රියාන්විත වැඩසටහන 1970 වර්ෂය තෙක් ක‍්‍රියාත්මක වුණි. 


කෙසේ වුවද 1980 වර්ෂය වන විට හොර බඩු ප‍්‍රවාහන යාත‍්‍රා අත්අඩංගුවට ගැනීම් ක‍්‍රමයෙන් ඉතා අඩුවී ඇත. එවැනි අත්අඩංගුවට ගැනීම් පිළිබඳව විස්තර ඉතිහාසගත වාර්තාවක හෝ එවකට තිබු ඒකකයන්හි ක‍්‍රියාන්විත ලොග් සටහනක හෝ අදාළ ඒකකයන් හි යම් සංවත්සර ග‍්‍රන්ථයක හෝ දක්නට නොලැබීම එසේ නිගමනය කිරීමට එක් හේතුවකි. එසේම ඒ වන විට හොර බඩු ප‍්‍රවාහනය කරන්නන් නවීන හා අධික ​ෙව්ගයෙන් යාත‍්‍රා කළ හැකි බෝට්ටු හා එංජින් වර්ග භාවිතයට ගැනීමත්, යුද හමුදා බෝට්ටු, ජංගම, හා පා මුර සංචාරයන්ට හසු නොවී හොර බඩු ප‍්‍රවාහනය කළ හැකි විවිධ උපක‍්‍රමයන් හොර බඩු ජාවාරම්කරුවන් විසින් භාවිතයට ගනු ලැබීමත් හා එකී තත්ත්වයන් යටතේ යුද හමුදාව ඊට නිසි ලෙස සුදානම්ව නොසිටීමත් යන්න මීට බලපාන ලද අනෙක් හේතූන් ලෙස වටහාගත හැක. 


1980 දශකයේ මුල් භාගයේ දී ශ‍්‍රී ලංකා නිත්‍ය යුද හමුදාව පාබල සටන් බලඇණි පහකින් යුක්ත විය. පළවැනි වන ලංකා පාබල හමුදාව, පළවැනි සිංහ රෙජිමේන්තුව, පළවැනි ගැමුණු හේවා බලඇණිය, පළවැනි රජරට රයිෆල්ස් හා පළවැනි විජයබාහු රෙජිමේන්තුව එකී ඒකකයන්ය. යුද හමුදා මූලස්ථානය විසින්, විටින් විට දෙනු ලබන අණ හා උපදෙස් පරිදි, උතුරේ ක‍්‍රියාන්විත කාර්යයන් ඉටු කිරීම සඳහා අදාළ අනුඛණ්ඩයන් වෙත භට පිරිස් යැවීම එකී බලඇණි මගින් සිදු විය. (අවැසි පිරිස් බලය නොතිබූ හෙයින් මීට විජයබාහු අයත් නොවිනි. එසේම හේතූන් කිහිපයක් පදනම් කොට ගෙන, රජරට රයිෆල්ස් හා විජයබාහු රෙජිමේන්තුව විසුරුවා හරිමින් එම ඒකකයන් වෙත අනුයුක්ත කර සිටි නිලධාරින් හා භට පිරිස් ඒකාබද්ධ කොට ගජබා රෙජිමේන්තුව පිහිටුවන ලදී. ඒ 1983 වර්ෂයේ දීය) 


‘උතුරු ප‍්‍රදේශයට නීිති විරෝධි සංක‍්‍රමිකයන් පැමිණීම වැළැක්වීම’ හා මුහුදු හා ගොඩබිම් මාර්ගයන් භාවිතයෙන් ‘උතුරේ හොර බඩු ප‍්‍රවාහනය සිදු වීම වැළැක්වීම’ යන ද්වී ක‍්‍රියාන්විත කාර්යයන් සඳහා අණ හා උපදෙස් ලබා දීම සිදුවූයේ පලාලි හි පිහිටි ‘නීති විරෝධි කාර්යයන් මැඬලීමේ කාර්යය සේනාංක මූලස්ථානය’ ලෙස හැඳින්වූ ප‍්‍රදේශ මූලස්ථානය වෙතිනි. 1980 වර්ෂයේ දී මෙම මූලස්ථානය ‘උතුරු ආඥා පෙදෙස් මූලස්ථානය’ ලෙසින් ද ඊට ඇතුළත් භට පිරිස් ‘හතරවැනි කාර්යය සේනාංකය’ ලෙස ද හැඳින්විය. වීශේෂයෙන් යුද හමුදාව තුළ සිදු වූ කථාබහේදී මෙකී රාජකාරීන් හැඳින්වූයේ ‘ටැෆයි ඩියුටීස් ’ හෙවත් ‘නිවිකා රාජකාරීන්’ ලෙසය. ‘නිවිකා’ යනු නිීති වීරෝධි කාර්යයන් යන අරුත ගෙන දුන්නද ආරම්භයේ දී , එනම් 1952 වර්ෂයේ සිට 80 දශකයේ ආරම්භය දක්වා යුද හමුදාව විසින් ‘නීති විරෝධි සංක‍්‍රමිකයන් වැළැක්වීමේ කාර්යය සේනාංකය’ හෙවත් ‘ටාස්ක් ෆෝර්ස් ෆො ඇන්ටි ඉලිසිට් ඉමිග‍්‍රන්ට්ස් - ටැෆයි (TAFFAII) යන ඉංග්‍රීසි නාමය අඛණ්ඩව යොදා ගන්නා ලදී. 


වේලාව - අලුයම තුනහමාරට පමණ ඇත. ඉදිරි මුහුද නිරීක්‍ෂණය කරමින් සිටින ලුතිනන්වරයා එක වරම වෙරළට මඳක් නුදුරින් කළු පැහැති යමක් තරමක ගැඹුරු ශබ්දයක් නිකුත් කරමින් පේදුරුතුඩුව දිසාවේ සිට පොලිකණ්ඩි දෙසට ඉතා සෙමෙන් ගමන් ගන්නා බව දකී. එහි පිටුපස කොළ පැහැයෙන් යුත් එළියක් විටින් විට දිස්වේ. බෝට්ටු එංජිමේ ‘ප්‍රොපෙලරයේ’ ක‍්‍රියාකාරිත්වය නිසා මුහුදු ජලයේ ඇති ‘රේඩියම්’ ඇවිස්සෙන විට දී හඳ එළිය ඊට පතිත වූ විට මෙලෙස කොළ පැහැති වර්ණයෙන් යුතුව පරාවර්තනය වෙන බව ඔහු ක්‍ෂණයකින් වටහා ගනී. ” මට හිතෙන්නේ මේ යන්නේ හොර බඩු බෝට්ටුවක්” ලුතිතන්වරයා කීය. ”සර් ඒක මාලු බෝට්ටුවක් වෙන්න බැරිද” භට පිරිසේ එක් අයෙකු අසයි. ”නැහැ වෙන්න බැහැ ... මේකේ හඬේ හැටියට ... බර පටවගෙන යන ලොකු එංජිමක් තිබෙන බෝට්ටුවක් වගේ ... මාලු බෝට්ටුවල එංජින් ශබ්ද ​ෙම් විදිහට එන්නේ නැහැ... අනික මේක සාමාන්‍ය මාලු බෝට්ටුවලට වඩා ටිකක් දිගයි වගේ පේන්නේ ” යනුවෙන් ලුතිතන්වරයා පිළිතුරු දුනි. 


භට පිරිස, වහා ගොස් සඟවා නවතා තිබු තම ජීප් රථයට ගොඩවේ. ”මට හිතෙන්නේ මේ බෝට්ටුව යන්නේ පොලිකණ්ඩිවල ලෑන්ඩ් කරන්න” ... වාහනේ කිසිම ලයිට් එකක් දාන්නත් එපා ... වැඩිය සද්දෙ ඇහෙන විදිහට එලවන්නත් එපා ... යනුවෙන් ලුතිතන්වරයා තම හමුදා රියදුරුට උපදෙස් දේ. හඳ එළිය ඇති රාත්‍රි කාලයේ දී හා විදී ලාම්පු ඇති මාර්ගයන් හි දී ඉදිරි පහන් භාවිතයෙන් තොරව ජීප් රථය පැදවීම අනිවාර්යය. එසේ හඳ එළිය නොමැති කාලයේ දී අවශ්‍යතාවට අනුව පමණක් ඉදිරි පහන් භාවිත කිරීම , මුර සංචාරයට ප‍්‍රථමව රථයේ පිටු පස තිරිංග පහන් කඩදාසි වලින් අලවා ආවරණය කිරීම, රියදුරු විසින් රථය උපක‍්‍රමශීලීව ධාවනය කිරීම හා ඒ සඳහා රියදුරු පුරුදු පුහුණුව සිටීම යනාදිය මෙම ලුතිතන්වරයා විසින් තම ජංගම මුරයන් වෙත එවකට ලබා දී තිබූ විශේෂ ගනයේ අණ හා උපදෙස්ය. 


මෙලෙස පොලිකණ්ඩි වෙත ධාවනය වෙන ජීප් රථයේ සිටින පිරිසට වෙරළට තරමක් ආසන්නයෙන් සෙමෙන් යාත‍්‍රා කරන බෝට්ටුව කළු පැහැති ඡායාවක් ලෙස දිස්වේ. ප‍්‍රධාන මාර්ගය වෙරළ තීරුවට ඉහළින් හා සමාන්තරව පිහිටා තිබීම නිසා බෝට්ටුව නිරීක්‍ෂණය කිරීමට පහසුය. පොලිකණ්ඩි කුඩා තොටුපොළකි. එහි කුඩා ජැටියක් ඇති අතර ප‍්‍රමාණයෙන් විශාල බෝට්ටු එය භාවිත කරයි. පසු කලෙක එල්ටීටීඊය විසින් තම ක‍්‍රියාකාරකම් සඳහා මෙම ස්ථානය යොදා ගනු ලැබීය. වරෙක ප‍්‍රභාකරන් ඉන්දියාවේ සිට මුහුදු මගින් පැමිණ, පොලිකණ්ඩිහි ගොඩ බසින බවට ලත් තොරතුර අනුව හමුදාව විසින් මෙහෙයවන ලද අසාර්ථකව අවසන් වූ ක‍්‍රියාන්විතය සිදු වූයේ මෙම ස්ථානයේය. ඒ 1985 වසරේ දී ය. 


වේලාව - අලුයම 3.45 යි. පොලිකණ්ඩි වෙත පැමිණි භට පිරිස ජීප් රථය සඟවා නවතා තබා ජැටිය වෙත දිව ගොස් ආවරණ ගනී. සැබැවින්ම මෙලෙස පැමිණ ඇත්තේ හොර බඩු බෝට්ටුවක් ද නැතහොත් සන්නද්ධ කල්ලියක් ද එසේ නැතහොත් මාලු බෝට්ටුවක් ද යන බව තවම ස්ථීරවම කිව නොහැක. කෙසේවුවද ලුතිතන්වරයා හමුදා විසින් භාවිත කරනු ලබන සම්ප‍්‍රදානුකූල අභියෝග කිරීමේ පිළිවෙත අනුගමනය කිරීමට ක්‍ෂණිකව උපදෙස් දේ. මේ අතරතුර සැක සහිත බෝට්ටුව ජැටිය වෙත පැමිණ ඇත. ඉන් බැසීමට සුදානම් වෙන තිදෙනෙකුගේ අඳුරු සේයාවන් දිස්වේ. 
හෝලට් ! හැන්ඩ්ස් අප් ! නාංගල් ආමි යනුවෙන් කෝප‍්‍රල් ස්ටැන්ලි ශබ්ද නගා අභියෝග කරයි. ඒ සමඟම ඔවුන් තිදෙනා මුහුදට පනී. ”ගහනවා බර්ස්ට් එකක් උඩට ” යනුවෙන් ලුතිනන්වරයා කෝප‍්‍රල් ස්ටැන්ලිට අණ කරයි. වෙඩි හඬ නිකුත් වූ සැනකින් එක් අයෙක් ”සරේන්ඩර් ... සරෙන්ඩර් ”යනුවෙන් කෑගසමින් තම අත් ඔසවා ගෙන ජැටිය වෙතට පැමිණ දණ ගසයි. ඒ සමඟම ඉතිරි දෙදෙනා ද ඔහුව අනුගමනය කරති. 


ක්‍ෂණිකව සිදුකළ පරීක්‍ෂාවේ දී හා ප‍්‍රශ්න කිරීමේ දී එය හොර බඩු රැගෙන ආ බෝට්ටුවක් බව තහවුරු විය. බෝට්ටුව තුළ තිබි ඉතා සිනිඳු ‘සිල්ක් ’ වර්ගයේ ‘කාන්චිපුරම්’ සාරී ඇතුළත් විශාල මිටි අටක් හමු විය. ඉතා මනා ලෙස අසුරා තිබූ ඉන් එක් මිටියක සාරි 100 ක් පමණ සංඛ්‍යාවක් තිබුණි. ‘ජොන්සන්’ හා ‘එවන්රූඩ්’යන වර්ගවල අයත් අශ්ව බල 40 - 45 බලැති අවුට්බෝඩ් එන්ජින් දෙකක් බෝට්ටුවට සවිකර තිබූ අතර අතිරේක එන්ජිමක් ද බෝට්ටුව තුළ තිබිණි. 


වේලාව - අලුයම 4.15 ට පමණ ඇත. ”වන් ඇල්ෆා සිග්නල් ඕවර් ” ලුතිතන්වරයා වෙල්වෙටිතුරෙයි කඳවුරේ සංඥා මැදිරිය අමතයි. ”වන් ඇල්ෆා ඕකේ ඕවර් ” ඒ සංඥා මැදිරියෙනි. ”වන් ඇල්ෆා සන්රේ ට දැනුම් දෙන්න ...” මෙහි ‘සන්රේ ’ යනු නිලධාරි අණදෙන්නායි. ඒ කපිතන් නිමල් රත්නායකයි . ඔහු ‘ඩෙල්ටා ’ කණ්ඩායමේ නිලධාරී අණදෙන්නාය. මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳව ඔහුට දැනුම් දෙන ලෙස පණිවිඩයෙන් කියවිණි. පණිවිඩය ලද සැනින් නිලධාරී අණදෙන පොලිකණ්ඩි වෙත පැමිණියේය. ලුතිනන්වරයා ඇතුලු භට පිරිසට ඔහු සුභ පැතීය. අනතුරුව අත්අඩංගුවට ගත් තිදෙනා ඇතුලු සියල්ල වෙල්වෙටිතුරෙයි රේගුව වෙතට භාරදීම සිදුවිය. එහිදී එක් සාරියක් රුපියල් 500 කට තක්සේරු විණි. බෝට්ටුව, එංජින් හා අනෙකුත් ආම්පන්න යුද හමුදා මුලස්ථානයේ ඉල්ලීම මත රේගුව වෙතින් යුද හමුදාවට පවරා ගැණිනි. එය හැර සිදු කළ තක්සේරුවට අනුව සාරි තොගයේ වටිනාකම රුපියල් ලක්‍ෂ හතරකට ආසන්න විය. 


පසුව, යුද හමුදා ක‍්‍රියාන්විත මාණ්ඩලික ක්‍රියා පිළිවෙතට අනුව මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳව පලාලිහි පිහිටි උතුරු ආඥා මූලස්ථානයට වාචිකව දැනුම් දීම හා ලිඛිතව විස්තර සැපයීම සිදු විය. එහිදී ජංගම මුරයට අණ දුන් ලුතිතන්වරයා හට අදාළ මූලස්ථානයේ ‘ ඕසී ට‍්‍රෘප්ස් හෙවත් නිලධාරි අණදෙන භට පිරිස් / නිඅභපි’ හමුවීමට උපදෙස් ලැබිණි. ලුතිනන් කර්නල් ජෙරී සිල්වා (පසු කලෙක ඔහු යුද හමුදාපති විය) එවකට මෙම තනතුර දැරූ උසස් නිලධාරියා විය. එසේ හමුවූ අවස්ථාවේ දී ලුතිනන්වරයාට සුබ පැතීමෙන් අනතුරුව ඔහු, මෙම හොර බඩු ප‍්‍රවාහනය පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් සිදු කරන ලෙසට උපදෙස් දුනි. 


උතුරේ හොර බඩු ජාවාරම පිළිබඳව සිදුකරන ලද අධ්‍යයනය බුද්ධි තොරතුරු විශ්ලේෂණය අතින් ඉතා වැදගත් එකක් විය. අදාළ ජාවාරම් ජාලය හඳුනා ගැනීම, මුහුදේ හා ගොඩබිමේ හොර බඩු ප‍්‍රවාහනය සිදු කරන ක‍්‍රමය පිළිබඳව දැන ගැනීම, හොර බඩු රැගත් බෝට්ටු පිටවෙන හා ළඟා වෙන ස්ථානයන් දැක හඳුනාගැනීම, ප‍්‍රවාහනය සඳහා යොදා ගනු ලබන නවීකරණය කරන ලද බෝට්ටු වර්ග හා ඒවායේ වර්ණයන් හඳුනා ගැනීම, හමුදාවට හසු නොවීමට යොදා ගනු ලබන විවිධ උපක‍්‍රම යනාදිය ඇතුළත් තොරතුරු රාශියක් සොයා ගැනීමට හා උපක‍්‍රමික වශයෙන් ඒ පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීමට ඉන් හැකි විය. ඒ අනුව පළමුවැනි ගැමුණු හේවා බලඇණිය 1981 වර්ෂයේ සිට 1985 වර්ෂය දක්වා කාලය තුළ දී, විටින් විට උතුරේ සේවය සඳහා ස්ථානගත වූ කාල පරිච්ඡේදයන් හි දී මෙවැනි අත්අඩංගුවට ගැනීම් 13 ක් පමණ සිදුකළ අතර ඉන් අවස්ථා 4 කදී පමණ එය අසාර්ථක විය. අසාර්ථක වූ අවස්ථාවන් හි දී අදාළ බෝට්ටු ක‍්‍රියාකරුවන් හට ඔවුන් රැගෙන එමින් තිබු හොර බඩු සමඟින් පලා යාමට හැකි විය. සහභාගීවූ සෙබළුන් අතින් සිදුවූ සුළු උපක‍්‍රමික දෝෂ හා වැරදි උපක‍්‍රමික තීරණ ගැනීම් ඊට මුල් විය. 


! පළමුවැනි ගැමුණු හේවා බල ඇණිය, ඒ අනුව වැඩිම මුදල් ත්‍යාග ලැබු ඒකකය විය. එසේම ඔවුන් විසින් සිදුකරන ලද සමස්ත අත්අඩංගුවට ගැනීම්වල තිබූ විශේෂත්වය නම් එක් වතාවකදී හැර අන් සෑම වතාවකදීම රාත‍්‍රී ජංගම මුරයක් ලෙස (ගොඩබිමෙන් ගොස්) මුහුදු වෙරළේ රැකවල්ලා සිටින විට දී එය සිදුකිරීමය. 


ජංගම මුරයන් සඳහා යොදාගත් ජීප් රථ පහන් නොදල්වා, අඳුර භාවිතයෙන් අදාළ ස්ථානයන් වෙත උපක‍්‍රමශීලීව ධාවනය කිරීමට හැකිවීම ඒ සියලු සාර්ථකත්වයන්ට හේතුව විය. එලෙස ගමන් කිරීම ඇතැම් අවස්ථාවල දී සන්නද්ධ කල්ලි පවා විශ්මයට පත් කළ කටයුත්තක් විය. ඒ සඳහා ප‍්‍රබල සාක්‍ෂියක් නාරයන් සාමි විසින් ප‍්‍රභාකරන් පිළිබඳව ලියන ලද ‘ඉන්සයිඩ් ඇන් ඉලුසිව් මයින්ඩ්’ කෘතියේ 60 හා 61 ක් වැනි පිටු සපයයි. ප‍්‍රභාකරන් ඇතුලු කිහිපදෙනෙකු ඉන්දියාවට යෑම පිණිස වැල්වෙටිතුරෙයි වෙරළ තීරුවට දෙසට රාත‍්‍රියේ ගමන් කරමින් සිටිය දී ‘පහන් නිවූ’ ජීප් රියක් හදිසියේ එනු දැක ඉන් වික්‍ෂිප්තවී ක්‍ෂණිකව බිම වැතිරුණු බව එහි සඳහන්ය. කෙසේ වුවද 1984 වර්ෂය අවසන් වීමත් සමඟ උතුරේ හොර බඩු ජාවාරම අභාවයට ගියේය. ඒ අන් කිසිවක් නිසා නොව සන්නද්ධ කල්ලි ක‍්‍රමයෙන් ක‍්‍රියාශීලීවීම මුල්කොට ගෙනය. 

 



අදහස් (0)

එදා උතුරේ හොර බඩු ජාවාරම

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 204 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16147 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7903 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2787 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5239 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3938 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 282 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1637 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site